අරුණි ශපීරෝ‍ වෙතින්

ඕලන්ද සංග්‍රහය හෙවත් යුරෝපීය කාන්තාවගේ අනා ගැනිල්ල

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 4, 2012

යුරෝපීය කාන්තාවට සමාජයේ සමතැන ලැබුනේ ප්‍රංශ විප්ලවයත් සමඟ. අනතුරුව එතෙක් පිරිමින්ට පමණක් වැඩි ඉඩකඩකින් වූ ක්ෂේත්‍රයන්හි දොරවල් පහසුවෙන් විවෘත වී ඇය ඔවුන් හා තරඟ කරන්නට පිවිසියාය. කාන්තාවන් චන්ද අයිතිය ලැබී දේශපාලනයේ බලපෑම් ඇති කළහ. කාන්තාවන්ට චන්ද වරම දෙමින් අනිත් යුරෝපීය රටවල් වලට ස්විට්ස්සර්ලන්තය සම්පූර්ණයෙන් එකතු වූයේ 1990 තරම් මෑත කාලයක දී.

යුරෝපීය පාර්ලිමේන්තුව සලාක ක්‍රමයක් හඳුන්වා දීම මඟින් දේශපාලන පක්ෂ වල, පරිපාලනයේ හා කළමනාකරණ මණ්ඩල වල කාන්තා නියෝජනය 2015 වෙද්දී 30% කින් හා 2020 වෙද්දී 40% කින් වැඩි කිරීමට උත්සාහයක සිටියි. ඒත්, දක්ෂයාට උවමනාවක් තියේ නම්, ඔවුනට තහනමක් පනවා නැත්නම්, යම් ක්ෂේත්‍රයක ඉහළට යෑම නතර කරන්න බැරි බව සැලසුම් ගහන්නෝ නොදකිති. මාරි කියුරි, ජෝර්ජ් එලියට්, වික්ටෝරියා බෙනඩික්ට්ස්සන්, මාගරට් තැචර්, යුරෝපයෙන් කදිම උදාහරණ. ඒත්, සලාක ක්‍රමයක් ගෙනැවිත් දක්ෂයාට ඉඩ නොදී අදක්ෂ අයෙක්, ස්ත්‍රියක් වීම පමණකින් ඉඩ ලැබුනාම රටක දියුණුවක් ඇති වෙයි ද?!!!!

සමානාත්මතාව බලහත්කාරයෙන් ස්ථාපිත කරත නොහැකි යැයි පිළිබිඹු කරන කෙටි කතාවක් (සිංහලෙන් මෙතැන) එන්නේ කර්ට් වොනගට් නැමති (වාමාංශික විද්වත් අදහස් ඇති අයෙක්!!) සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා වෙතිනි. මෙහෙ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වෙන්නැති!!! නූතනයේ දී බීබීසී ඇමෙරිකන් සේවයෙන් රූපවාහිනි ප්‍රවෘත්ති බලන, බීබීසී ලෝක ප්‍රවෘත්ති සේවයට සවන් දෙන අයෙකුට කර්ට් වොනගට් ගේ කෙටිකතාවේ එන ප්‍රතිබන්ධන ජනරාල්වරිය විසින් පත් කරන ලද අය වැන්නන් රූපවාහිනියෙන් දකින්නත් රේඩියෝවෙන් අහන්නත් පුළුවන්. බීබීසී පාඩු ලබන නිසා මේ දවස්වල විසිදාහක් අස් කරන්න යනවා, කොයි අයව අස් කෙරෙයි ද?!!!

ඊයේ පෙරේදා දවසක නෙදර්ලන්තයෙන් ආපු මිත්‍රයෙක් එක්ක සුදු අප්පුහාමියි මායි දවල් කෑමට ගියා. හැබැයි ඒක ‘ඕලන්ද සංග්‍රහයක්’ නෙමෙයි කියලා අවන්හලට ගොඩ වෙද්දී ම සුදු අප්පුහාමි එයාට කිව්වා. Going Dutch, Doing Dutch, Dutch Date නැත්නම් Dutch Treat යනුවෙන් අදහස් කෙරෙන්නේ කට්ටියේ ඉන්න එක එක්කෙනා තම තමන්ගෙ ආහාර වේලට ගෙවන එක. ඇමෙරිකාවේ සම්ප්‍රදායික සිරිත් නම් යම් තැනකට යන්න අඬගහපු එක්කෙනා වියදම ගෙවීම, තමන් බලන්නට එන ආගන්තුකයාට සංග්‍රහ කිරීම, ආගන්තුකයෙක් ගෙදරක ටික දිනක් නවතිනවා නම් ගෙදර අයට ආහාර වේලක් පිටතින් අරන් දීම, ආදරවන්තයින් දෙදෙනාගෙන් පිරිමියා වියදම දැරීම යනාදියයි.

කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඇමෙරිකන් කාන්තාවන් තමන්ගෙ ආදරවන්තයාගේ බිල් පත ගෙවීමත් කරනවා!!! තවම මුළු ලෝකයේ ම වේතන සසඳන විට කාන්තාවන් උපයන මට්ටම් පිරිමින්ට වඩා අඩුයි. මොන එහෙකට එහෙම ගෙවන එක කාන්තා විමුක්තියක් කියලා හිතනවා ද මන්දා!!!

නෙදර්ලන්තයේ යුරෝපීය නොවන සංක්‍රමණිකයන් දැනට ජනගහණයෙන් 10% ක් පමණ. වැඩියෙන් ම ඇවිත් ඉන්නේ තුර්කියෙන්, මොරොක්කෝවෙන්, සුරිනාම් සහ ඕලන්ද ඇන්ටිලීස් වලින්. ඕලන්ද සමාජයට සංක්‍රමණිකයන් අනුගත කරගන්න නිර්මාණය වූ විඩියෝ මාලාවකින් එකක් තමයි පහත තියෙන්නෙ. එහි කියැවෙන පරිදි (7:50 විතර) නෙදර්ලන්තයේ පරමාර්ථය සැවොම රැකියා කිරීම. කාන්තාවන් හා පිරිමි. එතකොට පිරිමියාට එයාගෙ ආදායම තියෙනවා. ගැහැණියට ඇයගේ ආදායම තියෙනවා. මේක කාන්තාවන්ට හා ළමයින්ට ද බලපාන්නක්.

සෝවියට් රුසියාවෙන් පටන් ගත් ශ්‍රම බලකායට එකතු වීම ස්ත්‍රී පිරිමි භේදයක් නැතිව විය යුත්තකි යන්න විචාරයකින් තොරව පිළිගෙන නීති ගෙන ඒම නිසා උතුරු යුරෝපීයයන් අතර දරුවන් සමඟින් ගෙදර බලා කියාගෙන ඉන්නා ගෘහණියක් (Housewife) යන්න කාන්තාවක් විසින් පැතිය යුතු තත්වයක් නොවේ යැයි බහුතර ‘විද්වත්’ මතය වී ඇත. එසේම කාන්තාවන් එසේ සිටීම සංස්කෘතික පරිහානියක් සේ ද සැලකේ. ඇමෙරිකාවේ සැමියා රැකියාවක් කරද්දී, නිවසට වී දරුවන් හදාගන්නා කාන්තාවට සමාජයේ උන්නතියට දායාද නොවනවා යැයි දෝෂාරෝපණයක් එල්ල වූයේ නැත. මෑතක දී ඊට උත්සාහයක් ගත් Hilary Rosen ට සමාජයෙන් එල්ල වූ පිළිකුල නිසා ඇය සමාව අයැදීය.

දරුවන්ට හා දුප්පතුන්ට බියවීම‘ නමින් ඈතක දී ලියූ සටහනක මම නූතන යුරෝපීය චින්තනය ගැන යාන්තමින් සඳහනක් කළා. අද බ්‍රිතාන්‍යයේ “ජීවත්වෙන විදියේ තෝරාගැනීම්” නොහොත් lifestyle choices ගන්නා තනියම දරුවෙක් හදනා අම්මලා අතරින් 57% කිසිම දවසක සැමියෙක් හෝ ආදරවන්තයෙක් සමඟ එකට පවුල් කා නැත. ඔවුන් කියන්නේ තනියම ජීවත්වීම වඩාත් සතුටුදායක වූවක් බවයි. වසර විස්සකට පෙර වයස අවුරුදු 13 ට අඩු, එක දිනයක් වත් පවුල් කා නැති, තනියම දරුවන් හදන අම්මලා වූයේ 20% කි. එනම් එදා තනි වූ අම්මලා අතරින් බහුතරය වසර කිහිපයක් විවාහයෙන් හෝ එකට පවුල් කෑමෙන් පසුව තනි වූ අයයි.

ආණ්ඩුවෙන් ලැබෙන සුබ සාධන වාසි නිසා රස්සාවකට නොගිහින් තනිවම දරුවන් හැදීමට වඩා නැඹුරුවක් අද ඇත. එසේම පිරිමි සහකරුවෙක් නොමැතිව තනිව වාසය ද ඒ අම්මලා ප්‍රිය කරති. ඉහත කියූ සලාක ක්‍රමය ගෙනෙද්දී ඔවුන් මේ මිනිස් ස්වභාවය දැක්කේ නැද්ද?!!! ඒ අම්මලා ළමයි හදාගන්නේ දරුවන්ට ඇති ආදරයක් නිසා ද? නැත්නම් දරුවා හදනවාට ආණ්ඩුවෙක් ගෙවන දීමනාවක් නිසා ද?!!! පුරුෂ ආධිපත්‍ය්‍යකට හසු නොවී රජයෙන් යැපෙන්නට හැකිවීම නිසා ද?!!! තනිවම සිට දරුවෙක් හදාගන්නට, ඉඳහිට ඕනෑ වූවාම පමණක් ආදරවන්තයෙක් ගේ පහස ලබන්නට, ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත් වෙන්නට කොන්දේසි කිසිත් නැතිව ලැබෙනවා නම් වෙහෙසෙන්නේ ඒවා අයිතීන් යැයි කියා ඒවා දිනාගැනීමට සටන් කිරීම පමණක් නොවේ ද?!!!!

අයර්ලන්තයෙන් ඇහෙන කතාවක් මේ. එහි 15% ක් තනිවම ඉන්නා හා 44% ක් දරුවන් ඇති සේවකයන්ට, රැකියාවක් නොකර ආණ්ඩුවේ සමෘද්ධියෙන් ජීවත්වීම වාසිදායක බව පෙන්වන්නේ තවමත් විමර්ශනයේ ඇති පර්යේෂණයකින්. රැකියාවක් කරන්න වැය වැඩියි. දවල් කෑම, ගමන් වියදම් යනාදිය පියවන්න රැකියාවෙන් සැලකිය යුතු ආදායමක් හොයා ගන්න බැරි වෙද්දී රැකියාවක් නොමැතිව සිටීමෙන් ලැබිය හැකි රජයේ සහනාධාර වලින් වාසිය වැඩියි. මිනිස්සු බලන්නෙ රටක ආර්ථික නඟාලන්නට තමන්ගෙ අතින් ගෙවා ගෙන වැඩට යන්න නෙමෙයිනෙ. ලාභ දේවල් කිරීමත්, වාසියක් නැති දේ නොකර සිටීමත් ස්වභාවික මිනිස් හැදියාවයි!!!!

දැන් කෙනෙක් අහයි ඇයි ඒ අයගේ පඩි වැඩි කරන්න බැරි කියා. වෙළඳපොල ඉල්ලුමක් නැති රැකියාවන් කරන අයට පඩි වැඩි කරන්නේ ද ලෝකයේ ආණ්ඩු විතරයි. පුද්ගලික අංශයට රජයෙන් බලපෑමක් නැති කළ, ශ්‍රමයට සරිලන වැටුප තමයි තීරණය වෙන්නේ. මේ තත්වය උදා වෙලා තියෙන්නේ රජය විසින් ශ්‍රමයට සරිලන වැටුප වෙළඳපොලට තීරණය කරන්නට ඉඩ නොදී මොවුන් උපාධිධාරීන්, ඒ නිසා මොවුන්ට මේ පඩි ලැබිය යුතු යැයි තීරණය කරපු නිසා. උපාධියක්, සහතිකයක් තියෙනවා ද නැද්ද නෙමෙයි වැඩේ කොතරම් ඵලදායී ලෙසින් ද කළ හැක්කේ අනුව පඩි තීරණය වෙද්දී තමයි රැකියා වෙළඳපොලේ ඉල්ලුමට සරිලන පඩි ලැබීමත් සිද්ධ වෙන්නේ. අයර්ලන්තයේ ද වැය වැඩි නිසා රජය ඉන්නේ ආර්ථික අර්බූදයක.

කාන්තාවට සම තත්වයක් දී ඇය අධ්‍යාපනයක් ලද යුතුයි, රැකියාවක් කළ යුතු යැයි බලපෑම් කරන ගමන්, අනෙක් පැත්තෙන් ඇයට දරුවෙක් ඉන්නවා නම්, රැකියාවකට යන්න නොහැකි නම් මේ තරම් සුබසාධන රජයෙන් ලබාගෙන ජීවත්විය හැකි යැයි පෙනෙද්දී කාන්තාවන් රැකියාවකට නොගොස් දරුවෙක් හදමින් ආණ්ඩුවේ සුබසාධනයෙන්, පිරිමි ආධිපත්‍යයෙන් ගැල වී තනියම ජීවත් වෙමින්, සමාජයට බරක් වෙන ප්‍රවණතාවය ද, අවජාතක දරුවන් යුරෝපීය සමාජයේ වැඩිවීම ද, නොසිතූ ප්‍රතිඵල වී ඇත.

එයින් හටගෙන ඇති තවත් නොසිතූ ප්‍රතිඵලයක් වී ඇත්තේ පිරිමියෙක් හා විවාහයට, සුජාතක ළමයි හදන්නට යම් මාර්ගෝපදේශයක් ලැබෙන ආගමක් වෙත දැඩි ව නැඹුරු වෙන පිරිසකගේ වැඩි වර්ධනයයි.

යුරෝපීයයන්ට තමන්ගේ අගැයුම් හා චාරිත්‍ර ගැන පැහැදිලිතාවයක් නොමැති කළ, ඒ ගැන විවිධ වූ අදහස් පැතිර යන කළ, තෝරා බේරා ගන්නට විචාරය නොදන්නා බහුතරය (ඔවුන් සැමදාම බහුතරයකි); පහසුවෙන් දැකිය හැකි අගැයුම් හා චාරිත්‍ර වලින් යුතු සම්ප්‍රදායක් වැළඳ ගනිති. යුරෝපයේ විචාරය නොහැකි නූතන සංක්‍රමණිකයන් වූ දරුවන් වැඩියෙන් බිහිකරන ඒ බහුතරයට පහසුවෙන් දැකිය හැකි අගැයුම් හා චාරිත්‍ර අද ලැබෙන්නේ ඉස්ලාම් වෙතින්.

***

උඩ පින්තූරයේ ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ අගමැතිනිය ජූලියා ගිලාඩ්. ජනතා නියෝජිතයෙක් ද නැත්නම් ඇය රැජිනක් වෙන්න හදනවා ද?!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on සැප්තැම්බර් 4, 2012 at 8:53 පෙ.ව.

    කාන්තාවන් ගෙදරට වෙලා නිකං ළමයි බලාගන්න බෑ වැඩට යන්න ඕනි කියනවා නං පිරිමියාට වඩා වැටුපක් බිරිඳට ලැබෙනවා නම් කාන්තාව වැඩ කරලා සැමියා හවුස් හස්බන්ඩ් වුනාට කමක් නෑ… ළමයි තුන් දෙනෙක් විතර ඉන්නවා නම් ඉතින් දෙන්නගෙන් එක් අයෙක් ගෙදර ඉන්න එක වඩා හොඳයි..කොයි තරම් ලෝකෙ දියුණු වුනත් මිනිස්සු දන්නවා පොඩි ලමයි වරදට පොලඹා ගන්න ලේසියි කියලා….ඒ නිසා පවුල් ජීවිතයක් තිබිය යුතුයි..කියලා හිතනවා නම් …ජීවිතේ කියන්නෙ ඔලුව හැරුන අතේ පිස්සු බල්ලො වගේ හඹා යෑම නොවෙයි කියලා හිතනවාම් අනිවාර්යෙන්ම එක් අයෙකු ටිකක් සැර අඩු රැකියාවක හෝ රැකියා නොකර සිටීම වාසි වෙනවා…
    සැර අඩු කිව්වෙ දෙන්නාම විශාල සමාගම් වල වගකීම් අධික,පීඩනයෙන් යුතු රැකියා කරනවානම් ඒ අයට පවුලේ ප්‍රශ්ණ පවුල්ජීවිතය කියන්නෙ තවත් වදයක් වෙනවා…ඒ නිසා කසාද බදිනකොට උනත් ආලෙන් වෙලාගෙන පස්සෙ කෝලං නටන්නෙ නැතුව ඒවා ගැනත් හිතනවා නං හොදයි…අාලය අන්ධයි ඒත් අන්ධයා උනත් දෙයක් මිලදී ගන්නකොට අඩු තරමෙ අතගාල හරි බලනවා…

    • arunishapiro said, on සැප්තැම්බර් 4, 2012 at 8:57 පෙ.ව.

      indika27,

      ඔව් ඉන්දික මේ විදියට හිතලා බලලා මිනිස්සු/ගැහැණු ඒ ඒ අය කැමති විදියට තීරණ ගන්න ඉඩ නොදී සමාජය හසුරුවන්න ගියා ම තමයි අනා ගැනිලි වැඩි.

  2. Maathalan said, on සැප්තැම්බර් 4, 2012 at 11:22 පෙ.ව.

    කාන්තාවන්ට සම තැන නෙමෙයි දෙසරයක්ම රජ කමත් හම්බ උනා. ඒත් රටට කරපු දෙයකුත් නෑ කාන්තාවන්ට කරපු දෙයකුත් නෑ. සින්ගල් මදර් කොන්සෙප්ට් එක බටහිර රටවල නැගලම යන්න හේතුව ආධාරේ වෙන්න ඕන. නමුත් සමහර රටවල දරුවට අවුරුදු 7 ක් උනාට පස්සේ ඒ ආධාර නවත්වනවා. එතකොට ආයෙත් වෙන එකකට සෙට් වෙලා. අපේ රටේ නම් ඉතින් මිනිහගෙන් ගුටියක් කෑවේ නැත්තම් කිසිම අයිතිවාසීකමක් නෑ වගේ තමයි නිදා ගන්න යන්නේ. මේක නිවටකමද, හැටිද…? මොකද උගත්කමේ ප්‍රශ්නයක් නම් වෙන්න බෑ. ඩිග්‍රි ගහපු අයත් අම්බානක ගුටි කනවා.

    • arunishapiro said, on සැප්තැම්බර් 4, 2012 at 2:32 ප.ව.

      Maathalan,

      ජර්මනියේ ආණ්ඩුව විසින් දරුවාට එවන මුදල් (kindergeld) වයස අවුරුදු 18 දක්වා ද, ඊට පස්සෙ රස්සාවක් නැත්නම් 21 දක්වා ද, ඊට පස්සෙ අධ්‍යාපනයේ හෝ අධ්‍යාපනයක් ලබන්න උත්සාහ කරනවා නම් 24 දක්වා ද ලැබෙන්නක්. ඉස්සර වයස 27 දක්වා ලැබුණා. 2010 ජනවාරි සිට පළමු දරුවාටයි දෙවැනියාටයි මාසයකට €184; තුන්වැනි දරුවාට €190; හතරවැනි සහ ඊ ළඟට ඉන්න හැම දරුවෙක්ට ම €215 බැගින් මාස්පතා ගෙවන්නක්. අම්මලා, තාත්තලා, ආච්චිලා සීයලා සහ හදාගන්න ගත් ඕනෑ කෙනෙකුට ඉල්ලන්න පුළුවන් දරුවාගේ උප්පැන්න සහතිකය පෙන්වලා. ඒත් දරුවාට child benefit ඉල්ලුම් කරන්න බැහැ වැඩිහිටියෙක් තමයි ඉල්ලුම් කරන්න ඕනෑ. ජර්මනියේ පදිංචි වී ඉන්නා ජර්මන් පුරවැසියන් හෝ යුරෝ පුරවැසියන්, නෝර්වේ, අයිස්ලන්ත හෝ ස්විට්ස්සර්ලන්ත පුරවැසියන් විය හැකියි. ස්ථිර පදිංචියට අවසරයක් ඇති විදේශීය පුරවැසි පදිංචිකරුවන්ට ද ඊට ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට පස්සෙ නීතිමය පදිංචිය ඇති දෙමාපියන් අනුව මාස හයකට වඩා එහි ජීවත් වූ තුර්කි, සර්බියා, බොස්නියා-හර්සාගොවිනා, කොසෝවෝ, මොරොක්කෝ, ඇල්ජීරියා සහ ටියුනීසියා යන ජාතිකයන්ටත් ලැබෙනවා.

      ඔස්ට්‍රියාවේ දරුවා වයස 25 වෙනතෙක් දීමනාව ගෙවනවා. අම්මායි තාත්තයි දෙන්නම එකට ඉන්න කොට ගෙවන්නෙ අම්මාට. විශේෂ ඉල්ලීමකින් තාත්තාට හදා ගන්න පුළුවන්. අම්මායි තාත්තයි වෙන් වෙලා ජීවත් වෙනවා නම් දරුවා හා ඉන්න එක්කෙනාටයි ලැබෙන්නෙ.

      ස්විට්ස්සර්ලන්තයේ තියෙනවා විවිධ වූ දීමනා. දරුවෙක් උපන්නාම cash benefit එකක් ලැබෙනවා එක සැරයක් දෙමාපියන්ට. හදාගන්නට ගත්තාමත් එහෙමයි. දරුවාට වයස 16 දක්වා මාස්පතා දීමනාවක් ලැබෙනවා. අධ්‍යාපනය සඳහා මාස්පතා දීමනාවක් වයස 16 සිට 25 දක්වා. ඒ ඒ කැන්ටන් එක අනුව රෙගුලාසි ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් වයස 16 ට අඩු ළමයින්ට CHF 200; 16 සිට 25 වෙනතෙක් පුහුණු දීමනාවක් CHF 250; පාට් ටයිම් වැඩ කරනවා නම් සම්පූර්ණ දීමනාව ගන්න පුළුවන්. රස්සාවක් කරත් නැතත් දීමනා ලැබෙනවා!!!

      දැන් මේ දීමනා තිබිය දී යුරෝපීයයන් වැඩ කළා, තාම වැඩ කරනවා. ඒත් සංක්‍රමණිකයන් සියල්ලන් ම යුරෝපයට ආවේ වැඩ කරන්න ම නෙමෙයිනේ .. එයාලව සූරා කාපු තරහටනේ. ඒත් ඉතින් දැන් වැඩ නොකර ආධාර ලබමින් ළමයි වැඩියෙන් හැදුවාම රටේ අර්බූදයක් ඇත්තේ මන්දැයි ඔවුන් දන්නේ නැහැ!!!!

      අපරදිග රටවල කාන්තාවන්ට සමතැන් දීලා වැඩ කරන්න කියනවා. නිලතල දීලා අඩුවෙන් පඩි ගෙවනවා. ශරීර ශක්තියෙන් පිරිමි එක්ක හැප්පෙන්න බැරි නිසා අවි ආයුධ අතට දීලා ඔවුන්ව යුද්ධයටත් යවනවා.

      පෙරදිග රටවල කාන්තව උතුම් කියලා පහත් විදියට සලකනවා!!! ආශ්චර්යය කයිවාරුවට රැවටිලා ගුටි කෑවත් මොකෝ 😀

  3. මිස්ටර් හයිඩ් said, on සැප්තැම්බර් 5, 2012 at 12:23 පෙ.ව.

    ඔය සලාක ක්‍රමයට අවස්ථාව දෙන එක නං අනුමත කරන්න බෑ. කෙනෙක් යම් කුලකයකට අයිති වුනු නිසාම ටිකට් එක දෙන අවස්ථාවක් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය. කොලඹ ගාල්ල යාපනය දිස්ත්‍රික්ක වල A 2 B1 ගන්න එකාව එලියෙන් තියල නුවර එලියෙන් හරි මොණරාගලින් C 3 ගන්න පුද්ගලයව ඇතුලට ගන්නවා ඉතින් දක්ෂයා එලියේ අදක්ෂයා ඇතුලේ. ඒ ප්‍රදේශයට පහසුකම් නැත්නම් ඒවා ලබා දෙනව වෙනුවට පාලකයෝ එහෙම නොකරන්න සලාක ක්‍රමය නිදහසට කාරණයක් කර ගන්නවා

    බිබිසි එක බංකොලොත් උනත් බිබිසි සිංහල නවත්තන්නේ නැත්නං හොදයි.

    උඩ පින්තුරේ දැක්කම මතක් වුනේ ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය නෙවෙයි ගෝත්‍රික ජයලලිතාව

    • arunishapiro said, on සැප්තැම්බර් 5, 2012 at 8:00 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      හැබැයි එහෙම සලාක නැති කාලේ ගම්වල දක්ෂයන් කොහොමත් කොළඹ අය හා තරඟ කර දිනුවා. මගේ කාලෙට ඉස්සර ඒ. සලාක ක්‍රමයක් තිබි පමණින් අද ඊට වඩා වැඩියෙන් පිරිසක් බිහි වී ඇතැයි පෙනෙන්නේ ද නැහැ. ඔව්, පැහැදිලිව ම ඒ පළාත් වලට පහසුකම් නැත්නම් ඒවා ලබා දෙනවා වෙනුවට තාමත් වසර 25-30 ක් තිස්සේ ඒ අසාර්ථක ක්‍රමය ම දිගට ම ගෙන යනවා. කොළඹ පැත්තෙ දක්ෂ සමහරු අද ලංකාවේ කැම්පස් වලට තරඟ නොකර කෙළින් ම එංගලන්තෙ උසස් පෙළට ලියලා යන්නෙ පිටරට කැම්පස් වලට. උත්සාහවන්තයාට තැනක් නොදී සමානාත්මතාවය ගෙනෙන්නට හැදුවේ කොළඹ යමක් කමක් ඇති ධනවත් අයට විතරක් අධ්‍යාපනයට අවස්ථාව නොදී ගම්බද දුප්පත් අයටත් ඉඩක් දෙන්නටයි කියලානේ. අන්තිමේ දී කොළඹ ධනවත් දක්ෂ අය කොහොම හරි රටෙන් පිටවෙලා ගිහින්. ඊට පස්සෙ රටේ මොළ සූරා කනවා යැයි විදේශයන්ට බනිනවා!!! ඔය අස්සෙ තව කට්ටියක් ඉන්නවා, එයාල කොළඹ පාසැල් ගිහින්, කොළඹ ටියුෂන් පංති ගිහින් ගමට ගිහින් විභාගයට ලියනවා. ඒත් අන්තිමේ දී කැම්පස් ගියා ම ආචාර්යවරු වර්ජනයක නිසා ගමට යන්න වෙනවා!!!!

      බ්‍රිතාන්‍ය තුල බීබීසී යනු බ්‍රිතාන්‍ය රජය බදු ගෙවන්නා වෙතින් අය කරන රූපවාහිනි ලියාපදිංචි කිරීමේ ගාස්තුවකින් රැකෙන්නක්. ඉතින් බදු ගෙවීමට උපයන අය අඩුවෙද්දී, පීඩිතයන් යැයි සැලකෙන හැම කල්ලියකට ම සහනාධාර දෙද්දී, ඒකටත් රජයෙන් වෙන් කරන මුදල් අඩු කරන්න වෙනවානේ. ඇමෙරිකාවේ බීබීසී දැන්වීම් වලින් ආදායම් උපයා ගන්නවා. ඒත් එහි වාමාංශික නැඹුරුව එන්න එන්න ම වැඩිවෙන නිසා පුද්ගලික අංශයෙන් දැන්වීම් යනාදියෙන් ආදයමක් සැපයීම ද කෙමෙන් කෙමෙන් අඩු වී යනවා.

      //උඩ පින්තුරේ දැක්කම මතක් වුනේ ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය නෙවෙයි ගෝත්‍රික ජයලලිතාව// නියම කතාව … ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයේ අයෙක් තමා ජූලියා ගිලාඩ්!!!!

      • Ama said, on සැප්තැම්බර් 6, 2012 at 6:07 පෙ.ව.

        මේ සලාක ක්‍රමේ චන්ද ගුණ්ඩුවක් මිසක් වෙන මොකද්ද! කොළඹ, ගාල්ලේ ළමයින්ට එයින් වෙන අසාධාරණේ ගැන ගොඩ දෙනෙක් කතා කරන්නේ නැහැ. මොරටුව අයිති වෙන්නේ කොළඹ දිස්ත්රික්කෙට. පානදුර කළුතර ට. පානදුරේ ළමය යන්නෙත් මොරටුවේ ළමය යන ටියුෂන් ක්ලාස් එකටම. ලංකාවේ උසස් පෙළ ගොඩ යන්නේ ඉස්කෝලෙන් නෙවෙයි ටියුෂන් වලින්. ඒත් ඔය ළමයි දෙන්න ජජ් වෙන්නේ දෙවිදිහකට. කාට කියන්නද මෙව්වා! අනිත් එක district quota එක. ඒක හදල තියෙන්නේ දිස්ත්‍රික්කේ පදිංචි ළමයි හැමෝම ඒ දිස්ත්‍රික්කේ ඇතුලේ පාසල් වලට යනවා කියන (සාවද්‍ය) උපකල්පනය මත ලු!

        තව කතාවක් තියෙනවා හැමෝන්ටම සමානව නොසැලකීම ගැන..ඇත්ත නැත්ත දන්නේ නැහැ. අපේ පාසලේ ගුරුවරු කිව්ව දෙයක්. මම ගියේ කොළඹ බාලිකාවකට. අපිට සාපෙ ලියද්දි ගුරුවරු නිතරම කිව්වා ඔයාලගේ පේපර් මාක් කරන්න යවන්නේ පිට පළාත් වලට, එතකොට කොළඹ පේපර් කියල අන්තිම ස්ට්‍රික්ට් මාක් කරනවා – ඒ නිසා අපිත් මාක් කරන්නේ එහෙමයි කියල. කොහොම හරි ඒ නිසා අපේ වාර විභාගෙදි සිංහල සාහිත්‍ය, ඉංග්‍රීසි සාහිත්‍ය එහෙම හරිම අමාරුයි ලකුණු ගන්ට…හැබැයි ඉතින් ඒකෙන් අපේ පිළිතුරු ලිවීම නම් සැහෙන්න හැදුන!

        PS- ජුලියා ගැන නම් ඉතින් කවර කතාද?!

        • arunishapiro said, on සැප්තැම්බර් 6, 2012 at 11:07 පෙ.ව.

          Ama,

          සුදුස්සාට සුදුසු තැන දෙන්නට හැකි එකම ක්‍රමය දක්ෂකම් පෙන්වූවාට පස්සෙ ඉඩක් දීමයි. දක්ෂකම් පෙන්වන්නට හැකියාව ලැබෙන පහසුකම් වැඩි කිරීමයි. අනිත් සලාක ක්‍රම සියල්ල හැමදාම අසාර්ථකයි.

          මදැයි, එහෙම නම් ඉංග්‍රීසි සාහිත්‍ය කොළඹින් ලියපු මං කැම්පස් යන්න තරම් ලකුණු ගත්තැයි කියන්නේ මාර හපන් කමක් නොවැ!!!! 😀 ඒත් කවුද දන්නෙ ඒ වසරේ කොළඹින් ලියපු මැති ඇමතියෙක්ගෙ දරුවෙක්ටත් ඉඩක් හදා ගන්න කොළඹ අයට අඩු ලකුණු වලිනුත් ඉඩ දුන්නා ද කියල 😦 අපි නම් ඒ දවස්වල ලකුණු මොනවා දැයි දන්නෙත් නැහැ. ඔය A අකුරු B අකුරු තමයි දැක්කෙ.

          අපොයි ඔව්, ජූලියා ගැන කතා කරන්න යෑම කාලය නාස්තියක්.

  4. Chandi said, on සැප්තැම්බර් 5, 2012 at 6:27 පෙ.ව.

    කන්තාවක් රැකියාවක් කිරීම යුරෝපයේ අරුමයක් නෙවෙයි. දැන් අපේ රටෙත් එය අරුමයක් නොවෙයි. රජයෙන් ගෙවන දීමනා නිසා යුරෝපීයන් දරුවන් හදා අනා ගන්නවා නම් අපි ගැන මොන කතාද? ලංකාවේ වැඩියම දරුවන් හදන්නේ කවුදැයි කවුරුත් දන්නවා නේ. ඒ අයගෙන් වැඩි හරියක් රැකියා කරන්නේ නැහැ. නමුත් ස්වාමියාගේ ව්‍යාපාර නිසා ඔවුන් රැකෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපාදන සැවොම සමානව බුක්ති විඳින නිසා අනෙක් අතිනුත් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා.
    ඕලන්ද සංග්‍රහයක් කියන එක අපිටත් කරන්න තිබුනා නම් හොඳයි. අපේ ඉන්නේ අපෙන්ම කාලා ඒකටත් දොස් කියලා යන ඇත්තො නේ. වරද අපිට ඒක කරන්න හිත හදා ගන්න බැරි එකයි. D.
    //එයින් හටගෙන ඇති තවත් නොසිතූ ප්‍රතිඵලයක් වී ඇත්තේ පිරිමියෙක් හා විවාහයට, සුජාතක ළමයි හදන්නට යම් මාර්ගෝපදේශයක් ලැබෙන ආගමක් වෙත දැඩි ව නැඹුරු වෙන පිරිසකගේ වැඩි වර්ධනයයි.// මේ කියමන හරියටම හරි.

    • arunishapiro said, on සැප්තැම්බර් 5, 2012 at 8:07 පෙ.ව.

      Chandi,

      //රජයෙන් ගෙවන දීමනා නිසා යුරෝපීයන් දරුවන් හදා අනා ගන්නවා නම් අපි ගැන මොන කතාද?// යුරෝපීයයන් කිව්වට මෙහි දී පාකිස්තාන, බංගලාදේශ, මොරොක්කෝ, ටියුනීසියා, ඇල්ජීරියා, බටහිර කොදෙව් හා උතුරු අප්‍රිකානු සංක්‍රමණිකයන් තමයි වැඩියෙන් මෙහෙම වාසි ලැබෙන නිසා දරුවන් හදන්නෙ, සුදුහම ඇති යුරෝපීයයන් නෙමෙයි. ලංකාවේ වැඩියෙන් ම දරුවන් හදන අය වගේ ම තමයි!!!

      බටහිර රටවල් මේ දිනවල දරීද්‍රතාවය ආනයනය කරමින් සිටිනවා යැයි රේඩියෝ නිවේදකයෙක් වන ජෝන් ඩර්බිශයර් කිව්වා.

      //අපේ ඉන්නේ අපෙන්ම කාලා ඒකටත් දොස් කියලා යන ඇත්තො නේ. වරද අපිට ඒක කරන්න හිත හදා ගන්න බැරි එකයි.// එපා චාන්දි අක්කෙ, අනුන් වැරදි කරන පළියට අපිත් වැරදි කරන්නෙ මොකට ද, බලු කපුටු දාන දෙන රටක ඒ වගේ වේලාවක ඒ වගේ කියලා හිතා ගනිමු නේද?!!!

  5. ravi said, on සැප්තැම්බර් 7, 2012 at 3:51 ප.ව.

    / උඩ පින්තූරයේ ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ අගමැතිනිය ජූලියා ගිලාඩ්. ජනතා නියෝජිතයෙක් ද නැත්නම් ඇය රැජිනක් වෙන්න හදනවා ද?!!! /

    ජූලියා ගිලාර්ඩ්ගෙ මේ ඡායාරූපය කුක් දිවයින් වල පැවැත්වුනු පැසිෆික් දිවයින්වල රාජ්‍ය නායක සමුළුවට ඇය සහභාගි වුනු අවස්ථාවෙ ඇයව පිළිගත් ආකාරයයි මම හිතන්නෙ…ඒ වගෙ අවස්ථාවක ඒ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන එක සම්මත ආචාර ධර්ම වලට පටහැණියි නේද?…ඔන්න ජූලියා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මේ වගෙ ගියානම් අරුණිගෙ මේ විවේචනය සාධාරනයි..

    අරුණි ජුලියා එක්ක තිබ්බ පරණ තරහක් පිරිමහ ගත්ත කියලයි මට හිතෙන්නෙ 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: