අරුණි ශපීරෝ‍ වෙතින්

යථාර්ථයේ මැජික් දැන් දකිනවා ද මිස්ටර් ඩෝකින්ස්?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2012

ඊයේ රෑ ලිබියාවේ ඇමෙරිකන් එම්බසියට පහර දුන් ලිබියානු මුස්ලිම් කැරලිකරුවන් කල්ලියක් ඇමෙරිකන් තානාපතිවරයාව සහ තවත් සේවකයන් තුන් දෙනෙකුව රොකට් ප්‍රහාරයකින් මරා දමන්නට සමත් වූහ. ඒ ඇමෙරිකාවේ නිර්මාණය කරන ලද, යූටියුබ් හි පෙන්වන “මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය” නම් චිත්‍රපටියට අකමැති නිසාවෙන් යැයි දැනට දැනගන්නට ලැබෙන්නයි.

ඊයේ රෑ ඉජිප්තුවේ ඇමෙරිකන් එම්බසයියට ද කඩා වැදුනු පිරිසක් එහි ධජය ගලවා කළු කොඩියක් එල්ලන්නට සමත් විය.

ඉවසීම ගැන, අදහස් ප්‍රකාශය ගැන, දෙයියෝ නෙමෙයි ඒ අයිතීන් දෙන්නෙ ඒවා මිනිසා විසින් මිනිසාට දෙන අයිතීන් යනාදිය විස්තර කරලා මේ අයට ‘සමානාත්මතාවාදීන්’ විසින් යවපු ලියුම් ලැබෙන්නෙ නැතිව ඇති!!!

විද්‍යාත්මක විප්ලවය පටන් ගැනෙන්නේ නිකලස් කොපර්නිකස් විසින් විශ්වයේ කේන්ද්‍රස්ථානය පෘතුවිය නොවන බව ලියූ කාලයේ දී ය. අන්ද්‍රෙයාස් වෙසාලියස් විසින් මිනිස් සිරුරේ ව්‍යවච්ඡේදය (anatomy) ලියූ කාලයේ දී ය. විද්‍යාත්මක විප්ලවය පිටුපස්සෙන් ආවේ අවබෝධයේ යුගයයි (age of Enligtenment). ඉමැනුවෙල් කාන්ට් එහි ප්‍රමුඛත්වය බාර ගත්ත ද, සංකීර්ණ හා අපහැදිලි ලෙසින් එයට දායකත්වය දුන් අවුල් මතවාදය ඉදිරිපත් කරන ලද වුවද, මා දකින්නේ ඉතා සරලව හා ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන ලද අවබෝධයේ යුගය බුදුන් විසූ දඹදිව තිබි බවයි. එහෙත් පසු කාලයේ දී එය හින්දු දහම සමඟින් මිශ්‍ර වන නිසා දෙක වෙන්කර හඳුනා ගන්නා අල්පයකි අද ලොව ඉන්නේ.

අවබෝධයේ යුගය තුල දී ක්‍රිස්තියානි ආගම කිහිප පැත්තකින් තඩි බෑමට ලක් වූ මුවහමක් විය. කොපර්නිකස් ග්‍රහලෝක හා තරු ඇසුරින් ද, වෙසාලියස් මිනිස් සිරුර ඇතුලතින් ද, වොල්ටෙයාර් සාහිත්‍ය කෘති වලින් ද ගෙනාවේ එතෙක් යුරෝපයේ පැවති ක්‍රිස්තියානි ඇදහිලි සසල කරවන තොරතුරු ය. ශතක ගණනාවක් පැවති යුරෝපයේ අඳුරු යුගයෙන් ගොඩ අවුත් අවබෝධයේ යුගයට එන යුරෝපීයයන් විචාරය, දැනුම, සත්‍ය්‍ය හා නිදහස යන නව සංකල්ප වටා රොක් වී දැනුම සොයා ගියහ. විචාරය බිහිවූවත් එය කුමක්දැයි අවබෝධ කරගත්තේ ස්වල්පයකි. අනුභූතියෙන් සියළු දැනුම එකතු කරගත හැකි යැයි කිවූහ. ආගම සහ ආගමික විශ්වාස ආණ්ඩුවෙන්, ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන් නොහොත් සියළු සිවිල් කටයුතු වලින් ඉවත් කළ යුතු යැයි කිවූහ. පිරිමියා ද ගැහැණිය ද නොව, පාලකයා ද පාලිතයා ද නොව, ධනවතා ද දුප්පතා ද නොව, උගතා ද නූගතා ද නොව, රදළයා ද වහලා ද නොව, ගම්බද වැසියා ද නගරබද වැසියා ද නොව ලෝකයේ වසනා සියළු ජනතාවට එක හා සමාන ලෙසින් අවබෝධයේ යුගයේ සංකල්ප බලපානු ඇතැයි කිවූහ. නීතියේ රීතිය භාවිතයෙන් සියළු මිනිසුන්ට ඒ නිසා සමානාත්මතාවය ලබාදිය හැකි යැයි කිවූහ. ඉවසීම යනු වෙනස් මත හා විශ්වාස ඇති බවත්, ඒවා ඇතැයි කියා ඒවා ඉදිරිපත් කරන්නන් මරා දැමිය නොයුතු බවත්, එහෙත් එසේ කීමට ඉඩක් දීම ඒවා පිළිගන්නා බව යැයි අනුමැතියක් දීම ද නොවන බව ගැන කිවූහ.

ජෝන් ලොක් මිනිසුන්ට ස්වභාවික අයිතීන් කියා දුන්නේ ය; ජීවිතයට, සෞඛ්‍ය්‍යට, නිදහසට, සමෘද්ධියට අයිතියක් ඇතැයි ද ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වැදිය හැකිය. දෙයියෝ නෙමෙයි අයිතීන් දෙන්නෙ, මේවා මිනිසා විසින් මිනිසාට දී ගන්න අයිතීන්. ලොක්ට වැරදිච්ච තැන් දෙකක්: 1. මිනිසා තමන්ගේ අයිතීන් ටිකක් ආණ්ඩුවට බාර දුන්නම ආණ්ඩුව ඒවා ආරක්ෂා කරාවි යයි සිතීම!!! අනෙක හැමෝම අවබෝධයෙන් පසු දෙයියෝ අදහන එක නවත්වාවි සිතීම!!! බැරන් ඩ මොන්ටෙස්ක්‍යු තමයි ආණ්ඩුවේ බලය තුනකට කඩන හැටි කියලා දෙන්නෙ. එහෙම බලය කැඩිච්ච ආණ්ඩු අද ලෝකයේ තියෙන්නෙ කීයක් ද?!!! ඔය අස්සෙ ෆැන්සුවා-මාරී අරුඑට් නොහොත් වොල්ටෙයාර් විසින් ආණ්ඩුවයි ක්‍රිස්තියානි පල්ලියයි දෙකම හෙළා දකින සාහිත්‍ය කන්දරාවක් ලෝකෙට ගෙනෙනවා. අර ඉවසීම ගැන කිව්වා නේද, ඒක අමතක වෙලා ප්‍රංශය වොල්ටෙයාර්ව පිටුවහල් කරනවා!!!!

වොල්ටෙයාර් විවේචනය කළේ එදා ප්‍රංශයේ සියළු බලතල රජුටයි පල්ලියටයි අයිති වීම. පල්ලිය කිව්වෙ රජුට පාලන බලය ලැබිලා තියෙන්නෙ දෙයියො දීපු නිසයි කියල. ඒකයි රජ පරම්පරාවෙන් පරම්පරාවට පාලනය උරුම වෙන්නෙ. රජවරු පල්ලියට සපෝට් එක දෙනවා මේක ජනතාවට උගන්වනවාට. ඉතින් මේ දෙගොල්ලො හවුලේ ඉන්න තාක් කල් රදළයන්ටයි පල්ලියේ අයටයි රජ මඟුල් කියල තමයි වොල්ටෙයාර් තම පොත්පත් වල ලියන්නෙ. හැබැයි අපි දන්නවානේ ප්‍රංශ විප්ලවයේ දී මොකද වුනේ කියලා. රජෙක් වෙච්ච නිසා හෝ පල්ලියක් වෙච්ච නිසා පමණින් නෙමෙයි දූෂිතයෙක් බිහිවෙන්නෙ. පස්සෙ කාලෙක ලෝඩ් ඇක්ටන් කියන විදියට ‘සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරයි.’ බලය බෙදන එක ගැන මොන්ටෙස්ක්‍යු කියපු ටිකේ වැදගත්කම එදා ඉදිරියට ආවේ නැහැ. අදත් සැලකිල්ලට පාත්‍ර වෙලා නැහැ.

ක්‍රිස්තියානි ආගමට තඩි බෑවට පස්සෙ විශ්ව අගාරික බවක් පතන යුරෝපීයයන් ගෙනෙන්නේ කලින් පැත්තක් ගත් නීති වලටත් වඩා වැඩිවෙච්ච අවිචාරාත්මක හා අසාමානාත්මක ගැටුම්. ඒ ප්‍රංශ විප්ලවයේ තිබිච්ච භීෂණ සමයේ දී වගේ ම අද ප්‍රංශයේ පටන් ගෙන ඇති තත්වයයි. ඒත් එදා වොල්ටෙයාර් ක්‍රිස්තියානි ආගම හාස්‍යයට ලක් කළා වගේ අද ලෝකයේ අයට ඉස්ලාම් හාස්‍ය්‍යට ලක් කරන්න ඉඩක් නැතිවෙන්න යුරෝපීයයන් තමුන් ම නීති වෙනස් කරගෙන. නූතනයේ දී ක්‍රිස්තියානි ආගම නැමති මුව හමට තඩි බාන්න තවමත් රිචඩ් ඩෝකින්ස්, මයිකල් ඔන්ෆ්‍රේ, සහ සෑම් හැරිස් වගේ ‘විද්වතුන්ට’ ඕනෑ තරම් නිදහස් ඉඩකඩ.

2009 දී ඕලන්ද උසාවියකින් Geert Wilders නම් දේශපාලනඥයාව අධිචෝදනාවකට හසුවෙන්නේ එයා කෝරානය හිට්ලර්ගෙ ‘මගේ සටන’ පොතට සමාන කරන නිසයි. ඒ චිත්‍රපටිය Fitna තිරගත කරන්නට ඔහුට බ්‍රිතාන්‍ය්‍යට එන්නට වීසා දෙන්නෙ නැහැ. ඒ චිත්‍රපටිය මයිකල් මුවර්ගෙ නිර්මාණ, ෆුඩ් ඉන්ක් යනාදිය අනුකරණය කරපු චිත්‍රපටි වගේ ම, මේ දිනවල ඇමෙරිකාවේ තිරගත වෙන දිනේශ් ඩ’සූසා ගේ “2016: ඔබාමාගේ ඇමෙරිකාව” සහ ඉහත කියූ “මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය” යනාදියට අයිති වෙන්නක්. ඇත්ත ඇබිත්තක් කරකවලා අතහරින ගමන් රැල්ලට පෙරළෙන තමන්ගෙ පැත්තෙ අයගේ හිත් රවටන බොරු වලින් පිරි වූවක්. ඒත් නිදහස කුමක් දැයි දන්නා ඉවසීම ඇති අයට මයිකල් ගැන තියෙන, දිනේශ් ගැන තියෙන, ඩෝකින්ස් ගැන තියෙන අදහස් හැමෝටම ඇති නොවෙන බව නොදකින යුරෝපීය සමානාත්මතාවාදීන් නීති ගෙනාවේ මුස්ලිම් අය ආරක්ෂා කරන්නට කියායි!!!!

2006 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් “වාර්ගික හා ආගමික ද්වේෂය උත්පාද කිරීමට විරුද්ධව” යැයි නීතියක් යෝජනා ගෙනෙනවා. සැල්මන් රශ්ඩී ලියපු ‘සැටනික් වර්සස්’ පොතට විරෝධතාවයක් දක්වන්න 1989 දී සංවිධානය වෙච්ච කල්ලියේ වෑයමක් මේක. දැන් මේ කල්ලිය වනාහී මුස්ලිම් දේවල් වලට සහයෝගය නොදෙන හැම පිළිවෙතකට ම විරුද්ධව චන්දය දෙන්න යැයි කියන කට්ටියක්.

තමන්ට ලැබෙන නිදහස හා ඉවසීම අනිත් පැත්තට දෙන්න අවශ්‍ය යැයි දකින්නේ කොහොම ද? එයාලට අයිතීන් ලැබෙන්නෙ දෙයියන් වෙතින් බව විශ්වාස කරන ඔවුන් මේවා මිනිසා විසින් මිනිසාට දෙන අයිතීන් බව පිළිගන්නෙ නැහැනේ!!! අයියෝ, යථාර්ථය දැක්කා ද මිස්ටර් ඩෝකිනිස්!!!!

එදා ප්‍රංශයේ හෙන්රි-ලෙවි බර්නාඩ් “ඉමැනුවෙල් කාන්ට්ගේ ලිංගික ජීවිතය” ලිව්වට යුරෝපයේ පිරිලා ඉන්න විඥානවාදීන් හෝ මාක්ස්වාදීන් පාරට බැස්සේ ද නැහැ.

ඒ වගේ ම රිචඩ් ඩෝකින්ස්ගේ ‘දෙවියන්ගේ මුලාව’ (2006) පොතෙන් ක්‍රිස්තියානි ආගමික ද්වේෂයක් උත්පාදයට කටයුතු කළා යැයි කියලත් කිසිවෙක්ව කිසිවෙක් මැරුවේ නැහැ. ඒ පොතෙන් හැදෙන “සියළු පාපයන් හි නිධානය?” වාර්තාකරණ චිත්‍රපටියෙන් ඩෝකින්ස් වාද කරන්නෙ මිනිස්සු ආගමක් හෝ දෙවියන් ගැන විශ්වාසයක් නැති වුනාම වඩා හොඳින් ජීවත්වෙනවා කියලා. ඩෝකින්ස්ට අමතක ප්‍රංශ විප්ලවය, සෝවියට් රුසියාව, මා ඕං සේතුංගේ චීනය, උතුරු කොරියාව, අනේ ඒ විතරක් නෙමෙයි අඩුගානේ අද පූටින්ගේ රුසියාව ගැනවත් එයා මුකුත් සද්දයක් නැහැනේ!!! දෙයියෝ අදහන අය ගැන පූටින් ට කණගාටු හිතුනෙත් පුසි රයට්ලා නැටුවාමයි!!!

අර ඉහත කියපු නීතිය ගෙනෙද්දී බ්‍රිතාන්‍යේ සුප්‍රසිද්ධ විහිළුකාරයා වන රොවන් ඇට්කින්ස් මෙහෙම කියනවා: “මෙහි අරමුණ එක්ක මට ගැටළුවක් නැහැ, ඒත් මේ වැඩෙන් ඉවසීම වෙනුවට විවිධ සමාජ අතර තියෙන ආතතියයි වැඩිවෙන්නෙ.” රජවාසල විකටයා ලැයිසන් එකක් දීපු නිසා පිස්සු කෙළියාට එයා “දෙයියෝ දුන්න පිස්සුවක්” තියන ස්වභාවික පිස්සෙක් නෙමෙයිනේ!!!

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. emailkavikaari said, on සැප්තැම්බර් 12, 2012 at 8:21 පෙ.ව.

    මම හිතුවෙ 9 11 නිසා කියල. බලපුවාම ෆිල්ම් එක හදපු මිනිහ හැංගිලත් ඉවරයිනෙ

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 8:50 පෙ.ව.

      emailkavikaari,

      සාමානාත්මතාවය ගෙනෙන්න හදන අයට වැටහෙන්නෙ නැති දෙයක් තමයි ඇයි සල්මන් රශ්ඩීට හැංගිලා ඉන්න වුනාට රිචඩ් ඩෝකින්ස්ට හැංගෙන්න සිද්ධ වෙලා නැත්තෙ මන්දැයි කියන්න.

  2. wicharaka විචාරක said, on සැප්තැම්බර් 12, 2012 at 8:50 පෙ.ව.

    අග ඉඳලා මුලට එන්නම්.

    ස්වභාවික පිස්සන් කොච්චර හොඳද දේශපාල පිස්සුව තදවූ කාලකන්නින්ට වඩා. අපේ ඒ කාලකන්නි ‘සැට් එක’ දේශපාලන වලපල්ලට යවාගැනීමේ විචාර බුද්ධිය අපේ එවුන්ට පහල වෙන්නේ නැත්තේ මුළු ජාතියටම දෙයියන්නේ හාල් කැවිලා නිසයි.

    රෝවන් ඇට්කින්සන් වගේ අපිට අපි ගැනම හිනාවෙන්න පුළුවන් ආකාරයේ විහිලු මෙහෙ තහනම්. ඒවා කලොත් අපිව එක්ක යනවා සුදු වෑන් එකේ රවුමක්. ආපහු ගේ ලඟින් බස්සලා යන්නේ නැති ඒකයි දුක. ඊට වඩා හොඳයි අර මෙහෙ ඉන්න සුප්‍රසිද්ධ ‘ජැක්’ වගේ ජැක් ගහන එක. කෝටි ගණන් ඉපයීමට ලැබෙනවා අත්දුටුවයි සත්තයි. (රටට මොනවා වුනත්)

    පුටින්ට කවදාවත් සදාකාලික රජවීම සහ I am The Man කියන පුහු මමත්ව සංකල්පය ගෙනයන්න බැහැ. දැනටත් කඩා වැටෙන නිසයි පුටින් මරු විකල්ලෙන් ‘පුසී රයට්’ වගේ නව පරපුරේ සංකල්ප බිලිගන්න යන්නේ. මට හිතෙන්නේ මිනිහා ‘රුසියානු කොන්සර්වේටිව්’ කෙනෙක්.

    අල් කයිඩලා, තලෙබාන්ලා, කුරුස යුද්ධයක් ඇතිකරගන්න අත වැනුවත්, හීං නුලෙන් වැඩේ කලොත්, ඔය අයියලා ඔක්කොම හාන්සි කරවන්න පුළුවන්. ඒ සඳහා, නායකයන් මාරු වුනත් වෙනස් නොවන වැඩ පිළිවෙලක්, අන්තවාදී මුස්ලිමුන්ගේ ඉලක්ක වු රටවලට, අනිවාර්යයෙන්ම, තමන් කැමති වුනත් අකමැති වුනත් හදාගන්න වෙනවා වෙනවාමයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 9:07 පෙ.ව.

      විචාරක,

      දෙයියන්ගේ හාල් මේ දවස්වල ලෝකේ වැඩි කොටසකට කැවිලා තියෙන්නේ!!!! 😀

      පූටින් ‘රුසියානු කොන්සර්වේටිව්’ කියලා ටෝනි බ්ලෙයාර් සහ ජෝර්ජ් බුෂ් දෙන්නත් හිතුවා!!! හිට්ලර් ද ‘කොන්සර්වෙටිව්’ කියනවානේ!!!

      අනා ගැනිල්ල ආයේ ඉඩක් තියලා නැහැ ලේසියෙන් නිරාකරණයකට. කුරුස යුද්ධයක් ඇති වෙන්න ඉස්සර වෙලා ඒ විදියට කුරුසය අදහන අය වැඩිවෙන්න එපැයි. එහෙම අය බහුතරයක් ඇතිවෙන්න ඉඩක් අද ලෝකයේ නැහැ. කවුරු හරි චන්දයක් දිනන්න යුද්ධයක් දියත් කළොත් මිසක් මිනිස්සු විසින් අවිගෙන යන කුරුස යුද්ධයක් ඇතිවේවි කියල හිතන්න බැහැ. ඒත් චන්ද දිනන්නෙ කොහොම ද බහුතර මහජන මතයට පිටතින් ගිහින්; බහුතර මහජන මතය කුමක් දැයි බහුතරයාම දන්නෙ නැතිකොට!!!!

  3. Chanaka Aruna Munasinghe said, on සැප්තැම්බර් 12, 2012 at 8:57 පෙ.ව.

    එයා “දෙයියෝ දුන්න පිස්සුවක්” තියන ස්වභාවික පිස්සෙක් නෙමෙයිනේ!!!

    ” සබ්බේ පුථු-ජනා උම්මත්තකා ” ( සියලු පුහුදුන් පුද්ගලයෝ උම්මත්තකයන්ය)

    – සුත්ත නිපාතයෙහි සේල සූත්‍රය-

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 9:14 පෙ.ව.

      මකර පැටියෝ,

      ඔහොම කියලා බේරෙන්න බැහැ, අර කරගෙන යන එක එක්කො ඉවර කරන්න ඕනෑ නැත්නම් ඒ මුළු වෑයමෙන් අයින් වෙන්න ඕනෑ 😀

  4. Ra said, on සැප්තැම්බර් 12, 2012 at 9:45 පෙ.ව.

    // මා දකින්නේ ඉතා සරලව හා ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන ලද අවබෝධයේ යුගය බුදුන් විසූ දඹදිව තිබි බවයි.//

    එකඟයි!

    ඒවගේම නිකමට හිතන්න ඔය චිත්‍රපටය බුදුන් නිරූපණය කලා නම් ලංකාවේ ඇමරිකානු එම්බසියට වන දේ. එතකොට චිත්‍රපටය නිර්මාණය කිරීමේ අරමුණ ඉස්ලාමිකයන් ක්‍රිස්තියානිකරණය කරගැනීමද නැත්නම් ඉස්ලාම් ආගමේ කතෘට අපහාස කිරීමෙන් ඉස්ලාමිකයන් කුපිත කිරීමද?

    ඇමරිකාවේ ලඟදී ජානාධිපතිවරණයකුත් තියෙනවා නේද? 😉

    • billy said, on සැප්තැම්බර් 12, 2012 at 9:59 පෙ.ව.

      so do u think buddhists would have killed the us ambesador here as well..lol
      Have u seen the southpark episode which it represnets the buddha doing crack…dont compare the muslim extremists with buddhist ones, is there a any killing done in the bane of buddhisam..there is a fundemantal difference in a buddhist killing some one and killing some one for buddhisam.

      • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 10:01 පෙ.ව.

        billy,

        සවුත්පාර්ක් ලංකාවේ තහනම් බව දන්නවා ද?!!!!

        • Ano said, on සැප්තැම්බර් 12, 2012 at 12:48 ප.ව.

          Da Vinchi code was also banned in Sri Lanka due to the request of Catholic clergy. So what is your point?

          • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 7:37 ප.ව.

            Ano,

            රෝමානු කතෝලික කාඩිනල් Tarcisio Bertone පොත කියවන්න එපා, චිත්‍රපටිය බලන්න එපා යැයි කිව්වා ම, ලංකාවේ ක්‍රිස්තියානි අය අතර වැඩියෙන් ම ඉන්නා කතෝලිකයන් වෙනුවෙන් නොවේ ද එය තහනම් කළේ? නැත්නම් ශිරන්ති ගෙදරින් එළවයි කියල ද? නැත්නම් ශිරන්තිව කතෝලික පල්ලියෙන් එළවයි කියල ද? වතිකානුවට නිල ගමනක් ගිය රටේ නායකයා කවුද?

            කපිල වස්තු ධාතු දැක්ම රට වටා ගෙනිච්චට චීනෙට බයේ දළෙයි ලාමාට දළදා වඳින්න අවසර දෙන්නෙ නැති බයගුල්ලෝ.

            ඔය චන්ද ගුණ්ඩු වල පොයින්ට් කොහොමෙයි වැටහෙන්නේ අවිගත්තෝ අවියෙන් නැසේවි කියල අවි සියල්ල පාලකයන්ටයි අපරාධකරුවන්ටයි බාර දෙන අයට!!!

      • Ra said, on සැප්තැම්බර් 12, 2012 at 12:10 ප.ව.

        Indeed I think so. Remember the “Hollywood Buddha” incident?

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 10:00 පෙ.ව.

      Ra,

      අපොයි ඔව්, ගූගල් එපා ඇමෙරිකන් බඩු එපා කියල නැටුවා නේද කට්ටියක් දැනටමත්?!!

      මේ චිත්‍රපටිය නිර්මාණයේ අරමුණ පැහැදිලිව ම අපහාසය කරලා කුපිත කරවීම. ඒත් ඒක නිදහස් ලෝකයේ තමන් කැමති අදහසක් ප්‍රකාශයට ඇති ඉඩ ප්‍රස්ථාවයි. මැඩෝනා කුරුසිය පැළැඳගෙන “යාඥාවක් වගේ” යැයි ගයමින්, අඩ නිරුවතින් ජේසු පිළිම අසල නටපු සිංදු වලට ඒ කාලේ ක්‍රිස්තියානි අය අකමැති වූවාට මැඩෝනාව මරන්න ගියෙ නැහැනේ.

      ඔව් තව දවස් 63 කින් ඇමෙරිකන් ජනාධිපතිවරණය. ඒකට බලපෑමක් මෙයින් සිදුවේවි කියා හිතන්න බැහැ. අද දෙපැත්තේ ඉන්න අය තමන්ගේ පැත්ත තදින් අල්ලා ගත්තු අය මිසක් මෙවැන්නක් නිසා අනිත් පැත්තට දුවන අය නෙමෙයි.

  5. w a wijewardena said, on සැප්තැම්බර් 12, 2012 at 10:20 පෙ.ව.

    When I was at York Uni, UK and SFU in Canada, I recall students who were all Christians were cracking offensive jokes about Jesus. None got offence at them and no body tried to suppress them. However, world’s other mainstream religions like Islam, Buddhism and Hinduism take such events as sacrilege of their religions perhaps because of the feeling of insecurity. The number of books which have been written by former Christians criticising Christianity has been so large that one cannot even keep a count of the same. When I was in Singapore last month, I bought two such books: The Mask of Christ by Lynn Picknett and Clive Prince and God is not Great by Christopher Hitchens, in addition to the Richard Dawkins’ The God Delusion which I had bought earlier. Imagine what would happen if somebody writes a book in similar lines on other religions. Almost certainly, the fellow will be lynched in public.

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 10:41 පෙ.ව.

      w a wijewardena,

      තමන්ගේ ආගමට හානියක් වේ යැයි බිය නිසා නොව ඉවසීම සහ නිදහස යනු මොනවා දැයි අවබෝධයෙන් තොර වු නිසයි මේ තත්වය. ඉවසීම කියන්නෙ අනුන්ගෙ මතයකට ඔවුන් කැමති තැනක දී ඉඩදීම මිසක් තමන් පිළිගැනීම හා තමන්ගේ අනුග්‍රහය දීමට සිද්ධ වීම නෙමෙයි.

      ඩෝකින්ස් කියවන්න අහන්න කැමති අය ඉන්න නිසා ලංකාවට ඩෝකින්ස්ට එන්න ඉඩ දෙනවා. සවුත්පාර්ක් අහන්න බලන්න කැමති අයට ලංකාව තුල ඉඩක් දෙන්නෙ නැහැ. ඉතින්, ඒ තමන් කැමති අයගේ මතවාද පමණක් ඉඩ දීම හා ඒවාට පමණක් අනුග්‍රහ්‍ය දීම ඉවසීම යැයි සිතනා නිසයි.

      නිදහස ද එසේමයිනෙ. තමන් කැමති දෙයක් කැමති විදියකට ලියන්නට සල්මන් රශ්ඩීට හා රිචඩ් ඩෝකින්ස්ට ඉඩ දුන්නාට, අපිට බලහත්කාරයෙන් ඒ පොත් ගන්නැයි ඔවුන්ට කියන්න ඉඩක් නැහැනේ. ඒවා විවේචනයට අපි කොහෙන් හරි ඉඩක් සොයාගත්තාට ඔවුන් විසින් ලියූ ඔවුන්ගේ පොතේ ඇතුලේ අපිට ඉඩක් දෙන්න කියන එක නිදහස් අයිතියක් නෙමෙයි.

      ඒත් ඒ ලිබියන් කල්ලිය, ඒ ඊජිප්තුවේ කල්ලිය, ඕවා ගැන අවබෝධයක් ඇති කරගන්නෙ කොහොම ද යුරෝපීයයන් (2006 බ්‍රිතාන්‍ය නීතිය වගේ) සංකල්පයන් තවත් අවුල් කරන කොට.

  6. Budditha Fernando said, on සැප්තැම්බර් 12, 2012 at 11:39 පෙ.ව.

    මට හිතෙන්නේ හැමෝටම ඕනේ තමන් අදහන ආගම නිවැරදි අනිත් අය වැරදි කියල කියන්න…
    මුස්ලිම් භක්තිකයන් අතීතයේ සිටම ආවේගය උපතින් රැගෙන ආ පිරිසක් යන ච්ත්‍රය කෙසේ මැවුනාද කියල මට තේරෙන්නේ නැහැ..

    තව ආගම් ගැන කතා කරද්දී මට පොඩි දෙයක් මතක් වුනා බෞද්දාගමට අපහස වනවා කියා සපත්තුවල කලිසම් වල තිබෙන බුද්ද රුප ගැන බොහෝ දෑ ලංකාවේ මාද්‍ය තුල පල වුනා මට මතකයි. නමුත් මේ ලඟදි ක්‍රිස්තිතියානි පල්ලියක් ආධාර පිණිස ජේසු තුමන් ගේ පින්තුරයක් සහ කුරුස ලකුණු ඇති පාවහන් යුගල වෙළඳපොළට හඳුන්වා දී තිබුනා..

    මේ කතාව මෙතනට ආදාළ නැතිව ඇති.. නමුත් මට කියන්න ඕනේ වුනේ විවිද ජාතින්, විවිද ආගම් විවිද දේ දකින ආකාරය වෙනස්..
    සමාජ ජාල තුල දැන් ටික කලක සිට අන්තවාදී බෞද්ද, කිතුනු, මුස්ලිම් සියලු දෙනා පිල් වලට බෙදී වාද කිරීම දැන් විලාසිතාවක් වී අවසානය.
    ලෝකයේ අනිත් රටවල් හා සසදා ඉතිහාසය විග්‍රහ කිරීමට තරම් දැනුමක් මා හට නැතත් මේ වකවානුවේ බොහෝ දෙනා දරන මත අනුව ශ්‍රී ලංකාවෙත් මෙවැනි ආගමික යුද ගහ මරා ගැනීම් වැඩි ඈතක නොවන බව මට හැගේ..

    ක්‍රිස්තියානි දහම අනුව බයිබලයේ සඳහන් වන ශ්‍රේෂ්ටතම නියෝගයක් ගැන සඳහන් වේ.. එහි වන්නේ නුභ නුභට මෙන් නුභේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන්නයි.. වරදට සමාව දීම ගැන බයිබලයේ සඳහන් වන්නේ ඔබ සැත්තෑ සැත් වාරයක් (එකල පුර්ණ අගයකි) ඔබේ සතුරාට සමාව දිය යුතු බවයි එසේම ඔබේ දකුණු කම්මුලට පහර දෙන්නාට වම් කම්මුලත් හරවන්න යැයි පවසා තිබේ..
    මාගේ තර්කය ආගමික ඉගැන්වීම් පසකලා කුරුස යුද්ද ඇති වුයේ.. මිනිසුන්ට සෑම අවදියකම උත් සහ කර තිබෙන්නේ තම ආගමික දහමට අනුව ජිවත් වීමට නොව ආගම දහම තමන්ට අවැසි සේ නිර්වචනය කර වාසි සලසා ගැනීමයි..

    අවසානයට ඕනෑම කෙනෙකුට ආගමක් ඇදහීමට හෝ නොහැදීමට අයිතියක් ඇත.. එසේම ආගම් ඇදහීමෙන් වැලකි සිටින්නන් ආගමික දර්ශනයක් අදහන අය අපහසුතාවයට පත් වන අයුරින් කෘති සහ ච්ත්‍රපට පල කිරීම කෙතරම් ශිෂ්ට සම්පන්නදැයි මට හැගේ…

    • arunishapiro said, on සැප්තැම්බර් 12, 2012 at 7:17 ප.ව.

      Buddhitha,

      ආගමික ඇදහිලි වල ඉන්නා හැමෝටම එහෙම උවමනාවක් නැහැ, සමහරුන්ටයි එහෙම ඕනෑකමක් තියෙන්නෙ.

      ආවේගය කියන්නෙ නීති කඩන්න පුළුවන් නිදහසට කාරණාවක් නෙමෙයි. ගෝත්‍රික හැදියාව තමයි තමන්ට නුහුරු අදහස් ඇති අයව මරා දැමීම. අතීතයක දී බොහෝ ගෝත්‍රික සමාජ එහි නිරත වූවා. අතීතයක දී ක්‍රිස්තියානි අය සහ පස්සෙ කාලයක දී හිට්ලර් ද යුදෙව්වන්ව මරා දැමුවේ ද ඒ නිසයි. අනික, ඒක ආගමට විතරක් සීමා වෙච්ච එකකුත් නෙමෙයි. රුසියාව, චීනය, උතුරු කොරියාව වගේ රටවල දේශපාලන මතයට එකඟ නොවන අය ද මරා දැමුවා.

      දෙමළ අය අතරින් තමන් කැමති කොටසට, මුස්ලිම් අය අතරින් තමන් කැමති කොටසට, ක්‍රිස්තියානි අය අතරින් තමන් කැමති කොටසට, සිංහල බෞද්ධයන් අතරින් ද තමන් කැමති කොටසට යනාදී වශයෙන් සමාජයක් කෑලි කෑලි වලට බෙදා, ඒ ඒ කොටස් වලට වෙනස් වූ සැලකිලි ලැබෙන පාලනයක් ගෙන යද්දී එවැනි ගහලා මරාගන්න සමාජයක් කරා තමයි පිය නඟන්නෙ. අතීතයේ ද එසේ ම සිදුවිය!!!

      බයිබලයේ ඔබ උපුටන පාඨයත්, සිංහල බෞද්ධයන් විශ්වාස කරන පරාර්ථාකාමීත්වයත් පිරුවොත් මේ තත්වය යටතේ මුස්ලිම් අන්තවාදීන් මිසක් වෙනත් කිසිවෙක් ලොව ඉතිරි වේ ද?!!! එහෙම කරන්න පුළුවන් හැමෝම එය පිළිගන්නවා නම් විතරයි. හැමෝම එක අදහසක් පිළිගත් ලෝකයක් කිසිදාක හදාගන්න බැරි වුනා. වසර 69 ක් සෝවියට් රුසියාව උත්සාහ ගත්ත ද අනුන් වෙනුවෙන් වෙහෙසෙන්න අය හොයාගන්න බැරිවුනා.

      ආගම් ඇදහීමෙන් වැළකී සිටින අය ශිෂ්ට සම්පන්න විදියට නෙමෙයි නිර්මාණ බිහිකරන්නේ. Grayson Perry නම් බ්‍රිතාන්‍ය කලාකරුවා හැම ආගමික ඇදහිල්ලක් ම හාස්‍ය්‍යට ලක් කළාට (එකක් තමයි වර්ජින් මේරිව පුරුෂ අවයවයෙන් බිහිවෙන හැටි හැදීම) ඉස්ලාම් වලට මුකුත් කියන්න බයයි කියනවා බෙල්ල නැතිවෙයි කියලා. නිදහස් ප්‍රකාශයට ඉඩ ඇති සමාජයක ඕනෑම නිර්මාණයක් නිර්මාණයට අයිතිය හැමෝටම තියෙනවා. එහි දී තමන් ශිෂ්ට සම්පන්න යැයි සලකන නිර්මාණ රසවින්දනය තමාගේ කැමැත්ත අනුව තෝරා ගැනීමක්. තව විදියකින් කිව්වොත් අනුන්ව හදන්න යන්නෙ නැහැ නිදහස් සමාජයක ජීවත්වෙන අය.

  7. Ama said, on සැප්තැම්බර් 13, 2012 at 3:45 පෙ.ව.

    ඕස්ට්‍රේලියාවේ ගෙවතු අලංකාරය සඳහා බුද්ධ ප්‍රතිමා යොදාගැනීම සුලභ දසුනක්. ඒත් ඒකෙන් ඔවුන් අපහාසයක් අරමුණු කරන්නේ නැහැ (කරනවා යයි මම හිතන්නේ නැහැ)

    ලංකාවේ අපි දැන් සාලේ ලස්සනට ඔය තොවිල් වලට ගන්න වෙස් මුණු වල කුඩා පරිමාණයට හැදු ඒවා එල්ලීමත් එවැනි නොවේදැයි සමහරුන්ට නොසිතෙන්නේ ඇයි?

    මැඩෝනා ගේ අඩි පාරේ යන නුතන ගායිකාව ලේඩි ගාගා. එයාගේ වීඩියෝ වලට එහෙනම් ක්‍රිස්තියානි අය වහ කාල මැරෙන්න ඕනේ.
    ඒත් මුණු පොතේ එකොන් ව මරාගෙන කන්න හැදුවේ විචාරාත්මක නිදහස උපරිමයට දී ඇති බුද්ධාගමේ අයයි!
    ලේඩි ගාගා සාතන්ගේ අනුගාමිකයෙක් ලෙස හඳුන්වමින් කලබගෑනියක් මැනිලා නුවර දී නම් ඇතිවූ බව මතකයි…

    • arunishapiro said, on සැප්තැම්බර් 13, 2012 at 7:46 පෙ.ව.

      Ama,

      අප්‍රිකාවට ගිය සුද්දො එහෙ හෙල්ලක් අරගෙන ඇවිත් එංගලන්තෙ ප්‍රසාද වල ආයුධ එක්ක එල්ලුවා. ඊජිප්තුවට ගිය අය ටූටන්කාමන් උඩුකය ප්‍රතිමා නම් කොතරම් අරගෙන එන්න ඇත් ද? ලංකාවේ අපේ ගෙදරත් නෙෆ්රටීටි මුහුණක් එක්ක හදපු ඈෂ් ට්‍රේ එකක් තිබ්බා මතකයි. ප්‍රංශයට යන අය අයිෆල් ටවර් කුළුනක කුඩා අනුරුවක් උස්සන් යනවා. ‘මයාමි වයිස්’ ටෙලිනාට්‍ය වල මත්කුඩු ජාවාරම් කරන ධනපති නිවෙස්වල බුද්ධ ප්‍රතිමා තබා ඇති බව තිරයේ දකින්නට ලැබුනේ 80 ගණන් වල. එය ඔවුන්ට තවත් එක ප්‍රතිමාවක් විතරයි.

      චීනයේ ආර්ථික වෙනස්වීමත් සමඟ එහි ලෝක වෙළඳපොල සඳහා නිපැයෙන බුද්ධ ප්‍රතිමා වැඩි වූවා. ඒක බටහිර වෙළඳපොලට බඩු සපයන ආසියාවේ අනිත් රටවල් ද අනුගමනය කරන්නට පටන් ගත්තා.

      කතෝලික ආගම අදහන අය අතර Rule of St. Benedict අනුගමනය කරන අය ගෙවත්ත ලස්සනට තියාගන්න එක සිරිතක්. කතෝලික කම්කරු ව්‍යාපාරයේ ද ගෙවතු වගාව වැදගත් තැනක් ගත්තා. තමන්ගෙ වත්තෙ එළවළු පළතුරු වවද්දී නැති බැරි අය වෙනුවෙන් පේලියක් වවන එක කරන අය අදත් ඉන්නවා. විවිධ සාන්තුවරයන්ට වෙන් කරන වත්තෙ කොටසක්, රෝසරිය පාවිච්චි කරන්නට නිසංසල ඉඩකඩක් එහෙම වෙන් කරගන්නා අය ඉන්නවා. තෙරේස් සාන්තුවරිය -පුංචි මල- උද්‍යාන වලට කැමතියිලු. විශේෂ ඉල්ලීම් සඳහා එයාට යාඥා කරන අයට රෝස මලක් එවනවාලු. කතෝලික අයගේ ගෙදර වත්තෙ හැම අත ඔවුන්ගේ ප්‍රතිමා බොහොමයක් දකින්නට පුළුවන්. සමහර වෙලාවට වත්ත ඉදිරියෙන් යන කෙනෙක් කුරුසිය සටහන් කරමින් ආශීර්වාද කරගන්නවා දකින්නටත් පුළුවන්.

      කවුද දන්නෙ ඉතින් බටහිර වැසියන්ව රිචඩ් ඩෝකින්ස්ලා විසින් දෙයියෝ නැහැ කියල හාස්‍ය්‍යට ලක් කරද්දී ලැජ්ජා හිතිලා ක්‍රිස්තියානි ප්‍රතිමා අයින් කරලා බුද්ධ ප්‍රතිමා දා ගත්තා ද කියල. රැල්ලක් පැතිර යද්දී මිනිස්සු රැල්ල අනුගමනය කරන්නේ විමසා බලා නෙමෙයිනේ. සෝවියට් රුසියාව වසර 69 ක් ඉඩ නොදුන්නත්, දෙවියන් ඇදහිල්ල මිනිස් සිත් වලින් ඉවත් කරන්න බැරි වුනා. රැල්ලට පෙරළෙන මිනිසා දෙයියෝ ඇදහීමෙන් අයින් වෙන්නේ අවබෝධයෙන් තොරව නිසා ඒ හිස්බව පුරවන්නට යමක් අවශ්‍යයයි.

      මම මේකෙ දාලා තියෙනවා Book of Mormon බ්‍රෝඩ්වේ ෂෝ එක ගැන. ගීත හා රංගනයෙන් අනගි නිර්මාණයක් හදලා සවුත්පාර්ක් නිර්මාතෘවරු විසින් මෝර්මන් අයව ඉතා දරුණු ලෙස හාස්‍ය්‍යට ලක් කළාට ලොව මිලියන 14 ක් ඉන්න මෝර්මන් අය කාවවත් මරන්න ගියේ නැහැ.

      ඔව්, බියෙන් තැතිගත් මිනිස්සු ප්‍රතිමා වඳිනවා යැයි බුදු වදනක් තියෙන බව විචාරාත්මක නිදහස උපරිමයට දී ඇති බුද්ධාගමේ අයටත් අමතකයි. එහෙම වෙද්දී වසර 42 ක් ලිබියාවේ ආඥාදායක පාලනයක හිටපු අහිංසකයන්ව අද රූකඩයන් කරගනිද්දී ඇයි පුදුම විය යුත්තේ?

      අද යාන්තමකට හෝ ලොව විචාරාත්මක නිදහස ඉතිරි වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ විතරයි. එය කුමක් දැයි නොදන්නා අයව උසිගන්වන්න ලේසියි. දක්කන්න පහසුයි. ඔවුන් ලබා බොර දියේ මාළු බාන්නත් පුළුවන්.

  8. Ama said, on සැප්තැම්බර් 13, 2012 at 4:15 පෙ.ව.

    මම ලේඩි ගාගා ගේ රසිකයෙක් නොවුනත් ‘ජුදාස්’ වීඩියෝ ව ගැන ඇය ගේ මේ ප්‍රකාශය නම් ඉතාම සිත් ගන්නා සුළුයි! :

    “In my opinion, the only controversial thing about this video is that I’m wearing Christian Lacroix and Chanel in the same frame,”

    ‘මතභේදාත්මක’ කියල මට හැඟෙන්නේ මට මා ගැන තව දුරටත් හිතන්න පොළඹවන දෙයක්. යම් දෙයකට මගේ ඇතිවෙන ප්‍රතිචාරයෙන් මට මා ගැන ගොඩක් දේවල් හම්බ වෙනවා. ‘මතභේදාත්මක’ දේවලින් මා තුලින්ම පරස්පර විරෝධී ප්‍රතිචාර ලැබෙන නිසා වඩාත් රසවත් ලෙස හිතන්ට පුළුවන් වෙනවා. ඒ නිසා ‘මතභේදාත්මක’ දේවලට මම කොහොමත් ආකර්ෂණය වෙනවා.

    නමුත් ඒ කියන්නේ මම ඒවා සියල්ල අනුමත කරනවා කියන එක නම් නෙවි.

    ‘මතභේදාත්මක’ දේවල් වලින් තොර ලෝකය කොයිතරම් නීරස වේවිද?

    “It’s not true that I had nothing on. I had the radio on.”
    ― Marilyn Monroe

    • arunishapiro said, on සැප්තැම්බර් 13, 2012 at 8:11 පෙ.ව.

      Ama,

      මම ලේඩි ගාගා ගේ කතන්දරේට කැමැතියි. කැම්පස් එකේ දී ගුරුවරු කිව්වාම ඔයාට කුසලතා නැහැ කියල එයා ඒක පිළිගත්තෙ නැහැ. කොල්ලා කිව්වම ඔයා රොක් ස්ටාර් කෙනෙක් වෙන්නෙ නැහැ කියලා එයාගෙන් අයින් වෙලා ඇය රොක් ස්ටාර් කෙනෙක් වුනා!!!

      මම අයින් රෑන්ඩ් ඉතා අගය කරනවා, ඒත් ඇය කරපු ලියපු හැම දෙයක් ම අනුමත කරන්නේ ද නැහැ. මතභේදාත්මක දේවල් නැත්නම් ඔව් සැබැවින් ම ලොව නීරසයි. පුද්ගලයෙක් විචාරයෙන් කළ යුත්තේ ලොව හැම තැනකින් ම ඒ අය කැමති කොටස් තෝරා ගෙන අකමැති කොටස් බැහැර ලා තමන්ට පමණක් ම සුවිශේෂී වූ කැමති/අකමැති පිළිවෙතක් හදා ගැනීමයි.

      අයින් රෑන්ඩ් මෙරිලින් මොන්රෝ ගැන ලියා තියෙනවා. ඒ සටහන අවසානයේ දී ඇය මෙසේ ලියනවා: The evil of a cultural atmosphere is made by all those who share it. Anyone who has ever felt resentment against the good for being the good and has given voice to it, is the murderer of Marilyn Monroe. -Through Your Most Grevous Fault, The Voice of Reason (1989)

      මගේ ප්‍රියතම ගායකයන් අතරින් කෙනෙක්: මීකා මගේ මොබයිල් එක නාද වෙන්නෙ මේ සිංදුවෙන්:


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: