අරුණි ශපීරෝ‍ වෙතින්

සත්‍ය දැනුමට ආයෝජනය කළ හැකි වූ සත්‍ය කතාවක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 3, 2012

බෙටී ඈන් වෝටර්ස් 12 වසර දක්වා පමණක් අධ්‍යාපන ලත් කාන්තාවකි. ඇය ඉපදුනේ දුප්පත් පවුලක. හැදෙන්නෙ වැඩෙන්නෙ සිය සහෝදරයා සමඟ වැඩි කාලයක් ගෙවමින්. ඇය pub නමින් හැඳින්වෙන බියර් විස්කි හා සැන්ඩ්විච් වැනි ආහාර විකුණන අවන්හලක සේවය කරන්නියකි. ඒ තම අධ්‍යාපනයෙන් කරත හැකි රැකියාවයි. ඇය එයට වඩා යමක් පැතුවේ නැත.

ඔවුන් විසූ පළාතේ මිනීමැරුමක් කළාය යන දෝෂණයට ලක් වී ඇයගේ සහෝදරයා කෙනත් වෝටර්ස් ජීවිත කාලය ම සිරගෙදරක ගෙවන්නට නියම වෙයි. එහෙත් තම සහෝදරයා මිනීමරැවෙක් යැයි ඇයට ඒත්තු කරවන්නට පුළුවන් හපනෙක් නැත. සහෝදරයාගේ නිර්දෝෂී භාවය ඔප්පු කරනු පිණිස බෙටී සත්‍ය දැනුම සොයා යන්නී ය.

මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි: ඊට ඉඩක් ඇති රටක ඇය ඉපදුනි.

දරුවන් දෙදෙනෙක් ගේ මවක් වන, බාර් එකක වේටර් රැකියාවක් කරන, බෙටී නවතින්නේ නීතීඥවරියක් වූවාට පසුව ය. [ස්තූතියි නංගි! :)] ඒ සත්‍ය දැනුම ඇය සොයා යන්නේ එකම එක අරමුණක් සඳහා පමණි. තම සහෝදරයා නිදහස් කර ගැනීම සඳහා ය.

මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි: බොරු චෝදනා ගොණු කර, අසත්‍ය සාක්කිකරුවන් මඟින් අහිංසකයෙක් සිරගත කරන්නට හැම රටක ම හැම දිනක ම හැකියාව ඇත.

තම සතුට සොයා යන උවමනාව ඇත්තේ තමන් ට ය. එය ලොව වෙන කිසිවෙකුට නැත. බෙටීගේ සතුට උදාවෙන්නේ සිය සහෝදරයා නිදහස් කරගැනීමෙන් යැයි ඇය තරයේ ම විශ්වාස කළාය. ඒ සඳහා කැපවීමකින්, අධිෂ්ඨානයකින් වසර 18 ක් ඇය වෙහෙසෙන්නේ බාධක මත බාධක ඇය ඉදිරියේ මතුවෙද්දී ය. ලොව දියුණුවෙන තාක්ෂණයෙන් DNA සොයා බලා නොකළ වරදට හසු වූ අහිංසකයන් බේරා ගන්නට සැකසී ඇති නව ව්‍යාපෘතියක් ගැන ඇය දැන ගන්නේ නීතිඥ විභාගයට පාඩම් කරද්දී ය.

මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි: තාක්ෂණයෙන් මිනිස් ජීවිත එදාට වඩා අද යහපත් කරගන්නට, උත්සාහ ගන්නා ඕනෑම අයෙකුට ඉඩක් ලබා දෙන ව්‍යවස්ථාවක් ඇති රටවල් ලොව සොච්චමකි.

කළ වැරදි වසන් කරගන්නට, තනතුරු ආරක්ෂා ගන්නට මහජන මතයට නැමෙන, වාසි නිසා බොරු කියන මිනිසුන් අතර සත්‍ය දැනුම සොයා යන්නට කැප වූ, ඊට සහාය දෙන සොඳුරු මිනිස්සු ඇයට හමුවේ.

මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි: එවැනි දෙකොට්ඨාශයක් ලොව හැම රටක ම සිටිති. සමහර රටවල දෙවැනි පිරිස නිහඬව ඉන්නේ පළමු පිරිස නීතිය තමන් යටතටත්, තවත් පිරිසක් හෙට දෙන බියර් මුලාව පතුරුවන නිසා ය.

ඇය නීතිඥ විභාගය ජයගෙන තම සහෝදරයා ද නිදහස් කරගන්නට සමත් වෙයි!!!! සත්‍ය දැනුම සොයා යන ඇයගේ අරමුණ වූයේ එය සහෝදරයා නිදහස් කර ගැනීමට භාවිතයයි. ඇය නීතීඥවරියක් වූවාට වෘත්තියේ යෙදෙන්නට උවමනාවක් ඇයට නොවීය. ඇය නැවතත් තම කැමැත්ත වු අවන්හල් රස්සාව කරන්නීය.

සත්‍ය කතන්දරය කියන කදිම චිත්‍රපටිය Conviction (2010) වෙයි. අයියා වරදකරු වූ “දෝෂණය” සහ අයියා වරදකරු නොවේ යැයි නංගීට “ඒත්තු යාම” යන අර්ථ දෙකින් (double entendre) හැදෙන සිරස්තලයෙන් වූ මේ චිත්‍රපටියේ නංගි ලෙස රඟන්නේ හිලරි ස්වෑන්ක් සහ අයියා ලෙස රඟන්නේ සෑම් රොක්වෙල්. චිත්‍රපටිය ප්‍රබන්ධයක් කරන්නේ මේ නළුවා සහ නිළිය සත්‍ය ලෝකයේ බෙටී සහ කෙනී දෙදෙනා හා කිසිම ලෙසකින් සමාන රූපයෙන් නොවන නිසාය!!! චිත්‍රපටිය බලන්නට කැමති අය වෙනුවෙන් කතන්දරය දිග හැරෙන හැටි සම්පූර්ණයෙන් නොලිව්වෙමි. එය මගේ අඩවියට අලුත්, කළින් සටහනේ ප්‍රතිචාරයක් දැමූ deshakaya කියන “ප්‍රමුද්දීපනය” (inspire) වන්නට හැකි චිත්‍රපටියකි. එය මගේ අඩවියට එන උදිත ගේ අන්තර්ජාල සටහනෙන් ලියැවෙන, “ඕනෑම කාරණයක් තුල දෙපැත්තක් ඇත, එක පැත්තක් නිවැරදි වන අතර අනික් පැත්ත වැරදි ය, නමුත් මේ දෙක අතර මැද අනවරතයෙන් ම ඇත්තේ නපුරු දුෂ්ඨත්වයයි -අයින් රෑන්ඩ්” ඔප්පු කරන්නකි.

දෙපැත්ත දිහා බලන්න, නිවැරදි පැත්ත සොයා ගන්නා සත්‍ය දැනුම හඹා යෑම මොළයෙන් හිතන්නට හැකි මනුෂ්‍යයන්ට පමණක් ආවේනික වූ ලක්ෂණයයි.

බෙටී ඈන් වෝටර්ස් ලංකාවේ ජීවත් වුනා නම් මොකක් හරි දේශපාලන පක්ෂෙකට හේත්තු වෙලා මගේ සහෝදරයා නිදහස් කරදෙන්න කියමින් පෙළපාලියක යනු ඇත් ද?!!!

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. දූපත් වැසියා said, on ඔක්තෝබර් 3, 2012 at 11:56 පෙ.ව.

    බෙටී ඈන් වෝටර්ස් ලංකාවේ ජීවත් වුනා නම් මොකක් හරි දේශපාලන පක්ෂෙකට හේත්තු වෙලා මගේ සහෝදරයා නිදහස් කරදෙන්න කියමින් පෙළපාලියක යනු ඇත් ද?!!!// නෑ නෑ මෙහේ රජතුමාට පොඩ්ඩක් දෙකට නැමිලා කීවොත් කරගන්න පුළුවන්. ඔච්චර වද වෙන්න උවමනා නැහැ.

  2. Maathalan said, on ඔක්තෝබර් 3, 2012 at 1:43 ප.ව.

    අපොයි නෑ ඒ වගේ ගොන් වැඩ කරන එකක් නෑ. අයියට කෙලවෙන්නම සාක්කී දීලා අයියගේ දේපල ටිකත් එයාගේ නමට ලියාගනිවී. මොකද ළෝකෙන් උතුම් රටනේ. අනික 2500 වසරක සිස්ටාචාරයක්ද මොකක්ද එකකුයි සබ්යත්වයයි මොකකද එකයි දෙකම තියෙන රටක්නේ. ඕනම නම් ගෙදර අයියගේ පොටෝ එකක් ගහලා තියයි. ඒකත් ෂුවර් නෑ…

    • arunishapiro said, on ඔක්තෝබර් 3, 2012 at 6:35 ප.ව.

      Maathalan,

      ලංකාවේ සාමාන්‍යයෙන් පරමාදර්ශ චරිත හැටියට සලකන්නෙ ආශ්චර්යය හෙට ගෙනෙන උදාර නායකයන්. ඒ නිසයි මාතලන් කියන දේවල් වැඩියෙන් අහන්න ලැබෙන්නෙ 😀

      ඇමෙරිකාවේ සාමාන්‍යයෙන් පරමාදර්ශ චරිත ඇවිල්ලා තමන්ගේ උත්සාහයෙන් ම කරපු දෙයක් පෙන්වත හැකි සාමාන්‍ය මිනිස්සු.

  3. තිසර said, on ඔක්තෝබර් 3, 2012 at 7:36 ප.ව.

    මමත් මේක මීට කලින් අහලා තියනවා. විශේෂ සිදුවීමක් තමයි. ඒත් මිනීමැරීමකට වරදකරු උන තමන්ගේ සහෝදරයා නිදහස් කරගැනීමට ඇයටම නීතිඥවරියක් වීමට සිදුවීම නම් බියකරු සත්‍යයක්. සත්‍ය සොයායාමේ මාර්ගයක් ලෙස ඒක වැරදි නැහැ. සත්‍ය සොයායාම පිළිබඳ ඉඩතිබීම පිළිබඳ සතුටුවීමට වඩා සත්‍ය සොයායාම කොතරම් කටුකදැයි පෙන්වීමට වඩා සුදුසු උදාහරණයක්. නීතිඥවරු වීමට (හෝ සත්‍ය සොයායාමට මේ සා ගැහැටක් විඳීමට ) නොහැකි තව කී දාහකගේ සහෝදර සහෝදරියන් මේ ලෙස නිකරුණේ සිරගත වී ඇතිදැයි සිතෙන විට නිතැතින්ම නැගෙන්නේ බියක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 3, 2012 at 9:30 ප.ව.

      තිසර,

      තමන්ගේ මුදල් වලින්, තමන්ගේ කාලයෙන්, තමන්ගේ මහන්සියෙන් ජීවිතයේ තම කැමැත්ත හඹා යාමට ඉඩක් ඇති වාතාවරණයක් සැලසිය යුතු යැයි කියද්දී, ඊට “සත්‍ය සොයා යාමට මේ සා ගැහැටක් විඳීමට” සිද්ධ වෙනවා යැයි ලියමින් ඔබ අයෙක් කැමැත්තෙන් කරන උත්සාහය දකින්නේ ගැහැටක් විදියට.

      බෙටී සත්‍යය දැනගෙන සිටිය. ඇය නොදැන සිටියේ සත්‍යය ඔප්පු කරන ක්‍රමවේදයයි. ඇය තම කාලය, තම මුදල් හා තම මහන්සිය ආයෝජනය කළේ ඒ ක්‍රමවේදය ඉගෙන ගන්නට. එය “මේ සා ගැහැටක්” විදියට ඇය නම් දැක්කේ නැහැ. අනුන් ගෙන් අරගෙන තවත් අයට බෙදන වාමාංශික අදහස් තියන අයට නම් ඇයට තිබි “ස්ව-උත්සාහය” නම් සංකල්පය වටහා ගැනීම ඉතා දුෂ්කර වූවක්.

      ඇයගේ සහෝදරයා කෙනී 1980 දී බොරු චෝදනාවට හසුවෙද්දී (කතාව කියෙව්වා නම් කවුද වරදකරුවන් යැයි හොයාගන්න පුළුවන්) DNA වලින් අපරාධ වල වරදකරු සොයන ක්‍රමවේදයක් ලොව තිබුනේ නැහැ. එය බිහිවෙන්නේ 85 දී දියුණු වෙන්නේ 86-87 දී.

      අද ඇමෙරිකන් බන්ධනාගාර වල ඉන්නා අහිංසකයන් සංඛ්‍යාව 2.3% සහ 5% අතර සංඛ්‍යාවක් කියන්නේ සටහනේ සබැඳිය දමපු Innocence Project එකේ. ඒ අතීතයක දී සිට සිරගත වූ අය, DNA සෙවුම් නොතිබි නිසා ඔවුන් අහිංසකයන් දැයි ඔප්පු කර ගැනීමට නොහැකි වීම ඛේදවාචකයක්. එය නිවැරදි කර ගැනීමට හැකිවීම ඇමෙරිකන් සුවිශේෂීත්වයේ ජයග්‍රහණයක්.

      ඔයා සමහර විට මම සටහනේ ලියූ “මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි: තාක්ෂණයෙන් මිනිස් ජීවිත එදාට වඩා අද යහපත් කරගන්නට, උත්සාහ ගන්නා ඕනෑම අයෙකුට ඉඩක් ලබා දෙන ව්‍යවස්ථාවක් ඇති රටවල් ලොව සොච්චමකි,” යන්න අත්හැරලා කියවන්න ඇති.

      එවැනි සත්‍ය ඔප්පු කරගත ක්‍රමවේදයන් තවත් බිහි කරන්නට Innocence Project වැනි ස්වාධීන ව්‍යාපෘති ඇමෙරිකන් සුවිශේෂීත්වය. නඩු වලට මෙවැනි පූර්වගාමීත්වය (precedence) දෙන්නට තම කාලය, තම මුදල් හා තම වෙහෙස ආයෝජනය කරන සාමාන්‍ය මිනිස්සු ලොව වැඩි විය යුතුයි.

      නැත්නම් ඉතින් මිනිහෙක් මරලා මට අමතකයි කියලා නිදැල්ලෙ ඉන්න අය තමයි ලෝකේ වැඩිවෙන්නේ!!!

      ඇමෙරිකාවේ 86-87 ගණන් වල දී අහිංසකයන් බේරා ගන්නට DNA යොදවන හැටි ගැන සොයාගෙන එය පාවිච්චියට ගනිද්දී ලංකාවේ කුමක් ද වූයේ? 50,000 ක් සහ 75,000 ක් අතර සංඛ්‍යාවක් භීෂණයෙන් මැරැන. අනුන් ගෙන් අරන් තව අයට බෙදලා දෙන්න දන්නවා කියපු අය සන්නද්ධ වෙලා ඉස්පිරිතාල වල වෛද්‍යවරුන්ට චිට් දාලා සේවයට එන්න එපා කිව්වා. කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය විජේසුන්දර මැරුවා. මොරටුවේ උප කුලපති මහාචාර්ය පටුවිටවිතාන මැරුවා. කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවෝ මැරැවා. සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, දොස්තර ග්ලැඩිස් ජයවර්ධන … මැරැවා. ව්‍යාපාරිකයන් මරලා දැම්මා. අකමැති අය ඔක්කොම මරලා දැම්මා කිසිම කෙනෙකුට පාරට බහින්න වත් බිය හිතෙන විදියට. ඔන්න අනුන් ගෙන් අරන් තව අයට බෙදලා දෙන්න ඉදිරිපත් වෙච්ච අය නිසා මිනිස්සු මැරිලා යන හැටි. අයියෝ පව් ඒ මිනිස්සුන්ට චොයිස් එකක් දුන්නා නම් ඔවුන් මැරෙනවාට වඩා කැමැත්තෙන් “ගැහැටක් විඳින්නට” ආසා වෙනවා කිසි සැකයක් නැහැ!!!!

  4. Chandi said, on ඔක්තෝබර් 3, 2012 at 7:43 ප.ව.

    බොහොම ආදර්ශමත් චරිතයක්. ස්තූතියි!

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2012 at 8:20 පෙ.ව.

      Chandi,

      එක පැත්තකින් බැලුවාම චාන්දි අක්කා දාන ථෙරී ගාතාවල තියන අධ්‍යාත්මික උද්දීපනය මෙවැනි කතාවකින් පෘථජ්ජන ජීවිතයට ලැබෙනවා.

  5. Haree said, on ඔක්තෝබර් 3, 2012 at 10:06 ප.ව.

    චිත්‍රපටයක් කියලා තේරුනු ගමන්ම අර උඩින් ආපු ගැම්ම එහෙම පිටින්ම නැතිවෙලා ගියා. “මෙහි දී දැඩි අවධාරණයෙන් සටහන් කළ යුත්තකි:” කොටස් ටික නම් වැදගත්. ඒත් අන්තිමේදී ඒවාත් හැබෑ ජීවිතයේ නෑ යයි හැඟෙනවා..

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2012 at 7:23 පෙ.ව.

      Haree,

      මම ලියපු කොටස සත්‍ය කතාවයි. චිත්‍රපටිය ඒ සත්‍ය කතාවෙන් ගොඩ නැඟුණක්: “චිත්‍රපටිය ප්‍රබන්ධයක් කරන්නේ මේ නළුවා සහ නිළිය සත්‍ය ලෝකයේ බෙටී සහ කෙනී දෙදෙනා හා කිසිම ලෙසකින් සමාන රූපයෙන් නොවන නිසාය!!!” තමයි සත්‍ය කතාව හා චිත්‍රපටිය අතර ඇති මා දුටු එකම වෙනස.

      //ඒත් අන්තිමේදී ඒවාත් හැබෑ ජීවිතයේ නෑ යයි හැඟෙනවා..// ඔව් ඒවා හැමෝටම නැහැ. ඒවා ලැබෙන්නේ ඒවායේ වටිනාකම දැන ඒවා සොයා යන අයට විතරයි.

  6. Malith said, on ඔක්තෝබර් 4, 2012 at 12:30 පෙ.ව.

    මේ වගේම කතාවක්
    Flash of Genius (2008)
    http://en.wikipedia.org/wiki/Flash_of_Genius_%28film%29

  7. deshakaya said, on ඔක්තෝබර් 4, 2012 at 12:51 පෙ.ව.

    මෙම චිත්‍රපටය මා රස විද නොමැති නමුත් ඩැන්සෙල් වොෂින්ටන් රගන The Great Debaters බැලුවා මීට අවුරුදු දෙකක ට විතර ඉස්සර. ඒක විශ්වවිද්‍යාලයක ළමුන් පිරිසක්ගේ විවාද කණ්ඩායමක් ඇති කර ගැනීමට මහාචාර්යවරයෙකු දරණ වැයම සහ සාර්ථක වන අයුරු බලන්න පුලුවන්. අරුණි සහෝදරිය කිව්ව වගේ පුමුද්දීපනය වෙන්න කැමති අය ඔන්න හොද රූප කතාවක් තියෙනවා ඉඩ තියේනං බලන්න. The Secret

  8. දුකා said, on ඔක්තෝබර් 4, 2012 at 1:22 පෙ.ව.

    මේ ෆිල්ම් එක මම කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් අක්කේ . . මේ ජාතියේ සැබෑ කතා ඇති ෆිල්ම් වලට මම පිස්සුවෙන් වගේ ආදරේ කරන නිසා මේ ෆිල්ම් එකේ අන්තිම හරිය බැලුවේ මම අඬ අඬා . . .

    ඇත්ත අපේ රටේ උනා නම් බෙටී ඈන් ගේ වීරත්වයත් ඒ හා බැඳුනු විකුන්න පුලුවන් කියලා මාකටින් පොරවල් දන්න සියලු දේ සමඟින් බෙටී ඈන් කාගේ හරි පුද්ගලික වස්තුවක් (අනිවාර්යෙන් කිව්වත් වගේ දේසපාලන පක්ෂෙක ) වෙලා තමන්ට තමන්වත් නැති කරගෙන . ..

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2012 at 8:04 පෙ.ව.

      දුකා,

      පුද්ගලයෙක් තමන් විසින් යම් ජයග්‍රහණයක් ලැබුවාම දේශපාලනයට ඈඳා ගන්නා රටාව පිළිබිඹු කරන්නේ ආණ්ඩුවක් වඩා හොඳින් බෙදා දෙන්න දන්නවා යැයි පාලකයන් විසින් ජනතාව රවටන්නට ඔවුන් විකිණීම තමයි. ලංකාවේ තරම් ප්‍රසිද්ධියේ නැති වුනාට ඇමෙරිකාවේ ද මෑත දී පටන් ගත් එහෙම ක්‍රමයක් පැවතෙනවා.

      State of the Union නොහොත් ජනාධිපති විසින් ජනතාව අමතන කතාවේ දී, සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ තම පාලන සමයේ කරන්නට හැකි වූ අසාර්ථක දේවල් ගැන උදම් වැයීම!!! ඊ ළඟ වසරේ දී කරන කියන දේවල් ගැන බොරු පොරොන්දු දීම!!! ඔය අස්සේ 1982 දී රොනල්ඩ් රේගන් ගේනවා Lenny Skutnik ව. එයා වොෂිංටන් පැත්තෙ තියන පටොමික් ගඟට Air Florida Flight 90 ක්‍රෑෂ් වෙච්ච වෙලාවේ කාන්තාවකගේ දිවි බේරාගෙන වීරයෙක් වුනා. ඉතින් රොනල්ඩ් රේගන් ඔහුව කැඳවනවා මේ ජනතාව අමතන අවස්ථාවේ දී නැන්සි රේගන් එක්ක අසුන් ගන්නට. ඔහු තම කතාවේ දී වීරයා ගැන නමින් සඳහන් කරනවා. එදා පටන් හැම ජනාධිපතිවරයෙක් ම වාගේ තම පාලන සමයේ කොහේ දී හෝ කුමන හෝ වීර වැඩක් කරපු කෙනෙක්ව හොයාගෙන ගෙනැල්ලා මේ ආසනයක වාඩි කරලා, කතාව මැද්දේ දී නමින් ඔහු/ඇය සඳහන් කරනවා. සභාව අත්පොළසන් දෙනවා. තියෙන එකම “කොස්ස” මේකයි: තාමත් මේ විදියට මේ ජනතාව අමතන සභාවට ආරාධනා ලබන අයව හැඳින්වෙන්නෙ Lenny Skutnikලා හැටියට!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: