අරුණි ශපීරෝ‍ වෙතින්

හැඟීම් වලට ඉඩ දී මහා අවුලක හිර වී සිටිනා යුරෝපීයයන් … හෙට ලංකාව ඊට වඩා දරුණු වෙයි ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 1, 2012

මේ දිනවල සිංහලෙන් කියවන්නාට වැඩිපුර අහන්නට ඇත්තේ හැඟීම් වලට ප්‍රමුඛත්වය දුන් කරුණු කාරණා ය. බුද්ධිමත් දර්ශනය බුද්ධාගමෙන් පලා ගොසිනි. බුද්ධිමත් විචාරය සමාජයෙන් පළා ගොසිනි. ලංකාවේ පැතිර ඇති බුද්ධාගම හින්දු ආගමෙන් වෙනසක් නැති කළ, රටේ පාලකයන් හා අනුගාමිකයන් හැඟීම් වලින් උසි ගැන් වී මිථ්‍යා දෘශ්ටික වූ වන්දනා මාන කරති. ලංකාවේ සෙසු ආගම් වලට මේ අවුල නැත. ඔවුන් තමන් පිළිපදින දෙවියන් වහන්සේ ගැන තම ආගම පැහැදිලිව කියාදෙන පරිදි භක්තියෙන් යුතුව විචිකිච්ඡාවකින් තොරව අදහති. බෞද්ධයන් කරන්නේ බුද්ධිය පසෙක තබා මිථ්‍යාවෙන් ඔළු පුරවා ගෙන තම දර්ශනය විකෘති කරගනිමින් අනුන්ගේ ඇදහීම් හෙළා දැකීමයි!!!! බෞද්ධ දර්ශනයේ ඇති නිවහල් භාවයෙන් අයින් වී එය වහල් ධර්මයක් කරන්නට අත දෙන්නෝ කවදා හෝ දිනයෙක ආපසු හැරී තම ආගම තුරන් වී ගියේ මන්දැයි විමසනු ඇත් ද? එසේ විමසන්නට කෙනෙක් ලංකාවේ ඉතුරු වෙයි ද?

අද යුරෝපය හැඟීම් වලට ඉඩ දී ආගමික සංස්ථාව අවුලක් කරගෙන ඇත. නොසිතූ ප්‍රතිඵල ම ඇති විය. ඇමෙරිකාවේ ආගමික නැඹුරුව හෙළා දකින්නට මෙහි පැමිණි රිචඩ් ඩෝකින්ස්ලාට රැල්ලට පෙරළුන අය වෙතින් මිසක් ඊට වඩා වැඩි තැනක් නොලැබුණි. ඇමෙරිකාවේ කළු-සුදු/හිස්පැනික්/කාන්තා අයිතීන්/සමලිංගික අයිතීන් ගැන ජනතා හැඟීම් අවුස්සා රට බෙදා පාලන බලය අල්ලා ගන්නට තැතක් ගත් ඔබාමාට තිබි ප්‍රසාදයත් අඩු විය. ඇමෙරිකාව සියළු පුරවැසියන්ට එක හා සමාන අයිතීන් තහවුරු කරන්නට හැමදා උත්සාහ ගනිති. ඒ නිසා ම මුළු යුරෝපීය යුනියනයේ නිෂ්පාදනයට ළං වන්නට ඇමෙරිකාවට නිෂ්පාදන හැකියාවක් ඇත්තේ මන්දැයි විචාරයෙන් විමසන්නේ නැතිව හැඟීම්බර එක පැත්තකින් “පරිත්‍යාග්‍ය උතුම්” කියමින් අනිත් පැත්තෙන් “අපිට අයිති දෑ අනිත් අය උදුරා ගන්නවා” යන මුලාවෙන් වූ අවුලක තවත් කොපමණ කාලයක් ලෝක ජනතාව රැවටී සිටිනු ඇත් ද?!!!

නූතනයේ දී හැඟීම් වලට ප්‍රමුඛත්වය ලැබි නීති හා රෙගුලාසි යුරෝපයේ වැඩියෙන් සම්පාදනය විය. විචාරය බැහැරලා හැඟීම් වලට ඉඩදුන් යුරෝපීයයන් පරිත්‍යාග කළේ යුක්තියයි. එහෙත් යුක්තිය පරිත්‍යාගයෙන් ඔවුන් බලාපොරොත්තු වූ දයාව එහි ප්‍රතිඵලය වූයේ නැත. ඔවුන් සතුට පරිත්‍යාග කළේ වගකීම බලාපොරොත්තුවෙනි. එහෙත් සතුට පරිත්‍යාගයෙන් බලාපොරොත්තු වූ වගකීම ද සමාජයේ ඇති වූයේ නැත.

යුක්තිය යන්න සැමට එක සේ බලපාන්නක් වන පදනමෙන් ඉවත් කළ යුරෝපීයයන්, එය පොදුවේ අවාසනාවන්ත වූ යැයි ලේබල් ගැසූ කල්ලි වලට පමණක් බලපාන්නක් කර ගත්හ. දැන් කව්ද ඒ ලේබල් ගැසූ කල්ලි කියා විමසන්නාට ජනතා සුවසෙත පිණිස යැයි පෙනී සිටින වාමාංශිකයන්, කාන්තා විමුක්තිය වෙනුවෙන් යැයි පෙනී සිටින සමානාත්මතාවාදීන්, පරිසරය ආරක්ෂාවට යැයි පෙනී සිටින එහෙත් කාබන් ක්‍රෙඩිට් ගෙවීමෙන් පරිසරය රැකේ යැයි සිතන්නන්, අනිත් අය සලකන්නේ නැති විශේෂ පිරිස් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන NGO අය යනාදීන් අතර රටක් අගාරික (secular) වීමෙන් සියළු කෝන්තර නැතිවේවි යැයි හිතන රිචඩ් ඩෝකින්ස්ලා ද දකින්නට පුළුවනි. හැඟීම්බර අදහස් කියාපාන මොවුන් ගෙනෙන්නේ අනුන් ලවා කර ගන්නට හදන පිළිවෙත් මිසක් තමන් විසින් කළ යුත්තක් නොවේ!!! එහෙත් ලෝක ඉතිහාසයේ කිසිම දවසක අනුන් ලවා බලහත්කාරයෙන් යම් නිශ්ඨාවක් සාර්ථක කරගත් අවස්ථාවක් නැති බව නොදකින්නට මොවුන් ඇස් පියාගෙන සිටිති.

විචාරයකින් තොරව, ධනවතුන්ගේ සූරා කෑමට හසු වූවා යැයි සලකා ඒ නිසා සියළු දුප්පතුන්ට ධනවතුන්ට වඩා වෙනස් වූ නීති ගෙනැවිත් යුක්තිය පසඳා ලන්නට යුරෝපීයයන් උත්සාහ ගත්හ. දුප්පතාට වඩා සැප සම්පත් ධනවත් පුද්ගලයෙකුට ලැබුනේ කෙසේදැයි (මේ යුරෝපීයයන් ගැන, සංවර්ධනය වෙන රටවල් ගැන නෙමෙයි) කිසිවෙක් විචාරය කළේ නැත. දුප්පතුන්ට උවමනා වූයේ තමන් ට නැති, ධනවතාට ඇති සැප සම්පත් තමන්ට භුක්ති විඳින්නට හැකි අවසරය පමණි. හැඟීම් ප්‍රමුඛ කරගත් මේ යුරෝපීය වෑයමේ දී දුප්පතුන් යැයි අර ඉහත කල්ලි වලින් ලේබල් කර සැලකූ කොටසට විශේෂ සහනාධාර ලැබුන ද, දැන් යුක්තියක් ඉෂ්ට වී ඇතැයි ද, ඒ නිසා සමාජයේ දයාව පතුරුවන්නට ඕනෑ යැයි ද දුප්පතුන් පිළිගත්තේ ද නැත!!!! ඔවුන්ට උවමනා වූයේ නිකම් සිට තව තවත් වැඩියෙන් සුබ සාධන හිමිකම් පමණි.

තමන්ට හැකියාව ඇති, තම සතුට සොයා යන ගමනට ඇති ඉඩකඩ යුරෝපීයයා අහිමි කර ගති. යුරෝපීයයා පොදු ජනතාවගේ හිත සුව පිණිස තම සතුට පරිත්‍යාග කළේය. පුද්ගලයාගේ ජීවිතය අයිති රජයට යැයි කියන්නට අවනත විය. තම සතුට සොයා යෑමෙන් ඉවත් වී පවුලේ, සමාජයේ, රටේ යහපත වෙනුවෙන් කැපවීම පුද්ගලයාගේ වගකීම යැයි විචාරයකින් තොරව පිළිගත්තේ ය. එය සාක්ෂාත් කරන්නට නීති හා රෙගුලාසි ගෙනාහ.

එහෙත් ප්‍රතිඵලය වූයේ එසේ සිතන යුරෝපීයෙක් දෙන්නෙක් හිටියාට සමස්ත යුරෝපීය සමාජය එසේ නොසිතීමයි. එසේ නොකිරීමයි. අනුන් වෙනුවෙන් වෙහෙසෙන්නට කියා කොතෙකුත් නීති ගෙනාවත් හැම පුද්ගලයෙක් වෙතින් ම එය කරවා ගත නොහැකි වීමයි. ඊට තවත් දායක වූයේ ලෝකයේ නන් රටවල් වලින් ඇදී ආ ඒ මතයට එක් වූ මහා ජනගැල්මකින් යුතු සංක්‍රමණිකයන් ය. සියල්ලන් ඊට දායක නොවෙද්දී ඒ ක්‍රමය සාර්ථක නොවන බව නොදැකීමයි. එහි ප්‍රතිඵලය වූයේ වගකීම දරන්නා තම සතුට නොසොයා අනුන් වෙනුවෙන් වෙහෙසීමත්, අනුන් සතුටු කරන්නට නොහැකි බව දැක අවසානයේ දී ඉන් විඩාබරිත වී නිකම් සිටීමත් ය. අනෙක් පැත්තෙන් වගකීමෙන් තොර වූවා තම සතුට පමණක් සොයා යෑම දිගට ම කරගෙන ගියේය. එහෙත් යුරෝපීයයන් මේ බව පිළිනොගනිති. යුරෝපීය ආර්ථිකය බංකොළොත් වෙන්නේ වෙනත් හේතු නිසා යැයි කියති.

ඒවා එලෙසින් ම සිද්ධ වූ බව ඔප්පු කරන ලද ඉතිහාසයක් ඔවුන් සතුව නොතිබුනා නොවේ!!!! ඉතින් අවසානයේ දී පොදු යහපත වෙනුවෙන් ඒකීය පුද්ගලයා යුක්තිය පාවා දී දයාව ගෙන්වා ගත්තේ නැත. තම සතුට පරිත්‍යාග කළත් වගකීම යන්න සමස්ත සමාජයේ බහුල වූයේ ද නැත.

***

උඩ පින්තූරය කොරියානු සංක්‍රමණිකයන් බහුල වශයෙන් පදිංචි වී සිටින වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස් නගරයේ තවත් එක ක්‍රිස්තියානි කොරියානු පල්ලියක්.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on සැප්තැම්බර් 1, 2012 at 12:35 ප.ව.

    ලංකවේ නිවැරදි ලෙස බෞද්ධ දර්ශනයේ අගය වටහා ගත්තෝ අඩුයි කියල කියන්න බැහැ අරුණි. දැන් දැන් ගොඩක් අය එහි අගය වටහා ගෙන තියෙනවා. මේ ගැන කරුනු කියන්නට ඔබට තරම් මට දැනුමක් නෑ නංගී.
    ස්තූතියි! විස්තරයට. යුරෝපයේ තරම්ම මෙහෙ අවුල්ද? කියලා කියන්න මට මට නම් තේරෙන්නෙ නෑ.

    කාලෙකින් මට එන්න බැරි උනා. මගෙ නංගී මෙහි ටික කාලෙකට ඇවිත් හිටියා. ඒ නිසා අවිවේකී උනා.

    • arunishapiro said, on සැප්තැම්බර් 1, 2012 at 1:04 ප.ව.

      chandi,

      බෞද්ධ දර්ශනය ගැන කතාබහ කරන අය අද අඩුයි. අද වැඩියෙන් ඉන්නේ වතාවත් හා ඇදහිලි පිටිපස්සේ දුවන අයයි. ඒ අතර ද වැඩියෙන් ම තියෙන්නේ බුද්ධාගමට කළින් ඉන්දියාවේ පැතිර තිබූ වතාවත් හා ඇදහිලි වීම බුද්ධ දර්ශනය නොව වෙනත් මිථ්‍යා ඇදහිලි වලට නැඹුරුවක්. ඒ නිසා බුද්ධාගමේ අගය වටහා ගත් අය කිව්වම කවුද මේ අය කියා ගැටළුවක් පැන නැඟෙනවා. ඔවුන් අගය කරන්නේ බුද්ධාගම ද? නැත්නම් බුද්ධාගම ලෙසින් පෙනී සිටින බුද්ධාගමට පෙර ඉන්දියාවේ තිබි ඇදහිලි ද?

      යුරෝපයේ අවුල් තිබුණත් ඒවා ලංකාවට වඩා පහසුවෙන් විසඳා ගත හැකියි. මන්ද, තවමත් ඔවුන් අතර නීති ගරුක බහුතරයක් ඉන්නා නිසා. ලංකාවේ තියෙන්නේ හැම පැත්තෙන් ම බල තණ්හාධිකයන් කෑලි කෑලි කඩා ගන්නට වෙර දරනා සමාජයක විචාරය නැති කමෙන් අන්ධ වූවන් කුමක් කරකියා ගන්නදැයි නොහැකිව බලා ඉන්නා තත්වයක්. මේ තත්වයේ දී අනුන් ගැන කිසිත් තැකීමක් නැති ‘ශක්තිමත් පුද්ගලයෙකුට‘ සියළු දෙනාගේ යහපතට යැයි කියමින් ජනතාව රවටා තම අභිප්‍රායයන් පමණක් මුදුන් පමුණුවා ගන්නට කටයුතු කළ හැකි අවදානමක් වැඩියි.

      නංගි දකින්නටත් ඇය හා කාලයක් ගෙවන්නට ලැබීමටත් හැකිවූවා යන්න දැනගැනීම සතුටක්!

  2. අටම්පහුර said, on සැප්තැම්බර් 1, 2012 at 5:01 ප.ව.

    බෞද්ධ දර්ශනය ගැන කතාබහ කරන අය අද අඩුයි. අද වැඩියෙන් ඉන්නේ වතාවත් හා ඇදහිලි පිටිපස්සේ දුවන අයයි

    ඒක සහතික ඇත්ත

    හැබැයි යම් තරමකට දැන් නැවතත් තරුන ළමයි ඒ පැත්තට නැඹුරු වෙනවා දකින් පුළුවන්.(අපේ කොලු කාලෙත් එක්ක බලද්දි)

    • arunishapiro said, on සැප්තැම්බර් 1, 2012 at 8:27 ප.ව.

      අටම්පහුර,

      //හැබැයි යම් තරමකට දැන් නැවතත් තරුන ළමයි ඒ පැත්තට නැඹුරු වෙනවා දකින් පුළුවන්.(අපේ කොලු කාලෙත් එක්ක බලද්දි)// අනේ මන්දා, මගෙ කෙලි කාලේ හිටියාට වඩා නම් මේ කට්ටිය සෑහෙන්න අඩුයිනෙ 😀

  3. මිස්ටර් හයිඩ් said, on සැප්තැම්බර් 1, 2012 at 9:39 ප.ව.

    ඕනම ආගමක සංස්කෘතික අංග වැඩි වෙනකොට ඇත්ත ධර්මය වැහිලා යනවා.

    • arunishapiro said, on සැප්තැම්බර් 2, 2012 at 7:33 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      ඕනෑම ආගමකට බලයේ ඉන්න රජයෙන් තල්ලුවක් ලැබෙද්දී ධර්මය වැහිලා යනවා; එතකොට වෙන්නෙ ආණ්ඩුව පුම්බන්න ආණ්ඩුවේ සහාය ලැබෙන ආගමික නායකයන් උත්සාහ කිරීමත්, ඒ ආගමික නායකයන් තමයි නිවැරදි ආගමික සම්ප්‍රදාය විදියට මවා පාලා ආණ්ඩුව එය පාවිච්චියට ගැනීමත්.

      සංස්කෘතික අංග ඒ ඒ ආගම අනුව ඒ ඒ සමාජයේ තිබි පමණින් ඒවායේ කියන ධර්මය වැහිලා යන්නෙ නැහැ. මොකද, එතැන විවිධ වූ ආගම් හා එක ආගමක ද විවිධ වූ මතධාරීන්ට ඉඩක් ලැබෙන නිසා සමාජයේ පුරවැසියන් තමන්ට කැමැත්තක් තෝරා ගනිද්දී එක ආගමකට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ ද නැහැ. සංස්කෘතික කටයුතු වැඩියෙන් කැමති අය ඒ පංසලට/පල්ලියට/කෝවිලට යාවි. දර්ශන විචාරයට කැමති අය ඒ පංසලට/පල්ලියට/කෝවිලට යාවි. ඒත් ආණ්ඩුවක් මැදිහත් වුනාම වෙන්නේ රැල්ලක් ඇති කර ඒ මඟින් ජනතාව දක්කාගෙන යාම: ආර්ථික අර්බූදය මන්දැයි හොයනවා වෙනුවට හැමෝවම පෝලිම් වලින් නටබුන් වඳින්න යැවීමයි!!! අනිත් පැත්තෙන් අර විශ්ව විද්‍යාල දේශපාලනීයකරණය කරන්න එපා කියමින් සරසවි ඇදුරන් වර්ජනය ද කරන්නේ ආර්ථික අර්බූදය මන්දැයි හොයනවා වෙනුවට (ඒක මන්දැයි වටහා ගත්තා නම් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ට හෝ සිසුන්ට වර්ජන අවශ්‍ය නැහැ!!) දේශපාලනයට බැස සිටීමයි.

  4. wicharaka විචාරක said, on සැප්තැම්බර් 1, 2012 at 11:11 ප.ව.

    Chandi සමග මටනම් කිසිදෙත් එකඟ වන්නට බැහැ. අද බුදු දහම අනුගමනය කිරීමක් නෙවෙයි තියෙන්නේ ඇදහීමක්. 90% ක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා වලදී කියන්නේ නැහැ, පින්වත්නි බුද්ධාගම යනු ඇදහීමක් නොවේ. බෞද්ධ දර්ශනය යනු අධිෂ්ඨානයෙන් යුතුව අනුගමනය කලයුතු ප්‍රතිපත්ති මාලාවක් කියලා. පරලොවට ගෙනයන්නට පිං එකවුන්ට් දාන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න බහුතරයක් ඉන්නවා. ඒ අය හිතන්නේ පිං කැටයට සල්ලි දැමීම. නොතේරුණත් බන අසා සිට සාදුකාර දීම. ඇතුළු ආකාරවතී ශ්‍රද්ධාවෙන් (ආකාරවතී ශ්‍රද්ධාව සහ අමුලික ශ්‍රද්ධාව අතර වෙනස කියන්න මෙතන බැහැ) කරන සියලු දේ පිං ලෙසයි. ඔවුන්ව ඒ ආගාධයෙන් ගොඩ ගන්නට වැර දරන භික්ෂුන් වහන්සේලාත් අඩුයි.

    මම හිතන්නේ අරුණි බෞද්ධ දර්ශනයේ තියන නිදහස නිසා තමයි වෙනත් ආගම වලට වඩා සැදැහැවතුන් (Devotees) විසින්ම බුද්ධාගම විවේචනය කරන්නේ. ‘අනුන්ගේ වැරදි නොසොයා තමන්ගේ විශ්වාසයේ එල්බ සිටින්න’ යන්න තේරුම ගැනීමට අපේ මිනිසුන්ට බොහෝ කාලයක් ගතවෙයි. භික්ෂුව දේශපාලනයට පැමිණීමයි මේ සියවසේ බුද්ධාගමට සිදුවූ බරපතලම හානිය. යුරෝපය අවුලට පත්වන්නේ එහි වර්ධනය වන, භයානක සහ තර්ජනාත්මකව වර්ධනය වන යුරෝපීය රටාව (tradition/style/method/way of life) නොදත් හෝ දැනගත්තත් එයට අනුගත නොවන වෙනත් ජාතීන් නිසා නේද?

  5. Gold fish said, on සැප්තැම්බර් 1, 2012 at 11:39 ප.ව.

    කියන්න අකමැති වුනත් //බෞද්ධයන් කරන්නේ බුද්ධිය පසෙක තබා මිථ්‍යාවෙන් ඔළු පුරවා ගෙන තම දර්ශනය විකෘති කරගනිමින් අනුන්ගේ ඇදහීම් හෙළා දැකීමයි!!!! /// මේක ඇත්ත… බුදු හාමුදුරුවො කියලා තියෙන්නේ හැම ආගමක්ම සමානව දකින්න කියලා. එහෙම නැතුව ඒ වයේ වැරදි වලට ගරහන්න කියලා නෙමෙයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 2, 2012 at 8:05 පෙ.ව.

      Gold fish,

      බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කාටවත් හිංසාවක් නොකර තමන්ගේ සතුට සොයා යන්න කියල. පරම සතුට ලැබෙන්නේ මැද පිළිවෙත අනුගමනයෙන් යැයි හිතනවා නම් එය තමන් විසින් අනුගමනය කිරීමයි. පරම සතුට නිර්වාණය කියල හිතනවා නම් ඒකත් තමන් විසින් තනියම හොයා යා යුතු දෙයක් නේද? ඒත් අද කියන්නේ ‘බුද්ධාගමේ පදනම පරාර්ථ චර්යාවයි’ කියල. බුද්ධාගමේ ඉගැන්වීම අනුන්ට උදව් උපකාර කිරීමයි” කියල. දැන් එහෙම නම් සිංහල බෞද්ධයා විසින් ක්‍රිස්තියානි හා මුස්ලිම් හා මිථ්‍යා අදහස් අදහන අයට ද උදව් උපකාර කළ යුතුයි ඔවුන්ගේ කැමැත්ත සොයා යන්නට. ඇයි පරාර්ථ චර්යාව බෞද්ධාගමිකයන් ඔවුන්ගේ වර්ගයාට පමණක් සීමා කළ යුතු, හාවෙක් විදියට මිනිස්සු වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා නම්, ඇයි මිනිසෙක් හැටියට තවත් මිනිස්සු වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න බැරි?!!! මාර අවුලක නෙ විහින් පටලැවී ඉන්නේ!!!

      කාටවත් හිංසාවක් නොකර තමන් විසින් සතුට සොයා යන ගමනේ දී කාටවත් ගරහන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ.

  6. Maathalan said, on සැප්තැම්බර් 2, 2012 at 12:02 ප.ව.

    සුද්දා ඇවිත් ටික කලක් ගියාට පස්සේ තමයි අපේ අයට බුද්ධාගම මතක් උනේ උපසම්පදාවත් බුරුමෙන් අරගෙන ඇවිල්ලා ඒකට රාජ්‍ය අනුග්‍රහයත් උපරිම වශයෙන් පිරිනැමුවේ මුහුදු බඩ ජනතාව වගේ ඔක්කෝම කතෝලික උනොත් තමන්ට රාජ්ජේ නැතිවෙයි කියන බයට. මන්ද ඈත ඉතිහාසයේ බුද්ධාගමයි රජ්ජුරුවොයි කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. මිනිස්සු රජ්ජුරුවන්ටයි සිවුරටයි දෙකටම බය උනා. ඔය අනුරාධපුරේ, පොළොන්නරුවේ නටඹුන් ඒවට හොඳම සාක්කි. අපිත් සීග්‍රයෙන් රාජාන්ඩූ පාලනයකට පිය මනින මේ යුගයේ. අයේත් සිවුර කරට අරගෙන දඟලන්නේ ඒකයි. මෙතනදි හාමුදුරුවරු කැමති නෑ රජාට සෙකන්ඩ් වෙන්න. නමුත් මේ රජ්ජුරුවොත් එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නෑ. මොන හේතුවකට හරි රජා දැන් ජාත්‍යන්තර මතයට ගරු කරන නිසා අනික් ආගම්වල අයට ඒ අයගේ දෙවියන්ගේ බැල්ම වගේම රජාගේ බැල්මත් ආරක්ෂාවත් තියෙනවා. සංඝ සමාජය නම් දැන් ගනන් ගන්නේ නෑ. සිල්වත් භික්ෂූන් ඇත්තේම නැති තරම්, ඔක්කෝම අසපු හදන රේස් එකේ හෝ ගාලා බිස්නස්. නිකාය බේදේ අසපු බේදේ වෙලා බෝම්බත් ගහගෙනම නිවන් දකින්නයි පින්වතුන් සැරසෙන්නේ.

    • arunishapiro said, on සැප්තැම්බර් 2, 2012 at 4:05 ප.ව.

      Maathalan,

      තමන්ගෙ බලය තහවුරු කරගන්නයි අරගලය හැම තලයක ම. ඒත් අවංක නැති හැමෝම කියන්නෙ පොදු යහපත උතුම් කියායි!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: