බර්ලිනයේ සිට ලියමි
ජර්මනියේ බර්ලින් නුවර දී නෙමෙයි. මේ බර්ලින් ගම තියෙන්නෙ ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ. 1677 දී Burley කියන අයෙක් ඉඩම් කෑල්ලක් අරගෙන උතුර-දකුණ මහා මාර්ගයේ නවාතැනක් ඉදිකරනවා. “Burley Inn” තමයි මේ බර්ලින් නගරය බවට හැරෙන්නෙ.
1890 -1900 ගණන් වල ඉදි වූ ගොඩනැඟිලි අදත් පාවිච්චි කරන ගමේ පින්තූරයි මේ සටහනට ඇතුලත් කරන්නෙ. දියුණු තාක්ෂණය හා දියුණු නගර වගේ ම, ආමිශ් වැනි පාරම්පරික අඩු තාක්ෂණයෙන් හා ගම්බද ජීවිතයෙන් කාලය ගෙවීමත් එකිනෙක හා අත්වැල් බැඳගෙන ඒම ඇමෙරිකාවේ ලක්ෂණයක්. ඒත් මේ සටහන ඒ ගැන නෙමෙයි. මේක යුරෝපීය සංක්‍රමණික පුරවැසියන් ගැනයි. වෙනස් වෙන්නට අකමැති, එහෙත් නොදැනීම වෙනසකට භාජනය වෙන යුරෝපය ගැනයි. මේ නීත්‍යානුකූලව යුරෝපීය රටවල් වල වාසය කරනා අය ගැන.
2000 වෙද්දි බ්රිතාන්ය්යේ දොස්තරවරු 33.7% ක් ඉපදිලා තියෙන්නෙ වෙන රටක. අයර්ලන්තයේ ඒ ගණන 35.3% ක්; ස්විට්ස්සර්ලන්තයේ 28.1% ක්. 2002 දී තවත් අධ්‍යාපනය හා පුහුණුව වැඩි අයව ගෙන්වා ගන්න සැලැස්මක් Highly Skilled Migrant Program හදපු බ්‍රිතාන්‍ය මේ දිනවල එය නවතා දාල. සුවිසල් සමාජ සංකල්පය මේ දවස්වල බංකොළොත් නිසා.
දැන් ලෝකයේ හැම රටකට ම ඕනා ඉහළ අධ්‍යාපනයක් හා පුහුණුවෙන් වැඩි අයව නෙමෙයි. ජර්මනියට සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම පටන් ගනිද්දී තුර්කි අය ගෙන්වා ගන්නේ ජර්මානුවන් කරන්න අකමැති වැඩට. තුර්කි අය ජර්මන් ජනගහණයෙන් 2.4% ක්. ඔස්ට්‍රියාවේ ඒ වැඩ කරන්නෙ යුගොස්ලාවියා සහ තුර්කි සම්භවය ඇති අය. 2006 වෙද්දී ඔස්ට්‍රියාවේ ඉන්නා සංක්‍රමණික ජනගහණය රටේ ජනගහණයෙන් 9.8% ක්. ප්‍රංශයේ සංක්‍රමණිකයන් වැඩියෙන් ඇවිත් ඉන්නේ උතුරු අප්‍රිකාවෙන් (ඇල්ජීරියා, ටියුනීසියා, මොරොක්කෝව). 2008 වෙද්දී ප්‍රංශයේ මිලියන 11.8 ක් විදේශයක උපන් සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ ප්‍රංශයේ ඉපදුන දරුවන්. සංක්‍රමණික පුරවැසියන් රටේ ජනගහණයෙන් 19% ක්.
කතෝලික ආගම අදහන බහුතරය ඉන්නා ඔස්ට්‍රියාවේ දරු උපත් අඩු වී යන්නේ කාලාන්තරයක සිට. දරුවන් හදන්න ඔස්ට්‍රියන් අම්මලාව කැමති කරවා ගන්නට මෙහෙම නීති හැදෙනවා. ගැබ්ගත් පසු දරු උපතට කළින් මාස 8 ක් ද, දරු උපතෙන් පසු මාස 8 ක් ද Schutzfrist නොහොත් ගැබිණි නිවාඩුවක්. ඒ ගැබිණි නිවාඩු කාලයේ රැකියාවක් කිරීම තහනම්. පඩිය 100% ක් ලැබෙනවා.
ඊට අමතරව වසර 1-3 කාලයක නිවාඩු යන්න පුළුවන්. තාත්තාට ද නිවාඩු යන්න පුළුවන්. ඔස්ට්‍රියන් ගැබිණි මවට දෙන පඩිය Wochengeld 2008 දී හැදෙන්නෙ අවසන් මාස තුනේ ලැබි වේතනයේ මුළු එකතුව (net wage) අනුව. නිවාඩු යන්න හා නත්තල් දීමනා ද එයට එකතු වෙනවා. රැකියාව ඇය වෙනුවෙන් ආයතනය ආරක්ෂා කර තිබිය දී වසර 1-3 අතර කාලයක් මාසයකට €436/- පඩියක් එක්ක ගෙදර ඉන්න මවකට අවස්ථාව ලැබුණත්, ඉපදෙන දරුවා වෙනුවෙන් ආණ්ඩුව විසින් දරුවා බලාගන්නා මුදලක් Kinderbetreuungsgeld දුන්නත්, කතෝලික ඔස්ට්‍රියානු කාන්තාවන් අතර එන්න එන්න ම දරු උප්පත්ති අඩු වී යනවා.
යුරෝපීයයන් අතර දරු උප්පත්ති ඔස්ට්‍රියාවේ තරම් නොවූවත් කෙමෙන් කෙමෙන් අඩු වී යද්දී සංක්‍රමණික යුරෝපීයයන් අතර දරු උප්පත්ති ඉහළ යන ප්‍රවණතාවය තමයි දැන් දකින්නට ලැබෙන්නේ. මේ යන වේගයට එසේ සිද්ධ වුවහොත්, යුරෝපීයය සමාජයේ සංක්‍රමණිකයන් වෙතින් හැදෙන පුරවැසියන් යුරෝපීය සමාජයේ බහුතරය වී ඔවුන් තමයි යුරෝපීය සභ්‍යත්වය කොයි අතක ගෙන යනවා දැයි තීරණය කරන්නෙ.
ඔබාමාගේ තාත්තා ඉපදුනේ කෙන්යාවේ. තාත්තලා අම්මලා වෙන රටවල් වල ඉපදුනු අය වුනාට දූලා පුතාලා තමන් ඇමෙරිකානුවන් යැයි හඳුන්වා ගැනීම, ඇමෙරිකාව රටක් හැටියට බිහි වූ දා සිට මුහුණ දුන් දෙයක්. ඇමෙරිකාවේ ප්‍රාන්තයක ඉපිද තව ප්‍රාන්තයක ඉගෙනීම, රැකියා හා පදිංචියට යන අය වැඩියි. නූතනයේ දී සංක්‍රමණික නොවූ යුරෝපීයයන් අතර උපන් ගමෙන් වෙන ගමක පදිංචියට යන අය අඩුයි.
නිකලස් සාකෝසීගේ තාත්තා ඉපදුනේ හංගේරියාවේ. තාත්තා හංගේරියාව හැර දා පැනලා යන්නෙ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව. සාකෝසී 2006 මැයි මාසයේ Bamako, Mali හි දී immigration choisie නම් ප්‍රංශයට එන අයට තෝරා බේරා පුරවැසි බව දෙන ක්‍රමයක් යෝජනා කළේය.
ඉතින්, සාකෝසී යෝජනාවට විරුද්ධ අය මෙහෙම සිංදු කිව්වහ:
ඔහුගේ නම නිකලස් සාකෝසී ය
ඔහු සංක්‍රමණික තෝරා ගැනීමේ ක්‍රමය සොයා ගත්තේ ය
ඔහු සංක්‍රමණික හංගේරියානුවෙකුගේ පුතෙකි
ගේලික් ඔටුන්නක් දිනා ගන්නට හදන්නෙකි
ශක්තිමත් දේහයෙන් යුතු නීග්‍රෝ ජාතිකයා ඔහුගේ හොඳ දත් සමඟ සදහටම පිටත් වී ගිහින්!
අද, කළු ජාතිකයා විශ්ව විද්‍යාල උපාධියක් සහිත වූ දක්ෂෙයක් වෙන්න ඕනෑය
මේවා තමයි අලුත් වහල් නැවේ අලුත් ප්රමිතීන්
ඔහුට ගටක් තිබ්බා ඒක කියන්නට, අප්‍රිකානු සංචාරයක යෙදෙද්දී ම
නිකලස් සාකෝසී!
ඇයි ඔබේ තාත්තා හංගේරියාව දාලා ආවේ?
කාලයෙන් කාලයට එක එක රාජධානි වලට යටත් වූවාට යුරෝපීයයන් ඉන්නේ මම ප්‍රංශ, මම ජර්මන්, මම ඉංග්‍රීසි, මම වේල්ස්, මම ස්කොටිෂ් යන ලේබල් වලින්. ඔවුන් යුරෝපීයයන් බවට පත්වෙන්නේ මෑතක දී. තවම ඒ ලේබල් එකට ඔවුන් හුරු නැහැ.
2014 දී යුරෝපීය යුනියනයේ ඉන්න බ්රිතානය්යෙන් ස්කොට්ලන්තය වෙන් වෙන්න වෑයමක් ගෙනැවිත්.
ස්කොට්ලන්තයේ ප්‍රධාන ආගම ජනගහණයෙන් 42.4% ක් අදහන ස්කොට්ලන්ත පල්ලියයි. රෝමානු කතෝලික 15.9%; ආගමික බැඳීමක් නැතැයි කියනා අය 27.5%; ඉස්ලාම් 0.8% ක්. ස්කොටිෂ් සුදු අය ජනගහණයෙන් 88.09%; සුදු බ්‍රිටිෂ් අය 7.38%; අනිත් සුදු අය 1.73%; සුදු අයිරිශ් 0.98%; මිශ්‍ර වර්ග 0.25%; දකුණු ආසියානුවන් (පාකිස්තාන, ඉන්දියානු, බංගලාදේශි..) 1.09%; කළු අය 0.16%; චීන්නු 0.32% ක්. විස්තර විකිපීඩියාවෙන්.
ස්කොටිෂ් ස්වාධීන උත්සාහයේ එක පරමාර්ථයක් තමයි ඒ අයට තමන්ගේ නීති හදාගන්නට හැකියාව ලැබීම. අනික රටේ ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති වල දී පරමාණු අවි එහි මුහුදේ නොතැබීමට තීරණ ගත හැකිවීම සහ NATO සම්බන්ධය අත්හැරීමට හැකිවීම. තවත් වැදගත් වූවක් තමයි ස්කොට්ලන්තයේ තෙල් ආදායම ස්කොට්ලන්තයේ වීම!!!
චන්දයකින් කැමැත්ත ප්‍රකාශ කරලා බ්රිතාන්ය්යෙන් අයින් වෙන ස්කොට්ලන්තයට යුරෝපීය යුනියනයේ සාමාජිකත්වයට නැවත අයැදුම් පතක් ඉදිරිපත් කරන්න වෙනවා. බහුතර මතය කරදරයක් නැතිව එය ලැබේවි යන්නයි. ඒත් 2014 වෙද්දි යුරෝපිය යුනියනයේ ඉතිරි වෙන අය කවුරු වේවි ද? ස්කොට්ලන්තය ඒ අයැදුම් පත්‍රය යවාවි ද?!!!
බ්රිතානය්යෙන් ස්කොට්ලන්තය වෙන් වෙන්න හැදුවට පහුගිය දශකයකටත් වැඩි කාලයක් මුළු බ්‍රිතාන්‍යම පාලනය කලේ ස්කොට් ජාතිකයො වෙච්ච බ්ලෙයාර් සහ බ්‍රවුන් බව අමතක වෙලා වගේ
මිස්ටර් හයිඩ්,
ඒකනේ කියන්නෙ, ඇතුලෙන් ම ගිහින් ස්කොටිෂ් පාර්ලිමේන්තුවකටත් එහෙම ඉඩ දීලා දැන් පාර හදලා දීලා තියෙන්නෙ වෙන් වෙන්නට. ඉතින් යුරෝපීය කිව්වත්, බ්‍රිටිෂ් කිව්වත් ඇත්තට ම ඇඟෙන් එයාලාට දැනුනේ ස්කොටිෂ් හෘද ස්පන්දනය ද?
කොහොමද අරුණි ජර්මනියේ ආර්ථිකය මේ දවස්වල ග්‍රීසියේ වගේ පටි තද කරගැනීම (austerity) ඔය පැත්තේ නැද්ද?
wicharaka,
ලොකු වෙනසක් නෑ මේ සටහන් වල ලියැවිලා තියෙන දේවල් 2012 වෙද්දී:
ජර්මනියට රිංගා ගත් පුංචි පුංචි ග්‍රීක් ග්‍රීක්
ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව
මේ පෝස්ටුවත් කලින් එකත් නියමයි.
ඉඩක් තියෙන වෙලාවක නැගෙනහිර යුරෝපේ ගැනත් ලියන්න.
javi,
ස්තූතියි. නැගෙනහිර යුරෝපය නේද? බලමුකෝ … බෙලාරූස් කෙල්ලන් හා විවාහ වී ඒ පැත්තෙ ඉන්න ලාංකිකයන් ගැන නේද?!!!
ලස්සනයි අප්පා පින්තූර ටික… දැන් ෆොටෝග්‍රැපි කරනවා වත්ද…
berlin-5 ඉමේජ් එක මරු… ඒක මාර ලස්සනයි…
Gold fish,
මොන ෆොටෝග්‍රැෆි ද මාළුවෝ, පොයින්ට් ඇන්ඩ් ක්ලික් කලාව තමයි!!!
සින්දුව රස වින්දා අක්කෙ.කොහෙං හොයාගන්නවද මංදා මේව.
සින්දුව වචනයක් වචනයක් පාසා ඇත්ත.
මගෙ ප්‍රංශ මිතුරීයක් කීවා…….. නිකොලා සාකෝසි මිටිනිසා උස බොඩි ගාඩ්ස් ල ගන්නෙ නැතිලු හිටියත් ලඟට එන්න දෙන්නෙ නැතිලු එක ෆොටෝ එකට වැටුනොත් ලෝකයා සංසන්දනය කරාවි කියා බයට.
මට ඉතිං ඒක අහපුවාම අනේ අපොයි කියා හිතුනා.
emailkavikaari,
දේශපාලනඥයෝ චිම්පන්සියෝ හා සමාන ද? මේ මම කළින් ලියපු එකක්. මොන පැත්තෙන් ආව ද, කොයි රටෙන් ආව ද කියන එක වැඩිය වැදගත් නැහැ දේශපාලනඥයා ද මිනිස් සතෙක් නිසා.
සාකෝසී ගේ ‘ඉමිග්රේෂන් චොයිසී’ නම් සත්ය්ය නීතියක් බවට හැරුණා. මේක හදලා අන්තරජාලයේ ප්‍රසිද්ධියක් ලැබීමෙන් වැඩියෙන් වාසි වුනේ සාකෝසීට.
බටහිර සමාජ වටපිටාව ගැන නොදන්නා දේ රැසක් දැනගත්තා. ඒවගේම කියන්න ඕන අපේ රටේ නම් රැකියාවක් කරන කෙනෙකුට දරුවෙකු ලැබෙන්න යන එක ඉතාම අසීරුදෙයක්. මම අත්දැකීමෙන්මයි කියන්නේ. ප්‍රසූතියට කලින් නම් නිවාඩු ලැබීම සිදුනොවෙනවා සේම දරුවා ලැබුන පසු නියමිත දවස් 84 ට පසු අර්ධ වැටුප් සහිත මාස 6 නිවාඩු ක්‍රමය මා සේවය කරන විශ්වවිද්‍යාල පද්දදති තුල මුල කාලයේ තිබුනත් දැන් එය අත්හිටුවලා. ඒ තත්ත්වය තිබුනා නම් ආර්ථිකව යම පසුබෑමත් තිබුනත් දරුවගේ පැත්තෙන් නම් එය හොදයි…
සත් සමුදුර,
බටහිර පොදු ලක්ෂණයක් නෙමෙයි. මේ සටහනේ පින්තූර ඇමෙරිකාවේ වුනාට විස්තර යුරෝපීය යුනියනයෙ රටවල් ගැන. යුරෝපීය යුනියනයේ රටවල් වල දී දකින්නට හැකි දරු උප්පත්ති සඳහා නිවාඩු දීම් ඇමෙරිකාවේ දී දකින්නට බැහැ. ඇමෙරිකාවට රටක් වශයෙන් දරු ප්‍රසූති නිවාඩු ගැන ෆෙඩරල් ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රාන්ත හැටියට එහෙන් මෙහෙන් එකක් දෙකක් ඒ ගැන ප්‍රතිපත්ති ගෙනැවිත් තියෙනවා. ඇමෙරිකාවේ වසරක සේවයක් සඳහා පුද්ගලික අංශයේ (තවමත් පුද්ගලික අංශයේ සේවකයන් රටේ වැඩියි!!) අයෙකුට ලැබෙන්නේ සති දෙකක පමණ නිවාඩු. සති තුනක් නිවාඩු ලැබෙන්නේ කලාතුරකින්, දිගු කාලයක් එකම කොම්පැණියක සේවයේ යෙදුනාම. ලැබුනත් නිවාඩු නොගන්නා අය ඇමෙරිකාවේ වැඩියි. ප්‍රධාන කාරණය රැකියාවේ ආරක්ෂාව නැතිවෙන්නට ඉඩක් ඇතිකමයි. යුරෝපයේ අය රැකියාවක් පටන් ගන්නේ ම සති තුනක විතර නිවාඩු ඇතුළුව.
යුරෝපීය යුනියනයේ දරු ප්‍රසූති සඳහා නිවාඩු, මුදල් හා අනිකුත් දීමනා දුන්නත් යුරෝපීයයන් වෙතින් උප්පත්ති වැඩි වූයේ නැති බව වැදගත්. ඒවා නැතිවම ඇමෙරිකාවේ දරු උප්පත්ති වල යුරෝපයේ දකිනා තරම් අඩුවීමක් දකින්නට නැති බවත් වැදගත්.
ඒ කියන්නෙ, නිවාඩු නැති නිසා නෙමෙයි, ආර්ථික යහපත් නොවීම නිසා නෙමෙයි දරුවන් හදන්නෙ නැත්තෙ, අනිත් වෙනත් කරුණු මොනවාදැයි බලන්න ඕනයි කියන එක.