අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වාර්ථවාදය පමණක් ම සද්ගුණයෙන් පිරි වූවකි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 23, 2012

අද ලෝකයේ යුද්ධය අයිඩියලොජිකල් යුද්ධයකි. එක පැත්තක ඉන්නේ වෙනකෙකුගේ අයිතීන් උල්ලංඝනය නොවේ නම්, තම සතුට සොයා යෑම බාධක වලින් තොරව කරගෙන යෑමට ඉඩක් සොයා සටන් වදින සුලුතරයකි. අනෙක් පැත්තේ ඉන්නේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙල ‘දැනුමැති යැයි කියන පිටස්තරයෙකුට’ බාර දෙන්නට කැමති බහුතරයකි. ඉතිහාසය දිහා බලද්දී ලෝකයේ මෙතෙක් කාලයක් පාලන බලය ලද්දේ ඒ බහුතරයයි.

දැනුමැති යැයි කියාගත් පිටස්තරයන් අතින් පොදු යහපත කිසිදා ලොව සැලසුනේ නැත. කළින් තිබි තත්වයටත් වඩා අයහපත් මඩ ගොහොරුවකට වැටුනු පසු, ඉන් ගොඩ එන්නට හැකි එකම මාර්ගය වූ ‘තම සතුට සොයා යන’ ඒකීය උත්සාහයන්ට පිටස්තරයන් විසින් නැවතත් ඉඩ දුන්හ. එහෙත් ඒ ඉඩ දුන්නේ අත් පා දිග හරින්නට නොහැකි වන සේ බැඳ තබා ය. යාන්තමින් හෝ ඉඩක් ඇත්නම් ඒකීය මිනිස් උත්සාහයේ ආශ්චර්යය දැකගත හැකි නිසා, එසේ ගන්නා ලද ඒකීය උත්සාහයෙන් පොදු යහපත තරමකට උදාවිය. එහෙත් වෙහෙසන අයගෙන් බලහත්කාරයෙන් උදුරා ගෙන, තවමත් ඔවුන්ගේ අතපය බැඳ තබමින්, තවමත් පරපෝෂිතයන්ව පිටස්තරයන් විසින් රකින හා වර්ධනය කරනා ආකාරය නම් ලොව වෙනස් වූයේ නැත. එය දැන දැන, එය දැක දැක, එහෙත් වෙහෙසීම නම් තම ආත්ම ගරුත්වය රැකගන්නා, තම සතුට ලැබෙනා, ලොව උදාර වූ එකම ආකාරය යැයි දත් වෙහෙසෙන අය කන් කෙඳිරිගාමින් වෙහෙසුනහ. පොදු යහපත පිණිසයි කියා උදුරා ගන්නා කොටස පිටස්තරයන් අතින් මහත් නාස්තියට පත්වෙන දිහා බලා සුසුම් ලෑහ.

අවුල් කරන ලද රටාවන් නිසා, සතුට සොයා යනු පිණිස, තම සතුට කුමක් දැයි සොයන්නට වෙහෙසෙන්නන් අද අඩු වී යයි. අවුල් කරන ලද රටාවේ තම සතුට කියා හිතාගෙන බහුතරය විසින් අල්ලා ගෙන සිටින්නේ පිටස්තරයෙක් විසින් සතුටුදායක යැයි නීර්ණය කරන ලද්දකි.

උදාහරණයක්: විශ්ව විද්‍යාල උපාධියක් ඇත්නම් රස්සාවක් නියතයි, ඉහළ පඩියක් ද නියතයි. සිංහල, බුද්ධාගම හා ඉතිහාසය හදාරා උපාධියක් පහසුවෙන් ගන්නා බහුතරය තමනට රස්සාවක් නැත්තේ මන්දැයි සත්‍යයෙන් ම නොදනිති. උගත්තේ නම් රස්සාවක් ද, ඉහළ පඩියක් ද ලැබෙනවා යැයි කවුදෝ පිටස්තරයෙක් කියූව තවමත් විශ්වාස කරති. ඊ ළඟට උපාධිධාරීන්ට රස්සාවල් දීම රජයේ කාර්යයක් යැයි කවුදෝ පිටස්තරයෙක් කියූ හෙයින් තම උපාධියට සරිලන පඩියක් සහිත රැකියාවක් ඉල්ලා ඔවුන් පාරට බසිති. උපාධිධාරීන් නිසා රැකියා දිය යුතු යැයි කවුදෝ කියූ හෙයින් රජය උපාධිධාරීන් තොග පිටින් ආණ්ඩුවේ සේවයට බඳවා ගනිති. ඔවුන් රටේ නිෂ්පාදනයට දායක නොවෙන, පරපෝෂිතයන් වී රට ණය කරනා අයයි කියන්නා දේශ ද්‍රෝහියෙකි.

උපාධියක් ඇත්නම් රස්සාවක් නියතයි කියමන විචාරයෙන් තොරව පිළිගත්තා සේ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ද වැඩි කළ යුතු යැයි විචාරයෙන් තොරව කියන්නට බහුතරයා පෙළ ගැසෙති. කුමන උපාධියකින් ද රස්සාවක් ලැබීමේ හැකියාව වැඩි යැයි සොයාගන්නට බහුතරයාට නොහැකි වන්නට රටාවන් අවුල් කර ඇති සේ ම, කුමන අධ්‍යාපනය වෙනුවෙන් වැඩියෙන් මුදල් වෙන් කළ යුතු ද යන්න ද සාකච්ඡාවට ලක් නොවෙන සේ රටාවන් අවුල් කර ඇත. උපාධියක් ඇත්නම් රස්සාව අයිතියක් යැයි කියා රැළ දක්කා ගෙන යන්නවුන් රටේ පොදු යහපත වෙනුවෙන් අධ්‍යාපනයට වැය කරන මුදල් ද වැඩි කළ යුතු යැයි කියති.

පිටස්තරයන් බලපෑම් නොකරන කල්හි ඉගෙන ගන්නේ තම කැමැත්ත ය. තම කැමැත්තෙන් සොයා යන්නේ තම සතුට ය. එවැන්නා කාසි වාසි නැතත් ලැබෙන සතුටේ අගය මුදලකින් තක්සේරු කළ නොහැකි බව දත්තෙකි. කවියෙක් සිගරැට් පැකැට්ටුවක් හැර එහි පැන්සලකින් කවියක් කුරුටු ගා තුටු වෙයි. තම තෝරා ගැනීම වූ කවි ජීවිතය රැක ගන්නට පිටස්තරයාගේ සහාය බලාපොරොත්තු නොවෙයි. සමාජයේ හිඟ කුසලතා අඩුපාඩු පියවන්නට තවත් අය කැමති වෙති. මන්ද කුසලතා ඇත්තවුන් අඩු ක්ෂේත්‍රයන් හි පඩි ඉහළ ය. රැකියා බහුල ය. තවත් සමහරු කට්ට කමින් වෙහෙසකර හා දුෂ්කර වූ කුසලතාවයක් වඩන්නේ සිත තුල නළියන දැවෙන ආශාව සපුරාගන්නට ය. නානා ප්‍රකාර උත්සාහයන්ට ඉඩක් ලැබෙන්නේ සතුට සොයා තම කැමැත්ත සොයා යන්නට පහසු සමාජයක ය. එහි දී සතුට සොයන්නා නිරත වෙන්නේ ස්වාර්ථවාදයේය. තම තෝරා ගැනීම, තම කැමැත්ත පෙරදැරි කරගෙන ස්වාර්ථවාදයේ නියැළෙන්නා පිටස්තරයෙක් කියන දැයක් නොකරන්නෙකි. පිටස්තරයෙක් කියන දැයක් නොකරන නිසා පිටස්තරයන් නීර්ණය කරන සහනාධාර ද බලාපොරොත්තු නොවන්නෙකි. සිය කැමැත්තට වැඩියෙන් ඉඩ ඇති සමාජයේ පරපෝෂිතයන් අඩු වීම නිසා සැලසෙන්නේ පොදු යහපතයි. එය ම සද්ගුණයෙන් පිරි වූ ඒකීය පුද්ගල හැදියාවයි. එය ම සද්ගුණයෙන් පිරි වූ සමාජයක් වෙයි.

තම සතුට සොයා යන සද්ගුණවත් හැදියාවට ඉඩක් දෙන අය වැඩි වී, පොදු යහපත වෙනුවෙන් තම තෝරා ගැනීම් පිටස්තරයෙකුට බාර කරන දුශ්චරිත අඩු වෙන්නේ නම් පමණක්, ලෝකය මුහුණ පා සිටිනා මේ අයිඩියලොජි යුද්ධයෙන් සියල්ලන්ගේ දිවි ගලවා ගත හැකිය. නැත්නම් හේමන්තය උදා වී හාමතෙන් මිනිසා වඳ වී යන දවස වැඩි ඈතක නොවේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: