අරුණි ශපීරෝ‍ වෙතින්

හැඟීම් වලට ඉඩ දෙන ගෝත්‍රික හැදියාවෙන් බිහි වූ සංක්‍රමණික බ්‍රිතාන්‍ය ගැටුම්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 3, 2012

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් කෝලාහල සිද්ධ වූයේ 2005 ඔක්තෝබර් 22 සහ 23 දී ය. ඒ ක්‍රිස්තියානි සුදු හම ඇති ධනවත් බ්‍රිතාන්‍ය්‍යන් විසින් දුප්පත් අන්‍යාගමික සුළු ජාතීන්ට කරන ලද අන්ඩතේට්ටම් නොවෙති. දකුණු ආසියානු මුස්ලිම් සහ කැරිබීයානු ක්‍රිස්තියානි/රස්ටෆාරියන්/මුස්ලිම්/ඉස්ලාම් කළු අය අතර ගැටුම් හට ගත්තේ Lozells නම් පෙදෙසේ ය.

පළාතේ තිබි සම්මත රීතියක් වූයේ කළු අය පරිභෝජනය කරන බඩු විකිණීම ඔවුන්ගේ වෙළඳුන් අතින් ද, බංගලදේශී/පාකිස්තානුවන් තමන්ගේ අයට ද විකිණීමයි. පාකිස්තානු වෙළෙන්ඳෙක් කළු අය කැමති දෑ විකුණන්නට පටන් ගති. කළු අයගේ වෙළඳුන් උරණ වූහ.

පාකිස්තානි කඩයක දී 14 හැවිරිදි කළු කෙල්ලෙක් බඩු හොරකම් කරන්නට ගොස් අසු වූ බව හිටිහැටියේ ම කළු රේඩියෝ නාලිකාවන් වල හා ඔවුන්ගේ වෙබ් අඩවි වල ප්‍රචාරය විය. ඊ ළඟට පැතිර ගියේ ඇයට දුන් දඬුවමක් වශයෙන් පාකිස්තානි පිරිමි 19 දෙනෙකු ඇයව දූෂණය කළ බවයි. බඩු හොරකම මෙන් ම මෙය ද බොරුවක් වුවත් Voice නැමති කළු අය වෙනුවෙන් වූ ජාතික පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙසින් එය සිද්ධ වූවා යැයි හැඟෙන්නට පළ කරන ලදි. කැති පිහි රැගත් පිරිමි පාර දෙපස එකතු වූහ. පිරිමින් 30-50 ත් අතර ගැටුම් ඇති වූහ. 23 හැවිරිදි Isiah Young-Sam පිහි පහරකින් මිය යයි. කලබලයේ දී පොලීසියෙන් ගැලවෙන්නට දුවද්දී 19 හැවිරිදි Aaron James ට වැරදීමකින් වෙඩි තබන්නේ ඔහුගේ මිතුරා ය.

කළු හා මුස්ලිම් වූ සංක්‍රමණිකයන්ට සුදු හම ඇති බ්‍රිතාන්‍ය්‍යන් වෙතින් ආරක්ෂාව සලසනු පිණිස ඉවසීම (tolerance) යන්න විචාරයෙන් තොරව සංකල්පවාදයක් ලෙසින් සලකා නීතිගත කරන්නට ඉක්මන් වූ යුරෝපීයයන්ට අද එයින් ඇති වී තිබෙන සමාජයට හානිකර නොසිතූ ප්‍රතිඵල මෙසේ දකින්නට ලැබී ඇත.

‘ඉවසීමෙන් තොර බැවින් ප්‍රචණ්ඩත්වයක් ඇතැයි’ කියන ප්‍රස්තුතය මුළුමනින්ම ඔවුන් පිළිගත්හ. එහි ඇති ව්‍යතිරේකයන් හා අඩුපාඩු මොනවා දැයි විමසා බැලුවේ නැත. ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින පිරිසකට, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා හිමිකමක් (entitlement) ඇතැයි කියූ යුරෝපීයයන් එය සැලසෙන්නේ කෙසේදැයි විචාරය පැත්තකට දැමූහ. ඉවසීම නැති අය සඳහා ගෙනෙන නීති රෙගුලාසි වලින් ප්‍රචණ්ඩත්වය වළක්වා ගත හැකි යැයි පිළිගත්හ.

ඉවසීම යන්න පුළුල් ව නිර්වචනය කර, ඉවසීමක් නැතිකම නිසා ලැබෙන දඬුවම් ද හිතුමතයේ සහ ඒ ඒ අවස්ථාවන් වෙනුවෙන් තීරණය විය. මේ මගේ අවංක හැඟීම, ඒ නිසා තවකෙකුගේ හිත රිදුන ද ඔවුන් මගේ මතය ඉවසීම මගේ අයිතිය යැයි කියා ඒ අයිතිය ආරක්ෂා කිරීම සමාජයෙන් ඉල්ලා සිටියහ. නමුත් එවැනි අයිතීන් හා හිමිකම් දුන්නේ සමාජයේ ‘විද්වත්’ අය ඔවුන් විසින් පීඩිත යැයි හැඳින්වුනු කොටස් වලට පමණි. එයා සමරිසියෙක්, මෙයා නියෝජනය කරන්නේ සුළු වාර්ගික සමාජයයි, අරයා නියෝජනය කරන්නේ උගත් නොවන අයයි, ඇය නියෝජනය කරන්නේ තනිවම දරුවෙක් හදන මවක්, මොහු නියෝජනය කරන්නේ ධනවතුන් විසින් සූරා කෑ දුප්පත් අයයි යනාදියෙන් තමන් පීඩා විඳින පිරිසකට අයත් යැයි ‘විද්වත්’ යැයි කියාගත්තවුන් නම් කළ නිසා තමා කියන ඕනෑම දෙයකට ඉඩක් ද, තමන් විසින් අකමැති සියල්ලට ම වාරණයක් ද ලබා ගති. ඒ මදිවාට එවැනි ආරක්ෂා වීමට “හිමිකමක්” ඇති අයෙක් අකමැති දේවල් කරනා අයට දඬුවම් පමුණුවන තරම් යුරෝපීයයන් දුර දිග ගියේ, නීතියක් පැනවීම කළ හැක්කේ යුක්තිය හා සාධාරණත්වය මත ගොඩනැඟි පදනමක් මත නොව සමාජයේ වෙසෙන බහුතරයේ කැමැත්ත නිසා පමණකින් යැයි සිතූ නිසයි.

1993 අප්‍රේල් 22 දා සවස බස් රථයක් එනතෙක් මහමඟ සිටියේ ස්ටීවන් ලෝරන්ස් නැමති 18 වියැති කළු බ්‍රිතාන්‍ය තරුණයාය. වර්ගවාදී පාඨයන් කියමින් සුදුහම ඇති තරුණයන් පිරිසක් ඔහුට පහර දුන්නා යැයි අවට සිටියවුන් කීහ. එහෙත් ඔවුන්ට හඳුනාගැනීමේ පෙරැට්ටුවක දී අපරාධකරුවන් කවුදැයි කීමට නොහැකි විය. පොලීසිය සහ මාධ්‍ය්‍ය ද නඩුව අවුලක් කරන්නට සහාය දුන්හ. බ්‍රිතාන්‍ය Home Office මේ සිද්ධිය ගැන විශේෂ සෙවුම් කමිටුවක් පත් කළහ. අනතුරුව සිද්ධ වූයේ වර්ගවාදය යන්නට අලුත් නිර්වචනයක් ගෙන ඒමයි!!!

බ්‍රිතාන්‍ය්‍යේ යම් සිද්ධියක දී එය වර්ගවාදී (ඉහත සිද්ධියෙන් පසු නව නිර්වචනය) වූ අපරාධයක් වෙන්නේ: අපරාධයට හසුවෙන උපහටයා (victim) හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින් එය වර්ගවාදී යැයි දකින්නේ නම් ය. මේ අලුත් නිර්වචනය පොලීසිය, පළාත් ආණ්ඩු හා අනිත් අදාල සංවිධාන විසින් භාවිතා කළ යුත්තක් බවට තීරණය විය. මේ වෙනස නිසා වර්ගවාදී ද්වේෂ සහගත අපරාධ වාර්ෂිකව හැටදාහක් යැයි වාර්තා විය!!!! (The Machpherson Report-Ten Years on, House of Commons, Home Affairs Committee -2009)

එහෙත් සුළු ජාතීන් අතර සිද්ධ වෙන අපරාධයන් අඩුවුනේ ද නැත!!!

2004 බ්‍රිතාන්‍ය අපරාධ වාර්තාවකට අනුව කළු හා සුළු ජාතීන් ඉන්නා පැතිවල අයට 87,000 ක් වර්ගවාදය අරමුණු වූ අපරාධ සිද්ධ වී ඇත. සුදු හම ඇති 92,000 ක් ද තමන් වර්ගවාදී අරමුණකින් සිද්ධ වූ අපරාධයකින් බැට කෑ බව වාර්තා කළහ. පසුව තමන් වර්ගවාදී අරමුණකින් වූ ප්‍රචණ්ඩත්වයකට ලක් වීම නිසා තුවාල ලැබුවා යැයි පෙන්වූ සුදුහම ඇති අයගේ සංඛ්‍යාව කළු සහ සුළු ජාතීන්ගේ සංඛ්‍යාවට වඩා පස් ගුණයකින් ඉහළ ගියේය!!!

මාධ්‍ය්‍ය විසින් අපරාධ වාර්තා කිරීමේ දී අපරාධකරුවන් මොන වාර්ගිකයන් ද කීමෙන් ඊට අයත් සියල්ලන්ම අපරාධකරුවන් යැයි ලේබල් ඇලවෙනවා යැයි හැඟීම්බර මතයක් ආවේය. එය ඒ වාර්ගිකයන්ට අයත් වූවන්ට අහිතකර වේ යැයි මතයක් ආවේය.

දැන් වර්ගවාදය යනු යම් සිද්ධියක දී අයෙක් එය වර්ගවාදයක් යැයි දකින්නක් පමණක් නිසාත්, වර්ගවාදී අපරාධයක් යැයි සැලකෙන්නේ එහෙම යැයි අයෙක් දැකි පමණින් වෙන නිසාත්, මාධ්‍ය විසින් ද වාර්තාකරණයේ සුළු ජාතීන් කරනා අපරාධ වල දී වාර්ගික බව නොකීම සාමාන්‍ය්‍ය සිරිත බවට පත්විය.

විචාරය පෑල දොරින් පලා යද්දී, වර්ගයාගේ අයෙක් කරන අපරාධයක් නිසා මුළු වර්ගයාම හංවඩු ගැසීම හුදු මුග්ධ අදහසක් බවත්, මුග්ධත්වය ලොවෙන් තුරන් කරන්නට නීති වලින් නොහැකි බවත් ඔවුන් දැක්කේ නැත. එය නොදකින්නට ඇස් පියාගෙන, යුරෝපය පුරා වාර්ගික සටන් යද්දී ඒවායේ වාර්ගික බව අත්හැරලමින් වාර්තා කිරීම පමණක් පටන් ගැණුනි!!!!!

වර්ගවාදය යනු කවුරු හෝ අයෙක් එසේ යැයි කියන්නයි යන බ්‍රිතාන්‍ය්‍ය ගෙනා අලුත් නිර්වචනය සෙසු යුරෝපීය රටවල් ආදර්ශය ලෙස භාවිතා කරන්නට පටන් ගැණුනි.

අලුතින් නිර්වචනයට අනුව තීරණය වෙන වර්ගවාදය මැඬලීම සඳහා නව නීති හා නව රෙගුලාසි ගෙන ආ පසු ඒවා කඩද්දී ඊට දිය යුතු දඬුවම් ද තීරණය කරන්නට ඔවුන්ට සිද්ධ විය. පොලීසිය හා පළාත් ආණ්ඩු වැනි බලය ඇත්තන් විසින් වර්ගවාදී වූ අපරාධ නීතියෙන් වළංගු කරද්දී ඒවා මොනවා දැයි කියන්නට (ඕනෑම කෙනෙක් වර්ගවාදයක් සේ දකින්නක් වර්ගවාදයක් වූ නිසා!!!) NGO සංවිධාන ද ඊට උත්සුක වූහ.

වෙනදා අයෙක් වර්ගවාදී හැසිරීමක් ඉදිරියේ දී ලැබුවේ විවේචනයකි. ඊට අකමැති අනිත් අය විසින් ඈත් වීමකි. යම් ක්‍රියාවක් (වර්ගවාදී ද නොවේදැයි නොව) හිංසාකාරී ක්‍රියාවක් වූයේ නම් පැවති සිවිල් නීති වලින් දඬුවම් ලැබූවක් විය. දැන් පටන් ගැනුනේ වර්ගවාදී වූ යැයි තමන් දැකි නිසා වරදට හසු කරගන්නට ඉඩක් ලැබීමෙන් සමහර අයගේ පසුම්බියට පහර වැදීමයි. මහජන බලධාරීන් වෙතින් උසාවියට ගෙන යාමයි.

“අපිට කියන්න පුළුවන් මොනවා දැයි, බැරි මොනවා දැයි නීති සම්පාදනය කරන අය තීරණය කරද්දී, හොඳ අරමුණ ඉතා ඉක්මණින් හැරෙන්නේ දුෂ්ට වූවකට,” යැයි කියන්නේ Jonathan Freedland ය. පහත විස්තර ලියන්නේ ඔහු: 2005 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය්‍යෙක් අශ්වයෙක් පිට නැඟ සිටි පොලිස් නිලධාරියා ගෙන් ඒ අශ්වයා සමරිසියෙක් දැයි විමසීය!!! පොලිස් වාහන දෙකක් පැමිණ මහජන නියෝග පනතේ 5 වැනි වගන්තිය අනුව, සමරිසි විරෝධී ප්‍රකාශයක් කියුවා යැයි සෑම් බ්‍රවුන් නැමති ඒ සිසුවාව අත් අඩංගුවට ගැණින. ඔහු රැයක් සිරගත වී £80 ක දඩයක් ගෙව්වේය. අවසානයේ මහජන ස්ථානයක කලබලකාරී බවක් ඇති කළා යැයි පෙන්විය නොහැකි බවින් ඔහුට ගොනු වූ නඩුව ඉවත් කරගනු ලැබිණ.

ලැන්කශර් හි Wyre borough මහජන කවුන්සිල් බිල්ඩිමේ සමලිංගික අයිතීන් ගැන කියන පත්‍රිකා රැසක් දුටු ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි යුවලක් දෙපැත්තක අදහස් වලින් කැමති පැත්තක් තෝරා ගන්නට ඉඩ සලසනු පිණිස ක්‍රිස්තියානි පතපොතටත් එහි ඉඩ සඳහා දුරකතන ඇමතුමකින් අවසර ඉල්ලූහ. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගෙදරට අවුත් ඔවුන්ව මිනිත්තු 80 ක් විභාග කරන්නේ සමරිසි-විරෝධී දැයි සොයන්නට ය. ඉතින්, සමරිසියන්ට, සමලිංගිකයන්ට විරුද්ධව කරන අපරාධයකට දඬුවමක් නොව අද යුරෝපයේ නීතිගත වී තියෙන්නේ උපටහටයන් කියන්න සමාජයේ අනුමත වී, උපහටයන් පිළිනොගන්නා ප්‍රකාශයක් අපරාධයක් වෙන, ඒකීය පුද්ගලයාගේ නිදහස් කැමැත්තට ඉඩක් නැති වී යාමයි. අනුන් වෙත අපරාධයක් නොකළ ද තමන් හිතන මතයක් තමන්ට කියන්නට ද ඇති හැකියාව ඔවුන් එසේ අපරාධයක් බවට හරවා ගත්හ. නමුත් උපහටයන් යැයි විද්වතුන් සලකන අය කුමන අමන මුග්ධ කතාවක් කිව්වත් එය අපරාධයක් ලෙස සැලකෙන්නේ නැති බවට නීතිය වෙනස් වීම නොසිතූ ප්‍රතිඵලය ම විය.

***

මේරිලැන්ඩ් ප්‍රාන්තයේ බර්ලින් ගමේ නවතා තිබි කොරියානු Presbeterian පල්ලියේ රථයකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on සැප්තැම්බර් 3, 2012 at 12:14 ප.ව.

    ස්තූතියි ඇරුණි නංගි. මෙවැනි ගැටුම් ඇතිවීමට හේතු හා ගත් ක්‍රියා මාර්ග ගැන විස්තරයට. බොහොමයක් විසඳෙන්නෙ ඒ ඒ පාලකයන්ගෙ උවමනා වට වගේ. නැත්නම් අර අහිංසකයෙක්ව කූඩුවෙ දමල දඩයකුත් ගසාවිද? කොහොම උනත් අන්තිමේ යුක්තිය විසදුනානෙ. හොඳ වෙලාවට එහේ ඉඩි අමීන් නොහිටියෙ….D.

    • arunishapiro said, on සැප්තැම්බර් 3, 2012 at 1:32 ප.ව.

      Chandi,

      විචාරයකට ඉඩ නොදී මාධ්‍ය්‍ය මුදල් උපයන්නට ආචාර්ය පට්ටම් තියෙන නිසා පමණින් බහුබූත වැල් වටාරම් ලියන්නන්ට තැන දෙද්දී, ඒ ‘විද්වත්’ අය කියන කරන දෙයක වැරැද්දක් කියන්නට වෙහෙසන මචංලා හා ගෙවල් වල බත් උයන අපි බිය වූවාම ඇතිවෙන්නේ මෙවැනි තත්වයක් තමයි චාන්දි අක්කා. ඔය සබැඳියේ ඉන්නා අය ගැන මා කියන්න ඕනෑ නැහැනෙ, දන්නෝ දන්නවානේ!!!!

      අපිට රුස්සන්නේ නැති දෙයක් ගැන ද කියන්නට ඉඩක් කොහෙන් හරි සොයාගත යුතුමයි 😀

      පාලකයන්, ඔවුන්ට හේත්තු වී තම මළු පුරවා ගන්නා හෙංචයියන්, ජනතාවගේ සුවසෙත නාමයෙන් පීඩකයන්ට විරුද්ධ වෙනවා යැයි මහමඟට පිරිස් කැඳවන ඒත් එය කරන්නේ තමන්ගේ පසුම්බි පුරවා ගන්නට බව වසන් කරන පීඩිතයන් වෙනුවෙන් කියා පෙනී සිටින සංවිධාකයන් … ඒ ඔක්කොමලාගේ උවමනවාට.

      අන්තිමේ යුක්තිය විසඳුනා කිව්වට 21 හැවිරිදි තරුණයාට එදා රෑ හිරගෙදර තපින්න සිද්ධ වීම මැකෙන්නේ නැහැනේ. නඩු යන්න සහ නීතිඥ ගාස්තු ගෙවන්නට සිද්ධ වීම වැනි කරදර වලට මුහුණ දෙන්නට වීමත් ඔහුට පාඩුවක්. නීති වෙනස් වෙලා නැති නිසා මෙවැනි චෝදනා සීඝ්‍රයෙන් වැඩි වීමත්, ඒ නිසා ම මහජන මුදලින් මෙවැනි අවිචාර නඩු වලට වියදම් වීමේ ද බර උසුලන්නේ වෙහෙසෙන බදු ගෙවන ජනතාව. අද බ්‍රිතාන්‍ය්‍යේ වසරකට හැට දහසක් එවැනි චෝදනා වැඩිවීමෙන් ඒවා විසඳන්නට යන්නේ ද බදු ගෙවන ජනතාවගේ මුදල් මිසක් නැතිව රැකියා නොකර නිකම් සිට, සහනාධාර වලින් ජීවත්වෙමින් තව තවත් අයිතීන් ඉල්ලන, තවත් සුබ සාධන ඉල්ලන අයගේ මුදල් නෙමෙයිනේ.

  2. ravi said, on සැප්තැම්බර් 3, 2012 at 4:21 ප.ව.

    / විචාරය පෑල දොරින් පලා යද්දී, වර්ගයාගේ අයෙක් කරන අපරාධයක් නිසා මුළු වර්ගයාම හංවඩු ගැසීම හුදු මුග්ධ අදහසක් බවත්, මුග්ධත්වය ලොවෙන් තුරන් කරන්නට නීති වලින් නොහැකි බවත් ඔවුන් දැක්කේ නැත. එය නොදකින්නට ඇස් පියාගෙන, යුරෝපය පුරා වාර්ගික සටන් යද්දී ඒවායේ වාර්ගික බව අත්හැරලමින් වාර්තා කිරීම පමණක් පටන් ගැණුනි!!!!! /

    ඔහොම ප්‍රවෘත්ති වාර්තාකරණයට ස්වයං වාරණ පනවා ගැනීමේ අවසානය කොතනද?….කල්ලෙක් මිනීමැරුවය කිව්වම කල්ලො ඔක්කොම මිනීමරුවො කියල ඇඟවෙන නිසා එහෙම කරන එක වැරදියි..හරි..එතකොට මිනීමරුවා පිරිමියෙක් කියල කිව්වම පිරිමි ඔක්කොම මිනීමරුවො කියල ඇඟවෙන්නෙ නැද්ද? ඊළඟට අපරාධකාරය මනුෂ්‍යයෙක් කිව්වම මිනිස්සු ඔක්කොම මිනීමරුවොය කියල හංවඩු ගැහෙන්නෙ නැද්ද?

    / 2005 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය්‍යෙක් අශ්වයෙක් පිට නැඟ සිටි පොලිස් නිලධාරියා ගෙන් ඒ අශ්වයා සමරිසියෙක් දැයි විමසීය!!! පොලිස් වාහන දෙකක් පැමිණ මහජන නියෝග පනතේ 5 වැනි වගන්තිය අනුව, සමරිසි විරෝධී ප්‍රකාශයක් කියුවා යැයි සෑම් බ්‍රවුන් නැමති ඒ සිසුවාව අත් අඩංගුවට ගැණින. ඔහු රැයක් සිරගත වී £80 ක දඩයක් ගෙව්වේය. අවසානයේ මහජන ස්ථානයක කලබලකාරී බවක් ඇති කළා යැයි පෙන්විය නොහැකි බවින් ඔහුට ගොනු වූ නඩුව ඉවත් කරගනු ලැබිණ. /

    ඇත්තම කියනව නම් අරුණි මේ කතාවනම් විශ්වාස කරන්ටත් අමාරු තරමයි…

    “Do you realise your horse is gay?”

    මෙහෙම අහපු නිසා දවසක් කූඩුවෙ..පවුම් 80 ක් දඩ. 😀

    අනෙ අම්මපා…කැකිල්ලෙ රජ්ජුරුවො හොඳයිනෙ තව…සමහර විට අරුණි මට මෙහෙමත් හිතෙනව..අර අස්සය ඇත්තටම සමරිසියෙක් වෙන්නත් ඇති. දඩේ ගහන්න ඇත්තෙ රහසක් එලි කලාට වෙන්ට බැරිද?….අර රජ්ජුරුවංගෙ පුරෝහිතය අමු මැට්ටෙක් කියාපු මනුස්සයට මසුරං පන්සීයක් දඩ ගහපු කතාව දන්නව නේද?….සාපරාධී අපහාසයට මසුරං සීයයි…ඉතුරු හාරසීය රාජ්‍ය රහසක් හෙලි කලාට 🙂

    අනික බලන්නකො…අපි මොන තරම් ශිෂ්ඨ සත්ව කොට්ඨාශයක්ද කියල…සමරිසි මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි සමරිසි අස්සයිංගෙත් අයිතීන් ආරක්සා කරල දෙන්ටයි අපි උත්සාහ කරන්නෙ….

    බොහොම භයානක ප්‍රවණතාවයක් මේකනම්…කොතනින් කෙලවර වෙයිද හිතාගන්නවත් බැහැ…සමරිසියන්ට විරුද්ධව චිරාත් කාලයක් පැවතිච්චි අසාධාරණය නැතිකරන්ටෙයි කියල සමරිසි, විසමරිසි හැමෝගෙම මූලිකම අයිතියක් වන නිදහස් ප්‍රකාශනයෙ අයිතිය නේද මේ කප්පාදු කරන්ට හදන්නෙ?

    එකක් කඩතොළු මකා ගන්නට ගොහින් මට උනු වියෝයා,
    දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා…

    නැවත ගොඩ ගත නොහැකි තරමට තත්වය දරුණු වීමට පෙර නීති සාදන්නන්හට , පාලකයින්ට ඒ වගේම විශේෂයෙන්ම මේ තත්වය බොහෝ සේ බලපාන පොදු ජනතාවට නැනැස පහල වේවා !!!

    • arunishapiro said, on සැප්තැම්බර් 3, 2012 at 4:42 ප.ව.

      ravi,
      //ඊළඟට අපරාධකාරය මනුෂ්‍යයෙක් කිව්වම මිනිස්සු ඔක්කොම මිනීමරුවොය කියල හංවඩු ගැහෙන්නෙ නැද්ද?// 🙂 වැඩේ මේකනෙ, පාලකයෝ පටන් ගන්නෙ මෙතැනින්. එයාල හිතන්නෙ එයාල තමයි ඔක්කොම අපරාධකාරයන් ගෙන් සහ මිනීමරුවන් ගෙන් සමාජය ආරක්ෂා කරන්නේ කියල. බහුතර ජනතාවත් හිතන්නේ පාලකයන් තමයි ඒක කරන්නේ කියල!!!

      ඉන්දියානා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක ඇතුලත තාප්පයක කළු අයට විරුද්ධ වර්ගවාදී ග්‍රැෆිටියක් ලියා තිබුනා. වහාම කමිටුවක් රැස් වෙලා ඔවුන් සාකච්ඡා කළේ මෙවැනි කළු වාර්ගික පාඨ ලිවීමට එරෙහිව නීතියක් ගෙන එන්නට. එහි දී මහාචාර්යවරයෙක් නැඟිටලා කිව්වා දැනට ඕනෑම ග්‍රැෆිටියක් කැම්පස් එක තුල ලියන්න තහනම්, ඉතින් ඇයි ඒක මත දඬුවම් දීම නොකරන්නේ, ඇයි මේකට කියලා අලුත් නීතියක් අවශ්‍ය්‍ය? සෑහෙන්න වාදයකින් පස්සෙ තමයි ඒක පිළිගන්න අනිත් අය කැමති වුනේ. ඔහු සුදුහම ඇති අයෙකු වුවත් ඔහුගේ කතාවට කවුරුත් එකපාරින් හරස් නොවී එයැත් වර්ගවාදියෙක් කියා හංවඩු ගහන්නේ නැතිව සවන් දුන්නේ ඔහු විවාහ වී ඉන්නේ චීන සංක්‍රමණිකයෙක් එක්ක නිසා!!!

      තමන් අයිති වෙන කල්ලියේ ඇති වැරදි ඒ අයට විතරයි සාර්ථකව හදාගන්න පුළුවන්. පාලකයන්ට කවදාවත් බැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයක දී පාලකයන් කරන්නෙ හරි වැඩ හෝ වැරදි වැඩ නෙමෙයි චන්දෙ දිනත හැකි වැඩනෙ. මෙහෙම අවිචාර නීති ගෙනැවිත් චන්ද පරදින කොට විතරයි එයාලටත් නැණස පහළ වෙන්නේ.

  3. wicharaka විචාරක said, on සැප්තැම්බර් 3, 2012 at 10:10 ප.ව.

    මටනම් හිතෙන්නේ, ඒ කාලේ හිටිය අධ්රාජ්‍යවාදී යුරෝපීයයන් හෝ මාධ්‍ය කාලයේ හිටිය ආර්ථික අධිරාජ්‍යවාදී යුරෝපීයයන්ටත් වඩා, දැන් ඉන්න පාලකයන් අමනයන් බවයි. දැන් ඉන්න පිරිස, බොරු කිඹුල් කඳුළු හෙලමින්, ආර්ථික වාසි පතා, මානව හිමිකම් ලකුණු දමාගැනීම පතා, තමන්ගේ රටවල තියන හඩු රස්සා odd jobs කරවාගැනීම සඳහා, පෙරදිගයන්ට සහ අප්‍රිකානුවන්ට තම රෙද්ද අස්සේ රිංගන්නට දීමේ විපාකය දැන් විඳින බවයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 4, 2012 at 7:03 පෙ.ව.

      wicharaka විචාරක,

      නැහැ විචාරක මේකට පාලකයන්ට පමණක් දොස් කියන්න බැහැ. අමන වැඩේ සිද්ධ වුනේ සමාජයට සැලසුම් ගෙනෙන්නට තමන් දන්නවා යැයි සිතන ‘විද්වතුන්’ යැයි කියාගත්තවුන් අතින්. ඒ ඒ පීඩිත වූ කොටස් වල ජීවිත යහපත් කරනු පිණිස පෙනී සිටිමින් පීඩිතයන් වවාගෙන කමින් තම ජනප්‍රියත්වය සහ තම පසුම්බි පුරවා ගැනීම පමණක් ම ඔවුන්ගේ පරමාර්ථය වූ අය නිසා. තමන්ගේ උත්සාහයක් නිසා නොව වෙනත් අයෙක් තීරණය කරපු නිසා, එක පුරවැසියක්ට තව පුරවැසියක්ට වඩා ලැබෙද්දී මුළු සමාජය ම යන්නෙ පරිහානියට. මාගරට් තැචර් වැනි අයෙක් දෙන්නෙක් හැරෙන්නට, බහුතර යුරෝපීයය පාලකයන් එහි දී බලයේ ඉන්නට අනුන්ට ඕනෑ ඕනෑ ආකාරයන්ට වැඩ කරපු රූකඩයන් විතරයි. ආසියාවේ හා අප්‍රිකාවේ ආශ්චර්යයමත් රටවල් වල පාලකයන් හා සසඳන කොට මෙයාලට ඇත්තෙ ආර්ථික වාසි නෙමෙයි ආර්ථික පාඩු!!!!

      හඩු රස්සාවල් විතරක් නෙමෙයි ඉහළ තලයේ රස්සාවල් බොහොමයක් ද අද කරන්නේ සංක්‍රමණිකයන්. House of Lords හි ද සංක්‍රමණිකයන් ඉන්නා බව ලිව්වානේ. මම හිටපු කාලේ කැළණිය කැම්පස් ඉගෙන ගත්ත අය අද බ්‍රිතාන්‍ය Home Office වල, නගර ආණ්ඩුවල ලේඛනාගාර බාරව සහ පුද්ගලික අංශයේ එහෙම ඉන්න අයයි.

      අද බ්‍රිතාන්‍ය්‍යේ බහුතර යුරෝපීය ජනතාව කුසීත වූ ජීවිතයකට හුරු වූයේ ඔවුන්ගේ සැලසුම් ක්‍රමයේ වැරැද්ද නිසා; තවම එය දකින්නට ඔවුනට බැහැ. කෙටියෙන් කිව්වොත් සැලසුම් හැදිලා තියෙන්නේ දරුවන් කුඩා කාලයේ දී අනාගතය තීරණය වෙන, සුදු හම ඇති එහි පාරම්පරික වැසියන්ට අවාසිදායක සහ දෝෂාරෝපණය කමක් නැති වූවාට විවේචනය කිරීම වැරැද්දක් හැටියට දකින සමාජයක් ව්‍යාපාරිකයන්ට අහිතකර රෙගුලාසි බහුල වී ගොඩ නැඟීමෙන්. එහි දී තමන්ට උත්සාහයෙන් ඉහළට යන්න බැරි බව දකිද්දී ජනතාව කම්මැලි වී ආණ්ඩුවෙන් ලැබෙන දේවල් වැඩියෙන් ඉල්ලා ගන්නට හැදියාව වෙනස් වෙලා.

      ඉගෙනීමක් හෝ කුසලතාවයක් නොමැතිව හඩු රස්සාවල් කරන්න යුරෝපයට ඇදී එන සංක්‍රමණිකයන්ට සිද්ධ වූයේ ද එයයි. එතැනින් එහාට ඉහළකට යන්න බැරිව හඩු රස්සාවල් වල හිර වී සිටීමයි. ඇමෙරිකාවේ වෙනස මේකයි. හඩු රස්සාවකින් පටන් ගන්නා ඒත් වෙහෙසෙන්නට උවමනාවක් ඇති ඕනෑම අයෙකුට ස්ව උත්සාහයෙන් තවමත් ඉහළකට යන්න ඉඩකඩක් වැඩියි. මෙහෙත් සුදු හම ඇති අයට අනිත් අයට වඩා අවාසිදායක ප්‍රතිපත්ති ඔය සැලසුම් කැමති අය මෙහෙත් වැඩි වී දිනෙන් දින වැඩියෙන් ගෙනාවත්, තමන් විසින් යම් ව්‍යාපාරයක් ආරම්භ කර එයින් ජය අත් කරගැනීම යුරෝපයට වඩා තවමත් ඉතා පහසුයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: