අරුණි ශපීරෝ‍ වෙතින්

නික්සන් ගෙදර යැව්වේ ජෝන් ලෙනන් ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 17, 2012

ජෝන් ලෙනන් ගේ මැද නම වින්ස්ටන් ය. දෙවැනි ලෝක යුද්ධය මැද (1940) දී ඉපදෙන ඔහුට බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් නිසා ඒ මැද නම වැටුනේලු. අගමැතිවරයෙකුගේ නමක් ලැබුනාට ඔහුට මව්පිය සෙනෙහස ලැබුනේ නැත. ළමා කාලය හා ගැටවිර විය ඔහු දඩබ්බර ලෙසින් ගෙවා දමන්නේ තමනට නැති අනුන්ට ඇති දෙමව්පිය දූ දරු සබඳතාවයන් ගැන වූ ද්වේශයකින් යැයි ඔහු ම කියා ඇත.

දඩබ්බර හැදියාව නිසා යන යන සෑම පාසැලකින් ම, කලායතනයකින් ම පන්නා දැමෙන ඔහු පසුව බීට්ල්ස් කණ්ඩායම හා එකතු වී පැය දස දහසක් වෙහෙසී බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම් අතර ඉහළ තැනක් ගන්නට සමත් වෙයි. රැජිනගේ මව ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රදළ සමාජය ඉදිරියේ 1963 දී දැක් වූ සංදර්ශනයක දී ඔහු තම ප්‍රේක්ෂකයන්ට මෙසේ කියයි: “අපේ ඊ ළඟ සිංදුවට ඔබලාගේ සහාය අවශ්‍යයි. ඔය ලාබ පුටුවල වාඩිවෙලා ඉන්න අය අත්පුඩි ගහන්න .. ඉතිරි අය, ඔයාලගේ අබරණ සොලවන්න.”

1964 වෙද්දී ඇමෙරිකාවේ රූපවාහිනි වැඩ සටහනකින් පසු බීට්ල්ස් කණ්ඩායම ඉතා ඉක්මණින් ඇමෙරිකාව පුරා මෙන් ම ලෝකය පුරා ද ප්‍රසිද්ධියට පත් වෙයි. වසර දෙකක් ලෝකය වටා සංගීත සංදර්ශන නොකැඩී පැවැත්වේ. චිත්‍රපටි බිහිවෙති.

බීට්ල්ස් කණ්ඩායමට ලෝක ජනප්‍රියත්වය ඉහළින් ම තිබි 1965 දී ඔහු “අපි දැන් ජීසස්ට වඩා ජනප්‍රියයි,” යනුවෙන් මාධ්‍ය හමුවක දී කියයි. ලෙනන්ගේ කතා හුරු බ්‍රිතාන්‍යය ඒ කතාවට එතරම් අවධානයක් යොමු නොකළහ. මාස කිහිපයකට පසු 1966 දී ඇමෙරිකාවේ ගැටවර වයසේ අයට වූ සඟරාවක් එය පළ කරන ලදි. ඔහුගේ විශාලතම රසික එකතුව මෙහි සිටියහ. ඇලබෑමා වැනි දකුණු ප්‍රාන්ත වල රේඩියෝ ස්ටේෂන් එකක් දෙකක් ඔහුගේ සිංදු ප්‍රචාරය නවතා දැමූහ. ලෝක මාධ්‍ය විසින් එය ආන්දෝලනයක් ලෙසින් පතුරුවා හැරියේය. “මම ජේසුට වඩා ඉහළ යැයි කිව්වේ නැහැ, මම ක්‍රිස්තු විරෝධියෙක් යැයි කිව්වෙ නැහැ, ඒක කියපු විදියෙන් වෙනස් කරලා ඔවුන් පාවිච්චි කරනවා,” යැයි ලෙනන් මාධ්‍යය හමුවේ කීවේය.

බොර දියේ මාළු බෑම ජීවිකාව වන ලෝක මාධ්‍යවේදීන් නොයෙක් විදියෙන් කතාව වෙනස් කරමින් පත්තර හා සඟරා විකුණා ගත්හ. බොර දියේ මාළු බාන අනෙකුත් කල්ලි ද බීට්ල්ස් සංගීත තැටි පුළුස්සන මෙහෙයුම් සංවිධාන කළහ. අගෝස්තු 19 ටෙනසි හි මෙම්ෆිස් නගරයේ සංවිධානය වූ “දැවැන්ත බීට්ල්ස් තැටි පුළුස්සන උත්සාහයේ” විඩියෝ පටිවල 100 ක සෙනඟක් වත් නැති බව දැකිය හැකියි. එය සංසන්දනය කළ යුත්තේ බීට්ල්ස් ප්‍රසංගයන්ට සහභාගී වූ පිරිස සමඟ ය. බහුතර ඇමෙරිකානුවන් හා සෙසු ලෝකය ද බීට්ල්ස් සංගීතය ඇසීමෙන් ඒ සංගීතය මිල දී ගැනීමෙන් වැළකී සිටියේ නැත. බීට්ල්ස්ලාගේ ඇමෙරිකන් සංගීත ප්‍රසංග සියල්ල ම පැවැත්විණ. ඒ අවධිය බීට්ල්ස් නිෂ්පාදන වේගයෙන් අළෙවි වූ සමයක් විය. පුච්චන්නත් තැටි මිල දී ගන්න එපැයි!!!

මේ වියට්නාම් යුද්ධයට ඇමෙරිකාව එකතු වූ සමය ද විය. ලින්ඩන් ජොන්සන් විසින් ඇමෙරිකන් හමුදාව වියට්නාමයට පිටත් කර හරිද්දී එහි කැමැත්තෙන් ගිය ඇමෙරිකන් යුද භටයන් බොහොමයක් එහි වූ මෙහෙයුම් දුර්වලතා දැකියහ. යුද අරමුණ කුමක් දැයි විමසූහ. 1967 ඔක්තෝබර් මාසයේ දී වොෂිංටන් දිස්ත්‍රික්කයේ පා ගමනින් ගිය මිලියනයක ඇමෙරිකන් ජනතාව ඊට විරෝධය පෑහ.

ඇමෙරිකාව තුල යුද්ධයට විරුද්ධව නැඟ ආ ජනඝෝෂාව නොයෙක් පැති වලින් ඇරඹෙද්දී බොර දියේ මාළු බානා අය ද ඊට එකතු වූහ. Tariq Ali; Jerry Rubin; Angela Davis; Abbie Hoffman; කළු දිවියන් සංගමය යනාදීන් සමඟ සාමය ප්‍රිය කළ ස්මොදර්ස් බ්‍රදර්ස් හා ජෝන් ලෙනන් ද යුද්ධයට එරෙහිව සාම විප්ලවයක් ගැන ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශයට එකතු විය.

සාමකාමී විප්ලවය ගැන ගැයූ ලෙනන්ගේ සිංදු රොක් ඇන්ඩ් රෝල් තහනම් වූ රුසියාවේ අයට අහන්නට ලැබුනේ හොරෙන් රිංගා ගත් තැටි වලින් පමණි. බීට්ල්ස්ලා ගැන හොඳක් කිව්වොත් සිරගත වේ යැයි බියෙන් රුසියානුවන් පසු වූ සමයකි!!! මිලියන 40 කට වඩා මනුෂ්‍යයන් හාමතෙන් මිය ගොස් තිබිය දී චීනයට ලෙනන් සිංදු අහන්න වේලාවක් නොතිබුණි. දෙයියෝ අදහන්නෙ නැති වුනාම යුද්ධ නැති ව ගිහින් සියළු ව්‍යසන දුරු වෙනවා යැයි සිංදු කියන ලෙනන්ට චීන්නු ගැනත් කැක්කුමක් තියෙන්න නැතිව ඇති!!

1968 දී රිචඩ් නික්සන් වියට්නාම් යුද්ධය අවසන් කරන්නට චන්ද පොරොන්දුවක් දෙයි. එහෙත් බලයට පැමිණි ඔහු 1969 දී වියට්නාමයෙන් ඉවත් වීම කවදා සිද්ධ වේ දැයි කියන්නට බැහැයි පවසයි!!!

පළමු විවාහයේ සිටිය දී ම යොකෝ ඔනෝ නම් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ජපන් කාන්තාව හා එකතුවෙන ලෙනන් 1969 දී බීට්ල්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි. ලෙනන් නිව් යෝර්ක් නගරය තම වාසස්ථානය කරගනියි. ඔහු කියන්නේ නිර්මාණයට ලොව වඩාත් ම සුදුසු පරිසරය ඇත්තේ නිව් යෝර්ක් නගරයේ කියාය. එසේම බ්‍රිතාන්‍යය වැඩකරන පංතියේ අයෙකුට අවස්ථාවක් නොදෙන රටක් යැයි ද ලෙනන් කියයි.

ලෙනන් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් එකකින් පදිංචියට අවසරය පමණක් ලද්දෙකි. ඔහු ඇමෙරිකන් පුරවැසියෙක් නොවූවෙකි. “අපි කියන්නෙ මෙච්චරයි, සාමයට අවස්ථාවක් දෙන්න,” යන සිංදුව ජනප්‍රියත්වයෙන් ඉහළ ගොස් මිලියන පිරිසක් වෙතින් වොෂිංටන් නගරයේ තවත් රැළියක දී ගැයෙන්නක් බවට පත්වෙයි. එය එවක ඇමෙරිකන් ජාතික ගීය වෙනුවට සාම රැළි වල දී ගැයුණකි.

1970 දී රිචඩ් නික්සන් කාම්බෝජයට හමුදාව යවයි. ඊට විරෝධය පෑ කැන්සාස් විශ්ව විද්‍යාලයේ පාසැල් සිසුන් හතර දෙනෙක් නැෂනල් ගාඩ් නම් ජාතික ආරක්ෂා භටයන් වෙතින් වෙඩි කා මරණයට පත් වූහ. යුද විරෝධය තවත් දැඩි වුණි. 1971 දී ලෙනන් ගේ “හිතන්න හැමෝම සාමයෙන් ජීවත් වෙන හැටි” (imagine) සිංදුව එළියට එයි. මාධ්‍ය හමුවක දී තමා තමන් අනුගමනය කරන්නේ ගාන්ධි ගිය මඟ, මාටින් ලූතර් ජූනියර් ගිය මඟ, එනම් සාමකාමීව විරෝධය පෑම යැයි කියා සිටියි. ඔවුන් වෙඩි කා මිය ගිය බවත් එහි දී ලෙනන් කීය.

ලෙනන් නම් කලාකරුවා ගැන ඇමෙරිකන් ආණ්ඩුව බිය වූවා යැයි බ්‍රිතාන්‍ය ජාතික තාරික් අලි කියයි. එහෙත් ඔවුන් ඊට වඩා බියෙන් සිටින ආණ්ඩු, එනම් රුසියාවේ ලෙනන් තහනම නොදකින්නට ඇස්පියා ගෙන සිටිනා අයයි!!!

අදහසක කාලය පැමිණි කල එය නවතන්නට කිසිවකුට බැරි ය. සාමය ගැන ගයන ලෙනන්ගේ අදහස් බහුතර ඇමෙරිකන් අදහස බවට පත්විණ. නීති විරෝධී වූ මරිජුවානා සිගරට් දෙකක් රහස් පොලිස් නිලධාරියෙකුට දෙන්න ගිය නිසා වසර දෙකකට සිරගත වූ ජෝන් සින්ක්ලෙයාර් නිදහස් කරන්න යැයි පැය 12 ක සංගීත ප්‍රසංගයක් ලෙනන් පැවැත්විය. එය රට පුරා ප්‍රචාරය කරන ලදි. මහජන ප්‍රසාදය නිසා වෙනත් කිසිවක් කරගත නොහැකි වූ ආණ්ඩුව සින්ක්ලෙයාර්ව නිදහස් කළේය.

ඇමෙරිකන් නිදහස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, ඇමෙරිකානුවන් විසින් පිළිගත් සාම නායකයෙක් බවට ජෝන් ලෙනන් පත්විය.

ජාතියක් යැයි කියා ගැනීම වාර්ගිකවාදයක් සේ සැලකූ කළු දිවියන්ගේ සංගමය කීවේ ජාතිකත්වය නැති කිරීමෙන් වාර්ගිකවාදය නැති වී යයි කියාය. මාක්ස්වාදීන් ඇතුළු සමානාත්මවාදීන් බොහොමයක් මේ හා සමාන අදහස් දරති. එනම් අනිත් සියළු වාද වලින් බැහැරව සියල්ලන් ම ඔවුන්ගේ වාදය වැළඳ ගත යුතු යැයි කීමයි. එවිට සම සැලකිලි ලැබේවි කියා කීමයි. ඔවුන් බලය අල්ලා ගන්නට ගෙන ගිය යටි කූට්ටු අවිගත් මෙහෙයුම් දැක්කේ නැත. ලෙනන් කළු දිවියන්ගේ හා සුදු දිවියන්ගේ අදහස් තුලින් දැක්කේ තමන් වැනි කලාකරුවෙකු සතු නිදහස් ප්‍රකාශනයට ඇති අයිතිය පමණි. ඒ කඩතුරාවෙන් ඔවුන් ගෙන ගිය පුද්ගල ජීවිත හා දේපල හානියට තුඩු දුන් මෙහෙයුම් ගැනත් ලෙනන් සොයා බැලුවේ නැත.

සෙනෙට් සභික ස්ට්‍රෝම් තර්ම්බුල් විසින් විනාශකාරී වූ රැඩිකල් වාමාංශිකයන් ගැන සොයා බලන්නට නව පනතක් ගෙන එයි. එයින් පටන් ගැනෙනා, රහසින් දුරකතන සංවාද වලට සවන් දීම වැනි බොහෝ කටයුතු ඇමෙරිකන් ව්‍යවස්ථාවට පටහැණි වූ දේවල් ය. ජෝර්ජ් බුෂ් පුතා ගෙනා දේශප්‍රේමී පනත හා සමාන වූවකි!!! එදා ලෙනන්ට සහාය දුන් ඇමෙරිකානුවන්ව මෙදා රවටන්නට බුෂ් පුතාට හැකිවිය!!!

The U.S. vs John Lennon නඩුව (2006 චිත්‍රපටිය නඩුව ගැනයි) එංගලන්තයේ දී ලෙනන් මරිජුවානා ළඟ තිබි වරදට හසු වූවා කියා ඇමෙරිකන් ග්‍රීන් කාඩ් පත අහිමි කරවා ඔහුව ඇමෙරිකාවෙන් පිටත් කරවන්නට ගත් උත්සාහයකි. එහෙත් ඔහුට නිදහස් අදහස් ප්‍රකාශයට ඉඩක් ලැබි එකම තැන නිව් යෝර්ක් නගරය යැයි ඔහු කියයි. එහි ජීවත්වෙන්නට ඔහුට උවමනා විය. ධනවාදයට එරෙහි වාමාංශික පක්ෂ හා එකතු වී පිටදේසක්කාරයෙකුට ඇමෙරිකාවේ ජීවත්වෙමින් ඇමෙරිකාවේ ප්‍රතිපත්ති වලට බනින්නට අවසරය ඔහුට ලැබුනේ ඇමෙරිකන් ව්‍යවස්ථාවෙනි!!! එය සදා දිනේවා!!!

ලෙනන් තමන්ව පිටත් කරන්නට ගන්නා උත්සාහයට එරෙහි ව නීතිමය ක්‍රියා මාර්ගයට පිවිසෙයි. නික්සන් නැවතත් බලයට පත්වෙයි. 1973 දී යුද්ධය අවසන් කරන්නට පටන් ගන්නා නික්සන් රජයට ලෙනන් ගැන උනන්දුව ද නැති වී යයි. දවස් තිහක් ඇතුලත පිටත් වී යන්නට යැයි නියමයක් තිබුණ ද, හේ කල් ඉල්ලමින් රටේ රැඳී සිටියේය. නඩුවේ දී ආණ්ඩුවේ රහසිගත ක්‍රියා, දුරකතන වලට අවසර නොමැතිව සවන් දීම් යනාදී සියල්ල එළියට එයි. ඒ පස්සේ හඹා යන මාධ්‍යවේදීන්ට හා නීතීඥවරුන්ට නික්සන් ආණ්ඩුවේ තවත් රහසිගත ක්‍රියා පටිපාටියන් බොහොමයක් සොයා ගන්නට හැකිවේ. ලෙනන් පිටමං කරන උත්සාහය ජනාධිපති නික්සන් දක්වා ඉහළින් පටන් බවත්, ඒවායේ දී රටේ නීති කඩ කරමින් ලෙනන් පිටමං කරන්නට ජනාධිපති නික්සන් ඇඟිලි ගසන ලද බවත් හෙළි වෙයි.

නිදහස් ප්‍රකාශනයට ඇති අයිතියට බාධා පමුණුවන ලද ප්‍රබල ආණ්ඩුවකට විරෝධය පා ජයගත් සාමකාමී නායකයෙකු ලෙස ලෙනන් ඇමෙරිකන් ඉතිහාසයට එකතු වෙයි. නඩුව දිනන ඔහු ඇමෙරිකාවේ පදිංචියට නීත්‍යානුකූල අවසරය ලබයි. උසාවියේ පඩිපෙළ අසල දී අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙන ලෙනන් කියන්නේ “ඉතින් ඒක එයාල කියන විදිය තමයි, කාලයාගේ ඇවෑමෙන් සියළු විලුම් තුවාල වෙනවා,” කියායි!!! “Well, it’s like they say, time wounds all heals.” – John Lennon

** උඩ පින්තූරය නිව් යෝර්ක් නගරයේ වාසයට නීතියෙන් අවසරය ලැබි පසු කාලයක ගන්නා ලද්දකි. එදා “හිතන්න කිසිම ආගමක් නැත්නම්,” ගැයූ ජෝන් ලෙනන් මෙදා කුරුසයක් පැළැඳ ඉන්නේ විලාසිතාවක් හැටියට පමණක් ද?!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on සැප්තැම්බර් 17, 2012 at 9:01 පෙ.ව.

    වෝටර්ගේට් සිද්ධියේ බලපෑම කොහොමද?

    • arunishapiro said, on සැප්තැම්බර් 17, 2012 at 9:05 පෙ.ව.

      විචාරක,

      රහසින් දුරකතන සංවාද වලට සවන් දෙනවා යැයි ලෙනන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ කියා සිටියා. නඩුව යද්දී ඒවා සත්‍යය බව හෙළි වෙච්ච නිසා නික්සන් රජය රහසින් කොතරම් දුරකතන සංවාද වලට සවන් දෙනවා දැයි සොයන්නට මාධ්‍යය විසින් පටන් ගැනුණා. ඒ සමඟින් මාධ්‍ය සහ පොලීසිය රජයේ ක්‍රියාපටිපාටිය දිහාට හැරුණු විමර්ශනය තමයි වෝටර්ගේට් දක්වා යන්නේ. ඔත්තු සපයා ඇත්තේ නික්සන් රජයේ වූ FBI ඒජන්තවරයෙක් වන William Mark Felt, Sr. බව පසුකාලයක හෙළි කරනවා.

      J. Edgar (2011) සත්‍ය කතාවක් වටා ගෙතෙන හොඳ ප්‍රබන්ධයක්.

  2. maathalan said, on සැප්තැම්බර් 17, 2012 at 11:27 ප.ව.

    ඇත්තටම ඉමැජින් එකේ තියෙනවා වගේ ළොකයක් තියෙනවනම් කොච්චර අපූරුද…? ක්‍රොස් එක දාන්න ඇත්තේ කලින් කියපු කතාව බොරු කියලා පෙන්නන්න වෙන්න ඇති.

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2012 at 7:13 පෙ.ව.

      maathalan,

      එහෙම ලෝකයක් තියෙනවානේ මාතලන්, සිතෙහි මවාගන්න යැයි කියන ලෝකය සිතෙහි මවාගෙන ඉන්න අය කොච්චරක් ඉන්නවා ද? ඒත් එහෙම සිතෙහි මවාගත්තු පළියට ඒ විදියට දේවල් සිද්ධ වෙන්නෙ නැති බව දන්නෙ ඉතා ටික දෙනානේ.

  3. මිස්ටර් හයිඩ් said, on සැප්තැම්බර් 18, 2012 at 1:52 පෙ.ව.

    සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය පාඩමක් මතක් වුනා. ඒක බිට්ල්ස්ලගේ ම Blowin in the Wind ලියල තිබ්බේ බොබ් ඩිලන්. එකත් මේ වගේම (මතකේ හරි නම්) වියට්නාම් යුද්ධෙට එරෙහි උද්ඝෝෂණ වල තේමා ගීතයක් වෙලා තිබුනා

    • මිස්ටර් හයිඩ් said, on සැප්තැම්බර් 18, 2012 at 1:58 පෙ.ව.

      වැරදුනානේ බොබ් ඩිලන් බීට්ල්ස් වල කෙනෙක් නෙවෙයිනේ. ඒ දවස් වල ආසම විෂය ඒක වුනාට අවුරුදු පහක් හයක් යනකොට අමතක වෙනවා

      • arunishapiro said, on සැප්තැම්බර් 18, 2012 at 7:27 පෙ.ව.

        මිස්ටර් හයිඩ්,

        ඔව් බොබ් ඩිලන් Broadside සඟරාවට ලියපු සිංදුව මුලින් ගයලා තියෙන්නෙ පීටර්, පෝල් ඇන්ඩ් මේරි කියන folk singers ලා. මගෙ මතකයේ තියන හැටියට මගේ ඉංග්‍රීසි සාහිත්‍ය පොතේ සඳහන් කරලා තිබ්බෙ නැහැ සිංදුව කාගේ දැයි කියා. මගේ තාත්තා තමයි මට කිව්වෙ සිංදුව කාගේ ද කියා.

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2012 at 7:25 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      ඔව් බොබ් ඩිලන්ගේ ඒ සිංදුව මගෙත් ඉංග්‍රීසි සාහිත්‍ය පොතේ තිබිලා මටත් මතකයේ තිබ්බ එකක්. ඔව් ඔබ නිවැරදියි, එයත් යුද්ධයට එරෙහිව සාමය හා නිදහස ගැන විරෝධතා රැළි වල ගයන ලද්දක්. හැබැයි ඒ බව නොදන්න කාලේ සුදු අප්පුහාමිව ලංකාවේ දී හමු වූ කාලේ මොකක් ද ප්‍රශ්නයක් එයා මගෙන් ඇහැව්ව ම මම කිව්වා “උත්තරේ මගේ යාළුවේ සුළඟේ පාවෙමින් යන්නක්,” කියල. මම අදහස් කළේ ‘ඒ තරම් පැහැදිලිව පෙනෙන උත්තරයක්’ කියන අදහසින්. ඒකෙ අනිත් අදහස එනම් ‘සුළඟ වගේ අල්ලා ගන්න බැරි උත්තරයක්’ කියන එක නම් නෙමෙයි. මම මේ දැන් එයාගෙන් ඇහැව්වා එදා මගෙන් අහපු ප්‍රශ්නෙ මතක ද කියලා. එයාටත් මතක නැහැ ප්‍රශ්නෙ, මම මෙහෙම උත්තරේ කියපු බව මතක තිබ්බට!!! එයා එදා (80 මැද) මං දිහා බලලා හිනාවුනා ලංකාවේ කෙල්ලෙක් බොබ් ඩිලන් සිංදුවක කෑල්ලකින් උත්තර දෙනවා දැක්කම. අපේ ඉංග්‍රීසි සාහිත්‍ය පොතට දාපු එක්කෙනාට ස්තූති කරන්න ඕනා!!!

  4. අමා said, on සැප්තැම්බර් 18, 2012 at 2:47 පෙ.ව.

    Blowing in the wind සින්දුවත් වියට්නාම් යුද්ධය සහ ලින්ඩන් ජොන්සන් පාලනය ගැන ලියවුනක් නේද?

    මම ඇත්තටම වියට්නාම් යුද්ධය ගැන මුලින් දැන ගන්නේ ප්‍රබන්ධ, ගීත, සාහිත්‍ය නිසයි. මුලින්ම ගොඩක් පොඩි කාලේ බැලුව ටුවර් ඔෆ් ඩියුටි නිසා! එතකොට දෙක තුන වසරේ විතර ඇති. …ඊට පස්සේ හොලිවුඩ් චිත්‍රපටි…ඊළඟට ඒ යුද්ධයට ඇමෙරිකන් ජනතාවගේ විරෝධය දැන ගන්නේ සා පෙළ ඉංග්‍රීසි සාහිත්‍යට Blowing in the wind ගීතය තිබුන නිසා!

    පසු කාලීනව මෙල්බන් හිදී නම් වියට්නාම් ජාතිකයන් ගොඩක් මුණ ගැහෙනවා. සමහරක් දකුණු වියට්නාම් වල පවුල් වලින් පැවතෙන අය නම්, යුද්ධය දිනු උතුර ගැන කතා කරන්නේ අප්‍රසාදයෙන්. හැමෝම වගේ ඔවුන්ගේ ආණ්ඩුවට එරෙහිව කතා කරන්ට බයයි. විරෝධය පාන්ට නිදහසක් නැහැ කියල තමයි කියන්නේ.

    Imagine සින්දුව ගැන – සින්දුවේ කෙලින්ම තියෙනවා මෙහෙම ‘Imagine there’s no countries, It isn’t hard to do, Nothing to kill or die for, And no religion too’ නමුත් ලෙනන් පසුව කියා තිබෙනවා ඔහු කියන්නේ ආගම් නැති ලොවක් කියන එක නෙවි, ආගම් භේද නැති ලොවක් කියන එක කියා. 1980 ලෙනන් ව ඝාතනය කරන මාක් චැප්මන් කියන්නේ ලෙනන්ගේ ‘ජීසස් ට වඩා ජනප්‍රිය’ ප්‍රකාශය සහ ‘Imagine’ ගීතයේ දෙවියන්ට කරන අපහාස මෙන්ම එහි ලෙනන් ‘Imagine no possessions’ කිව්වත්, ඔහුට දේපල විශාල ලෙස තිබීමත් නිසා, ලෙනන් කෙරෙහි වෛර කල බවයි. චැප්මන් ගීතය වෙනස් කර ‘Imagine John Lennon dead’ කියාද කියූ බවයි සඳහන් වෙන්නේ!

    • අමා said, on සැප්තැම්බර් 18, 2012 at 2:51 පෙ.ව.

      අපොයි…යු ටියුබ් ලින්කුව මුළු ප්‍රතිචාරෙටම වැටිලා නෙව. සමාවෙන්ට අක්කේ 😦

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2012 at 7:45 පෙ.ව.

      අමා,

      ඔව්, නංගි නිවැරදියි. එය ලින්ඩන් ජොන්ස්න් පාලනය ගැන, වියට්නම් යුද්ධය ගැන වූ සහ 60 ගණන් වල සිවිල් අයිතීන් ව්‍යාපාරයේ තේමා ගීතයක් ද වෙනවා.

      බලාගෙන යනකොට ටික දෙනෙක් හරි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් කියවලා තියෙනවා වගේ අකුරක් නෑර 😀

      වියට්නාම් යුද්ධය ගැන වඩාත් ම හොඳ ප්‍රබන්ධය යැයි මට හිතෙන්නෙ Platoon (1986) චිත්‍රපටියයි. යුද්ධ ගැන කතා කිරීම සැම විටම අප්‍රසාදය ගෙන එන්නක්. ඒත් එයින් යුද්ධ ලෝකෙ නැවතිලා නැහැ, නවතින්නෙත් නැහැ. ඇමෙරිකාව පැත්තකට වුනොත් ලෝකෙ යුද්ධ නවතිවී කියලා කෙනෙක් හිතනවා නම් එයා ඉතිහාසය කියවා නැති අයෙක්.

      “ඉමැජින්” සිංදුවේ අදහස් ගැන ඊ ළඟට ලියන්න අදහස් කරනවා. ඒ ගැන අමා නංගි ලියා ඇති සියල්ල හරි. ‘ඉමැජින්’ කියන එකට ‘සිතෙහි මවාගන්න’ හැරෙන්නට වෙන එක වචනයක් නැහැ නේද සිංහලෙන්?!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: