අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස, නොමිලේ අධ්‍යාපනය සහ පරණ අදහස් යළි සලකා බැලීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2012

ලෝක සාමය උදාවේවා යැයි පතනා අය සිටිති. එහෙත් එය යථාර්ථවාදී බලාපොරොත්තුවක් නොවේ. එයට පක්ෂ යැයි කියන්නාගේ හද යම් උතුම් අරමුණක් සඳහා කැප වූවා යැයි සතුටින් පුරවන්නක් පමණි. උතුම් අරමුණු ලොව බොහොමයකි. සියළු දුප්පතුන් ගේ දුක්ගිනි නිවාලමු යන්න ද උතුම් අරමුණකි. අයෙකුට වඩා දුප්පත් වූ තවකෙක් රටේ සිටීම මුලිනුපුටා දමන්නට ගිය කොමියුනිස්ට් ක්‍රමයේ දී වැඩියෙන් දුප්පතුන් සිටි සමාජයේ පාලකයන්ට පමණක් සුරසැප ලැබිණ. ලෝක පරිසරය සුරකිමු යැයි පැතීම ද යථාර්ථවාදී වූවක් නොවේ. පෘතුවිය උපන් දා සිට පරිසරය වෙනස්වීම් වලට භාජනය වූවකි. මිනිස් සතා බිහිවෙන්නට පෙර සිටත්, ඔහු බිහි වූ පසුත් වෙනස්කම් සිද්ධ වෙයි. මිනිසාට තම පරිසරය බේරා ගන්නට කළ හැකි කොටසක් ඇත. එහෙත් ලෝක සාමය මෙන්, සියළු දුප්පතුන් භංග කිරීම මෙන් එය ද සෑම මිනිසෙක් වෙතින් ම සිද්ධ වේ යැයි අපේක්ෂා කිරීම ද යථාර්ථවාදී නොවේ.

සාමය වෙනුවෙන් කරත හැකි යමක් නොකර සිටින්නට යැයි මින් අදහස් නොකෙරෙයි. තම පවුලේ අය අතර සහ තමන් දන්නා හඳුනන අය අතර සාමය පවත්වා ගන්නට අයෙකුට වෙහෙසිය හැකිය. තම ප්‍රතිපත්ති පාවා නොදී එය කිරීමට එඩිතර බව අවශ්‍යයය. තමන්ගේ දේපල ගිනි තබන්නට හෝ ජීවිත හානියට එන්නා හා සාම සාකච්ඡා පැවැත්විය නොහැක. එවිට තම ආරක්ෂාව පිණිස අවි නොගන්නා, සාමය නම් උතුම් අරමුණ සාක්ෂාත් කර නොගත්, යම් කල්ලියකගේ ආචාර සමාචාර ලබමින් මිහිදන් වූ දිවි පිදූවෙක් පමණි. මෙය “උතුම් බලාපොරොත්තුවක්” වූ අයත් ලොව සිටිති, එහෙත් එය ඔබේ උතුම් බලාපොරොත්තුව ද?!!!! දුප්පතුන්ගේ ජීවිත යහපත් කිරීමට අත නොදෙන්න යැයි ද මින් අදහස් නොකෙරේ. තමන් කැමති නම් දුප්පතුන් වෙනුවෙන් කළ හැකි දෙයක් කිරීමට ලෝකයේ කිසිදිනෙක බාධාවක් තිබුනේ නැත. නමුත් තමන් දුප්පතුන්ට අත දෙන නිසා අනුන් ද එසේ කළ යුතු යැයි ඉල්ලා සිටීම නිදහස නොව නිදහසට බාධාවකි. එසේම පරිසරයට තමන් කරන හානිය හැකි තරම් අඩු කිරීමට ඕනෑ තරම් ක්‍රම අද දැනගන්නට හැකියාව තිබෙන නිසා ඒවා අනුගමනයට ද හැකිය. අනුන්ට ද කියා දිය හැකිය. ලොව බුද්ධිමත් සමාජ වැඩියෙන් පරිසරය රැකගන්නා වෑයම් වල නිරත වෙති. එසේ නම් අපි දැනුම බෙදා දීමෙන් ජනතාව බුද්ධිමත් කළ යුතුයි. අයෙක් අවබෝධයෙන් කරන්නට පටන් ගත් ක්‍රියාවන් ලොව සාර්ථක ය. නීති පැනවූවාට නිෂ්ටාව කුමක් දැයි අවබෝධයක් නැත්නම් නීති කඩනා අය වැඩිය.

අරමුණ උතුම් නිසා මේ මේ දෑ කළ යුතු යැයි වෙනත් පිරිසක් විසින් කියද්දී ඔවුන්ගේ අරමුණ කුමක් දැයි හඳුනා ගැනීමට උත්සාහයක් ගත යුතුයි. හදවතින් නැඟෙන ආවේග වලින් නොව මොළයට හැකි කල්පනා ශක්තියෙන් ඊට උත්සාහයක් ගැනීම බුද්ධිමත් ලෝකයක් වෙත යන උත්සාහයකි. ආවේග වලට සවන් දී රැළේ දුවන තවත් සත්වයෙක් වීමෙන් මිනිසා වෙනස් බව පෙන්විය යුතු නොවේ ද?

“නිදහස පිළිබඳව” ලියන ජෝන් ස්ටුවර්ට් මිල් වඩාත් ම භයානක වූව යැයි සැලකුවේ ආණ්ඩුව නොවේ. ඔහුට අනුව සමාජයක වඩාත් ම භයානක වූව නම් “බහුතරයාගේ පීඩක හැසිරීම” සහ “අත්තනෝමතික චාරිත්‍ර” වෙති. බලයේ ස්වභාවය සහ සීමාවන් නීත්‍යානුකූල ලෙසින් ම ඒකීය පුද්ගලයෙකු අභිබවා ගෙන යන්නට සමාජයට හැකිවීම වඩාත් ම දැඩි ප්‍රජා පීඩනය සේ මිල් සැලකීය.

නිදහස නම් සැමගේ නිදහස විය යුතුයි. බහුතරයකගේ නිදහස පමණක් නොවේ. නොමිලේ අධ්‍යාපනය අද ලංකාවේ බහුතරයට ලැබෙන අධ්‍යාපනයකි. එනම් පාසැල් අධ්‍යාපනයයි. එය කිසිවෙක් උදුරා ගෙන නැත. එය කැමැත්තෙන් ම පුද්ගලික පාසැල් වලට හා පිටරට විභාග වලට බාර දී ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් එහෙත් වර්ජනයේ නිතර යෙදෙමින් උත්තර පත්‍ර බැලීම නොකරන ආචාර්යවරුන් විසිනි. ධනවතාගේ දරුවා ආණ්ඩුවෙන් ලැබෙන නොමිලේ අධ්‍යාපනය නතර කර දමා ඇත්තේ දැන් ටික කාලයක සිට ය. ඔවුන් විභාග පාස් වූ පසු තවත් ඉහළ අධ්‍යාපනයට සුදුසුකම් ලබති. රැකියා ලබති. අද දුප්පතාගේ දරුවා ම, නොමිලේ අධ්‍යාපනය ආරක්ෂාවට යැයි කියමින් එය වර්ණනා කරන්නා ගේ බැට කෑමට ලක් වී සිටියි.

විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගේ FUTA සංවිධානය 2012 සැප්තැම්බර් 17 වැනිදා උප-කුලපතිවරුන්ට යවන ලිපියක තම ඉල්ලීම් ගැන මෙසේ කියති -මහජන අධ්‍යාපන සඳහා බජට් මුදල් වැඩි කිරීම, උසස් අධ්‍යාපනයේ දේශපාලනීයකරණය හා මිලිටරිකරණීය නවතා හොඳම විද්‍යාර්ථීන් රඳවා ගැනීමට පාරිතෝෂික ක්‍රමය සැකසීම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහභාගීත්වයකින් යුතුව හැඩගැස්වීම. ලිපියේ විශ්ව විද්‍යාල නිදහස හා ස්වාධීනත්වය රැකගත යුතු යැයි කියනා තැන් බොහොමයකි.

ඔවුන් ඉල්ලා සිටින්නේ පොදු යහපත ද? නැත්නම් පොදු යහපත නාමයෙන් කැම්පස් තුල තම කැමැත්තට නිදහස ද? පොදු යහපත නාමයෙන් තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට ද? උසස් අධ්‍යාපනයට පිවිසෙන සුලුතරයක් වෙනුවෙන් බහුතරයක් විසින් කැපවීම් කළ යුතු යැයි කියා ද? ඉහළ අධ්‍යාපනය නොමිලේ ලැබූ සුලුතරයෙන් කී දෙනෙක් ඔවුන්ගේ නිදහස හා ස්වාධීනත්වය ඔවුන්ට ම තියාගන්නැයි කියා රටින් පිට වී ගියේ ද?!!!! රටක් වශයෙන් සියල්ලන් ණය කරමින්, සියල්ලන්ගේ බදු වලින් නොමිලේ දෙන උසස් අධ්‍යාපනයේ වියදම් සමාජය දරනවා නම් විශ්ව විද්‍යාලයේ පිරිසකට පමණක් තීරණ ගන්නට නිදහස හා ස්වාධීනත්වය පවරන්නේ ඇයි?

සංචාරක සේවයේ අයට සහතික දෙන පාඨමාලාවක් අරඹන්නට යැයි ඉල්ලීමක දී කොළඹ විශ්ව විද්‍යාලයේ වර්ජනය මෙහෙයවන අයෙක් කිව්වේ මේක ඔක්ස්ෆර්ඩ් වැනි සම්භව්‍ය විශ්ව විද්‍යාලයක්, එක එක ක්ෂේත්‍ර වලට උවමනා වෙච්ච පළියට සහතික දෙන්න බැහැ කියායි. ස්වාධීනත්වය ඉල්ලන්නේ රටේ දියුණුව වෙනුවෙන් ද නැත්නම් තමන්ට රිසි විෂයයන් උගන්වන අයිතිය ද?

“ශිෂ්ඨාචාර නොවූ මිනිසා මෘගයෙකුට වඩා වැඩි අවශ්‍යතා වලින් නොයුතු වූවෙකි. එහෙත් ප්‍රගතිය සඳහා ඔහු ඉදිරියට තබනා සෑම පියවරක දී ම ඔහුගේ අවශ්‍යතාවන් හි විවිධත්වය වර්ධනය වේ. ඒ විවිධ අවශ්‍යතාවන් තෘප්තිමත් කරගන්නා ක්‍රම වේදයන් ද විවිධ වේ.” මෙසේ කියන්නේ Alfred Marshall විසින් ලියන ලද Principals of Economics හි ය. සියල්ල සැලසුම් කරන්න දන්නවා යැයි කියූ ප්‍රධාන-සැලසුම්කරුවන් සිටි රටවල් ආර්ථිකයෙන් කඩා වැටිණ. සියල්ල සැලසුම් කරන්නට කළින් සිටි අය අපොහොසත් වූ නිසා මෙයාටත් වාරයක් දෙන්නට කැමැත්තෙන් පෙළපාලි යන්නේ ඇයි?

ලංකා සමාජයට රට නොමිලේ දෙන අධ්‍යාපනයේ ඇති වැදගත්කම නැති වී ගොස් සෑහෙන කාලයකි. නැත්නම් බහුතර උපාධිධාරීන්ට රස්සාවල් තිබිය යුතුයි නේද? “සමාජයක දැනුම භාවිතය” ගැන ලිපියක් ලියා ඇත්තේ ෆෙඩ්රික් හයෙක් විසිනි. නමුත් ඒ ගැන කතාබහට කොමියුනිස්ට් ප්‍රතිපත්ති අගයන වර්ජනයේ යෙදෙන ආචාර්යවරුන් කැමති නැත. ඔවුන් එයින් ගැලවෙනුයේ සම්භව්‍ය ආයතනයක් කියා ගනිමින් ඉන් කෙරෙන ලිබරල් අධ්‍යාපනයේ වැදගත් යැයි කියමිනි. ඇමෙරිකාවට බනින වාමාංශිකයන් එහි දී ඇමෙරිකාවේ වාමාංශික වූ අධ්‍යාපන පද්ධතියේ පිහිට පතති. එහෙත් තෝරා ගැනීම් බහුල ඇමෙරිකානුවන් බහුතරය අද ඉහළ අධ්‍යාපනයෙන් බැහැර වෙන්නේ මන්දැයි යන සංවාදයට එන්නේ නැත. විශ්ව විද්‍යාලට බැහැර වූ නව සොයාගැනීම් මෙහි බහුල බව කතාබහක් නොමැත. රටේ ආර්ථිකය හා බැඳෙන ප්‍රතිසංස්කරණ ගෙනාවොත් පුටු රත් කරන බහුතර ආචාර්යවරුන්ට ගෙදර යන්නට සිද්ධ වනු ඇත. වසර තිහක් විෂයයෙන් ඉවත් වී සිටියත් එකම විදියෙන් උගන්වත හැකි ඉතිහාසය, දර්ශනය, සිංහල, බුද්ධාගම උගන්වමින් ඉන්නා අයට වසරක් දෙකක් විෂයයෙන් ඉවත් වුවහොත් ලෝකයේ ඉතා පසුපසට යන ක්ෂේත්‍රයන් හා එකම ආකාරයෙන් සැලකුම් ලබන්නට උවමනා යැයි ඉල්ලා සිටීම සමාජයක දැනුම භාවිතය නොදැනීමයි. එයින් වැඩෙන්නේ උගත් සිසු පරම්පරාවක් නොව පරපෝෂිතයන් පරම්පරාවකි.

නිදහස් ප්‍රකාශනයට අයිතිය ඉහත ලිපියෙන් ම විශ්ව විද්‍යාල තුල ඔවුන් ඉල්ලා සිටියි. එවැන්නක් ලංකාවේ විශ්ව විද්‍යාලයක හැමදාම තිබුනේ එඩිතර සුලුතරයකට පමණි. අනිකුත් අය කැම්පස් දේශපාලනයට බයෙන් වර්ජන වලට සහභාගී වූ අය බව දන්නෝ දනිති. ප්‍රචණ්ඩත්වයට බිය නොවන්න. එය එන්නේ ගෙදරට වැදෙන ගල් මුගුරු වලින් පමණක් නොවේ. එය එන්නේ උතුම් අරමුණු වේශයෙන් ද වෙයි. දැනටමත් පටන් ගෙන ඇති, තමන් හොයන්නේ කුමන අධ්‍යාපනයක් දැයි අවබෝධ කරගන්නා බුද්ධිමතුන් ලංකාවෙන් පිටමං වී යෑමෙන් පසුව රටේ ඉතිරි වෙනුයේ, වෙන්නෙ කුමක් දැයි නොදන්නා අය සහ අන්තවාදීන් පමණකි.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Kevin Perera (@PereraKevin) said, on සැප්තැම්බර් 24, 2012 at 10:49 පෙ.ව.

    නොමිලේ අධ්‍යාපනය නැවැත්විය යුතුයි විවාදයක් නැහැ. නිර්මාල් ව ඒ කාලේ වි.විද්‍යාල සිස්සුවකු ලෙස සිටි හැඳින්වූ ජනප්‍රිය නාමය උනේ “වමා” ලෙසිනි.ඒ ඔහු දැරූ වාමාංශික අදහස් නිසාවෙනි. හැබැයි මෙතන මෙහෙම දෙයක් වෙනවා මිනිස්සුන්ගේ රජයට විරුද්ධ කෝපය පිටකර හරින්න මේ දේ වටා එක් රොක් වෙන්නේ නැතිවමේ ගුරාලට පඩි වැඩියෙන් අරන් දෙන්න නොවෙයි. මෙතන තියෙන්නෙ අධ්‍යාපණය ,අධ්‍යාපණය කියන ඔනෑදෙයක් විය හැකි හිස් හඟවනය-empty signifier හරහා ආණ්ඩු විරොධී මිනිසුන් මිනිසුන් සංවිධානය කරන්න පහසු වීමයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2012 at 11:15 පෙ.ව.

      අපේ අධ්‍යාපනයට මොකද වෙන්නෙ? කියලා ලියැවිලා තියෙන හොඳ සටහනක මුල් ඇනෝ කමෙන්ටුව කදිමට පෙන්වන්නේ කෙවින් කියන කතාව. සටන දිනුවත් මහාචාර්ය පට්ටමක් නැති නිසා වමාට පඩි වැඩි වීමෙන් වාසියක් නැහැ නේද?!!! ඒත් ඉතින් ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ මූණ වැටුනා කියන එකත් සුළුපටුයැයි!!! 🙂

  2. තිසර said, on සැප්තැම්බර් 24, 2012 at 9:29 ප.ව.

    වඩා පුළුල්ව දැකීමට අසමත් වූ, තමාගේ මතවාදයන් තහවුරු කිරීමට තැනින් තැනින් අහුලාගත් අදහස් සහ සිදුවීම් වලින් යුතු අසාර්ථක ලිපියකි. ඔබ කියනා පරිදිම ලෝක සාමය, දුප්පතුන් නැතිකිරීම, පරිසරය රැකගැනීම යථාර්ථවාදී නොවන, උතුම් අරමුණකි. එවන් උතුම් අරමුණු සඳහා කැපවූවන් එය නොදන්නවා යැයි සිතිය නොහැක. ඔබ කියනා පරිදි මේ අරමුණු වෙනුවෙන් කැපවී සිටින්නන්, තමා කරන බැවින් අන් සියලු දෙනාම එය කලයුතු යැයි පවසා සිටින්නේ නැත.

    නමුත් තමා විශ්වාස කරනා යමක් වෙනුවෙන් අන් අයටත් පෙනී සිටින්න යැයි ඉල්ලා සිටීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එයට එකඟ නොවී සිටීමටද ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. බොහොමයක් මේ උතුම් අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නන් ඒ සඳහා කැපවන්නේ බහුතරය ඒ සඳහා කැප නොවෙන බව දන්න බැවිනි. ඔවුන් කරන්නේ උඩු ගං බලා පිහිනීමකි. තව කෙනෙකුට බලහත්කාරයෙන් තම අදහස් කා වැද්දීමට තරම් බලයක් ඔවුන් සතු නැත.

    යම් යම් දේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී අදාල කරගත යුතු කරණු පිළිබඳ වැටහීමක් ඔබට නැතිබව පෙනේ. ආණ්ඩුව යනු බහුතරය විසින් ඔවුන් නියෝජනය කිරීම සඳහා පත් කරගන්නා සුලුතරයකි. රටට අදාල තීරණ ගන්නේ එම සුලුතරයයි. එසේ නැතිව සෑම තීරණයක් වෙනුවෙන්ම ජනමත විචාරණයක් පැවත්විය යුතුද?

    ඕනෑම තැනක් නියෝජනය කරන පුද්ගයන්ගේ අදහස් විවිධ වේ. එම නිසා මෙන්න මේ දේවල් සිදු වී යැයි ඕනෑම තරම් උදාහරණ ගෙන දැක්විය හැක. නමුත් යම් කිසි අකටයුත්තක් සිදුවන තැනක, එම අකටයුත්තට විරුද්ධව නැගී සිටීමේ හැකියාවද ලබා දෙන්නේ ඔබ ඔය ප්‍රශ්න කරනා නිදහසයි.

    තම වාසියට කටයුතු කරන්නා පවතින ක්‍රමය කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධය සීමා සහිතය. උතුම් අරමුණු වෙනුවෙන් පෙනී සිටින ඔවුහු, එන උතුම් අරමුණු වලට වඩා පහලින් ඇති තම පුද්ගලික අරමුණු ඉටු කරගත් පසු නැවත පවතින ක්‍රමය හා එක්වේ.

    දැනට විශ්වවිද්‍යාල අචාර්යවරු දක්වා ඇති ප්‍රතිවිරෝධය තම පුද්ගලික අරමුණු ඉක්මවා ගිය පොදු අරමුණක් ඉලක්ක කරගත්තක් බව පෙනෙයි. එසේ පොදු අරමුණු වෙනුවෙන් කැපවූ මිනිසුන් දුලභ සමාජයක, මෙවන් මිනිසුන් හදිසියේ පහලවූයේ කෙසේද යන්න සැක සිතෙන නමුත්, මෙතෙක් ප්‍රකාශ වී ඇති යම් යම් දේ අනුව, ඔවුන් පිළිබඳ යම් විශ්වාසයක් තැබිය හැකි බව හැඟෙයි.

    ඔවුන් කෙරෙහි අවිශ්වාසයෙන් පවතින ගොහොරුවෙහිම ගිලී සිටිනවාට වඩා, බහුතරයක් වෙනුවෙන් තීරණ ගන්නා, බහුතරයක් වෙනුවෙන් තම බුද්ධිය වෙහෙසවා පර්යේෂණ පවත්වන, බහුතරය ආනන්දයෙන් පුබුදුවාලීමට කලා නිර්මාණ බිහි කරන්නා වූ, බුද්ධිමත් සුලුතරයක් නිර්මාණය කරලීමට ඔවුන් ගන්නා උත්සාහයට (අඩුපාඩු සහිතව හෝ) අපගේ සහාය ලබා දිය යුතුය.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2012 at 10:41 ප.ව.

      තිසර,

      අයිතීන් කියන දේවල් ලෝකයේ ගොඩක් අය මේ දවස්වල පටලවා ගෙන ඉන්නෙ. ඔය එකඟ නොවෙන්න අයිතියක් තියෙනවා යැයි තිසර කියන්න ලංකාවේ කැම්පස් ඇතුලෙ ඇත්තට ම තියෙනවා ද කියල දන්නෝ දන්නවා. මාත් ඔය සිස්ටම් එක ඇතුලේ ඉඳලා එකඟ නොවෙන්න හැකියාව තිබෙනවා යැයි කියූ අයිතීන් රස බලලා තියෙන කෙනෙක්. එහෙම දවසක් කැම්පස් වල උදාවෙච්ච දාට ඒ ගැන ලියන්නම්.

      //දැනට විශ්වවිද්‍යාල අචාර්යවරු දක්වා ඇති ප්‍රතිවිරෝධය තම පුද්ගලික අරමුණු ඉක්මවා ගිය පොදු අරමුණක් ඉලක්ක කරගත්තක් බව පෙනෙයි.// ඒ ඔයා දකින හැටි. GDP එකෙන් 6% ක් ඉල්ලන ආචාර්යවරු විශ්ව විද්‍යාල තුල ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට පමණක් තබා ගැනීමට ඉල්ලද්දී, දේශපාලනීයකරණය කරන්න එපා කියද්දී සහ අර ඉහත කියූ එකඟ නොවෙන්න ඇති අයිතිය කැම්පස් වල ඇතැයි කියද්දී තතු දන්නා අයට පොදු අරමුණු ගැන කියා දෙන්න ඕන නැහැ අලුතෙන්. ඔයාලා කැමති නම් රැවටිලා ඉන්න.

      පවතින ගොහොරුවෙන් එළියට එන්න නම් කා ගැනවත් විශ්වාසයක් තියාගන්න ඕනෑ නැහැ. තම බුද්ධිය වෙහෙසන, පර්යේෂණ පවත්වන, ඉගැන්වීම කරන අයට නිසි සේ තැනක් ලැබෙන පරිසරයක් හදාගන්නට සමාජයට ඉඩ දිය යුතුයි. ආචාර්යවරුන් සේවය කරන්නේ සිසුන් වෙනුවෙන්. බහුතරය ආනන්දයෙන් පුබුදුවා ලීමට නිර්මාණ බිහිකරන්න ආචාර්යවරුන්ට පඩි ගෙවන්නේ කුමකට ද?!!!!

  3. Buwa said, on සැප්තැම්බර් 24, 2012 at 9:59 ප.ව.

    ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියනවා ,(ලොකේ ගොඩක් දේවල් එහෙමයි ) , නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒ මැද තැන ඉඳන් ප්‍රශ්නය දිහා බලන කෙනෙක් නැ , ඒ වගකීම මූලිකව තියෙන්නේ ජනමාධ්‍යයට , නමුත් ඔවුන් කරන්නේ රජයේ කුණු හෝදන එක , විකල්ප මාධ්‍ය කියා ගන්න අය කරනේ අතට අහුවෙන ඕනැම දේකින් රජයට ගහල ආතල් එකක් ගන්න එක

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2012 at 10:47 ප.ව.

      Buwa,

      ඔව්, කතාව ඇත්ත Buwa. දෙපැත්ත දිහා බැලුව ම මේවා චීනයේ වෙන විදියේ රජයේ කළමනාකරණය අනුව කරන ලද වර්ජන යැයි ද හිතෙනවා!!! ලංකාවේ සමාජය අද නොදකින ඇතුලත කතාව අහන්න ලැබෙන්නෙ තව ගොඩ කාලයක් ගියාම වෙයි. බයේ වර්ජනයේ ඉන්න මාස් පඩි විතරක් තියන ආචාර්යවරු සහ අහිංසක ළමයි ගැන තමයි පව්.

  4. Gold fish said, on සැප්තැම්බර් 25, 2012 at 12:07 පෙ.ව.

    නිදහස් අධ්‍යාපනය නිසා වැඩිපිරිසකට අධ්‍යාපනයට අවස්ථාවක් තාම තියෙනවා කියලා හිතනවා.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 7:28 පෙ.ව.

      Gold fish,

      නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ බහුතරයට නැහැනෙ මාළුවෝ අනුන් නීර්ණය කරන ලකුණු අනුව හදාරන්න ඉඩක් ලැබෙන අධ්‍යාපනයක් මිසක. කැමැත්තක් ඉගෙන ගන්න හැකි නිදහස් අධ්‍යාපන අද ඉතිරි වෙලා තියෙන්නෙ ලංකාවේ සිටිය දී පිටරට විභාග ගතහැකි, ලංකාවෙන් පිට කැම්පස් වලට දරුවන්ව යවන්න හැකි ධනවත් අයට විතරයි.

      පාසැල් වලට ලබා දෙන නොමිලේ අධ්‍යාපනය නිසා ඔව් වැඩි පිරිසකට අධ්‍යාපනයට අවස්ථාවක් තාම තියෙනවා. ඒත් විශ්ව විද්‍යාලයේ නොමිලේ අධ්‍යාපනයට අවස්ථාවක් නම් ආණ්ඩුවේ කැම්පස් වල ක්‍රියාපටිපාටිය නිසා වෙහෙසෙන්නට කැමත්ත ඇති රටේ වැඩි පිරිසකට ලැබෙන්නේ නැහැ. රටේ ජනගහණයෙන් නොමිලේ අධ්‍යාපනය දෙන කැම්පස් වලට යන්නට වරම් ලබන්නේ කීයෙන් කී දෙනා ද? කැම්පස් නොගිය කොච්චර පිරිසක් ඉතා දක්ෂ ලෙසින් රටේ සංවර්ධනයට දායක වෙමින් රටට ආර්ථක ලාභ ගෙනෙනවා ද?!!!! ඒ නොමිලේ අධ්‍යාපන ලැබූ අය අතරෙන් කොච්චර පිරිසක් රට ණය කරනවා ද?!!!!

      ඒ ක්‍රමය දිගට ම පවත්වා ගෙන යන්න කැමති නම් ආචාර්යවරුන්ට තවත් ස්වාධීන තීරණ ගන්නට වැඩියෙන් සල්ලි දිලා වැඩියෙන් බලය දෙන්න ඕනෑ.

  5. අමා said, on සැප්තැම්බර් 25, 2012 at 9:55 පෙ.ව.

    නොමිලේ දෙන ඒක තේරුමක් නැහැ කියල මාත් පිලිගන්නවා.

    ඒත් වී වී දේශපාලනීකරණය කරන එක නවත්වන එකේ වැරැද්ද ක් නම් මට පෙන්නේ නැහැ.
    මම දන්නේ ඉංජිනේරු අංශය ගැන නිසා ඉන් උදාහරණ දෙන්නම්. ඉංජිනේරු උපාධි වලට සම්පත් ඕනේ. උදාහරනෙකට රොබෝටික්ස් ඉගෙන ගන්න රොබෝටික්ස් ලැබ් ඕනේ. ඒවා ගොඩක් මිල අධික සම්පත්. එතකොට එක ලැබ් එකක ඉඩ තියෙන්නේ සීමිත පිරිසකට. නමුත් හැමතිස්සෙම UGC එකෙන් වී වී ට බලපෑම් කරනවා ඉන්ටේක් එක වැඩි කරන්ට කියල. නමුත් ඉන්ටේක් එකට සාපේක්ෂ ව සම්පත් දෙන්නේ නැහැ. ඔවුන් හදන්නේ ඔන්න මේ අවුරුද්දේ වැඩි පිරිසක් වී වී ප්‍රවේශය ලැබුවා කියල චන්ද ගන්න. එතකොට ළමයි 40 කට ඉඩ තියෙන ලැබ් එහෙක 75 දානවා. ඉතින් ළමයි ඉගෙන ගන්නේ කොහොමද? ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් නෙවි නේ ඒවා. අන්තිමට ඉන්න ළමයින්ට හරියට ඉගෙන ගන්න නැහැ. උපාධියේ තත්වයත් පහල යනවා.

    ඊළඟට වී වී වලට IEEE, ACM වගේ ඒවල සාමාජිකත්ව නැහැ. ඉතින් ළමයි කොහොමද පර්යේෂණ පේපර් කියවන්නේ. ගොඩක් රිසච් කරන අය ට තියෙන එකම විදිහ පිට රටවල පස්චාත් උපාධි කරන සීනියර් ල අඳුනන අයට කියල (පිරටවල වී වී වලට Institutional membership තියෙනවා නේ) ඒවා මේල් කර ගන්න එක්ක. නමුත් ඒක හරිම අමාරුයි. ඉතින් ප්‍රතිපාදන වැඩි කරන්ට කියන එකේ වරද ක් නැහැ නේද?

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 10:38 පෙ.ව.

      අමා,

      අපිට මේ ලෝකේ නිකම් ලැබෙන්නෙ හුස්ම ගන්න වාතය වගේ දෙයක් විතරයි. අනික් හැම දෙයක් ම ගනිද්දී ඊට වැයක් දරන්න ඕනා. නොමිලේ බෙදන සම්පත් වල වැය දරන්නේ කවුද කියන එක කතාබහක් නැතිව සම්පත් බෙදා දෙන විදිය ගැන පමණක් කතා කිරීමට වාමාංශිකයන් නොහොත් අනුන් ගෙන් අරන් තව කට්ටියකට බෙදා දෙන සැලසුම් ගහනා අයගෙ සිරිත. තමන් ගන්න දේ වැය තමන් දරනවාට අකමැති අය. එක පැත්තකින් රටේ පුද්ගලික විශ්ව විද්‍යාල අරිනවාට විරෝධය පාමින් අනිත් පැත්තෙන් සම්පත් මදියි කියන්නෙ ඇයි? කැමති අයට තම වියදමින් ගෙවා ඉගෙන ගන්න යන්න තැන් තියෙනවා නම්, ඒ ආයතන වලින් ලැබෙන ආදායම් බදු මුදල් වලින්, ඒවායෙන් පිටවෙන උපාධිධරයන් රැකියාවන් කරද්දී ලැබෙන ආදායම් බදු මුදල් වලින් රජයට වැඩියෙන් ආදායමක් ලැබී ආණ්ඩුවේ නොමිලේ වි වි වලට දැනට වැඩියෙන් සම්පත් වෙනුවෙන් මුදල් වෙන් කරන්න පුළුවන් වෙනවා නේද? ඒත් කැම්පස් වල තියෙන යුනියන් ම අකමැතියි තමන්ට විතරක් තීරණය කරත හැකි නොමිලේ අධ්‍යාපනයේ ආධිපත්‍යය නැති කරගන්න. නිදහස් වෙළඳපොල තරඟයට අකමැතියි. අනිත් අය ණය වෙලා හරි, බංකොළොත් වෙලා හරි, අද නොමිලේ අධ්‍යාපනය දෙන ඉතාලිය, ස්පාඤ්ඤය වගේ ලංකාවේ වෙහෙසන අයත් එවැනි අසාර්ථක රජයන් කරපු විදියට යුනියන් වල කැමැත්තට අනුව කටයුතු කරන්න ඕනෑ ද?

  6. emailkavikaari said, on සැප්තැම්බර් 26, 2012 at 5:56 පෙ.ව.

    පහුවෙලා ආවෙ අක්කෙ. මට නං කියන්ට තියෙන්නෙ උගන්නන්ට කට්ටිය අඩුයි. කට්ටිය මේ රස්සාව තවදුරටත් තෝරගන්නෙ නැත්තෙ කිසි “ලකයක්” නැති රස්සාවක් හින්දා. ඉංජිනේරු පීඨ වැහේවි මෙහෙම ගියොත්.

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2012 at 8:27 පෙ.ව.

      emailkavikaari,

      උගන්වන්නට කට්ටිය අඩු එයින් ලැබෙන ප්‍රතිලාභ මදි නිසා. කලා පීඨ වල වගේ නෙමෙයි විද්‍යා පීඨයන් හි ඉන්නා අය තම දැනුම යාවත්කාලීන කරගන්නට ඕනෑ නිතරම. ඒත් වෙහෙසෙ තරමට පුද්ගලික අංශයක දී හෝ පිටරටකින් වැඩි ප්‍රතිලාභ ලැබෙද්දී ලංකාවේ කැම්පස් වල නීති අතරේ හිරවෙන්න කැමති කවුද? ‘ලකයක්’ නැහැ තමයි නංගි 😀

      ඒත් ලොව හැම පැත්තක ම අසාර්ථක වූ ක්‍රමයක් (ජනගහණය වැඩිවෙන්නෙ නැතිව සංක්‍රමණිකයන් ගෙන්න ගන්න වෙච්ච යුරෝපීය රටවල් ගැන නෙමෙයි මේ කියන්නෙ) වන නොමිලේ අධ්‍යාපනය තව දුරටත් ආරක්ෂා කරගෙන පෝෂණය කිරීමෙන් අද ග්‍රීසියේ දකින්නට ලැබෙන පැය 24 පුරා රට පුරා වර්ජනය ලංකාවේත් ඇතිවේවි. යමක නිෂ්පාදන වැය නොපියවා කිසිම සේවාවක් හෝ භාණ්ඩයක් සැපයීම කාලයක් පවත්වා ගෙන යන්නට බැහැ.

      ලෝකයේ ම ඉහළ තලයක ඉන්නා ඉංජිනේරු පීඨයක් හැටියට සැලකෙන වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හදාරන්නට නම් වසරකට ඩොලර් හැටදාහක් පමණ අවශ්‍යයයි. එය සම්පූර්ණයෙන් ගෙවා එහි ඉංජිනේරු පාඨමාලාව කරන්නට බහුල ලෙසින් පෙළ ගැසෙනා අය සිටින නිසා මම දන්න සිංහල දෙමව්පියන්ගෙ කෙල්ලො දෙන්නෙකුට එහි සම්පූර්ණ ශිෂ්‍යත්වයන් ලැබුන. අක්කා ගියා නංගි ශිෂ්‍යත්වය දාලා ප්‍රින්ස්ටන් වලින් ලැබිච්ච ශිෂ්‍යත්වය ගත්තා. දක්ෂයාට තැන දෙන වාතාවරණයකට ඉඩදෙන පුද්ගලික අංශයේ ඉංජිනේරු විශ්ව විද්‍යාලයන් පටන් නොගත්තොත් තවත් කාලයක් යනකම් පාරට බැහැලා රට ණය කරවන ආණ්ඩුවේ සල්ලි හිඟන්න තමයි වෙන්නෙ.

      මගේ දුවට ඩාන්සින් ඉගෙන ගන්න මම වසරකට ඩොලර් තිස්දාහක් පමණ ගෙවනවා. ඔබාමා ආණ්ඩුවෙන් දෙන කැම්පස් යන ළමයින්ට අතින් ගෙවද්දී ලැබෙන බදු සහනාධාර අපට නැහැ, මොකද ඔබාමා කියන්නෙ අපි මිලියෙනර් බිලියෙනර් කට්ටිය කියලානේ!!! නමුත් අපිට හැකියාව ඇති නිසා, අපි කැමැත්තෙන් ඇයගේ අභිප්‍රාය වූ ඩාන්සින් වලට වසර 4 ක් යොදවන්නට මුදල් ගෙවන නිසා ඒ කැම්පස් එකේ තවත් දරුවෙකුට වෙනත් විෂයයක් හදාරන්න (සමහර විට පහසුවෙන් රැකියාවක් ලැබෙන එකක් :D) ශිෂ්‍යත්වයක් දෙන්න පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාලයක් වූ එයට හැකියි.

      සමහර ඇමෙරිකන් විශ්ව විද්‍යාල පුද්ගලික අංශයේ වූවාට ප්‍රාන්ත හා ෆෙඩරල් රජයෙන් ද ආධාර ලබනවා. ඒ අයට ආණ්ඩුවේ නියෝග පිළිපදින්නට වෙනවා. එසේ මුදල් ආධාර නොලබන පුද්ගලික කැම්පස් තමන් කැමැත්ත හා සිසුවන් ඉල්ලන්න විතරයි උගන්වන්නේ. ප්‍රාන්ත ආධාර වලින් දුවන කැම්පස් වල පාඩු වැඩියි. අනුන්ගෙ සල්ලි වියදම් කරද්දි කීයෙන් කී දෙනා ද වැය අඩුකරගන්න බලන්නේ!!! තනිකරම පුද්ගලික අංශයට අයිති කැම්පස් වල පහසුකම් අනගියි, උපාධි නිසා රැකියාවන් ලැබීම සාර්ථකයි. අර වැන්ඩබිල්ට් වලින් උපාධිය අවසන් කරද්දී ම ඇයට වසරකට ඩොලර් 75,000 ක විතර පඩියක් ලැබෙන රස්සාවක් ලැබුණ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: