අරුණි ශපීරෝ‍ වෙතින්

සතුට හඹා යන්නට නොපසුබට මිනිසුන් හැම දා සිටියහ

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 14, 2012

පළමු ලෝක යුද්ධය හෙවත් Great War අවසානයේ දී ලොව දෙවැනි ජනාකීර්ණ නගරය වූයේ බර්ලිනයයි. දැවැන්ත කාර්මික ප්‍රගතියක්, ඉදි කිරීම් යුහුසුළු වූ පරිසරයක ධනය වේගයෙන් වැඩි වූයේ මැද පංතියට හා ඉහළ පංතියටයි. දුප්පත් පංතියෙන් ගැල වී මැද පංතියක් හැදෙනා විට ප්‍රංශ විප්ලවයට පෙර පැරිසියේ දැකිය හැකි වූ චින්තන විප්ලවය බර්ලිනයේ ද සිද්ධ විය.

1920 දී රසායන විද්‍යාවට නොබෙල් තෑග්ග දිනුවේ ජර්මනියේ Walther Hermann Nernst. නොබෙල් සාම තෑග්ග දිනුවේ Léon Bourgeois. ඔහු පැරිසියේ වැසියෙකි. සිය ජීවිත කාලය පුරා මිනිසාගේ උන්නතිය ඇති කරන අධ්‍යාපනය, නීතියෙන් යුක්තිය ඉටු කිරීම, සෞඛ්‍ය පහසුකම්, යුද්ධ අලෝපනය (abolition) යනාදී උත්කෘෂ්ටයන් වෙනුවෙන් පෙනී සිටියෙකි. ඒවා සාක්ෂාත් වෙන්නේ කෙසේදැයි නොසොයා ඒවා උත්කෘෂ්ට ලෙසින් සැලකීම හා ඒ වෙනුවෙන් වූ හැමදා අසාර්ථක නීති ගෙනෙනා අය ලොව බොහොමයකි. 2009 දී ඔබාමාට ලැබි සාම තෑග්ග බුර්ෂුවාටත් ලැබි තිබුණි. පහසුවෙන් ජයගත හැකි වුවත් දෙවතාවක් ම ජනධිපති තරඟයට නොගිය ප්‍රංශ බුර්ෂුවා නම් බලතණ්හාධිකයෙක් නොවීම ගැන පැසසිය යුතුයි!!!

1924-25 කාලයේ දී ජර්මන් ජාතික Walter Ulbricht මොස්කව් හි ලෙනින් පාසැලේ අයිඩියලොජි පුහුණුව ලබයි. ලෙනින් ඇමතූ සභාවක සිටිය ඔහු පසුව හිට්ලර් ජර්මනියෙන් බැහැර ව රුසියාවට වී සිටියි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර ජර්මනියේ සෝවියට් බලයේ පෙරමුණ ගන්නා ඔහු මොස්කව් වලින් එන අණ අනුව තම ජර්මන් ජාතිය පාවා දෙන්නෙකි.

1953 ජූනි මාසයේ දී “අපිට නිදහස ඕනෑ, අපිට පාන් ඕනෑ, අපිට සියළු රුසියානුවන්ට ගහලා මරා දමන්න ඕනෑ” යැයි දහස් ගණනින් ශ්‍රමික කම්කරුවන් වෙතින් නැඟ ආ උද්ඝෝෂණය මාර්ක්-එන්ගල්ස්-ප්ලාට්ස් හි පැවත්වුණි. 1953 ජූනි 17 වැනි දා මිලියන භාගයක් සේවකයන් රට පුරා සෝවියට් ආණ්ඩු ක්‍රමයට එරෙහිව වර්ජනයේ යෙදී සිටියහ. විරෝධය පළකරන්නන් විසුරුවා හරින්නට සෝවියට් IS-2 යුද ටැංකි වල නැඟි VoPos හමුදාව මුලින් ම වෙඩි තැබුවේ නැගෙනහිර බර්ලිනයේ 14 හැවිරිදි Rudi Schwander නම් බේකරිකාරයෙකුගේ පුතා ට ය. නැඟී සිටි ජර්මානුවන් 513 ක් අරගලයේ දී මරණයට ලක් වූහ. විරෝධය පෑ අය ගෙදර ගියහ. ඉන්පසුව ඊට සහභාගී වූ තවත් ජර්මානුවන් 106 ක් වෙඩිතබා මරන ලදි.

“Die Lösung” නොහොත් විසඳුම යැයි Bertolt Brecht අතින් මෙසේ කවියක් ලියැවෙයි.

ජූනි 17 වැනි දා විරෝධතාවයෙන් පසුව
ලේඛකයන්ගේ වෘත්තීය සමිතියේ ලේකම්
ස්ටාලින් වීදියේ පත්‍රිකා බෙදාහැර තිබුණි
එහි කියැවුනේ
ජනතාව විසින්
ආණ්ඩුවේ විශ්වාසය බිඳ දැමුවා කියාය
ආයෙත් එය දිනාගත හැක්කේ
වෑයම් දෙගුණයකින් වැඩි කිරීමෙන් කියාය
එහෙම නම් තත්වය
ආණ්ඩුවට වඩා පහසු නැද්ද
ජනතාව විසුරුවා හැර
වෙනත් ජනතාවක් පත්කර ගැනීම?

ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටි සෝවියට් ක්‍රමයේ නායකයන් වූ Ulbricht ලා නම් ජීවත් වෙන්නේ සෙසු වැසියන් ගෙවනා දරීද්‍රතාවයෙන් නොවෙයි. ඔවුන් සැප පහසුකම් ඇති Functionaries Club-house සංකීර්ණයක් හදා ගනියි. ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල අයගේ ආහාර පිසෙන්නේ දක්ෂ සූපවේදීන් අතින්. රට්ටුන්ට නැති අහාර පිටරටෙන් ගෙන්වා ඔවුන්ගේ පරිහරණයට අඩු මිලට මිල දී ගත හැකි කඩයක් ද විය. Lotte Ulbrict ට ජොනතන් ඇපල් කන්නට සිත් වී බුල්ගේරියාවෙන් ඒවා ගෙන්වා ගැනිණ. වොල්වෝ වාහන ලැබිණ. අනුන්ට ඇති මාර්ග රීති නොසලකා (වේගයෙන් යන්නට) ගමනාගමනයට පක්ෂ නායකයන්ට පමණක් “A” සහතික නිකුත් විය.

1961 දී බෙකර් නිවස පිහිටියේ බර්ලින් තාප්පය ඉදි වෙන්නට පෙර කටු කම්බි වැටවල් හතරක් හා ඉනි වැටක් ගැසූ මායිමෙන් සෝවියට් පැත්තේ ය. අර්වින්ට වයස 27 කි. හේ රියැදුරෙකි. 21 හැවිරිදි බෲනෝ ඉලෙක්ට්‍රීෂියන් ය. 22 හැවිරිදි ගර්ඩා ධනවාදී සුඛෝපභෝගී හැදියාවන් බෝ වී තිබි Grenzgänger නමින් හංවඩු ගැසුණු කාන්තා කොණ්ඩ කපන විලාසිතා දමන්නියකි. 18 හැවිරිදි ක්‍රිස්ටල් සේල්ස්ගර්ල් කෙනෙක් වෙන්නට පුහුණු වෙයි. ඔවුන් තම බෙකර් නිවසේ ඇතුලතින් පටන් ගත් උමගක් හාරා බර්ලින් තාප්පය ඉදිවෙන්නට පෙර කටු කම්බි වැටවල් යටින් උමග දිගේ ධනවාදී ජර්මනියට යන්නට සමත් වෙන්නේ අසල්වැසියන් ද එකතු කරගත් 28 දෙනෙකුගෙන් යුතු පිරිසක් හැටියට ය. කතාව William A. H. Birnie ලියන The January Tunnel ය.

1961 දී මායිම් මුර කළ මුරකරුවෙකි Conrad Schumann. හේ කම්බි වැට පැන අනිත් පැත්තට ගියේය.

උමං උත්සාහයන් තවත් සිද්ධ විය. සමහර ඒවා අසාර්ථක වී ජනතාව වෙඩි කා මියගියහ, සිරගත වූහ. 1964 දී 57 වැනි උමග යන සාර්ථක උත්සාහයෙන් පිරිමි, ගැහැණු හා දරුවන් 57 දෙනෙකු අනිත් පැත්තට ගියහ.

1971 දී Peter Döbler නම් වෛද්‍යවරයෙක් පැය විස්සකට වඩා කාලයක් බාල්ටික් මුහුද පිහිනා අනිත් පැත්තට ගියේය.

1983 දී Holger Bethke යකඩ කේබල් කම්බියක ලී pulleys දාගෙන මායිමේ මීටර් 200 කින් වූ ‘මර උගුල’ පසුකර පළා ගියේය.

1984 දී Kerstin Beck සෝවියට් නැගෙනහිර ජර්මනියෙන් පැන යන්නේ සෝවියට් යටතේ වූ ඇෆගනිස්ථානයේ සිට පාකිස්තානය හරහා මුස්ලිම් කාන්තාවක් සේ වෙස් වලා ගෙන ය.

මිනිසාගේ උන්නතිය අධ්‍යාපනයෙන් සැලසෙන බව සැබෑය. එහෙත් අධ්‍යාපන හැඩ ගසන්නේ කවුද? කොහොම ද? කාගේ කැමැත්ත අනුව ද? සැවොම ලැබිය සුදුසු අධ්‍යාපනයේ වැය දරන්නේ කවුද? ධනපතියන් දුප්පතුන් සූරා කනවා යන මුලාවෙන් ඇමෙරිකන් මහාචාර්යවරුන් ද සිටිනා විට ඉතිහාසය පුරා ජනතාව වැඩියෙන් සුරා කෑවේ ආණ්ඩු යැයි නොදැකීම කොතරම් අභාග්‍යයක් ද?

විභාගයක් සමත් වෙන්න තරම් දැනුමක් ලබා දෙන්නට අසමත් ගුරුවරු පාසැල් වල සිටීම දරුවන්ගේ වැරැද්දක් ද? එහෙත් ගුරුවර වෘත්තීය සමිති හැමදාම සටන් වදින්නේ තම පඩි වැඩි කරගැනීමට දරුවන්ගේ අනාගතය පිණිස වෙහෙසෙනවා කියමිනි.

අසාර්ථක වූ ඇමෙරිකන් ක්‍රමයක් අගයමින්, තම පඩි වැඩිකරගන්නට වර්ජනයේ යෙදෙමින්, විශ්ව විද්‍යාල සිසුන් අමතක කර දමා ඇති කැම්පස් විද්වත් ඇදුරන් නොදන්නේ ඇමෙරිකාවේ අධ්‍යාපන නිදහස රැකී ඇති සැටියි. 1925 දී Pierce v Society of Sisters නඩු තීන්දුව අනුව “දරුවෙක් යනු රජයේ සත්වයෙක් පමණක් නෙමෙයි” යන්න ප්‍රකාශ කළ සුපිරි උසාවියේ ජේම්ස් මැක්රෙනොල්ඩ්ස් සුපිරි උසාවියේ ඒකමතික තීරණයකින් “ආණ්ඩුවේ සේවයේ ගුරුවරුන් ගෙන් පමණක් ඉගෙනීම ලබත හැකි” බලය රජයෙන් ඉවත් කළේය. සංක්‍රමණිකයන් ගෙන එන ‘ඇමෙරිකන් නොවන අගැයුම්’ යැයි හංවඩුවක් ගසා තම බලය වැඩි කරගන්නට තැත් දැරූ අන්තවාදීන්ට ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබුණි. තවත් විදියකින් කියනවා නම් අයෙකුගේ සතුට කුමක් දැයි තීරණයට තවකෙකුට ඉඩක් නොලැබුණි.

ඒ නඩු තීන්දුව සහතික කරන්නේ සාර්ථක අධ්‍යාපන ක්‍රමයයි. 2010 දී ජර්මනියෙන් ආ පවුලකට ඇමෙරිකාවේ අධ්‍යාපනික සරණාගතයන් වීමට අවසර ලැබි හැටි ගැන මා කළින් ලියු සටහනක් මෙතැනින් කියවන්න.

2012 දී පීටර් තීල් ශිෂ්‍යත්වයක් ලැබ ඇත්තේ Taylor Wilson ට ය. ලෝකයේ වැඩකරන nuclear fusion reactor එකක් හදන ළබාල පුද්ගලයා වන්නට (වයස 14) හේ 2008 දී සමත් වෙයි. ආණ්ඩුවේ සහාය ලැබී හේ Cherenkov radiation detectors, සාමාන්‍ය්‍යෙන් ඩොලර් දහස් ගණනක් වෙන්න ඩොලර් සිය ගණනක අඩු මිලට හදන්නට සමත් වෙයි. 2011 දී ඔහුගේ උත්සාහය Intel International Science and Engineering Fair දී 1,500 ක් තරඟකරුවන් අතරින් $50,000 ක තෑග්ග දිනාගන්නට සමත් වෙයි. ඔහුගේ ව්‍යාපෘතියේ නම “Countering Nuclear Terrorism: Novel Active and Passive Techniques for Detecting Nuclear Threats” ය. ඔහු දැනට නෙවාඩා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ටත් නිල නොමැතිව කරුණු කාරණා කියා දෙන්නෙකි. එහෙත් ප්‍රථම උපාධියක් නැත.

2012 දී ඔහුට පිරිනැමෙන්නේ තීල් ශිෂ්‍යත්වයයි. අයින් රෑන්ඩ් අගයන පීටර් තීල් ගැන මා කළින් මේ අඩවියේ ලියා ඇත්තෙමි. ඩොලර් ලක්ෂයක් ලැබෙන ඒ ශිෂ්‍යත්වයේ කොන්දේසිය විශ්ව විද්‍යාලයෙන් වසර දෙකක් බැහැර ව සිටීමයි!!!!

බුර්ෂුවා අදහස් වලින් අනුන්ට සැලසුම් ගැසීම නවතා, ආණ්ඩුවක් විසින් දිනුම් ලබන්නේ කවුදැයි පරදින්නේ කවුදැයි තීරණය නවතා, සතුට සොයා යන ගමනට සැමට ඉඩකඩක් ලබා දෙන ඇමෙරිකාවේ සාර්ථක වූ නීතීන් දකින්නට හැකි වු දාට ජර්මනියට වගේ ම අනිත් රටවල් වලට ද උන්නතිය කරා යන්නට හැකිය.

අනුන්ගෙන් යැපෙන්නට නොව තමන් වෙනුවෙන් වෙහෙසෙන්නට කැමති අයගේ ජන හඬට සවන් දෙන්න. වෙහෙසෙන්නේ ඔවුන් නිසා එවිට රටත් ජාතියත් ඉදිරියට ම යනු ඇත. නැත්නම් ජර්මන් කෙල්ලෝ හිජාබ් ඇඳන් පැන ගියා සේ සිංහලයන් ද්‍රවිඩයන් සේ වෙස්වළා ගෙන රටින් පැන යන්නට මාළු බෝට්ටු හොයන දවසක් ඒවි ද?

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. Budditha Fernando said, on අගෝස්තු 14, 2012 at 11:28 පෙ.ව.

    වටිනා දේවල් ඉගනගත්තා.. ”Taylor Wilson : Yup, I built a nuclear fusion reactor” ඒ අතරින් එකක් පමණයි!

    • arunishapiro said, on අගෝස්තු 15, 2012 at 6:47 පෙ.ව.

      Budditha,

      වයස 14 ක දරුවෙක්ට ගෙදර ගරාජ් එකේ දී නිර්මාණයක් ලෝකයට බිහිකරන්න රට පටන් ගත් දා සිට අද තෙක් හැකියාවක් තියෙන නිසා තමයි ඇමෙරිකාව ලෝකයේ ඉදිරියෙන් ඉන්නෙ කියන එක වෙන රටවල් අවබෝධ කරගත් දා ට තමයි ඇඟිලි දික් කර කර අනුන්ගෙ වැරදි කියන එක නැවතෙන්නේ.

      එහෙම යමක් ඉදිරිපත් කළාම රටේ ඉන්න විශ්ව විද්‍යාල මහාචාර්යවරු, රටේ ආණ්ඩුව, රටේ ව්‍යාපාරිකයන් සියල්ලම අත දෙනවා මිසක එයාව තමන්ගෙ පක්ෂය දිනවන්න පාවිච්චි කරන්නේ නැහැ කියන එකත් වැදගත්!!!!

      මේක Buddhitha නම් දකින්න ඇති. මේ අනිත් අයට.

  2. Maathalan said, on අගෝස්තු 14, 2012 at 11:45 පෙ.ව.

    ළිපිය එහි අදහස් හා කවි ටික මල් මසුරං. කොහෙන්ද අනේ කවි ටික සොයා ගත්තේ. ඔය හිජාබ් එකට හැංගිලා දැනටමත් ලොකු පාතාල ගේම් යනවා කොළඹ. ඒ ගැන මගේ අදහසක් තියෙනවා නමුත් මෙතන ලියන්න මම කැමති නෑ.

    • arunishapiro said, on අගෝස්තු 15, 2012 at 6:57 පෙ.ව.

      Maathalan,

      කවිය මුලින් ම දැක්කෙ Bertolt Brecht ගැන විකිපීඩියා අඩවියෙන්. එහි කියන විදියට මුලින් පළ පළවෙන්නෙ Die Welt හි 1959 දී. අනතුරුව Buckow Elegies in the West හි 1964 දී. නැගෙනහිර ජර්මනියේ (GDR) හි මුලින් ම පළවෙන්නෙ 1969; Helene Weigel විසින් එය Brecht ගේ නිර්මාණ වල එකතුවෙන් වූ පොතේ අඩංගු කරන්න යැයි ඉල්ලා සිටියාලු.

      පසුව ළඟක දී මම කියවමින් සිටි Berlin Wall, A World Divided 1961-1989 පොත කියවද්දි කවිය නැවත කියවන්නට ලැබුණා.

  3. මිස්ටර් හයිඩ් said, on අගෝස්තු 14, 2012 at 12:54 ප.ව.

    ජර්මනිය ආක්‍රමණය කරන්න ආපු රුසියන් සොල්දාදුවෝ ගෙවල් මංකොල්ල කන එක පැත්තක තියල ජර්මන් ගෙවල් වල තියෙන අමුතු ගැජමැටික්ස්(කොමඩ් එකේ පිස්ටන්,කාර්) පරිහරණය කරන්න උත්සහ කලා කියලා ජර්මන් කාන්තාවක් බිබිසි පොඩ්කාස්ට් එකක කිව්වා මතකයි.

    බටහිර ජර්මනියට කුඩා අහස් යාත්‍රාවකිනුත් කට්ටියක් පැනලා ගිහිල්ලා තියෙනවා

    • arunishapiro said, on අගෝස්තු 15, 2012 at 7:59 පෙ.ව.

      නැගෙනහිර රතු ජර්මනියේ බර්ලින් නගරය ඉතා කුඩා කොටසක්. බෙදෙන්නට පෙර තිබි රටේ අගනුවර නිසාත්, තාක්ෂණයෙන්, දැනුමෙන් හා වස්තුවෙන් වැඩි එය අත්හැර දැමුවොත් ඉතුරු මහා විශාල රතු නැගෙනහිර ජර්මනිය අල්ලා ගත්තාට ඇති වාසියක් නැහැ කියල තමයි බහුතර රතු මතය වූයේ. 1920 ගණන් සිට රතු හමුදාවන් ජනතාවගේ නාමයෙන් හැමදාම අල්ලා ගත්තු සශ්‍රීක රටක්, තමන්ට උවමනා විදියට සැලසුම් ගැහැව්වට, එහි නිදහස් මිනිසුන් නොවූ නිසා බංකොළොත් වී ගිය බව දකින්නට හැකියාවක් තිබ්බෙ නැහැ.

      දෙවැනි ලෝක යුද්ධයේ allies නොහොත් එකතු වී සටන් වැදි රටවල් වලට අයිති වූ බර්ලිනයේ කොටස තමයි ඇමෙරිකානුවන් බලාගත්තෙ. දෙවැනි ලෝක යුද්ධයේ allies අතර බලවතුන් වූයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය, සෝවියට් යුනියනය. ඊට අමතරව ප්‍රංශය, චීනය, බෙල්ජියම, බ්‍රසීලය, චෙකොස්ලෝවැකියාව, ඉතියෝපියාව, ග්‍රීසිය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නෝර්වේ ද වගේ ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉන්න ඉන්දියාව කැනඩාව එහෙමත් allies ලා. මේ අයට තමයි මුලින් ම ‘එක්සත් ජාතීන්’ යන වචනය ඇමෙරිකන් ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් අතින් වැටෙන්නෙ.

      ප්‍රංශය ඔවුන්ට ද, බ්‍රිතාන්‍ය ඔවුන්ට ද, රුසියාව තමන්ට ද කොටස් වෙන් කරගන්නවා බර්ලිනයේ ඇබිත්තන් ඉඩකඩ තුල.

      බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ට ඕනෑ වුනා බර්ලිනයට ගිහින් එහි සෝවියට් අය එලවා දමන්න. යුද්ධය මෙහෙයවපු ඇමෙරිකන් ජනාධිපති රූසවෙල්ට් මිය යනවා. අලුතින් ම බලයට පත්වෙන ඇමෙරිකන් ජනාධිපති ටෲමන් තවත් යුද්ධයක් පටන් ගන්න කැමති වෙන්නෙ නැහැ. ජූලි මාසේ දී චර්චිල් පරදිනවා. දෙවැනි ලෝක යුද්ධය (හිට්ලර් ජර්මනිය හා ජපානයට විරුද්ධව) දිනපු allies ප්‍රබලයන් අතරින් ඉතිරි වෙන්නෙ ජෝසප් ස්ටාලින්!!!

      ඇමෙරිකන් හමුදාව Elbe ගඟ පැත්තෙ එයාලට නීත්‍යානුකූලව ලැබිච්ච කොටසට ගිහින්. එතකොට NKVD ඇතුළු සෝවියට් අය තමයි මිස්ටර් හයිඩ් කියන විදියට ඒ පැතිවලට ඇතුල්වෙන්නෙ.

      ප්‍රංශය, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අයිති කොටස් තුනට තිබ්බෙ එක ආණ්ඩුවක්, Kommandatura. එයාලගේ තීරණ ඒකමතික වෙන්න ඕනෑ. රුසියාවේ ස්ටාලින්ට වගේ තනි තීරණ ගන්න බලයක් තිබ්බෙ නැහැ. ඉතින් එයාලට තිබ්බෙ Greater Berlin වල යමකට විරුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන් චන්ද එක එක බැගින්.

      අනික් එක තමයි, රතු ආක්‍රමණයෙන් වට වූ නැගෙනහිර ජර්මනියේ allies ලාට ලැබෙන කොටස් තියෙන බර්ලිනය පැවතෙන්නෙ සැතපුම් 100 (කිලෝමීටර් 160) රතු ජර්මනිය මැද්දෙන් ගියාමයි!!! ඔවුන්ට ඊට ඇතුල්වෙන්න ලැබෙන්නේ කුමන නීති යටතේ දැයි එවිට සැලසුමක් කවුරුත් කරලා තිබ්බේත් නැහැ.

      1948 දී සෝවියට් යුනියනය බර්ලිනයේ සියළු කොටස් අල්ලා ගන්නට වෑයමක් ගන්නෙ බටහිර බර්ලිනයෙන් යන එන දුම්රිය, ඇල හා මහාමාර්ග ගමනාගමනය අවහිරයෙන්. එය හැඳින්වෙන්නෙ Berlin Blockade නමින්. ජනතාව බඩගින්නේ තියලා එයාලට ලැබෙන ආහාර හා වෙළඳාම අඩු කර (අර විසිතුරු ලියලා තියෙන වඳුරන්ගේ කතාව කියවන්න) පාලනය අල්ලා ගන්න තමයි එයාලා හැදුවේ. එතකොට ඇමෙරිකාවේ සිටි හැරී ටෲමන් ගේ ආණ්ඩුව දිනපතා ආහාර හා අනිකුත් බඩු ගුවනින් බටහිර බර්ලිනයට ගෙනියන මෙහෙයක් අරඹනවා. Berlin airlift නමින් හැඳින්වෙන්නේ එයයි. සෝවියට් ආණ්ඩුව මාර්ග අවහිරය ඉවත් කළත් 1949 සැප්තැම්බරය දක්වා මේ ගුවනින් ආහාර හා භාණ්ඩ සැපයීම නැවතෙන්නේ නැහැ.

      බටහිර ජර්මනියට පැන ගිය විවිධ වූ ක්‍රම හා ඊට සමත් වූ අය ගැන ලියැවී ඇති කතන්දර බොහොමයක්.

  4. wicharaka විචාරක said, on අගෝස්තු 14, 2012 at 11:35 ප.ව.

    හරිම ඉහලයි අරුණි, හරිම ඉහලයි. උපහාසය පැත්තක තියමුකෝ. එය දිනපතාම අපේ රටේ දෝරේ ගලනවානේ. මේ ලිපියේ ගැඹුරෙන් ඇති යතාර්ථය තේරුම්ගන්න බැරිකමද ඕනෑ නැති කමද තියෙන්නේ වගකිවයුතු සියලු දෙනාට. වැඩ වර්ජනය කිරීමේ අයිතිය කියන ඒක අද අපේ රටේ තියෙන්නේ ගණිකා වෘත්තීය තියන මට්ටමෙමයි. දොස්තර කෙනෙකුට ලෙඩෙක් බැන්නොත් වර්ජනය කරනවා. නීති කඩන පුද්ගලික බස් රියදුරන්ට පොලීසිය දඩ ගැහුවොත් වර්ජනය කරනවා. වර්ජනයක් ජය ගැනීමෙන් පසු ඒ ජයග්‍රහණය වෙනුවෙන් වර්ජිත කාලයේ සිදුවූ හානිය මගහරවන්නට අමතර කාලයක් වැඩ කරමුද කියලා ඇහුවොත් එයට විරුද්ධව ආපහු වැඩ වර්ජනය කරනවා සිකුරුයි.

    අපේ රටේ සමස්ත නීති පද්ධතිය අද කාලයට සරිලන පරිදි සංශෝධනය කරනු වෙනුවට එදා වේල ක්‍රමයට පැලැස්තර ඇලවීම තමයි පසුගිය අවුරුදු 50 අරගෙන බැලුවත් සිදුවී තිබෙන්නේ. සියලු ජාතීන්ට පොදු නීති පද්ධතියක් නොගෙනාවොත් බෙදුම්වාදය මීට වඩා දරුණු ස්වභාවයෙන් හිස ඔසවනු නොඅනුමානයි.

    ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී, (සිංහල භාවිතය අඩුවීම නිසා යයි සිතමි) ඔබේ මතකයෙන් ගිලිහුන සමහර සිංහල වචන (Ideology = දෘෂ්ටිවාදය, සංකල්ප විද්‍යාව) (Electrician = විදුලි ශිල්පී) සොයා ගැනීම සඳහා මධුර ශබ්දකෝෂය භාවිත කරන්න.
    http://download.cnet.com/Madura-English-Sinhala-Dictionary/3000-2279_4-10571464.html

    • arunishapiro said, on අගෝස්තු 15, 2012 at 8:05 පෙ.ව.

      wicharaka විචාරක,

      වගකිව යුතු අය තේරුම් ගන්නවා. හැමදාම ඉතිහාසය පෙන්නුම් කරන්නේ එයයි. ලෝකයේ පැවැත්ම හා මිනිසාගේ පැවැත්ම තවමත් ආරක්ෂා වී ඇත්තේ ද ඒ නිසයි. එහෙත් වගකිව යුතු අය කියන්නේ කවුදැයි හඳුනාගැනීම තමයි ටිකක් පරක්කු!!!

      //සියලු ජාතීන්ට පොදු නීති පද්ධතියක් නොගෙනාවොත් බෙදුම්වාදය මීට වඩා දරුණු ස්වභාවයෙන් හිස ඔසවනු නොඅනුමානයි.// සත්‍යය එයයි. එහෙත් මුලාවෙන් රැවටිලා ඉන්න අයව සතුටු කර බලයෙන් ටික කාලයක් සැප විඳීම පහසුයි.

      සමහර වචන සමහර අවස්ථාවල දී කියවන්නාට හුරු විදියට දැම්මාම අදහසේ ගැම්ම වැඩියි.

  5. සත් සමුදුර said, on අගෝස්තු 15, 2012 at 1:32 ප.ව.

    නොදන්නා දේවල් රැසක් දැනගත්තා සේම මම වසරකට ආසන්නයකට පෙර ලියූ ලිපි දෙකක කාරණා නැවතත් මගේ මතකයට නැගුනා. බොහෝ දෙනෙක් සෝවියට් සමාජ වාදය කියන්නේ කෝකටත් තෛලය ලෙසයි හිතා සිටින්නේ. ඔබේ ලිපිය තරම්ම ගැඹුරින්ම නැතිවුනත් එදා මා ඒ දේවල් කියූ විට බොහෝ දෙනෙකුට රිදුනා. රිදී නොසෑහෙන්න බැන්නා. ඒත් මම එදත් පුන පුනා කියුවේ චේ ගු‍වේරා රැවුල වැවූ ලංකාවේ බොරු සමාජවාදීන්ගේ, විමුක්ති කාමීන්ගේ අදහස් වලට වඩා ලෝකය දෙස නුවණින් බලන ලෙසයි. මම එම ලිපි දෙකේ සබැදියන් ලබා දෙන්නම්. ඔබ එයට අකමැති නොවේයයි සිතනවා.
    http://sathsamudura.blogspot.com/2011/09/another-secrets-about-hitler.html
    http://sathsamudura.blogspot.com/2011/09/international-politics.html

    • arunishapiro said, on අගෝස්තු 15, 2012 at 1:56 ප.ව.

      සත් සමුදුර,

      සබැඳි වලට ස්තූතියි.

      සිංහලෙන් කියවන්නාට දැනුම ලබාගත හැකි තැන් දිහා බැලුවාම ඒ අයගෙ වැරැද්දක් යැයි කියන්න බැහැ. වෘත්තීය සමිති වලින් පඩි වැඩි කරගන්න හදන කැම්පස් ගුරුවරැ ඉතිහාසය උගන්වන්නෙ, ආචාර්ය පට්ටම් ඇති අය දේශප්‍රේමි පත්තර වලට ලියන්නෙ වාමාංශික නැඹුරුවෙන් පමණයි. අනික ඔය පුංචි මඩවළේ ඉන්න අය ගැන කුමන කතා ද, ජර්මානුවන්, ඉන්දියානුවන් එහෙමත් රවටන්නට පුළුවන් වෙච්චි කල.

      ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් එයාලා දකින්නෙ ආණ්ඩුවකට හේත්තු වෙලා තමන්ගෙ මල්ල පුරවා ගන්න අය ධනවාදීන් විදියට. අනුන් වෙතින් යැපෙන ඔවුන් පරපෝෂිත තඩියන් මිසක් සත්‍ය්‍ය ධනවාදයක නියැළෙන අය නෙමෙයි කියාත් දන්නේ නැහැ. සත්‍යය ධනවාදියෙක්ට ලංකාවේ ජීවත් වෙන්නත් බැහැනේ!!!!

      • සත් සමුදුර said, on අගෝස්තු 16, 2012 at 12:56 පෙ.ව.

        සම්පූර්ණයෙන් ඇත්ත. සියළුම කාරණා සමගම එකඟවෙන අතරේ සත්‍ය ධනවාදියෙකුට ලංකාවේ ජීවත්වෙන්න බැහැ. සත්‍ය ධනවාදය යනු කුමක්දැයි වටහා ගෙනත් නැහැ. ලංකාවට ධනවාදය කියා පෙනෙන්නේ අනුන් වෙතින් යැපෙන අයුතු ලෙස සම්පත් පරිහරණය කිරීම තමයි. ඒ නිසා තමයි තමන්ගේ ශක්තියෙන් නැගී සිටීම වෙනුවට අසාර්ථක සමාජවාදී සංකල්ප (මෙයින් සමාජවාදය මුළුමනින්ම අසාර්ථක යයි අදහස් කිරීමක් නොකරන අතර සමාජවාදය ධනාත්කවය යෙදවීම වෙනුවට එහි ඍනාත්මක පැති ආදේශ කිරීම අදහස් කරමි) ඔබ්බවන්නට හදමින් ආගම්වාදය හා ජාතිවාදය මත පදනම් වූ ක්‍රමයක් මත ජීවත්වන්නට සිදුව ති‍බෙන්නේ…

        • arunishapiro said, on අගෝස්තු 16, 2012 at 8:28 පෙ.ව.

          සත් සමුදුර,

          සමාජවාදය සාර්ථක එකම එක තැනක දී පමණයි. ඒ පවුල යන කුටුම්භය තුල දී. එතැනින් එහා සමාජයට එය ගෙනියන්නට බැහැ. පුරවැසියන්ගේ ප්‍රගතියක් සැලසෙන කිසිදු සාර්ථක සමාජවාදී සංකල්පයක් නැහැ. සමාජවාදය යනු ධනාත්මකව සමාජයක් තුල ක්‍රියාවට නැංවීමට බැරි වූවක්: මිනිස් ස්වභාවයට හා ලෝක ස්වභාවයට පටහැනි වූවක් නිසා.

  6. […] නැවතත් අසාර්ථක ප්‍රතිඵල පෙන්වයි: නැගෙනහිර ජර්මනිය, කියුබාව, වර්තමාන […]

  7. […] දරන්නේ කවුද? එදා සෝවියට් රැසියාවේ, නැගෙනහිර ජර්මනියේ, චීනයේ සහ අද ලංකාවේ සහ වෙනෙසියුලාවේ ද […]

  8. mppgunasinghe said, on ඔක්තෝබර් 6, 2016 at 9:10 පෙ.ව.

    දැනුයි මෙතනට පැමිණියේ ලිපිය හරවත් වගේම ඉතාම රසවත්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: