අරුණි ශපීරෝ‍ වෙතින්

තණකොළ පෙත්තා සහ කූඹියාගේ අන්දරය -උත්තර භාගය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 22, 2012

“රොකී” සහ “ස්ටාර් වෝර්ස්” චිත්‍රපටි වලට උත්තර භාග නොහොත් සීකුවෙල් ලෙසින් චිත්‍රපටි නිමැවුනා සේ පැරණි සම්භව්‍ය උපමා කතාවන්ට ද උත්තර භාගයන් තිබිය යුතුයි. ඉතින් මේ සුප්‍රසිද්ධ උපමා කතාවකට ලියන සීකුවෙල් එකකි.

එකමත් එක කාලයක, තණකොල පෙත්තෙක් සහ කූඹියෙක් භූමි ප්‍රදේශයක වාසය කළහ. ගිම්හානය පුරා තණකොළ පෙත්තා දුව පැන යමින් සෙල්ලම් කළේ කුහුඹියා කාස්ටක අව්වේ කඩිසරව වෙහෙසෙමින් හේමන්තයට ආහාර ගොඩ ගසද්දී ය.

හේමන්තය පැමිණිය කළ, තණකොළ පෙත්තාට බඩගිනි දැනිණ. එක සීතල වූ වැසි වැටෙනා දවසක ඔහු කුහුඹියා සොයා ගියේ ආහාර ටිකක් ඉල්ලා ගන්නටයි.

“උඹට පිස්සු ද?” කුහුඹියා ඇසුවේය. “මම මුළු ගිම්හානයේ ම ඉළ ඇදෙන කන් වෙහෙසුනේ ඔයා හැම අත දුව පනිමින් ජීවිතේ සතුට අහිමි කරගෙන වැඩ කරනවා යැයි මට විහිළු කරද්දී.”

“මම එහෙම කළා ද?” තණකොළ පෙත්තා ඇසුවේ නියාලු බවකිනි.

“ඔව්! ඔයා මට කිව්වෙ මම නූතන ආත්ම සාක්ෂාත්කරණ දර්ශනයේ අරමුණ කුමක් දැයි නොදන්නා පරණ අදහස් තියෙන මොට්ටයෙක් කියලයි.”

“අයියෝ, ඒක ගැන මට කණගාටුයි,” තණකොළ පෙත්තා කීවේය. “මට හිතුනේ නැහැ ඔයා ඔය තරම් සංවේදී අයෙක් කියල. ඒත් අනේ ඔයා මේ වගේ වේලාවක ඒක මට එරෙහිව තියාගන්නෙ නැහැනේ.”

“ඉතින්, මම කෝන්තරයක් තියාගන්නෙ නැහැ -ඒත් මට හොඳ මතකයක් තියෙනවා.”

ඒ වේලාවේ එතැනට තවත් කූඹියෙක් පැමිණියේය.

“ආ, වමා,” පළමු කුහුඹියා කීවේය.

“ආ, ජෝර්ජ්.”

“වමා, ඔයා දන්වා ද මේ තණකොළ පෙත්තා මට කරන්නැයි කියන්නෙ මොකක් ද කියා? එයා කියනවා මම ගිම්හානය පුරා කාස්ටක අව්වෙ වෙහෙසිලා ගොඩගහපු කෑම වලින් ටිකක් එයාට දෙන්නලු.”

“මම හිතුවේ ඉල්ලන්න කළින් ම ඔයා එයත් එක්ක ටිකක් බෙදාගන්න කැමැත්තෙන් ම ඉදිරිපත් වේ යැයි කියලා,” වමා කීවේය.

“මොකක් කිව්වා!!”

“ස්වභාව ධර්මයෙන් අසමාන ලෙසින් තිළිණ ලැබෙන කොට, අපට කරන්න පුළුවන් එකම දේ ඒ අසමානතාව නිවැරදි කරගැනීමයි.”

“ස්වභාව ධර්මයෙන් ලැබෙන තෑගි, මගේ අම්මපා,” ජෝර්ජ් කීවේය. “මට මේ කෑම කන්ද දිගේ උඩට උස්සන් එන්නයි, ගඟක් හරහා තිබිච්ච දර කොටයක් උඩින් අරන් එන්නයි සිද්ධ වුනා -ඒ මුළු කාලයේ ම කූඹිකන්නා එයිදැයි බයෙන් ගැහී ගැහී හිටියෙ. ඇයි මේ කම්මැලි රස්තියාදුකාරයාට බැරි වුනේ තමන්ගේ කෑම හොයාගෙන එකතු කරගන්න?”

“අනේ එහෙම කියන්න එපා, ජෝර්ජ්,” වමා කීවේ සිත සනසන විලාසයෙනි. “දැන් කිසිම කෙනෙක් “රස්තියාදුකාරයා” කියන වචනෙ පාවිච්චි කරන්නෙ නැහැ, දැන් අපි කියන්නෙ “නිවසක් නැති තැනැත්තා” කියලයි.”

“මම කියන්නෙ “රස්තියාදුකාරයා” කියල තමන්ගෙ හිසට වහළක් හදාගන්න බැරි තරම් කම්මැලියෙක්ට. ටිකක් වෙහෙසන්නෙ නැතිව වැස්සෙ තෙමෙන්න කැමති කෙනෙක්ට.”

තණකොළ පෙත්තා මෙහි දී කට දැම්මේය: “මම දැනගෙන හිටියෙ නැහැ මේ විදියට වැස්ස වහීවි කියලා. කාලගුණ වාර්තාව කිව්වෙ “යහපත් උණුසුම්” කාලගුණයක් කියලයි.”

“යහපත් උණුසුම්?” ජෝර්ජ් හුස්මක් ඉහළට ඇද්දේය. “ඒක තමයි කාලගුණ දෙපාර්තමේන්තුවේ අය නෝවාටත් කිව්වෙ!”

වමා මහත් දුකට පත් වූ බවක් පෙන්වීය. “ඔයාගෙ දයාවක් නැතිකම මට පුදුමයක්, ජෝර්ජ් -ඔයාගෙ ආත්මාර්ථකාමීත්වය, ඔයාගෙ කෑදරකම.”

“ඔයාටත් පිස්සු හැදිලා ද, වමා?”

“නැහැ, පිස්සු නැතිවා පමණක් නෙමෙයි, මට අධ්‍යාපනයක් ද ලැබිලා තියෙනවා.”

“මේ දවස්වල ඒක ඊට වඩා නරකයි.”

“පහුගිය ගිම්හානයේ දී මම ගියා ශිෂ්‍යයන් හලාගෙන ගිය බිස්කට් කුඩු පාරක. අයිවි විශ්ව විද්‍යාලයක පංතියකට තමයි ඒකෙ ගියේ.”

“උඹ විශ්ව විද්‍යාලේ ගියා? පුදුමයක් නෙමෙයි එහෙනම් මේ ලොකු වචනයි මුග්ධ අදහසුයි එක්ක ආපහු ආපු එක ගැන.”

“ඒකට උත්තරයක් දීමත් මම හෙළා දකිනවා,” වමා කීවේය. “කෙසේ නමුත්, සමාජ සාධාරණය ගැන පංතිය පැවැත්වූවේ මහාචාර්ය අපැහැදිලි විසින්. එයා විස්තර කළා කොහොම ද ලෝකයේ ප්‍රතිලාභ අසාධාරණ ලෙසින් බෙදිලා තියෙන හැටි ගැන.”

“ලෝකයේ ප්‍රතිලාභ?” ජෝර්ජ් කියුවේය. “ලෝකය නෙමෙයි මේ ආහාර කන්ද උඩට උස්සා ගෙන ගියේ. ලෝකය නෙමෙයි මේ ආහාර ගඟෙන් එහාට අරන් ගියේ. ලෝකයව නෙමෙයි කූඹිකන්නා කන්න බලාගෙන හිටියෙ.”

“ඒක මේ දිහා බලන පටු විදියක්,” වමා කීවේය.

“ඉතින් ඔයා ඔච්චර ත්‍යාගශීලී නම්, ඇයි ඔයාට බැරි මේ තණකොළ පෙත්තාට කන්න දෙන්න?”

“මම දෙන්නම්,” වමා උත්තර දුන්නේය. තණකොළ පෙත්තා වෙත හැරුණු වමා “එන්න මා පස්සෙන්, මම ඔබව එක්කන් යන්නම් ආණ්ඩුවේ සහනාධාර ශාලාවට. එහි තියේවි ආහාර සහ නිදාගන්න හැකි වියළි තැනකුත්.”

ජෝර්ජ් මවිත විය. “ඔයා දැන් සේවය කරන්නෙ ආණ්ඩුවේ ද?”

“මම ඉන්නෙ මහජන සේවයේ,” වමා කීවේ උදාර බවකිනි. “මට මේ ලෝකෙ වෙනසක් ඇති කරන්න ඕනෑ.”

“ඔයා විශ්ව විද්‍යාලෙට ගිහින් තියෙනවා,” ජෝර්ජ් කීය. “ඉතින් ඔයාට ඕනෑ නම් මේ තණකොළ පෙත්තාට හොඳ යහළුවෙක් වෙන්නට, ඇයි ඔයාට බැරි එයාට කියාදෙන්න ගිම්හානයේ වැඩ කරලා හේමන්තයට ඉතිරි කරන්නටැයි කියල?”

“අපිට කිසිම අයිතියක් නැහැ එයාගෙ ජීවිත රටාව වෙනස් කරලා එයාව අපි වගේ අයෙක් බවට හරවන්න. එතකොට ඒක සංස්කෘතික අධිරාජ්‍යවාදයක් වෙනවා.”

ජෝර්ජ් කොතරම් තක්බීරි වූවාදැයි කිවහොත් ඔහුට කිසිවක් කියාගත නොහැකි විය.

තර්කය වමා දිනුවා පමණක් නොව, තණකොළ පෙත්තන් වෙනුවෙන් ඔහුගේ සැලසුම් හේ වැඩි වර්ධනය කළේය. ආරංචි මාර්ගයෙන් ඒ බව පැතිර යද්දී සැතපුම් ගණන් ඈත සිටි තණකොළ පෙත්තෝ එහි ආහ. කාලයක් යද්දී සමහර තරුණ කූඹියන් ද ඒ තණකොළ පෙත්තන්ගේ ජීවිත රටාව අනුගමනය පටන් ගත්හ.

පරණ කූඹි පරම්පරාව මිය යද්දී, වැඩි වැඩියෙන් කූඹි තණකොළ පෙත්තන් හා එකතු වී දුවපැන සෙල්ලම් කරන්නට වූහ. අවසානයේ දී සියළු කූඹීන් සහ සියළු තණකොළ පෙත්තන් මුළු ගිම්හානය පුරා ම දුව පැන යමින් එතැන් පටන් සතුටින් කාලය ගෙවූහ -ඉක්බිතිව හේමන්තය උදාවිය.

***
Thomas Sowell ලියන ලද්දකි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on සැප්තැම්බර් 22, 2012 at 10:49 පෙ.ව.

    හපෝයි…. ආදර්ශමත් කතාවක.. කතන්දර ගොඩයි..

  2. wicharaka විචාරක said, on සැප්තැම්බර් 22, 2012 at 12:55 ප.ව.

    දැන් වෙන්ඩ යන්නෙත් මේ වැඩේම නේද?

    • arunishapiro said, on සැප්තැම්බර් 23, 2012 at 7:32 පෙ.ව.

      විචාරක,

      ඔව්, විචාරක දැන් මුළු ලෝකයම ඉන්නේ හේමන්තයේ උදාව ඈතට ඈතට කල් යාවි කියා බලාපොරොත්තු සහගතව. ඒත් ස්වභාව ධර්මය මිනිසාට ඕනෑ විදියට වැඩ කරපු දවසක් නැති නිසා මිනිසා වෙනස් විය යුතුයි ජීවිතය බේරාගන්නට නම්.

  3. Alchemiya said, on සැප්තැම්බර් 22, 2012 at 1:22 ප.ව.

    හරිම අපූරුයි අරුණි අක්කා……
    දැන් වෙන්න යන්නෙ නෙමෙයි විචාරක.. දැන් වෙන්නෙ මේ වැඩේමයි…..
    කොයි පලාතෙත්… ඒවා ජනසවිය, සමෘද්ධි, රැකියා විරහිත සහනාධාර කියලා විවිධ නම් වලින් එන එක විතරයි වෙනසගගග

    • arunishapiro said, on සැප්තැම්බර් 23, 2012 at 7:43 පෙ.ව.

      Alchemiya,

      අන්තිමට කියන හේමන්තය තවම උදාවෙලා නැහැ ඇල්කෙමියා මල්ලි. අපි ඉන්නෙ “පරණ කූඹි පරම්පරාව මිය යද්දී, වැඩි වැඩියෙන් කූඹි තණකොළ පෙත්තන් හා එකතු වී දුවපැන සෙල්ලම් කරන” අදියරයේ. එහි සිටින වැඩ කරන කූඹියන් තවමත් නිෂ්පාදනයේ යෙදෙන නිසා තණකොල පෙත්තන්ටයි උන් එක්ක එකතු වෙච්ච කූඹීන්ටයි කන්න බොන්නයි ඉන්න වහලකුයි තවම තියෙනවා.

      ලංකාවේ විතරක් නෙමෙයි ජර්මනියේ කින්ඩර්ගෙල්ඩර් ද මේ තත්වයට සහාය වෙන්නක්. හැබැයි ඉතින් මේ තත්වය දිගින් දිගට ම පවතින්නේ පුද්ගලයා තමාට අයිති නැත, පුද්ගලයා වෙහෙසිය යුත්තේ අනිත් අය වෙනුවෙන් ද කියන මතයට ඉඩක් තියෙන නිසාමයි කියලත් නොකියාම බැහැ. ඒ අයිඩියලොජියෙන් ඈත්වෙන්න හැකි වූ දා ට, එනම් සෑම අයෙක් ම තමන්ගේ යහපත සලසා ගැනීමට වගකීමක් දරන්නෙක් යන්න බහුතරයාගේ අදහස හැටියට වෙනස් වූ දාට, තම හිසට තම අතම ය සෙවනැල්ල වගේ, (වෙන කිසිම විදියකින් ඒක කරන්නත් බැරි නිසාම) තමයි කූඹින් ගේ ජීවිතත් තණකොළ පෙත්තන් ගේ ජීවිතත් බේරාගන්න ලැබෙන්නේ.

  4. Shanthi Chandrasekera said, on සැප්තැම්බර් 23, 2012 at 6:29 පෙ.ව.

    matath hithune dan wenna yanneth e wadeda kiya thanks Aruni oyata me wage rasawath ewa bedanawata,

  5. ravi said, on සැප්තැම්බර් 23, 2012 at 8:13 පෙ.ව.

    කූඹි වගෙ හැසිරෙන්නලු….. මේ හිතන්න පුලුවන් මිනිස්සුන්ට 😀 😀

    ( සැ.යු. – ජිහ්වය කපෝලාභ්‍යන්තරයේ ගටා කල ප්‍රකාශයකි. )

  6. Chandi said, on සැප්තැම්බර් 23, 2012 at 12:18 ප.ව.

    අපිට වෙන්න යනදේම ලියා ඇත්තේ හරියට පේන කාරියක් වගේනෙ නංගි. මම හිතන්නෙ අපේ දරුවන්ගෙ කාලෙ වෙනකොට මහ විනාසයක් වේවි කියලයි. අපේ මහත්තයා නිතරම කියනවා කොසොල් රජ තුමාගෙ සිහින සැබෑ වෙන කාලෙ ඇවිත් කියලයි. පරිසරය වගේම මිනිස් ගුණදහමුත් පිරිහිලා යන යුගයක අපි ඉන්නෙ. අද ඇල්කෙමිගෙ සටහනත් හරිම වැදගත් අපිට.

    • arunishapiro said, on සැප්තැම්බර් 23, 2012 at 12:29 ප.ව.

      Chandi,

      ඇල්කෙමියා තවම දකින්නෙ සමාජයේ පිරිහීමට හේතුව ආත්මාර්ථකාමය හැටියට. ඒත් එය පරාර්ථකාමයේ නාමයෙන් වූ මායාවකට රැවටිච්ච අවුල් වූ රටාවක් කියල දකින්නෙ නැහැ. තව විදියකට කිව්වොත් ඇයි පරාර්ථකාමීත්වය අගයන ලංකාවේ අය අනිකා යටකරගෙන වාහන එළවන්න තරම් “ආත්මාර්ථකාමී” කියලත්, පරාර්ථකාමය සද්ගුණයක් සේ නොදකින ඇමෙරිකාවේ මිනිස්සු නීති ගරුකව වාහන පැදවීම ස්වාර්ථවාදීම වූ හැදියාවක් යැයි දකින්නෙත් මන්ද කියා හොයන්නේ නැහැ. ලංකාවේ අය පරාර්ථකාමය යැයි රැවටී “ආත්මාර්ථකාමයෙන්” හැසිරෙද්දී ඇමෙරිකාවේ මිනිස්සු ස්වාර්ථය අගය කරමින් එලෙසින් ම සද්ගුණවත් ලෙස හැසිරෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: