අරුණි ශපීරෝ‍ වෙතින්

සංක්‍රමණික ප්‍රංශ ගිණිකෙළි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 20, 2012

පහුගිය දවස්වල ප්‍රංශයේ නව ජනාධිපති ෆ්‍රැන්සුවා අලාන්ඩේ ගෙන් ද ඇහුනේ පුටුව අහිමි වූ නිකලස් සාකෝසී ගෙන් ඇහිච්ච පොරොන්දු වලට සමාන පොරොන්දු. එනම් ප්‍රංශයේ නාගරික තදාසන්න පෙදෙස් වල ප්‍රචණ්ඩත්වය අඩු කරන, නීතිය රකින, තරුණ පිරිස් ආරක්ෂා කරන පොරොන්දු.

අගෝස්තුව ප්‍රංශයේ ගිම්හාන නිවාඩු කාලයයි. තදබදය නැති නිසා පැරිසීයේ වීදි හිස් වී ඇතැයි වාර්තාවකින් කියැවේ: නීත්‍යානුකූල සංක්‍රමණික ශ්‍රමිකයන් ඒ ඒ රටවල් බලා ගොසිනි. පැරීසියේ හෝටල් වල අමුත්තන්ට සහාය වෙන කොන්සියාර්ජ්ලා (concierges) පෘතුගාලයට ගිහින්; ඉතාලි අවන්හල් අයිතිකරුවන් ටස්කැනි බලා ගිහින්; මාළු අල්ලන්නෝ බ්‍රෙටන් හි මුහුද වෙරළට ගිහින්; සපත්තු මහන්නා ටියුනීසියාවට ගිහින්. අගෝස්තු 1 වැනිදා වෙද්දී පැරීසියේ “quartier” පැත්තේ පැය විසිහතරේ විවෘත ව ඇති එකම කුඩා කඩයේ වැඩ කරන්නේ ප්‍රංශ, ඉතාලි, ජර්මන් කලවමකින් කතා කරන, බර්ලින් තාප්පයෙන් 1964 දී වයස 19 දී පැන ආවෙකි.

ප්‍රංශ ජනතාව නිවාඩු ගිහින් තිබිය දී පැරීසියට සැතපුම් 72 ක් උතුරින් වූ Amiens හි රාත්‍රියේ තරුණයන් 100 ක පමණ පිරිසක්, හුඩී ඇඳගෙන, ෂොට්ගන් (තුවක්කු) වලින් (බලපත්‍ර නැති) සහ පැට්‍රල් බෝම්බ වලින් පොලීසියට පහර දෙමින්, ළදරු පාසැලක් හා ප්‍රජා මධ්‍යස්ථානයක් ගිනි තබා, වාහන කිහිපයකටත් ගිනි තබා කලබලයක් කළහ. කලබල මැඬ පවත්වන්න ආ පොලිස් නිලධාරීන් 16 දෙනෙකු තුවාල ලැබූහ. කලබල පටන් ගත්තේ අගොස්තු 12 වැනිදා හවස ඒ පළාතේ මාර්ග නීතියක් කඩපු අයෙකුව පොලීසිය විසින් නැවැත්වීම නිසයි. ඒ අස්සේ වයස 20 ක තරුණයෙක් මෝටර් සයිකල් අනතුරකින් මරුමුවට පත්වෙයි. එයාගේ අවමඟුල සඳහා සති අන්තයේ වැඩියෙන් ජනතාව එකතු වූ නිසයි වැඩියෙන් පොලීසිය දාලා තිබ්බෙ. වටපිටාවේ හිටපු අය කියන්නෙ නීති කැඩුව එක්කෙනාට පොලීසිය හිංසා පීඩා කළා කියල. වට පිටාවෙන් එකතු වෙන පිරිස පොලීසියට පහර දීම පටන් ගන්නවා.

විස්කොන්සන් හි සීක් පංසලට ඇතුල් වී වෙඩි තැබූ සුදු හම ඇති අපරාධකරුවා සේවයෙන් නෙරපන ලද ඇමෙරිකන් හමුදා භටයෙක් හා නියෝ-නාට්සිවාදියෙක් යැයි කියන්නට බීබීසියට ඉතා ඉක්මණින් හැකිවූවා. නමුත් යුරෝපයේ ත්‍රස්තවාදීන් “තරුණ පිරිස්” යැයි වාර්තා කරනවා වගේ ම විස්කොන්සන් අපරාධකරුවා ගැන ලෝකයට කියා පසුව සීක් පංසලට ගමේ විවිධ පාට හමවල් ඇති අය ඇවිත්, සංකේත සුදු හිස් ආවරණ ඇඳගෙන, මල් අරගෙන, ඩොලර් දහස් ගණනක් මුදල් තෑගි වලින් ඔවුන්ගේ වතාවත් වලට සහභාගී වූ බවත් වාර්තා කිරීම බහුතර ලෝකය අමතක කළහ. හර්ප්‍රීත් සින්ග් කපූර් කියන්නෙ අපරාධකාරයා කළ වැඩෙන් ගමේ මිනිස්සු හේද භින්න වෙන්නේ නැතිව තවත් එකමුතු වුනු බවයි.

යුරෝපයේ අනිත් හැම උත්සාහයක දී ම වාගේ Amiens සිද්ධියේ දී ද සොයා බැලෙන්නේ සොයා බලන්නට අවශ්‍ය කරුණු නොවේ. එනම් ඇයි මේ තරුණ පිරිස් මෙහෙම දේපල විනාශ කරන්නේ? ඇයි වෙනත් තරුණ පිරිස් එහෙම කරන්නේ නැත්තේ?

සාකච්ඡාවට ලක්වෙන්නෙ තුවක්කු හා අවි ආයුධ තහනම් කරන, මත්පැන් විකුණන කඩ ඉවත් කරන, තරුණ පිරිස් වෙනුවෙන් අලුත් සැලසුම් හදන යනාදී තවත් නීති ගෙනෙන්නට. අලාන්ඩේ ගේ විසඳුමත් තවත් වැඩියෙන් පොලීසිය යවන්නටයි.

ප්‍රංශයේ Pierrefeu-du-Var පොලිස් මුලස්ථානයක දී කතා කරන අලාන්ඩේ ජූනි මාසයේ දී සේවයේ යෙදී සිටිය දී වෙඩි වැදී මිය ගිය කාන්තා පොලිස් නිලධාරියන් දෙදෙනෙකුට හරසර දක්වනවා. ඒ අවස්ථාවේ දී ඔහු Aix-en-Provence හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දුන් පහර දීමක් ද තරයේ හෙළා දකිනවා. ඔය අතරතුර තමයි ඉහත කියූ Amiens සිද්ධිය වෙන්නේ.

Zêdess ගේ රැගේ සිංදු වලින් සාකෝසී හාස්‍ය්‍යට ලක් වූවාට සාකෝසීට එයින් ලැබෙන්නෙ immigration choisie 2006 සහ 2007 දී නීතිගත කරන්න සහායක්. රැස්පායෙල් ගේ සංක්‍රමණික ප්‍රබන්ධ අනාවැකිය ප්‍රංශ අයට මතක් වෙන්නෙ එතකොට. එතෙක් ප්‍රංශය තමයි සංවර්ධිත යුරෝපයේ යම් කුසලතාවයක්, පුහුණුවක් ඇති සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමට පිළිවෙතක් නොතිබි එකම රට.

යුරෝපයට තුර්කියෙන්, මොරොක්කෝවෙන් හා ඇල්ජීරියාවෙන් ගලා ආ සංක්‍රමණික ජනතාව ඔවුන්ගේ කල්ලි වලට එකතු වී දරුවන් හදන්නට පටන් ගන්නවා. 1999 සිට 2004 දක්වා sub-Saharan අප්‍රිකානු රටවල් වලින් ආ සංක්‍රමණිකයන් තමයි 45% කින් වැඩිවෙන්නෙ. 2005 දී පළාත පුරා වාහන 177 ක් සහ වාහන ප්‍රදර්ශනාගාරයක් ද ගිනිබත් වී, පාසැල් දෙකක් තැපැල් කාර්යාලයක් හා වෙළඳ සංකීර්ණයක් විනාශ වෙන්නේ Siene Saint-Denis කියන පෙදෙසේ. ඒ පැත්තෙ ප්‍රංශ දෙමව්පියන් ඇති දරුවන් 41% කින් අඩුවෙද්දී සංක්‍රමණිකයන් අතරින් බිහිවෙන දරුවන් දෙගුණයකට වඩා ඉහළ ගිහින්. මොවුන් ගාල් වෙන්නෙ නිවාස සංකීර්ණ වල.

1966 දී පැරීසියෙන් සැතපුම් 20 ක් ඈත ගම්බද Chanteloup-les-Vignes හි 2,000 කට ඉන්න පුළුවන් ගමක් 20,000 කට ඉන්න හැදෙන්නේ එහි ඉතිහාසයේ විශාලතම අල්ලස් හා දූෂණ වූ “Aranda affair” නමින් ප්‍රසිද්ධ වී. 1995 වෙද්දී තුනෙන් දෙකක් විදේශිකයන් තමයි එහි පදිංචි වී ඉන්නේ. 2006 දී පැරිසියේ Gap කඩයක් මංකොල්ලා කන්න කඩා පැනලා ප්‍රාණ ඇපකරුවෙක් අල්ලා ගත්තු 24 හැවිරිදි තරුණයෙක්ට පොලීසිය වෙඩි තිබ්බ. ඊට පස්සෙ හුඩී ඇඳගත්තු කැති පොරව මිටි අතැති තරුණයන් 60 ක් පමණ සංඛ්‍යාවක් එහි පොලීසියට ගිනිබත් වාහනයක් යවා අනතුරුව පහර දුන්හ.

මේවා හැඳින්වෙන්න පටන් ගැනෙන්නේ නීතියක් නැති පළාත් “zones de non-droit” නමින්. තරුණ පිරිස් කල්ලි පොලීසිය එනවා යැයි අපරාධකරුවන්ට දන්වන්නට සංවිධාන වූහ. චණ්ඩි රජ කරන්නට පටන් ගත්හ.

2012 ජූනි මාසයේ දී ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නගරාශ්‍රිත Tensta පැත්තේ වයස විසි ගණන්වල තරුණ පිරිස් 100 ක් පමණ පොලිස් වාහන විනාශ කරමින් කෝලාහල පටන් ගන්නවා. දෙමව්පියන් නැතිව සරණාගතයන් වන දරුවන් හඳුන්වන්න එක්සත් ජාතීන් විසින් දාන වචනයක් තමයි “තනිවම ජීවත්වෙන තරුණ පිරිස්” නොහොත් ensamkommande barn. ඉතින් ඉහත ප්‍රවෘත්තියට ප්‍රතිචාරයක් දාන අයෙක් ironic කතාවක් කියනවා මෙහෙම: “අහෝ මේ දුප්පත්, දුප්පත් වයස විසි ගණන් මැද ඉන්නා තනිවම ජීවත්වෙන තරුණ පිරිස්. සෙල්ලම් කරන්නට කිසිත් නැති නිසා එයාලට තම රටවල් වල දී කරපු දේවල් කරමින් ඉන්නට සිදු වී තියෙනවා. ත්‍රස්තවාදයෙන් බිය උපදවමින්.” සමහර විට එයා රැස්පායෙල් කියවන්න ඇති.

***

පින්තූර ගෙවී ගිය සති අන්තයේ මා වාසය කරන පැත්තේ ඇමෙරිකානුවන් Cheasapeake Bay පාලම අසල ගිම්හාන නිවාඩු කාලය ගෙවනා හැටි. මාළු අල්ලන්න ගිහින්, රැවල් නැවක ගිහින්, වොටර්මෙලන් ගෙඩියක් ළඟට ම ගෙනැත් විකුණන ගොවියෙක් ගෙන් මිල දී ගෙන, ලස්සන වාහනයක් දෙකක් ගැන කතාබහෙන් පසු ගෙදර යන්න පුළුවන්.

2 Responses

Subscribe to comments with RSS.

  1. Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 20, 2012 at 12:17 ප.ව.

    කැමරාවෙ හොඳ කමද ෆොටෝ ගහන කෙනාගෙ දක්ෂ කමද හිරු එලියද අනේ මන්ද…🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: