අරුණි ශපීරෝ‍ වෙතින්

යුරෝපයෙන් එන්නේ බටහිර සභ්‍යත්වයේ අවසානය ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 16, 2012

1973 දී ප්‍රංශ බසින් Jean Raspail ලියූ The Camp of the Saints නවකතාව බටහිර සභ්‍යත්වයේ අවසානය ගැන අනාවැකියක් කියන්නකි. මා කියවා ඇත්තේ Norman Shapiro කරන ලද ඉංග්‍රීසි පරිවර්තනයයි. 2011 දී ඒ නවකතාව පණ ගැන්වෙන හැටි ඉතාලියේ ලැම්පඩූසා දූපතෙන් අහන්නට ලැබුණු විස්තර සටහන මෙතැනින්.

විචාරයට වහාම පිවිස ලිහා ගත යුතු අවුල් බොහොමයකි. මුලින් ම යුරෝපීය පුරවැසියා යනු කවුද?

යුරෝපීය යුනියනය හැදෙන්නේ රටවල් 27 කින්. ඔස්ට්‍රියාව, බෙල්ජියම, බොල්ගේරියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්ක්, එස්ටෝනියා, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මොල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලොවේනියා, ස්පාඤ්ඤය, ස්වීඩන් සහ බ්‍රිතාන්‍ය්‍යි.

අතීතයට යමු පොඩ්ඩක්.

පෘෂියා රාජධානියට පසුව එන ජර්මන් අධිරාජ්‍ය්‍ය යුරෝපීය භූමියෙන් බහුතරය අයිති යුනියනයක් විය. 1891 ඒ අධිරාජ්‍ය්‍යේ වඩාත් ම වස්තු සම්භාරයන්ට හිමිකම් කියූ කාලය විය. එහෙත් එහි වූ අවුල් කිසිවෙක් විචාරය නොකළහ.

ව්‍යවස්ථාව කළින් තිබියක් යාන්තම් වෙනස් කරන ලද්දකි. සමහර ජර්මන් දේශ සීමාවන් හා ඒවායේ වැසියන් සමඟ ගණුදෙනු පැහැදිලි නොවීය. ඉම්පීරියල් ජර්මන් හමුදාවක් තිබිය ද, බැවේරියා, සැක්සනි හා වූටර්ම්බර්ග් යන රාජධානි තම තමන්ගේ හමුදාවන් ද තබා ගත්හ. පෘෂියන් රජ පරම්පරාවේ ඔටුන්න තිබිණ. රාජධානි වල ඔටුනු පැළඳි රජවරු සිටියහ. පෘෂියාවේ අගමැති ඉම්පීරියල් චාන්සලර්වරයා වූයේය. වෙනස් වන ජනගහණය පිළිබිඹු වන පරිදි චන්ද දිස්ත්‍රික්ක වෙනස් වූයේ නැති නිසා ගම්බද පැතිවලට චන්ද බලය වැඩියෙන් තිබිණ. එහෙත් අධිරාජ්‍යයට එහි පුරවැසියන් වෙතින් කෙළින් ම බදු අය කරන්නට අවසරයක් නොවීය. ෆෙඩරල් බලයේ තිබුනේ තීරු බදු, පොදු රේන්ද බදු, තැපැල් හා ටෙලිග්‍රෑෆ් සේවා වලින් ලැබෙන ආදායම් පමණි.

අවුල් ලිහාගෙන රටක් හදනවාට වඩා බොර දියේ මාළු බාන්නට ඉන්නා අය ලොව හැම දා වැඩි ය. සෝවියට් කොමියුනිස්ට් අදහස් වලින් පෝෂිත වන ජර්මන් අරගලයෙන් 1918 දී ජර්මන් අධිරාජ්‍යය කඩා වැටුණි.

1920 ජූනි මාසය වෙද්දී අති උද්ධමනයෙන් ඩොලරයක් මාර්ක්ස් 50 කි; වසරකට පසුව ඩොලරයක් මාර්ක්ස් 101 කි; 1922 ජූලි වෙද්දී 550 කි; 1923 ජූනි 75,000 කි; මාස දෙකකින් පසු 10,000,000 කි. සැප්තැම්බරයේ දී 4,200,000,000 කි. දකුණේ අන්තවාදීන් එය යුදෙව්වන්ගේ වැරැද්දක් යැයි කිව්වහ. වාමාංශිකයන් එය පෘෂියන් හමුදා රදළයන්ගේ (Junkers) සහ යුද වලින් ධනය උපයන ධනවාදීන්ගේ වැරැද්දක් යැයි හංවඩු ගැසුවහ.

තරුණ ඇඩොල්ෆ් හිට්ලර් රතු සහෝදරයන්ව පළවා හරින්නට කුමන්ත්‍රණ කළේය. සෝවියට්වාදී Walter Ulbricht ඊට එරෙහිව සංවිධානය වූයේය. ඔවුන් දෙදෙනාව ම පැත්තකට දමා අර්ථ ශාස්ත්‍රඥයෙක් හා බැංකුකරුවෙක් වූ Dr. Hjalmar Schacht ජර්මන් මාර්ක්ස් හි මිල ප්‍රත්‍යාගණනයෙන් (revaluation) දේශීය හා විදේශීය ණයකරුවන් අතර නැවතත් විශ්වාසය ගොඩ නඟන ලදි.

අවුල් ලිහන්නේ නැතිව පැලැස්තර අලවා ගැටළු විසඳන්නට නොහැකිය. වාමාංශිකයන් පරදා හිට්ලර් බලය අල්ලා ගන්නේ ඉන්පසුවයි.

හිට්ලර් ගෙන් ගැලවුන ජර්මනියේ කොටසක් රුසියානුවන් අල්ලා ගත්ත ද අනිත් කොටසේ ධනවාදි ආර්ථිකය සරුවිය. හිට්ලර්ගේ ජර්මනිය හා මාර්ක්ස් මුදල් අවුලේ අතීතය අමතක කරනු පිණිස බටහිර ජර්මනිය පසු කාලයේ දී ඉතා කැමැත්තෙන් යුරෝපීය යුනියනයට එකතු වූහ. මාර්ක්ස් පාවිච්චිය අත්හැර යුරෝවට ද කැමති වෙති.

යුරෝපීය යුනියනයේ සිටියත් බ්‍රිතාන්‍ය සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයක් යුරෝවට පිවිසෙන්නේ නැත.

ජනතාවගේ ජීවිත යහපත් කරන්නට හැකි යැයි ඉතිහාසයෙන් පෙන්විය හැකි උදාහරණයක් තමනට නැති නිසා, ප්‍රතිවාදියාව රටේ ස්වෛරීභාවය කඩනා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවෙක් යැයි හංවඩු ගසනා රතු සහෝදරයන්, සෝවියට් යුනියනය හැදුනේ ද කැමැත්තෙන් ඊට එකතු වූ පුරවැසියන් නිසා යැයි මුලාව පතුරවති. තම රටවල් වල චණ්ඩි පීඩකයන්ට බියෙන් සිටිනා ජනතාව දිවි බේරා ගන්නට නිහඬ වෙන බව එදත් අදත් දන්නෝ දනිති.

1922 සිට රතු හමුදාවන්, ජනතාවගේ යහපත නාමයෙන් අල්ලා ගන්නා සශ්‍රීක රටකට කඩා පැන, තමන්ට උවමනා විදියට සැලසුම් ගැහැව්වට, එහි නිදහස අගයන මිනිසුන් පැන ගිය නිසා බංකොළොත් වී ගිය බව රතු අයිඩියලොජියට වහල් වූවන් නොදකිති. 1991 දක්වා වසර 69 ක් කෙමෙන් කෙමෙන් බංකොළොත් වී ගිය සෝවියට් දේශය කැඩෙන්නේ රුසියාව, ජෝර්ජියා, යුක්රේන්, මොල්ඩෝවා, බෙලාරූස්, ආර්මේනියා, අස්රාබජාන්, කසකස්තාන්, උස්බෙකිස්තාන්, ටර්ක්මෙනිස්තාන්, කිර්ග්කිස්තාන්, ටයිකිස්තාන්, එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා යන රටවල් වලට.

එයින් එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා රටවල් යුරෝපීය යුනියනට එකතු වෙති.

නැගෙනහිර ජර්මනිය බටහිරට එකතුවෙද්දී (1990) එයත් අනිත් අයගේ කිසි විරෝධයක් නැතිව යුරෝපීය යුනියනට එකතු වෙයි.

ඉතින් දැන් යුරෝපීය පුරවැසියා කවුද යන්නට ආයෙත් එමු.

යුරෝපීය යුනියනයේ පුරවැසියා යනු සියළු සාමාජික රටවල පුරවැසියන්. තමන් වාසය කරනා රටේ පුරවැසිකමක් ද ඇත. ජර්මන් පුරවැසි නීතිය ඩෙන්මාර්ක් පුරවැසි නීතියට වෙනස් වෙයි. යුරෝපීය යුනියනට පොදු කොඩියක් ඇත. එසේම තම රට රටවල ජාතික කොඩි ද ඇත. යුරෝ ආණ්ඩුවක්, යුරෝපීය මධ්‍යම බැංකුවක්, යුරෝ ආණ්ඩුවේ පාලකයන්, නිලධාරීන් සහ ආණ්ඩුවේ කාර්යාල පිහිටි ගොඩනැඟිලි ඇත. එසේම තම තම රටවල ආණ්ඩු, නිලතල, කාර්යාල හා මධ්‍යම බැංකු ඇත. ඔවුනට යුරෝපීය යුනියනයේ රටවල් අතර සංක්‍රමණයට වීසා බලපත්‍ර අවශ්‍ය නොවේ. එහෙත් ඔවුන් ඔලිම්පික් සඳහා තරඟ කරන්නේ වෙන වෙනම ය.

1998 බලයට පත් වූ Gerhard Schröder ආණ්ඩුව විසින් 2009 දී සම්මත කරගත් නීතියක් වූයේ පුරවැසිකම නොමැති අයෙකුගේ ජර්මනියේ උපදින දරුවෙක් වයස 18 වූවාම ජර්මනියේ හෝ දෙමාපියන්ගේ රටේ පුරවැසිභාවය ගැනීමට ඉඩකඩ ය. රටේ පුරවැසිකම නැති සංක්‍රමණිකයන් (වැඩිපුරම තුර්කි ජාතික සංක්‍රමණික ශ්‍රමිකයන්) බොහොමයක් විය. ඒ නව නීතිය පාස් වූවාත් සමඟ Schröder ගේ පක්ෂයේ චන්ද පරාජයන් වැඩිවිය.

තුර්කියේ සිට ජර්මනියට පැමිණ මුදල් උපයා ගෙන ආපසු ගිය ජනතාව ජර්මනියේ පුරවැසියන් වී එහි නතර වූහ. තම කාන්තාවන් (භාර්යාවන් හා දියණියන්) ජර්මනියේ අයහපත් හැසිරීම් පුරුදු වෙනවා යැයි කියා තුර්කියේ නවතා ආ පිරිමින්ට තව දුරටත් එය කරන්නට ඉඩක් නොලැබිණ. ඔවුන්ගේ පවුල් ජර්මනියට එන්නට, එහි ඉගෙන ගන්නට, එහි නිදහස දැක එහි නවතින්නට පටන් ගත්හ. බහුතර ගැහැණු දොස්තරවරු හා නීතිඥවරු වෙන්නට ඉගෙන ගනිද්දී පිරිමි තව දුරටත් රියැදුරු රැකියාවන්හි යෙදී සිටියහ.

ජර්මනියට පැන ආ මචං ලාට ඉතාලියට යන්නට හැකි වූවා සේ, ඉතාලියට පැනගත් උතුරු අප්‍රිකානු වැසියන්ට ප්‍රංශයට ඇතුල් වන්නටත් හැකිවිය. මචං ලා යන්නේ දන්නා හඳුනන කෙනෙක් ඉන්නා තැනකට ය. ඒ ඒ රටවල් වලින් ගෙනා තරහ මරහ හා පරණ කෝන්තර ද ඔව්හු ගෙන ආහ. හොර පාරවල් වලින් තව අය ගෙන්නා ගන්නට ද, කොයි රටවල් වැඩියෙන් සංක්‍රමණිකයන්ට හිතවාදී යන්න ද ආරංචි මාර්ග වලින් ඔවුන් අතර හුවමාරු විය.

2005 දී ස්පාඤ්ඤ අගමැති José Luis Zapatero විසින් නීති විරෝධී ලෙසින් රටට පැමිණි 700,000 කට පුරවැසිකම අනුමත කළේය. එය ගන්නට ස්පාඤ්ඤයේ නොසිටි අය ද හනිකට ආහ. යුරෝපීය පුරවැසියනට යුනියන පුරා රැකියා නිදහස ඇති නිසා වැඩි කලක් යන්නට මත්තෙන් අලුත් පුරවැසියන් වූ මචං ලා බහුතරය රැකියා නැති ස්පාඤ්ඤයෙන් පිටත් වී ගියහ.

ඒ ගැන අනිත් යුරෝපීය රටවල් කුමක් කළා ද?!!! සපතේරෝට බනිනවා හැරෙන්නට විමසා නොබලා ගෙනා සැලසුම් වලින් නොසිතූ ප්‍රතිඵල ම ඇතිවෙන නිසා නීතියෙන් කළ හැකි කිසිත් ඔවුනට නැත.

2012 යුරෝපීය යුනියනය 1871 ජර්මන් අධිරාජ්‍ය හා සමානකම් දක්වයි. පුරවැසියන් හා දේශ සීමාවන් අතර ගණුදෙනු පැහැදිලි නැත. යුරෝපීය යුනියනයේ ආණ්ඩුවක් තිබුණාට එහි වියදම් දරන්නේ කවුදැයි පැහැදිලි නැත.

ආර්ථිකය බංකොළොත් වෙද්දී තමයි ඕනෑම රටක ප්‍රචණ්ඩත්වයන් පටන් ගන්නේ. යුරෝපයේ ඒවා ගැන ඊ ළඟට.

10 Responses

Subscribe to comments with RSS.

  1. emailkavikaari said, on අගෝස්තු 16, 2012 at 9:52 ප.ව.

    බුල්ගේරියාව/ බල්ගේරියාව මාල්ටා/ මෝල්ටාව වශයෙන් ලිවිය යුතුයි නේද අක්කෙ?

    විකිපීඩියා හැරුනු කොට සිංහල කියවන්නාට රටේ නම ටයිප් කර search කරන අයට (ශිෂ්‍යයින්ට) ලැබෙන දෙවන මුලාශ්‍ර සපයන්නේ අරුණි ශපිරෝගේ ලිපි පෙලයි.

    රටවල් ගැන තොරතුරු වැඩියෙන්ම ලියන්නේ ඔබයි. සිංහල කියවන මතු අනාගතය වෙනුවෙන් හිතලා රටේ නම වඩාත් භාවිතාවෙන ආකාරයට ලිව්වානම් ඉතා හොඳයි. මෙයිට කලිනුත් මේ විදියට රටේ නම අරුණි ස්ටයිල් එකට ලියලා තියෙනවා දැකපු නිසයි කිව්වෙ.

    මෙහි අසාදාරනය වෙන්නෙ සැමදා මෙහි නො එන, ඉඳ හිට යමක් ඉගෙන ගන්නා උවමනාවෙන් රටක නම බ්‍රවුස් කරන කෙනාටයි. මගෙ මල්ලිගෙ 8 පංතියෙ දුවත් එයින් කෙනෙක්. එයා බ්ලොග් කරණය කියන්නේ කුමක්ද කියා නොදන්නවා උනාට සිංහලෙන් ලියු ලිපි කියවනවා. සමහර පාසැලේ උගන්වනු ලැබු දේ සම්භන්දව ඉංගිරිසියෙන් පිංතූර බලා සිංහලෙන් ඇති ලිපි කියවනවා.

    • arunishapiro said, on අගෝස්තු 17, 2012 at 6:28 පෙ.ව.

      emailkavikaari,

      සුජාතා නංගි, බුල්ගේරියා වලින් එන අය අපි ඉන්න පැත්තෙ වැඩ කරනවා. ඒ හැමෝම තමන්ගෙ රටට කියන්නෙ බුල්ගේරියා කියලයි. රට ගැන වූ විකිපීඩියා සටහන පටන් ගන්න තැන තියන නලාවෙන් කියැවෙන්නෙත් එම උච්චාරණය ම තමා. මාල්ටා නම් මල්ටා විය යුතුයි!!!

      දැන් ඊ ළඟට ප්‍රශ්නය රටේ නම වඩාත් භාවිතා වෙන ආකාරය කවුරැන්දැයි තීරණය කරන්නෙ කියන එක:
      සිංහලෙන් ලියන නිසා ලංකාවේ අය කියන විදියට ද?
      නම අයත් රටේ බහුතරය කියන එක ද?
      ඉංග්‍රීසියෙන් කතා කරන සෙසු ලෝකය කියන එක ද?

      දැන් ජර්මනිය උදාහරණයකට ගමු.
      සිංහල කතා කරන බහුතරය ජර්මන් (බස) ජර්මනිය (රට) අතර වෙනස දන්නැතිව දෙකෙන් තම කැමැත්ත පාවිච්චි කරනවා. හෙන්රි සටහනකුත් දාලා තිබ්බෙ/
      ජර්මනියේ අය තමන්ගෙ රටට කියන්නේ Deutschland කියලා.
      ඉංග්‍රීසියෙන් කතා කරන සෙසු ලෝකය කියන්නෙ ජර්මනි!

      මගේ උත්සාහය විකිපීඩියාවේ සඳහන් උච්චාරණය හැකි තරම් පාවිච්චියටයි.

      හොයන අයගෙ පහසුවට ටැග් තමයි දාන්න වෙන්නෙ. ඒකට ලේඛකයා ඉතා කම්මැලියි 😦

      • emailkavikaari said, on අගෝස්තු 17, 2012 at 6:33 පෙ.ව.

        මම කියන්නෙ ලංකාවෙ පාසැල් වල කියන විදියට කියමු කියල.

        ලියන්නෙ සිංහල කියවන අය වෙනුවෙන්නේ. අපි දන්නේ සිංහලෙන් කියන විදියට සිංහලෙන් ලියලා search කරන්න නේ.

          • arunishapiro said, on අගෝස්තු 17, 2012 at 6:42 පෙ.ව.

            සුජාතා නංගි,

            විකිපීඩියාවේ අනගි බව තමා එය වෙනස් කරත හැකි වීම. දැනුම එකතු කිරීමේ අනගි බවත් තමන් කියන්නේ කරන්නේ වැරදි විදියකට යැයි හොයාගත්තා ම වෙනස් කිරීම. සිංහල විකිපීඩියාවේ මෝල්ටාව අපි මල්ටාව කියල වෙනස් කරලා ඉංග්‍රීසි විකිපීඩියාවේ තියන නලාව එතැනටත් දැම්මා නම් නිවැරදි උච්චාරණය භාවිතය පටන් ගැනීමට වඩා සුදුසුයි.

            සිංහලෙන් කියන ලියන අය මෙහෙමයි කරන්නේ කියා අනුන් කරන වැරැද්ද මාත් කළොත් අපි කවදාද වැරදි හදාගෙන ඉස්සරහට යන්නෙ?

            ****

            විකිපීඩියාවේ උච්චාරණය මල්ටා යන්නට වඩා (එහි කියන පරිදි බ්‍රිතාන්‍ය උච්චාරණය වන) මොල්ටා යන්නට වඩා ළඟ බව ගෙදර හා අල්ලුපු ගෙදර අයගෙන් ද අහලා තහවුරු කරගත්තා 😀

            ඉතින් ඒ නිසා මගේ සටහනේ දාලා තිබ්බ, මල්ටා යන්න මොල්ටා කළා.

            මම ගිහින් විකිපීඩියා සිංහල සටහනට ද අර උච්චාරණ විජට්ටුව ඇතුල් කරලා මෝල්ටාව කියන එක මොල්ටා බවට හැරෙව්වා. ඒවායේ සංස්කාරකයන් වෙනස් කරන දෙයක් කරාවි.

            ස්තූතියි සුජාතා නංගිට!!!

            ***

            මදැයි ඒ ගමන බුල්ගේරියා කියනවාට වඩා බොල්ගේරියා ලිවීම නිවැරදි උච්චාරණයට වඩා ළඟයි කියනවා මේ කට්ටිය. බුල් ලිව්වාම හරකා (bull) වෙයි කියලා. ඔන්න ඉතින් එයත් වෙනස් කළා.

            ආයෙත් වතාවක් ස්තූතියි නංගිට!!!!

            • arunishapiro said, on අගෝස්තු 19, 2012 at 9:45 පෙ.ව.

              වැදගත් දේ ලියන ඇනෝලාත් ඉන්නවා. මේ ගොඩක් ඉස්සර දාපු එහෙම ඇනෝ කෙනෙකුගේ කවියක්:

              Anonymous poem

              I take it you already know
              Of touch and bough and cough and dough?
              Others may stumble, but not you
              On hiccough, thorough, slough, and through?
              Well done! And now you wish, perhaps,
              To learn of less familiar traps?

              Beware of heard, a dreadful word
              That looks like beard and sound like bird.
              And dead; it’s said like bed, not bead;
              For goodness sake, don’t call it deed!
              Watch out for meat and great and threat,
              (They rhyme with suite and straight and debt).
              A moth is not a moth in mother.
              Nor both in bother, broth in brother.

              And here is not a match for there,
              And dear and fear for bear and pear,
              And then there’s dose and rose and lose—
              Just look them up — and goose and choose,
              And cord and work and card and ward,
              And font and front and word and sword.
              And do and go, then thwart and cart.
              Come, come, I’ve hardly made a start.

              A dreadful language? Why, man alive,
              I’d learned to talk it when I was five.
              And yet to read it, the more I tried,
              I hadn’t learned it at fifty-five.

              (මම නම් තාම පනහට ඇවිල්ලා නැහැ, ඒ නිසා තව උත්සාහයේ යෙදෙන්න ඇහැකි :D)

  2. dawkinssdodo said, on අගෝස්තු 16, 2012 at 11:22 ප.ව.

    //ඔවුනට යුරෝපීය යුනියනයේ රටවල් අතර සංක්‍රමණයට වීසා බලපත්‍ර අවශ්‍ය නොවේ. එහෙත් ඔවුන් ඔලිම්පික් සඳහා තරඟ කරන්නේ වෙන වෙනම ය.//

    //2012 යුරෝපීය යුනියනය 1871 ජර්මන් අධිරාජ්‍ය හා සමානකම් දක්වයි. පුරවැසියන් හා දේශ සීමාවන් අතර ගණුදෙනු පැහැදිලි නැත.//

    X- කණ්ඩායමේ සිටි මිතුරෙක් වරෙක් මට පැහැදිලි කලේ මේ දේශසීමාවන් බොඳවී යාම පෝස්ට්-මොඩර්න් තත්වයක් කියාය. එපමනක් නොව ජාතිය, රට, සිසුවා-ගුරුවරයා, කම්කරුවා-ප්‍රාග්ධන හිමියා ආදී බොහෝ ව්‍යුහාත්මකව ගොඩනැගුන දේ මේ පශ්චාත්-නූතන තත්වය තුල බොඳවනු ඇති බව ඔහුගේ විෂ්වාශය විය.

    • arunishapiro said, on අගෝස්තු 17, 2012 at 6:40 පෙ.ව.

      dawkinssdodo,

      :0 … X -කණ්ඩායම දැන් කෝ?!!! ඔය විද්වතුන් යැයි තමන්ව හඳුන්වා ගන්නා අයගේ විද්වත්කම් ගැන වෙනම බ්ලොග් අඩවියක් ලියන්න පුළුවන්. ඒත් ඉතින් එයාලට ඒ වගේ වැඩ වලට කාලය තිබ්බට මට නැහැනේ 😀

      එහෙම බොඳ වී යයි ද නැත්නම් නොසිතූ ප්‍රතිඵල ම ඇති වේවි ද? අනාවැකි කියන්නට සමතෙක් නැහැ. අපිට පුළුවන් අතීත පාඩමකින් අනුමානයක් කරලා දැනට වෙන දේ දෙයින් තම ආරක්ෂාව සලසා ගැනීම පමණයි. නැත්නම් වෙන්නෙ හිට්ලර් එද්දි අපි ජර්මන් අපිට මුකුත් වෙන්නෙ නැහැයි හිතපු ජර්මන් යුදෙව්වන්ට වෙච්ච වැඩේ ම තමා.

  3. wicharaka said, on අගෝස්තු 17, 2012 at 11:18 ප.ව.

    1. යුරෝපීය යූනියනය කලේ, අර, වැහි කාලයේදී විතරක් ගෙවල් හදමු කියා උනන්දුවන, එහෙත් වැස්ස පෑව්වම ඒ කතාව අමතක කරන වඳුරෝ වගේ, තම ආර්ථික සැලසුම් එදාට එදාට විතරක් කතාකරමින් ඉදීම ද?

    2. පරණ කතාවක් තියනවනේ ‘එක්ක කතත් බොක්ක වෙනයි’ කියලා. ඒ වගේ යුරෝපීය යූනියනය කඩදාසි වල විතරක් තියන එකක් වගේ.

    • arunishapiro said, on අගෝස්තු 18, 2012 at 6:22 පෙ.ව.

      wicharaka,

      මේකෙන් නම් වුනේ වැහි කාලයේ ගෙවල් හදන්න පටන් ගත්ත එක වගේ. කඩදාසි වල විතරක් තියාගෙන තව ටිකක් කතා කළා නම් අද තරම් පාඩුවක් වෙන එකකුත් නැහැ!!! එක එක මත තියෙනවා, රැල්ලක් ආවම පෙරළෙන බහුතරය ඉන්නවානේ. ඇයි ඒ ආදර්ශයෙන් හදා ගන්න ගියා නේද දකුණු ආසියාවටත් පොදු මුදල් ඒකකයක්? මම එකඟ වෙන්න කැමති මතය තමයි තමන් කළ කී අතීතය අමතක කරන්නත් ඇමෙරිකාව එක්ක වෙළඳාමෙන් තරඟ කරන්නත් යුරෝපීයයන් මේක හදාගන්න ඉක්මන් වුනා කියන එක.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: