අරුණි ශපීරෝ‍ වෙතින්

ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී -3

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 28, 2012

[“ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී” පළමු කොටස මෙතැනින් සහ දෙවැනි කොටස මෙතැනින් කියවන්න.]

වෙළඳපොලට මැදිහත් වීම් කරන රටක දී එහි පාරිභෝගිකයාගේ උවමනාව හොඳම ලෙසින් අඩුම වැයකින් සපුරාලන ක්‍රමවේදයකින් ව්‍යාපාරය ගෙන යෑමට තව දුරටත් තීරණාත්මක වූ වැදගත්කමක් ලැබෙන්නේ නැත. මැදිහත් වෙන ඇඟිලි ගැසීම් ඇති රටක වඩා වැදගත් වෙන්නේ පාලන බලයේ ඉන්නා කල්ලි සමඟ “හොඳ සබඳතාවන්” පවත්වා ගැනීමයි. එසේම එවැනි රටක දී ඇඟිලි ගැසීම් කෙරෙන්නේ ව්‍යාපාරයෙන් ලැබෙන වාසි පිණිස මිසෙක ව්‍යාපාරයෙන් පාඩු ලබනු පිණිස නොවේ. ඒ ව්‍යාපාරයෙන් එළියට දමන බඩුවට තීරු බදු ආරක්ෂාව වැඩියෙන් ලැබීම සඳහා ප්‍රතිපත්ති ගෙන ඒම සහ ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය භාණ්ඩ වලට අඩුවෙන් තීරු බදු ආරක්ෂාව යනාදියෙන් ව්‍යාපාරයට දෙන තල්ලුව, එහි මෙහෙයුම් කරගෙන යෑමේ දී වූ නුවණක්කාරකමට වඩා, වැදගත් වෙයි. මෙවැනි රටක දී, එහි බලයේ ඉන්නා අය ගෙනෙන තීරු බදු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැත්නම්, ඒවායෙන් ආරක්ෂා වීමට අවශ්‍ය තොරතුරු නැතිනම්, ව්‍යාපායරක් කොතරම් හොඳින් පවත්වා ගෙන ගියත් එය බංකොළොත් වෙන්නට පුළුවන. සමථ මණ්ඩල ඉදිරියේ වේතන කතිකාවන් වෙන්නේ කෙසේදැයි දැනුමක් නැත්නම් ව්‍යාපාරයක් කොතරම් හොඳින් පවත්වා ගෙන ගියත් එය බංකොළොත් වෙන්නට පුළුවන. එසේම රජයේ බලයෙන් දිවෙන කාටෙල් විසින් ද හොඳින් කරගෙන යන ව්‍යාපාරයක් බංකොළොත් බවට ඇද දමත හැකිය. ඇඟිලි ගසන්නන්ට ඉඩ දෙන රටක, වඩා වැදගත් “අහවලාගේ අහවලාව දැන සිටීම” මිසෙක භාණ්ඩයක් හෝ සේවාවක් අනගි ලෙසින් අඩු වැයෙන් නිපැදවීම දැන ගැනීම නෙමෙයි. ඉතින් ඒ නිසා, එවැනි රටක යම් ව්‍යාපාරයක ඉහළට නඟින්න සමත් වෙන්නා වූ පුද්ගලයා යම් වෙළඳපොල ඉල්ලුමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයට තම නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරන්නට දන්නා අයෙක් නොවේ. එවැනි රටක එවැනි ඉහළ තනතුරක ඉන්නේ “උඩ” ඉන්නා අය සහ “පහළ” ඉන්නා අය සමඟ හොඳ සබඳතා තබාගන්නට සමත් වෙන්නා ය. මාධ්‍යයන් සමඟ හොඳහිත පවත්වා ගන්නට සමත් වෙන්නා ය. සියළු දේශපාලන පක්ෂ සමඟ හොඳ සබඳතා පවත්වා ගන්නට සමත් වෙන්නා ය. විශේෂයෙන් ම රැඩිකල්වාදීන් සමඟ හොඳ සබඳතා පවත්වන්නා ය, එනම් තම ගණුදෙනු වලින් ඔවුන් ගෙන් විරෝධයක් නොනැඟෙන සේ වැඩ කරත හැකියාව ඇත්තා ය. ඔවුන් වනාහී තම ව්‍යාපාරයට අවශ්‍ය මූලද්‍රව්‍ය මිල දී ගන්නා අය සමඟ සහ තම නිෂ්පාදන මිල දී ගන්නා අය සමඟ වැඩියෙන් ගණුදෙනු කරන අධ්‍යක්ෂකවරුන් නොවෙති. මොවුන් වනාහී ෆෙඩරල් ආණ්ඩුවේ උත්තමයන් සමඟ, පක්ෂ නායකයන් සමඟ වඩා ගණුදෙනු පවත්වන අධ්‍යක්ෂකවරුන් වෙති.

ඇඟිලි ගැසීම් සිද්ධ වෙන රටක, බහුතර ව්‍යාපාරයන්ගේ පැවැත්ම රඳන්නේ දේශපාලන අනුග්‍රහය මත ය. එවැනි ව්‍යාපාරයන් පවත්වා ගෙන යන අය ආපසු දේශපාලනඥයන්ට අනුග්‍රහය දිය යුතුය. මෑත කාලය සලකා බලද්දී, ව්‍යාපාරයක් පටන් ගනිද්දී ම ලාබදායක නොවන බව පැහැදිලිව ම පෙනෙද්දී, ඒත්, දැඩි අලාභ මැද්දේ ම, දේශපාලන හේතු නිසා, දැඩි වියදම් නොමැතිව කළ හැකි වූ කිසිම දැවැන්ත ව්‍යාපාරයක් නැත. මෙහි දී ව්‍යාපාරික නොවන දෑ වලට -ඔවුන්ගේ මැතිවරණ දිනවන්නට, දේශපාලකයන්ට ප්‍රියතම වූ මහජන සේවා ආයතන වලට යනාදියට ආධාර දෙන්නට ද සිද්ධ වෙයි.

විශාල බැංකු වල අධ්‍යක්ෂකවරුන් සිය ස්වාධීනත්වයට, කාර්මික ව්‍යාපාර සහ කොටස් වෙළඳපොල කොටස් හිමියන් හා සම-කොටස් වෙළඳපොලේ යෙදෙන කොම්පැණි යනාදීන් සියල්ල ම ඒ ඒ අයගේ තත්වයේ බලය වඩා තහවුරු කරගන්නට කටයුතු කරති. දේශපාලනය මඟින් ඉක්මන් කරන මේ “විසල් ව්‍යාපාර සමාජ සබඳතාවයන් පවත්වන ව්‍යාපාර වීමේ හැදියාව,” විසින් වෙනත් කාරණා සලකා නොබලා එහි දී “තම ව්‍යාපාරයේ කොටස් හිමියන්ට වඩාත් ම ලාභ ගෙනෙන හැදියාව” තීරණය වෙන අන්දමට කළමනාකරණය සිද්ධ වෙයි. එය රාජ්‍යයේ ඇඟිලි ගැසීම් ප්‍රියකරන කතුවරයන් විසින් ඔවුන් ධනවාදය යටත් කරගත්තා යන්න පෙන්වන ලක්ෂණයක් ලෙස දක්වති. ජර්මන් කොටස් වෙළඳපොල අයිතීන් ප්‍රතිසංස්කරණය වීමේ දී, ව්‍යාපාරිකයාගේ යහපත සහ දියුණුව සලකන්නට නීතිමය උත්සාහයන් දැනටමත් සිදු වී ඇත, ඔහුගේ ආර්ථික, නීතිමය හා සමාජයීය ස්ව-වටිනාකම සහ දිගු කාලීනව පවතින අගය යනාදිය සහ නිතර වෙනස්වන බහුතර කොටස් හිමියන් වෙතින් ඔහුගේ ස්වාධීනත්වය අනිකුත් කොටස් හිමියන් වෙතින් ඉහළින් තබන්නට ගත් උත්සාහයන් විය.

රජයේ අනුග්‍රහය ඇතිව, ඇඟිලි ගැසීම් කරන්නට මහජන මතයකින් අනුමැතිය ලබමින්, මේ විසල් ව්‍යාපාරයන්හි නායකයන්, තමන් සමඟ අනිකුත් කොටස් හිමියන්ව සසඳා බලද්දී අද තමන් ඉතා ශක්තිමත් ස්ථානයක ඉන්නේ යැයි සිතති. ඒ ව්‍යාපාරයේ කොටස් හිමියන්ගේ යහපත සැලකිල්ලකට ගත යුතු නැතැයි විශ්වාස කරති. රාජ්‍ය ඇඟිලි ගැසීම් වඩාත් ම දරුණු වූ ඒ ඒ රාජ්‍යයන් වල -උදාහරණයක් හැටියට ඔස්ට්‍රියානු-හංගේරියානු අධිරාජ්‍යයේ ඇද වැටීමෙන් පසු බිහි වු රටවල් වල- ඔවුන්ගේ ව්‍යාපාරික හැදියාව වී ඇත්තේ මහජන සේවා සැපයීමේ අධ්‍යක්ෂකවරු වෙද්දී ලාබදායක බව කිසිත් සැලකිල්ලකට නොගැනීමය. එහි ප්‍රතිඵලය විනාශයයි. මෙවැනි මහජන සේවා උත්සාහයන් ලාබයක් අරමුණු කරගත් සරල දැක්මකින් පමණක් පවත්වා ගෙන යෑමට නොහැකි තරම් විසල් යැයි න්‍යායක් ඉදිරිපත් වී ඇත. මේ සංකල්පය කදිම අවස්ථාවාදී බවක් පෙන්වයි. මන්ද, ඕනෑම විටෙක ලාබයක් සෙවීම අත්හැර කරගෙන යන ව්‍යාපාරයක් මූලික වශයෙන් ම එහි බංකොළොත් භාවයට ඇදගෙන යන්නක් නිසා ය. එය අවස්ථාවාදී ය. මන්ද මේ මොහොතේ දී එම න්‍යායයම ඉල්ලා සිටින්නේ අසමත් වන්නට ඉඩ දිය නොහැකි විසල් ව්‍යාපාරයන් රැක ගැනීම සඳහා රජයේ මැදිහත්වීම් සහ උදව් වෙති.

III

සමාජවාදය සහ මැදිහත්වීමේවාදයට තවමත් සම්පූර්ණයෙන් ධනවාදය තුරන් කර දමන්නට නොහැකි වී ඇති බව සත්‍යයකි. ඔවුන්ට එසේ කරන්නට හැකි වූවා නම්, අපි යුරෝපීයයන්, ශතක ගණනාවක සමෘද්ධියෙන් පසුව, නැවතත් බඩගින්න යන්නේ අර්ථය කුමක්දැයි සද්දන්ත ප්‍රමාණයකින් නැවත සොයා ගනු ඇත. ධනවාදය තවමත් යම් පමණකින් ප්‍රමුඛව සිටින නිසා නව කර්මාන්ත තවමත් ඇරඹෙති. පවතින ව්‍යාපාරයන්ට දියුණු වෙන්නට හා ඔවුන්ගේ උපකරණ සහ මෙහෙයුම් විශාල කරන්නට ඉඩක් ඇත. අපේ සමාජයේ නොනැසී ඉතිරි වී ඇති ධනවාදයේ අවශේෂයන් වලින් තමයි මෙතෙක් වූ ආර්ථික දියුණුව සිද්ධ වූයේත් ඉදිරියට සිද්ධ වෙන්නෙත්. ඒත් ධනවාදයට හැමදාම ඇඟිලි ගසන ආණ්ඩු වලින් කෙනහිලිකම් කෙරෙනවා. ඒ වගේම මහජන සේවා සපයන ආයතන වල සවුත්තු ඵලදායීත්වය නිසා ඇතිවන පාඩු ගෙවන්නට ධනවාදයෙන් ලැබෙන ලාබයෙන් සැලකිය යුතු බදු ගෙවන්නට ද සිද්ධ වෙනවා.

අද ලෝකය දුක් විඳින මේ අර්බූදය නම් මැදිහත්වීම්වාදයේ අර්බූදයයි. රජයේ හා නගරසභා සමාජවාදයේ අර්බූදයයි. කෙටියෙන් කියතොත් එය ධනවාදීවිරෝධී වූ ප්‍රතිපත්ති නිසා ඇති වී ඇති අර්බූදයයි. ධනවාදී සමාජයකට මාර්ගය පෙන්වන්නේ වෙළඳපොල නම් වූ යාන්ත්‍රණයේ හැසිරීමයි. ඒ පිළිබඳව නම් මතයේ වෙනසක් නැත. වෙළඳපොල මිල ඉල්ලුම හා සැපයුම සංගතියකට ගෙන එයි. වෙළඳපොල තමයි තීරණය කරන්නේ මොනවාද නිෂ්පාදනය කරන්නේ සහ කොතරම් ද නිෂ්පාදනය කරන්නේ කියාත්. වෙළඳපොලෙන් තමයි ධනවාදී ආර්ථිකයක් තම පිරික්සා බැලීමේ ශක්තිය ලබාගන්නේ. නිෂ්පාදනයක් රෙගුලාසි කරන මෙහෙය වෙළඳපොල සතු වීමෙන් සෑම විටෙක ම අඩපණ කර දැමුවොත්, එවිට මිල, වේතන, පොලී යනාදිය තීරණයට වෙළඳපොලට ඉඩක් නොලැබී, එතකොට සහතික වශයෙන් ම අර්බූදයක් ඇතිවෙනවා.

බැස්ටියාට් අසමත් වූයේ නැත, අසමත් වූයේ මාක්ස් සහ ශ්මොලර් යන දෙදෙනා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: