අරුණි ශපීරෝ‍ වෙතින්

කොයි බල්ලාට ද රට දෙන්නේ?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 21, 2012

ආගම හා දේශපාලනය ගැන කතා කිරීමෙන් වැළකෙන ලොව බහුතරයක් අද වයස කීය ද, වේතනය කොච්චරක් ද හා යම් භාණ්ඩයක් ගන්නට මුදල් කොපමණක් වැය කළා දැයි අසන්නට පසුබට නොවෙති. අතීතයේ දී ඒවා සියල්ල ම සාමාන්‍ය සමාජයේ කතාබහ කිරීම අශීලාචාර යැයි සලකා පැත්තකට කරන ලද මාතෘකා විය. විද්වතුන්ට, දාර්ශනිකයන්ට හා දේශපාලනයේ යෙදී ඉන්නවුන්ට ඒවා ගැන කතාබහට සමාජයේ අවසරය ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් විද්වතෙක් වන්නට රදළ වංශාධිපති උපතක් අවශ්‍ය නොවුණි. දාර්ශනිකයෙක් වන්නට විශ්ව විද්‍යාලයකින් හෝ දිසාපාමොක් පරම්පරාවකින් උගත ලැබුවෙක් වන්නට අවශ්‍ය නොවුණි. දේශපාලකයෙක් වන්නට ඔටුන්න හිමිකම අනවශ්‍ය ය, ජනප්‍රියත්වය මිසෙක ඒ සඳහා විශේෂිත වූ පුහුණුවක්, හැදියාවක් හෝ උගත්කමක අවශ්‍යතාවයක් ද නොමැති විය. ඉහළ සඳහන් මාතෘකා කතාබහ කිරීම කාලාන්තරයක් තිස්සේ එසේ පැත්තකට කරන ලද අයට නොදැනීම සමාජය වෙනස් වී ගොස් ඒ මාතෘකාවන් ම එසේ පැත්තකට දැමූ අයගේ ජීවිත අතිශය ලෙසින් වෙනසකට භාජනය කරන්නට සමත් වී ඇත.

වෙනසක් ඉල්ලන අය වෙනසක් වූ පමණින් එය යහපත් වෙනසක් වේ යැයි අපේක්ෂා කරති. එහෙත් එය යහපත් වෙනසක් වෙන්නේ කෙසේදැයි විමසන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය නිසා ලෝකයේ බහුතර සමාජයක ඇති වූයේ යහපත් වෙනසකි. එහෙත් අදහස් ප්‍රකාශනයට නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින් ම ප්‍රජාතන්ත්‍රවාදයක් යැයි විචාරය ද රටවැසියන් පැත්තකට දමන ලදි. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු දක්වමින් යහපතක් සිද්ධ වී නැතැයි කියති.

ඔටුනු පැළඳි ලෝකයෙන් ගැලවුන බහුතර ලෝක වැසියන් දේශපාලනය අප්පිරියයි කියන්නේ විනිශ්චයක් කරන්නට පසුබට බැවිනි. ඔටුනු පැළඳි ලෝකයක තවමත් ජීවත් වෙනුයේ නැති වුවත්, යමකට විනිශ්චයක් දීම බෙල්ල ගහලා යන වැඩක් යැයි සලකා පැත්තකට වී නිහඬව සිටිති. එවිට වේදිකාව තනිකර ම බලු පොරයක යෙදෙනා චිම්පන්සියන්ට ඉතිරි කර වැදගත් මිනිස්සු ඉන් බැස ගොසිනි. වේදිකාවෙන් බැස්සාට වේදිකාවේ ගන්නා තීරණ තමන්ට ද බලපාන බව දැක්ක ද, එහෙත් තවමත් වේදිකාවෙන් පැත්තක සිටගෙන ද විනිශ්චයක් කරන්නට බියෙන් පසුවෙති. චිම්පන්සියන්ගේ බලු පොරය දිගට ම පැවැත්වෙයි. මිනිස් ස්වභාවයත් ලෝක ස්වභාවයත් නිසා එය නොනැවතී පැවතෙන්නකි.

බල්ලා කිසිසේත් ම මී මැස්සෙක් ගේ හැදියාවෙන් නොයුතු සත්වයෙකි. බල්ලා යනු තම ස්ථානය කුමක් දැයි සොයා ගෙන එය තමන්ට ද රැළේ අනිත් අයට ද පැහැදිලිව කියා ගන්නා රැළේ සාමාජිකයෙකි. වැඩියෙන් ම අනුන්ව බය කරගන්නට සමත් වෙන බල්ලා රැළේ නායකයාය. මා හැර ගිය බැල්ලී ගිය ගිය හැම තැනම රැළේ නායිකාව වූවාය!!!

බල ලෝභය, වස්තු තණ්හාව හා තමන් සොයා යන දේවල් අත් කරගන්නට ඇති ආශාව මිනිසුන් තුලින් ඉවත් කරන්නට සමත් වූ සැලැස්මක් ලොව නැත. එහෙත් එවැනි සැලසුම් ගැන නිතර අහන්නට ලැබෙයි. ඒවායේ මුලසුන ගන්නා, අනුන් බිය කරගෙන රැළ දක්කා ගෙන යන නායකයන් තමන්ට සමානාත්මතාවයෙන් පිරි සමාජයක් ඇති කළ හැකියැයි මුසාවාද කියති. නායකයාගේ බලය තවත් දැඩි වේ. ඔහුගේ වස්තුව තවත් ගොඩ ගැසේ. දක්කා ගෙන යන රැළ පස්සෙන් එනතෙක් ඔහුගේ සියළු ආශාවන් මුදුන් පත් කරගන්නට ද හැකි වේ.

දේශපාලනය බහුතරයාට අප්‍පිරියාවක් වී ඇත්තේ අපි දකින මේ ප්‍රතිඵලයන් නිසා ය. දේශපාලනය තරම් ඔබේ ජීවිතය වෙනසකට ලක් කරන වෙනත් දැයක් ලොව නැත. අප්පිරියාව පැත්තකට දමා ඒ ගැන සොයා නොබලන්නා තම ජීවිත කාලයේ දී දුක් විඳ ලොව ඉතිරි කර යන්නේ තම දූ දරුවන්ට ද අප්‍පිරියාව වඩවන සමාජයකි.

ගැලිලෙයෝ ගැලිලි ජුපිටර් ග්‍රහලෝකයේ කක්ෂය වටා දුවන උප ග්‍රහයන් හතරක් දකින්නට හැකි දුරේක්ෂයක් නිමැ වූ විට ඔහුව 1616 දී රෝමානු කතෝලික සභාවේ ආගමික දණ්ඩායනයට හසුවිය. ඒ පෘතුවිය විශ්වයේ කේන්ද්‍රස්ථානය යැයි කියූ ක්‍රිස්තියානි දහමේ එවක පදනමට දැඩි පහරක් වැදුණු හෙයිනි. ඒ අස්සේ සමානාත්මතාවය නැත්තේ සමාජ ක්‍රමයේ වැරැද්දෙන් යැයි හඟිස්සවන්නට ගිය වාමාංශිකයන්ගේ පදනම ජානු විද්‍යාවෙන් දෙදරා ගියේය. එහෙත් 2012 වෙද්දී ලෝකයේ දෙවියන් නැහැයි කියන රිචඩ් ඩාව්කින්ස්ට ඉඩක් ඇති සමාජයේ ම දෙවියන් ඉන්නවා යැයි කියන ෆ්‍රැන්සිස් කොලින්ස්ට ද සතුටින් දිවි ගෙවන්නට ඉඩක් ලැබිණ. දෙවියන් පවතින බවට විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් පොතක් ලියූ ෆ්‍රැන්සිස් කොලින්ස්ට, එදා ගැලිලෙයෝව දොට්ට දැමූ රෝමානු කතෝලික පල්ලිය ම, 2009 දී Pontifical Academy of Science වලට ඇතුලත් කරගන්නා ගරු බුහුමන ප්‍රදානය කළේය. සමාජයේ උන්නතිය යනු වැරදි හදාගෙන ඉදිරියට යෑම යැයි නොදන්නා සෙසු ලෝකය, බටහිර අය කළින් කලට තම මතවාද වෙනස් කරනවා යැයි උසුළු විසුළු කරමින් පැරණි වැදගත් අදහස් අතරින් පැරණි හණමිටි අදහස් තෝරා බේරාගනු නොහැකිව තවමත් හණමිටි වල පමණක් ම එල්ලී ගෙන සිටිති.!!!!

නිරර්ථක දෑ විශ්වාස කරන්නට ඔබව පොළඹවිය හැකි අයට ක්‍රෑර දෑ කිරීමට ද ඔබව පොළඹවිය හැකිය,” යැයි වොල්ටෙයාර් විසින් කියන ලදි. අද නිරර්ථක යැයි සැලකෙන්න, එනම් පැත්තකට වී සිටීම හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැතැයි යන්න ගැන දැඩි විශ්වාසයකින් යුතුව එසේ “පැත්තකට වී සිටීම” කරන්නට ඔබ පොළඹවා ඇත්තේ කවුරුන් ද?!!!!

*** තවත් කඩ ඉමක් පසු කළෙමි. මේ සටහනේ සියළු සබැඳි මා විසින් කලින් ලියන ලද සටහන් ඇසුරෙනි. සිංහලෙන් කියවන්නාට අමුණා ගැනීම දැන් තවත් පහසු වේ යැයි සිතමි. 😀

Advertisements

23 Responses

Subscribe to comments with RSS.

  1. රාමා said, on සැප්තැම්බර් 21, 2012 at 11:33 පෙ.ව.

    ” අප්පිරියාව පැත්තකට දමා ඒ ගැන සොයා නොබලන්නා තම ජීවිත කාලයේ දී දුක් විඳ ලොව ඉතිරි කර යන්නේ තම දූ දරුවන්ට ද අප්‍පිරියාව වඩවන සමාජයකි….”.

    අප්පිරියාව පිටාර යන විට තවත් දහස් ගණනක් අය නිකරුනේ පොළවට පොහොර වන්නේ ඔවුන්ගේ වැඩිහිටියන් සක්‍රීයවත්, නිෂ්ක්‍රීයවත් පැවති දේශපාලනයට දුන් සහයෝගය නිසාමයි. අදාළ වන රට අනුව පොහොර වන ජීවිත ප්‍රමාණය වෙනස් විය හැක.

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 11:39 පෙ.ව.

      රාමා,

      පොළවට පොහොර වෙන තැනට එන්නට කළින් දේශපාලනයක් කියා දැයක් ක්‍රියාත්මක වෙමින් තිබුණ බව අමතක කරන්න එපා. සහයෝගය දුන්නත් නැතත් දේශපාලනය සිද්ධ වෙනවා. එහි දී සහයෝගය දෙන්නේ කාට දැයි යන්න තමයි පොළවට පොහොර වෙන එක අඩු කරගන්නට ඇති එකම මඟ.

      • රාමා said, on සැප්තැම්බර් 21, 2012 at 12:04 ප.ව.

        මට තේරෙන හැටියට අපෙත් ඇතුළු සමහර රට වල මිනිස්සුන්ට පොදු විකල්ප නැහැ, සහයෝගය දෙන්නේ කාටදැයි තේරීමට. “උනුත් එකයි මුනුත් එකයි ” තත්වය නිසා. එතනදී තමන්ගේ පරාර්ථය වෙනුවෙන්, වඩාත්ම වාසිදායී තේරීමක් කරනවා මිසක්. දේශපාලනය ප්‍රතිපත්ති නොසලකා තමන්ගේ වාසියට රට වැසියන් ක්‍රියා කරනවා (උනුත් එකයි මුනුත් එකයි අපිත් එකයි) ..

        සමහර විට නොදන්න යකාට වැඩියෙ දන්නා යකා හොඳයි. (ඒත් යකා යකාමයි නේ) හිතන අයත් ඉන්නවා…. ඉතින් දන්න යකුන්ටම , රටවල් සින්න වෙනවා…

        පුද්ගලිකව මම හරි කැමතියි මේ රටේ කවදා හරි “දේශ-පාලනයක්” දකින්න.ඒත් ???

        • රාමා said, on සැප්තැම්බර් 21, 2012 at 12:06 ප.ව.

          ඉහත කමෙන්ටුවේ පරාර්ථය යන්න ස්වාර්ථය ලෙස නිවැරදි විය යුතුයි. 😀

          • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 12:14 ප.ව.

            රාමා,

            මෙතැනයි වැරැද්ද: “පොදු විකල්ප” සොයා යෑම. අදහස් වලින් ජනතාව වැඩියෙන් බෙදෙන තරමට හැමෝටම වැඩියෙන් වාසියි. හැමෝගෙ ම චන්දය දිනාගන්න නම් එක කල්ලියකට පමණක් වාසියක් ගෙන ඒමෙන් බැරි බව එහි දී තමයි අවබෝධ වෙන්නෙ.

            ඔහෙ විතරක් නෙමෙයි දැන් මෙහෙත් තියෙන්නෙ “උනුත් එකයි මුනුත් එකයි” තත්වය. ඒක වෙනස් කරගන්න නම් සැබැවින් ම තමන්ගේ ස්වාර්ථය සොයා යා යුතුයි. අපිට පේන්නෙ එහෙම ගමනේ දී පරාර්ථය හොඳයි කියන අය වැඩියෙන් කෑ ගහන එක. නමුත් එය අනුන් රවටන මායාවක් මිසක් සත්‍යයක් නොවන බව හෙමිහිට මිනිසාට අවබෝධ වීම අද පටන් ගෙන.

            දන්න යක්කුන්ට ම රටවල් සින්න වෙන්නෙ නොදන්න යක්කු අපි හදාගන්න හැටි දන්නෙ නැති නිසයි. එහි දී තමයි “අපිත් එකයි” වෙන්නෙ. ඉතින් අපි වෙනස් වෙන්න නම් අපි දැනුවත් වෙන්න ඕනා. එදාට තමයි ඕනෑම රටකින් අපිට “දේශ-පාලනයක්” දකින්න ඉඩක් ලැබෙන්නෙ.

  2. Inamaluwe Buddadasa said, on සැප්තැම්බර් 21, 2012 at 11:40 පෙ.ව.

    දෙවිවරුන් තවම ඉන්නවා නෝනා මහත්මයා

    මගේ අඩවියටත් පැමිණ බලන්න

    http://ithihaasaya.blogspot.com/

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 12:26 ප.ව.

      Inamaluwe Buddadasa,

      🙂 දෙවිවරු හොයන අයට යන්න ඔන්න ලින්ක් එක තිබ්බා!!! අර මාතලන්ට කිව්වා වගේ අද කුණු බලන්න ඕනෑකමක් නැහැ වගේ ම දෙවිවරු තවම ඉන්නවා ද හොයා බලන්නත් දැන් ඕනෑකමක් නැතිව ගිහින්.

  3. Maathalan said, on සැප්තැම්බර් 21, 2012 at 12:12 ප.ව.

    නෝනේ අර කතා බහට ලක් වෙලා තියෙන චිත්තරපටිය ගැන අදහසක් ලියන්නකෝ.

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 12:18 ප.ව.

      Maathalan,

      ඒ ගැන මොනා ලියන්න ද මාතලන්. අපිට නම් ඒක බලන්න නිදහස තියෙනවා. ඒත් නිදහසක් තිබ්බත් අනුන් හදන කුණු බලන්න ඕනෑකමක් නැහැනේ. වාමාංශිකයන්ට වාමාංශික අදහස් කියන්නට ඉඩත්, ඉස්ලාමීය අයට ඉස්ලාම් දෙයියෝ අනිත් සියළු දෙයියන්ට වඩා ඉහළ යැයි කියන්න නිදහස වගේ ම, ඕනෑම කෙනෙකුට කුණු වුනත් නිර්මාණයට ඇති නිදහස සදා රැකේවා!!!

  4. Kevin Perera (@PereraKevin) said, on සැප්තැම්බර් 21, 2012 at 1:21 ප.ව.

    ලංකාව මේ politic කියන වචනයට සිංහලෙන් දාගෙන තියෙන්නෙම දේශය පාලනය කිරීම නම් රජ පිස්සුවට අදාල වචනයක් නේ . ග්‍රීක මුල් අරුතින් (polītikós) අදහස ශිෂ්ට(civic), පුරවැසියා (citizen)ට අදාල කටයූතු “affairs of the city”කියන එක මිස රජ දේශය පාලනය කිරීම නොවෙයි මේ අපි politics කියන එකට දාගත්තු දේශපාලනය කියන වචනයම අප්සට්. government කියන එකට දාපු වචනය බලන්න “රජය” ඒකත් රජ පිස්ස්සුව. ඔන්න අපේ රටේ රජ හිටියා යටත්වැසියො හිටියා හරියට අද BMW කාර් import වෙලා වරායෙන් එනවා වගේ ප්‍රජාතන්ත්‍රවාදය , පාර්ලිමේන්තුව වගේ ආයතන ආනයනය උනා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ දෙවල් අපිට මණ්ඤ්ඤ්ං තමයි. දේශපාලනය, ව්‍යවස්ථා අපිට ඇලජික් අනේ අපි ඕවට නෑ අපිට වැඩක් නෑ කීම ලංකාවේ දී ආඩම්බරයට කාරණයක්.

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 1:31 ප.ව.

      Kevin,

      ග්‍රීකයන් දේශයක් පාලනයට වගේ ම, පාලකයෙක් තෝරා ගන්නට ද අවසරය දෙන්නේ කල්ලියකට පමණයි. ග්‍රීසියේ වහල්ලු සහ මෝඩයන්ට නැහැනෙ රටේ නායකයන් කවුදැයි තීරණය කරන්න අවස්ථාවක් 😀

      අනික “දේශපාලනය” කරන හැමෝටම දේශය පාලනයට ඉඩක් ලැබෙන්නෙ නැහැනේ!!! ප්‍රජාතන්ත්‍රවාදී දේශයක පාලනය කරන්නේ දේශපාලකයන් නෙමෙයි, එහි පාලකයන් වෙන්නේ ජනතාව තෝරා පත් කරන ලද ‘මහජන නියෝජිතයන්’ නේද?!!! මේ දවස්වල ලංකාවේ නම් මහජන නියෝජිතයන් ද දේශයේ පාලනයට සහභාගී වෙන්නෙ නැහැ වගෙයිනෙ!!! හෙට වෙනකොට ලංකාවේ දේශය පාලනය කිරීම යනු ඔබාමාගේ පඹයා පුච්චනවාට කැමති ද නැත් ද යන සාකච්ඡා වලින් පිරී යන්නක් වෙයි ද?!!!!

      • Kevin Perera (@PereraKevin) said, on සැප්තැම්බර් 21, 2012 at 2:13 ප.ව.

        ‘මහජන නියෝජිතයන්’ ලංකාවේ ලංකාවේ මහජනයා නියොජනය කරණවා නේ අරුණි. බෝක්කුවක් උඩ වාඩිවී බීඩියක් ගහන ලංකාවේ මහ පොලොවේ ඇත්ත මිනිසා බීඩි කොටය ඇලට වීසි කොට ගොස් චන්දය දී පත්කර එවන නායකයන් විවේචනය කරන ඇල්කෙමියාගේ ලිපි කෙතරම් අදේශපාලණිකද කියා රසායන විද්‍යාව පරතෙරට දන්නා ඇල්කෙමි‍යාට තාමත් නොවැටහෙයි. අරුණි ඇමරිකාවේ ඇල්කෙමියා ජර්මනියේ ඔයාල ගොඩ. ලංකාවෙ හිරවෙලා ඉන්න ටිකක් හරි පුරවැසියන් බවට පත්වූ සුලුතරය දැන්වත් වටහා ගත යුතුයි මාලක ආමි කාරයට ගැහුව එක නොවෙයි politics කියන්නේ ඒක උන්ගේ පුද්ගලික වලියක් පොලීසි ගිහින් උන් ඒක බේර ගනියි. තමන් බැංකුවෙ පෝලිමේ ඉදිද්දී පස්සෙන් එන එකා ඉස්සරහට පැන්නම එතනයි තියෙන්නේ politics “affairs of the city”කියන එක අප්සට් ගිහින්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවේ කියන වචනයක් ඇමති තුමාට අදාල දෙයක් නොවෙයි democracy තියෙන්නේ මහ පාරේ ,බස් එකේ ,ගෙදර

        • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 2:28 ප.ව.

          Kevin,

          නලින් සිල්වාට චතුස්කෝටිකය විග්‍රහ කරන්න ඉඩකඩ දෙන අපි රසායන විද්‍යාව දන්න ඇල්කෙමියාටත් දේශපාලනය ගැන කියන්න ඉඩක් දෙන්න ඕනෑ නේද? 🙂 දුර්වලකම් කොතරම් තිබ්බත් මතවාද වැඩිවෙන තරමට හොඳයිනෙ. අප්පිරියාවත්, බියගුළුකමත්, නොදන්නාකමත් නිසා නිහඬව ඉන්න අය වැඩිවෙද්දී තමයි ප්‍රජාතන්ත්‍රවාදය එක්ක තම තමන්ගේ නිදහසත් අතුරුදහන් වී යන්නේ.

          ග්‍රීක රෝම ශිෂ්ඨාචාරය වඳවෙලා ගියේ වරප්‍රසාද ලත් කල්ලියකට පමණක් සංවාදය හිමි වූ නිසා නොවේ ද?

    • Kevin Perera (@PereraKevin) said, on සැප්තැම්බර් 21, 2012 at 1:43 ප.ව.

      වෙනත් විදියකට කියනවනම් අරුණි ලංකාවේ පුරවැසියන් නොමැත අපි civic නැත ඉන්නේ බැංකුවේ කවුන්ටරය වෙත බස් රථයකට එකිනෙකා පසුපස පෝලිමේ යන්නවත් නොදන්න වරිගයක රංචුවකි(නලින් සිල්වාට අනුව අපි චතුස්කෝටික නිසා පෝලිම් පැන හතර අතින් පැමිනේ) ඉතින් මේ වරිග වලට politics,constitution, අදාල දෙයක් නොවේ මේ අයට මර්වින් සිල්වා නායකයෙකු ලෙස හොඳින් ගැලපේ. කඩවසම් නාමල් කුමරු මීලඟට රජවේවා.මාලක බේබි තාත්ත වගේ රජගෙදර කවටයා වෙන එකක් නෑ ඌ ටිකක් මොඩ් වගේ..ටයි දාල උසාවි යන්නේ.

      • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 1:58 ප.ව.

        Kevin,

        ලංකාවේ පුරවැසියන් සිවිල් වෙන්නෙ සංචාරකයෙක් බුද්ධ රූපයක් එක්ක පින්තූර ගත්තොත් ඒ ගැන හැම තැනකම ලියන්නයි අනිත් පැත්තෙන් ආශ්චර්යයක් වෙන්න යන රටක සංචාරකයෙක්ව දූෂණය කරා ම එක සිරස්තලයක් විතරක් දාන්න. කිව්වත් වගේ විද්වතුන් ඉන්නෙ චතුස්කෝටිකය ගැන කියා දෙන්නනේ!!!! නායකයන් ඉන්නෙ ඉන්නෙ ගූගල් වර්ජනයට කෑ ගහන ගමන් IMF මුදල් ඉල්ලන්න ඇමෙරිකාවට වැඳගෙන එන්න. ලංකාවේ රජවරු ඉන්නෙ ගැත්තන්ව සුදු වෑන් වලින් අතුරුදහන් කරන ගමන් අනිත් පැත්තෙන් ඔබාමාගේ පඹයෝ පුච්චද්දී ඒක නම් නිදහස් ප්‍රකාශනයට ඇති අයිතිය කියන්න.

  5. ළිහිණි said, on සැප්තැම්බර් 21, 2012 at 1:31 ප.ව.

    // දේශපාලනය බහුතරයාට අප්‍පිරියාවක් වී ඇත්තේ අපි දකින මේ ප්‍රතිඵලයන් නිසා ය. දේශපාලනය තරම් ඔබේ ජීවිතය වෙනසකට ලක් කරන වෙනත් දැයක් ලොව නැත. අප්පිරියාව පැත්තකට දමා ඒ ගැන සොයා නොබලන්නා තම ජීවිත කාලයේ දී දුක් විඳ ලොව ඉතිරි කර යන්නේ තම දූ දරුවන්ට ද අප්‍පිරියාව වඩවන සමාජයකි.//

    මට හිතෙන්නෙ අද වෙද්දී අපිට ඉතිරි වෙලා තියෙන්නෙත් ඒ වගේම අප්පිරියාව වඩවන දේශපාලන සමාජයක්නෙ

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2012 at 1:33 ප.ව.

      ළිහිණි,

      ඔව් දරුවෝ, ඒක ඔයාලට දායාද කරපු එකට අපි වැරදිකාරයෝ. ඒත් අපි වැරදිකාරයෝ වෙච්ච පමණින් ඔයාලත් අපි කරපු වැරදි ම කරලා තවත් වැරදිකාරයෝ වෙන්න එපා.

  6. Shanthi Chandrasekera said, on සැප්තැම්බර් 21, 2012 at 1:55 ප.ව.

    kalochitha lipiyak thanks Aruni.

  7. Ra said, on සැප්තැම්බර් 21, 2012 at 10:01 ප.ව.

    බලු සමාජවල ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් නැහැ. ඒනිසා කොයි බල්ලාටද රට දෙන්නේ කියා ඇසීම අභව්‍යයි. සියළුම බල්ලන් භය කරගතහැකි, මැර, කඳ බඩ ලොකු, හයියෙන් බුරන බල්ලා රට ගනියි. අනික් බල්ලොන්ට වෙන්නේ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන සද්දෙ වහලා ඉන්න. 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 22, 2012 at 6:36 පෙ.ව.

      Ra,

      ඔව්, Ra හරියට ම හරි!!! ශීර්ෂය අර කළින් දවසක කිව්වා වගේ rhetorical ප්‍රශ්නයක් පමණයි. ඔයාගේ පළමුවෙනි වාක්‍යයට පොඩි සංශෝධනයක් එකතු කරන්න ඕනෑ: බලු සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩක් නැහැ කියන එක. අද ප්‍රජාත්‍රන්තවාදී වූ බහුතර රටවල් ද හයියෙන් බුරන බල්ලන්ට බයේ අනික් බල්ලො ඉන්න කාලයක්. මෙහෙත් අද හයියෙන් බුරන දෙන්නා අතර වැඩි වෙනසක් දකින්නට නැහැ. කොයි එකා වැඩිය හයියෙන් අනිත් බල්ලො බය කරගනියි ද මත රට අල්ලා ගැනීම තීරණය වේවි.

      නමුත් මේ තත්වය හමුවේ අපිට කරන්නට දෙයක් නැහැයි කියා නිහඬ වීමෙන් බල්ලන්ටයිනෙ දිගට ම රට යන්නෙ. ඒත්, එයින් ගොඩ එන්නට විදියක් තියෙනවා. ඇමෙරිකන් පර්යේෂණයේ දැනට යම් සාර්ථකත්වයක් දකින්නට පුළුවන්. ඉදිරියේ දී තව විස්තර.

  8. Chandi said, on සැප්තැම්බර් 22, 2012 at 8:17 පෙ.ව.

    අනේ මටත් තියෙන්නෙ මහත් අප්‍රියාවක්ම පමණයි. කාටද? කතිරය? හිතාගන්න වත් බැහැ. අරුණි ඔයාගේ ඉදිරි විස්තරය බලා ඉන්නවා නංගි.

    • arunishapiro said, on සැප්තැම්බර් 22, 2012 at 9:02 පෙ.ව.

      Chandi,

      අපි අපේ ප්‍රතිපත්ති පාවා දෙන හැම විටෙක දී ම ප්‍රදානය කරන්නේ අප්පිරියාව වැඩි කරන අයට ජයග්‍රහණයක්. බලය අල්ලා ගන්නට ප්‍රතිපත්ති පාවා දෙන අය ඉන්නෙ තමන්ගෙ පැත්තෙ නම් පැත්ත පැරදෙන එක වඩා හොඳයි. ඒ නිසා දැනට කළ යුත්ත අපි නිවැරදි යැයි දකින ප්‍රතිපත්ති මොනවා දැයි අවබෝධයක් ලබන්නට බහුතරයාට දැනුම පතුරුවා හැරීම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: