අරුණි ශපීරෝ‍ වෙතින්

දියණිය සුව කරන්නට වෛද්‍ය උපකරණයක් නිමැ වූ අම්මා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 4, 2012

2005 දී ෂෙලි හෙන්රිගේ එවක වයස අවුරුදු පහළොවක් වූ දියණිය කේරා, දරුණු රිය අනතුරකට ගොදුරු වූවාය. ඇයගේ කොඳු ඇට පෙල අග තැනින් තැන සිඳී බිඳී ගොස් තිබිණ. ඇවිදින චාන්ස් එක අඩුයි කියද්දී වෛද්‍යවරු ඇයට දරුවෙක් බිහි නොකළ යුතු යැයි ද කියන ලදි.

එම තත්වය ඇයගේ ඉරණම යැයි පිළිගෙන ඉන්නට කේරාගේ අම්මා වූ ෂෙලී හෙන්රි කැමති වූයේ නැත. පැවති ප්‍රතිකාර ක්‍රමවේදයන් කිසිත් තම දියණියට යහපත් දිවියක් ගෙවන්නට ප්‍රමාණවත් නැතැයි දකින ඇය අලුත් ක්‍රමවේදයක් සොයන්නට තම මුදල්, තම කාලය හා තම මහන්සිය තම අධ්‍යාපනයට ආයෝජනය කරන්නීය.

ෂෙලි හෙන්රි විශ්ව විද්‍යාලයට ගොස් රසායන සෞඛ්‍ය විද්‍යා අංශයේ ප්‍රථම උපාධියක් සඳහා වෙහෙසුනා ය. ඇය වැඩියෙන් වෙහෙසුනේ රසායනය සහ ලේසර් තාක්ෂණය ඉගෙන ගන්නට ය. පවතින වෛද්‍ය විද්‍යාවෙන් තම දරුවාට ලැබෙන්නේ වේදනා නාශක බෙහෙත් පමණක් නිසා ඇය ඊට වඩා සුදුසු ක්‍රමවේදයක් සොයන්නට තම කාලය, මුදල් හා මහන්සිය යෙදවූවාය.

2005 දී ප්‍රතිඵලය Neurolumen නම් නව සොයා ගැනීමයි. එය ලබන්නට සැත්කමක් අවශ්‍ය නැත. හම හෝ සිරුරේ විවරයක් තුලින් වෛද්‍ය උපකරණයක් ඇඟට ඇතුල් නොවෙන්නකි. ප්‍රතිකාරය ලැබූ පසු දවසේ පුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන හැකිය. තවත් විදියකින් කිව්වොත් ප්‍රතිකාරයෙන් පසු සුව වෙන්නටය කියා ඇඳක් මත කාලයක් ගෙවන්නට සිද්ධ නොවන්නකි.

දවසේ වැඩි කාලයක් ඇඳක වැතිර වේදනාවෙන් කාලය ගෙවූ කේරාට නැවතත් ජීවිතය කැමැති පරිද්දෙන් ගෙවන්නට මවගේ මේ නව සොයාගැනීමෙන් පිහිට ලැබුණි. කේරාට දියණියකගේ මවක් වන්නට වාසනාව උදාකර දුන්නේ ඇයගේ මවයි.

2008 දී ෂෙලි සිය විජට්ටුවෙන් අනිකුත් එවැනි රෝගීන්ට සහනය සලසන කොම්පැණියක් පටන් ගනියි. ඕක්ලහෝමා ප්‍රාන්තයේ ඕක්ලහෝමා නගරයේ Salus Medical Clinic හි පිරිනමන ප්‍රතිකාරය සපයන්නේ Neurolumen LLC කොම්පැණියයි.

2010 දී රටේ ආහාර හා ඖෂධ පරිපාලනයේ යෙදෙන FDA වෙතින් අනුමත වූ, අද වෙළඳපොලේ $4000 කට වඩා අඩුවෙන් විකිණෙන මෙය ජීවිතය, නිදහස සහ සතුට (life, liberty and pursuit of happiness) සොයා ගිය තවත් ඇමෙරිකානුවෙක් විසින් සොයාගත් තවත් එක විජට්ටුවකි.

Lorenzo’s Oil (1992)-නම් චිත්‍රපටිය හැදෙන්නේ ඔගස්ටෝ සහ මිකෙලා ඕඩොන් දෙදෙනා තම පුතු ලොරෙන්සෝ වෙනුවෙන් ප්‍රතිකාරයක් සොයාගත් සත්‍ය කතාව ඇසුරිනි.

Extraordinary Measures (2010) නමින් චිත්‍රපටිය හැදෙන්නේ තම දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන රෝගයකට බෙහෙත් සෙවූ දෙමාපියන් ජීවතාක්ෂණ කොම්පැණියක් පිහිටුවා ගත් සැටි ගැන සත්‍යය කතාවෙනි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ඔක්තෝබර් 4, 2012 at 11:44 පෙ.ව.

    අම්මලා තමා හැමදාමත් දරුවන්ට ප්‍රතිකාර හොයාගන්නේ…

  2. ළිහිණි said, on ඔක්තෝබර් 4, 2012 at 2:16 ප.ව.

    අම්මෙක්ගෙ දරු සෙනෙහසට මොන තරමක් දේවල් කරන්න පුළුවන්ද අරුණි අක්කා…

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2012 at 3:31 ප.ව.

      ළිහිණි,

      ඔව් ළිහිණි ඒක ඇත්ත. ඒත් තමන් ඉන්න සමාජයේ බහුල ව දකින්නේ ගලවන්නට බැරි යදම් සහ පනින්නට බැරි උස තාප්ප නම් වෙන්නෙ දරුවත් එක්ක සියදිවිනසා ගන්න අය වැඩිවෙනවා තමන්ට තියෙන එකම විසඳුම එය යැයි සිතන හුරුවෙන්.

  3. තිසර said, on ඔක්තෝබර් 5, 2012 at 1:49 පෙ.ව.

    කලින් දින කොමෙන්ටුව හ සම්බන්ධයි.

    බෙටී කලේ තම කැමැත්තට අනුව සත්‍යය සොයා යෑමද? තමන් මත වූ අසත්‍යය පරාජය කිරීමද?

    යමෙක්ව බඩගින්නේ තබා පසුව කෑම සොයාගැනීමට ඉඩහැරීම කැමැත්තෙන් සත්‍ය සොයා යාමට ඇති නිදහස කියා අර්ථදක්වන්නේ කෙසේද? ඔබගේ පෝස්ට් එකේ සඳහන් පරිදි ලංකාවේ භීෂණයෙන් මියගිය අයවලුන්ගේ පවුල් තම හැකි පමණින් සත්‍ය සොයා යෑමට දරන උත්සහයන් (සත්‍ය සොයාගැනීමට හැකිවූවාද යන කාරණය පසුව අදාල වන්නක් බැවින්) , මේ “කැමැත්තෙන්” සත්‍ය සොයා යන ගණයට අයිතිද? එසේ නම් තමන්ගේ කැමැත්තෙන්, තමන්ගේ වියදමෙන් සත්‍ය සොයායන බහුතරය සිටින්නේ මෙසේ දහස් ගණනින් අතුරුදන් වූ රටවල විය යුතුය.

    // ඇය නීතීඥවරියක් වූවාට වෘත්තියේ යෙදෙන්නට උවමනාවක් ඇයට නොවීය. ඇය නැවතත් තම කැමැත්ත වු අවන්හල් රස්සාව කරන්නීය //

    ඇය සොයා ගියේ තම කැමැත්තද? ඇයට උවමනා කලේ තමන්ගේ අවන්හල් රැකියාව කරමින් සිටීමට නොවේද?

    මිනිසෙකුගේ කැමැත්ත නිර්වචනය කරන්නේ කෙසේද කියා තර්ක කල හැකිය. තමා මරා දැමීමට යම් අයෙක් උත්සහ කරන විට එයට එරෙහිව සටන් වැදීම ජීවිතයට ඇති කැමැත්ත නිසා කරන ක්‍රියාවකි. නමුත් මිනිසාගේ නිදහස යනු එවන් නිදහසක් ද? අසාධාරණයක් සිදුවූ විට ඒ පසු පස හඹාගොස් සත්‍ය දිනවන්නට නිදහස තිබීම ඉතාම වටනේය… නමුත් ඔබ කියන ඒ නිදහස මිනිසා මත බලෙන් පටවන ලද නිදහසක් නොවේද? ඔය අනුව බලන කල නීතිය වල් වැදුණ සමාජයක ඔය නිදහස වැඩියෙන් තිබේ.

    Innocence Project ආරම්භකල නීතිඥවරුන් එසේ කර ඇත්තේ තම තමන්ට පෞද්ගලිකව ලාභයක් / වාසියක් / සත්‍යයක් සොයායාමට අවශ්‍යවූ නිසා නොවන බව ඒ ගැන කියවූ විට පෙනෙන්නට තිබේ… ඩීඑන් ඒ තාක්ෂණය යොදාගෙන එවැනි වැඩක් ඔවුන් ආරම්භකර ඇත්තේ මිනිස්වර්ගයාගේ යහපත වෙනුවෙනි….

    “The Innocence Project was established in the wake of a landmark study by the United States Department of Justice……….”

    බොහෝ විට මේ කේස් ස්ටඩිය සඳහා වියදම් වන්නට ඇත්තේ ඇමෙරිකානු ජනතාව ගෙවන බදු මුදල්ය. එනම් ඔබ විරුද්ධ, වැඩිදෙනාගෙන් අරගෙන සුළුපිරිසක් වෙනුවෙන් යොදවන ක්‍රමවේදයයි.

    ——

    තම තමන්ට අසනීප වූ විට, ඒ සඳහ බෙහෙත්, ප්‍රතිකාර තමන්ම සොයා යාම නැමති කැමැත්තෙන් සත්‍ය සොයායාමට නිදහස ඇති රටකට වෛද්‍යවරුන් අවශ්‍ය නැද්ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2012 at 8:27 පෙ.ව.

      තිසර,

      ආයෙත් කියන්නම්, බෙටී සත්‍යය සොයා නෙමෙයි ගියේ. ඇය සත්‍යය දැන සිටියා; ඇය දැන සිටියා තම සහෝදරයා වූ කෙනී නිර්දෝෂ බව. එහෙත් ඔහුට ගොනු වූ චෝදනා ඉදිරියේ ඒවා බොරු යැයි පෙන්වන්නේ කොහොමද යන්න දැන සිටියේ නැහැ. එනම්, ඇය සත්‍යය අනිත් අයට ඔප්පු කරන ක්‍රමවේදයයි දැන හිටියේ නැත්තේ.

      //යමෙක්ව බඩගින්නේ තබා පසුව කෑම සොයාගැනීමට ඉඩහැරීම කැමැත්තෙන් සත්‍ය සොයා යාමට ඇති නිදහස කියා අර්ථදක්වන්නේ කෙසේද?// මම එහෙම කියා නැහැ. එහෙම කියන්නේ ඔබයි. එහෙම දකින්නේ ද ඔබයි. කිසිම සමාජයක් එහි ඉන්නා නපුරු දුෂ්ට මිනිස්සු සොච්චම තුරන් කරන්නට සමත් වී නැහැ. කොමියුනිස්ට් සමාජයේ වේවා, ධනවාදී සමාජයේ වේවා, බුදුන් විසූ දඹදිව ද දේවදත්තයන් ලෙසින් ද සිටියා. මෙවැනි දේවදත්තයන් පරාජයට නම් මිනිසාට තම වෙහෙසෙන් තම දැනුම සොයා යා හැකියාව තිබිය යුතුයි. ඒක කරන්න අවශ්‍යතාවය ඇත්තේ ද, එය කරන සාර්ථක ක්‍රමයත් දන්නේ ඒ ඒ තම ඒකීය උවමනාවට පරිදි සත්‍යය සොයා යන්නා පමණයි. නැතිව අනුන් දැනගත යුතු සත්‍යය මෙයැයි කියා, හැමෝටම ඒ සත්‍යය බෙදා දෙන්න සැලසුම් ගහන්නෙක් නෙමෙයි. බෙටී ඉපදෙන්නේ එසේ තම සහෝදරයාට දුෂ්ට වූ අය වෙතින් එල්ල වුනු බොරු චෝදනාවක් ඉදිරියේ දී, ඔහුව ගලවා ගන්න හැකි ක්‍රමවේදයක් තිබෙන රටක, ඒ ක්‍රමවේදය දැනගන්නට. එනම් තමන් දන්න සත්‍යය, තම සහෝදරයා නිවැරදි යැයි දන්න සත්‍යය, අනුන්ට ඔප්පු කරන්නට හැකි ක්‍රමවේදය හොයාගන්නට ඉඩක් ලැබෙන පරිසරයක ඇය උත්සාහයක් ගෙන ජයග්‍රහණය ලබනවා.

      බඩගින්නේ මිය යන්නේ සත්‍යය සොයා යන ක්‍රමවේදය මුලාවෙන් වසන් කර අවුල් කර ඇති සමාජයක් ඇති වුනාම. උදාහරණයක් මා ඕ සේතුං ගේ කොමියුනිස්ට් චීනය. එයා තමයි සත්‍යය තමන් දන්නවා යැයි කියා “ශ්‍රේෂ්ඨ ඉදිරි ගමන්” යැයි ලේබල් අලවා ගෙන මහා පරිමාණ සැලසුම් ගසා, දහස් ගණනින් විශ්ව විද්‍යාල ආචාර්යවරු කුඹුරු කොටන්නට යැව්වේ. චීන මහා සාගතයෙන් (1958-1961) මිලියන 45 ක සංඛ්‍යාවක් බඩගින්නේ මිය ගිය බව කියන්නේ චීන ලේඛනාගාරයේ තොරතුරු විමසන්නට අවසර ලැබිච්ච ඉතිහාසඥ Frank Dikötter.

      //ඇය සොයා ගියේ තම කැමැත්තද? ඇයට උවමනා කලේ තමන්ගේ අවන්හල් රැකියාව කරමින් සිටීමට නොවේද?// හැමදාම එකම දෙයකට කැමැත්ත පමණක් ඇතැයි සිතන්නේ ද, එය නොවෙනස් වෙන කැමැත්තක් යැයි සිතන්නේ ද, අනුන්ගේ කැමැත්ත තමන් දන්නවා කියා ඊට සැලසුම් ගහන්නට හදනා අයයි. ඇයගේ කැමැත්ත අවන්හලේ රැකියාව කරමින් දරුවන් හදාගෙන පවුල් ජීවිතයක් ගෙවන්න. ඒත් රුදුරු මිනිසුන් ඉන්නා ලෝකයක ඇයට ඒ කැමැත්තේ නියැළී ඉන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ. අවන්හල් රැකියාව කරමින් ඉන්නා විට දී තමයි අයියාව හිරබාරයට ගැනෙන්නේ. දැන් ඇයගේ කැමැත්ත අවන්හල් රැකියාවට වඩා අයියා නිදහස් කරගන්නටයි. අයියා නිදහස් කරගත් පසු ඇය නැවතත් තම කැමැත්ත වූ අවන්හල් රැකියාවට ම යනවා. අනුන්ගේ කැමැත්ත කෙසේ දැයි දන්නවා යැයි සිතන අයට පමණයි ඒ බව තමන් නොදන්නා බව දකින්නට ද නොහැකි. අනුන්ගේ කැමැත්ත දන්නවා යැයි සිතන සමාජ තමයි මේ මේ දේවල් වලට වැඩියෙන් ප්‍රතිලාභ වෙන් කළ යුතු යැයි කියන්නේ. මේ මේ අය බෙදා දෙන්න වඩා දන්නවා යැයි කියන්නේ. මිනිස්සුන්ට තම කැමැත්ත තමන් විසින් තීරණය කරන්නට ඉඩ දුන්නාම ඔවුන් මුහුණ දෙන අභියෝග ඉදිරියේ ඔවුන් ජයගන්නට උත්සාහවන්ත වෙනවා, වෙන කවුරුත් කරලා දෙනකම් බලාගෙන ඉන්නෙ නැතිව. එහෙම ලෝකයක කවුරු හරි දෙනකම් නිකම් බලාගෙන ඉන්නා අය අඩු නිසා සමස්ත ජයග්‍රහණ වැඩියි.

      //මිනිසෙකුගේ කැමැත්ත නිර්වචනය කරන්නේ කෙසේද කියා තර්ක කල හැකිය.// ඇයි ඒ උත්සාහයට ඔයා වෙහෙසෙන්නෙ? ඒ ඒ අයට ඒ ඒ අයගෙ කැමැත්ත නිර්වචනය කරගන්න ඉඩ දෙන්නෙ නැතිව.

      ස්වභාවික නීතිය අනුව මිනිසාට ස්වභාවයෙන් ලැබෙන අයිතියක් තමයි තම ජීවිතය ආරක්ෂා කරගන්නට නිදහස. තවත් විදියකින් කිව්වොත් තම ජීවිතය බේරාගන්නට, තමන් මරන්නට එන අපරාධකරුවෙක් මරා දැමීම නිසා කිසිම මිනිසෙක් මිනීමරුවෙක් නොවන නීතිය. ඒක බලෙන් පටවන නිදහසක් නෙමෙයි, එය තමයි ස්වභාවයෙන් ලැබෙන නිදහස. එයින් තමයි මිනිස් සමාජ ආරක්ෂා වෙන්නෙ. යම් නීතියක් අවනීතියක් වෙන්නෙ, වල් වැදුණ නීතියක් වෙන්නෙ, යම් අයෙක් දරන ආකල්පයක් නිසා ඔහුව මරන්නට අයිතියක් ඇතැයි නීති ගෙනෙද්දී. එහෙම නීති ගෙනා රටවල් වලට වුනේ මොකක් ද දන්නවා ද? සිංදුවක් කිව්වම පල්ලියත් සමාව දුන්නම වසර 2 කට සිර දඬුවම් ලැබීම, නැත්නම් මිනිස්සු එකතුවෙලා ගල් ගහලා මරලා දැමීම!!!!!!

      //බොහෝ විට මේ කේස් ස්ටඩිය සඳහා වියදම් වන්නට ඇත්තේ ඇමෙරිකානු ජනතාව ගෙවන බදු මුදල්ය. එනම් ඔබ විරුද්ධ, වැඩිදෙනාගෙන් අරගෙන සුළුපිරිසක් වෙනුවෙන් යොදවන ක්‍රමවේදයයි.// කැමැත්ත ගැන දන්නේ නැති අය කැමැත්තෙන් දෙන පරිත්‍යාග ගැන ද නොදනිති. එය ආරම්භ කරන්නේ සාමාන්‍ය වැසියන් කැමැත්තෙන් දෙන පරිත්‍යාග වලින්. එහෙම නැතිව ආණ්ඩුවෙන් පටන් ගත්ත ව්‍යාපෘතියක් නෙමෙයි. ඇමෙරිකන් ආණ්ඩුවට බදු ගෙවන මිනිස්සු තම කැමැත්ත ඇතිව කරන ව්‍යාපෘති වලට ආණ්ඩුව ප්‍රතිසාධන බෙදා දුන්නට කිසිම අකමැත්තක් නැහැ. තමන් අකමැති ව්‍යාපෘති වලට බෙදද්දී තමයි ආණ්ඩුව ගෙදර යවන්නේ. මම විරුද්ධ වැඩිදෙනා ගෙන් බලහත්කාරයෙන් අරගෙන සුළු පිරිසක් වෙනුවෙන් යොදවන ක්‍රමවේදයට. වැඩිදෙනා කැමැත්තෙන් දෙනවා නම් ඒ අයගෙන් ලැබෙන දේ කාලා තමන් වහල් බවින් ඉන්න හැමෝම කැමති නම් ඒක ගැන මට කිසිම විරුද්ධතාවයක් නැහැ. එහෙම නම්, වහල්ලු වෙන්න අකමැති අයට ඒ ක්‍රමයට දායාද නොවෙන්න ඉඩක් දිය යුතුයි. ඒත් දැන් වෙන්නේ කැමැත්තෙන් දෙන ඒවා කාලා අපිව වහල්ලු කරගන්නවෝ, අපිව වහල්ලු කරගන්නවෝ මේ විදේශීය කුමන්ත්‍රණකරුවන් කියලා කියන්න තරම් මුලාවකින් සිටිමින් වහල් බවින් ගැලවෙන්නට කැමැත්තාට ඉඩක් නොදීමයි!!!!!

      //තම තමන්ට අසනීප වූ විට, ඒ සඳහ බෙහෙත්, ප්‍රතිකාර තමන්ම සොයා යාම නැමති කැමැත්තෙන් සත්‍ය සොයායාමට නිදහස ඇති රටකට වෛද්‍යවරුන් අවශ්‍ය නැද්ද?// රොකට් එකකින් අභ්‍යවකාශයට මිනිහෙක් යවන්න රටකට රොකට් විද්‍යාඥයින් අවශ්‍ය නැද්ද?!!!!!!!!! මොනවා ද මේ අහන කතා හැබෑටම!!!!!!!!!

  4. dawkinssdodo said, on ඔක්තෝබර් 5, 2012 at 6:07 පෙ.ව.

    දැනුම නිර්මාණය කරන්නන්ට ජය වේවා!

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2012 at 8:28 පෙ.ව.

      dawkinssdodo,

      ස්තූතියි ඩෝඩෝ. දැනුම නිර්මාණයෙන් ලොව යහපතක් ම සිදුවෙන හෙයින් ඔවුන්ට ජය පැතීම අපේ යුතුකමයි!

  5. Chandi said, on ඔක්තෝබර් 5, 2012 at 9:36 පෙ.ව.

    අම්මෙක්ගෙ තියෙන සෙනෙහසට මොනතරම් දෙයක් කරන්න පුලුවන්ද? නේද අරුණි. සමහර දරුවන් ඒ ගැන තේරුම් ගන්නෙ නෑ. ලංකාවෙ වැඩිහිටි අම්මලාගෙ කතා මම අනන්තවත් අහනවා. මම හරිම සංවේදීව මේ දේ දකිනවා. අඩුම තරමින් ආදරය කරුණාව වත් ඒ අයට නෑ. ස්තූතියි මේ සටහනට.

    • arunishapiro said, on ඔක්තෝබර් 5, 2012 at 10:24 පෙ.ව.

      Chandi,

      මුලාවන් පැතිරිලා වැඩි වුනාම හදවතින් නැඟෙන සහජ වූ මිනිස් ආභාෂයන් මොනවා දැයි වෙන් කර පැහැදිලි කර ගැනීම මිනිස් සතාට අවුලක්.

      ආත්මාර්ථකාමය යන සංකල්පය මේකට පැහැදිලි උදාහරණයක්.

      “හතුරා විසින් සද්ගුණය උඩු යටිකුරු කර තිබිය දී මම හතුරාගේ ඒ උඩු යටිකුරු වූ සද්ගුණය බාර ගැනීම තමයි සතුරාට ඇති එකම බලය බව හඳුනාගත්තා.” -අයින් රෑන්ඩ්

      ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී විය යුතු යැයි කියන කට්ටියම තමයි ආත්මාර්ථකාමයෙන් පිරී ඉන්නේ බව දකින්නට ඔවුනට බැහැ. ඔවුන් අතරම තමයි වැඩියෙන් ආත්මාර්ථකාමයේ අයහපත් ලක්ෂණය යැයි කියන කුහකකම පෙනෙන්නට ඇත්තේ. අනුන්ගෙන් ලැබෙන දෙයක් නොපතන, ආත්මාර්ථකාමය සද්ගුණයක් හැටියට දකින අය, මේ මුලාවූවන් අගයන පරාර්ථකාමයෙන් සැබැවින් ම යුතු වූ අයයි.

      ඉතින් වැඩිහිටි අම්මලා තමන් දරුවන් වෙනුවෙන් කැප වෙලා වෙහෙසනවා කියා මුලාවක සිටිමින් කරන්නේ ආත්මාර්ථකාමයෙන් තමන්ට ඕන විදියට දරුවන් දක්කන් යෑම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: