අරුණි ශපීරෝ‍ වෙතින්

දැනුම සොයන්නෝ රැඳී සිටිත්වා!!!!

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2012

දුකා මල්ලී වානරයන් ගැන දාපු බ්ලොග් සටහන කියැවීමෙන් පසු මා ඉදිරියේ ඇති අභියෝග සුළුපටු නොවන බව වටහා ගත්තෙමි. කවදත් මා කැමති දෑ කරද්දී දැනෙන පීඩනය මට නම් වරප්‍රසාදයකි. 😀

සිංහලෙන් කියවන්නා ඉදිරියේ වූ, ඉතා උග්‍ර ලෙසින් පවතින සංකල්ප හිඟයක් පුරවන්නට මා සතු දැනුම බෙදාගන්නටයි මේ අඩවිය පටන් ගත්තේ. සිංහලෙන් කියවන්නා ලෝක ඉතිහාසයත්, මා කියනා කරුණු කාරණා වල පසුබිම් කිසිවක් ද නොදන්නාකමත් පැහැදිලිව දුටුවෙමි. ඒ අඩුව පුරවන්නට මට දිනපතා සටහන් දැමීමේ උත්සාහයත් ප්‍රමාණවත් නැතැයි දැනිච්ච වාර අනේක ය. ඊට පිළියමක් වශයෙන් සිංහල විකිපීඩියාවේ වර්ධනයට ද දායක වන්නට පටන් ගත්තෙමි. එහෙත් එයත් ප්‍රමාණවත් නැති බව දුකා මල්ලීගේ සටහන කියවද්දී පැහැදිලි විය. මන්ද, මා මේ සටහන් පටන් ගත්තේ, ලංකාවේ මූලික අධ්‍යාපනයකින් මා ලබාගත් 1. දැනුම සොයන ක්‍රමවේද සහ 2. රටෙන් පිටවෙද්දී මා සතු වූ දැනුම නම් වූ පසුබිම් ස්ථානය සටහන් ලිවීමේ ආරම්භක ස්ථානය යැයි ලකුණු කරගෙන ය. එහෙත් මා ලංකාවෙන් 80 ගණන් මැද තෙක් ලබාගත් ඒ දැනුම අද බහුතර සිංහල පාඨකයන් සතු නැතැයි පුවත්පත්, පතපොත හා අන්තර්ජාලයේ ද සිංහලෙන් ලියැවෙන සටහන් වලින් දකිමි. දුකා මල්ලී වානරයන් ගැන කියන්න පැහැදිලි ය!!!!

මිනිස් ජීවිතයක් නම් ඉතා කෙටි වූවකි. හැමදාම මුල සිට පටන් ගන්නට බැරි ය. අනිත් මිනිස් සත්තු විසින් දුෂ්කර ක්‍රියා කිරීමෙන් සොයා දුන් දැනුම එතැනින් එහාට ගෙන නොයන්නේ නම් ඒ මිනිස් කොට්ඨාශය හැමදාම අ යන්න ආ යන්න පමණක් කියා දෙන්නට සමත් වන්නෝ පමණි. අපි විභක්ති ඉගෙන ගත යුතු ය. අක්ෂර වින්‍යාසය පුහුණු කරගත යුතු ය. එසේ දැනුම වඩවා අපි භාෂාවක් උතුම් යැයි ඊට වහල් නොවී සිට එය අදහස් හුවමාරු කරන මෙවලමක් හැටියට භාවිතයට ගත යුතුය.

විචාරයට මූලික පදනම මට ලැබුනේ තාත්තා ලියූ දාර්ශනික සිතුවිලි වලින්. “ධනාත්මක චින්තනයේ ඊ ළඟ පියවර” ගැන මා ලංකාවේ දී සිංහලෙන් පැවැත් වූ දේශනයක් ඉතා සාර්ථක වුණි. තාත්තා වෙතින් උගත් ගෝලයන්ට, මට වඩා වයසින් පරිනත වූවන්ට, ඉතා පහසුවෙන් මා කියන්න වැටහුණි. මට ඉගැන්වූ ගුරුවරයෙක් සහ මම ඉගැන්වූ අයෙක් අද ගුරුවරයෙක් වී ඉන්නා කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ සභාවක දී ඒ අදහස් සිංහලෙන් කියන්නට අවස්ථාවක් ලද්දෙමි. විචාරය හා තර්කය ඉගෙන ගන්නට යැයි දර්ශන විෂය හදාරන සිසු සිසුවන්ට ඒ හැකියාවන් දැන් නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරූ සිසුන් බහුතරයක් වෙත ද දේශනයක් කරන්නට අවස්ථාව ලද්දෙමි. ප්‍රංශ විප්ලවයේ පෙනෙන බුර්ජුවාසී හැදියාව ඉස්මතු විය. තමන්ට ලැබිය යුතු අයිතීන් හා තරයේ එකඟ වූ පිරිස ඒ අයිතීන් තමන්ට වඩා පහළ මට්ටමේ අයට දෙන්නට කිසිසේත් ම කැමති නොවූහ!!!!

මා 1985 පසු කර දැනුම එකතු කරගෙන ඉදිරියට ගොස් ඇත්තෙමි. සිංහලයා ගුරු බැතිය උතුම් කියමින් තමනට ඇසෙන වදන් ගිරව් සේ නැවත කියමින් උපාධි සහතික එකතු කරමින් සිටිති. සංකල්පයක් විචාරයට සහ තර්කයට ලක් කරන ආකාරය අධ්‍යාපනයෙන් අතුරුදහන් ය.

සිංහලෙන් කියවන්නාට ලෝකය ගැන දැනගන්නට ලැබෙන්නේ සොච්චමකි. 1930 ගණන් වල ලුඩ්විග් වොන් මීසස් සහ ඉන්පසුව ෆ්‍රෙඩ්රික් හයෙක් කියූ ආර්ථික ක්‍රමවේද ගැන සිංහලයන් නොදනිති. 1956 දී කොමියුනිස්ට් යුද ටැංකි හංගේරියන් කැරැල්ල සමතලා කළ හැටි සිංහලයන් නොදනිති. නිකිටා කෘෂ්නෙව් සෝවියට් අතීතයේ සාහසික අපරාධ හෙළි කළ සැටි සිංහලයන් නොදනිති. වාමාංශිකයාගේ “හෙට දෙන ආශ්චර්යය” උතුම් නිසා සිංහලයාව මුලාවේ තැබෙයි. සිංහලයන් ධනවාදය කියා සිතන්නේ සිංහල භාෂාව වඳ කරන කුමන්ත්‍රණයක් කියාය. සිංහල භාෂාවේ උන්නතියට පර සුද්දන් දායක වූ හැටි ගැන ලියන්නේ නැත. සිංහල බෞද්ධයා ධනවාදය කියන්නේ ක්‍රිස්තියානි චින්තනය පැතිරවීමක් කියා රැවටී සිටියි. ධනවාදය නම් “මනෝ පුබ්බංගමා ධම්මා” මත පදනම් වූවක් යැයි දන්නේ නැත. ධනවාදය නම් බටහිර සංස්කෘතියක් පැතිරවීමේ ව්‍යාපාරයක් යැයි රුවටී සිටිති. ධනවාදය නම් “තම හිසට තම අතමය සෙවනැල්ල” කියන පැරණි සිංහල කියමන හා එකඟ වන්නක් බව දන්නේ නැත.

මුලා වලට ම රැවටී සිටිනවා ද? නැත්නම් චූලපුණ්ණම සූත්‍රයේ කියන අසත්පුරුසයන් කවුදැයි වටහා ගන්නට උත්සාහයක් ගන්නවා ද?

පුද්ගලයෙකුගේ අභිවෘද්ධියට කාලය කුමක් වුවත් කම් නැත, සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වෙයි. අසත්පුරුෂයා අයෙක් කැන්දන් යන්නේ දුසිරිත හා පාපයට ම වෙයි. අසත්පුරුෂයා අසත්පුරුෂයන් ආශ්‍රය කරන්නෙකි. අසත්පුරුෂයා අසත්පුරුෂ සිතිවිලි වලින් යුක්ත වූවෙකි. අසත්පුරුෂයා අසත්පුරැෂ වූ කතාවෙන් යුක්ත වූවෙකි. අසත්පුරුෂයා අසත්පුරුෂ වචන වලින් යුක්ත වූවෙකි. අසත්පුරුෂයා අසත්පුරුෂ ක්‍රියාවලින් යුක්ත වූවෙකි. අසත්පුරුෂයා අසත්පුරුෂ දෘශ්ටියෙන් යුක්ත වූවෙකි. අසත්පුරුෂයා අසත්පුරුෂ දානයන් ද කරන්නෙකි!!!!!

අසත්පුරුෂයා ධර්මය ගැන කිසිදු අවබෝධයක් නැති කම්මැලි කුසීත සිහි මුළා වූ අඥානයෙකු බව කියන්නේ ද එම සූත්‍රයේ!!!!!!!

අවුරුදු 2601 කට පෙර ලොව බිහි වූ ඥානය බැහැරක ලා සිංහලයා හැමදාම එකතැන ය. ඥානය හඹා යන ක්‍රමවේදය භාවිතයෙන් ඥානය පාදා ගැනීම ඒකීය පුද්ගලයාගේ වගකීමයි. බෙදා දෙන අයට කිසිදා එය බෙදා දෙන්නට නොහැකියි!!!!!

තාත්තා ගේ සටහන් හැකි තරම් සුමනදාස සමරසිංහ බ්ලොග් අඩවියෙන් ඉදිරිපත් කරන්නට, තාත්තාගේ බුද්ධිමය දේපල උරුමය ලැබි එහෙත් එයින් පමණක් යැපෙන්නේ නැතිව ස්ව උත්සාහයෙන් වෙනත් ව්‍යාපාරයක යෙදී සිටින නංගිව කැමති කරවා ගත්තෙමි. මේ සුන්දර ලෝකයේ සත්පුරුෂයන් ආශ්‍රයට, දැනුම සොයා යන්නට හැකියාවක් උත්පාදනය කර මා හදා වැඩූ මගේ දෙමාපියන් නොමැති වූවා නම් අද මා ද නැත. සටහනට එකතු කරන්නේ 1961 දී ලෙබනනයේ දී ගත් තාත්තගෙයි අම්මාගෙයි පින්තූරයක්. විචාරකයාගේ ඉල්ලීමක් ඉටු කරන්නට සමත් වුනෙමි!!!! මා ලියනා දෑ පහසුවෙන් වටහා ගන්නට කැමැත්ත ඇත්තන්ට ඉහත සබැඳි අඩවියෙන් උදව්වක් ලැබෙනු ඇත.

දැනුම නම් තම මහන්සිය, තම මුදල, තම කාලය වැය කර තමන් විසින් සොයා යා යුත්තක් යැයි අගයන රටක (ඇමෙරිකාව), නොමිලේ බෙදා නොදෙන්නා වූ මේ දැනුම සිංහලෙන් සටහන් තබන්නට මා ගන්නා උත්සාහය හුදෙක් ම මගේ පුද්ගලික සතුට සොයා යන ගමනක් පමණි. මට දේශපාලනයට පිවිසීමේ කිසිම අපේක්ෂාවක් නැත. අද ඇමෙරිකාවේ ඇකඩමියාව අප්‍රිය වී ඇති මට ලංකාවේ ඇකඩමියාව ඊට වඩා ජුගුප්සාව උපදවන තැනකි.

සිංහලෙන් ලියැවී නැති මහත් දැනුම සම්භාරයක් ඉදිරියේ මට තෝරා ගැනීම් කරන්නට සිද්ධ වේ. දැනුම කැමැත්තෝ ඒවා තුලින් තවත් සංකල්ප සොයා යා යුත්තේ තමන් විසිනි.

අද එසැණින් පින්තූර, කතන්දර, විඩියෝ ඔක්කොම ලොව පුරා යවන්න පුලුවන් එකේ අපි තවත් වැඩියෙන් දැනුම බෙදා ගත යුතු නේද?!!!!

දැනුම සොයන්නෝ රැඳී සිටිත්වා!!!!

Advertisements

26 Responses

Subscribe to comments with RSS.

  1. R.p. Susantha said, on ඔක්තෝබර් 8, 2012 at 9:14 පෙ.ව.

    සුමනදාස සමරසිංහ ශූරීන්ගේ ලිපි පොත් පත් මම කියවන්න ගත්තේ මම 6-7 වගේ ශ්‍රේණිවල ඉගෙනීම කරන විටයි. ඒ කාලයේ නුගේගොඩ අනුලා විදුහලේ පැවති අධිකාරම් මහතාගේ දේශන වලට සහභාගී වීමට මා නිතර පැමිණෙනවා. එහිදී හදුනාගත් අයෙක් තමයි මට ඒ පොත් පත්‍රිකා ලබා දුන්නේ.

    මා ඉතා ගරු කළ උතුමන් දෙදෙනෙක් අධිකාරම් තුමා සහ සුමනදාස සමරසිංහ ශූරීන්. එතුමාලාගෙන් ඉගෙනගත් දෑ අදත් මට පිහිටවනවා.

    අක්කා හදුනා ගැනීමද මගේ ජීවිතයේ වටිනාම සිද්ධියක්.

    වර්ථමාන පරම්පරාවට මේ බ්ලොග් අඩවිය මඟින් විශාල සේවයක් ලැබේවි යැයි මට සිතෙනවා.

  2. dawkinssdodo said, on ඔක්තෝබර් 8, 2012 at 11:03 පෙ.ව.

    සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඔනේ නිසා ඔන්න මාත් හිතුව මේ හීතල ස්කැන්ඩිනේවියාව අතෑරල ඔය පැත්තට එන්න. 😀

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 7:42 පෙ.ව.

      එන්න ඩොඩෝ සාදරයෙන් පිළිගන්නම්. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ප්‍රිය කරන අය මෙහෙටත් වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක්.

  3. maathalan said, on ඔක්තෝබර් 8, 2012 at 11:49 පෙ.ව.

    මා අන්තර්ජාලයේ දුටු යමක් කමක් ගත හැකි හොඳම අඩවිය ඔබේ අඩවියයි. එය බොහෝ දෙනෙකු අනුමත කරනවා නොඅනුමානය. ඉගෙන ගත් දෑ බොහෝයි. ඔබේ සද් කාර්යයට සියළු ධෛර්ය ශක්තිය ලැබේවා. සැමදා ලුහුබඳිමි…

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 7:44 පෙ.ව.

      මාතලන්,

      යන පැත්ත කොහෙද කියලා ඉඳ හිටලා කියන සිරිතක් තියෙන නිසයි සටහන දැම්මෙ. ලැබුනේ නොසිතූ සතුටු ප්‍රතිඵලම ය!!!!

  4. ravi said, on ඔක්තෝබර් 8, 2012 at 2:30 ප.ව.

    එසේය!… එසේය!!….. එසේය!!!,

    දැනුම සොයන්නෙක්මි!,….දැනුම සොයන්නෙක්මි!!,….දැනුම සොයන්නෙක්මි!!!

    එසේහෙයින්… රැඳී සිටිමි!……රැඳී සිටිමි!!……රැඳී සිටිමි!!!

    🙂 🙂 🙂

  5. kasunmathota said, on ඔක්තෝබර් 8, 2012 at 3:43 ප.ව.

    නියමයි, කමෙන්ට් දාන්නෙ නැති උනත්, දිගටම බ්ලොග් එක කියනවා, ඇත්තටම සමහර කියන දෙවල් තෙරුනෙ නැහැ, අද හිතාගත්තා කම්මැලි නැතුව දැනුම හොයන්න

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 7:51 පෙ.ව.

      kasunmathota,

      පාරම්පරික හැදියාවනේ. උගතෙක් කිව්වම ඔහේ පිළිගත්ත. හෙව්වෙ බැලුවේ නැහැ. අන්තිමේ දී නළු නිළියෙක් කිව්වමත් ඔහේ පිළිගන්න මට්ටමට ඇවිත් ඒ කියන දේවල් ගැන හොයලා බලන්නෙ නැතිව.

      කම්මැලි වුනොත් පාඩුව වෙන කාටවත් නෙමෙයි තමන්ටයි.

      වැටහෙන කොටස් ගැන ප්‍රතිචාර නම් නැති වුනාට කමක් නෑ. හැබැයි වැටහුනේ නැති දෙයක් අහන්නෙ නැතිව ඉන්න එපා. බ්ලොග් එකකින් පහදා ගන්න තියෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න එපායෑ.

      දිගට ම එනවාට ස්තූතියි.

  6. dayal bathee said, on ඔක්තෝබර් 8, 2012 at 6:16 ප.ව.

    අද හරි සරලයි, කෙලින්ම කියල.
    ඒත්
    අමෙරිකාව එක්ක තිබෙන තරහ අපට පොඩි කාලෙ ඉගෙන ගත්ත අයන්න ආයන්න සාමා අමර වගේ…DNA වලටත් ගිහිල්ල වගේ.
    මොකද අපි රටක් ලෙස දුප්පත් වෙලා තිබෙන්නේ අධිරාජ්‍යවාදය අමෙරිකාව ප්‍රමුඛ බටහිර හා ලෝක බැංකුව නිසා බව අපට ඒත්තු ගන්වා තිබෙන නිසා. ඔබට මා ඒ අභියෝගය භාර දෙමි…

    සාමාණ්ය තර්කයක් දැම්මොත්

    ධනය යනු බලයයි
    බලයක් තැනක හැදෙන විට එහි ප්‍රතිපලයක් ලෙස බිහිවන දේවලින් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩ නැගීම ස්වාභාවිකයි.
    බලය check වෙන්නේත් සමබරතාව balance රැකෙන්නේත් එවිටයි නේද? දුකා කිව්ව වගේ නැත්නම් අමෙරිකාව නැමති යෝධ වානරයාට අපි යට වෙනව නේද?

    ධනවාදී ආර්තික ක්‍රමය හේතුවෙන් කම්කරුවන්/නිර්ධනයින් ඇතිවේ. ඒ අයගේ ආරක්ශාවටත් වාදයක් අවශ්‍යය.
    සමාජවාදය යනු එයයි.

    බුදු හාමුදුරුවන් බණ දෙසීමට කලින් බඩගින්න නිවා දැමිය යුතු බව දෙසූ බව ඔබ දන්නවා.
    මනෝ පුබ්බංගමා ධම්මා වෙන්නෙ බඩ පිරුනට පස්සෙ කියල මගේ ගොන් කමට මට තේරෙන්න.

    මහ වෙදනා කිව්ව මාත් වගේ ඔබගේ පියාගේ පොත් කියෙව්වේ පැඟිරි වියේ සිට. දැන ගැනීමට ලැබීම සතුටක්

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 8:05 පෙ.ව.

      dayal bathee,

      ධනය යනු බලය වෙනවා නම් ස්ටීව් ෆෝර්බ්ස් ඇමෙරිකාවේ ජනාධිපති වෙනවා. ධනය කියන්නෙ තවත් එක බලයක් විතරයි.

      දයාල් බතී වගේ ධනයට අකමැති අය ම තමයි හැම තිස්සෙ ම ධනය මූලික තැනක් දෙන්නේ!!!!!!!!!

      බලයට checks and balances ලැබෙන්නේ සියල්ලන් තුල ම විවිධ විෂම වූ බලයන් ඇති නිසයි.

      //ධනවාදී ආර්තික ක්‍රමය හේතුවෙන් කම්කරුවන්/නිර්ධනයින් ඇතිවේ. ඒ අයගේ ආරක්ශාවටත් වාදයක් අවශ්‍යය.
      සමාජවාදය යනු එයයි.// කාල් මාක්ස්ගෙ කියමන් වැරදි යැයි පෙන්නා දීලා දැන් ගොඩක් කල්. මූලාරම්භය; අපි ඔබව පාලනය කරමු; අපි ඔබව රවටමු; අපි ඔබට වෙඩි තියමු; අපි ඔබ වෙනුවෙන් කමු; අපි හැමෝටම කන්න දෙමු

      බඩගින්න නෙමෙයි, නිවන්න ඕනා දුක්ගින්න. එය සමහර විට බඩගින්නක් ලෙසින් ද සමහර විට පටාචාරා, කිසා ගෝතමී වගේ අයට වෙනත් ගිනි ලෙසින් ද එයි.

      සිතට දැනෙන ගින්නයි නිවන්න ඕනෑ. ඒ නිසා, මනෝ පුබ්බංගමා ධම්මා හැම විටම මූලික වෙයි.

  7. තිසර said, on ඔක්තෝබර් 8, 2012 at 9:10 ප.ව.

    දැනුම යනු තම මහන්සිය, උනන්දුව, කාලය (මුදල් යන වචනය උවමනාවෙන් අත්හරිමි ) වැයකිරීමෙන් ලබාගතයුතු දෙයක් බව පිළිගනිමි. එසේ ලබාගත් පුද්ගලයන් පිළිබඳ මට ඇත්තේ මහත් ගෞරවයකි. එසේම තමා ලද දැනුම අන් අය හා බෙදාගන්නා ඔබවැනි සත්පුරුෂයන් පිළිබඳවද මට ඇත්තේ ඊටත් වඩා වැඩි ගෞරවයකි. තමාගේ මතවාදයන්, විචාරයට සහ තර්කයට ලක්කිරීමේ ඉඩහසර ලබාදෙමින්, දැනුම බෙදාගන්න ස්ථානය අදාල නොවන දෑ පිරි මඩ ගොහොරුවක් නොකර, සංවාද මංඩපයක් ලෙස පවත්වාගෙන යෑම පිලිබඳවද ස්තූතිවන්ත වෙමි.

    එකඟවීම සහ විරුද්ධවීම දැනුම සොයායාමේදී අත්‍යවශ්‍යම දේ බැවින්, එකඟවෙමින් හෝ විරුද්ධවෙමින්, “ඔබ නොමිලේ සහ මුදල්ගෙවා ඔබගේ කාලය ශ්‍රමය වැයකොට ලබාගත් දැනුම, වැඩිපිරිසකට නොමිලේ ලබාදීමේ යතාර්ථවාදී උතුම් චේතනාවෙන්” ඇරඹි මෙම බ්ලොග් අඩවිය සමග රැඳීසිටින බව කියනු කැමැත්තෙමි.

    මම දරන්නේ, මම මගේ කාලය, ශ්‍රමය, කැමැත්ත, අකමැත්ත, යම් පමණකට මුදල්ද ගෙවා ලබාගත් දැනුම සහ යම් පමණකට මගේ සංස්කෘතික පසුබිම, ජාතිය, ආගම, පරිසරය විසින් මා තුල අවිඥාණිකව තැම්පත් කර ඇති වටිනාකම් මතින් මා එලඹි මතවාදයන් පමණක් බවත් සඳහන් කරමි.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 8:14 පෙ.ව.

      තිසර,

      මුදල් වැයක් නැතිව කිසිම කෙනෙක් ලබාගත් දැනුමක් නැහැ. ඔබ නොමිලේ යැයි සිතා ලබාගත් දැනුමට ගෙව්වේ ඔබමයි.

  8. wicharaka විචාරක said, on ඔක්තෝබර් 8, 2012 at 10:13 ප.ව.

    මේ දිනවල අතිශයින් කාර්ය බහුලව සිටිමි. බොහෝවිට නිවසින් පිට සිටිමි. පරිගණකය අල්ලන්න ලැබෙන්නේ දිනකට විනාඩි 45 ක පමණය. මගේ අඩවියේ කෙටුම්පත් තුනක් ඇතත් අවසන් කරන්නට වෙලාවක් නැත. ඒ නිසා බ්ලොග් කියවීමට ද ලැබෙන්නේ සීමිත කාලයකි.

    ඇයි යෝදියේ මෙච්චරකල් නොකිව්වේ සුමනදාස සමරසිංහ කියන ඒ මහා පුරුෂයා වෙනුවෙන් අඩවියක් ජාලයේ තිබෙන බව? සියල්ල කියවා අදහස් දක්වන්නම්.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 8:18 පෙ.ව.

      විචාරක,

      මම ලංකාවට ආපු වෙලාවේ නංගිට හදලා දුන්නෙ. දිගට ම කරගෙන යාවි දැයි සැක නිසයි සඳහන් කළේ නැත්තෙ.

      ළමයෝ සහ යෝදියේ වගේ අපේ කාලේ ඇහිච්ච වදන් ඇහුණාම සතුටක් දැනෙනවා!!!!!

  9. deshakaya said, on ඔක්තෝබර් 8, 2012 at 10:45 ප.ව.

    අප තේරුම් නොගත් දෙයද එයමය. ලංකාවේ සිටින සියළුම කුම්භාණ්ඩයන් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, ඉංජ්නේරු, කලාකරු යන වගේම එකි නොකි හැමෝම සාමාන්‍ය ජනයාද ඇතුළුව සිටින්නේ එකම දූපත් මානසිකත්වයකිනි. එනම් මෙම විශ්වයේ ඇති ගැඹුර, දැනුම අවතක්සේරුවක සිටිමයි. ලාංකිකයන් හට ඔබ කිව් ආකාරයෙන් සිංහල භාෂාවෙන් ලැබී ඇති දැණුම කුමක්ද කියා සොයා බැලීම වටනේය. පර්යේෂණ නොකෙරනෙ රටක, අළුත් දැනුම අවම වශයෙන් වසර 5 කට වරක්වත් විෂය නිර්දේශකයට ඇතුලත් නොකරන රටක දැනුම ලබාගන්නේ‍ කෙසේද? බිංකුණ්ඩන් මෙන් සැගවී සිටින කාලය දැන් අවසන් කළ යුතුය. ඔබට‍ දැනගැනීමට අවශ්‍ය ඕනැම දෙයක්, විෂය කරුණක් සදහා අවශ්‍ය ඉංග්‍රිසි මුලාශ්‍ර අන්තර්ජාලය පුරා අනන්තවත් ඇත. ඔබගේ උත්සාහය අග‍ය කරන්නේ එය ඔබේ තෘප්තිය උදෙසා ම කරන සද් කාර්යයක් වන බැවිනි. පෙර සටහන් වලදී කිව්වා මෙන් තව ලියන්න. අපට කියවා තේරුම් ගැනීමට තව දැනුම අවශ්‍යය. ජය

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 8:23 පෙ.ව.

      deshakaya,

      අපේ විශ්ව විද්‍යාල වල ක්‍රියාශීලී අය කියන්නේ වසර 30 ක් ගියත් උගන්වන දේ වැඩිය වෙනස් නොවන ක්ෂේත්‍ර වල ඉන්න අයයි. ඉතින් දැනුම කියලා හිතන්නෙ හැමදාම එකම දේ වමාරන එක. අනික් පැත්තෙන් පිටරට ඕනෑ දෙයක් කුමන්ත්‍රණ කියලා ප්‍රතික්ෂේප කරන්න පුරුදු කළාම හරි ලේසියි දක්කන් යන්න. එහෙම රටවල් වලට වෙච්ච හරිය ගැන දැනගන්නෙත් ඒ අය දෙන විස්තරයෙන් විතරයිනෙ එතකොට.

      මිනිස්සුන්ව බඩගින්නෙ තියන සැලසුම් හදලා ඊට පස්සෙ අපි තමයි කෑම දෙන්නෙ කියන ක්‍රමවේදය ම තමයි.

  10. inesh said, on ඔක්තෝබර් 9, 2012 at 6:34 පෙ.ව.

    සුමනදාස සමරසින්හ ශුරීන් ගේ පොත් කියවා ඉවර වු පසු කියවිමට දෙයක් සොයමින් සිටින කලෙක Google ට පින්සිද්ද්වෙන්න ඔබෙ පියගේ නම සදහන් ලිපියකින් ඔබෙ web අඩවිය සම්බවුනි,තවමත් කියවමි.සමහර දෙවල් කියවන්න කම්මෑලියි,මොකටද මෙව දෑනගෙන කියල හිතෙනවා,එ වුනත් හෑමදාම කියවනවා.නොදන්න හුගක් දේ දෑනගන්නවා ඔබෙන්,ස්තුතියි!

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 8:29 පෙ.ව.

      inesh,

      මගේ සුදු අප්පුහාමිත් එහෙමයි. මට යම් සිද්ධියක් දැක්කම එය එහෙම වුයේ කෙසේදැයි පහදා ගන්නා තෙක් ඉවසිල්ලක් නැහැ. ඒ තුලින් එහි අවසානය කුමක් වේදැයි යාන්තමින් හෝ හැඟීමක් ලැබීමෙන් මට දැනෙන්නේ සතුටක්. ඒත් සුදු අප්පුහාමි එහෙම නැහැ. එයාට ඕනා තත්වය වහාම යහපත් අතට ගෙනෙන විසඳුමක්. එහෙම විදියක් නැහැ කිව්වම, එනම් අපේ අතේ ම විතරක් නෙමෙයි සිද්ධ වෙන දේවල් වල නිමාව කෙසේදැයි තීරණය වෙන්නේ යැයි කිව්වම එයා ඒ දේවල් කියැවීමට කම්මැලියි!!!

      • inesh said, on ඔක්තෝබර් 10, 2012 at 4:20 පෙ.ව.

        ඒත් දෙයක් නිවෑරදි කරන්න අපෙ අතින් වෙන්න ඔනෙ කොටසකුත් තියෙන්නම ඔනෙනේ,අනික එහෙම නෑත්නම් ඒ දේ ගෑන දෑනගෙන මොකටද?

        • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 7:24 පෙ.ව.

          inesh,

          සැබැවින් ම තියෙනවා. නැත්නම් සමාජයක් ඉදිරියට ගෙන යන්නට දායක නොවී නිකම් ම නිකම් ඉපදිලා මැරිලා ගිය කොටසට අපි අයිති වෙනවා. අපේ අතින් වෙන්න ඕනෙ කොටස කියලා දෙන උත්සාහය තමයි මාත් කරන්නේ.

  11. tg said, on ඔක්තෝබර් 9, 2012 at 7:08 පෙ.ව.

    සි0හල බසින් ලියවෙන කියවන අන්තර්ජාල සටහන් හා පුවත්පත් වලින් මා දුටු දෙය නම් කාලීන සමාජ ආර්තික දේශපාලන ප්‍රශ්න ගැන කථාකිරීමේදී මේ ලියවිලි වල ඇති අසීමන්තික හැඟීම බර වීම් , ද්වේශ සහගත පහර දීම් , කරුණු කතානොකොට වෙනත් වල් පල් කියවීම ආදියයි .එවැනි අවස්තාවක යම් ආකාරයක කරුණු සහිත වෙනස් ප්‍රතිචාරයක් දැක්වුවොත් ඒ පුද්ගලයාගේ පුද්ගලිකතවයත් ඇදගෙන පහර දෙන්න තරම් මේ රචකයෝ සාහසික වෙත් . අන් මත හා එකඟ නොවුවත් සදාචාරාත්මක ලෙස් තම එකඟ නොවීම් කියාපෑමේ ශික්ෂණයක් අපේ දූපත් මානසිකතවය තුල නැතිවග පැහැදිලිය .

  12. iupasanta said, on ඔක්තෝබර් 9, 2012 at 12:18 ප.ව.

    චුයින්ගම් තාලෙ කාලීන ලිපි වලට වඩා එහා යමක් ලියන නිසා නිතර බැලුවත් වර්ඩ් ප්‍රෙස් නිසා සමහරවිට කමෙන්ට් කරන්නට නොසිතේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: