අරුණි ශපීරෝ‍ වෙතින්

කවුද ජෝන් ගාල්ට්?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 29, 2012

“වසර දොළහක් පුරා ඔබ ඇහැව්වේ “කවුද ජෝන් ගාල්ට්?” කියා. ඉතින් මේ කතා කරන්නේ ජෝන් ගාල්ට්. මම තමයි ඔබේ පීඩිතයන් ගෙන ගිහින් ඔබේ ලෝකය විනාශ කරපු මිනිසා. ඔබට ඇහිලා තියෙනවා මේක සදාචාර අර්බූදයක් තියෙන යුගයක් කියා. මිනිසාගේ පව් නිසා ලෝකය විනාශ වෙනවා කියා. ඒත් ඔබේ ප්‍රධාන සද්ගුණය වූයේ පරිත්‍යාගයයි. හැම ව්‍යසනයක දී ම ඔබ ඉල්ලා සිටියේ වැඩි වැඩියෙන් පරිත්‍යාග කරන්නට කියායි. ඔබ යුක්තිය පරිත්‍යාග කළා දයාව වෙනුවෙන්. සතුට පරිත්‍යාග කළා වගකීම වෙනුවෙන්. ඉතින් ඇයි ඔබ ඔබ වටා ඇති ලෝකය ගැන බියෙන් සිටිය යුත්තේ?

ඔබේ ලෝකය හැදී තියෙන්නේ ඔබේ පරිත්‍යාග වලින් පමණයි. ඔබ බිලිපූජා පවත්වන අල්තාර වලට ඔබේ සතුට ඔබට ලබා දුන් පුද්ගලයන්ව ඔබ ඇදගෙන යද්දී, මම ඊට කළින් ඔවුන් වෙත ගියා. ඔබට කළින් ඔවුන් හමු වී ඔබ ඔවුන් හා කරන සෙල්ලම ඔවුන්ට පෙන්වා දුන්නා, එයින් ඔවුන් අවසානය ළඟා වෙන්නේ කොතැනින් දැයි කියා දුන්නා. සහෝදර ප්‍රේමය නම් සද්ගුණයක් යැයි ඔබ කියන්නෙන් ඇතිවන විපාක ගැන මම ඔවුන්ට පැහැදිලි කර දුන්නා. ඔවුන් එය ඔවුන්ගේ අහිංසක උදාරත්වයෙන් වටහා ගත්තා. ඔබට ඔවුන් හොයාගන්න ලැබෙන්නේ නැහැ දැන්. වෙනත් කිසිදාකට වඩා වැඩියෙන් ම ඔවුන් ඔබට අවශ්‍ය වී ඇති මේ දිනයේ දී.

උපයා නොගත් වරප්‍රසාද සහ පාරිතෝෂයක් නොලැබෙන වගකීම් ඉටු කිරීම යන ඔබේ ඇදහිල්ලට එරෙහිව අපි වර්ජනයක යෙදෙමු. ඔබට දැනගන්නට ඕනෑ නම් මම ඔවුන්ට මේ ක්‍රමයෙන් ඉවත් වෙන්නට කියා දුන්නේ කොහොම දැයි කියා, දැන් අහගන්න, මේ අද රාත්‍රයේ ඔබට කියන්නේ ඔවුන්ට කියූ දෙයමයි. මම ඔවුන්ට කියා දුන්නේ විචාරයේ සද්ගුණයයි. එනම් තමන්ගේ සතුට සොයා යන ගමන තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කරගැනීම නිවැරදි යැයි කියායි. අනුන්ගේ සතුට මගේ ජීවිතයේ අරමුණක් නෙමෙයි. එසේම මගේ සතුටත් වෙන කාගේවත් ජීවිතයේ අරමුණක් යැයි මා සලකන්නේ ද නැත.

මම වෙළෙන්ඳෙකි. මම නිෂ්පාදනය කරන දැය විකුණා මම උපයා ගන්නෙමි. මම උපයා ගන්නවාට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් කිසිත් මම ඉල්ලන්නේ නැහැ. ඒක තමයි යුක්තිය. මම කාටවත් මා හා වෙළඳාම් කරන්න යැයි බලහත්කාරකම් කරන්නේ නැහැ. මම වෙළඳාමේ යෙදෙන්නේ එකිනෙකාගේ යහපත වෙනුවන්. බලහත්කාරකම නම් යථාර්ථවාදී ලෝකයක තැනක් නැති දැඩි පාපයක්. අයෙකුගේ කැමැත්ත නැතිව බලහත්කාරකමෙන් යමක් කරවීමට වෙනත් අයෙකුට කිසිසේත්ම ඉඩ දීමට බැහැ. මිනිසාට විචාරයට ඇති අයිතිය නොදුන්නොත්, එහෙම නම් ඔබටත් ඔබේ විනිශ්චයන්ට ඇති අයිතිය නැති වී යනවා. ඒත් ඔබ ඉඩ දීලා තියෙනවා ඔබේ ලෝකය බලහත්කාරකම් වලින් පාලනය වෙන්නට. බිය හා සතුට එක හා සමාන දිරිගැන්වීමක් යැයි කියන මිනිසුන් වෙතින් පාලනය වෙන්නට. බිය හා සතුට වඩා ප්‍රායෝගික යැයි කියනා අය අතින් පාලනය වෙන්නට.

උපන් අවස්ථාවේ පටන් සියළු මිනිස්සු දුෂ්ට වූවන් යැයි බණ කියමින් ඔබේ ලෝකය පාලනය කරන්නට එහි බලතල දරනා අයට ඔබ ඉඩ දී තියෙනවා. මිනිස්සු මේක විශ්වාස කළාම, තමන් කැමති විදියට හැසිරීමේ වැරැද්දක් ඔවුන් දකින්නේ නැහැ. මේ අභූතයේ නම ජන්ම පාපයයි. එය අසම්භාව්‍ය්‍යකි. තෝරාගැනීම් තුලින් පිටතක වූවක් සද්ගුණයේ ද පිටතකින් වූවකි. පාපය නම් මිනිසාගේ තෝරාගැනීමෙන් පිටතක වූවක් යැයි සැලකීම යුක්තියට අවමානයකි. මිනිසා උපන්නේ නිදහස් සිතුවිලි යුතුව යැයි කියා එහෙත් ඔහු පාප සහගත හැදියාවෙන් යුතු යැයි කීම විහිළුවකි. අයෙක් ගේ හැදියාව තීරණය වෙන්නේ තෝරාගැනීමකින් නම්, එය ජන්මයෙන් ලැබෙන්නක් නොවේ. එය තෝරාගැනීමකින් යුතු වූවක් නොවෙන්නේ නම්, එහෙනම් මිනිසාගේ නිදහස් සිතුවිලි නිදහස් නැත.

ඊ ළඟට ඔබේ සහෝදර ප්‍රේමය නම් වූ සද්ගුණය දිහා බලමු. ඇයි අනිත් අයට සේවයක් කිරීම සද්ගුණයක් වෙන්නේ? එහෙත් තමන්ට සේවයක් කිරීම සද්ගුණයක් නොවෙන්නේ? යමකින් සතුටු වීම අගයකින් යුතු වූවක් නම්, එහෙනම් එය අනිත් අය විසින් අත්විඳිද්දී ඇයි එය සද්ගුණයක් වෙන්නේ? තමන් විසින් අත්විඳිද්දී එය සද්ගුණයක් නොවෙන්නේ? උත්සාහයක් නොගත් අය බාරගනිද්දී සද්ගුණයක් යැයි සැලකෙන අගයකින් යුතු වූවක් නිෂ්පාදනය කර තමන් සඳහා තබා ගැනීම දුරාචාරයක් යැයි සැලකෙන්නේ ඇයි? පරිත්‍යාගය සද්ගුණයක් නම් පරිත්‍යාගයක් බාරගැනීම ආත්මාර්ථකාමීත්වයක් නොවේ ද?

පරාර්ථකාමීත්වය නම් සංහිතාව ඔබ බාරගෙන ඇති විදියට ඔබට වඩා ඩොලරයක් අඩුවෙන් ඇති මිනිසා ගැන ඔබට බියක් ඇත. ඔබ හිතන්නේ ඒ ඩොලරය ඒ මිනිසාට අයිති විය යුතු යැයි කියාය. ඔබට වඩා ඩොලරයක් ඇති මිනිසාට ඔබ ද්වේෂ කරයි. මන්ද ඔබ හිතන්නේ ඔහු තියාගෙන ඉන්නේ ඔබට අයිති විය යුතු ඩොලරය යැයි කියාය. ඔබේ සංහිතාව මොන අවස්ථාවේ ද දෙන්නේ මොන අවස්ථාවේ ද ගන්නේ කියන්න වටහා ගැනීමට නොහැකි තත්වයකට ඔබව පත්කර ඇත.

ඔබ දන්නවා ඔබට සියල්ල දානය කර හාමතෙන් සිටිය නොහැකි බව. ඔබ උවමනාවෙන් බාරගෙන තිබෙන්නේ ඔබ බාරගත යුතු නැති අවිචාරී වද්‍යතාවයකින් ජීවත්වෙන්නට ය. කුමන හෝ අවස්ථාවක තවත් අයෙකුට උදව් කිරීම සුදුසු ද? නැහැ, ඒ අය එය එයාගේ අයිතියක් හෝ එය ඔබගෙන් විය යුතු යුතුකමක් සේ සලකනවා නම්. ඔව්, එය ඔබේ ම කැමැත්තෙන් ඔබේ ම නිදහස් සිතුවිලි මතින් වූ ඒ අයගේ පුද්ගලික අගය හා එයාගේ වෑයම ගැන ඔබේ විනිශ්චයකින් යුතු වූවක් නම්. මේ රට හැදී ඇත්තේ අනුන්ගෙන් කන්න බලාගෙන හිටි මිනිසුන් ගෙන් නෙමෙයි. ඇයගේ දීප්තිමත් තාරුණ්‍යයේ මේ රට සෙසු ලෝකයට පෙන්වූයේ මේ මිහිතලයේ මිනිසාට මොන තරම් සතුටක් හා ශ්‍රේෂ්ඨත්වයක් සොයා යන්නට හැකි දැයි කියාය.

අනතුරුව පටන් ගැනුනේ ඒ ශ්‍රේෂ්ඨත්වයට කමාව අයදින්නට ය. අසල්වැසියන්ට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරා යන වද්‍යතාවයෙන් එහි ධනය බෙදා දෙන්නට ය. වසර දොළහකට පෙර මම දුටුවෙමි ලෝකයේ වැරැද්ද කුමක් දැයි කියා. ජීවිතයේ සටන වැදිය යුත්තේ කොහේදී දැයි කියා. හතුරා විසින් සද්ගුණය උඩු යටිකුරු කර තිබිය දී මම හතුරාගේ ඒ උඩු යටිකුරු වූ සද්ගුණය බාර ගැනීම තමයි සතුරාට ඇති එකම බලය බව හඳුනාගත්තා. අනුන් වෙනුවෙන් සේවයක් කරන්නට තමන්ගේ සතුට අත්හැරීම ප්‍රතික්ෂේප කළ පළමු මිනිසා මමයි.

ප්‍රතාපවත් බවේ යම් සේයාවක් ඉතිරි වී තිබෙනා ඔබ අතර සිටින කිහිප දෙනාට, අනුන් වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන් ජීවත්වෙන්නට උවමනාව ඇති අයට, ඔබටත් අවස්ථාව තියෙනවා ඒ තෝරාගැනීම ම තෝරාගන්න. ඔබේ අගයන් විභාග කරන්න. වටහා ගන්න ඔබට එක පැත්තක් තෝරා ගන්න වෙනවා. හොඳ හා නරක අතර මැද මාවතක් ගැනීමෙන් වෙන්නේ හොඳ විනාශ වී නරකට උදව් දීමයි.

ඔබට මා කියන්න වැටහුනා නම්, එහෙනම් ඔබේ විනාශය පමුණුවන අයට උදව් දීමෙන් වළකින්න. ඔවුන්ගේ දර්ශනය බාරගන්න එපා. ඔබේ විනාශය ගෙනෙන අය ඔබ අල්ලා ගෙන ඉන්නේ ඔබේ ඉවසීමෙන්, ඔබේ උදාරත්වයෙන්, ඔබේ අහිංසක බවෙන්, සහ ඔබේ ආදරයෙන්. අද ඔබ වටා දකින ලෝකය වැනි ලෝකයක් ගොඩනඟන්නට ඔවුන්ට උදව් කර විඩාබරිත වෙන්න එපා. ඔබ තුල තිබෙන වඩාත් ම යහපත් වූව නාමයෙන්, ඔබේ සතුට පැහැරගෙන යන අයට එය දී ලෝකය බිලිදෙන්න එපා.

ලෝකය වෙනස් වෙන්නේ ඔබ මේ දිවුරුම දෙන්නට සූදානම් වූ විටයි:
මගේ ජීවිතය වෙනුවෙන්, ජීවිතයට ඇති ආදරය වෙනුවෙන් මම දිව්රනවා වෙනත් මිනිසෙක් වෙනුවෙන් මා ජීවත්වෙන්නේ නැහැ කියා, එසේම වෙනත් මිනිසෙකුට මා වෙනුවෙන් ජීවත් වෙන්න යැයි මම ඉල්ලන්නේ ද නැහැ කියා.”

ජෝන් ගාල්ට් -අයින් රෑන්ඩ් 1957 දී ලියූ ඇට්ලස් හැකිළුණි පොතේ චරිතයකි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. yakparapuresinhalaya said, on අගෝස්තු 29, 2012 at 7:11 පෙ.ව.

    මොනවද අක්කේ මේ මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ හලෝ මම මෝඩද නැත්තම් ඔයාට පිස්සුද අම්මෝ

    • arunishapiro said, on අගෝස්තු 29, 2012 at 12:23 ප.ව.

      yakparapuresinhalaya,

      ඔයාට මෙලෝ දෙයක් තේරුනේ නැති පමණින් ඇයි අහන්නෙ මට පිස්සු ද කියලා?!!!

      • yakparapuresinhalaya said, on අගෝස්තු 31, 2012 at 3:20 පෙ.ව.

        අක්කේ දන්නේ නැති නිසා ඇහුවේ තරහ අවසර . මමත් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔය දන්නවද අපේ රටේ ඉතිහාසයක් තියන කුරගලට වෙච්ච දේ මුහුදු මහා විහාරයට වෙන දේ ගැන එක චුට්ටක් වත් ඔය ගොඩක් යට නොතේරෙන දේවල් ගැන නොලිය අපේ රටට ජාතියට සංවේදී කාරනාවක් ගැන ලිව්වා නම් ඉඳල හිටලා හරි ඔය ලොකුම ලොකු පිනක් කර ගත්ත වෙනවා . නැත්තම් අක්කේ ඔයාට හරි ඔයාගේ දුවලට හරි වෙන්නේ බුර්කාවක් අස්සට රිංගල කුස්සියේ පලා ලිය ලිය ඉන්න තමයි . බ්ලොග් කෙරුවාව ඉවරයි .
        ප: ලි: ජෝන් ගාලට් ගැන දන්නේ නෙති එක ගැන දුකක් නැහැ එත් රටට වෙන විනාසේ ගැන නොදන්නා එක ගැන නම් දුකයි . ඇත්තටම දුකයි සහ අපේ මිනිස්සුත් එක්ක තරහයි තමුන්ගේ වගකීම ඉටු නොකිරීම ගැන

        • arunishapiro said, on අගෝස්තු 31, 2012 at 9:19 පෙ.ව.

          yakparapuresinhalaya,

          ගොඩක් අයට නොතේරෙන දේවල් ලියනවා කියල මල්ලි තීරණය කළේ කොහොම ද? මේ අඩවියට එන අයගෙන් කී දෙනෙක් මේ කියන දේවල් ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නවා ද යැයි ඔබ නිශ්චිතව ම දන්නේ ද?!!!!

          අනික් අයට ඕන දේවල් හා අනික් අය කැමති දේවල් ලියන ඕන තරම් අය සිංහලෙන් ලියනා අය අතරින් හොයා ගන්නට පුළුවනි. එවැනි කෙනෙක් ගෙන් තමයි ඉල්ලන්නට වෙන්නේ ඔය පින්කමට දායක වෙන්න කියලා.

          මම දානය කරන්නේ මෙහෙමයි: කුමන හෝ අවස්ථාවක තවත් අයෙකුට උදව් කිරීම සුදුසු ද? නැහැ, ඒ අය එය එයාගේ අයිතියක් හෝ එය ඔබගෙන් විය යුතු යුතුකමක් සේ සලකනවා නම්. මල්ලි පින්කමක් යැයි හිතන්න මම පින්කමක් යැයි හිතන්නේ නැහැ.

          මම පින්කමක් යැයි සිතන්නේ මගේ ම කැමැත්තෙන් මගේ ම නිදහස් සිතුවිලි මතින් වූ මා මෙය ලියන්නට අරමුණු කරගත් අයගේ පුද්ගලික අගය හා එයාලගේ වෑයම ගැන මට තියෙනා වූ විනිශ්චයකින් යුතු නිසා. ඔයා දන්නෙ නැතිවුනාට සිංහලෙන් කියවන එවැනි අය මට ඉන්නවා: හද සතුටින් පුරවන ලාංකිකයන් හමුවුනෙමි. මා ලියන්නේ ඔවුන්ටයි.

          • yakparapuresinhalaya said, on අගෝස්තු 31, 2012 at 9:46 පෙ.ව.

            අවුලක් නැහැ ඔයත් අර ලංකාවේ ශරීරය තිබ්බට හිතෙන පිට ජිවත් වෙන මනුස්සයෙක් වෙන්න එති නැත්තම් දැනටමත් රට ඇත හැරලා ගියපු කෙනෙක් වෙන්න ඇති . මම පුළුවන් තරම් සිංහල බ්ලොග් සහෝදර සහෝදරියෝන්ගෙන් මේ ඉල්ලීම කරනවා මම පරද වෙන්න පුළුවන් දිනන්න පුළුවන් එත් අන්තිමට මට සතුටු වෙන්න පුළුවන් ලොකු දේවල් නොලිව්වට නොතේරෙන ජෝන් ගාලට්ල ගැන නොලිව්වට මගේ රට වෙනුවෙන් වචනයකින් හරි දායක වුනා කියල . අක්කේ ජෝන් ගාලට් ගැන ඔයා ලිව්වත් නොලිව්වත් කිසි වෙනසක් වෙන්නේ නැහැ එත් අපේ රට ශ්‍රී ලංකාව ගැන කිසිම හඬක් නගන්නේ නැතිව කට වහගෙන හිටියොත් මේ රට තවත් එක තම්බි රාජ්ජයක් බවට පත්වෙයි . මම හිතන්නේ නැහැ එදාට උනත් ඔයාට රට ගැන හැඟීමක් තියෙයි කියල . ස්තුතියි මට ඉඩ දුන්නට.

  2. අටම්පහුර said, on අගෝස්තු 29, 2012 at 1:51 ප.ව.

    මම කියවා ඇති ඔබේ ලිපි වලින් මට හරියට තේරුම් ගැනීමට හැකිවුයේ දෙක තූනක් පමණයි, අවුරුද්දකට ආසන්න කාල‍යක් මම ඔබ කියවමින් සිටිනවා. කවදාහරි ඔබව සාර්ථකව කියවීමට හැකිවෙතැයි සිතනවා.

  3. Gold fish said, on අගෝස්තු 29, 2012 at 10:28 ප.ව.

    ලඟ එන මූවි එකක් වගෙයි….

    • arunishapiro said, on අගෝස්තු 30, 2012 at 7:46 පෙ.ව.

      Gold fish,

      ඔව්. කළින් දාපු ඇට්ලස් හැකිළුණු චිත්‍රපටියේ දෙවැනි කොටස. ජෝන් ගාල්ට් චරිතයේ අදහස් වලින් කියැවෙන්නේ අයින් රෑන්ඩ් දර්ශනයයි.

  4. අදහස් අවකාශය said, on අගෝස්තු 30, 2012 at 2:52 පෙ.ව.

    සබැඳිය කපා හරින ලදි. බොරු ප්‍රබන්ධ වලට ඉඩක් දීම මේ අඩවියේ සිද්ධ නොකෙරේ. -අරුණි ශපීරෝ

    any comment on this

  5. Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 30, 2012 at 10:01 පෙ.ව.

    and don’t miss this too aruni
    https://freemarketrevolution.org/product/preorder/

    • arunishapiro said, on අගෝස්තු 30, 2012 at 5:05 ප.ව.

      Many thanks Kevin.

      • Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 31, 2012 at 1:03 පෙ.ව.

        අරුණි මේ ලින්ක් එකේ http://3mana.com/category/hegel-seminars/ හිටපු X කණ්ඩායමේ පුද්ගලයින් හේගල් සම්බන්දයෙන් Download Seminar_1,2,3,4,5, වශයෙන් ලගඳි ලියපු PDF ගොනු 5ක් තියනවා වෙලාවක් තිබේනම් කියවලා බලන්න. මගේ ගැටලුව මෙකයි අරුණි අයින් රැන්ඩ් කාන්ට් ට කරන විවෙචනය හෙගල් ට කරන්නේ නැත්තේ ඇයි. රෑන්ඩ් හෙගල් තෙරුම් නොගැනීමද? හේගල් ගැඹුරින් දන්න X කණ්ඩායමේ දීප්ති වගේ කෙනෙක් කිව්වොත් අයින් රෑන්ඩ් විවෙචනය කරේ තමන්ට තෙරුම් ගන්න පුලුවන් චින්තකයින් පමනක් කියලා අරුණි මොකද කියන්නේ?

        • arunishapiro said, on අගෝස්තු 31, 2012 at 9:06 පෙ.ව.

          Kevin,

          දීප්ති කියන එක්කෙනා හේගල් ගැඹුරින් දන්නවා දැයි හොයන්නට ඒවා කියවන්නට නම් කාලයක් නැහැ කෙවින්. තාර්කික වූ හා ජීවිතයට අතිශය වැදගත් දේවල් දවසෙන් දවස මෙහෙන් හොයාගන්න ලැබෙද්දී!!! මම අයින් රෑන්ඩ් වගේ වැඩියෙන් කැමති මගේ දාර්ශනික වෑයම පසුපස හඹා යන්නට මිස තවකෙක් ගැන තවත් අයෙක් කියන දේවල් හරි ද වැරදි දැයි හොයන්නට නෙමෙයි. සත්‍ය ගවේෂණයක යෙදෙන අයෙක් කළ යුත්තේ තමන් විසින් සොයා බැලීම මිස අනෙකෙක් ගැන වෙනකෙක් කියන දෙයක් හරි ද වැරදි දැයි සෙවීම නෙමෙයිනේ. ඒක කරන නිසා තමයි සිංහලෙන් කියවන්නා හැමදාම එකතැන.

          කාන්ට් ඉදිරිපත් කළ දර්ශනයෙන් ජර්මන් විඥානවාදයක් ගොඩ නැඟෙන්නේ Johann Gottlieb Fichte, Friedrich Wilhelm Joseph von Schelling, සහ හේගල් අතින්. ඒ අයගෙන් හේගල් තමයි වැදගත්කම ලබා ජර්මන් විඥානවාදය පසු කාලීන කාල් මාක්ස් වැන්නන් අතින් පතුරවන්නට දායක වෙන්නේ.

          කාන්ට් තර්ක කරන්නේ පරම යථාර්ථය (ultimate reality) අපි දකින්නේ මිනිස් මනසට හසු වූ ක්‍රියාවලියකින් කියමින්. එතැනින් මිනිස් අපිට ජීවත්වෙන්නට ලෝකයක් අපි හදාගන්නවා කියල. හේගල් එතැනින් එහාට යමින් කියන්නේ මනස (mind) විසින් යථාර්ථය (reality) යන්න හදනවා (structure) සහ හසුරුවනවා (regulate) පමණක් නෙමෙයි, මනස තමයි යථාර්ථය ඇති කළේ (generated) සහ සංස්ථාපනය (constituted) කළේ කියල. යථාර්ථය කියන්නේ එතකොට සරලව මනස නැත්නම් ස්ප්‍රීතුව; ජර්මන් බසින් Geist. දැන් මේ දර්ශනය හේගල් හඳුන්වන්නේ පරම විඥානවාදය කියලා. එයින් කියැවෙන්නේ අදහස් පමණක් හැරෙන්නට වෙනත් කිසිවක් ලෝකයේ පවතිනවා කියන එක පමණක් නෙමෙයි. හේගල් ‘මනස’ යන්නට ‘දිව්‍යමය මනස’ නැත්නම් ‘පරම මනස’ යනාදිය එක හා සමාන කරමින් කියන නිසා, මනස = යථාර්ථය නම් එවිට යථාර්ථය = දෙවියන් වහන්සේ වෙනවා.

          Geist යන්න යථාර්ථය සහ දෙවියන් වහන්සේ යන්න හා එකතු කිරීම මදිවාට එතැනින් නතර නොවී ඔහු එය ඉතිහාසයත් හා එකතු කරනවා.

          කාන්ට් දකින්නේ මනස යනු හැම ඒකීය පුද්ගලයෙක් අතර එක හා සමාන වූ (identical); සංස්කෘතියෙන් සංස්කෘතියට සමාන වූ; ඵෙතිහාසික යුගයෙන් යුගයට ද සමාන වූ සැකිල්ලකින් (structure) හැටියට. හේගල් කියන්නේ මනසට විශ්වමය හා විසංයුක්ත (abstract) සැකිල්ලක් තිබුනාට එහි අඩංගු දෑ යුගයෙන් යුගයට පරිනාමය වෙනවා කියල. දැන් දාර්ශනික වූ වෑයමකින් මනසේ සාමාන්‍ය සැකිල්ල වටහා ගන්නටත්, ඉතිහාසය යළි ගොඩනඟන්නට ප්‍රාග් අනුභූත (a priori) විදියකින් කරත හැකි යැයි හේගල් කියනවා. ඉතින් දාර්ශනිකයන් වශයෙන් මනසේ ස්වභාවය විමසා බැලීමේ දී අපිට තාර්කික වූ මූලාරම්භය ගොඩනැඟිය හැකි යැයි ද ඔහු කියනවා. මෙහෙමයි ඒක වෙන්නෙ: මූලාරම්භයේ දී දෙවියන් වහන්සේ, නැත්නම් සංශුද්ධ (pure) මනස, ඒ නිසා සංශුද්ධ සත්වයා (pure being) තමන් වෙනුවෙන් හිතන්නට උත්සාහ කරනවා. ඒත් සංශුද්ධ සත්වයා ගැන සිතීම කළ නොහැකි (impossible) කාර්යයක්. ඉතින් දෙවියන් වහන්සේ සත්වයා ගැන හිතන්නට උත්සාහයක් ගනිද්දී කිසිත් හිතාගත නොහැකි වූවා. ඒ නිසා ඔහු සත්වයා (being) වෙනුවට සිතුවේ කිසිවක නැතිකමයි (nothingness).

          හේගල් ගේ දර්ශනයට අනුව දෙවියන් යනු සිතුවිල්ලක්. එතකොට සංශුද්ධ සත්වයෙක් ගැන සිතන්නට නොහැකියාව නිසා දෙවියන් තමන්ගේ ම සාරයෙන් (essence) වලින් ඈත් වෙලා. මේකට තමයි හේගල් කියන්නේ දෙවියන් ස්ව-පරාරෝපණය (self-alienation) වූවා යන්න. එතකොට හේගල් ගේ දෙවියන්වහන්සේ ඉන්නේ අනන්‍යතා අර්බූදයක. ඉතින් දෙවියන්ට එහෙම අර්බූදයක් තියෙනවා නම් මිනිසාටත් එවැනි අර්බූදයක් තියෙනවා, මොකද මිනිසාගේ මනස යනු දිව්‍යමය මනසේ විද්‍යාමාන වීමක් නිසා. ඒකීය පුද්ගලයෙකුගේ මනසේ ඉතිහාසයත් තමාව දැනගන්න (ස්වයං සම්ප්‍රජානන) හා තමාව සොයා ගන්නට යන ක්‍රියාවලියක් බැවින් එය ඉතිහාසය හදාරනවා හා සමාන වෑයමක් වෙනවා.

          දැන් ඔයාගේ ගැටලුවට එමු. ඇයි කාන්ට් විවේචනය කරන අයින් රෑන්ඩ් හේගල් විවේචනය කරන්නෙ නැත්තේ? 1973 ජනවාරි 15 දා The Ayn Rand Letter හි පළ කරන Epitaph for a Culture යන ලිපිය: “අජටාකාශ ගමන් බුද්ධියේ ජයග්‍රහණයකි, එහෙත් එය විචාරය අසාර්ථකවීමේ ඛේදවාචකයකි” යැයි නොබෙල් ත්‍යාගලාභියෙක් කියන කතාවකට පිළිතුරු දෙන අයින් රෑන්ඩ් කියන්නේ ඔවුන් විචාරයට හා මිනිසාට උඩින් මැෂින් වල ආධිපත්‍ය්‍යක් ගැන රැවටිලා කතා කරනවා කියලයි. මේ සටහනේ දී කාන්ට් විචාරය කියන එක තමන් විචාරය කියන එක නොවන බව පෙන්වන්නට අයින් රෑන්ඩ් කියනවා මගෙන් අහන්න එපා මෙයාල මේ විචාරය කියලා හඳුන්වන්නේ කුමක් දැයි කියලා, ඒක අහන්න කාන්ට් ගෙන් කියලා. විචාරය යන්න අයින් රෑන්ඩ් විග්‍රහ කරන විදිය කාන්ට් වෙතින් වෙනස් වෙද්දී කාන්ට්ගේ දර්ශනයෙන් පෝෂිත වෙන හේගල් වැන්නෙක් විවේචනය කුමකට ද?!!!!

          ඊ ළඟට, කවුරුත් කියන අවලාද වලට උත්තර බඳින්නට ගියොත් එතකොටත් හැමදාම එකතැන. එක එක නම් වලින් මාව ලේබල් කරන්න හදන අයට එහෙම නැහැයි කියලා දෙන්න මගේ කාලය වැය වුනොත් මම කියන්නෙ මොකක් ද කියන එක ලියන්නට කාලයක් මට ඉතිරි වේවි ද? සමහර විට එහෙම කරන අයගේ පරමාර්ථයත් ඒක වෙන්නැති, කියන දේවල් වලට අකමැති නිසා කතාව “තමන්ට තේරුම් ගන්නට පුළුවන්” වූ පුද්ගලික වූ පැත්තකට ඇදගෙන යාම.

          හේගලියානු විග්‍රහය වන “මනස = යථාර්ථය නම් එවිට යථාර්ථය = දෙවියන් වහන්සේ” යන්නේ දී ඇතිවන්නේ සත්‍ය විකල්පයක්. විකල්පයක දී දෙපැත්තක් බදා ගන්න යැයි අයින් රෑන්ඩ් කිසිදාක කියා නැහැ. ඇය හැම විටම කියා ඇත්තේ හැම ප්‍රස්තුතයක් ම විමසා බලන්න කියායි. එහි දී දෙපැත්තක් ඇත්නම් ඒ දෙපැත්තේ ඇති සත්‍ය්‍ය පමණක් අරගෙන, අතාර්කික වූ ද, ‘තෝරා ගැනීමක්’ කියමින් බලහත්කාරයෙන් පොවන්න හදනා වූව ද ප්‍රතික්ෂේප කරන්න කියායි.

  6. ravi said, on සැප්තැම්බර් 1, 2012 at 1:03 ප.ව.

    ඔක්කෝටම කලින් Atlas Shrugged හොයාගෙන කියවන්ට ඕන….මේ පාරත් නිවාඩුවට ගියාම නුවර පොත් කඩ ඔක්කොගෙම බැලුවා…තිබ්බෙ නෑ….මෙහෙ ඔය වගෙ පොත් තියන සාප්පු එකයි දෙකයි තියෙන්නෙ…ඒවයෙ තියද බලන්න ඕන 🙂 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 1, 2012 at 1:13 ප.ව.

      ravi,

      ගිය වේලාවේ මාත් හොයලා බැලුවා නිකමට .. ලංකාවේ කිසිම පොත් කඩයක තිබ්බෙ නැහැ. තහනම් කරාවි දැනගත්තොත් ඇතුලෙ තියන්නෙ මොනවා ද කියලා. තුර්කියේ තිබ්බාට අනිත් මැද පෙරදිග රටවල් වලත් විකුණන්නට නම් නැහැයි කියල හිතන්න පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: