අරුණි ශපීරෝ‍ වෙතින්

ඔක්තෝබරයේ දී ඔක්ස්ෆර්ඩ් ඔහායෝ වෙත එන “මචං”

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 13, 2012

“මචං” චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Uberto Pasolini විසිනි. ඔක්තෝබර් 2 වැනිදා සවස 4 ට ඔහායෝ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයෙහි මයාමි විශ්ව විද්‍යාලයේ දී එය තිරගත වෙයි. ඇතුල්වීම් නොමිලේ.

2004 සැප්තැම්බර් 15 වැනිදා බීබීසී ප්‍රවෘත්ති වාර්තාව අනුව ජර්මනිය බලා ගිය ලංකා හෑන්ඩ්බෝල් ක්‍රීඩා කණ්ඩායම (23 දෙනෙකු) තරඟාවලිය මැද දී අතුරුදහන් වූහ. ලාංකිකයන්ව සොයාගත නොහැකි වෙද්දී මුලින් ම ජර්මානුවන් සිතුවේ මේ කණ්ඩායම අසල කැලෑවේ දිවීමට ගොස් අතරමං වී ඇතැයි කියාලු.

හෑන්ඩ්බෝල් කණ්ඩායම පණිවිඩයක් ලියා යන්නේ ඔවුන් ප්‍රංශයට යනවා බව සඳහන් කරමිනි. එහෙත් ඔවුන් ගිහින් තිබුනේ ඉතාලියට බව පසුව සොයා ගැනේ.

තරඟාවලිය සංවිධානය කරන ඩීට්මර් ඩෝරින්ග් එම ක්‍රියාව තම රටට කරන ලද මදි පුංචිකමක් සේ දැකීම අතීතය අමතක කිරීමකි. එදා බර්ලින් තාප්පයෙන් පැන නිදහස සොයා VoPo (Volkspolizei) ගේ වෙඩි පහර කාගෙන වුවත් පැන ගිය ජර්මානුවන්ගේ ඉතිහාසය අමතක වී සෙයින් ඔහු කතා කරයි.

අනුන් වෙනුවෙන් වෙහෙසෙන්න යැයි කියූ කොමියුනිස්ට්කාරයන් වෙතින් ගැලවෙන්නට, තමන් වෙනුවෙන් වෙහෙසෙන්නට කැමති වූ නැගෙනහිර ජර්මන් ජනතාවෙන් 187,000 ක් 1950 දී බටහිර ජර්මනියට ගියහ. 1951 දී තවත් 165,000 ක් ගියහ. 1952 දී 182,000 ක් ගියහ. 1953 දී 331,000 ක් ගියහ. 1953 මුල් මාස හයේ දී පමණක් 226,000 ක් වාමාංශික නැගෙනහිර ජර්මනිය හැර දා ගොස් තිබුණි.

හිට්ලර් එළවන්නට යැයි කියා ආ සෝවියට් රුසියාව ජර්මනියේ කොටසක පදිංචි වී අනුන්ගේ සම්පත් සූරා කෑම, සූරා කෑමක් ලෙසින් නොදකින වාමාංශිකයන් ඊට රැවටුන ද නැගෙනහිර ජර්මනියේ තමන් වෙනුවෙන් තමන් වෙහෙස විය යුතු යැයි සිතූ ජනතාව රැවටුනේ නැත. ඔව්හු පීඩකයන් වෙතින් පළා යන්නට පටන් ගත්හ.

නිල වශයෙන් මායිම් වැහෙන්නේ 1952 දී ය. එහෙත් නැගෙනහිර ජර්මානුවන්ට රැකියා නොතිබි නිසා ඔවුන්ට දිනපතා මායිම පසුකර බටහිර ජර්මනියේ රැකියා වලට යන්න අවසරය තිබිණ. මෙසේ බටහිර බර්ලිනයේ වැඩට යන අයව හෑල්ලුවට ලක් කරන්නට ‘මායිම් පාස් කරන්නා’ නොහොත් Grenzgänger යැයි හංවඩු ගසා ඔවුනට “ධනවාදී සුඛෝපභෝගී හැදියාවන්” බෝ වී ඇතැයි වාමාංශිකයන් කටකතා පතුරැවා හැරියහ. අනිත් අය දුප්පත්ව සිටිය දී තමන්ට යමක් කමක් තියෙනවා යැයි කියන්නට අදිමදි වීම මිනිස් ස්වභාවයකි. වාමාංශිකයන් ගහන්නේ ලැජ්ජා උපදවන ලේබල් එකක් වුවත් කන්න හිඟ වෙද්දී ලැජ්ජාව පැත්තකට දමා නිදහස සොයන මිනිස් ස්වභාවය පෙරමුණට ආවේය.

කැමැත්තෙන් වෙහෙසෙන හැමෝම වෙහෙසට සරිලන පඩියක් සොයා පිට වී ගියොත් කවුදැයි අනුන්ගෙන් කන්න බලාගෙන ඉන්නා අයට කන්න දෙන්නට වෙහෙසෙන්නේ?!!!!!

නැගෙනහිර ජර්මනිය 1957 දෙසැම්බර් 11 දා අළුත් පාස්පෝට් රෙගුලාසියක් ගෙනාවේය. එයින් නැගෙනහිර ජර්මනියෙන් පිටත් වී යන සරණාගත සංඛ්‍යාව අඩු කරලීම ඔවුන්ගේ අරමුණ විය.

අහෝ එහෙත් මිනිස් ස්වභාවය නොදන්නා රෙගුලාසි නිසා හැම දා සිද්ධ වෙන්නේ නොසිතූ ප්‍රතිඵලයන් ම ය.

එතෙක් 60% ක් පිට වී ගිය සංඛ්‍යාව 1958 අන්තිම වෙද්දී 90% ක් බවට පත් වී තිබුණි.

1961 වෙද්දී සමස්ත නැගෙනහිර ජර්මන් ජනගහණයෙන් 20% ක් එනම් මිලියන 3.5 ක නැගෙනහිර ජර්මානුවන් වාමාංශික පැත්ත හැර දා ගොස් තිබිණ.

රටක් හැර දා මිනිස්සු යන්නේ ඇයි දැයි වටහා ගන්නට නොහැකි පාලකයෝ ඊට හේතුව සොයන්නට නොයති. බොරුවෙන් තවත් ජනතාව රවටන්නට හැකි යැයි ම සිතති. 1961 ජූනි 15 වැනි දා සමාජවාදි පක්ෂයේ සභාපතිවරයා වූ Walter Ulbricht ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් ඉදිරියේ කියන්නේ “Niemand hat die Absicht, eine Mauer zu errichten!” නොහොත් “නැහැ කිසිවෙක්ට තාප්පයක් ඉදිකරන අරමුණක්” කියාය!!!!

1961 අගෝස්තු 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ පොලීසිය හා නැගෙනහිර ජර්මන් හමුදාව විසින් මායිම් වසා දමා කටු කම්බි ගහන්නට පටන් ගනිති. බර්ලින් තාප්පය සැතපුම් 96 (කිලෝමීටර් 155) දිගින් යුතුය.

ඊ ළඟ උදයේ නැඟිටින නැගෙනහිර ජර්මානුවාට රැකියාවන්ට යෑමත්, අනිත් පැත්තේ සිටිනා තම පවුලේ අය හා ඥාතීන් හමුව ද තහනම් වෙයි.

1961 දී ගැසූ කටු කම්බි වැට 1962-1965 කාලය තුල දී තවත් දැඩි වෙයි. 1965-1975 කාලය තුල දී කොන්ක්‍රීට් තාප්පය ඉදි වෙයි. Grenzmauer 75 නොහොත් ‘මායිම් තාප්ප 75’ යන්න 1975-1989 දක්වා ඉදිවෙයි. ඒ අවසන් අදිරයේ දී හැදෙන “Stützwandelement UL 12.11” කොටස අඩි 12 ක් (මීටර් 3.6) උසින් හා අඩි 3.9 (මීටර් 1.2) ක පළලින් හැදෙන්නේ වාහනයක නැඟී එය පසාරු කරගෙන පැන යෑම නවත්වන්නට ය.

තාප්පයේ උඩ කොතරම් උසක දැයි හිතාගත නොහැකි වන විදියට තැන තැන වෙනස් ලෙසින් පයිප්ප වලින් හදා තිබුණි. ඊට ඉදිරියෙන් අගල් කපා තිබිණ. කටු කම්බි ගසා තිබිණ. දඩයම් බල්ලෝ දමා තිබිණ. මර උගුල් අටවා තිබිණ. මායිම් මුර කරන්නට VoPos ලා බඳවා ගත්තේ වාමාංශික පැත්තේ ඈත එපිට පළාත් වලිනි. ඔවුන් තාප්පයට නුදුරුව ජීවත් වූ බර්ලිනයේ වැසියන්ව පුංචි සංදියේ සිට නොදන්නා අයයි. නොදන්නා අය පැන යද්දී සහාය දෙන්නට හිතක් හෝ වෙඩි තියන්නට අකමැත්තක් පහළ නොවෙයි.

නීත්‍යානුකූල අවසරය ඇති අයට අනිත් පැත්තට යන්න හැකියාව තිබිණ.

ඒත් ඉතින් මචං ලා ට වීසා ගන්න කොච්චර අමාරු ද?!!! මචං ලා සියල්ල ම රටෙන් පිට වී ගියහොත්? උන් පිටරට ගියාම දෙවැනි පංතියේ මිනිසුන් වෙනවා යැයි රවටා, තමන්ගේ සටනට යවා, තමන්ගේ සාක්කු පුරවන බුර්ජුවාසියට කුමක් වේ ද? මචං ලා ට සිංහලෙන් කියවන්නට ලැබෙන්නේ නැති ඉතිහාසය ලියද්දී, තමන්ට ඉහළ පංතිය හා සමාන අයිතීන් ඉල්ලන, එහෙත් පහළ පංතියට තමන්ට ඇති අයිතීන් දෙන්නට අකමැති බුර්ජුවාසීන් පොකුරු පිටින් ඇවිත් අනේක විධ ලේබල් ගහන්නේ ද?!!!  😀 😀 😀

වීසා නැතිව පැන යන අයව වෙඩි තබා මරන්නට VoPos ලාට අවසරය ඇත.

ජීවිතය පරදුවට තබා බර්ලින් තාප්පයෙන් පැන ගිය සංඛ්‍යාව 5,000 ක් යැයි සැලකේ. අනිත් පැත්තට යන්න ගිහින් මැරැණු සංඛ්‍යාව Alexandra Hildebrandt කියන විදියට 200 කට අධිකය. ඉතිහාසය ගැන විමසූ පිරිසක් විසින් 136 ක් මරණ සිද්ධ වූ බව සාක්කි වලින් ඔප්පු කර ඇත. පැන යද්දී මරුමුවට පත් අය සමරනු සඳහා “නිදහස් සමරුවක්” ඉදිවෙයි. 2004 ඔක්තෝබර් 31 වැනි දා එය විවෘත වූ පසු සතිපතා දහස් ගණනින් පිරිස් එය නරඹන්නට ඇදී ආහ. එහෙත් 2005 ජූලි 5 වැනිදා වාමාංශික බර්ලින් නගර ආණ්ඩුව එය පොළවට සමතලා කළහ. සත්‍ය්‍ය වසන්නට වාමාංශිකයන් කොච්චර උත්සාහයක් ගන්නවා ද?!!!

හංගේරියාවේ මායිම් වලින් ධනවාදී ලෝකයට යන්නට, වෙහෙස වෙන්නට කැමති නැගෙනහිර ජර්මනියේ මිනිසුන්ට ඉඩක් ලැබෙන්නෙ 1989 ගිම්හානයේ දී. හංගේරියානුවන් මායිම් ආරක්ෂා කිරීම නවත්වා දමති. ඒ අගෝස්තුවේ හා සැප්තැම්බරයේ දී නැගෙනහිර ජර්මානුවන් 13,000 ක් හංගේරියාව තුලින් ඔස්ට්‍රියාවට පළා යනවා. 1989 දී ඇරඹෙන්නේ “Wir wollen raus!” ‘අපිට යන්න දියව්’ කියන ජනඝෝෂාව. ඒත් ඒක පෙරළෙනවා “Wir bleiben hier” ‘අපි මෙහෙ ඉන්නවා’ කියන්නට. වාමාංශිකයන්ට ඇති අප්‍රසාදය කියන්නන් කෙමෙන් කෙමෙන් වැඩි වී නොවැම්බර් 4 වැනි දා ඇලෙක්සැන්ඩර්ප්ලාට්ස් හි විරෝධතා රැළියේ දී මිලියන භාගයක් ජනතාව එක් රොක් වෙති. තාප්පය කඩන්නට පටන් ගන්නේ 1989 නොවැම්බර් 9 වැනි දා.

මිනිසා තුල ඇති තමන් වෙනුවෙන් වෙහෙසෙනු පිණිස වූ දැවෙන උවමනාව කටු කම්බි හා කොන්ක්‍රීට් වලින් තාප්පයක් ගැසුවත්, පැන යන අයට වෙඩි තියන මුරකරුවන් දැම්මත්, නවතන්නට නොහැකිය. තම වෙහෙසෙන් ආණ්ඩුව කියන අය නොව, තමා කැමති අයගේ කුස පුරවන්නට, ඇඟට වස්ත්‍රයක් දාන්නට, කැමැති තෑග්ගක් කැමති කෙනෙකුට ගෙනිහින් දෙන්නට මිනිසෙක් විසින් ආණ්ඩුවක් දමනා ඕනෑම නීතියක් කඩා, ජීවිතය පරදුවට තබා උත්සාහයක් ගන්නේ ය.

1961 සිට 1989 දක්වා වසර 28 ක් තිස්සේ තිබූ තාප්පයකින් ජර්මානුවන්ගේ ම නිදහස කප්පාදු වී තිබි සැටි ඩීට්මර් ඩෝරින්ග් ට 2004 දී අමතක වීමත් අතීතය දිහා බලා පාඩම් ඉගෙන නොගන්නා මිනිස් ස්වභාවය ම වෙයි. ඒත් අමතක වෙන එක පුදුමයක් යැයි වාමාංශිකයන් අතීතය වසන් කරන්න දැඩි උත්සාහයන් දියත් කරන කොට.

ආර්ථික පීඩකයන් ගෙන් ගැලවෙන්නට ස්ව උත්සාහයක් ගන්නා සංක්‍රමණික ශ්‍රමික මචං ලා මගේ ලෝකයේ වීරයන් ය. ඔවුන්ට සදා ජයවේවා!

මා කළින් ලියා ඇති “බෙයර්බෙල් බොහ්ලෙ -බර්ලින් තාප්පය ගැල වූ කාන්තාව” ගැන මෙතැනින් කියවන්න.

Advertisements

25 Responses

Subscribe to comments with RSS.

  1. අංජන said, on අගෝස්තු 13, 2012 at 8:19 පෙ.ව.

    ‘මචං’ බලමුද මචං

  2. මිස්ටර් හයිඩ් said, on අගෝස්තු 13, 2012 at 8:56 පෙ.ව.

    නැගෙනහිර, බටහිර ජර්මනියේ වුන දේවල් අද උතුරු සහ දකුණු කොරියාවල සිද්ධ වෙනවා. කොටින්ම මිනිස්සුන්ට කන්න දෙන්න හාල් යවන්නෙත් දකුණු කොරියාව.ඒ අස්සේ වාමාංශික කියා ගන්න වංශාධිපති පාලකයෝ කැටපෝල ගහනවා වගේ චන්ද්‍රිකා යවන්න හොයනවා

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 9:04 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      ඔව්, ඇමෙරිකාවේ වැරදි හැමදාම වැටෙන සිංහල පත්තරවල ඕවා අහන්න ලැබෙන්නෙ නැහැ.

      වාමාංශිකයන් කරන දේවල් වල වැරදි අඩුවෙන් ඇහෙන්නේ ඔවුන් හංවඩු ගසා අනිත් අයව බය කරද්දී බය වෙන බියගුල්ලන් වැඩියෙන් ලෝකයේ ඉන්න නිසයි.

  3. Gold fish said, on අගෝස්තු 13, 2012 at 10:50 පෙ.ව.

    මං නම් බලලා තියෙනවා… යූ ටියුබ් එකෙත් සම්පූර්ණ වීඩියෝ එකම තියෙනවා…

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 12:16 ප.ව.

      Gold fish,

      අයියෝ මාළුවෝ, එහෙම බැලුවම හදපු අය වියදම් පියවා ගන්නෙ වත් කොහොම ද?!!! ඒ වගේ තව නිෂ්පාදන හැදෙන එක නැවතුනොත් ලංකාවේ නළුවන්ට පාඩුයිනෙ. ලංකාවේ හදන චිත්‍රපටි හරියට යුරෝපීය බ්ලුබෙරි වගේ අධික මිලෙන් ලැබෙන සුඛෝපභෝගී වූවක් පමණක් වෙයි.

  4. virtualpathum said, on අගෝස්තු 13, 2012 at 11:32 පෙ.ව.

    මචං තමයි මචං…ආයෙ බලන්න ඕනේ…

  5. Maathalan said, on අගෝස්තු 13, 2012 at 12:24 ප.ව.

    මචං මම බලපු ලස්සනම චිත්‍රපටයක්. අපේ වාමශිකයෝ ඔක්කොම තාප්පේ පැනලා ඉන්නේ. කරුමේ කියන්නේ අනුගාමී හරක් හිතන්නේ උන් ඉන්නේ තාප්පේ මෙහා පැත්තෙමයි කියලා. හරි පව් නේ මචං

  6. ළිහිණි said, on අගෝස්තු 13, 2012 at 1:09 ප.ව.

    බලලා තියෙන හොඳම චිත්‍රපටියක්. භාෂා විලාසය කැත නැතුව නියම තැන් වලට නියම විදියට යොදවලා තියෙනවා.

    නැගෙනහිර ජර්මනියේ උන දේවල් ගැන මේ ලඟදි කියවන්න ලැබුනා. හොඳ පොත් කීපයකින්

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 1:25 ප.ව.

      ළිහිණි,

      ඔව්, සැබැවින් ම.

      මේ දවස්වල මම කියෙව්වෙ Frederick Taylor ලියපු The Berlin Wall, A World Divided, 1961-1989 (2006). ජර්මානුවන්ට සෑහෙන්න ලැජ්ජා වෙන්න දේවල් තියෙනවා එක පැත්තකින් හිට්ලර් අනිත් පැත්තෙන් Walter Ulbricht තමන්ගෙම රට වැසියන්ට කරපු දේවල් ගැන.

      ඒත් බලන්න ලංකාවේ අය ඉතිහාසය නොදන්න නිසා හැමදාම බැන බැන ඉන්නෙ විදේශීය හතුරෙකුට. මෙන්න මේ ප්‍රවෘත්තිය දැක්කෙ සටහන දැම්මට පස්සෙ. “සරණාගතයන් හැටියට රට පනින අය අඩු කරන්න සංක්‍රමණික නීති දැඩි කරන්න” යනවාලු. කොමියුනිස්ට් වෙන්නෙ නැතිවම නැගෙනහිර ජර්මනියෙ ප්‍රතිපත්ති ගේනවා වගේ!!!!

      නොසිතු ප්‍රතිඵල ම ඇති වේ යැයි ඉතිහාසය කොතරම් කිව්වත් ආණ්ඩුවක් එය අහන්නේ නැහැ. සරණාගතයෙක් හැටියට උපන් රට දාලා ගිහින් සංක්‍රමණික වහල් බවට එකතු වෙන්න කැමැත්ත මිනිසෙකුට ඇත්තේ ඇයි දැයි සොයා බලන්නේ නැහැ. නීතියක් ගෙනාවොත් ඕන එකක් හරියාවි කියල හිතන්නෙ. එහෙම හරි ගියා යැයි පෙන්විය හැකි කිසිත් නීතියක් නැතිව.

  7. wicharaka විචාරක said, on අගෝස්තු 13, 2012 at 1:38 ප.ව.

    අරුණි ඔයා මචං බලන්න ඇති නේද DVD කොපියක් හෝ ජර්මන් පිටපත හෝ. හරිම ලස්සනයි. මම ගෙදර අයටත් එක්ක ගිහින් පෙන්නුවා. යතාර්ථය කොයිතරම් කටුකද? එය ලෝකයේ කොතන සිදුවුනත් එකම සත්‍යය තමයි ඒ පසුපස පිහිටා තිබෙන්නේ. මිනිසා හොයන්නේ ප්‍රජාතන්ත්‍රවාදීද සමාජවාදීද නැත්නම් වෙන මොන කෙහෙම්මල් වාදීද කියන එක නෙවෙයි. ජීවත්වියහැකි වාදීද කියන එක විතරයි. මෑතක සිට ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැන යන්නන් වැඩි වෙලා. ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ එල්.ටී.ටී.ඊ. කුමන්ත්රනයක්ලු. යකෝ ජීවිතේ පරදුවට තියලා ළමා ලපටිත් අරගෙන මූද මැද්දේ මැරෙන්න මාළු බෝට්ටු වලින් යයිද කුමන්ත්‍රණයක් නම් අම්මපා මේ අම්බරු තීරණ මතවාද සහිත එවුන්ගේ ඔලුවට කොටන්න ගොන් කවඩිවත් නැහැනේ.

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 1:44 ප.ව.

      wicharaka විචාරක,

      දැනට දැකලා තියෙන්නෙ trailer වල තියන ටික විතරයි. මට ඔහායෝ යන්න වෙයි ෆිල්ම් එක බලන්න.

      //යකෝ ජීවිතේ පරදුවට තියලා ළමා ලපටිත් අරගෙන මූද මැද්දේ මැරෙන්න මාළු බෝට්ටු වලින් යයිද කුමන්ත්‍රණයක් නම් අම්මපා මේ අම්බරු තීරණ මතවාද සහිත එවුන්ගේ ඔලුවට කොටන්න ගොන් කවඩිවත් නැහැනේ.// කටුක සත්‍යය එයයි. හැම දෙයක් ම කුමන්ත්‍රණයක් පිට දාන්න පුළුවන් ඒ බොරු ඇත්ත කියලා හිතන සමාජයක් ඉන්න නිසා.

  8. Amarasinghe Sujatha said, on අගෝස්තු 13, 2012 at 1:46 ප.ව.

    Night Crossing බැලුවාද? ඒකත් ඒවගෙම කතාවක්

  9. අමා said, on අගෝස්තු 13, 2012 at 8:22 ප.ව.

    මචන් හරිම අගේ ඇති චිත්‍රපටිය ක්.
    ඇත්තම කියනවා නම් මචන් බලන්ට කලින් ලංකාවට අපහාස උනා සහ සත්කාරක රටට බොරු කළා කියා මගේ හිතේ ඒ මිනිස්සු ගැන තිබුනේ පහන් හැගීමක් නොවෙයි. ඒත් මචන් බලනකොට ඒ මිනිස්සුන්ගේ තීරණේ හරියට හරි කියල හිතෙන්ට ගත්තා. චිත්‍රපටිය ඇත්තටම පෙළ ගස්සල තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන සානුකම්පිතව බලමින් සහ ඔවුන්ගේ circumstances වෙතින් උඩට යාමට ඇති ධෛර්යය ගැන ගරුත්වයක්ද දෙමින්.

    මචන් ගැන අවලාද දෙන ඕස්ට්‍රේලියානු වාසී ලාංකිකයනුත් ඉන්නවා. ලංකාවේ මුඩුක්කු, දුප්පත්කම ලෝකෙට පෙන්නනවා, ලංකාව ගැන වැරදි චිත්‍රයක් දෙනවා කියා තමා ඔවුන් කෑ ගහන්නේ! ලංකාව ලෝකයට ණය වී ඇති තරමින්ම ලංකාවේ දුප්පත්කම ලෝකෙට පෙනෙන බව ඔවුන්ට නොතේරෙන්නේ ඇයි?! අඩු ගණනේ අධ්‍යාපනයට වෙන් වන අඩු පරිපාදන වලින්ම ලංකාවේ කඩා වැටීම ඔවුන්ටම පෙනෙන්ට ඕනා නේද!

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 9:44 ප.ව.

      අමා,

      රටේ දුප්පත්කම ආණ්ඩුවයි බුර්ජුවාසීන් දෙකම එකතු වෙලා වහන්න හදන්නෙ පිටරට ඉන්න අයගෙන් නෙමෙයි, තමන්ගෙ ම ජනතාව ගෙන්. දුප්පතුන් නැහැ කිව්වොත් ඉන්න දුප්පත් අය පෙළපාලි යයි. චන්දෙ ඉල්ලන කාලෙට හැම වතාවක ම මෙච්චර සංඛ්‍යාවක් ආණ්ඩුවේ සේවයට බඳවා ගත්තා යැයි අහන්න ලැබෙනවා. හැමදාම දුප්පතුන් ගලවා ගන්න වෑයම්!!! රැකියා හිඟයක් ඇත්තේ ඇයි කියන ඇත්ත වසන් කර ආණ්ඩුව තමයි රැකියා නිපදවන්නේ යන මුලාවෙන් රවටා තම බලය තවත් වැඩි කර ගන්න පුළුවන් නිසා.

      මට මුහුණු පොතෙන් දැනගන්නට ලැබුණු තොරතුරක් අනුව “අපිට ගැළපෙන ආර්ථික ක්‍රමවේද” ලියූ අය මඩවල එස්. රත්තානයක ලියපු ලෙස්ටර් ජේම්ස් ගේ “අක්කර පහ” චිත්‍රපටිය හා “මචං” චිත්‍රපටිය එම පොතේ සංසන්දනය කරනවාලු. මම ඒ ආර්ථික පොත කියවා නැහැ. අක්කර පහේ සේන මැදවත්ත නම් ගමේ තරුණයා හොයන්නේ කැම්පස් ගිහින් ඊට පස්සෙ ආණ්ඩුවේ රස්සාවක්. අක්කර පහේ සේන ගේ චරිතයෙන් කතුවරයා පාඨකයන්ට දෙන්නෙ ගමේ කෙල්ල සඳා හොඳයි නගරෙ කෙල්ල තෙරේසා අවස්ථාවදීයි කියන ලාංකික මතය!! ඉංග්‍රීසි ඉගෙන ගන්න වියදම් කරලා දෙමව්පියන් දුප්පත් කරන්නෙ නැතිව ගමේ කුඹුරු කෙටුවම රටට හොඳයි කියන මතවාදය!!! ලංකාවේ බුර්ජුවාසීන් දුප්පත් අයව කොච්චර රවටන්න හැදුවත් මචං ලා බුර්ජුවාසීන්වත් රටේ ආණ්ඩුවත් විශ්වාස නොකර රටින් පිට වෙලා ම ගිහින්!!!! දැන් සංක්‍රමණ නීති දැඩි කරන්න යන්නෙ හැමෝම පිටවෙලා යයි කියල බයේ වෙන්නැති.

  10. inesh said, on අගෝස්තු 14, 2012 at 3:22 පෙ.ව.

    7 පාරක් බෑලුවා මචන්,ඒ තරම් අසාවක් තිබුනා ඒකට.ලන්කවෙන් ගියාට පස්සේ ඒ රටෙදි අයෙත් බෑලුව.ලන්කාවෙදි තරම් එක දෑනුනෙ නෑ.දෑන් අයෙත් ලන්කවෙ,අයෙත් සෑරයක් බලන්න හිතෙනවා,එ හෑගීමත් හරියට King Arthur, centurion,Eagle වගේ චිත්‍ර පටි බලනකොට වගේ

    • arunishapiro said, on අගෝස්තු 14, 2012 at 7:00 පෙ.ව.

      inesh,

      මට trailer බලද්දී ම පෙනුනා හිතට දැනෙන්න ෆිල්ම් එක හදලා තියෙන බව. කතාව හරි, ලංකාවේ දී වැඩියෙන් දැනෙනවා තමයි. බාධක මැදින් නොපසුබට වී යමක් හඹා අය ගැන සතුටු හැඟීමක් දැනෙන්නේ තවකෙකු ගේ තැන උදුරා නොගෙන අයෙකුට ඉදිරියට යන්නට හැකිබව දන්න අයට විතරයි. අනිත් අය ඉන්නෙ තමන් කැමති යමක් කරන අයෙක් නිසා අනුන්ගේ සතුට නැතිවෙනවා කියන දුර්මතයේ.

  11. Kandyan said, on අගෝස්තු 14, 2012 at 6:22 පෙ.ව.

    මචං cast එකේ දෙතුන් දෙනෙකුත් ජර්මනියේදී ‘මචං’ ලා උනා කියලා ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ඉන්ටර්විවි එකකදී කියලා තිබුනා.

    විවිධ රටවලින් එන (ලංකාව ඇතුළුව) ‘මචංලා’ එක්ක අවුරුදු දහයකටත් වඩා වැඩකරලා තියනවා. ඒ අයගේ ජීවිත කතාත් අහලා තියනවා. නමුත් බොහෝ අයගේ කතා ඇත්තද කියන එක ලොකු ප්‍රශ්ණයක්. සමහර අය රටේ ගමන් බලපත්‍රය ලැබුන ගමන් ආව රටට යනවා නෑදැයෝ..දේපොල දැක බලාගෙන එන්න

    • arunishapiro said, on අගෝස්තු 14, 2012 at 7:08 පෙ.ව.

      Kandyan,

      //නමුත් බොහෝ අයගේ කතා ඇත්තද කියන එක ලොකු ප්‍රශ්ණයක්.//

      ඒත් ඒ සියල්ලන් ට ම පොදු වූව, එනම් දාල ආපු රටේ දී තමන්ට යා හැකි දුර අවහිර වීම අසත්‍ය්‍යක් නෙමෙයි නේද?

      ආර්ථික වාසි සොයා යන මචං ලා කෙසේ වෙතත් දේශපාලන සරණාගතයන් ද කරන්නේ නැවත ගමන් කරන්නට සහතිකයක් ලැබිච්ච ගමන් ගම රට බලා දුවන එකනෙ. ඒක ම තමයි ඒ රටවල පාලකයන් නොදකින දෙය: එනම් මේ මිනිස්සු තමන්ගේ ඥාතීන් මිතුරන් දේපල හැර දා සොයා යන්නේ කුමක් ද? තමන් කැමති තරමින් වෙහෙස වෙන්නට ඉඩක් හා ඊට තරඟයෙන් දිනාගන්න වැටපුක්.

  12. Indika Upashantha said, on අගෝස්තු 18, 2012 at 5:16 ප.ව.

    මචං චිත්‍රපටයට් පාදක වූ සැබෑ තරඟය බලන්න පහත සබැඳියෙන් යන්න. මචං ගැන කියන්න ගොඩක් තව දේවල් තිබ්බත් ලියන්න හිත නිදහස් නෑ.

  13. Nuwan Prabhath said, on අගෝස්තු 23, 2012 at 1:24 ප.ව.

    Mamath “machan” keepa parakma balala tiyenawa. Eke minissu lankawe inna e aya adare karana aya okkoma dala aye noyenna ena gaman yanne. Ehema yanna manasika thathwayak hadenna kochchara dewal wenna oneda. Mata mathakai eke, eka tanaka kiyanawa Germany wala hulagath sapai kiyala. Ada mehe hugak aya Australia walata boat walin yana hadana eka mee film eke kiyana kathawatath wada wadagath mama hithanne. Mokada e aya yanne life ekatath loku risk ekak aragena. Kanna bonna nathuwa kawada maraida danne nathuwa. Mama nam hithanne boat walin yana eka ganath film ekak awoth meeta wada hoda wai eka.
    Berlin gana kiwwa nisa mathak une Berlin Air Lift eka. Eka kiyewwahama mata teruna US, Uk and France Berlin wala hitapu badagini minissu haamathe marena eka nawathwanna kochchara mahansi unada kiyana eka. Ekath USSR eken Air corridor dala aircraft ena limit karanna hadalath hama 30 second walatama sarayak 1 aircraft ekak west Berlin walata awa. Eka nikan hariyata loku conveyor belt ekak wage.

    • arunishapiro said, on අගෝස්තු 23, 2012 at 1:55 ප.ව.

      Nuwan,

      බර්ලින් එයාර් ලිෆ්ට් ගැන කියන්න සිංහලෙන් ඉතිහාසය උගන්වන ආචාර්යවරු කොතරම් කාලයක් මිඩංගු කරනවා දැයි දන්නේ නැහැ. සිංහලෙන් කියවන්නා හිතන්නෙ රුසියාව දෙවැනි ලෝක යුද්ධෙන් හිට්ලර් පරාජය කරන්න ඔන්න මෙන්න තිබිය දී ඇමෙරිකාව පැත්තක ඉඳලා ඇවිත් එකතු වුනා කියලානේ.

      1961 දී බර්ලිනයේ රුසියානු හිතවාදී Walter Ulbricht නිසා බර්ලින් තාප්පයක් ඉදි වී 1990 වෙනකන් නැගෙනහිර ජර්මානුවන් මරණ බයෙන් රුසියාවට කත් ඇද්දේ නැත්ද කියලා අහන්නෙ කාගෙන් ද, සිංහලෙන් කියවන්නා ඒ ඉතිහාසය දන්නෙ නැති නිසා.

      ඒ වගේ ම ඇයි ජවිපෙට කැමති වෙච්ච බහුතරයක් එකතු කරගන්න බැරිවුන ලංකාවේ අයට 87-89 භීෂණ සමයකට ඉඩ ලැබිච්ච හැටි අමතක?

      තතු සොයා බලන්න උවමනාවක් නැති කම ද? නැත්නම් බටහිර ධනවාදය නම් මෙයැයි කියා ඔවුන් අල්ලා ගෙන ඉන්නා වැරදි ආකල්පය තුලින් දැවෙන වෛරයෙන් කැමැත්තෙන් ම මුලාවේ වෙලී සිටීම සතුටක් නිසා ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: