අරුණි ශපීරෝ‍ වෙතින්

මැද පෙරදිග මොකක් ද රුසියාවෙනේ උද්ඝෝෂණ!!!

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 15, 2012

පුසි රයට්ලා මුකවාඩම් බැඳගෙන සිංදු කිව්වේ මොස්කව් හි ප්‍රධාන පල්ලියක දී ය. ඒ පූටින් ගෙදර යවන්නට කියා දෙයියන්ට කරන ලද ඉල්ලීමකි. පූටින් විසින් පුසි රයට්ලා අල්ලා සිරගත කළේ දෙවියන්ට අපහාස කළා කියමිනි. නැවත ජනාධිපති වූ පූටින් මැයි මාසයේ පටන් ගෙන රුසියාවේ නීති බොහොමයක් තද කරන ලදි. ඔහුට විරුද්ධ අයව අත් අඩංගුවට ගන්නා ලදි. ඒ අයව සිරගත කරන ලදි. ඕනෑම රටක කලාකරුවෙකුට හෝ ක්‍රීඩකයෙකුට අවැඩක් සිද්ධ වෙද්දී සියළු ජනතාවට මෙතෙක් වූ අසාධාරණයන් පැහැදිලිව අවබෝධ වෙයි.

පුසි රයට්ලා හිරේ දැමීම ජනතාවට පාරට බැසීමට උවමනාවක් ඇතිවීමේ එක නිමිත්තක් පමණයි. එය කාලයක් තුල මෝදු වෙමින් පැවති අප්‍රසාදය අද එළිබැසීම. ඇමෙරිකාවට විරුද්ධව මුස්ලිම් උද්ඝෝෂකයන් මහමඟට ගෙන්වන්න උවමනා වූ අයටත් ඇමෙරිකන් යූටියුබ් චිත්‍රපටිය එක නිමිත්තක් පමණයි. එය තිබුනත් නැතත් ඔය පිරිස කවදත් තමන්ගෙ ජීවිත, දේපල හා අනාගතය විනාශ කරගනිමින් ඇමෙරිකාවට රිදවත හැකි යැයි සිතා පාරට බහින අය.

එක ආඥාදායකයෙකුට කැමති තවත් ආඥාදායකයෙකුට අකමැති අයට ඒ දෙදෙනා අතර සමාන පිළිවෙතක් පවතින බව නොපෙනෙනවා ම නෙමෙයි. ඊට වඩා පිළිකුලක් හා ද්වේෂයක් ඇත්තේ තෙවැන්නා ගැනයි. ඒ තෙවැන්නාට විරෝධය දැක්වීම මේ ආඥාදායකත්වයන් දෙක අතර වෙනසක් තියෙනවා ද නැද්ද හොයනවාට වඩා දැඩියි.

නිදහස් ප්‍රකාශයට ඉඩක් නොදීම සියළු ආඥාදායකයන්ගේ සිරිතයි. එදා වාමාංශික ආණ්ඩු වලින් ලෝකය වෙලාගත් යුගයක නිදහස් ප්‍රකාශයට ඉඩක් නොතිබුණ හැටි ගැන මතකය ඇති අය අද අඩුයි. අද නිදහස් ප්‍රකාශයට ඇති ඉඩකඩ අවහිර කරන්නෙ වෙන විදියකට. අද එය දයාව, යුක්තිය හා සාධාරණය යනාදී කඩතුරාවන් වලින් වසා විචාරයට නොහැකි ජනතාවට දෙන්නේ ගිලින්නට පහසු විදියටයි. යුරෝපයේ එය සිද්ධ වූ ආකාරය පසුගිය සටහන් පේලියකින් ලියාගෙන ආවෙමි. අන්තිමේ දී දයාවක් නැත්තේ නිදහස තම අයිතියක් යැයි ඉල්ලා එහෙත් එය අනුන්ට ද ඇති අයිතියක් බව නොදකින අයට ම බව සාමාන්‍ය මහජනයාට අවබෝධ වෙන විට විචාරයට හැකි වූ නිර්මාණශීලී පුද්ගලයන් එසේ නීති ගෙනෙන ලද රටවල් හැර දමා ගොසිනි.

ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් තරඟාවලියේ මුල් පෙල විනිශ්චයකරුවන් දැන් කලක සිට වර්ජනයක යෙදෙති. එහෙත් ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් තරඟාවලිය නැවතුනේ නැත. ඔවුන් මුල් පෙල විනිශ්චයකරුවන් හා සාකච්ඡා පවත්වන අතරතුර ඊට පහළ මට්ටමේ විනිශ්චයකරුවන් කැඳවා ගෙන තරඟ පවත්වති. ඇමෙරිකාවේ ෆුට්බෝල් තරඟ පවත්වන සෑම සති අන්තයක දී ම රුසියාවේ අද උද්ඝෝෂණයේ යෙදෙන තරම් සංඛ්‍යාවක් රට පුරා ඇති ෆුට්බෝල් තරඟ නරඹන්නට යති. ඔවුන් ටිකට්, කුකුල් තටු, බියර්, තම පිලේ ටී ෂර්ට් හා තොප්පි යනාදිය මිල දී ගනිමින් ඒවාට සහභාගී වෙති. රටේ ආර්ථිකය නංවාලන්නට සහාය දෙති. එහෙත් “කැඩුණු ජනේලය” විශ්වාස කරන අය නම් ෆුට්බෝල් වලින් එන්නේ ආර්ථික දියුණුවක් බවත්, දේපල හානියෙන් එන්නේ ආර්ථික වැටීමක් බවත් දකින්නේ නැත.

ඔව්, විචාරය නොහැකි නිසා තමන්ට හේතුව කුමක් දැයි පැහැදිලි නැති වුවත්, අර කළින් කියපු “පිළිකුලක් හා ද්වේෂයක් දැනෙන තෙවැන්නා”ට අකැමති අය ඇමෙරිකන් ෆුට්බෝල් වලටත් අකමැතියි!!!!

පුසි රයට්ලා ගේ සහායට එළියට ආවේ ‘මැටීරියල් ගර්ල්’ වූ මැඩෝනා ය. රෙඩ් හොට් චිලී පෙපර්ස් ය. Björk නම් අයිස්ලන්ත ගායකයාය. එහෙත් කාන්තා විමුක්තිය, සමරිසි අයිතීන් තම වාසියට පමණක් පාවිච්චි කරන සෙසු වාමාංශික ලෝකය ඒ පැතිවල අය රුසියාවෙන් ම නැඟිටින තෙක් තවමත් නිහඬ මන්ද?!!!! එය අන්තවාදී මුස්ලිම් අය ත්‍රස්තවාදයට යොමු වෙද්දී අන්තවාදී නොවන මුස්ලිම් අය බහුතරය නිහඬ වී සිටීම වැනි ද?!!! නැත්නම් ඇත්තට ම අපරාධයකත් නිදහසකත් ඇති වෙනස හඳුනා ගැනීමට ඇති නොහැකියාව ද?!!!!!

ඇමෙරිකන් නිදහස සදා දිනේවා!!! පුසි රයට්ලාට ජයවේවා!!! පුසි රයට්ලා වෙනුවෙන් පාරට බැස්ස සියළු රුසියානුවන්ට ජයවේවා!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on සැප්තැම්බර් 15, 2012 at 12:38 ප.ව.

    මෙද්වෙදෙව් (නම ලිව්වා හරිද) ඉඟි කරලා තිබුනා නේද පුසී රයට්ලාව නිදහස් කල යුතුයි කියලා. ඒ කියන්නේ එයා පුටින්ට යටින් කපනවද?

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2012 at 1:12 ප.ව.

      විචාරක,

      මම හිතන්නෙ ජනමතය යන පැත්තට පූටින්ට පහසුවෙන් හැරෙන්න එයින් මෙද්වෙදෙව් කළින් සූදානමක් කරලා දුන්නා කියලා. දේශපාලනයේ ඉන්න සමහර අය කොච්චර නම් එකිනෙකාගේ වැරදි දේශපාලන වේදිකාවේ කෑ ගහලා ඊට පස්සෙ ගිහින් එකතුවෙලා වැඩ කරනවා ද? ඇයි අපේ හිලරි හාමිනේයි ඔබාමායි දැන් අත් අල්ලාගෙන යන්නෙ!!!

  2. රටේ මහත්තයා said, on සැප්තැම්බර් 15, 2012 at 12:45 ප.ව.

    ඇමෙරිකාවට විරුද්ධව මුස්ලිම් උද්ඝෝෂකයන් මහමඟට ගෙන්වන්න උවමනා වූ අයටත් ඇමෙරිකන් යූටියුබ් චිත්‍රපටිය එක නිමිත්තක් පමණයි. එය තිබුනත් නැතත් ඔය පිරිස කවදත් තමන්ගෙ ජීවිත, දේපල හා අනාගතය විනාශ කරගනිමින් ඇමෙරිකාවට රිදවත හැකි යැයි සිතා පාරට බහින අය.//
    ආගමික නායකයෙක් කියන්නෙ කෝටි සංඛ්‍යාත ජනතාවක් වන්දනාමාන කරන කෙනෙක්.එවැන්නකුට අපහාස කිරීම අරුණි අනුමත කර තිබෙනවා මේ වාක්‍යයෙන්.මුස්ලිම්වරු ඇමරිකාවට බටහිරට උමතු විරෝධයක් දක්වන පිරිසක්.ඒක වෙනම කතාවක්.ඇමරිකාවට අයිතියක් නෑ ආගම් වලට අපහාස කරන්න.ටිකක් සාධාරන වෙන්න

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2012 at 1:26 ප.ව.

      රටේ මහත්තයා,

      පුද්ගලයෙකුට නිදහස් ප්‍රකාශනයට ඇති අයිතියට කිසිම වැටකඩොළු බැඳ නැහැ ඇමෙරිකාවේ. එය රටේ ව්‍යවස්ථාවෙන් සියළු වැසියන් වෙත ද ප්‍රදානය කර ඇති අයිතියක්. ඇමෙරිකාව නෙමෙයි ආගමකට අපහාස කරලා තියෙන්නෙ. ඒක කරලා තියෙන්නෙ පුද්ගලික නිර්මාණයක් හැදූ පුද්ගලයෙක් විසින්. මම එකඟ වෙන්නේ රටේ ව්‍යවස්ථාවෙන් දී ඇති අයිතියටයි, මම අනුමත කරන්නේ ඔහුගේ නිදහස් ප්‍රකාශනයට ඇති අයිතිය මිසක් ඔහු කරන ලද අපහාසය නෙමෙයි. ගොඩක් හිතුවොත් සමහර විට වෙනස වටහා ගත හැකිවේවි … සමහර විට ඒත් බැරිවේවි!!!

      අනික, ඉස්ලාම් කියන්නෙ 1880 සිට ඇමෙරිකාවේ තිබිච්ච ආගමක්. අද ඉස්ලාම් බැතිමතුන් මෙහෙ 2,600,000 ක් ඉන්නවා, එනම් ඇමෙරිකන් ජනගහණයෙන් 0.8% ක් බැතිමතුන් ඉන්නා ආගමක්. නමුත් ඔවුන් ඇමෙරිකන් ව්‍යවස්ථාවේ ප්‍රථම අයිතිය වූ නිදහස් ප්‍රකාශනයට ඇති අයිතිය දන්නා, එයින් තමන්ගේ ද අයිතීන් ආරක්ෂා වෙන බව දන්නා අය.

  3. ravi said, on සැප්තැම්බර් 16, 2012 at 8:00 පෙ.ව.

    පුසී රයට්ල කරපු වැඩේ නම් කොහොමවත් අනුමත කරන්න බැහැ.එහෙම කිව්වොත් එක අතකට වැරදියි…මෙහෙම කියන්නම් …පුසී රයට්ල තම විරෝධය දක්වපු ආකාරය කොහොමවත් අනුමත කරන්න බැහැ.

    පුටින් කියන්නෙ වහාම බලයෙන් පහකරන්න ඕන ආඥාදායකයෙක්…ඒකාධිපතියෙක්…බලය පවත්වගන්න ඕනම දහදුරා වැඩක් කරන්න පැකිලෙන්නෙ නැති මනුස්සයෙක්..ඒකෙ කිසිම තර්කයක් නෑ. ඒ වගේම පුටින්ට විරුද්ධව උද්ඝෝෂනය කරන්න හැම රුසියානුවෙකුටම තියෙන්නෙ ශුද්ධ වූ අයිතියක්..ඒ අයිතිය කිසිම අඩුවක් නැතුව පුසි රයට්ලටත් තියනවා. ඒත් අපි අමතක නොකල යුතු තව කාරණයක් තියනවා. රුසියානු ක්‍රිස්තු භක්තිකයින්ට කාගෙන්වත් බාධාවක් නොවී තමන්ගෙ ආගම නිදහසේ ඇදහීමටත් ඒ හා සමානම ශුද්ධවූ අයිතියක් තියන බව.

    පුසී රයට්ල එදා තම අයිතිය පාවිච්චි කරන ගමන් උල්ලංඝනය කලේ ක්‍රිස්තු භක්තිකයන්ගෙ ඒ අයිතිය. පුටින් ඒ වැඩේ දඩමීමා කරගෙන තමන්ගෙ අභිමතාර්ථය ඉෂ්ඨ කරගත්ත එක වෙනම කතාවක්…ඒක හරිය කියල කියනව එහෙම නෙවෙයි මේ…

    • arunishapiro said, on සැප්තැම්බර් 16, 2012 at 8:25 පෙ.ව.

      ravi,

      රවී මේ කියන්නේ 1922 සිට 1991 දක්වා ක්‍රිස්තියානි ආගම පමණක් නෙමෙයි හැම ආගමක් ම අබිං යැයි තම වැසියන්ට තහනම් කරපු රුසියාවේ ආණ්ඩුවට හදිසියේ ම රුසියානු ක්‍රිස්තු භක්තියකයන්ට බාධාවක් නොවී තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට අයිතියක් දෙන්න කැක්කුමක් ඇති වෙච්ච එක ගැන නේද?!!!! පල්ලියේ වස්තුව රාජ සන්තක කර, ආගම හාස්‍යයට ලක් කර, බැතිමතුන්ට වදහිංසා කර, රජය මඟින් ප්‍රතිපත්ති ගෙනැවිත් පාසැල් වල අගාරිකත්වය පැතිර වීම නිවැරදි යැයි කියූ රටක් ගැන නේද? ආගමික නායකයන් වෙඩි තබා මරා, සිර කඳවුරු වලට යවා, වැඩ කඳවුරු වලට යවා, මානසික රෝහල් වලට දැමූ රටක් ගැන නේද? ආගම විශ්වාසය මනෝවිද්‍යාත්මක වූ දඬුවම් ලැබිය හැකි වරදක් වූ රටක් නේද?

      එහෙම පරිසරයක ඇතිදැඩි වෙච්ච පුසි රයට්ලා හදිසියේ ම පූටින් කිව්වම පල්ලියට ගරහන්න එපා කියල වෙනස් විය යුතුයි ද?!!! එහෙම නැත්නම් මෙහි දී ක්‍රිස්තියානි ආගමට කොච්චර පහර දුන්නත්, පූටින් ගැන සඳහන් නොවුනා නම් ඔවුන්ට සිරගත වෙන්නට සිද්ධ වේ ද?!!!!

      පූටින්ගේ අහිතකර ප්‍රතිපත්ති නිසා රුසියන් අය රටින් පිටවෙන්න පටන් ගත්තේ මේ උද්ඝෝෂණ වලට කළින්.

      • ravi said, on සැප්තැම්බර් 16, 2012 at 2:18 ප.ව.

        / රවී මේ කියන්නේ 1922 සිට 1991 දක්වා ක්‍රිස්තියානි ආගම පමණක් නෙමෙයි හැම ආගමක් ම අබිං යැයි තම වැසියන්ට තහනම් කරපු රුසියාවේ ආණ්ඩුවට හදිසියේ ම රුසියානු ක්‍රිස්තු භක්තියකයන්ට බාධාවක් නොවී තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට අයිතියක් දෙන්න කැක්කුමක් ඇති වෙච්ච එක ගැන නේද?!!! /

        අරුණි මම බොහොම පැහැදිලිව කිව්වෙ පුසී රයට්ල කරපු වැඩේ වැරදියි කියල විතරයි….බාධාවකින් තොරව ආගමක් ඇදහීමට හැමකෙනෙකුටම පරම අයිතියක් තියනව..

        එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙ පළමුවන සංශෝධනයෙන් තහවුරු කරල තියෙන නිදහසේ ආගමක් ඇදහීමට ඇති අයිතියටයි පුසී රයට්ල 2012 පෙබරවාරි 12 වෙනිද බාධා කලේ…..

        / එහෙම පරිසරයක ඇතිදැඩි වෙච්ච පුසි රයට්ලා හදිසියේ ම පූටින් කිව්වම පල්ලියට ගරහන්න එපා කියල වෙනස් විය යුතුයි ද?!! /

        දැඩි ආගම් විරෝධී සෝවියට් පාලන තන්ත්‍රය බිඳවැටිල දැනට අවුරුදු 21 වෙනව. සිර දඬුවම් නියම වුනු පුසී රයට් සාමාජිකාවන් තිදෙනාගේ වයස අවුරුදු 22, 24 සහ 30 ක්…එතකොට වැඩිමහල්ම සාමාජිකාවට වයස 9 දි තමයි නැවත ආගමික නිදහස රුසියාවට ලැබෙන්නෙ..අනිත් දෙන්නට ඒ වෙනකොට වයස අවුරුද්දක් සහ අවුරුදු 3 ක්..මේ නිසා ඔවුන් හැදී වැඩුනේ නිර් ආගමික පරිසරයක් කියන තර්කය නම් පිළිගන්ට අමාරුයි නේද?

        අනික් වැදගත්ම කාරණය නම් ඔවුන් ක්‍රිස්තියානි ආගම විශ්වාස කරන එක නොකරන එක ඔවුන්ගෙ පෞද්ගලික වැඩක්..ඒ නිසාම බැතිමතුන් රැසක් මැදට කඩාගෙන පැනල උඩ පනින්ට දඟලන්ට කොහෙන්ද එයාලට අයිතියක් ආවෙ?

        / එහෙම නැත්නම් මෙහි දී ක්‍රිස්තියානි ආගමට කොච්චර පහර දුන්නත්, පූටින් ගැන සඳහන් නොවුනා නම් ඔවුන්ට සිරගත වෙන්නට සිද්ධ වේ ද?!!!! /

        ඊට පස්සෙ වෙච්ච දේ ගැන මගේ තර්කයක් නෑ අරුණි..ඒ වැඩේ වැරදියි..ඒත් මම කියන්නෙ ඊට කලින් පුසී රයට්ල කරපු වැඩෙත් වැරදියි. ඔයිට කලිනුත් රතු චතුරශ්‍රයෙ වගෙ ප්‍රසිද්ධ තැන්වල පුසී රයට්ල තම සංදර්ශන පවත්වල තියනවනෙ..ඒත් කවුරුත් එයාලව හිරේ දැම්මෙ නෑනෙ..මෙතන උනේ තමන්ව මර්දනය කරන්න පොටක් පූටින්ට එයාලම හොයල දුන්නු එක කියල හිතෙන්නෙ නැද්ද?

        The trial and conviction have attracted considerable criticism, particularly in the West. Public opinion in Russia has generally been less sympathetic towards the women.

        මෙන්න සැබෑ තත්වය….ඔවුන් නිදහස උදාකරල දෙන්න හදන තමන්ගෙම මිනිස්සු අතරෙ ඔවුන්ට තියෙන පිළිගැනීම අන්න එහෙමයි….කාගෙද වරද?

        හැමෝම මේ දවස්වල නැඟල යන තවලමට ගොඩ නොවී උඩුගං බලායන විකල්ප අදහසක් මේ…..

        • arunishapiro said, on සැප්තැම්බර් 16, 2012 at 3:24 ප.ව.

          ravi,

          ඔව්, පුසි රයට්ලා මේ පල්ලියේ දී විතරක් නෙමෙයි වෙනත් තැන් වලට ද කඩා පැනලා කලබල ඇති කරමින් බාධා කරමින් නටලා විඩියෝ හදලා අන්තර්ජාලයේ දාන නීති විරෝධී වැරදි වැඩ තමයි. ඒවාට නඩු යනවා. ඒවාට නියමිත දඬුවම් දිය යුතුයි. මම හිතන්නේ ඔවුන් ද ඊට එකඟයි. එනම්, වැරැද්දට නියමිත දඬුවම් ලැබීමට.

          මෙතැන දී වෙන්නෙ නියමිත දඬුවම දීම නෙමෙයි. මොකද, රුසියානු සත්‍ය ලබ්ධික පල්ලියත් statement එකක් නිකුත් කරලා තියෙනවා සමාව දෙන්න කියාත්, මෙච්චර දඬුවමක් දිය යුතු නැහැයි කියාත්.

          ඒත් බාධාවකින් තොරව ආගම ඇදහීමට ඇති අයිතිය “රජයේ බාධාවකින් තොරව ආගම ඇදහීමට ඇති අයිතිය” විය යුතුයි. මෙතැන දී පුසි රයට්ලා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ පූටින් බලයෙන් පහ කරන්න කියලා. එය ඔවුන් දක්වන්නේ යාඥාවක් හැටියට. Punk Prayer: Mother of God Drive Putin Away. එහෙම බැලුවොත් එයාලා පල්ලියට ඇවිත් කරලා තියෙන්නෙ යාඥාවක් නේද? 🙂

          එක්සත් ජනපද ආණ්ඩුවේ ඇති ආගමික නිදහස වෙන රටක දී බලපාන්නේ නැති එක පැත්තකට දාමු. මොකද මෙහෙ අයට නිදහස් අයිතීන් දීලා තියෙන්නෙ ස්වභාව ධර්මය හා දෙවියන් විසින්. ඒක රටේ පාලන බලය අල්ලා ගන්න මිනිසෙකුට ඉවත් කරන්නට බැහැනේ.

          මැඩෝනා වගේ අය සපෝට් කළාට, මම ජයවේවා කිව්වට, බහුතර බටහිර රටවල සංවිධාන සහ ආගමික නිදහස ගැන කතා කරන අය කාන්තා විමුක්තිවාදීන්ට හා පන්ක් රොක් ගෲප් එකට සපෝට් දෙනවා කියලා නැහැ. ඩේලි මේල් දඬුවම් දිය යුතු යැයි හිතන්නෙ එයා පමණයි කිව්වට අනිත් පැත්තෙන් ඔයාම ලියනවානේ රුසියාවේ ම එයාලට ප්‍රසාදයක් නැහැයි කියලත්. ඉතින් බලාගෙන යද්දී තවලම යන පැත්තට වගේ රවීගේ අදහස් දුවන්නෙම. එහෙම බලද්දී මේ ජන උද්ඝෝෂණයට ආපු අයයි, මැඩෝනා ඇතුළු ටික දෙනෙක් විතරයි උඩුගං බලා යන්නට හදන උත්සාහයේ ඉන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: