අරුණි ශපීරෝ‍ වෙතින්

යුරෝපීය යුනියනයේ ගණිකා වෘත්තිය හා නෝර්ඩික් ආදර්ශය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 7, 2012

ගණිකා සේවයේ පාරිභෝගිකයන් බහුතරය පිරිමින් වෙති. ගණිකා සේවය සපයන බහුතරය කාන්තාවන් වෙති. ලොව වැඩියෙන් ලාභ උපයන්නේ සේවය සපයන අය නොව අතරමැදියන් ය. එය නීති වීරෝධී වූ රටවල සහ අතරමැදියන් ගණිකා සේවය විකිණීමේ දී, එම සේවය සපයන අයව බලහත්කාරකම් වලින් මෙම හොර ජාවාරමට යොදවා ගනිති. ලෝකයේ වෙළඳාම් අතර කාන්තාව පණ්‍යයක් (වෙළඳ ද්‍රව්‍ය්‍යක් නොහොත් commodity) වන ලිංගික කර්මාන්තය වාර්ෂිකව උපයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ත් 12 ත් අතර යැයි UN Official Warns of Rise of New Slaves of Prostitutes,” Xinhua, 21 September 1999 දක්වමින් (එය සොයාගත නොහැකියි) කියන්නේ ඩොනා එම් හියුස් ය.

අතරමැදියා ඉවත් කරන්නට, වෘත්තියේ නියැළෙන අයගේ ආරක්ෂාව සපයන්නට ඔටෝමාන් අධිරාජ්‍ය්‍යේ දී එයට රෙගුලාසි පැන වී ඇත්තේ 1880 දී ය. නමුත් එදා ඊට අයත් වූ රටවල් බහුතරයක අද එය තහනම් වෘත්තියකි. ඒ පමණක් නොව විවාහයෙන් පිටත ලිංගික එකතුව ද තහනම් වූවකි. ඩුබායි වල පිළිගන්නට තරම් ප්‍රමාණවත් සහතිකයක් නැත්නම් විවාහකයන්ට ද ලිංගික සබඳතාවය තහනම් වූවකි!!! රෙගුලාසි තවමත් අත්හදා බලමින් වෙනස්කම් වලට භාජනය කරන රටවල් හා හැමදාම එකසේ ම රෙගුලාසි වලින් යුතු වූ රටවල් ද ලොව ඇත.

ජපානයේ ගණිකා සේවය සැපයීම හා විකිණීම දෙකම තහනම් වී ඇත්තේ 1956 නීතියකිනි. ජපානයේ ලිංගික කර්මාන්තය වසරකට යෙන් ට්‍රිලියන 4.2 ක් ලාභ උපයති. තහනම ඇත්තේ ලිංගික සංසර්ගයට මුදල් ගෙවීමයි. ඒ නිසා ජපානයේ ජනප්‍රිය ලිංගික කර්මාන්තයේ ලිංගික එකතුව හැරෙන්නට අනිත් සියල්ල ම කෙරෙනවා යැයි Pin Box නමින් ජපන් ලිංගික කර්මාන්තය ගැන අන්තර්ජාලයේ ලියන Joan Sinclair කියන්නීය.

ඔස්ට්‍රේලියාවේ ගණිකාවන් 200 කින් ලැබෙන cash flow එක සතියකට $900,000 ක් යැයි එහි පොලීසියේ දත්ත කියැවෙන්නේ තවත් අධ්‍ය්‍යනයක. එහි කියන පරිදි, පෝලන්තයේ පොලීසියට අනුව පෝලන්ත කාන්තාවක් ලිංගික කර්මාන්තයට බලහත්කාරයෙන් ගෙනෙනා අයෙකුට ඩොලර් 700 ක් පමණ ලැබේ.

යුක්රේන් හා රුසියන් කාන්තාවන් ලිංගික වෙළඳපොලේ වඩාත් ම ඉල්ලුමක් ඇති අයයි. එම කාන්තාවක් ගණිකා වෘත්තියට ගෙනෙන අයෙකුට ඩොලර් 500-1000 ත් අතර මුදලක් ලැබේ. ඔවුන් දිනකට 15 දෙනෙකුට පමණ සේවා සපයන අතර එක් කාන්තාවක් විසින් ජාවාරම් කල්ලියට මාසයකට ඩොලර් 215,000 පමණ උපයා දෙයි. වැඩියෙන් ම කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික කර්මාන්තයට හසුකරගෙන ඇත්තේ බුරුම, ලාඕස්, වියට්නාම්, චීන හා තායිලන්ත යන ආසියානු රටවල් වලින් සහ හිටපු සෝවියට් රුසියානු රටවල් වලින්. මේ රටවල් වල දුවන පොදු ලක්ෂණයක් නම් කාන්තාවන්ට සිය උත්සාහයෙන් කැමති ජීවිකාවක නියැළිය හැකි මාර්ග අඩු වීමත්, තමා අනුන්ට ද අයිති යැයි කීම තමන් විසින් සොයා බලන්නට හුරුවක් නොමැති හැදියාවත් ය.

නෙදර්ලන්තයේ ඩොලර් බිලියනයක් ආදායම උපයන ලිංගික කර්මාන්තය රටේ ආර්ථිකයේ 5% ක් බව කියැවේ. ඇම්ස්ටර්ඩෑම් හි රතු දිස්ත්‍රික්කය ගණිකා සේවයට ඇති යුරෝපීය ඉල්ලුම මැනවින් පෙන්වන්නකි. එදා Adrianople ස්ත්‍රීන්ට පමණක් වෙන් වූ නාන ස්ථානයක දී මේරි ගේ යට ඇඳුම් දැක මුස්ලිම් කාන්තාවන් “අනේ බලන්න මේ අහිංසක ඉංග්‍රීසි කාන්තාවන්ව එයාලගෙ සැමියන් පාවිච්චි කරන හැටි” යැයි කීම අද ඇහෙන්නේ යුරෝපීයෙනි. ඇම්ස්ටර්ඩෑම් රතු දිස්ත්‍රික්කයේ කඩ ජනේලයක නිරුවතින් හිඳගෙන ලිංගික හවුලකට මුදල් ගෙවනා තෙක් බලා සිටීම පෙන්වා, බටහිර කාන්තා අයිතීන් මුස්ලිම් කාන්තා අයිතීන් වලට වඩා ඉහළ දැයි අසන්නේ අයාන් හර්සි අලී විසිනි.

1998 දී මිලියන 4 ක් ජනතාව ලිංගික කර්මාන්තය වෙනුවෙන් බලහත්කාරයෙන් යොදවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. ඔවුන්ව යොදවා ගත් අපරාධ කල්ලි වලට එය ඩොලර් බිලියන 7 ක ලාභයක් උපයන්නට හැකි කර්මාන්තයක් නම්, ඇයි ඒ සේවාව සපයන්නට කැමැත්තෙන් ඉදිරිපත් වන කාන්තාවන්ට නීතියෙන් ඉඩක් දෙන්නේ නැත්තේ?!! ඔවුන්ට ඊට ඉඩක් දී කැමැත්තෙන් ඉදිරිපත් නොවෙන අයගෙන් මිල දී ගන්නා අයට දඬුවම් නොදෙන්නේ?!! ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නට හා මිල දී ගන්නට නිදහස් වෙළඳපොලේ ඉඩක් නොමැති කළ කළුකඩ මුදලාලිලාට රජමඟුල් ය. අපරාධකරුවන්ට නීති ගෙන ඒමෙන් අපරාධ නැවතී නැත. එහෙත් තවමත් ඒ සඳහා වෙහෙසන සංවිධාන ලොව බොහොමයකි. අපරාධයක් සිද්ධ වීමේ ඉඩ වැළකීමට නීති ගෙන එන අය විචාරය පැත්තකට දමා නීති ගෙන ඒමෙන් ද ඇති වන්නේ නොසිතූ ප්‍රතිඵලය.

මෑතක් වෙනතුරු ගණිකා සේවය මිල දී ගන්නා අය ගැන කතාබහකින් තොරව විකුණන අය ගැන පමණක් සමාජයේ සැලකිල්ලට ලක්විණ. ස්වීඩනයේ දී ගණිකා සේවාවන් පිරිනැමීම තහනම් නැත. එහෙත් එය මිල දී ගැනීම තහනම් ය. තවත් විදියකින් කිව්වොත් නව නීතියට අනුව අපරාධය කරන්නේ සේවාලාභියා විසිනි, ගණිකාව නොවේ. ස්වීඩනය 1999 දී මෙම නීතිය සම්මත විය. 2009 වෙද්දී නෝර්වේ සහ අයිස්ලන්තය ද ඒ සමාන නීති ගෙනෙති. මෙය නොර්ඩික් ආදර්ශයයි.

වසර පහක දී නෝර්ඩික් ආදර්ශය සාර්ථක යැයි පෙන්වන්නට ස්ටොක්හොම් වල වීදිවල ගණිකා සේවයේ නියුතු කාන්තාවන් 2/3 ක් අඩු වී ඇතැයි ද, අතරමැදියන් 80% කින් අඩු වී ඇතැයි ද, සමහර ප්‍රධාන ස්වීඩන් නගර වලින් ගණිකා වෘත්තිය මුළුමනින් ම තුරන් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති. දැන් ස්වීඩනයට බලහත්කාරයෙන් ගෙන්වන කාන්තාවන් වසරක දී 200-400 ත් අතර පමණක් යැයි කියැවේ. ඔවුන් එය සංසන්දනය කරන්නේ යාබද ෆින්ලන්තයට ලිංගික සේවයට එන කාන්තාවන් 15,000-17,000 ත් අතර සංඛ්‍යාව හා සමඟයි. එහෙත්, යුරෝපීය යුනියනය ඇතුලත පහසු ගමනාගමනය ගැන මෙහි දී කිසිවෙක් කතාබහ නොකරති!!!

ඕනෑම කර්මාන්තයට ඕනෑම අයෙක් බලහත්කාරයෙන් යොමු කිරීම එයාගේ මානුෂීය අයිතිය කඩ කිරීමකි. ඒත් ප්‍රගතිශීලී අදහස් ඇති අය එයත් පිළිනොගනිති!!! ඉවසීම යනු තම මතය අනුන් විසින් පිළිගත යුතු යැයි වරදවා සිතනා සේ, රජය විසින් ඉගෙනීම හා වෘත්තීය සැලසුම් කිරීම බලහත්කාරකමක් නොවේ යැයි ද සිතති.

SuperFreakonomics (2009) පොත ලියූ අර්ථ ශාස්ත්‍රඥයන් දෙදෙනා හෙළි කර අන්දමට ගණිකා වෘත්තියේ කැමැත්තෙන් යෙදෙන කාන්තාවන් වෙහෙසෙන්නට කම්මැලි අයයි. ඔව්, දුප්පත් රටවල් වල වුවත් එය එසේමයි. දරීද්‍රතාවය නිසා ගණිකා වෘත්තියට පෙළඹෙනවා යැයි කීම පීඩකයන් කවුදැයි පීඩිතයන් කවුදැයි නොදන්නා අවුලේ ඉන්නා අය පිළිගත්තක් පමණි. එය දුප්පත් සද්ගුණවත් කාන්තාවන්ට කරන නිග්‍රහයකි. වෙහෙසෙන්නට කම්මැලි අය පවුල් ජීවිතයක වගකීම් වලට ද අකැමති අයයි. ඒත් කම්මැලිකම නිසා රැකියාවක් තීරණය වරදක් වෙනවා නම් රජයේ සේවයට යන අය ගැන කුමක් කියමු ද?!!!!

ස්වීඩන් ජාතික Stieg Larsson ලියන ගෑණුන්ට ද්වේශ කරන පිරිමි (2005) පොතින් පටන් ගත් ප්‍රබන්ධ ත්‍රිත්වය ජනප්‍රිය වී The Girl with the Dragon Tattoo නමින් චිත්‍රපටියක් ද බිහිවිය. එහි මිකායෙල් ගේ චරිතය රඟපාන්නේ ඩැනියෙල් ක්‍රෙග් විසින්. විචාරය අවුලක් වූ ලෝකයක අයිතීන් රැකීමට කොතරම් සැලසුම් ගෙනාවත් නොහැකි බව එහි මනාව පිළිබිඹු වෙයි.

නිදහස කප්පාදු වෙද්දී රටින් පිට වී යන්නෝ වැඩිය. ඔවුන් ගණිකා සේවාලාභීන් යැයි කියනවා නොවෙයි. ඒත් අද ස්වීඩනයේ කාන්තාවක් විවාහයට එකඟ කරවා ගනිද්දී කොයිතරම් වැයක් පිරිමියාට දරන්න වෙනවා ද?!!!!

ස්වීඩනයේ දෙවැනි විශාලතම නගරය වන Göteborg හි අද ජනගහණය 516,000 කි. ලන්ඩන් හි ඉන්නා ස්වීඩන් වැසියන් 40,000 ක් වෙයි. 2003 සිට පිටරට ජීවත්වෙන ස්වීඩන වැසියන් 35% කින් වැඩි වී ඇත. අද රටෙන් පිට ස්ථිර පදිංචිය ඇති ස්වීඩන වැසියන් 546,000 ක් යැයි සැලකේ. රටින් පිට වී යන අය ලියා පදිංචි නොවී යනවා යැයි අවලාද කියන ස්වීඩන් ආණ්ඩුවේ අයෙක් තායිලන්තයේ සුනාමිය අවස්ථාවේ දී කොච්චර ස්වීඩන වැසියන් එහි සිටියේ දැයි ඔවුන් නොදැන සිටියා යැයි ද කියයි!!!

වැඩියෙන් ම ස්වීඩන් වැසියන් එන්නේ ඇමෙරිකාවට. දැනට ලක්ෂයක් පමණ ඉන්නා ඇමෙරිකාවෙහි, වැඩියෙන් ම ස්වීඩන් වැසියන් (17,000) පදිංචි වී සිටින්නේ නිව් යෝර්ක් නගරයේ යැයි කියැවේ. 2010 වෙද්දී ස්වීඩනයේ මිලියන 1.33 වැසියන් පිටරට උපන් අයයි. එයින් 859,000 ක් යුරෝපීය යුනියනයෙන් බැහැරක උපන් අයයි. 2009 දී ස්වීඩනයේ ඇසිරියන් ජනතාව 120,000 කි. Södertälje නගරය ඇමෙරිකාව හා කැනඩාව දෙකට ම වැඩියෙන් ඉරාක සරණාගතයන් ගෙන්වා ගනිද්දී ස්වීඩනයේ අය ඇමෙරිකාවට ඇවිත් ද?!!!

Human Trafficking and Regulating Prostitution (2012) නමින් විචාරයෙන් පිරි හරියන විසඳුමක් ගෙනෙන්නේ Samuel Lee සහ Petra Persson විසිනි. එහෙත් ඒ විසඳුම ක්‍රියාවට නංවන රටක් සොයා ගැනීම යහපත් පාලකයෙක් ඉන්නා රටක් සොයා ගන්නා තරම් දුෂ්කර වනු ඇත!!!

“අහෝ පුරඟන!
පෙරදින මා
සල්පිලට යද්දී
නුඹ දෝලාවකින්
ගමන් යනු දුටිමි.
පළිඟුවක් මෙන් දිලී
මහරැ සිත් තුළ
කැකෑරෙන අසතුටු ඇති
නුඹේ සුසුදු වත
පමණයි මා දුටුවේ.
සල්පිලෙහි හැමදෙන
මහා නපුරක් සේ
සලකා නුඹට ම
ගර්භා කළෝ ය.
එසේ වුව නැඟණිය!
නුඹට පින් සිදුවන්ට
මගේ ඇඹෙණිය ද
දුවණිය ද
සුරක්ෂිත බව
දැන උනිමි මම.
රාග සිත් ඇති
පුරුෂ රැළෙන්
ඔවුන්ට අණවිණ
කිසිත් නැති හෙයින්
දිවා රෑ නොබා ඔවුනට
ඔබමොබ යා හැකියි.
මැඩලිය නොහෙන
මිනිසත් රාග ආශා
සියල්ල නුඹ විසින්
සතපන ලදින්
ඔවුන්ගේ අසැබි සිත් පිනවී
අමන සිහින ද ඉටුවී.
ඉදින්,
මා ඇඹෙණි
හෝ දුවණිගෙන්
උන්ට කම් නැත.
කිසි කලෙකත් මා
නුඹෙන් නොඅයැද ම
නුඹ කළා වූ
කුසල් මෙහෙ පිණිස
මා සදා ණය ගැතියි
ආත්මෙන් ණය ගැතියි.”

කවියා සහ කුමරිය කතාවේ එන මේ කවිය, ඩබ්ලිව්. ඒ. විජේවර්ධනයන් ලියූ අනිල් පෙරේරා අතින් පරිවර්තනය වූ “මගේ පුංචි කුමරිය” ප්‍රබන්ධයෙනි.

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on සැප්තැම්බර් 7, 2012 at 11:40 පෙ.ව.

    මම නොරටක සේවය කරන කාළේ අපේ එපාට්ර්‍ට්මන්ට එකේ හිටියා පුදුම ලස්සන මෝල්ඩෝවා කෙල්ලෙක්. පස්සෙ කාළේදි මගේ හොඳම මිතුරියක් උනා. දැන් ඒ රටේ එකෙක් බැඳගෙන හොඳ ජීවීත්යක් ගෙව්වත් ඒකීගේ දුක හිතෙන කථාබ අහපු දවසේ මගේ ඇස් වලට කඳුළු ආවා. මට හිතාගන්නත් බැරි උනා මේ සුරංගනාවක් වගේ ලස්සන කෙල්ලෙකුට එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඒ කෙල්ලව විකුනලා තියෙන්නේ එයාගේ අම්මා. නැති බැරි කමට. ඒත් අම්මා දැනගෙන ඉඳලා නෑ මේ වගේ දේකටයි තමන්ගේ දුවව ගෙනියන්නේ කියලා. මෝල්ඩෝවා වලත් මේ හියුමන් ට්‍රැෆ්කින් සෑහෙන තියෙන. යුරෝපයේ දුප්පත්ම රට. මා දන්නා විදියට. නමුත් නෝනේ මේ දේත් මේ ළෝකය පවතින තුරා තියේවී. ඇඟ විකුණන්නේ ඇඟ මහන්සි කරන්න අකමැති අය කියන එක මමත් පිළිගන්නවා. කම්මැලි නැතී ගෑණු ඒකෙන්ම ගොඩ ආපු අයත් බොහෝමයි. මගේ මෝල්ඩෝවා මිතුරියත් ජීවීතය ජයගත්ත කෙනෙක්, ඉතාමත් සුළු කාලයකදි.

    අර ස්වීඩන් අය රටෙන් පිටව යන එකයි මේ කතාවයි අතරේ සම්බන්ධය නම් වැටහුනේ නෑ…

    • arunishapiro said, on සැප්තැම්බර් 7, 2012 at 1:35 ප.ව.

      Maathalan,

      රැල්ල අනුගමනයයි බහුතරය කරන්නේ. පව් එහෙම වෙන එකට. රටක් අන්තිම දුප්පත් වෙන්නෙ කොහොමදැයි හොයන්න උවමනාවක් බොහෝ දෙනෙකුට නැහැනේ, එහෙම දුප්පත් බවක් තම ජීවිතයේ දී ම අත්විඳි රටකත් ජීවත්වෙන බහුතරයකට!!!

      කෙළින් ම සම්බන්ධයක් පෙන්වන්න විදියක් නැහැ: එයත් නොසිතූ ප්‍රතිඵලයක් විතරයි. රටින් පිට වී පදිංචි වන්නට යන හේතු මොනවා දැයි කියා නැහැනේ ඔවුන් පිට වී ගියාට!!! ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා තමන් හිතුවත්, කෙල්ලට තරහ ගිය ගමන් .. පස්සෙ මහා අමාරුවක වැටෙන්න ඉඩක් තිබිය දී .. එහෙම ම නොවූවත් ඒ වගේ දෙයක් වෙච්චි ජූලියන් අසාන්ජේට වගේ … විවාහ වෙන්නට අකමැති අයට සබඳතා පැවැත්වීම අවදානම් සහිත රටක් ද?!!!

  2. සුදීක said, on සැප්තැම්බර් 7, 2012 at 11:41 පෙ.ව.

    මෙම කවි පෙළෙහි එන ගණිකාව නිසා තම දියණියත් බිරිඳත් ආරක්ෂා වේ යයි කියමන තරමක් දුරට ආත්මාර්ථකාමී වෙතත්, ශ්‍රී ලංකාව තුල දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ රැල්ල මැඩීමට ගත හැකි විසඳුම නොවෙදෝයි මගේ සිත නිතර කියයි. ගණිකා වෘත්තීය නීතිගත කිරීම තුල අසහනය අඩු වේ යන්න මගේ මතයයි. දැනටත් අප්‍රසිද්දියේ සිදු වන මෙය නීතිගත කළහොත් රජයටද ආදායම් මාර්ගයක් වැඩි වේ.

    • arunishapiro said, on සැප්තැම්බර් 7, 2012 at 1:39 ප.ව.

      සුදීක,

      ඇය ගණිකාවක් වුවත් ස්ත්‍රී දූෂණය නම් තහනම් විය යුතුයි නේද?

      අසහනය අඩු කරගන්න නම් ඉතින් ගණිකා වෘත්තිය නීතිගත කරලා විතරක් මදි. මිනිස්සුන් හිතන විදියත් වෙනස් වෙන්න ඕනෑ. නැත්නම් අසහනය වැඩිවේවි!!

      අප්‍රසිද්ධියේ වීමෙන් තමයි කාන්තාවන්ට අයපහතක් සිද්ධ වෙන්නේ හා ආදායමෙන් ද අවාසිය.

      • සුදීක said, on සැප්තැම්බර් 7, 2012 at 2:44 ප.ව.

        ඇත්ත අපේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව ආකල්ප. ගණිකා වෘත්තීය නීතිගත කලත් එය පහත් මට්ටමේ දෙයක් යයි සැලකුවොත් අපි හිතන දේ වෙන්නේ නෑ. අනෙක ඇයට වුවත් වෘත්තීය ගරුත්වයක් තියෙන්න ඕනේ. ඇයට වුවත් එකෙන් වියුක්ත වෙලා නිදහසේ ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ප්‍රස්තාව තියෙන්න ඕනේ. බලෙන් ගණිකාවක් බවට පත් කෙරීම වගේ දේවල් වලට වැට බඳින්න ඕනේ. ස්ත්‍රී දූෂණයට දැඩි දඩුවම් දෙන්න ඕනෑ.

  3. Sharanga said, on සැප්තැම්බර් 7, 2012 at 12:26 ප.ව.

    Let’s not forget that Sweden is the country that wants Julian Assange arrested for having sex after his condom broke. That tells something about the country.

  4. maryam said, on සැප්තැම්බර් 7, 2012 at 1:13 ප.ව.

    vatina lipiyak.

  5. සාබිත් said, on සැප්තැම්බර් 7, 2012 at 3:53 ප.ව.

    ඔය ඔක්කොමට වඩා දැන් ප්‍රශ්නයක් වේගෙන යන්නේ ළමා ගණිකාවෝ! සමලිංගික කටයුතු සදහා/ළමා ගනීකාවෝ සොයා එන් විදේශිකයින්ගේ රටවල් ලැස්තුවේ ලංකාව උඩින්ම තියෙනවා කියලයි ආරංචි! සංචාරක පුරවරයක ජීවත් වෙන මට ඇහෙන/දකින ඒවායින් ඒක බොරු කියලා කියන්න කොහෙත්ම පුලුවන් කමක් නෑ

    • arunishapiro said, on සැප්තැම්බර් 7, 2012 at 4:23 ප.ව.

      සාබිත්,

      නීතියේ රීතිය කැඩී යන අවිචාරක ලෝකයක දී ඒවාට ඉඩකඩ වැඩියි සාබීත්. එතකොට පොලීසිය දුර්වලයි. සමාජය අහිංසකයන් බේරා ගන්නට නොහැකිව අසරණයි. නීති පිළිපදින මිනිස්සු ඉන්නා රටවල ‘විද්වතුන්’ අවිචාර නීති ගෙනෙන කොට ලංකාව වගේ රටක් විචාරයක් කියලා දෙයක් කාගෙන් ඉගෙන ගන්න ද?

  6. Kenji @ Japan said, on සැප්තැම්බර් 7, 2012 at 9:27 ප.ව.

    ඔබතුමිය ජපානයේ ගියවිට දැක්කද මන්ද පුවත්පත්,සගරා සහ ප්‍රසිද්ද ස්ථානවල අත් පත්‍රිකාවල තමන්ගේ ජායාරුපය සමග වයස,,පපුව සහ ඉන සමග දුරකථන අංකය දාල තමන් සේවය ලබාදීමට සුදානම් කියල දකින්න පුළුවන්.සමහර ක්ලබ් තියෙනවා යටිකය වැහිලා හොදට ඉදිරියට පුම්බල,අගේ මස් පිඩුඋලුප්පල ඇග දලිසෙන අලේප කරගෙන නර්තනයේ යෙදෙන තරුණයන් [වැඩි වශයෙන් කළු] සිටින ස්ථාන. විසේකාර නංගිලා,අක්කල,ඇන්ටිලා සහ තදටම ඔළුවට විසේකාරකම [එකට කියන්නේ විසේකාර කමද මන්ද?]ආච්චිලත් එනවා.වේදිකාවේ නර්තනයේ යෙදුන තරුණයන් අවසානයේ,රිද්මයකට අනුව නරබන්නියන් අසලට යනවිට ප්‍රීතියෙන් ඉලිප්පිලා ඉන්න කස්ටිය පොරකනවා අර කොල්ලව අතගාන්න.හැබැයි කොල්ලෝ අත ගාන්න දෙන්නේ යෙන්කොල වලින් තමාගේ ඉන සැරසුවොත් පමණයි.වැඩිපුර ගෙවනවනම් කාමරයක් තුල උවද තමාගේ සේවය ලබාදීමට එම තරුණයන් සුදානම්.ජපානයේ මොන තරම් නීති තදට තිබුනත් මේවා ජයටම කරවන්නේ යකුෂ [මාෆියා] ය.

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2012 at 7:29 පෙ.ව.

      Kenji @ Japan,

      ක්ලබ් එකේ සීන් එක නම් ජපානයේ නීති විරෝධී නැති වූවක්නෙ. ජපානයේ නීති විරෝධී ලිංගික එකතුව මුදලට විකිණීම පමණයි. ගණිකා වෘත්තියට බලහත්කාරයෙන් කාන්තාවන් ගෙන ඒම Yakuza ගේ අමන වැඩ අතරින් එකක් විතරයිනෙ. ඔවුන්ට ඉඩදෙන සමාජය (ඇමෙරිකාවේ හවායි පැත්තෙ ඉන්න ජපනුන් ද) වහල් බවින් මිදී නැහැ. ඔය වගේ දැන්වීම් නම් දැක්කෙ නැහැ. මම මේ සැරේ ජපානයේ දී වැඩියෙන් දැක්කෙ රතු හා රත්තරන් කොඩි ලෙලදෙන තැන්වල ඇතුලෙ පොදි ගැහිලා දුම් බොමින් තරඟෙට සූදු කෙළින අයයි.

  7. Chanaka Aruna Munasinghe said, on සැප්තැම්බර් 7, 2012 at 10:37 ප.ව.

    ඊඊඊඊඊඊඊඊඊය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යාආආආආ
    ගණිකා වෘතිය ගැන පැරණිම සඳහන් දෙකක් තමයි බුද්ධ කාලෙ අම්බපාලි සහ කිස්තු යුගයේ මරිය මද්ගලේනා. මම හරිද අක්කියෝ ?

  8. Ra said, on සැප්තැම්බර් 7, 2012 at 11:10 ප.ව.

    හැකිනම් උත්තර දෙන්න;
    1. ගැහැණුන් ගණිකා වෘත්තියේ යෙදීම හරිද? වැරදිද?
    2. පිරිමින් ගණිකාවන් ආශ්‍රය කිරීම හරිද? වැරදිද?
    3. ගැහැණුන් බලෙන් ගණිකා වෘත්තියේ යෙදවීම හරිද? වැරදිද?
    4. විවාහ නොවුනු දෙදෙනෙකු අතර සංසර්ගය හරිද? වැරදිද?

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2012 at 7:37 පෙ.ව.

      Ra,

      3. කිසිම මනුෂ්‍ය්‍යෙක් බලෙන් කිසිම වෘත්තියක යෙදවීම වැරදියි.

      ඉතිරිය නිවහල් මනුෂ්‍ය්‍යෙක් හැටියට තමන් විසින් තමන් වෙනුවෙන් සොයාගත යුතු උත්තර. අනුන් වෙනුවෙන් උත්තර දෙන්න යන්නත් එපා, අනුන් දෙන උත්තර බාරගන්නත් එපා.

      • Ra said, on සැප්තැම්බර් 8, 2012 at 1:25 ප.ව.

        ඔබේ ලිපිය ප්‍රවෘත්තිමය වටිනාකමක් හැරුණු කොට කිසියම් මතයක් ඉදිරිපත් කලාදැයි දැනගැනීමටයි ඇසුවේ. 🙂

        • arunishapiro said, on සැප්තැම්බර් 8, 2012 at 7:23 ප.ව.

          Ra,

          ඒක නම් ඉතින් පටන් ගත් දා සිට ලියන හැම ලිපියකම පාහේ දුවන එකම මතයනේ. 🙂

          මිනිසා ගේ නිවහල් බවට බාධා පමුණුවන්නේ දේශයන් පාලනය කරන පාලකයන් විසින්. ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදුණා ම නිවහල් බවින් ජීවත්විය හැකියි. නිදහස් ලෝකයක ජීවත්වෙනවා යැයි සිතන මිනිසා තමන්ටත් නොදැනී ම පාලකයන්ගේ ග්‍රහණයට හසු වී වහලෙක් වීම වළක්වා ගන්නේ කෙසේදැයි සෙවීමට නොයෙක් දාර්ශනික මතවාදයන් තුලින්, විද්‍යාවේ සොයා ගැනීම් තුලින්, අර්ථ ශාස්ත්‍රය තුලින්, ඉතිහාසයේ සටහන් වලින් වගේ ම අලුතින් අහන්න ලැබෙන ප්‍රවෘත්ති වලින් ද විමසන්නේ.

  9. wicharaka විචාරක said, on සැප්තැම්බර් 8, 2012 at 3:58 පෙ.ව.

    ගණිකා වෘත්තීය ලොව පවතිනාතුරු නොසිඳී නොබිඳී පවතින බව පරම සත්‍යයක්. අපේ රටේ එය නීති ගත කරන්නට හැකිවෙයි මා සිතන්නේ නැහැ 2025 පසුවනතුරු. හැබැයි එය අපේ රටේදී නීති ගතවන බවනම් මට කිවහැකියි. හෝද හෝද මඩේ දැමීමේ අපේ ඊනියා පුහු සදාචාරයත්, අච්චාරු පපඩම් වගේ සමාජයට ගෙනත් ඇසේ කනේ අනින ගණිකා මාධ්‍ය කලාවත් සමාජානුයෝගයෙන් තොර පුහු සදාචාරවාදීනුත් අඩුවී ගිය කලක ගණිකාව දෙස මීට වඩා මානුෂික හැඟීමෙන් බලන්නට මිනිස්සු පෙළඹෙනු ඇති.

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2012 at 7:43 පෙ.ව.

      wicharaka විචාරක,

      මිනිස් ස්වභාවයන් වෙනස් කළ නොහැකියි. මිනිසා (මෙහි දී කාන්තාව) වහලෙක් නොවන නීති ගෙන ඒම විචාරක කියන්නා වාගේ කවදා හරි දවසක ලංකාවේත් සිද්ධ වේවි. අනිත් හැම දෙයක් ගැන ම වගේ මේක ගැනත් ලංකාව විචාරාත්මකව බලන දිනය වෙන බොහෝ රටවල් වලට වඩා ඉතා පස්සෙන් හිඳිවී.

  10. praveena said, on සැප්තැම්බර් 8, 2012 at 4:47 පෙ.ව.

    සෙක්ස් කියන එක සල්ලිවලට ගත්තට කමක් නෑ කියමුකෝ නැති කෙනා. ඒත් ප්‍රශ්නේ විවාහක අයත් ඒ පස්සේ දුවන්නේ ඇයි කියන එක?

    ඇඟ මහන්සි කරන්ට කම්මැලි හන්දා, ගණිකාවන් වෙනවා කියන එකම නම් පිලිගන්ට අමාරුයි. ඒ තත්වෙට වැටුනට පස්සේ සමහරුන්ට කරන්ට දෙයක් නැතුව ඇති. ගොඩක් තුන්වෙනි ලෝකේ රටවල ඉන්නේ, මේ වගේ දුප්පත් පවුල්වලින් ආපු අහිංසක ගෑනු ලමයි.

    තවත් ප්‍රශ්නයක් තියනවා. පිරිමින්ට විතරද මේ ඉල්ලුම අවශ්‍ය?

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2012 at 8:00 පෙ.ව.

      praveena,

      අනුකම්පා කරන්න ප්‍රවීනා, සල්ලි වලට ගන්නෙ වෙන විදියකින් ලබාගන්න දන්නෙ ම නැති අයයි.

      ලංකාවේ අම්මා කෙනෙක්ට පිටරට ඉන්න විවාහ වෙන වයසේ දුවගෙන් කෝල් එකක් එනවා. විවාහයට සුදුසු කෙනෙක් සොයාගත්තැයි කියල. පිටරට ඉගෙන ගන්න ඇය හඳහන බලවලා අහන්නෙ මේ විවාහයෙන් අපි දෙන්නා ගේ ම ඉගෙනීම, සමාජ තත්වය, ධනය වැඩිවේවි ද කියලා. පොරොන්දම් ගැලපීම එහෙම නැහැ. ඒක අත්හරිනවා. තවම හඳහන් බලමින් සිටිනවා … අර ටික තමන් වෙහෙසී කරගත යුතු කොටසක් බව දකින්නේ කවදා ද?!!!! ඊ ළඟට හඳහන් ගැලපේ යැයි කියූ කෙනෙක් හා විවාහ වූ දවසටත් අභියෝගයක් ඉදිරියේ හඳහන බැලූ අය පිට වැරැද්ද දානවා මිසක් ඒවා ලැබීමට තමන් විසින් වෙහෙසිලා යමක් කරන්න ඕනා බව දකිවී ද?

      තුන්වෙනි ලෝකයේ රටවල දුප්පත් අය වැඩියෙන් ගණිකා වෘත්තියේ ඉන්නෙ ඉහත වැනි හැදියාව නිසා. ඔවුන් කරන්නෙ රැල්ලෙ යෑම, නැතිව තමන් විසින් කම්මැලිකම පැත්තකට දාලා වගකීමක් අරගෙන විචාරයකින් වැඩ කිරීම නෙමෙයි. ඒ අයගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්න මාෆියා සමාජය ද ඔවුන්ව හැම පැත්තකින් ම වහල් බවින් තියාගන්නමයි හදන්නෙ.

      //පිරිමින්ට විතරද මේ ඉල්ලුම අවශ්‍ය?// ස්ත්‍රියක් ලිංගික එකතුවක් හුදු කායික සතුට පමණක් වෙනුවෙන් සෙවීම විරලයි. ස්ත්‍රී මොළය එයින් සතුටක් ලබන්නේ වෙනත් කොන්දේසි (ආරක්ෂාව, ආදරය, අනාගත දිගු කාලීන සබඳතාවය ..) යනාදීන් ඉෂ්ට කිරීමට හැකියාවක් ද ඇත්නම්. පිරිමි මොළය හැඩ ගැසිලා තියෙන්නේ මෙය හුදු කායික උවමනාවක් නිසා ඔව් ඒ ඉල්ලුම දැඩියි, සැපයුම මදියි.

    • wicharaka විචාරක said, on සැප්තැම්බර් 8, 2012 at 9:37 පෙ.ව.

      මටනම් හිතෙන්නේ මෙහෙමයි. හිතෙන්නේ නෙවෙයි අත්දකීමෙන්මයි කියන්නේ. මගේ බිරිඳම මට කියලා තියනවා ඇයට හැඟීම් පහල වෙන හැටි. අපි දෙදෙනාම අවංකව කල සාකච්ඡා වලදී ඇය මට කියා තිබෙනවා සමහර දිනවලදී මා තරහවෙයි සිතා ඇය ඉවසා සිටින බව. ඒ කියන්නේ එදා අදාළ කාර්යය මගේ තනි ව්‍යායාමයක්. මටත් එහෙම වෙලා තියනවා. මම මහරෑ පොතක් කියවමින් ඉන්න අතරතුර අද නිදාගන්නේ නැද්ද කියා ඇය මා අසලට ආවත් එහි ගැබ්ව ඇති යටි අරුත තේරුම නොගන්න මැට්ටේකු බවට මා පත්වූ අවස්ථා තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ලින්ගික හැඟීම් අතිශයින් සංකීර්ණයි. අප්‍රකාශිත එහෙත් අභිනයෙන් ප්‍රකාශිත ලිංගික සංඥා අවබෝධ කර ගැනීම හරිම අපහසුයි. ඒ වගේමයි සමහරවිට කාන්තාව ලිංගික තෘප්තිය ලබන්නේ සන්සර්ගයෙන්ම නොවේ, හුරතල් කිරීමෙන්, ළඟ වාඩිවී ඇඟට හේත්තුවී කතාකරමින් සිටීමෙන්, වැනි ක්‍රම වලින්. කාන්තාවන් සඳහා පිරිමින් සැපයීමත් නීතිගත වුනොත් එදාට කාන්තාවනුත් එයි ඒ සේවය ලබාගන්න. එහෙම නැති නිසා තමයි දහසක් සමාජ ප්‍රශ්න එන්නේ කාන්තාව දිහා විතරක් වපර ඇසින් බලන. විවාහකයන් ගණිකාවන් සොයා යාම කවදාවත් නවතින්නේ නැහැ. ඉතා ලස්සන කාන්තාවන් විවාහ කරගෙන ඉන්න පිරිමින් ගණිකාවන් සොයා යනවා. ලිංගික තෘප්තියේදී ලස්සනට හිමිවන්නේ පළමුවැනි තැන නොවෙයි.

  11. ravi said, on සැප්තැම්බර් 9, 2012 at 10:31 පෙ.ව.

    It is a crime to buy sex

    මේක මරු තියරිය අරුණි පිරිමි පක්සෙට…වැඩේ ඉවර වෙලා කිව්වැහැකි ” I refuse to be a criminal , I am not paying you ” කියල…උසාවි ගියත් කිසි ප්‍රශ්නයක් නෑ…නීති විරෝධී ක්‍රියාවක් කිරීම ප්‍රතික්ෂේප කරලයි තියෙන්නෙ 😀

    මේ ඔයිට සමාන පොඩි කතාවක්…අහලත් ඇතිද මන්දා…

    ඔන්න එක තරුණියක් කොහෙද යන ගමන් ගියාලු බොහොම අපූරු විලක් අද්දරට…මේ විලේ ලස්සන දැක්කම මෙයාට බැහැල නාන්ටම හිතුනලු. ඇඳුම් එහෙම ගලවල නාන ඇඳුම ඇඳ ගත්ත විතරයි ඔන්න දුවගෙන ආවලු රාළහාමි කෙනෙක්..

    ” හා, හා, නෝනා විලට බහින්න එපා..මෙතන නාන්න තහනම්….”

    නෝනට තරහ ගියා මේ කතාවට,

    ” ඇයි මනුස්සයො මම ඇඳුම් ගලවන්ට ඉස්සර කියන්ට එපාය….”

    ” ඇඳුම් ගලවන්ට තහනම් නෑනෙ නෝනෙ…” රාළහාමි බොහොම අහිංසක තාලෙට කිව්ව ඔලුවත් එහෙම පාත් කරල…

    ( අපි පොඩි කාලෙ රාළහාමි කෙනෙක් ගැන මම මේ කියන්නෙ …) 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: