බුද්ධිමතාගේ වේදිකාව මෝඩයන්ගේ සල්ලි වී ඇති යුගයකි මේ
17 වැනි ශත වර්ෂයේ විසූ තෝමස් හොබ්ස් කියූ අදහසක් මෙසේ ය. වචන යනු බුද්ධිමත් මිනිසාට තම අදහස් කියා දීමට පාවිච්චි කළ හැකි විජට්ටුවකි. වචන යනු ඒ නිසා බුද්ධිමතාගේ වේදිකාව වෙයි. ඒත් වචන ඇවිල්ලා මෝඩයන්ගෙ සල්ලි. ඔවුන් වචන පාවිච්චි කරන්නෙ අදහසක් පැහැදිලි කරන්න නෙමෙයි. ඔවුන් වචන පාවිච්චි කරන්නේ අදහස හොයා ගන්න බැරිවෙන්න හැඟීම් අවුස්සලා මාතෘකාව අවුල් කරන්න. අහන් ඉන්න එක්කෙනාව හොඳට කරකවලා අතහරින්න. ඒ හොබ්ස් මතය සරල ව. කෙටියෙන්.
මෝඩයන් අනුන්ගේ සල්ලි බලහත්කාරයෙන් අරගෙන, ඒ සල්ලි අනුන්ගේ ම නිසා එහි වැදගත්කමක් නැතිව පාවිච්චි කිරීම ලෝකයේ ඉහළ ම ලෙසකින් පැවතෙන යුගයකි මේ. “හොබ්ස් කියන සල්ලි” මේ මෝඩයන් ලෝස් නැතිව බෙදන්නෙ අනුන් හම්බ කරපු ඇත්ත සල්ලි බෙදා හරින බලය අල්ලා ගන්නට. ඒ අය මෝඩයන් යැයි අයෙක් වටහා ගන්නේ කෙසේ ද? ඔවුන් කරපු කියපු කිසිවක් එසේ ඉටු වූයේ නැති නිසා .. අවසානය ඔවුන්ගේ ද විනාශය පමණක් නොව රටේ හා ජනතාවගේ ද විනාශය සිද්ධ වූ නිසා.
හැමදාම හෙට දෙන බියර්! අපි බියර් බොන්නෙ නෑ, අපිට එපා කියලා අයින් වෙන්නත් බෑ .. බැහැයි කියන්නට ඉඩක් නොදී අනුන්ට බෙදන්නට බලහත්කාරයෙන් නෙ සල්ලි උදුරාගන්නෙ.
සුදු අප්පුහාමි ජර්මනියේ ජීවත් වෙද්දි සිද්ධ වෙච්ච කතාවක් මේ. ජර්මනියේ පුංචි ගමක, කන්දක් උඩ නිවසක තනිව ජීවත්වෙන්නෙ යුදෙව් වාසගමක් තියෙන සුදු අප්පුහාමි. තුර්කි ජාතික කිහිප දෙනෙක් ගමේ නිවසක් ඉදිකරන ශ්‍රමය සපයන්න එන්නෙ ඒ කාලේ. ඔවුන්ගේ ශ්‍රමය මිල දී ගන්නා ජර්මන් කාන්තාව ඔවුන්ට හැම් සැන්විච් දෙනවා දවල් කෑමට. ඔවුන් අහනවා මේ මස් මොන සතාගෙන් ද කියා. සතා දැනගත්ත ම බොහොම ස්තූතියි ඒත් අපි කන්නෙ නැහැ කියල ඔවුන් දන්න ජර්මන් ටිකෙන් කියලා ආහාරය ප්‍රතික්ෂේප කරනවා. සුදු අප්පුහාමි රස්සාව කරන්න රට රටවල් වලට නිතර යන එන කෙනෙක් බව ගමේ හැමෝම දන්න දෙයක්. මේ කාන්තාව හනිකට දුවගෙන එන්නෙ සුදු අප්පුහාමිගේ නිවසට. ඔවුන් දිවා ආහාරයක් නැතිව ශ්‍රමය වෙහෙසීම ඇයට බොහොම දුකක්. ඇය සුදු අප්පුහාමි ගෙන් අහනවා, “කවුද මේ ‘අල්ලා’ කියන්නෙ? මේ මිනිස්සු මේ අනගි හැම් සැන්විච් කන්න බෑ කියනවානේ එයා එපා කියපු නිසා,” කියල. නාට්සි ජර්මනියෙන් වසර හතළිහකට පමණ පසුව මෙහෙම අහන්නෙ යුදෙව් වාසගමක් ඇති අයෙකු ගෙන්!!!! (යුදෙව්වන්ට ද ඌරු මස් අකැපය.) ජර්මනියේ දරුවන්ට කින්ඩර්ගෙල්ඩර් බෙදා දෙන බලය අල්ලා ගත් ආණ්ඩු ක්‍රමය තමන් එදා මිලියන ගණනින් මරා දැමූ යුදෙව්වන් ගැන හෝ මෙදා රටට ගෙන්වා ගත් සංක්‍රමණිකයන් ගැන දැනුමක්, දැනුම බෙදන හැටි තමන් පමණක් දන්නවා යැයි කියුවාට, දැනුම බෙදා දී ඇත් ද?!!!
දැන් ඊ ළඟ කතාවට. මේවා දිග වාක්‍යයන් කියවද්දි මුල අමතක වෙන අයට නොවේ. නිදහස් අධ්‍යාපනය යැයි කියමින් බෙදන පටු අධ්‍යාපනයෙන් පිරැණු මොළ වලින් “මෝඩයන්ගේ සල්ලි” ගිලින අයට නෙමෙයි. මේ වදන් බුද්ධිමත් වේදිකාවේ දැනුම ඉදිරිපත් කරන අදහස් හුවමාරුවක් බව කරුණාවෙන් සලකන්න.
2005 සැප්තැම්බර් මාසයේ Jyllands-Posten හි නබී නායක මොහම්මඩ්ගේ කාටූන් පළ වූ සිද්ධියත් ඉන්පසු ඇවිලී ගිය භීෂණය ගැනත් කෙසේ සිංහලෙන් ලියැවී ඇත්දැයි නොදනිමි. “හොබ්ස් කියන සල්ලි” පරිහරණය වූ විදිය ගැන හොඳ උදාහරණයක් මේ.
ඩෙන්මාර්කයේ ළමයින්ට පොත් ලියන කතුවරයෙක් තමනට නබී නායක මොහම්මඩ් ගැන පොතකට පින්තූර අවශ්‍යය යැයි ප්‍රකාශ කරයි. ඉස්ලාම් යනු දෙවියන්ගේ හෝ තම නායකයන්ගේ පින්තූර වලට වන්දනා මාන කරන ආගමක් නොවේ. තව්තිසාවේ දෙවි දේවතාවියන් දැක්කා සේ ඇඳි පින්තූර ඇති බෞද්ධ සංස්කෘතික වන්දනා ස්ථාන වැනි පූජනීය ස්ථාන මුස්ලිම් ලෝකයේ නැත. එහෙත් පින්තූර යනු අපේ සංස්කෘතියයි. එය යුරෝපීයයන්ගේ ද සංස්කෘතියයි. පින්තූරයක් නැත්නම් අප යමක් විශ්වාස නොකරන තරම් හැදියාවකින් යුතුයි!!!
ඉහත සඳහන් ඩෙන්මාර්ක් හි දිනපතා පුවත්පතේ කතුවරයා වූ Flemming Rose ට උවමනා වූයේ යුරෝපයේ අනිකුත් සියළු ආගම් වලට හාස්‍ය කරන්නට ඇති නිදහස භාවිතා කරන අය මුස්ලිම් ආගමට හාස්‍ය කිරීමෙන් වැළකෙන දෙබිඩි පිළිවෙත ඉස්මතු කර දක්වන්නට. ඔහු අර පොත කොණක් හැටියට අල්ලා ගෙන කාටූන් දොළහක් විවිධ කාටූන් ශිල්පීන් වෙතින් අන්ඳවා ගනියි. ඒවා 2005 සැප්තැම්බරයේ දී පුවත්පතේ පළවෙයි. ඒවා නූතන ඇමෙරිකන් චිත්‍රපටිය මෙන් නොව මුග්ධ බවින් පමණක් වූවා යැයි සැලකේ. ඒ නිසා ඩෙන්මාර්කයේ මුස්ලිම් ජනතාව අවිවාදයෙන් තොරව විරෝධය පෑවේ නබී නායකයාගේ පින්තූර ඇන්ඳාට ය.
පාකිස්තානයේ Jamaat-i-Islami පක්ෂය අර පොත ලියන්නට ගිය කතුවරයාගේ හිසට මුදලක් ඉදිරිපත් කරයි!!!
Ahamed Abu Laban ඩෙන්මාර්කයේ සංක්‍රමණික ඉමාම් කෙනෙකි. තම කෝපන්හාගන් කේන්ද්‍රීය කරගත් Islam Trossam හි ඔහු ඉස්ලාම් යනු ප්රගතිශීලී වූවක් ලෙසින් ද, බටහිර සංස්කෘතියට ඒ ගැන බිය වන්නට අවශ්‍ය නැති වූ ද, සාමකාමී ආගමක් යැයි ද ප්‍රකාශ කරයි. බටහිරට ඉස්ලාම් තර්ජනයක් එල්ල වූවොත් ඊට එරෙහිව මුලින් ම සටන් වදින්නේ අපි යැයි ද හේ කියා සිටියි. තමා ඉන්නා රටේ වැසියන්ට ප්‍රසිද්ධියේ එසේ කියනා ඔහුගේ අදහස් යුරෝපීයයන් එක විදියකටත් මුස්ලිම් අන්තවාදීන් තවත් විදියකටත් බාර ගනිති. එනම් එක පණිවිඩයෙන් පරස්පර පණිවිඩ දෙකක් යවන්නට හේ සමත් වෙයි.
මොහුගේ අන්තවාදී ඉස්ලාමීය අදහස් හා ත්‍රස්තවාදී සබඳතා හෙළිවීමෙන් පසුව ඔහු එක්සත් අරාබි එමයිරේට්ස් සහ ඊජිප්තුවේ “නොපිළිගත හැකි පුද්ගලයෙක්” වෙයි. රොහාන් ගුණරත්න තම Inside Al Qaeda පොතෙන් Laban ඉස්ලාමීය අන්තවාදීයෙක් යැයි නම් කර ඔහු ඇල් කයිඩා සංවිධාන වලින් දේශපාලන හා ආර්ථික සහාය ලබාගත් විස්තර හෙළි කරයි.
Laban සහ තවත් ඉමාම්වරු ඩේනිෂ් කාටූන් රැගෙන 2005 නොවැම්බර් හි දී මැද පෙරදිග බලා යති. පසුව දැනගන්නට ලැබෙන පරිදි ඔහු සහ Akhmed Akkari දෙදෙනා විසින් මුස්ලිම් විරෝධී වෙනත් චිත්‍ර ද එයට එකතු කර බෙදා හරිති. එකක් ඌරැ නැහැයක් පැළඳගත් ඩෙන්මාර්ක ජාතිකයෙක්ගේ පින්තූරයක් දක්වා ඔවුන් එය නබී නායකයා යැයි කියමින් අපහාස කරනවා යැයි අලුතින් එකතු කර හදන ලද්දකි. ඒවා ඩෙන්මාර්කයේ අර පුවත්පතේ හෝ වෙනත් කිසිම යුරෝපීය පුවත්පතක පළ නොවූ ඒවාය. ඒවා ඔවුන් මැද පෙරදිග හැම අත බෙදා හරිමින් කතා පවත්වති.
මුස්ලිම් ලෝකය කුපිත වෙයි. විරෝධතා පාද්දී පොලීසිය වෙඩි තැබීම නිසා වාර්තා වෙන මරණ 100 කට අධික ය. කාටූන් වලට විරෝධය පාමින් සිරියාව, කුවෙට්, සවුදි අරාබිය හා ලිබියාව තම රාජ්යතාන්ත්රිකයක්ව කෝපන්හාගන් නගරයෙන් ඉවත් කරති. පාකිස්තානයේ ඩෙන්මාර්ක් එම්බසියට බෝම්බයක් වැදෙයි. සිරියාවේ, ලෙබනනයේ, ඉරානයේ, තිබි ඩෙන්මාර්ක් එම්බසි පුළුස්සා දැමෙයි. ඩෙන්මාර්ක් හි කාටූන් පළ කල පත්තර කන්තෝරුව දෙවතාවක් බෝම්බ තර්ජන නිසා සියළු දෙනා ඉවත් කරයි. ජකර්තා හි ඩෙන්මාර්ක තානාපති කාර්යාලයට පහර වැදෙයි. ඝාසා තීරයේ ඩෙන්මාර්ක්, ප්‍රංශ, නෝර්වේ, (කාටූන් පළ කරන ලද රටවල්) ජර්මන්, ඕලන්ද (එය ගැන කියූ) සහ ස්වීඩන (කුමන හේතුවක් දැයි කිසිවෙක් නොදනිති) කොඩි ගිනි තබමින්, යුරෝපීය සංචාරකයන්ට පලස්තීන වැසියන් ගෙන් තර්ජන එල්ල වෙති. තුවක්කුවක් අතැති වූවෙක් ඝාසා හි යුරෝපීය යුනියන කාර්යාලය අල්ලා ගත්තේ ය. ජර්මන් යුවලක් පැහැර ගෙන යන ලදි. 2006 පෙබරවාරි 5 වැනිදා තුර්කි නගරයක් වූ Trabzon හි Andrea Santoro කතෝලික ස්වාමිවරයෙක් වෙඩි තබා මරන්නේ 16 හැවිරිදි Oğuzhan Akdin විසිනි. ඔහු හිරගෙදරට නියම වෙයි. මිනීමරුවාගේ අන්තවාදී මවට පුතා දෙවැනි ජෝන් පෝල් පාප්තුමා මරන්නට උත්සාහ ගත් වීරයා හා සමාන වීරයෙකි, තම පුතා “අල්ලා ගේ නාමයෙන් රටටත් ජාතියටත් ලැබුණු තෑග්ගකි”.
සති කිහිපයකට පසු බෙන්ගාසියේ 15 දෙනෙක් මැරෙන්නේ ඉතාලියේ ඇමතිවරයෙක් අර කාටූන් ඇති ටී-ෂර්ට් එකක් හැඳගෙන සිටියා යැයි විරෝධතා දක්වන්නට යද්දී ලිබියන් හමුදාව වෙඩි තබා ය.
ඩෙන්මාර්කයේ කොම්පැණි -ලෙගෝ, Bang & Olufesen සහ Arla Foods යනාදියට එරෙහිව වර්ජන පටන් ගැනෙයි. ආර්ලා ආහාර කොම්පැණිය දිනකට ඩොලර් මිලියන 2.4 ක් පාඩු ලබති. තමන් කරන ලද වරදකට නොව වෙනතක සිටිනා අයෙකු කරන ලද මගෝඩි වැඩකට මෙසේ පාඩු විඳින යුරෝපීය ව්‍යාපාරික ලෝකය තක්බීරි වෙති. Carrefour ප්‍රංශ ව්‍යාපාරය හනිකට තම කඩවල දැන්වීමක් එල්ලන්නේ “අපි මුස්ලිම් සහ ඊජිප්තු සමාජයට සහයෝගය දක්වමු” යැයි ද රතු අකුරින්: “Carrefour කිසිම ඩේනිෂ් නිෂ්පාදනයක් විකුණන්නේ නැත” කියාය.
නිදහස අගයන නිසා ම සමෘද්ධිය තිබි යුරෝපයේ සමෘද්ධිය සොයා පැමිණි මුස්ලිම් ජනතාව තම රටවැසියන් සමඟ නොව සහාය දක්වන්නේ “මෝඩයන් ගේ සල්ලි” සමඟය. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි තරුණ රැඩිකල්වාදීන් “ඉස්ලාම් වලට අපහාස කරන අයගේ හිස් ගසා දමන්න,” “ඉස්ලාම් වලට අපහාස කරන අය සමූල ඝාතනය කරන්න,” සහ “යුරෝපය, ඔබ එයි බඩ ගා ගෙන, මුජහාදීන් එද්දී ගර්ජනය කරගෙන,” යනාදී පෝස්ටර් ඔසවාගෙන පෙළපාලි යති.
කාටූන් අර්බූදයේ සිටි සියල්ලන්ට ම මරණ තර්ජන දිගට ම ගලා එති. ඉතින් යුරෝපයේ නිදහස් ප්‍රකාශයට ඇති අයිතිය අද මායාවක් පමණි. ඕනෑම දැයක් ගැන හාස්‍යයට අයිතිය ඇතත් ඉස්ලාමීය දැයකට හාස්‍ය කිරීම සෙසු ලෝකයාට ම ටැබූ විෂයයකි.
තියෝ වැන් ගෝ අධ්‍යක්ෂකවරයා Submission නමින් වාර්තාකරණයක් හදන්නේ මුස්ලිම් කාන්තාවන් ගැන ය. ඒ නිසා උරණ වූ මුස්ලිම් අන්තවාදීන් ඔහු මරා දැමීම ගැන, ඉස්ලාම් සාමකාමී යැයි කියූ Laban විසින් ම පුවත්පතකට කියන්නේ, වැන් ගෝ නිදහස් ප්‍රකාශණයට ඇති අයිතිය අපහරණය කළා යන අවලාදයයි. එසේ කියන ඔහු ඊ ළඟ වසරේ දී සත්‍යය කාටූන් වෙනුවට විකෘති කරන ලද කාටූන් රැගෙන ගොස් මැද පෙරදිග වැසියන් බොරු තතු කියා ඇවිලීම දකින්නේ නිදහස් අයිතියක් අපහරණය කළේ නැති හැටියට ද?!!!!
වෙනත් භාෂා වලින් ලියා ඇත්තේ මොනවා දැයි නොදන්නා අයව රැවටීම පහසු ය. එවිට අදහස් බෙදන වේදිකාව තනිකරම “මෝඩයන්ගේ සල්ලි” වලට සීමිත වේ.
ආගම නීතිය කරගෙන, නීතිය ආගම කරගෙන, මිනිස්කම, ස්ත්‍රීත්වය, හප කර වනසමින්, මහා පොළොවේ උතුර දකුණ තිබෙන්නේ කොහෙද යනතාරමට හෝ තම සම්පුර්ණ නම තම මව් බසින් ලියාගන්නට නොහැකි උපතින්ම මානව හිමිකම් පැහැරගැනීමට ලක්වූ ජනතාව රවට්ටමින් නටන මේ විප්‍රකාර තව කොතෙක් කල් ඉවසන්නද. මගේ නහයේ නොවදින පරිදි ඔබේ කුඩා මිට ඕනෑම අතකට කරකවන්නට නිදහස තිබෙන බව මේ අමන මොළ වලට වැටහෙන්නේ කවදාද?
සුද්දප්පු ලස්සන කොල්ලෙක්නේ
විචාරක,
ඔබ කියූ ඔක්කොම ටික ඒ විදියට ම තමයි මාත් හිතන්නේ!!!
විචාරක මැදිවියේ පුද්ගලයෙකි මමද එසේමය අරුණි ටද ඇත්තේ අප මෙන්ම තරුණ අදහස්ය ඒත් අනේ මේ බ්ලොග් කියවන කොට ඉන්න අපේ තරුණ පරපුර කියන කතා සරචන්ද්‍ර සමග පේරාදෙණියේ අකුරු කල අපේ තාත්තාටත් වඩා මහලුය.මෙවැනි මහලු අදහස් සහිත තරුණ පරපුරක් අපිට උරුම වූයේ කෙසේද? මා කුඩා කල අපේ තාත්තාට දැන් මගේ වයසින් අඩකටත් අඩු අයට වඩා රැඩිකල් අදහස් තිබුනි. 😦
කරුමයකට අද අපේ රටේ බුද්ධාගමේ තත්වයද එයමය.
Maathalan,
විකෘති විකෘති .. එහෙ බැලුවත් විකෘති මෙහෙ බැලුවත් විකෘති …
http://obataislam.com
මෙන්න ඒ හා බැදෙන තවත් බ්ලොග් එකක්
මුස්ලිම් ගැන අපේ මිනිස්සු උනන්දු මදි.
lakmal,
“මුස්ලිම් ගැන උනන්දු මදියි” කීම දෝෂ සහගත ප්‍රකාශයක්. ආගමක් ගැන උනන්දුවක් ඇත්තෙක් එය ගැන සෙවීමේ වරදක් මා දකින්නේ නැහැ. ඒත් ආගමේ නාමයෙන් කරන අපරාධ හා බොරු පැතිරවීමට ඉඩ දීම නීති කඩනා අයට දඬුවම් නොදීමයි. එයට වාතාවරණයක් දීම සියළු රටවැසියනට කරන හානියක්.
මුස්ලිම් ජනතාවගෙන් මුස්ලිම් අන්තවාදීන් වෙනස් යැයි හඳුනාගන්නට උත්සාහයක් ගන්න. Yusuf Islam ද මුස්ලිම් ආගමිකයෙකි, එහෙත් ඔහු මුස්ලිම් අන්තවාදියෙක් නොවේ.
අද ඇමෙරිකාවේ මිලියන දෙකකට වඩා මුස්ලිම් පිරිසක් සිටිති. ඇමෙරිකාවට සේ (වර්ග සැතපුම් 3,794,101) තියා ලංකාව (වර්ග සැතපුම් 25,332) තරම් වත් ලොකු නැති ඊශ්‍රායෙල් (වර්ග සැතපුම් 8,019) හි ද මුස්ලිම් අය මිලියනයකට වඩා (ජනගහණයෙන් 20% ක්) වාසය කරති. ඇමෙරිකාව ලෝකයේ සියළු රටවල් අතරින් තම පුරවැසියන්ගේ ආර්ථිකය ඉහළින් ම ඇතැයි සාධනීය කරන රටක් වන අතර ඊශ්‍රායෙල් ද මැද පෙරදිග රටවල් හා උතුරු අප්‍රිකානු කලාපීය රටවල් අතරින් තම පුරවැසියන්ගේ ආර්ථිකය ඉහළින් ම තබන්නට සමත් වූ රටක් වෙයි.
මුස්ලිම් ජනතාවගෙන් මුස්ලිම් අන්තවාදීන් වෙනස් වුවත් ලෝකයේ සියළු වාමාංශිකයන් අතර වැඩි වෙනසක් දැකිය නොහැකියි!!!
මේ බ්ලොග් තූන දැක්කද
http://www.anvermanatunga.com/
http://musalmanuwa.wordpress.com/
http://anniisa.wordpress.com/
lakmal,
“මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක ලෙස තැනු ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයෙන් ඇමරිකාවට දැඩි කැළලක් ඇතිවු බව ඇමරිකානු ජනාධිපති වරයා විසින් දැන් පිළිගෙන ඇත. ඒ බව පිළිගෙන ඇත්තේ පසුගිය 2012 සැප්තැම්බර් 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ ජගත් මහ සමුළුව ඇමතු අවස්ථාවේදීයි,” යැයි ලියන්නේ ඔබ දැමූ පළමු සැබැඳියේ ඉස්ලාම් ගැන සිංහලෙන් ලියන අන්වර් මනතුංග විසිනි. මා ඒ අඩවිය කියවා ඇත්තේ පටන්ගත් කාලයේ පළ වූ සටහනක් දෙකක් පමණි. අප්පමාදේන සම්පාදේථ.. පිළිපදින මා, එය ලියන්නා අන්තවාදියෙක් දැයි සොයන්නට මගේ කාලය වැය කිරීමට කැමති නැත.
මෙන්න ජනාධිපති ඔබාමා එක්සත් ජාතීන් ඉදිරියේ පැවැත් වූ කතාව. ඔබාමා එහෙම කතාවක් කියා ඇත්දැයි තීරණය කියවන්නා සතුයි. අප්පමාදේන සම්පාදේථ.. පිළිපදින මට, වාමාංශිකයන්ගේ රෙදි හෝදා දෙන්නට කාලයක් ද නැත!!
ඇඟිලි ගැසීමෙන් තම පුරවැසියන් හා අනිකුත් රටවල් ද හදන්නට හැකි යැයි සිතනා වාමාංශිකයන්ට වැරදුනු විට ඇඟිල්ල නිතරම දික් වෙන්නේ වෙනතකට ය. අසමත් ප්‍රතිපත්ති ඉදිරියේ ඊ ළඟ මැතිවරණය දිනන්නට ජනතාව රවටන උතුම් කතා පවත්වති. ඉස්ලාම් ලෝකය පූජනීය ලෙසින් සලකන ආගමික නායකයා සේ ම ඉහළ වූ පූජනීය ලෙසින් සලකන නිදහස් ප්‍රකාශණයට සලකන්නට ඇති ඇමෙරිකන් අයිතිය ඇමෙරිකානුවන්ට නැතැයි කියන්නට ඇමෙරිකාවේ ඉන්නා වාමාංශිකයාට මෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසා බැරි ය. ඉතින් හැමදාම වාමාංශිකයන් සත්‍යය ඉදිරියේ දී කරන හැදියාව ඔබාමා ද කරයි. සත්‍යය පිළිගනියි. ඒත් මේ ප්‍රතිඵලය වෙන හේතුවක් නිසා කියයි. එය කෙසේ වූයේදැයි පැහැදිලි නොකරයි.මන්ද එය පැහැදිලි කරන්නට ගියොත් වාමාංශික වූ ඇඟිලි ගසන ප්‍රතිපත්ති ගැන ද කියන්නට වෙන හෙයිනි. සැලසුම් ගසා අපරාධකරුවන් මේ අයයි අහිංසකයන් මේ අයයි ලේබල් කරන්නට යද්දී සත්‍ය අපරාධකරුවන් හා ත්රස්තවාදීන් නීතියෙන් රිංගති. නිදහස් අයිතීන් මොනවා දැයි නොදන්නා ත්රස්තවාදීන් ඉන්නා නිසා සැලසුම් ගැසීමෙන් පමණක් සාමය උදාකරත හැකි යැයි ජනතාව රවටා බලය ඉල්ලන ඔබාමාට නොහැකියි. එවිට නිදහස් අයිතීන් වල වැදගත්කම තව දුරටත් පිළිගන්නට සිද්ධ වේ!!!!
නිදහස් ප්‍රකාශණයට අයිතියක් ඇතැයි කියමින් ලිබියාවේ ත්‍රස්තවාදය සිද්ධ වූයේ චිත්‍රපටිය නිසා යැයි කියන්න යෑමෙන් නම් ඇමෙරිකාවට නොව කැළලක් සිදු වී ඇත්තේ ඔබාමාට ය. එහෙත් ඒ කැළැල් යනු අසමත් උත්සාහයට සටන් වදිනා වාමාංශික ලෝකය අගයන වීරත්වය නොවේ ද?!!!!
පැහැදිලි කිරීමට ස්තූතියි.
http://www.yahamaga.com ගැනත් ඔබේ අවංක අදහස් දැනගන්න කැමැත්තෙමි
mohamed,
අවංක අදහස් තමයි බෙල්ල ගහලා ගියත් කියන්නෙ 😀
අගාරික වීමෙන් කොටසක් හුදු මිථ්‍යා විශ්වාසයන්ට යොමුවෙන නිසා ද, තවත් කොටසක් අධ්‍යාත්මිකව නන්නත්තාර වූවන් වෙන නිසා ද, අගාරික වීමට වඩා ආගමක් ඇදහීම බහුතර ජනතාවගේ හිතසුව පිණිස ම වේ යැයි ඉතිහාසය දිහා බලා තේරුම් ගත් අයෙකි මම. ඒ නිසා, යහමඟ අඩවියේ මුස්ලිම් ආගම අනුගමනය කරන අය යහමඟට ගෙන යන මෙහෙයට ජය පතමි!
ඔබේ බ්ලොගයේ දීර්ඝ කාලීන පාඨකයෙකු වන අබූ අර්ශද් (යහමඟ කතෘ) වන මා ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් අවංකවම සතුටු වෙමි.
ශ්‍රී ලාංකීය සමාජය තුල විකෘති මතවාදයන් වපුරන වකවානුවක ඔබගේ මෙහෙවර සැබෑ ආදර්ශයක් ඔබේ මෙහෙවරට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!,
ස්තූතියි අබූ අර්ශද්.
මම හැම විටම උත්සාහ කරන්නේ මගේ වැරදි හදා ගැනීමට. එසේම මගේ ආගමේ අය, මගේ දේශපාලන මතවාදයේ අය, මගේ යාළුවෝ වැරදි කරනවා නම් ඒවා අනුමත නොකිරීම හා වැරදි පෙන්වා දීම, හැම විටම. එය ඔවුන්ගේ මෙන්ම මගේ ද වැරදි හදා ගන්නට හැකි එකම මාර්ගයයි.
විවිධ ආගම් ලෝකයේ ඇත්තේ විවිධ මිනිසුන් විවිධ අරමුණු සාක්ෂාත් කරගන්නට උත්සාහ ගන්න නිසා. මානවහිතවාදී නම් අපි ඔවුන්ට ඔවුන්ගේ කැමැත්ත සොයා යන්නට ඉඩ දීම කළ යුතුමයි. බලහත්කාරකමින් යම් දර්ශනයකට පමණක් ඉඩ දීම සහ තවත් තෝරාගැනීම් තහනම් කිරීම සිද්ධ වෙන්නේ තමන්ගේ ආගම, තමන්ගේ දේශපාලන මතවාදය හා තමන්ගේ ප්‍රතිපත්ති මොනවා දැයි කියා නොදන්නා නිසාම ඒවායේ හොඳ පෙන්නලා මිනිස්සු කැමති කරවා ගන්න නොදන්නා මෝඩයන් අතින්.
ඔබටත් ජය!
[…] ලිබරල්වාදය” නම් ලේබලයක් ලැබී ඇත. “හොබ්ස් කියන සල්ලි,” ලෝස් නැතිව බෙදන අය හමුවේ පැරණි […]