අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවිතේ අම ධාරා …

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 14, 2012

පසුගිය දා පැවැත්වුනු “ඖෂධ පැළෑටි සහ හර්බල් නිෂ්පාදන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට” සහභාගී වෙන්න ආපු ලංකාවේ කණ්ඩායමෙන් මහවෙදනා මල්ලි ඇතුළු ටික දෙනෙක් හමුවන්න මට අවස්ථාවක් පෑදුනා. මුල් වතාවට ලංකාවේ සිට ඇමෙරිකාවට එන අය හා ගැවසීම හැම විටක ම ලොකු සතුටක්.

මෙහෙ කාලයක් ජීවත් වූ අයත් දැකලා නැති ගොඩක් දේවල් එයාල දවස් කිහිපයක දී දැක බලාගන්නට සමත් වුනා. උත්සාහවන්තයෝ තමයිනෙ ජයගන්නේ!!!!

සමහර රටවල මිනිස්සු ඇමෙරිකාවට බැන බැන මොලටොව් කොක්ටේල් බෝම්බ ගසමින්, තමන්ගෙ පරිසරය විනාශ කරගනිමින්, තමන්ගේ අයව රෝහල් ගත කරමින් සිටිය දී, ඇමෙරිකාව හා ගණුදෙනු වලින් තමන්ගේ ජීවිත ද වැඩි දියුණු කරගත හැකි බවත්, ඇමෙරිකාවේ මිනිස්සු සුපුරුදු පරිදි වෙහෙසෙනවා, සුපුරුදු පරිදි නිවාඩු ගන්නවාත්, මෙයාලට දැකගත හැකිවූවා.

ආ ගිය තැන්වල උදව් කරන්නට ඉදිරිපත් වෙන ඇමෙරිකානුවන්, කොහෙන්දැයි ආවේ අහලා රටට ආවා කියල වෙල්කම් කියන අය හැමතැනක ම ඉන්නවා යැයි ඔවුන්ට අත්විඳින්නට ලැබීම ඇමෙරිකානුවෙක් වෙන මටත් සතුටක්!!!

Whole Foods ගිය කට්ටිය අතර එක්කෙනෙක් තමා වැඩ කරන කොම්පැණියේ නිෂ්පාදනයන් එහි විකුණන්න දාලා තියෙනවා දැකලා සතුටින් පින්තූර ගත්තා. වර්ජීනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ලස්සන පුංචි කුළුබඩු කඩේකට එයාලව එක්කන් ගියේ මෙහෙ අය ලංකාවේ කුරුඳු පොතු විකුණන හැටි පෙන්වන්න. ලංකාවට තව කොච්චර දේවල් මෙහෙ විකුණන්න එවන්න පුළුවන් ද? අපොයි ඒ කතාව දිග හැරිච්ච හැටි ගැන නම් ලියන්න බැහැ … ලැජ්ජයි මා උපන් රට ගැන එතකොට.

දිගින් දිගට කතාබහ වෙද්දී මට හිතුනේ මේ වගේ නිර්මාණශීලි අදහස් ඇති අය ඉන්න ලංකාව කොච්චර දියුණු රටක් විය යුතු ද කියා. ඒත් ඔවුන් ඉහළට නඟින්න යන උත්සාහයේ දී පියවරෙන් පියවරට ලැබෙන ඉඩ අනාගතයේ යම් දුරක දී හෙමින් හෙමින් වැසී යද්දී එයාලත් මේ වගේ රටකට පදිංචියට යාවී කියලත් දුකක් ඇතිවුනා. ඇමෙරිකාවේ සුවිශේෂීත්වය (exceptionalism) නම් ඔබාමාට ජනාධිපති වෙන්නට හැකිවීමයි. ලේඩි ගාගාට රොක් ස්ටාර් කෙනෙක් වෙන්නට හැකිවීමයි. තවත් විදියකින් කිව්වොත් යම් අරමුණක් කරා යන උත්සාහවන්තයන්ට ඒ අරමුණ ජය ගන්නට තම වෙහෙසෙන් පමණක් හැකියාව ලැබීමයි!!! ඊට ඉඩකඩ ඇති වාතාවරණයක් තමන්ගෙ රටේ ද හදා ගත්තොත් කොතරම් ආශ්චර්යයක් කොතරම් සුළු කාලයක දී ලබන්න හැකි ද? ඒත් හැම වැරැද්දකට ම වෙන කාට හරි බනින එක සිරිතක් වුනාම තමන්ගෙ රටේ පෝෂණය කරන්නෙ නිර්මාණයකට වෙහෙසෙන මිනිස්සු නෙමෙයි, අනුන්ගේ නිර්මාණ ගැන පෙළපාලි යන අයයි, උද්ඝෝෂණ කරන අයයි විතරයිනෙ.

කන්න කැමති තැනක් සොයද්දී නම් ලංකාවේ කට්ටියක් එකතුවෙන හැම අවස්ථාවක දී ම පැන නඟින ගැටළුව මතුවුනා!!!! මම කැමති තැනක කාලා කොහොම ද? සංචාරකයන් වූයේ එයාලානේ. ඊ ළඟට ඉතින් එයාලා කන්න කැමති දෙයක් මම අනුමාන කරන්නේ කොහොම ද? ඊ ළඟ සැරේ එද්දී ඔන්න මම කළින් ම තැනයි ආහාරයි තීරණය කරලා තියන්නම්!!!

මහවෙදනා මල්ලි දීපු සිංදු තැටි අහමින් මම ගෙදර ආවා. “ජීවිතේ අම ධාරා ..” යැයි කියන්නෙ වෙන මොකක් ද, ලස්සන පරිසරයේ සොඳුරු මිනිස්සු එක්ක රසවත් කාලයක් ගෙවන්න ලැබෙන එක මිසක්. එහෙම කරන්න මී විතක් නම් අවශ්‍ය වුනේ නැහැ අපිට!!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on සැප්තැම්බර් 14, 2012 at 11:28 පෙ.ව.

    ඇත්තටම සතුටුයි මෙහෙම ආව කටියකට අරුණි නංගි සලකපු හැටියට. සමහර අය අහක බලන් යන රටක් කියලනෙ අපි දන්නෙ. මීවිත හැම තැනටම නැති උනාට ජීවිත ලස්සනට ගෙවෙනවා නේ. සොඳුරු මිනිසුන්ම තමයි අපේ ජීවිත සොඳුරු කරන්නෙ නංගී.

  2. maathalan said, on සැප්තැම්බර් 14, 2012 at 11:35 පෙ.ව.

    මහ වෙදනා මම දැකලනම් නෑ. ඒත් බොහොම සුන්දර මනුස්සයෙක්. නොනේ එයාලව ඕන් නැති තැන්වලට එක්කන් ගියේ නෑනේ…. මම දකින අපේ අයගේ එක දුර්වලතාවයක් තමයි කොයි රටේ ගියත් අපේ කෑම සොයන එක. ඇයි බැරි ඒ රටවලත් කන්නේ මොනවද කියලා උත්සාහ කරලා බලන්න. සමහර කෑම අපේ කෑමවලට වඩා කොච්චර රසවත්ද. තුර්කියේදි මම කෑවා බැදපු කුකුල් මස් එක්ක බත් ටිකක්. වෙන මුකුත් නෑ. ඒ මම ජීවීතේ කාපු රසම කෑම වලින් එකක්. තව රටකදි කෑවා වම්බටු අමුතුම විදියකට හදපු බටර් වගේ. පුදුම රහක්.. නමුත් සමහ කෙනෙක් මගේ මතය පිලි නොගන්න පුලුවන්.

    • arunishapiro said, on සැප්තැම්බර් 14, 2012 at 11:51 පෙ.ව.

      maathalan,

      ඔව්, රසවත් කතන්දර බොහොමයක් කියන්න හැකි මනුස්සයෙක්. අනිත් යාළුවෝ ටිකත් ඊට දෙවෙනි නැහැ. අපොයි නැහැ මම යන්නෙ නැති තැන්වලට එක්කන් ගියේ නැහැ!!! මේ කට්ටිය මෙහෙ කෑම රස බලලා ඒවයේ ප්‍රෝටීන් පදාර්ථ වැඩියි කිය කියා හිටියේ. මෙහෙ දී දෙන ප්‍රමාණයත් හෙන සයිස්නෙ. කෑම පිඟානේ ඉතුරු කරන්න එපා කියලත් අපිට උගන්වලා තියෙනවානේ.

  3. ළිහිණි said, on සැප්තැම්බර් 14, 2012 at 1:33 ප.ව.

    මහ වෙදනා ගැන මම අහලා තිබ්බා. කොහොම නමුත් ලංකාවේ අයට ඇමෙරිකාව ඔය විදියට ප්‍රථිචාර දක්වන එක ගැන සතුටුයි. අක්කා ඒ අය ගැන හුඟාක් හිතලා හැඩයි. කොහොමත් දැන් අක්කගෙ රට ඇමෙරිකාව උනත් මම හිතන විදියට ඉපදිලා ඇත්තේ ලංකාවේ. ලංකාවේ අය ආගන්තුක සත්කාරවලට කොහොමත් ලැදියිනේ

  4. praveena said, on සැප්තැම්බර් 14, 2012 at 10:06 ප.ව.

    //ඇමෙරිකාවේ සුවිශේෂීත්වය (exceptionalism) නම් ඔබාමාට ජනාධිපති වෙන්නට හැකිවීමයි. ලේඩි ගාගාට රොක් ස්ටාර් කෙනෙක් වෙන්නට හැකිවීමයි. තවත් විදියකින් කිව්වොත් යම් අරමුණක් කරා යන උත්සාහවන්තයන්ට ඒ අරමුණ ජය ගන්නට තම වෙහෙසෙන් පමණක් හැකියාව ලැබීමයි!!! //

    100% එකඟයි මේ කියමනට. ඇමරිකාවේදී මා දුටු විශේෂත්වය තමා ඔවුන්ගේ ඕනෑම කෙනෙකු වෙනසක් නැතිව පිළිගැනීමේ හැකියාව. බොහොමයක් බටහිර රටවල මෙය දකින්නට නෑ.

    කට්ටිය දැක්කාම දුවගෙන එන්ට හිතුනා… 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2012 at 7:44 පෙ.ව.

      praveena,

      ගොඩක් අයට මේක වටහා ගන්න අපහසුයි. ගොඩක් අය තාම 1770 ගණන් වල ස්වදේශී ඉන්දියානුවන් ගැනයි 60 ගණන් වල කළු ඇමෙරිකානුවන් ගැනයි උදාහරණ ගෙනෙමින් සිටිය දී 2012 ඇමෙරිකාව කියන්නෙ තම අතීත වැරදි හදාගෙන අනාගතය ලස්සන කරගන්නට සමත් වූ ඊට නිති වෙහෙසෙන ජනතාවක් බව දකින්නෙ නැහැ.

      ඉතින් එන්නකෝ ප්‍රවීනා දුවගෙන .. නැත්නම් පියාඹලා හරි …

  5. Budditha Fernando said, on සැප්තැම්බර් 14, 2012 at 11:39 ප.ව.

    කුරුදු කියන්නේ ලංකාවට ආවේනික ශාකයක් නේද? Cinnamon challenge කියල එකක් අහල තියෙනවද? අහල නැතිනම් The Fine Brothers ලගේ Kids React

    මේ වීඩියෝ එක බලන්නකෝ..
    ——————————————————————————————————————————————-
    එක අතකට මේ ජාතිකත්වය කියන්නෙත් මිනිස්සු වෙන් කරන සාදකයක්..
    [[ඇමෙරිකානුවෙක් වෙන මටත් සතුටක්!!!]] කියන ලයින් එක, එක් සංස්කෘතියක් තුල එල්බ් අපි තමයි මේ ලෝකේ
    හොඳම ආගන්තුක සත්කාර දන්න ශ්‍රේෂ්ටතම ජාතිය කියල හිතන් ඉන්න අයට වේදනාවක් වෙන්න පුළුවන්..

    ——————————————————————————————————————————————-
    ලංකාවේ ඉතින් සිංහල බෞද්දයකුට හැරුණු විට දමිලයකුට හෝ ක්‍රිස්තියානි ආගමිකයකුට ඇමරිකාවේ බැරක් ඔබාමා මහතා මෙන් ජනාදිපති හෝ එවැන් තනතුරක් ගැනීමට ඇති නොහැකියාව ගැන මටනම් දුකක් නැහැ..

    අඩුම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පත් කිරිමෙදිවත් ඔහු දමිලද බර්ගර්ද එසේත් නැත්තම් කතෝලිකද, හින්දුද, මුස්ලිම්ද කියා නොසලකනවානම් එයත් ශ්‍රී ලංකාව ලබා ගන්නා ලොකු ජයග්‍රහණයක්.

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2012 at 7:38 පෙ.ව.

      Budditha,

      සමහර විට මට Budditha කියන එක වැටහෙන්නෙ නැතිව ඇති. නැත්නම් මම කියපු ටික Budditha ට වැටහෙන්නෙ නැතිව ඇති. ඒත් මේක Budditha ට සහ මට තියන අදහස් හුවමාරුවට ඇති අපහසුතාවය විතරක් නෙමෙයි අද ඇමෙරිකාවේ සමහර කොටසකට සහ ලෝකයේ බහුතරයකට ද ඇති අභියෝගයක්.

      ඔව්, කුරුඳු (Cinnamomum) ලංකාවට පමණක් ම ආවේනික ශාකයක්. අද එය වෙන රටවල වැව්වට ස්වභාවයෙන් තිබුනේ ලංකාවේ පමණයි.

      කැමැත්තක් කරන්න නිදහස තියෙන රටක “කුරුඳු අභියෝගය” යන්නත් ඉන් එකක්. නිදහස කියන්නෙ මෝඩ මිනිස්සුන්ට මෝඩ විදියට හැසිරෙන්නටත් නිදහසක් තිබීමයි. මෝඩ මිනිස්සුන්ව බුද්ධිමත් කරන්න නීති ගෙනැත් සමත් වෙච්ච රටක්, රාජධානියක් ලෝකෙ කොහේවත් තිබිලා නැහැ, එහෙම තැනක් හදන්නත් බැහැ. ලංකාවේ තියෙනවා කෑවම භ්‍රාන්තිය (hallucinations) හැදෙන ස්වභාවික ඇට, මල් හා ගෙඩි. ඉඳහිටක පත්තර වලින් අහන්න ලැබෙනවා පාසැල් ළමුන් එකතු වෙලා කාලා ඉස්පිරිතාල ලැග්ග හැටි සහ සමහර අවස්ථා වල දී මරණයට පවා ලක්වෙච්ච හැටි ගැන.

      ඉතින්, මෙතැන දී Budditha කියන //එක් සංස්කෘතියක් තුල එල්බ් අපි තමයි මේ ලෝකේ හොඳම ආගන්තුක සත්කාර දන්න ශ්‍රේෂ්ටතම ජාතිය කියල හිතන් ඉන්න අයට වේදනාවක් වෙන්න පුළුවන්..// අදාල වෙන්නෙ කාට ද, කොහොම දැයි මට වැටහෙන්නේ නැහැ.

      ඊ ළඟට, ඇමෙරිකාව අද ලෝකයේ සෙසු සියළු රටවල් අභිබවා ආර්ථිකයෙන් ඉදිරියෙන් ඉන්නෙ (මුළු යුරෝපීය යුනියනයේ ම නිෂ්පාදනයට වැඩි නිෂ්පාදනයක් කරන්නට සමත් වී ඉන්නේ) මෙහෙ ඉපදෙන ඕනෑම කෙනෙකුට රටේ ජනාධිපති වෙන්නට හැකියාව තියෙන නිසාමයි. තම කැමැත්ත සොයා යන්නට නිදහසක් තිබීම නිසයි. ඒ වගේ ම පුද්ගලයාගේ ජාතිය, ආගම, දේශපාලන දෘශ්ටිය, පුද්ගලික කැමැත්ත … යනාදීන් කුමක් වුවත් රටේ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ රටේ සහ සෑම සියළු පුද්ගලයාගේ ම යහපත හා උන්නතිය පිණිස නිසා තම පුද්ගලික නැඹුරුව කුමක් වුවත් අනුන්ට අයහපතක් කරන්න බැරි විදියට. රට වැරදි මාර්ගයක ගෙනයන්නට නොහැකි විදියකට. ඊට පටහැනිව වෙනස්කම් ගෙනෙන්නට හැදූ, තමන්ට ජනාධිපති වෙන්නට ඉඩකඩක් සලසා තියෙන ලෝකයේ ම එකම එකක් හැටියට තියෙන ඇමෙරිකන් සුවිශේෂත්වයම වෙනස් කරන්නට උත්සාහ ගත්තු ඔබාමාටත් මෙය දකින්නට අසීරුයි. ඒ නිසා Budditha ට වටහා ගන්නට දුෂ්කර නම් ඒ ගැන පුදුමයක් නැහැ.

      ලංකාව කවදා හෝ දියුණුවක් ලබන්න නම් පටු අදහස් බැහැර ලා ලංකාවේ ඉපදෙන, හැදෙන වැඩෙන ඕනෑම ජාතිකයෙකුට, ආගමිකයෙකුට, රටේ නායකයෙක් නායිකාවක් වෙන්නට ඉඩක් තිබිය යුතුයි. නැතිව ජාතියට ආගමට චන්දෙ දුන්නම රටට ජනතාවට බොරු බලාපොරොත්තු විතරයි ලැබෙන්නෙ. සුදුස්සාට සුදුසු තැන නොදුන්නා ම එන “මාවෝ, මම සිරිමාවෝ,” ලා තමයි රට කන්නේ!!!!

      //අඩුම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පත් කිරිමෙදිවත් ඔහු දමිලද බර්ගර්ද එසේත් නැත්තම් කතෝලිකද, හින්දුද, මුස්ලිම්ද කියා නොසලකනවානම් එයත් ශ්‍රී ලංකාව ලබා ගන්නා ලොකු ජයග්‍රහණයක්.// සැබැවින් ම. එය ක්‍රීඩාවට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකින් ම දකින්න හැකි වූ දාට තමයි රටක් දියුණුව කරා යන්න පටන් ගන්නේ.

  6. Gim said, on සැප්තැම්බර් 15, 2012 at 12:24 පෙ.ව.

    මහ වෙදනා කියන්නෙ කතා සාගරයක් . තව නොකී කතා බොහොමයි . බොහොම සොඳුරු හමු වීමක් වගේම සියල්ලෝම ගොඩක් සතුටෙන් සිටිය බව ලිපියෙන් පේනවා . වරුණි අක්ක හොඳ පිලිගැනීමක් කරල තියෙනව සහෝදර බ්ලොග් කරුවෙකු වෙනුවෙන් .

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2012 at 7:52 පෙ.ව.

      Gim,

      තෝරා බේරා ආශ්‍රයට සුදුසු සොඳුරු අය එකතු කර ගැනීම හැම විට ම සාර්ථක නැති වුනත් මම ඊට නිති වෙහෙසෙනවා 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: