අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවිත රකින උපකරණයක් ලොවට බිහි කළ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 5, 2012

වෛද්‍ය මෙවලම් තාක්ෂණයට අගනා මෙහෙයක් කරන්නට සමත් වූ පරිගණක මෘදුකාංග (software) ඉංජිනේරුවා එයට උත්සාහයක් ගත්තේ තම සහෝදරිය ඇතුළු පවුලේ තිදෙනෙක්ට සහනය සලසන පරමාර්ථයෙනි. සිය සහෝදරියගේ දිවි ගලවා ගන්නට අසමත් වුවත්, ඔහුගේ උත්සාහයෙන් තවත් දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත බේරා ගන්නට හැකි උපකරණයක් ලොවට බිහි කරන්නට ඔහුට අවස්ථාවක් පෑදුණි.

1990 ගණන් මුල දී රොබට් ගෝල්ඩ්මන් නැමැති සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා ඩිජිටල් ශ්‍රව්‍ය පද්ධති සඳහා තාක්ෂණය නිර්මාණයට සමත් විය. ඩිජිටල් ඩේටා බේස් වලින් සංගීතය මිල දී ගන්න, ඩවුන්ලෝඩ් කරන්න, විමසුම් කරන්න, ගබඩා කරන්න යනාදියට පරිගණක තාක්ෂණ මෙවලම් සොෆ්ට්වෙයාර් තමයි එයා අතින් නිර්මාණය වෙන්නෙ. අද අයිෆෝන් වල ඇති ඒ තාක්ෂණය එයා නිර්මාණය කරන ලද්දක්. ඒවාට ලැබෙන පේටන්ට් අයිතියෙන් 1999 දී ඔහු GetMedia, Inc. නම් කොම්පැණියක් ආරම්භ කළේය.

ඉන්පසුව ඔහු තමා සොයාගත් ඒ සොෆ්ට්වෙයාර් තාක්ෂණය, බුද්ධිමය දේපල හැටියට විකුණුවේ Intellectual Ventures නම් වූ බුද්ධිමය දේපල ලයිසන් කරන කොම්පැණියකට ය. මෙවැනි කොම්පැණි කැලිෆෝර්නියාවේ සිලිකොන් වැලියේ ගහණ ය. එක්තරා යුගයක හොලිවුඩ් බලා ඇදී ගිය රංගනයෙන් ලොව ජයගන්නට අපේක්ෂා කළ නළු නිළියන් මෙන් 90 ගණන් වල ආරම්භයේ දී ඇමෙරිකාවේ සිලිකොන් වැලියේ මෙවැනි කොම්පැණියකට තාක්ෂණයක් විකුණන්නට නිර්මාණශීලීන් ඇදී යන්නට පටන් ගත්හ. එසේ එක නිර්මාණයක් විකුණා ගත් නිසා විශ්‍රාම යන්නට සමත් වෙන අය අධික වන්නට පටන් ගති. අද ද ඊට සමත් වෙන්නෝ නොමඳ ය.

රොබට් තම බුද්ධිමය දේපළ විකුණන්නේ නේතන් මර්වාල්ඩ් නම් හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන තාක්ෂණ විධායකයා අරඹන ලද බුද්ධිමය දේපල ලයිසන් කරන ඉහත කියූ කොම්පැණියටයි. ඔහුට ලැබෙන මුදල් කොතරම් දැයි කිව්වොත් නැවත රැකියාවක් කළ යුතු නැති තරම් අධික ය. නිදහස් වෙළඳපොලේ දී, විකුණන අය සහ මිල දී ගන්නා අය අතර යම් එකඟතාවයට එන මුදලක් ලැබේ. තම නිර්මාණයේ අගය අනාගතයේ දී වැඩි වේ යැයි සිතන්නේ නම් ඊට අනාගතයේ ලැබෙන ලාභ වලට හිමිකම් කියන කොටස් සඳහා අවදානමක් ද ගත හැකිය. මෙසේ කේවල කිරීමෙන්, එනම් නිදහස් වෙළඳපොලක පවතින ඉල්ලුම හා සැපයුම අනුව නිර්මාණකරුවා හා මිල දී ගන්නා අතර වෙන ගණුදෙනුවෙන් එළඹෙන එකඟත්වය, නිර්මාණයේ අගය තීරණය කරයි.

රොබට් නිර්මාණය කළ බුද්ධිමය දේපළ සඳහා නිදහස් වෙළඳපොලේ ඉහළ අගයක් තිබි නිසා ඉහළ ලාභයක් ලැබෙන පරිදි විකුණන්නට සමත් වෙයි. එහෙත් විශ්‍රාම යන්නට සරිලන මුදලක් ලැබුවාට ඔහුට විශ්‍රාම යන්නට ලැබෙන්නේ නැත. තම සහෝදරිය වූ ඒමි කොහෙන් වෘහදන්ත්‍රයේ (colon) පිළිකාවකින් වේදනා විඳිනා බව ඔහුට දැනගන්නට ලැබෙයි. විශ්‍රාම යෑම පැත්තකට දමා ඔහු වෙහෙසෙන්නේ සහෝදරියගේ තත්වය යහපත් අතට හරවන්නට හැකි ආකාරයක් සොයන්නට ය.

අදහසක් පස්සේ හඹා ගොස් එයින් යම් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය සහ උත්සාහය වැය කළ යුතුය. ලාභ සෙවීම අයහපත් යැයි කියන අයට ලාභයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය හා උත්සාහය යොදවන ආයෝජකයෙක් ලැබෙන්නේ කෙසේ දැයි කීමට නොදනිති. හැමදාම වවා ගත් දේ කා නිදාගත් අයට නියඟයක් හෝ ගං වතුරකින් පසුව අනුන්ට අත පාන්නට සිද්ධ වෙන්නේ ඔවුන් ලාභ සොයන්නට නොදැන ජීවත් වූ බැවිනි. ලාභ නොසොයා වෙහෙසීම උතුම් යැයි දකින්නා, අයෙක් හැමදාම යදින හිඟන්නෙක් වීම උතුම් යයි ද සිතනවා ද?!!!!

සිය ඥාතීන්ට සහනය ගෙනෙන්නට විශ්‍රාම යෑම පැත්තකට දමන රොබට්ට 1987 දී ඉතාලියේ කරන ලද සායනික අධ්‍යයනයක් හමුවෙයි. එය කෙමොතෙරපි කෙළින් ම ටියුමර් එකට යවා පිළිකාව නසන්නට සමත් වූ සාර්ථක පර්යේෂණයකි. එහෙත් පර්යේෂණාගාරයක සාර්ථකත්වය සැබෑ ලෝකයේ සාර්ථකත්වය නොවෙයි. ටියුමර් එකේ පැවැත්ම එයට එන ලේ නාලයකිනි. ඉතා කුඩා කැතීටරයක් හදන්නට හැකිනම්, රෝගියාගේ රැධිර නාලය තුලින් ඒ ටියුමර් එකට ඇතුල් වී කෙළින්ම කෙමොතෙරපි ටියුමර් එකට ඇතුල් කළ හැකි යැයි ඔහු දකියි. දැන් මේ සඳහා ජීවත්ව සිටිනා අයෙකුගේ සිරුරේ වූ ටියුමර් එකකට රිංගත හැකි තරමේ කුඩා කැතීටරයක් නිර්මාණය කළ යුතුය.

තමනට කිසිම දැනුමක් නොමැති වූ ක්ෂේත්‍රයකට ඔහු පිවිසෙන්නේ ඊට ඉඩක් ලැබෙන පරිසරයක ඔහු ජීවත් වෙන නිසාය. තමන්ගේ උත්සාහය හරි නොයන බව කියන්නට පිරිසක් ඔහුට නිතර පාහේ හමුවුනත් ඔහු උපන්නේ එවැනි අය පරදවා උත්සාහවන්තයන් ජයගත් ඉතිහාසයක් ඇති සමාජයක ය. ඒ නිසා රොබට් බැහැයි කියන අයගේ උපදෙස් නොසලකා හරියි. නිර්මාණය සාර්ථක කරගන්නට ගත යුතු ක්‍රමවේදයක් දත් කිසිවෙක් ලොව සිටියේ නැතත් ඒ ක්‍රමවේදය සොයාගන්නට හේ තම මුදල්, තම කාලය හා තම මහන්සිය වැය කරයි.

තමන් ඩිසයින් එක හදන හැටි නොදන්නා නිසා එය අන්තර්ජාලයෙන් සොයාගත් සැන්ටා කෲස් හි ඇති කොම්පැණියකට බාර දෙයි. ඔවුන් හදන පළමු කැතීටරය ප්‍රමාණයෙන් විශාල වැඩි යැයි වෛද්‍යවරුන් කියති. එය කිසිසේත්ම කුඩා කරන්නට නොහැකි යැයි එය හදන කොම්පැණිය කියයි. එහෙත් රොබට් උත්සාහය අත් හරින්නේ නැත. කැතීටරය නිර්මාණය කරන ඉංජිනේරු වැඩේට ඔහු වසර දෙකක් පුරා වෙහෙසෙයි. එය ලොවට බිහිවෙන්නේ IsoFlow™ නමින් ය. කොම්පැණියේ නම් Vascular Designs ය. එය ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) වෙතින් අනුමත කරගන්නට ඔවුනට වසර හතක් සහ මාස දෙකක් ගතවෙයි!!!!!! 2009 මාර්තුවේ දී එය වෙළඳපොලට ඉදිරිපත් කරන්නට ඔහු සමත් වෙයි.

මෙවලම පිළිකා වලට කෙමොතෙරපි යැවීමට පමණක් නොව වෙනත් වෛද්‍ය විද්‍යාවේ පරේයෂණ වලට ද උපකාර කරගත හැකිය.

එය නිර්මාණයට ඔහුට මිලියන 1.8 ක් වැය විය. ඒකීය පුද්ගලයෙකුගේ, පුද්ගලික අරමුණක් මත පදනම් වී, පුද්ගලික මුදලක් පොදු යහපත සඳහා කැමැත්තෙන් ම එසේ ආයෝජනය වුණි. නිර්මාණයට ඉඩ ප්‍රස්ථා ඇති රටක, එයින් ලැබෙන ලාභය කැමති පරිද්දෙන් වැය කළ හැකි රටක ඔහු වාසය කළේය!!!!

මේ මෙවලම ලොව කළින් නොතිබුණකි. එහෙයින් එහි බුද්ධිමය දේපල අයිතිය ද ඔහුට ලැබෙයි. නිදහස් වෙළඳපොලේ එහි වටිනාකම ඩොලර් බිලියන ගණනකි. ඒ වනවිට ඔහුගේ සහෝදරිය වයස 40 දී වේදනා විඳ මිය ගොස් ය. නමුත් අනිත් අයට සහනය ගෙන දෙන්නට හේ සමත් වෙයි. ඇමෙරිකාවේ අයට පමණක් නොව, සෙසු ලෝකයේ දුක් විඳින අය සඳහා ද භාවිතා කළ හැකිය. මෙවලම අධි නීති ඇති FDA වෙතින් අනුමත වූ නිසා සෙසු රටවල විකුණන අනුමැතිය ගැනීම පහසු ය.

ඇමෙරිකාව වෙන රටවල් කොල්ල කනවා යැයි කියනා අයට, එය කරන්නේ කෙසේදැයි පෙන්වන්නට නොහැකිව හැමදාම කියන බොරු රිපීට් කරමින් තවමත් දුප්පත් බවින් ම සිටිති. ඇමෙරිකාවේ මිනිස්සු, ඇමෙරිකාවේ ධනවත් මිනිස්සු 😀 තම සතුට පිණිස තම මුදල්, තම කාලය හා තම වෙහෙස නිති යොදවා තමන් විසින් තව තවත් ධන සම්භාරයන් හොයන්නට සමත් වෙති!!!!!!!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on ඔක්තෝබර් 5, 2012 at 11:31 ප.ව.

    මේකත් ඔබ කියන ආකාරයේ කතාවක්මයි. ඇත්තටම මෙවැනි කරුණු ඉදිරිපත් කිරීම වැදගත් ඒක කියවන ‍කිහිප දෙදෙකුට හරි දැනුමක් ශක්තියක් ලැබෙනවා. ඔබේ උත්සාහය සාර්ථකයි. අප මිනිසුන් ගැන සිතා සිටින විදින වැරදි බව පෙන්වන්න හොදම උදාහරණ තමයි ‍මේ. ඇත්තටම මෙම සොයාගැනීම ගැන මා දන්නේ නෑ. දැනුවත් කලාට ගොඩක් ස්තූතියි. දිගටම මෙවැනි දේ ලියන්න. ඔබට ජය

    • arunishapiro said, on ඔක්තෝබර් 6, 2012 at 9:18 පෙ.ව.

      deshakaya,

      ස්තූතියි deshakaya. මෙවැනි ප්‍රතිඵල පෙන්වන සත්‍යය උත්සාහයන් ගැන ඔබේ අඩවියේ ලියන්න යැයි මගෙන් ආරාධනයක් ඔබට.

      ඇමෙරිකාව පටන් ගත් දා සිට අද දක්වා මෙහෙම ඒකීය පුද්ගල උත්සාහයෙන් ලැබිච්ච ජීවිතය යහපත් කරවන අලුත් දේ ගැන ලියන්න වෙනම වෙබ් අඩවියක් පටන් ගෙන දිනපතා සටහන් දාන්න පුලුවන් වුනාට මෙහෙ ඒ අය ජාතික වීරයෝ කියා පිදුම් ලබන්නේ නැති නිසා විස්තර හොයගන්න ටිකක් මහන්සි වෙන්න ඕනෑ!!! මෙයයි ඇමෙරිකන් සුවිශේෂීත්වය. අදහසක් පස්සේ හඹා ගිහින් එය සාක්ෂාත් කරගන්න ක්‍රමවේද තිබීම. ලංකාවේ සහ වෙනත් බොහෝ රටවල ඊට ඉඩක් නැහැ. අපේ දෙමව්පියන් (මගේ නෙමෙයි) අරහෙම කරන්න මෙහෙම කරන්න කියනවා; අපේ ගුරුවරු එහෙමයි; අපේ යාළුවෝ එහෙමයි; අපේ නායකයෝ එහෙමයි. ඉතින් තමන් විසින් කුමක් කළ යුතුදැයි නොදන්නා අවුල් තත්වයක පටන් ගන්නටත් පෙර හිරවෙලා ඉන්නෙ. කාටවත් කරදරයක් නොවී තමන් කළ යුත්තට ඉඩක් නැහැ. එයින් ඇතිවෙන්නෙ හැමෝටම කරන කරදර වැඩ වැඩි වීම. හැමෝම හැමදාම එකම තැන ලැග සිටීම. ඒ ඇයි කියලා බහුතරය නොදන්න නිසා හැමදාම බැන වදින්නෙ ඔප්පු කරන්න බැරි පිටස්තර කුමන්ත්‍රණයකට.

  2. Gold fish said, on ඔක්තෝබර් 6, 2012 at 12:05 පෙ.ව.

    හොඳ ආදර්ශයක්… දැන් නම් හිතන විදිය වෙනස් කරගන්න පුළුවන්, සැලකිය යුතු කරුණු ලැබෙනවා…. 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 6, 2012 at 9:35 පෙ.ව.

      Gold fish,

      කොයි රටකත් ආර්ථිකය හසුරුවන උතුම් නායකයන් වෙන්නට ගිය අයට වැඩ වැරදිච්ච හැටි වැඩිකල් යන්නට පෙනෙනවා. වෙළඳපොල ඉල්ලුම සැපයුම අනුව විකුණන සහ මිල දී ගන්න දේවල් සත්‍යයෙන් නිර්මාණය කරන මිනිස්සු තමයි රටේ ආර්ථිකයට නායකත්වය දෙන්නේ.

  3. දූපත් වැසියා said, on ඔක්තෝබර් 6, 2012 at 12:30 ප.ව.

    නොදැන හිටපු කතාවක්. ලංකාවේ කට්ටියත් පිට රට ගිහින් ඔහොම නිර්මාණ කරනවා නේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 6, 2012 at 12:40 ප.ව.

      දූපත් වැසියා,

      ඔව් ඉන්නවා. ලංකාවේ උපන් ඇමෙරිකානුවෙක් වූ දොස්තර කෙනෙක් සැත්කම් වලින් පසුව තුවාල මහන විශේෂ “නූලක්” ඉදිරිපත් කළා. ඔහු ධනකුවේරයෙක් වුනා. දුවගේ නම විතරයි මතක මට. ඒ නිසා හොයගන්න අමාරුයි.

      මේ ඉන්නේ පැටන්ට් 70 ක විතර අයිතිකාරයෙක්: එච්. කුමාර් වික්‍රමසිංහ

      ලංකාවේන් ආපු අය වැඩියෙන් සොයා ගැනීම් ඉදිරිපත් කරන්නේ විශ්ව විද්‍යාල පසුබිම තුලින්: ලංකාවේ ආභාෂය තමයි!!!

  4. Chandi said, on ඔක්තෝබර් 7, 2012 at 7:30 පෙ.ව.

    මෙවන් විස්මිත සොයා ගැනීම් ගැන තව ලියන්න අරුණි. අපේ රටේ ඇත්තන්ට හරියට වටිනවා. ඒ තුලින් ඔබ දෙන ආදර්ශය හරිම උතුම් නංගී.

    • arunishapiro said, on ඔක්තෝබර් 7, 2012 at 7:54 පෙ.ව.

      Chandi,

      ප්‍රතිඵල දැක්කාට එය කෙසේ ලැබුනේ දැයි වටහා ගන්න නම් ක්‍රියාවලිය ගැන දැනුමක් නැතිව බැහැ. එතකොට වෙන්නේ “අනාගතයේ දෙන බියර්” වලට ජනතාව රවටන්න හැකි වූවා සේ මේවා ධනවාදී සමාජයක සාමාන්‍ය සිද්ධීන් නොවේ යැයි කියා අහඹු සිද්ධි හැටියට ලේබල් ගහනවා. තමන්ගේ ක්‍රමයේ තියන තිරිසන් සමාජය පැහැදිලි කරන්න බැරි නිසා (විදේශීය කුමන්ත්‍රණ කිව්වම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ!!!) මේවා ගැන කොච්චර ලිව්වත් වැඩක් නැහැ. පතුරවන්නේ ම තමන්ගේ දුප්පත් බව අනුන් නිසා ඇති වූවක් යන මුලාව.

      ඉතින් චාන්දි අක්කා, මම ඉඳහිටක මෙහෙම කතන්දර ලිව්වට (අතීතයේ ද ඇති තරම් ලියා තියෙනවානේ: බැරී බ්ලම්බර්ග්, මරේ ලෙන්ඩර්, ටොම් සැකි) මම වැඩියෙන් උත්සාහ කරන්නේ ක්‍රියාවලිය ගැන පැහැදිලි කරන්න. මෙහෙම යහපත් හා ධනවත් මිනිස්සු වෙන්නට හැකි ක්‍රියාවලිය කුමක් දැයි අවබෝධයක් ඇති කරන්නටයි. ක්‍රියාවලිය කුමක් දැයි දන්නවා නම් තමන්ටත් එය තම උන්නතියට භාවිත කරගත හැකි බව පැහැදිලි කරන්නටයි. තවත් විදියකින් කිව්වොත් තවම සිංහලෙන් ලියැවිලා නැති කොටස ලියන්නයි.

      • inesh said, on ඔක්තෝබර් 8, 2012 at 2:33 පෙ.ව.

        //කාටවත් කරදරයක් නොවී තමන් කළ යුත්තට ඉඩක් නැහැ.//මෙන්න මේ දේට උත්තර හොයනවා ඔලුව රිදෙනකම්ම.සමහර විට ඔබ කියන තවම සිංහලෙන් ලියැවිලා නැති කොටසසේ මෙකට උත්තරය තියෙයිද?

        • arunishapiro said, on ඔක්තෝබර් 8, 2012 at 8:35 පෙ.ව.

          inesh,

          මුල ඉඳලා මේ වෙබ් අඩවිය කියවා ගෙන ආවොත් ඔයාට ඔලුව රිදෙන එක නම් වැඩිවෙන්න පුලුවන් 😀 ඒත් උත්තරේ නම් හොයාගන්න ලැබේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: