අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රචණ්ඩත්වයට බිය වීම ඉවසීම නෙමෙයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 23, 2012

ප්‍රංශ විප්ලවයට පෙර තිබි යුරෝපීය විචාරයෙන් පෝෂණය වූ ඇමෙරිකාවේ ආදීපීතෘවරුන් ඇමෙරිකන් නිදහස් අරගලයට පදනම් වූ වටිනා අදහස් උකහා ගත්හ. පුද්ගලික ආවේගයන් පැත්තකට දමා විචාරයෙන් ව්‍යවස්ථාවක් හැදි ආදිපීතෘවරුන් නිසා ඒකීයත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා මිනිස් අයිතීන් ගැන පැහැදිලි නිර්වචනයන් ගෙනෙන්නට ඔවුනට හැකිවිය. එහෙත් ඇමෙරිකන් නිදහස් අරගලයෙන් පසුව සමානාත්මතාවය, නිදහස, සහෝදරත්වය නාමයෙන් විප්ලවයක් ගෙන්වා ගත් ප්‍රංශය වැටුනේ මඩ ගොහොරුවකට ය.

නැවත වරක් යුරෝපීයයන් ‘ලේ වලින් ලියූ අතීතයක්’ යළි හට ගැනීම වළක්වන්නට විසඳුමක් සෙව්වේ ඇමෙරිකාව දිහා බලා ය. ඔවුන් ඇමෙරිකානුකරණය පටන් ගන්නේ යුරෝපීය කොමිසම තුලිනි. එහෙත් එය ප්‍රචණ්ඩත්වය ගැන බියෙන් වූ, ඉවසීම නැමති කඩතුරාවකින් වසාගත් වෑයමක් මිස විචාරයකින් තොරව කැඳවා ගත්තකි. අද නැවතත් ලේ හැලීම් යුරෝපයේ පටන් ගෙන ය. මෙවර එය පටන් ගෙන ඇත්තේ සංක්‍රමණික යුරෝපීයයන් කරන කෙනිත්තිලි හා ඇවිස්සීම් වලිනි. වහාම පියවර නොගෙන යුරෝපීය කොමිසම විසින් ඇස් පියාගෙන සිටීම නිසා ඊ ළඟට නැඟිටින්නේ කෙනිත්තිලි ඇවිස්සිලි තව දුරටත් ඉවසා ගත නොහැකි, විචාරය නුහුරු සංක්‍රමණික නොවන යුරෝපීයයන්ය.

නූතන චෙක් ජනරජයේ පිහිටන, එදා ජර්මන් හා චෙක් නාට්සීන් අතින් දස දහස් ගණනින් යුදෙව්වන් ඝාතනය වූ Theresienstadt concentration camp හි 2005 දී Margot Wallström නම් වූ ස්වීඩනයේ යුරෝපීය කොමසාරිස්වරිය කතාවක් පැවැත්වීය. ඇය කීවේ යුරෝපීය රටවල් තම තමන්ගේ ජාතික ස්වෛරීභාවයෙන් අයින් වී යුරෝපීය අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තේ නැත්නම් යුදෙව්වන් මිලියන හයක් මරා දැමුණු සමූලඝාතනය (holocaust) වැන්නක් අනාගතයේ ඇතිවීම වළක්වා ගත නොහැකි වේ ය කියාය. වේදිකාවට එදා ගොඩ වූ හැම දේශකයෙක් ම දැරුවේ ඒ හා සමාන අදහස්: අපි නැවතත් පටු ජාතිවාදයට ආපහු දුවන්න නරකයි!; යුරෝපීය අර්බූදයට විසඳුම ලොකු යුරෝපයක්, කුඩා යුරෝපයක් නෙවෙයි; ජනතාව ඉල්ලා සිටිනවා යුරෝපය ක්‍රියාකාරී විය යුතු යැයි කියා; විසිවැනි සියවසේ යුද්ධ වලට ආපහු යන්නට බැහැ.

එහෙත් ඒ කතා වලින් ඔවුන් අදහස් කළේ යුදෙව්වන්ගේ ආරක්ෂාවක් ගැන නෙමෙයි!!!!

යුරෝපයේ අඳුරු යුගය දී ඔටෝමාන් අධිරාජ්‍ය්‍යේ බලවත් ම සමය විය. එහි ගිය බටහිර වැසියන් වූහ. චීනයට අද ඇදී යන බටහිර වැසියන් එමට ය. බ්‍රිතාන්‍ය යටත්විජිත ලංකාව ද යුරෝපීයයන් පදිංචියට ප්‍රිය කළ සමයක් තිබුණි. ඔවුන් ඇදී ආවේ රටේ වූ ආණ්ඩු ක්‍රමයට ඇති කැමැත්ත නිසා හෝ මානුෂීය අයිතින් වලට ලැබි තැන නිසා නෙමෙයි. ඒ අධිරාජ්‍ය්‍යන් හා රටවල් වලින් ලබාගත හැකි ආර්ථික වාසි නිසා ය.

අද යුරෝපයට ඇදී එන සංක්‍රමණිකයන් අතර 2006 වෙද්දී බ්‍රිතාන්‍ය්‍යේ පදිංචි ලංකාවේ ඉපදුන අය 68,000 ක්; 2000 දී ඩෙන්මාර්ක් හි පදිංචි ලංකාවේ ඉපදුන අය 6,800 කි. 1980 සිට 2003 දක්වා ලංකාවේ සම්භවය ඇති 292,000 ක් යුරෝපයේ සරණාගත වීමට ඉල්ලුම් කර ඇත. ලංකාව වැනි පුංචි රටකින් ගිය අය ගැන තතු ඒ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එකිනෙකා හා යුද්ධ වලින් ඉවත් වෙන යුරෝපය ආර්ථක සංවර්ධනයක නියැළෙයි. හෙමින් යමක් සිද්ධ වෙනවාට අකමැති පාලකයන්, (බලයේ ඉන්නට නම් තමන් යමක් කළා යැයි හැම විටම හඬ ගා චන්ද දිනාගත යුතු නිසා) වේගවත් සංවර්ධනයකට සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම අරඹයි.

එහෙත් වීදි කොනේ කඩේකින් ඉන්දියන් චිකන් කෝර්මා කන්නට හුරු වූ යුරෝපීය වැසියා ඉන්දියානු සංක්‍රමණික පිරිමි සංකර වූ ලන්ඩන් ඉන්දියානු කෙල්ලන් කරකාර බඳින්නට අකමැතිව, විවාහයට සූදානම් වෙද්දී කිසිදා නොදැකි කෙල්ලක් ඉන්දියාවෙන් ම ගෙන්වා ගන්නේ මන්දැයි වටහා ගත්තේ නැත. නීත්‍යානුකූල සංක්‍රමණිකයන් සමාජයට අනුකූල වෙන්නේ කොහොම දැයි සොයා නොබැලූ යුරෝපීයයන් රටට ආ සංක්‍රමණිකයන් රටේ ඉන්නා අනිත් සංක්‍රමණිකයන් අතරින් විවාහයට අයෙක් තෝරා නොගෙන, විවාහයට පිණිස ගෙනෙන ජනගහණයක් තුලින් තවත් සංක්‍රමණික රැල්ලක් හටගෙන ඇති බව දැක්කේ පසුව ය.

බහුතරය එහි ආවේ නිදහස සොයා නොව ආර්ථික වාසි සොයා නිසා, එහෙත් ආර්ථික වාසි ලැබෙනුයේ නිදහස තියෙන නිසා බවත් වටහා ගන්නට නම් “නිදහස” යනු කුමක් දැයි කියා දෙන්නට කෙනෙක් නොවූ නිසා සංක්‍රමණිකයන් ද තමන් ගෙනා මතවාදයන් හි ඇලී ගැලී සිටිමින් යුරෝපීය ආර්ථිකයෙන් වාසි ලැබූහ. එහෙත් නිදහසට බාධක පැමිණෙන විට ආර්ථිකය ද දුර්වල වී අඩපණ විය.

යුරෝපීය යුනියනය හැදෙන්නේ යුරෝපීය නොවන සංක්‍රමණිකයන් පරමාර්ථ කරගෙන නොවෙයි. නමුත් 2012 වෙද්දී තම සමාජයන් දිහා බලනා යුරෝපීය රටවල නායකයන්ට පෙනෙන්නේ යුරෝපීය යුනියනයේ ගිවිසුම් වලින් තම තම රටවල් වලට එන්නට ඉඩදුන් යුරෝපීය නොවන සංක්‍රමණිකයන් වැඩි වී ඇති බවයි.

දෙපැත්තම විමසා බැලිය යුතු දේවල් දෙපැත්ත විසින් ම පැත්තකට දමා ඇත. බහුතර යුරෝපීය පදිංචිකරුවන් අද සංක්‍රමණිකයන් වෙතින් හැදෙන යුරෝපයකින්, ජාතිවාදයෙන් තොර වූ යුරෝපීය ලෝකයක් පතමින් සිටිති. එහෙත් සමාජයක විවිධ මත දරනා අයට සමගියෙන් හා වාසිදායක ලෙසින් ජීවත්විය හැකියාව ලැබෙන්නේ යමක් පැතූ පමණින් නොවේ. එය කෙසේ සාක්ෂාත් කරගන්නේ දැයි විමසා බලා ඒ සඳහා පියවර ගැනීමෙනි. තවමත් ඇස් පියාගෙන අර්බූදයන් නැති වී යාවි යැයි පැතීම මිසක් ගැටළු විමසන උත්සාහයක් යුරෝපයෙන් එන්නේ නැත. කිසිවක් නොදී සනසන්නට උත්සාහ කරන්නෙ අයිතීන් එකින් එක අහිමි වන අයව වීමත්, බැගෑපත් වෙන්නේ අයිතීන් කඩන අයට වැඳ වැටී වීමත් නම්, එවිට ‘ගෞරවය’ හා ‘ජාතිවාදය එපා කියන්න’ යැයි ගැසූ පෝස්ටර් වලින් ඵලක් නැත.

තමන් හොයන්නේ කුමක් දැයි වටහා ගත් අධ්‍යාපන සරණාගතයෝ වැනි යුරෝපීයයන් යුරෝපයෙන් පිටත් වී යද්දී ඉතිරි වන්නේ වෙන්නෙ කුමක්දැයි නොදන්නා අය සහ අන්තවාදීන් පමණකි. 1950 අග හා 1960 ගණන් මුල දී එංගලන්තයේ ඉගෙන ගන්නට ගිය, ගිම්හානයේ යුරෝපය බලන්නට ගිය ආචාර්ය රොහාන් වික්‍රමසිංහ වැන්නන්ට නුදුරු අනාගතයක දී එවැනි රසවත් ගමනක් ගැන ලියන්නට හැකිවේවි ද?!!!! මම ආචාර්ය රොහාන් වික්‍රමසිංහ සමඟ එකඟයි: මිනිසුන්ට සාමයෙන් එකිනෙකා හා ජීවත්විය හැකියි, අයෙක් අනිකෙක්ව අවුස්සන්නේ නැත්නම්. ඒත් අද යුරෝපීයයන්ව අවුස්සන්නේ කවුද?!!! ප්‍රචණ්ඩත්වයට බිය වීම ඉවසීම යැයි හිතන අද යුරෝපීයයන්ට, එය වටහා දෙන්නට නම් ප්‍රචණ්ඩත්වයෙන් රිදවන හිංසකයා කවුදැයි කියා දිය යුතුයි. ඒක ඔවුන් නොදන්නවා නෙමෙයි, එහෙත් නොදකින්නට ඇස් පියාගෙන සිටිනා නිසා ඔවුන්ට හනිකට ඇස් ඇර බලන්නට යැයි කියන්නට ඉදිරියට එන්නේ මොන යුරෝපීයයා ද?!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on අගෝස්තු 23, 2012 at 11:13 පෙ.ව.

    ටිකක් භයානක දෙයක් කතා කරමුද? ලංකාවේ අරාබි වසන්තයක් ඇතිවෙයිද? ඇති කරයිද? ඇති කළ යුතුද?

    • arunishapiro said, on අගෝස්තු 23, 2012 at 11:40 පෙ.ව.

      wicharaka විචාරක,

      මිනිස් ස්වභාවය අරුම පුදුමයි. අනාවැකි කියන්නට මම කැමති නැහැ. තමන් විසඳුම් සොයා යා යුතු ඔය ප්‍රශ්න ම තමයි මටත් අහන්න තියෙන්නෙ.

      අදහසක කාලය පැමිණ ඇත්නම් එය නවතනු නොහැකියි – One cannot resist an idea whose time has come. ඒක Victor Hugo කියලා තියෙන්නෙ මෙහෙම: අයෙක් හමුදාවකට එරෙහිව ක්‍රියා කළත් අදහසකට එරෙහිවව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියල. (On résiste à l’invasion des armées; on ne résiste pas à l’invasion des idées.)

      සාමකාමී අරගලයකට ඉඩක් නොදෙන අය ප්‍රචණ්ඩ අරගලයක් අනිවාර්යෙන් ම ගෙන්වා ගන්නවා කිව්වේ ජෝන් එෆ්. කෙනඩි. (Those who make peaceful revolution impossible will make violent revolution inevitable. -John F. Kennedy)

  2. Maathalan said, on අගෝස්තු 23, 2012 at 11:33 පෙ.ව.

    බලාගෙන ගියාම දියුණු යයි කියනා සමාජයේත් ගෝත්‍රික ගති තියෙනවා නේද..?

    • arunishapiro said, on අගෝස්තු 23, 2012 at 11:42 පෙ.ව.

      Maathalan,

      ගෝත්‍රික ගති පිරි යුරෝපීය නොවන සංක්‍රමණිකයන් ඇවිත් ඒ ගති තමයි අද යුරෝපයේ ප්‍රචණ්ඩත්වයෙන් පෙන්නුම් කරන්නේ.

      • සෑම් said, on අගෝස්තු 23, 2012 at 11:05 ප.ව.

        ගෝත්‍රික ගති එන්නේ උප්පත්තියෙන් මට හිතෙන්නේ. ඉපදෙන සමාජයේ බලපෑමක් තියෙනවා. ඒත් පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව තමා ක්‍රියාව වෙනස් වෙන්නේ.

        • arunishapiro said, on අගෝස්තු 24, 2012 at 7:01 පෙ.ව.

          සෑම්,

          සෑම් හිතන විදිය මමත් හිතන විදියයි: උප්පත්තියෙන් ආපු, සමාජයේ බලපෑමෙන් හැදෙන ගෝත්‍රික ගති පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව ක්‍රියාව වෙනස් වෙන්නක්. තමන්ගේ ගෝත්‍රයට ලැදියාවක් ඇතුව ජීවත් වීමේ නරකක් නැහැ, ඒත් ඒක පිට දාලා අනිත් ගෝත්‍ර වඳ කරන්න හදන එකයි නරක.

  3. සත් සමුදුර said, on අගෝස්තු 24, 2012 at 6:10 පෙ.ව.

    යුරෝප‍යේ බොහෝරටවලට සංක්‍රමණිකය වූ හෝ ඔවුන්ගේ පරම්පරාවට පසු පරම්පරා‍වල එ‍රටෙ උපන් අය ඒ රටවල කැපී පෙනෙනම ක්‍ෂෙත්‍රවලත් නියෝජනය ලබාගෙන නේද? උදාහරණයක් ලෙස අද එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානුවන්, මුස්ලිම් අය මෙන්ම නීග්‍රෝ අයත් සිටිනවා. ඒවගේම ප්‍රංශ පාපන්දු කණ්ඩායම ගත්තම එකෙත් නීග්‍රෝ අය සිටිනවා. මෙතනදී ලැබී තිබෙන්නේ දක්‍ෂයට සුදුසු තැන ලැබීමේ යුරෝපියානු නිදහස් වටපිටාවද? නැත්නම් සංක්‍රමණිකයන් ක්‍රමයෙන් ඒ රටවල දේවල් අත්පත් කරගන්නවාද?

    • arunishapiro said, on අගෝස්තු 24, 2012 at 7:07 පෙ.ව.

      සත් සමුදුර,

      //යුරෝප‍යේ බොහෝරටවලට සංක්‍රමණිකය වූ හෝ ඔවුන්ගේ පරම්පරාවට පසු පරම්පරා‍වල එ‍රටෙ උපන් අය ඒ රටවල කැපී පෙනෙනම ක්‍ෂෙත්‍රවලත් නියෝජනය ලබාගෙන නේද?//

      එහෙම අය ඉන්නවා. ඒක තමයි සුදුස්සාට සුදුසු තැන ලැබීමේ යුරෝපීය නිදහස. එතැන දී සංක්‍රමණිකයන් ද ඒ රටවල දේවල් අත්පත් කරගන්නවා නම් යුරෝපීයයන් කැමැතියි. ඒක තමයි යුරෝපීය සමාජයට අනුකූලය යැයි ඔවුන් බලාපොරොත්තු වෙන්නෙත්. එයින් තමයි යුරෝපීය සමාජයේ සහ සංක්‍රමණිකයන්ගේ උන්නතියක් සැලසෙන්නෙත්.

      ඒත් නූතනයේ යුරෝපයට සංක්‍රමණය වූ බහුතරය (මේ අය ගැන පැහැදිලිව විස්තර ඊ ළඟට පටන් ගන්නයි ඉන්නෙ) එහෙම උත්සාහයක් ගන්නේ නැහැ. ඒ අය තමයි ඉහත අනුකූල වෙන අයට ප්‍රචණ්ඩත්වයෙන් ද බලපෑම් කරන්න පටන් ගෙන ඇත්තේ “කළු සුද්දෝ” වෙන්න යනවා කියල.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: