“බෙදා දෙන්න ක්‍රමයක්” සහ “බෙදා දෙන්න සමත් කෙනෙක්”
මම කළින් දවසක ලිව්වා ඇමෙරිකානුවා කවුද? කියා. ඊට පසුව ලිව්වා ඒ සටහනේ සඳහන් වෙච්ච අපේ යාළුවෙක්ගෙ පුතෙක් ඇමෙරිකාවේ ගණිත තරඟයක් දිනූ බව. දරුවා දැන් කැම්පස්. එයා කැම්පස් ජීවිතේ පටන් ගනිද්දී ම එයාගේ ඉහළ ලකුණු නිසා ලැබෙනවා පශ්චාත් උපාධි පාඨමාලාවේ පංති කිහිපයකට අවසර. මිනිහා එහෙම ගිය පංතියක පළමු දවසේ, මහාචාර්යතුමා ඇවිත් ගණිත ගැටළුවක් ලියලා කියනවා දරුවන්ට, මේ ගැටළුව විසඳන්න හැකි නම් පාඨමාලාව සමත්, ආයේ වසර පුරා ම පංති එන්න ඕනෑ නැහැ කියල. මේක සත්‍ය කතාවක්, මැට් ඩේමන් රඟපාපු Good Will Hunting (1997) ප්‍රබන්ධය නෙමෙයි. මේක වෙන්නෙ 2012 ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ තියන Purdue University යේ. ළමයි ගැටළුව කොපි කරගන්නවා, දැන් කාලේ ඉතින් ලැප් ටොප් එකටනේ. පුතා ඊ ළඟ දවසේ විසඳුම ගෙනිහින් මහාචාර්යවරයා අතට දීලා ඒ ගැටළුව ලිවීමේ දී තිබිච්ච දෝෂයකුත් පෙන්වලා දෙනවා!!!!
ඇමෙරිකන් සුවිශේෂීත්වය (exceptionalism) කියන්නෙ තියෙන සම්ප්‍රදායට එරෙහිව ඉස්සරහට යන්නට ඉඩක් ඇති රටක් වීමයි කියන්න. එදා තිබිච්ච ඔටුනු පැළඳි ලෝක සම්ප්‍රදායට එරෙහිව ගිහින් තමයි රට බිහිවුනේ. ඒ විදියට හැඩ ගැසිච්ච සංස්කෘතියෙ අවශේෂ තවමත් තියෙනවා. ඒත් වෙනස උතුම් කියලා කෑ ගහමින් හැමදාම පරණ හණමිටි කරතබා ගෙන ඉන්නා අය මේක විකෘති කරන්න පටන් අරගෙන මෙහෙත්. සෙසු ලෝකයා කෑ ගහන්නෙ ඇමෙරිකාව තමන්ගේ සංස්කෘතිය ගිල්ලවන්න හදනවා කියලයි. මෙහි දී ඔවුන් කියන්නෙ අරයා දියුණු නිසා මෙයා දුප්පත් වෙලා – ඒ වගෙ කොල්ල කන සංස්කෘතියක් අපිට ඕනැ නැහැ කියල. ඒත් තමන්ගෙ ක්‍රමයෙන් හැමෝම දුප්පත් වෙච්ච මිසක් දියුණු වෙච්ච උදාහරණයක් නැහැ පෙන්වන්න. ඒ මදිවට තමන්ගෙ ගුණ්ඩු ගිල්ලවන්න ඕනෑ වුනාම විතරක් හනිකට බදා ගන්නෙ ඇමෙරිකාවේත් තියන අසාර්ථක වාමාංශික අදහස්. උදාහරණයක්, අසාර්ථක ඇමෙරිකන් අධ්‍යාපන ප්‍රතිපත්ති වලට කැමැතියි, ගෙදර උගන්වන්න හැකි වැනි සාර්ථක ඇමෙරිකන් ප්‍රතිපත්ති තියෙන බව කතා නොකර.
ඇමෙරිකාවේ සුවිශේෂීත්වය මේ කැමැත්ත සොයා යන නිදහස.
ක්‍රීඩා තරඟ බලන්න මිනිස්සු කැමති ඇයි? තමන්ගෙ පිල දුර්වල ප්‍රතිවාදියා ඉදිරියේ ලේසියෙන් ලබන දිනුමක් එච්චර රස නැහැ. වැඩිපුර අය කැමති තමන්ගෙ පිල අවංක ව කරන තීරණාත්මක සටනකින් ජයගන්නවා බලන්න. අභියෝගයක් ඉදිරියේ පරාජයට ගොදුරු නොවී ජයග්‍රහණයක් ලැබීමෙන් ආඩම්බර වීම මිනිස් ස්වභාවයේ උරුමයක්. මිනිසා ස්වභාව ධර්මයෙන්, සතුරු අන්තරා වලින්, සෙසු ගෝත්‍රික ආක්‍රමණ වලින් එල්ල වූ අභියෝග ජයගෙන ලැබූ ආඩම්බරයෙන් පැවතෙන හැදියාවක්. මිනිස් සන්තානය තුල ඉවත් කළ නොහැකි අන්දමින් දායාද වෙලා තියෙන මේ ආකාරයෙන් ලැබෙන ස්වභාවික ආඩම්බරයක් කිසිත් කෙනෙකුට උදුරා ගන්නට බැරි වූවක්.
හැබැයි ඒකට දයාව, කරුණාව, අනුකම්පාව යන ලේබල් ගහගෙන නිති උත්සාහ කරන අයගෙන් නම් ලෝකයට කිසිම අඩුවක් නැහැ.
මුලින් ම ගේනවා රැවටිල්ලක්, තම බලය වැඩි කරගන්න සැලසුමක්. බහුතරය අල්ලා ගත්තොත් චන්දය දිනා ගත්තෑකි. බහුතරයට පහසුවෙන් ගිල්ලත හැකි ගුණ්ඩුව එහෙම නම් කුමක් ද? මේ භාෂාව රජයේ භාෂාවයි. අපි හෙට උදේ ඉඳලා වැඩ කරන්නෙ මේ භාෂාවෙන්. අපේ අගමැතිගේ ලේකම්ට භාෂාව බැරි වුනාට කමක් නැහැ, අපේ අගමැතිට භාෂාව බැරි වුනත් කමක් නැහැ, අනාගතයේ එන කිසිම නායකයෙකුට අවංක ව විභාගයක් සමත් වෙන්න තරම් භාෂාව බැරි වුනාට කමක් නැහැ!!!!
ගුණ්ඩුවක් ගිල්ලවන්න පහසුවෙන්නෙ තිත්ත ඇත්ත වසන් කරලා දුන්නම. හැමෝම එක හා සමාන තලයක තරඟ කරලා නැති බව වසන් කරනවා. ඒක කිව්වොත් කවුරු හරි අහනවානේ ඇයි අපිට එකම තලයක තරඟ කරන්න හදලා දෙන්නෙ නැත්තෙ කියලා? ඒ නිසා කියන්නේ වෙන කවුරු හරි ඔබට තිබිච්ච දැයක් ඔබෙන් උදුරා ගත්තා, අපි ඒ දැය ඔබට ආපහු ලබා දෙන උතුම් නායකයෝ කියලයි.
සැලසුම් ගෙනෙන අය හදන්නෙ “වෙන කවුරු” හරි ගෙනැත් දැම්මා කියන ආතතිය, අභියෝගය, උත්සාහය හා තරඟය ඉවත් කරන්න. සමාජයේ සියළු අවශ්‍යතා “අයිතීන්” කියලා ලේබල් එකක් ගැහැව්ව ම නිකම් ඉබේ ම ඒවා ලැබෙන විදියට ගුණ්ඩුවක් ගිල්ලවන්න. තම අවශ්‍යතා සාක්ෂාත් කරගන්න නම් තමන් ආතතියට මුහුණ දෙමින්, අභියෝගයන් බාර ගෙන, නොපසුබට උත්සාහයෙන් ජීවිත තරඟයෙන් ජයගන්න හැකි යැයි අත් දකින්නට අවස්ථාවක් ඇති කරන්න නම් මේ සැලසුම් ගෙනෙන නායකයන් මොකට ද? ඒ ලෝකෙ හැටිනේ!!!!!
කිසිම දෙයක් තමන් වෙහෙසී ලබාගත්තක් වෙන්නෙ නැහැ. සැලසුම් ගෙනැවිත් බෙදන, සැලසුම් ගෙනැත් අහිමි කරන, ක්‍රමයෙන් කාලයක් යනකොට හැමෝම වර්ජන. ඇයි මෙච්චර කල් කරපු ඒවායෙන් සැමට සාධාරණයක් වෙලා නැති බව හැමෝම දන්න නිසා. අවුල් වැඩියි. ආතතිය ඉහළ ගිහින්. දැන් අභියෝගය වෙන්නෙ ගේන අයත් නොදන්න සැලසුම මොකක් ද හඳුනා ගන්නට. උත්සාහ කළාට වැඩක් නැහැ ප්‍රතිඵල වැඩියෙන් ලැබෙන්නෙ සැලසුම් ගහන අයටයි, එයාලගෙ දරුවන්ටයි, එයාලගේ නෑදෑයන්ටයි, එයාලගෙ දෙපතුල් ලෙවකන අයටයි … තරඟය දැන් විකෘතියි, ජයගත්තත් දිවට දැනෙන්නේ අමුතු රහක්.
දක්කාගෙන යන ගව රැලක් වගේ මිලියන ගණනක මිනිසුන් වෙතින් ඔවුන් කැමති දෙයක් මිල දී ගන්නට ඇති හැකියාව ඉවත් කරලා. ඔවුන් කැමති වේලාවක ඒවා මිල දී ගන්න හැකියාව ඉවත් කරලා. නායකයන් හිතකර/අහිතකර යැයි නිර්දේශ කරන දේවල් අනුව මිසක මිලියන ගණනකගේ කැමැත්ත/අකමැත්ත අනුව නෙමෙයි සමාජය තීරණය වෙන්නෙ. ඒ අය හැම දෙනාගේ ම යහපත උදා කරන්න දන්නවා කියල නොකිව්වොත් නායකයෙක් කුමකට ද?!!! ඒත් හැම දෙනාගේ ම යහපත උදාවෙලා නැති බව දන්න මිනිස්සු දැන් සටන් වදින්නෙ තවත් සැලසුම් ගේන්න කියා, මෙයාගෙ සැලසුම් අපිට එපා, හරි සැලසුම් කරන කෙනෙක් ගේන්න කියල.
ඒත් මිනිසා විවිධ විෂම වූවෙක්, හැම දෙනාගේ ම යහපත උදාකරන සැලස්මක් දන්න මිනිසෙක් නැහැ. මිනිස් කණ්ඩායමක් ද නැහැ. හැම දෙනාට ම තම යහපත සොයා යන්න ඉඩක් දුන්නොත් මොකද වෙන්නෙ? අර සැලසුම් ගහන අය පැත්තකට තල්ලු කරලා මිනිස්සු යනවා තමන් කැමති දෙයක්, තමන්ට විකුණන කෙනෙක් ගෙන්, තමන් කැමති වේලාවක දී, ඔවුන් අතර වෙන කේවෙල් කිරීමෙන් එකඟ වන මිලට මිල දී ගන්නට. විකුණපු එකාටත් ආඩම්බරයක්, මිල දී ගත්තු එකාටත් ආඩම්බරයක්, දෙන්නා සතුටින් තව තව ගණුදෙනු කරන්නෙ සැලසුම් ගහන අයව තුට්ටුවකට ගනන් ගන්නෙ නැතිව!!!
දීමනා, සාධන, පහසුකම්, සහන, යනාදී ලේබල් වලින් සැලසුම් ගැසීමේ පරමාර්ථය පොදු ජනතාවගේ ශුභ සිද්ධිය සැලසීම නෙමෙයි.
එහෙම කරපු හැම අවස්ථාවක් ම අවුලක්. පොදු ජනතාවගේ ශුභ සිද්ධිය සැලසුම් වලින් චිරස්ථායි කාලයක් තුල ඇති කරන්නට සමත් වී නැත්තෙ එය එසේ කරන්නට ස්වභාවික ලෝකය ඉඩදෙන්නෙ නැති නිසා. ඒ වගේ ම මිනිස් ස්වභාවයත් ඉඩ දෙන්නෙ නැති බැවින්.
ඉතින්, ඒ ලේබල් ගහලා ගිල්ලවන ගුණ්ඩු පිරිනමන නායකයන් තමන් රටට සේවයක් කළා යැයි වහසි බස් කියමින් එක්කො මුදල් වලින් පොකැට්ටුව තර කරගන්නා, නැත්නම් ජනතාවගේ සිත් දිනාගත් දයාවෙන් පිරිච්ච රත්තරන් මනුස්සයෙක් යැයි පිදුම් ලැබීමෙන් තමන්ගේ මමත්වය පුම්බාගන්නා, හොරු.
මිනිස්සුන්ට තමන් අවංක ව කරන තීරණාත්මක සටන කුමක් දැයි සොයාගත නොහැකි ලෙස අවුල් වෙලා. නිර්මාණය කරන අයයි, ඒ නිර්මාණය මිල දී ගන්න අයයි අතර කෙළින් වෙච්ච ගණුදෙනුව, තිබිච්ච සබඳතාවය කැඩිලා ගිහින්. සල්ලි කියන්නෙ, භාණ්ඩ හා සේවා කියන්නේ අත්තනෝමතික ලෙසින් බෙදා දෙන දේවල් යැයි සලකන්නට මිනිස්සු හුරු වෙලා. ඒත් මිනිස්සු තවමත් හොයන්නේ “සමාජ සාධාරණයක්” වෙන විදියට බෙදලා දෙන්න කෙනෙක්. සමාජ සාධාරණය සැලසෙන එකම ක්‍රමය, නිර්මාණය කරන අයටයි, ඒ නිර්මාණය මිල දී ගන්න අයටයි කිසිත් බලපෑමක් නැතිව කේවල් කර ගණුදෙනුවකට එකඟ විය හැකි ඉඩකඩ අයින් කරලා තවමත් අසාර්ථක යැයි පුන පුනා ඉතිහාසය කියන “බෙදා දෙන්න ක්‍රමයක්” සහ “බෙදා දෙන්න සමත් කෙනෙක්” හොයමින් ඉන්නවා.
ලෝකයේ සම්පත් බෙදා දෙන්න ඉදිරිපත් වෙන අය “හැමෝවම අයන්ස්ටයින්ලා කරවන්න පුළුවන්” කියන මුලාවෙන් තාමත් තමන්ට ඉන්න අයන්ස්ටයින්ලා ව යවනවා ඇමරිකාවට!!! ඊට පස්සෙ මංකොල්ලා කෑවෝ මංකොල්ලා කෑවෝ කියා කෑ ගහනවා!!!!
අක්කා අන්තිමට දාලා තියෙන තර්කෙ නම් සහතික ඇත්ත….
Gold fish,
එතෙන්ට එනකම් ලියපු ටික “සහතික බොරු” නෙමෙයි කියලා හිතනවා නම් ඒ ඇති 😀
අපේ රටට ගැලපෙන අපේ ක්‍රමයක් හදාගන්න තවමත් බැරිවී තිබෙන්නේ ඉංග්‍රීසියෙන් හිතා සිංහලෙන් කතා කිරීම නිසාද? සිංහලෙන් හිතන්න පුළුවන් වුනත් ඉංග්‍රීසියෙන් හිතන්න යාම නිසාද, නැත්නම් උපන් ගෙයි ගතිය බලි ඇරලාවත් අරින්න බැරි නිසාද?
විචාරක,
ලෝකය තවම අපි හිතනවාට වඩා යෞවනයේ පැවතෙන්නක්. ඔටුනු පැළඳි ලෝකයෙන් අපි ගැලවෙන ප්‍රථම උත්සාහය 1776. එදා ලෝකය ගැලවුනේ භූමි අල්ලා ගන්නට ගිය අධිරාජ්‍යවාදයෙන්. ඒත් අධිරාජ්‍යයන් වූ රටවල (බ්‍රිතාන්‍ය) සහ ප්‍රංශය ඇතුළු ලොව රටවල් සෑහෙන ප්‍රමාණයක අද භූමිය වැඩි කරගන්න සටන් නැති වුනාට ඔටුනු නම් තාම තියෙනවා!!! ජනතාව ඊට ඉඩත් දී ඉන්නවා!!!
වැඩවසම් ක්‍රමයේ රජුට ලැබි, අල්ලා ගත් සම්පත් බෙදා දෙන බලය, අද ආණ්ඩුවට කැමැත්තෙන් ම දීලා, අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලබා ගත්ත අපි කැමති අයට අපිට බෙදා දෙන්න හැකි අපේ බලය අහිමි කරගෙන සිටීම ඉතින් විමතියකට කාරණයක් නෙමෙයි නේද?
1776 දී එදා ඒ වැඩවසම් ලෝකයේ ඒකීය පුද්ගල නිදහස කතා කරපු ඇමෙරිකාවේ අද තමයි මේ ගැන වැඩි උනන්දුවක් ඇතිවෙලා තියන මුල් ම අවධිය. ලෝකය ළාබාලයි කිව්වෙ ඒකයි. අපිට යන්න තව ලොකු ගමනක් තියෙනවා: http://bleedingheartlibertarians.com
ඔය උඩ කියපු විදියට මෙහෙ කැම්පස් වලත් පාස් කොරනව නම්,,, හුහ් හුහ්. ඒක වෙන්ටැති මෙහේ ඇනගත්ත ඩයල් උනත් කොහොමහරි එහෙ පැන්නොත් අඩුම 4 ක gpa එකක් දාන්නෙ.
දූපත් වැසියා,
කම්ප්ලෙක්ස් වැඩියි මේවා පටු දූපත්වැසි මනස් වලට. පිටරටෙන් එවන කෑම වලින් බඩ පුරවාගන්න. පිටරට නිර්මාණය කරන බෙහෙත් වලින් ජීවිතය ආරක්ෂා ගන්න. පිටින් එන තාක්ෂණයෙන් ගමන් බිමන් යන්න. පිටින් එන නව තාක්ෂණය පාවිච්චි කරමින් තවත් බනින්න. දූපතට වෙලා තවත් කාලයක් අපි උතුම් යැයි කියමින් වහල් ලෙසින් ඉන්න.
මෙහේ කැම්පස් දුවන්නේ ඒ කාලේ එංගලන්තෙ තිබ්බ විදියට මිසක් රජ කාලේ තිබ්බ ක්‍රමයට නෙවෙයි නොවැ. කොහොමටත් ඔය විදියට විභාග මෙහෙත් තිබ්බ නම් මරු.
හා හා,,, මම කාටවත් බැන්නේ නම් නෑ. අනේ අපි උතුම්, පොරවල් කියල කවදාවත් මම කියල නෑ. අදහස් කරලත් නෑ, එහෙම අදහසකුත් නෑ. මගේ පටු මනසට ආපු දේ බොක්කෙන්ම කීව.
කලෙකින් මා සිත් ගත් ලිපියක්. පොතක් උනත් ලියන්න පුළුවන්. ඇත්තටම එහෙම සමාජයක් කෙදිනකවත් බිහිවන්නේ නෑ. නමුත් එහෙම දෙයක් බිහි වෙයි කියලා බලාගෙන ඉන්නවා, රෝහන විජේවීර එහෙම ළොකයක් දෙයි කියලා එයාගේ පස්සෙන් ගිහින් දෙසරයක් මැරුම් කනවා. ඊට පස්සේ ඒක හරියන්නේ නෑ. නමුත් ඊට ළගින් යන කට්ටියකට සෙට් වෙනවා. එයාලා කියන්නෙත් එයාලා සමාජයේ නිර්ධන පාන්තිකයින්ගේ හා උගතුන්ගේ පක්ෂයක් කියලා, අනිත් පක්ෂේ ධනපති, අපෝ උන් ආවොත් අපි කපෝති. ඉතින් මේ දුප්පත් බුද්ධිමත් ජනතාව ඒ පක්ෂේ නිර්මාතෘ, රටට ඇති ආදරය නිසා රට දාලා ගියපු දුවව වඩම්මලා, රජ කරලා, කට ඇරගෙන බලාගෙන ඉන්නවා, සාධාරන සමාජේ උදාවෙනකන්. අපොයි…! මෙන්න මෙයා වමට සිග්නල් දාලා, විස්කි බිබි හෙමින් හෙමින් දකුණට යනවා. මෙලෝ රහක් නෑ. උතුරෙත් විජේවීර කෙනෙක් සාධාරන සමාජයක් නෙමෙයි, රටක්ම බිහි කරන්න සයනයි කරල කරේ එල්ලලා, එයා දරුවොත් එක්ක ආතල් එකක් ගන්නවා. ඒ සෙට් එකත් දිවි පරදුවට තියලා, සාධාරන සමාජෙයි, රටයි, එනකන් කොටි වල්ගේ එල්ලේනවා. මේ අතරේ ඔක්කෝම බලාගෙන හිටපු දියසේන කුමාරයා රජවෙනවා. අර වෙනම රට ඉල්ලිපු අයගේ හීනේ පොලොවේ ගහලා කුඩු කරලා දානවා. දැන් අනිත් අයට මාර ආතල්. සාධරන සමාජේ හෙට ඉරු උදාවත් එක්කම එනවා….
ම්හූ…. බඩු නෑ….. දියසේන කුමාරයා බටහිර කුමන්තෘණ කාරයන්ට මාට්ටු වෙනවා…., අර ධනපති පක්ෂේ උන්න කාළකන්නි දියසේන රජ තුමා, එයාලගේ උවමනාවන් වෙනුවෙන් කඩේ එක්කන් යනවා…. රජතුමාටත් කරන්න දෙයක් නෑ…
පව්…!
කෝ සාධාරන සමාජය…..?
පොඩ්ඩක් ඉන්න අනේ… හෙට රාවණා එනවා….
එතකොට බඩු ෂුවර්…!!!!!
…..?
Maathalan,
පොත් ලියැවිලා තියෙනවා එමට. හැබැයි සිංහලෙන් නම් නෙමෙයි 😀
මම කැම්පස් ගිය වසරේ තමයි උපාලි ජයවීර කැළණියට එන්නෙ. මම කැන්ටිමේ උඩ තියෙන ශිෂ්‍ය සංවිධාන වලට වෙන් කරපු කාමර වල දී අනන්ත දැකලා තිබ්බ කෙනෙක්. මම දේශපාලන නොවන සංවිධාන (දර්ශනය, ක්‍රීඩා, ලෝක විශ්ව විද්‍යාලය ..) ක්‍රියාශීලී වූ අයෙක්. උපාලි අයියා ගැන පස්සෙ කාලයක දැනගන්නෙ රෝහාන් ගුණරත්න ජේවීපී ගැන ලියන පොතෙන්. කතාව කියෙව්වම දුක හිතෙනවා; ඒ විදියට ම අදත් වෙන්නෙ දැක්කම දුක වැඩියි. නිර්ධන පංතියක් නිසා අවස්ථා දීලා, කුසලතාවය නැති නිසා නොව දේශපාලනය වැරදි නිසා රස්සාවට ඉඩ අහිමි කරලා, ඊට පස්සෙ අයිතීන් යැයි කියලා හිතපු දේවල් දිනාගන්න අවියෙන් සන්නද්ධ වෙන්නට ම ඇතිදැඩි කරලා, අන්තිමේ දී කැරලිකරුවෙක් අපරාධ කරද්දී මරලා දානවා.
බෙදන ක්‍රමයෙන් බලය අල්ලා ගනිද්දී පංතියක් අවශ්‍යයයි: ඔහෙ නිර්ධන පංතිය, මෙහෙ මේ දවස්වල සමරිසි පංතිය!!!
උතුරේ විජේවීර ගැන ලියැවෙන කදිම නිබන්ධනයක එහෙ අඩු කුලේ පංතිය රවට්ටාගෙන උන්ගෙ කරේ සයිනයිඩ් එල්ලලා කරපු මගෝඩිය දැන් අවසන් වුනාට, දකුණේ විජේවීරට නිර්ධන පංතිය අල්ලා ගන්නට හැකි වෙච්ච හේතු ඒ විදියට ම තවමත් තියෙනවා වගේ උතුරේ විජේවීර ව මැරුවට හේතු එහෙම ම තවමත් තියෙනවා. දෙපැත්තෙ ම එදා හිටපු පීඩකයන් වෙනුවට වෙන වේශයෙන් පීඩකයන් පත්කරලා තියෙනවා විතරයි.
හැබැයි සාධාරණ සමාජය තමන්ට උදා කරගන්න ශක්තිය තමන් තුල ඇතැයි දැනගන්නට දාට. අන්න එදාටයි අනුන්ට බඩ ගාලා වඳින්නෙ නැතිව තමන් නැඟිටින්න ඉගෙන ගන්නෙ. ලෝකේ හැම තැනම අද මෙහෙමයි, අනුන් වෙතින් ඉල්ලන්නේ තමන්ගෙ සුබසාධනය සලසන්නට කියා. තමන් විසින් කළ හැකි කොටස ගැන හිතන්න කිසිම උත්සාහයක් නැතිව.
// දීමනා, සාධන, පහසුකම්, සහන, යනාදී ලේබල් වලින් සැලසුම් ගැසීමේ පරමාර්ථය පොදු ජනතාවගේ ශුභ සිද්ධිය සැලසීම නෙමෙයි. එහෙම කරපු හැම අවස්ථාවක් ම අවුලක්. //
මේ කියන කිසිවක්ම නැති සමාජයක් / රටක් නම් මම දන්නේ නැහැ. ඕනෑම සංවර්ධිත රටක උනත්, දීමනා, පහසුකම්, සහන තියනවා. මමත් ජීවත් වෙන්නේ සංවර්ධිත රටක. මේ රටෙත් ඔය වර්ග හැම එකක්ම තියනවා.
මිනිසා තමන්ගේ දියුණුව තමන්ම සොයාගන්න ඕනෙ කියන තර්කයට මම විරුද්ධ නැහැ. ඒත් සමහර මිනිසුන් තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම වගේ දේවල් වලදි අතිශය දුර්වලයි. එහෙමත් නැතිනම්, ජනතාවගෙන් කොටසකට තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට යොදවන්න වෙන ශක්තිය, තව කොටසකට ඒ සඳහා යොදන්න වෙන ශක්තිය වගේ විශාල ගුණයක්.
බුද්ධිය, ජවය, අවබෝධය වගේ ගුණාංග මිනිස්සුන්ට පිහිටලා තියෙන්නේ එක විදිහට නොවෙයි. නිදහස් වෙලඳපලක් ඇතුලෙත්, අඩු හැකියාවෙන් යුතු මිනිස්සුන්ට ලැබෙන්නේ පහලම ස්ථරය. මේ පහලම මට්ටමේ අයගේ ජීවිතත් යම් කිසි අවම මට්ටමකින් පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රමයක් නිර්මාණය වීම තමයි සහන, දීමනා ලෙස එළි දකින්නේ. ඕනෑම සමාජයක, අන් අයගෙන් යැපීමට සිදුවන පිරිසකුත් බිහිවෙනවා.
තිසර,
ඔයා ඉන්න රටෙත් 🙂 මේ දවස්වල ආර්ථික අර්බූදයක් තියෙන්නෙ, මුළු ලෝකයේ ම ආර්ථික අර්බූදයක් තියෙන්නේ, ඔය සැලසුම් වැඩිවෙලා වැඩිවෙලා පාලනය කරගන්න බැරි තරම් ඉහළ වැයෙන් පිරිලා තියෙන නිසයි. ඒත් ඔයා ඉන්න රට වැනි රටවල් සුලුතරයක තවමත් වෙහෙසෙන කූඹී ඉන්න නිසා ඇදගෙන යන්න පුළුවන් ඉතාමත් ඉතා ටික කාලයකට. සහනාධාර කපන්න ගන්නා උත්සාහයන් වලට ජනතාව විරෝධය දක්වන හැටි බලන්න අද ස්පාඤ්ඤය දිහා.
මිනිස්සු තීරණ ගැනීම අතිශය දුර්වල වෙන විදියට ඇතිදැඩි කරලා තියෙන්නෙ මිනිස්සු විසින් ම යි. එහෙම බෙදා දෙන්න පංතියක් හොයාගත්තෙ නැත්නම් පාලකයන් අවශ්‍ය වෙන්නෙ නැති නිසා. ආණ්ඩුවක් විසින් බෙදීම සාර්ථක වෙලා නැහැ කියා පුන පුනා කියද්දි අපි තවමත් ආණ්ඩුව බෙදන ක්‍රමයට කැමති. සමාජයේ මිනිස්සු විසින් අනිත් මිනිස්සුන්ට උපකාර කරගන්න අවස්ථා ඊට වඩා සාර්ථක වූ බව අපි පුන පුනා දැක්කත්, තමන් හම්බ කරන දැයින් තමන් කැමති අය හා බෙදා ගන්න හැකි අයිතිය අපි පුද්ගලයා ගෙන් ඉවත් කරනවා, එයා රජයට ගෙවන බදු ඉහළ යවමින්. ඒ ඇයි? අපි පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ට වඩා වෙහෙසිලා එහි ඵල නෙලා ගන්නවාට ඇති ද්වේශය නිසා. අපි හිතන්නෙ එයා සාර්ථක වූයේ වෙනත් අයෙකුගේ අවස්ථාවක් උදුරා ගැනීම නිසා. නමුත් ඉතිහාසයේ සාර්ථකත්වය කැමති අයුරින් සොයා යන්නට ඉඩක් නොදුන් පරිසර හැදුවම, ආණ්ඩුව කියන විදියට පමණක් යන්න විතරක් ඉඩ තිබ්බම, මොකද වුනේ? මළු පුරවා ගත්තෙ නායකයන් පමණයි. තමන්ගේ අවස්ථා උදුරා ගත්තා යැයි කියා තමන්ට බැරි වූ බව කියූ අයට තමන්ට හැකි යැයි පෙන්නන්නට හැකි වුවා ද? අද වෙනෙසියුලාව දිහා බලන්න. නමුත් තවමත් කෑ ගහන්නෙ බෙදලා දෙන්න කියලා මිසක් සම තලයක වෙහෙසෙන්න ඉඩක් දෙන්න කියලා නෙමෙයි.
සැබැවින්ම, මිනිසා එක විදියට පිහිටන ගුණාංග ඇතිව උපන් සත්වයෙක් නෙමෙයි. ඒක ම තමයි මිනිසත්බවේ අපූර්වය. අර කකුලේ ඇඟිලි වලින් ලියලා විභාගය සමත් වෙච්ච ලංකාවේ දැරිවිය ගැන පත්තරෙන් දැක්කා ද? මිනිසා කියන්නේ සත්වයන්ට වඩා වෙනස් වූ තමන් කැමැත්තක් සොයා යන්නට ක්‍රමවේදයක් සොයා ගන්න ජීවියෙක්. ඒ නිසා ම, හැමෝටම හරියන එක ක්‍රමවේදයක් ගෙනෙන්නට කිසිම සැලසුමක් සමත් වෙන්නෙ නැහැ. තමන් විසින් තමන්ගෙ සැලැස්ම හදා ගන්න ඕනෑ. නිදහස් වෙළඳ පොල ඉඩ දෙන්නේ ඒකටයි. අඩු හැකියාව වැඩි හැකියාව කියා දෙයක් නැහැ. හැකියාවට සරිලන ලැබීමට උත්සාහවන්තයාට ඉඩ සැලසීම.
නමුත් අද විකෘති සමාජය අපේක්ෂා කරන්නේ මිනිසෙක් වෙලා උපන් නිසා මේ මේ දේවල් ලැබිය යුතුම යැයි කියා. එතකොට මිනිස් උත්සාහය, (මිනිසා සත්වයා ගෙන් වෙනස් වන වැදගත් ම සාධකයට) කිසිම තැනක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කිව්වොත් අපි මිනිසත්බවේ වැදගත් ම ලක්ෂණය අහිමි කරලා මිනිසත්බවේ අයිතීන් ගැන කතා කරනවා. ඇමෙරිකන් සමාජයේ අප්‍රිකානු වහල් සේවකයන් එහෙම විහින් දැමූ පංතියක හිර කරලා ඔවුනට උත්සාහයට ඉඩ අවහිර කරලා තියෙන්නෙ ඔවුන්ට ලේබල් එකක් ගහලා ලැබිය යුතු දේවල් මේවා යැයි තීරණය කරන ඔවුන්ගේ ම යහපත සඳහා පෙනී සිටිනවා යැයි කියන නායකයන්. (තෝමස් සවෙල්, ඒ වහල් යදම් වලින් ගැලවිච්ච කළු ඇමෙරිකානුවෙක්).
පහළ ම මට්ටමේ අයගේ ජීවිත අවම මට්ටමකින් පවත්වා ගෙන යන්නට ගන්නා හැම උත්සාහයක දී ම වෙහෙසෙන්නට අකමැති පිරිස වැඩි වෙනවා. එතකොටයි අවම මට්ටමින් හැමදාම ඉන්න, ඊට අනුන්ගේ දෑ බලාපොරොත්තු වෙන තණකොල පෙත්තන් වැඩි වෙන්නේ. ඔවුන් එය දකින්නේ අයිතියක් හැටියට. තමන්ගෙ දරුවාට කන්න දෙන්න ආණ්ඩුවෙන් මුදල් එවිය යුතුමයි කියා. කන්න දුන්නම දැන් අඳින්න එවිය යුතුමයි කියා, ඒක දුන්නම සෙල් ෆෝන් එකකුත් දිය යුතුම යැයි කියා!!!
අපිට වැඩියෙන් දස්කම් දායාද වෙලා තියෙනවා නම් අපි ඒ හඹා ගිහින් වැඩියෙන් උපයලා කැමැත්තෙන් දානය කරනවාට ආණ්ඩුවක් කැමති නැහැ, එතකොට ආණ්ඩුවේ බෙදා දෙන බලය අඩුවෙන නිසා. ඉතින් වැඩියෙන් දස්කම් පා වැඩියෙන් ආදායම් උපයනවාට වැඩි බදු වැදෙනා විට වැඩියෙන් දස්කම් පාන්නට හැකි අය කම්මැලි වෙනවා. බදු දිහා බලලා, තමන්ගෙ ආදායමෙන් 50% ට වැඩියෙන් ආණ්ඩුව උදුරා ගන්නවා නම් වෙහෙසීම නවතවනවා. අද යුරෝපයට වෙලා තියෙන්නෙ ඒකයි. අද ඇමෙරිකාවේ තමන්ගෙ ආදායමෙන් 35% ක් ගෙවන්න මිනිස්සු අකමැති ඒකයි, මිනිස්සු වැඩිය කැමති තමන් විසින් තීරණය කරන අයෙකුට තම වෙහෙසෙන් උපයන ලාභයෙන් තෑගි කරන්නට. ආණ්ඩුවට බලහත්කාරයෙන් තමන් ගෙන් අරගෙන ආණ්ඩුවට කැමති අයට දෙන එකට නෙමෙයි.
ඕනෑම සමාජයක අනුන් ගෙන් යැපෙන්නට සිදුවන අය ඉන්නවා. ඕනෑම සමාජයක් ඒ අය ආණ්ඩුවක් කරන කම් බලාගෙන ඉන්නෙ නැහැ ඒ අය එක්ක කැමැත්තෙන් ම තම ලාභය බෙදා ගන්නවා. ආණ්ඩුව වැඩියෙන් ඇඟිලි ගහද්දී තමයි බෙදා ගන්නා එකෙන් අයින් වෙන්නෙ. අද ලෝකයේ හැම ආණ්ඩුවකට පාහේ මේ බෙදා දෙන්නට ඇති තොගය අඩුයි!!! එහෙම වුනේ ඇයි කියා හොයන්නෙ නැතිව තවත් බෙදා දියව් කිව්වට ඵලක් නැහැනේ!!!!
මාතලන් කිව්ව නිසා සපිරෝ නෝනාගේ පෝස්ට්කටුව කියෙව්වා. ඒකේ උපමා උපමේය ඇරුනහම යටින් දිවෙන ඇමරිකානු සමාජයේ පිහිටීම පිළිබද හොද දෘෂ්ඨිකෝණයකින් කරුණා කාරණා දක්වා තියෙනවා. අවංකව බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියල කෙප්ල කෙලින අපේ බත් බැලයන්ට ඉගෙන ගන්න යන්න තියෙන හොදම රට ඇමරිකාව. නීතිය මොකාටත් එක, ඒ වගේම නිර්භීත, සපිරෝ කියනවා වගේ ජීවිතය විදින කොට්ඨාශයක් තමයි ඇමරිකානු සමාජය. ඔබට පුපුවන්නං මගේ පෝස්ට් කටු දෙකකම තියෙන පුද්ගලයන් දෙදෙනා හා ඒ දෙදෙනාගේ දේශන බලන්න. ඇමරිකානුවන්ගේ ශක්තිය පිළිබද මනා වැටහීමක් ලබා ගන්න පුලුවන්. බෙහෙත් නැති රෝහල, ජෝ වයිටාලේ
deshakaya,
ඇමෙරිකාවට ආව මිනිස්සු බහුතරයක් එදා කවුරුත් දෙනකම් බලාගෙන හිටියෙ නැහැ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න සහ දාලා ආපු රටේ හිටියාට වඩා සාර්ථක කරගන්න වෙහෙසුනා. බෙදන බලය අල්ලා ගන්නට සැලසුම් ගෙනන නායකයන් එදා සිටන් ම හෙමින් හෙමින් ඇඟිලි ගැහැව්වේ ඒ මැද්දට පනින්න. අද සෑහෙන්න සාර්ථක වෙලා ඒ උත්සාහය. අද මිනිස්සු තමන් වෙහෙසීම පැත්තකට දාලා අයිතීන් ඉල්ලනවා.
ඒත් සුලුතරයක් තවම ඉන්නවා අනුන් පිහිට නොපතා තමන් විසින් උත්සාහයක් ගන්නා අය. මේ අඩවියේ ඒ අය ගැන ඕනෑ තරම් ලියැවිලා තියෙනවා, ඉදිරියටත් ලියන්න උත්සාහ ගන්නවා.
deshakaya කියන සටහන් දෙකේ සබැඳි දැම්මොත් ඒවා කියවන්න කැමති කෙනෙකුට පහසුවෙන් සොයාගත හැකිවේවි.
මාතලන්ට ස්තූතියි කියමු.
ඇමරිකාවට පය ගහපු මිනිහට මොන ක්‍රමේට හරි ගොඩඑන්න විදියක් අවශ්‍යයි. ඒකට වඩා ආයෙත් දෙකට නැමිල ආපු රටට යන්නත් බෑ. මේ කාරණා මත එයාගේ කැපවීම ඔළුව පුරා දුවනවා. කැපවීම මත තමයි, ශක්තිය, අධිෂ්ඨානය, උත්සාහය යන සාර්ථක වීමට අවශ්‍ය හැම පියවරක්ම සම්පුර්ණ වන්නේ. ඇමරිකානුවන් තුල සහජයෙන් තිබෙන යමක් දිහා විචක්ෂණශිලීව බැලීම හා ඕනෑම ප්‍රශ්නයකට අවශ්‍ය පිළිතුර ක්ෂණිකව ලබාගැනීමට තියෙන අවශ්‍යතාවය මා හොදින්ම දැක තියෙනවා. ඔබටත් ස්තුතියි. මාතලන් මිත්‍රයා ඔබටත් ස්තුතියි. ඔන්න සබැදි දෙක දැම්මා බෙහෙත් නැති රෝහල, Joe Vitale
deshakaya,
හරියට ම හරි deshakaya. කැපවීම, ශක්තිය, අධිෂ්ඨානය සහ උත්සාහය කියන දේවල් අයින් කරලා බෙදලා දෙන සමාජයක් හැදෙන කොට කිසි දෙයක අගයක් දැනෙන්නේ නැහැ.
වාමාංශිකයන්ට ඕනෑ:
සලාක ක්‍රමයට බෙදන්න ගිය හත් අවුරුදු සාපයක්,
රටේ බහුතරයට සිංහල අධ්‍යාපනය නිර්දේශ කරන ගමන් තමන්ගේ දූ පුතුන් පිටරට යවා උගන්වන නායකයන්,
එදා පාරවල් වල එයාලට පමණක් ලැබිච්චි පජාරෝ මෝටර්කේඩ් වලින් ඉගිල්ලිලා ගිය රවි කරුණානායකලා වගේ අය,
මෙදා පාරවල් වල රට්ටුන්ට නැති තමන්ට “තෑගි” කරන වාහනයෙන් ඉගිල්ලිලා යන්න හැකි පුත්තු,
සම්පූර්ණ බලය ලැබෙන්නත් කළින් බෑනලා අවි ජවාරම් කල බව හෙළිවුනාම ඔළුවේ අතගහ ගත්තු නායකයන්,
හැමදාම හෙට දෙන ආශ්චර්යයෙන් අහිංසක දරුවන් රවටන උතුම් ගුරුවරු,
බහුතර චන්දයෙන් මේ අය බලයට පත් වීමෙන් සහ බහුතර කැමැත්ත මේ අයට ලැබීමෙන් පෙනෙන්නේ ලංකාවේ බහුතරයා වාමාංශික කියා නොවේ ද?
එක සිංහලයෙක් තමන් විසින් පාලකයන් හදන්නයි, රට හදන්නයි නොගිහින්, තමන් හැදෙන්න ඕනෑ කියා පාලකයෙක් පස්සේ නොයා තමන් විසින් තම දියුණුවට කැපවීමකින් ඊට ශක්තිය, අධිෂ්ඨානය සහ උත්සාහය ගන්න පටන් ගත් දාට එදාටයි රට හැදෙන්න පටන් ගන්නේ. එදාටයි “තඩි වැඩි කරන වාමාංශිකවාදය” නැතිවෙලා සත්‍ය ධනවාදයකින් රට සමෘද්ධිමත් වෙන්නෙ.
තව ලියන්න deshakaya, කුමක් කර කියා ගන්නදැයි නොදැන නිහඬව සිටින නොදන්නා සිංහලයන්ට හිතන්න කරුණු ඉදිරිපත් කරමු. ජයවේවා!
ස්තුතියි අරුණි සහෝදරිය, ඔබගේ කෙමෙන්කටුව මට තවත් හොද උත්තේජනයක්. ජය
කොමෙන්ට් දාන්න පුලුවන් වීම හොඳයි පුරුදු විදියට.
දෙපාරක්ම කියෙව්ව තාමත් මීටරේට හරියට වැටුනෙ නෑ. අමෙරිකාවට තියෙන තරහ තාම හැම දෙකටම හරහට හිටිනව
dayal bathee,
මුළු ලෝකයේ ම බහුතරය, තමනට ඇයි කියා පැහැදිලි කරගන්නට බැරිව ඒත් යුදෙව්වන් ගැන තරහක් තියෙන්නෙ ඇයි කියලා දන්නවා ද?!!! උන් මාර බුද්ධිමත් නිසා!!! නිකම් සතයක් ඉල්ලා ගන්න බෑ ඇඟෙන් කෑල්ලක් (ලේ පයින්ට් එකක්) යනවා කියලා හිතන්නේ!!! ඒත් උන්ව වඳ කරලා දාන්න ගත්ත ඵෛතිහාසික උත්සාහයන් ගණනාවක් ජයගෙන තාමත් ඔය ඉන්නෙ යස අගේට. ඇඟේ මාළු නළියනවා ඇයිදැයි නොදැනම 😀
තරහා තියාගෙන හරි, උන් එහෙම බුද්ධිමත් ඒ නිසා ධනවත් ඇයි කියලා හොයලා බැලුවොත් උන් ගැන ඇති තරහා තව දිගට ම තියාගෙන ම, ඒත් තමන්ටත් බුද්ධිමත් වෙලා ඒ නිසාම ධනවත් වෙන්න පුළුවන් යැයි පෙනේවි!!!
අරුණි අක්කේ අලුතින් වැඩක් පටන්ගත්තා තරහ නැතුව හොඳද බලන්න
http://udithame.blogspot.com/2012/10/blog-post.html
Uditha,
කියවන්න වහාම යන්නම්. ජය වේවා!!!!!!!
හරිම වැදගත් සටහනක් අරුණි නංගි. විස්තරයක් ලියන්නට උවමනා උනත් ගලපාගන්නට බැරිව ලතවෙනවා.
// මිනිස්සුන්ට තමන් අවංක ව කරන තීරණාත්මක සටන කුමක් දැයි සොයාගත නොහැකි ලෙස අවුල් වෙලා. නිර්මාණය කරන අයයි, ඒ නිර්මාණය මිල දී ගන්න අයයි අතර කෙළින් වෙච්ච ගණුදෙනුව, තිබිච්ච සබඳතාවය කැඩිලා ගිහින්. සල්ලි කියන්නෙ, භාණ්ඩ හා සේවා කියන්නේ අත්තනෝමතික ලෙසින් බෙදා දෙන දේවල් යැයි සලකන්නට මිනිස්සු හුරු වෙලා. ඒත් මිනිස්සු තවමත් හොයන්නේ “සමාජ සාධාරණයක්” වෙන විදියට බෙදලා දෙන්න කෙනෙක්. සමාජ සාධාරණය සැලසෙන එකම ක්‍රමය, නිර්මාණය කරන අයටයි, ඒ නිර්මාණය මිල දී ගන්න අයටයි කිසිත් බලපෑමක් නැතිව කේවල් කර ගණුදෙනුවකට එකඟ විය හැකි ඉඩකඩ අයින් කරලා තවමත් අසාර්ථක යැයි පුන පුනා ඉතිහාසය කියන “බෙදා දෙන්න ක්‍රමයක්” සහ “බෙදා දෙන්න සමත් කෙනෙක්” හොයමින් ඉන්නවා.
ලෝකයේ සම්පත් බෙදා දෙන්න ඉදිරිපත් වෙන අය “හැමෝවම අයන්ස්ටයින්ලා කරවන්න පුළුවන්” කියන මුලාවෙන් තාමත් තමන්ට ඉන්න අයන්ස්ටයින්ලා ව යවනවා ඇමරිකාවට!!! ඊට පස්සෙ මංකොල්ලා කෑවෝ මංකොල්ලා කෑවෝ කියා කෑ ගහනවා!!!!// ………..මේ දේම නේද සිද්ධ වෙන්නෙ.
Chandi,
මගේ මතකයේ දුකින් සටහන් වෙච්ච කාරණාවක් තමයි චාන්දි අක්කලාගේ වැසී ගිය ව්‍යාපාරයෙන් කාර්මික ප්‍රායෝගික පුහුණු ලබමින් සිටි සිසුන්ට අවස්ථා අහිමි වී ගිය හැටි. ඔන්න ඕක තමයි කෙළින් ගණුදෙනු අතර මැද්දට පනින ආණ්ඩු නිසා සිද්ධ වෙන්නෙ. එක කාලයකට මේ දේ ට වැඩියෙන් සම්පත් වෙන් වෙනවා තවත් කාලෙකට අර දේ ට වැඩියෙන් සම්පත් වෙන් වෙනවා අන්තිමේ දී ඒ එකක් වත් දියුණු වෙලා නැහැ, හැම දෙයක් ම පිටරට ණය ආධාර වලින් ඇදගෙන යනවා මිසක්.
තමන්ගේ රටේ සම්පත් ආයෝජනයට, තමන්ගේ රටේ දැනුම ආයෝජනයට, තමන්ගේ රටේ කුසලතා ආයෝජනයට තමන්ගේ ධනය යොදවලා අවදානමක් ගන්න කැමති අයට හැමදාම තිබිච්ච වාමාංශික ආණ්ඩුක්‍රම චින්තනයෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. අපි වෙනස් කරගත යුත්තේ ඒ ආණ්ඩුවක් බෙදලා දෙන්න දන්නවා කියන අසාර්ථක චින්තනයයි.
ස්තූතියි! මේ දැනුවත් කිරීමට නංගි.
මම මේක දකින්නේ වෙනස් විදියකට. මිනිස්සු තමුන්ගේ පාලකයා තෝරා ගනිද්දී කේවල් කරනවා. බෙදා දෙන අයට කැමැත්ත හිමි වෙනවා, බැරිනම් වෙන බෙදා දෙන කෙනෙක් හොයා ගන්නවා. බෙදා දීම ගැට ගැහිලා තියෙන්නේ ඒ අයිතියත් එක්ක, ඔවඋන් එ හැකියාව යොදා ගන්නවා.
:D,
ඔයා කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඔව් එය නම් ඔය කියන ටික තමා.
මම කියන්නෙ ආර්ථික ක්‍රමයක් ගැන. ප්‍රජාතන්ත්‍රවාදයක දී ද භාවිතා කරන ආර්ථික ක්‍රමය කුමක්දැයි කියා පැහැදිලි කරගත යුතුයි.
මිනිහෙක්ට තම මුතුන්මිත්තන්ගේ ධනය පිළිබඳ අයිතිය ලැබුන වගේ, අපට අපේ මුතුන්මිත්තන් ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් චන්ද අයිතිය ලබාදීල තියනවා. අප සතු බලය අපි කැමති පාලකයන්ට ලබා දෙනවා. අපට බදු පැනවිය යුත්තේ කොහොමද ඒවා වියදම් කරන්නේ කොහොමද කියල ඔවුන් තීරණය කරන්නේ ඒ බලය උපයෝගී කරගෙන නේ. .ඔවුන් ගෙන් අපට ප්‍රයෝජනයක් නැතිනම් අප අපේ යහපත සලසන වෙන කෙනෙක් තෝරා ගන්නවා.
මුතුන්මිත්තන්ගේ ධනය උරුම වෙච්ච කෙනෙක් මහන්සි නොවී සැපට ඉන්නවා වගේ, අපේ අයිතිය අපි සුව පහසුව සලසා ගන්න යොදා ගන්නවා.
:D,
මිනිහෙක්ට තම මුතුන් මිත්තන්ගේ ධනයට අයිතියක් නැහැ. ධනය අයිති උපයන්නාට. එයා කැමති නම් තවකෙකුට පැවරීම වෙනම දෙයක්. ඒත් තමන් හම්බ කරන්නට වෙන කෙනෙකුට අයිතියක් තියෙනවා කියලා කියන්නේ අනුන් ගෙන් අරන් තවකෙකුට බෙදා දෙන්න අයිතියක් තියෙනවා යැයි හිතන වාමාංශික අයම තමයි.
මගේ අම්මාට තාත්තාට අයිති කිසිම දැයක්, ඔවුන් මට දෙන්න කැමැත්තක් නැත්නම්, ඊට අයිතියක් මට කියන්න බැහැ. ඔවුන්ගේ වගකීම මා හදා වඩා ගැනීම. ඔවුන් කැමති නම් මට යමක් දීම. ඒ වගේමයි මගේ දුවටත් මා හම්බ කරන කිසිම දෙයකට අයිතියක් කියන්න බැහැ. මමයි උපයන්නේ. එහි අයිතිය මටයි. එයාට නොදී වෙන කවුරු හරි නොදන්නා කෙනෙකුට සියල්ල තෑගි කරන්න අයිතියක් මට තියෙනවා. උරුමක්කාරයන් යැයි කියාගන්නා අයට මගේ කැමැත්තෙන් යමක් ලියලා දුන්නේ නැත්නම්, නීත්‍යානුකූලව වෙන කිසිවෙකුට පවරන්නේ ද නැතිව මා මිය ගියොත් එවැනි අවස්ථාවක by default විතරයි දේපල අයිතියක් උරුමකරුවන්ට ලැබෙන්නේ.
දේපල අයිතියක් වැඩවසම් සමාජයේ තිබ්බෙ රජ්ජුරුවන්ටයි රජ්ජුරුවෝ කැමති අයටයි. අපේ මුතුන් මිත්තන් ගෙන් රජ්ජුරුවන්ට කමැති වෙලාවට දේපල උදුරා ගන්නට රජ්ජුරුවන්ට බලයක් තිබ්බා. කැමති වේලාවක එකෙකු ගෙන් අරගෙන තවකෙකුට දෙන්න බලයක් ද තිබ්බා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ දී රජෙක් නැති නිසා කෙනෙකුට ඇති එහෙම බලයක් ද නැහැ. දේපල අයිතිය පුද්ගලයාට. පුද්ගලයාගේ කැමැත්තෙන් තව කෙනෙකුට විකිණීම සහ තෑගි දීම. තෑගි ලබන්නාට තෑග්ගකට අයිතියක් නැහැ. තෑග්ගක් යනු අයෙක් කැමැත්තෙන් තව අයෙකුට දෙන දෙයක්.
ප්‍රජාතන්ත්‍රවාදය යනු යුද්ධයක් දිනලා ඇමෙරිකන්කාරයා අත් කරගත්ත ජයග්‍රහණයක් මිසක් උරුමයෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. ඊට කළින් ප්‍රජාතන්ත්‍රවාදය කියලා යමක් ලොව තිබ්බේ නැහැ. ඊට කළින් ලොව තිබ්බේ වැඩවසම් ක්‍රමයක්.
සමහර විට එය කුමක් දැයි නොදන්නා නිසා ම වෙන්නැති, කැමැත්තෙන් ම තමන් සතු බලය පාලකයන්ට බාර දෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ලොව බිහිවෙන්න කළින් වැඩවසම් ලංකාවේ පවා බදු ක්‍රමයක් තිබ්බා. බදු යනු සුද්දා ලංකාවට ගෙනාපු සංකල්පයක් නෙමෙයි.
සමහර විට බදු කුමක් දැයි නොදන්නා නිසා ම වෙන්නැති බදු පැනවිය යුත්තේ කොහොම දැයි තීරණය කරන්නත්, ඒ බදු වියදම් කරන්නේ කොහොම ද තීරණය කරන්නත් බලය කැමැත්තෙන් ම පාලකයන්ට බාර දෙන්නෙ.
ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහිකරපු රටේ නම් බදු පවරන අයිතිය රජයට බාර දෙන්න බහුතරය කැමති නැහැ. එයට රටේ බහුතර ජනතාවගේ අනුමැතිය නොමැති වූ හැම වතාවක දී ම පක්ෂය කුමක් වුවත් පාලකයාට දෙවැනි වාරයකට පාලන බලය නොදී ගෙදර යැව්වා. උදාහරණයක්: ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් (රිපබ්ලිකන්);
ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහිකරපු රටේ නම් බදු වියදම් කරන්නේ කොහොම ද කියන එකත් තීරණය බහුතර ජනතාවගේ කැමැත්තක් නැතිව සිද්ධ වෙන හැම වතාවක දී ම පක්ෂය කුමක් වුවත් පාලකයාට දෙවැනි වාරයකට පාලන බලය නොදී ගෙදර යැව්වා. උදාහරණයක්: ජීමි කාටර් (ඩෙමොක්‍රැටික්)
මෙහෙ මුතුන් මිත්තන්ගේ ධනය උරැම වෙනකම් බලාගෙන ඉන්නා පරපෝෂිතයන් අඩුයි, බහුතරයා බලන්නේ තමන්ගෙ මුතුන් මිත්තන්ට වඩා තමන් විසින් හම්බ කරගෙන ධනවත් වෙන්නට. මෙතෙක් කාලයක් ඇමෙරිකාවේ හැම පරම්පරාවකට ම වගේ ඒ අවස්ථාව ලැබුණ. ඒ නිසා රට දියුණුවෙන් දියුණුවට පා තැබුවා.
උද්ධමනය නැද්ද ඔය පැත්තෙ, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලැබෙන ධනයෙන් මහන්සි නොවී සැපට ඉන්න ඔයා කොච්චර කාලයක් ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනාවා ද?!!!!!!
//ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහිකරපු රටේ නම් බදු පවරන අයිතිය රජයට බාර දෙන්න බහුතරය කැමති නැහැ. එයට රටේ බහුතර ජනතාවගේ අනුමැතිය නොමැති වූ හැම වතාවක දී ම පක්ෂය කුමක් වුවත් පාලකයාට දෙවැනි වාරයකට පාලන බලය නොදී ගෙදර යැව්වා. උදාහරණයක්: ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් (රිපබ්ලිකන්);
ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහිකරපු රටේ නම් බදු වියදම් කරන්නේ කොහොම ද කියන එකත් තීරණය බහුතර ජනතාවගේ කැමැත්තක් නැතිව සිද්ධ වෙන හැම වතාවක දී ම පක්ෂය කුමක් වුවත් පාලකයාට දෙවැනි වාරයකට පාලන බලය නොදී ගෙදර යැව්වා. උදාහරණයක්: ජීමි කාටර් (ඩෙමොක්‍රැටික්)//
බහුතර ජනතාව කැමති “බෙදා දෙන්න ක්‍රමයක්” සහ “බෙදා දෙන්න සමත් කෙනෙක්” ට නේද? ඔබ නැවතත් මා පසුපස…:)
මම අහල තියනවා, ධනවාදයේ තිරිසන් බව, ප්‍රජාතන්ත්‍රවාදය විසින් සමහන් කරවයි කියලා,,
:D,
මෙය ස්පෑම් වලට ගිහින් තිබ්බා.
//බහුතර ජනතාව කැමති “බෙදා දෙන්න ක්‍රමයක්” සහ “බෙදා දෙන්න සමත් කෙනෙක්” ට නේද?// සෙසු ලෝකය දිහා බැලුවම පේන්නේ එහෙම තමයි. ඒත් “ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහි කරපු රටේ නම්” යැයි ඇමෙරිකාවේ එහෙම නෙමෙයි කියලයි මම කිව්වෙ. ඔවුන් “අලුත් බදු නැහැ” කියා එනම් බෙදා දෙන්න සමත් කෙනෙක් අනවශ්‍ය යැයි කියා පත් කරගත්තු ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් විසින් අලුත් බදු පැනවූවා ම එයාව ගෙදර යැව්වා දෙවන වාරයක් පාලනයට බලය නොදී. එසේම ජනතාවගේ මුදල් නම් වූ බදු බෙදන අලුත් සැලසුම් හදපු ජීමී කාටර් වත් දෙවන වාරයක් නොදී ගෙදර යැව්වා.
//මම අහල තියනවා, ධනවාදයේ තිරිසන් බව, ප්‍රජාතන්ත්‍රවාදය විසින් සමහන් කරවයි කියලා,,// ඔයා අහලා තියෙනවා ද, එක කාලයක් මිනිස්සු විශ්වාස කළේ ලෝකය පැතලියි කියලයි. …. ඉතින් ඒක ඇත්ත ද නැත්ත ද කියා ඔබ දැනගන්නේ කොහොම ද?
ධනවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩු ක්‍රමයක්. නිදහස වෙළඳපොල කියන්නෙ වෙළඳපොල ක්‍රමයක්.
තිරිසන් බවක් කියන්නෙ තිරිසන් සතුන් තුල දකින්න පුලුවන් හැදියාවක්. වැඩියෙන් තිරිසන් හැදියාවන් දකින්න තියෙන්නෙ මොන ආර්ථික, ආණ්ඩු, වෙළඳපොල ක්‍රමයේ ද කියා ඔබ දැනගන්නේ කොහොම ද?