අරුණි ශපීරෝ‍ වෙතින්

මාරක අවිය නොහොත් උගෝ චාවේස්ගේ විජට්ටුව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 9, 2012

මම ලංකාවේ ඥාතිවරියක් ඇමතුවෙමි. කාගේ ද මන්දා අඬු බිඳපු කතාවක වාර්තාවක් බලමින් සිටි ඇය දුරකතනයට පිවිසියේ රසවත් ටෙලිනාට්‍ය ජවනිකාවක් අසමින් සිටිය දී මා බාධා කළා වැනි නුරුස්සුම් ගතියකිනි. කිසිදා විශ්ව විද්‍යාලයකට නොගිය ඇයට උසස් අධ්‍යාපනයට මුදල් අඩුවීම සිත කරදරයට පත් කරන්නකි. ඇය තමන් ධනවාදී යැයි කියන්නියකි. කොළ පාටට හැමදාම චන්දය දෙන්නියකි. හිසට වහළක් හා සුළු විශ්‍රාම පඩියක් ඇත.

“බලන්නකෝ අද මේ රටේ තත්වය,” ඇය පටන් ගත්තේ අඬු බිඳපු විස්තරය රූප පෙට්ටියේ දිග හැරි අයුරින්ම වචනයක් වචනයක් පසා ඒ විදියට ම ප්‍රතිචාරයෙන් පසුවයි, අනතුරුව එහි බරපතලකම මට දැනුනා මදි යැයි සිතා දෝ “බලන්න පස්වැනි ප්‍රින්සිපල්ටත් ගහලා ඉස්කෝලෙන් පන්නලා කියන්නෙ. ක්‍රිකට් අම්පයර්ලා අල්ලස් අරගෙනලු, කවුදෝ කෙල්ලෙක්ට තෙල් වලින් …”

“පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, එයා සමාජවාදී පක්ෂෙක නායිකාවක් නේද?”

“ඔව් ඔව් .. ඒත් ඉතින් …

“ඉස්සර ඔයාලගෙ පක්ෂෙ බලයේ ඉන්න කොට එයාලගෙ පක්ෂෙ අයව මැරුවා නේද?”

“ඒ ඉතින් අරගල කාලේනෙ .. දැන් ..

“ඇයි මිනිස්සු මේ පාරට බැහැලා පෙළපාලි යන කාලයක් නේද?”

“ඔව් බලන්න අර අඩු කොලිටියෙ මෙඩිකල් කොලීජියක් පටන් අරගෙන.”

“ලංකාවේ උපාධියි රුසියන් උපාධියි නරකයි කියනවා ද දැන්?”

“නෑ මේව්වා ප්‍රයිවෙට්, ඒකයි අඩු කොලිටි.”

“කවුද කියන්නෙ?”

“කාටවත් කියන්න ඉඩක් දෙන්නෙ නෑනේ, විද්වතුන්ටයි විද්‍යාර්ථීන්ටයි පාතාල ලෝකයෙන් ගහනවාලු.”

“එහෙම කියන අයම නේද ඒ කාලේ විද්වතුන්ට විද්‍යාර්ථීන්ට ගැහැව්වා විතරක් නෙමෙයි මැරුවෙත්.”

“අයියෝ ඔයා දන්නෙ නැහැ ලංකාවේ වෙන්නෙ මොනවා ද කියල,” ඇය සුසුමක් හෙළයි. “හැටනමයක් බෝට්ටුවක නැඟලා රටෙන් පනින්න ගිහින් අහුවුනාලු.”

“කාගෙන් ද අවසර ඕනෑ රටෙන් පිටවෙන්න?”

“ඔයා එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ.”

“අපි එහෙනම් වෙන දෙයක් ගැන කතා කරමු. ඔයාට මොනවා ද මේ දවස්වල තියෙන අඩුපාඩු?” මම ඇසුවෙමි.

“බලන්නකෝ මගේ බෙහෙත් දැන් කොච්චර ගණන් ගිහින් ද?” ඇය පටන් ගත්තා ය.

“බෙහෙත් වලට සල්ලි එවන්නම් කිව්වට හැමදාම ඔයා එපා කියනවානේ,” මම කිව්වෙමි.

“මං කාගෙන් වත් සල්ලි ගන්න කැමති නැහැ. මේවා අපේ රජය අපිට දිය යුතු දේවල්. මම ඉල්ලන්නෙ මගේ අයිතිය.”

“බෙදලා දෙන්න සල්ලි රජයට කොහොම ද ලැබෙන්නෙ?”

“අපිට දෙන්න තමයි නැත්තෙ, යාළුවන්ටයි නෑදෑයින්ටයි බෙදන්න ඔය ඕන තරම් තියෙන්නෙ.”

“එහෙම බෙදලා දෙන්න කොහොම ද රජයට සල්ලි ලැබෙන්නෙ?”

“කරන නාස්තියක්, හැම පැත්තෙන් ම ඇහෙන්නෙ නාස්තිය ගැන. ඒත් අධ්‍යාපනයට වියදම් කරන්නයි සල්ලි නෑ කියන්නෙ.”

“කවුද ආණ්ඩුවට සල්ලි දෙන්නෙ?”

“ඔයා දන්නෑ මෙහෙ වෙන දේවල්.”

“එහෙනම් මං කියන්නම් මේ පැත්තෙ වෙච්ච දෙයක්, උගෝ චාවේස් දිනුවානේ.”

“ඈහ් … අවුරුදු 14 ක් ගිහිනුත් ඒ කොමීනීස්කාරයා එළවා ගන්න බැරිවුනා ද ඇමෙරිකාවට?”

“උගෝට සපෝට් කරන ඇමෙරිකන් අය ඉන්නවා. මතක ද අර මෙල් ගිබ්සන් ෆිල්ම් එකේ හිටපු කළු පොලිස්කාරයා, ඩැනී ග්ලවර්? එයා ගියානේ උගෝ එක්ක චන්දෙ දාන්න.”

“මාධ්‍ය බය කරගෙන, සම්පත් අල්ලා ගෙන, චන්දෙට ඉස්සෙල්ලා අනිත් පැත්තෙ උදව්කාරයන්ට ගැහැව්ව තක්කඩියා.”

“දකුණු ඇමෙරිකාවේ ඉහළම මරණ අපරාධ තියෙනවා කියන්නෙ එහෙ.”

“සමාජවාදියා.”

“උද්ධමනය වැඩියෙන් ම තියෙන රටක්.”

“වමේ ප්‍රතිපත්ති වලින් රටක් හදන්න බෑ.”

“වෙනිසියුලාවේ අය හිතන්නෙ එයා තමයි දුප්පත් අයට හරියට බෙදලා දෙන්න දන්නෙ කියලා.”

“දුප්පත් අය රවට්ටලා රට වනසනවා මිනිහා, අර තෙල් කොම්පැණි වහපු වෙලාවේ රටට බිලියන 7 ක් විතර පාඩු උනා නේද?”

“ඒ වැහැව්වෙ විරුද්ධ පක්ෂය පෙළපාලි ගිය නිසානේ.”

“මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්නැති ඒ මිනිස්සුන්ට පෙළපාලි යන්න.”

“ඉතින් මම සල්ලි ටිකක් එවන්න ද බෙහෙත් ගන්න?”

“එපා බෙහෙත් ගණන් ගියාට මට පුළුවන් තාම මගේ වියදම් බලාගන්න. මම කිව්වේ මේ රටේ ඉන්න අනිත් දුප්පත් මිනිස්සු ගැන.”

“ඒත් ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නෙ නැතිව අපි අපිට උදව් කරගත්තොත් හරිනෙ.”

“මම කිව්වනෙ එක වතාවක්, මේවා අපිට ආණ්ඩුවෙන් දෙන්න ඕන දේවල්.”

“ඇයි?”

“අපිටත් මේ රටේ සම්පත් වල අයිතිය තියෙන නිසා.”

“කවුද ඒවා දියුණු කරන්නෙ?”

“මොකක් ද ඇහැව්වෙ?”

“මේ දවස්වල කට්ටියක් පාරට බැහැල, කට්ටියක් ගුටි කාලා, නායිකාවක් තෙල් නාලා, කට්ටියක් බෝට්ටුවල නැගලා පැනලා යනවා, ඉතින් කවුද සම්පත් දියුණු කරන්නෙ?”

“ඔයත් අහන දේවල්, මේ මගේ කාලේ නිකම් නාස්ති වෙනවා, මං යනවා අර කතාවේ ඉතුරු ටික හරි අහගන්න. රටේ ලෝකේ වෙන දේවල් අපි දැනගෙන ඉන්න ඕනා.”

***

පින්තූරය විකිපීඩියාවෙනි.

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. සුරේන් said, on ඔක්තෝබර් 9, 2012 at 9:11 පෙ.ව.

    ඈමරිකාවේ තිබුන කුප්‍රකට ජෝජ් බුශ් අල් ගෝර් චන්දය කොයි තරම් දූශිතද?
    අල් ගෝර්ට මනාපය පලකරන කොට අදාල චන්දය බුශ්ට වෑටෙන විදියට සකසා තිබූ ඉලෙක්ට්‍රොනික උපකරනයේ පූර්වාදර්ශය ලොකයේ අනික් රටවල අයත් ලබාගෙනද දන්නෑ.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 5:57 ප.ව.

      සුරේන්,

      කුප්‍රටක (notorious) වූ පමණින් යමක් සත්‍යයක් නොවන නිසා සත්‍යය කතාව මෙන්න.

      ඇමෙරිකන් පුරවැසියන් සියල්ලන් තමන් පදිංචි ප්‍රාන්තයෙන් රටේ ජනාධිපති තෝරාගන්න චන්දය ප්‍රකාශ කරන්නෙ. එය ජනප්‍රිය චන්දයයි.

      ජනගහණය නියෝජනය වෙන අන්දමට ප්‍රාන්තයකට electoral චන්ද ලැබෙනවා. 2000 දී වැඩි ජනගහණයක් නැති අයෝවා වගේ ප්‍රාන්තයකට ලැබුනේ electoral චන්ද 3 යි. ෆ්ලොරීඩාව වැනි ජනගහණයෙන් අධික ප්‍රාන්තයකට ලැබුනා electoral චන්ද 25 ක්. රටේ තියන 538 electoral චන්ද වලින් 270 ක් දිනන අය තමයි ජනාධිපති වෙන්නෙ.

      ඇමෙරිකන් මැතිවරණ වල electoral චන්ද දිනපු අය ජනප්‍රිය චන්ද බහුතරය දිනා නොගත් අවස්ථාවන් හතරක් මීට කළින් තිබිලා තියෙනවා.

      2000 දී ෆ්ලොරීඩාවේ electoral චන්ද 25 ගැනයි පලහිලව්ව. පුරවැසියන් 54.2% ක් චන්දය ප්‍රකාශ කරනවා. ජෝර්ජ් බුෂ්ට ජනප්‍රිය චන්ද 50,456,002 ක් ලැබිලා එනම් චන්ද දාපු අයගෙන් 47.9% ක් කැමැත්ත දිනාගන්නට ඔහු සමත් වෙනවා. ඇල් ගෝර්ට ජනප්‍රිය චන්ද 50,999,897 ක් එනම් චන්ද දාපු අයගෙන් 48.4% ක් කැමැත්ත දිනා ගන්නට ඔහු සමත් වෙනවා. නමුත් ජෝර්ජ් ඩබ්.

      බුෂ් දිනාගත්තා electoral votes සංඛ්‍යාව 271 ක්. ඇල් ගෝර්ට ලැබුනේ electoral votes 266 ක්.

      චන්ද ගණන් කිරීමේ දී වැරදුන බව කියමින් ෆ්ලොරීඩා සුපිරි උසාවියේ නඩුවක් ගොනු කරන ඇල් ගෝර්ට ඔවුන් ඉල්ලා සිටි පරිදි නඩුව තීරණය වුනා නම් බුෂ් තමයි ඒත් දිනන්නේ. මන්ද ඔහු හිතූ පැති වලින් ඔහු චන්ද දිනා සිටියේ නැහැ. ඔහු ඉල්ලා සිටියා නම් ප්‍රාන්තය පුරාම පැවැත්වෙන නැවත ගණන් කිරීමක්, සමහර විට ඔහුට චන්ද 100 කින් මුළු ප්‍රාන්තයෙන් ම එකතු කරගෙන දිනන්නට අවස්ථාවක් තියෙන්න ඇතැයි කියා හිතනවා. එහෙම කළා නම් ෆ්ලොරීඩාවේ electoral චන්ද 25 සමහර විට ලබන්න තිබුණා. නමුත් සමහර විට, කියන්නේ කවුරුත් ඒ වෙලාවේ එය ආයෙත් ගණනය කරන්න ඉල්ලුවේ නැහැ කියන එකයි. තමන්ගේ ජයග්‍රහණය ගැන ඇල් ගෝර්ට තද විශ්වාසයක් තිබුනා නම් ඇයි ඔහු ඒ ක්‍රමවේදයට බැස්සෙ නැත්තෙ? එය ෆ්ලොරීඩාවේ සුපිරි උසාවියෙන් ඉල්ලා සිටියේ නැත්තේ ඔහුයි.

      තමනට ලැබිය යුත්ත නොලැබුනේ වැරැද්දක් සිද්ධ වී ඇති නිසා නම් එය නිවරද කරගන්නා ක්‍රමවේදයක් ද තිබිය දී එය නොකරන අයෙක් ජනාධිපතිවරයෙක් වන්නට තරම් සුදුස්සෙක් ද?!!!!

      ****

      බොරු නැවත නැවත කිව්වාට එය සත්‍යයක් වෙන්නෙ නැහැ. සත්‍ය අසත්‍යය නම් පරිසිද්ධි මතින් සොයාගත හැකි වූ දේවල්.

      2007 ජූනි 5 වැනිදා බරක් ඔබාමා Hampton University හි දී කළු අයට ඔවුන් කතා කරන විලාශයෙන් කතාවක් පවත්වනවා. ෆ්ලොරීඩාවේ ඇන්ඩෲ චණ්ඩ මාරුතයෙන් පසුව, නිව් යෝර්ක් හි 9/11 පසුව දැක්වූ ආණ්ඩු ප්‍රතිචාරය නිව් ඔර්ලියනස් හි කතිරීනා චන්ඩ මාරුතයෙන් පස්සෙ දැක් වූයේ නැහැයි අවලාදය. ඔහු කළු අයට මදිපුංචිකම් කරන විලාසය පෙන්වන්න යොදා ගන්නේ Stafford Act යන්නයි. එයට අනුව: ව්‍යවසන වලින් පසුව ෆෙඩරල් ආණ්ඩුවේ ආධාර බෙදන ප්‍රමාණයෙන් 10% ක් ඒ ප්‍රාන්තය විසින් දැරිය යුතුයි. මේක නිව් යෝර්ක් වල දී ෆ්ලොරීඩා වල දී ඒ ප්‍රාන්ත වලින් ඉල්ලා සිටියේ නැහැ කියලා ඔබාමා ඒ කතාවේ දී කියනවා. ඒත් නිව් ඔර්ලියන්ස් ඉන්නෙ කළු අයනෙ ඒ අය ගැන එයාල එච්චර තැකීමක් නැහැයි කියල කියනවා.

      ඒත් සත්‍යය සිද්ධිය මේකයි. ඊට සති දෙකකටත් අඩුවෙන්, 2007 මැයි 24 වැනිදා, සෙනෙට් සභාව විසින් නිව් යෝර්ක් වලට මෙන්ම ෆ්ලොරීඩා වලට මෙන්ම නිව් ඔර්ලියන්ස් සඳහා ද අර ෆෙඩරල් ආධාර ප්‍රමාණයෙන් 10% ක් ප්‍රාන්තය ගෙවිය යුතු කියන රෙගුලාසිය අහෝසි කරන්න චන්ද ප්‍රකාශ කළා. 80-14 චන්ද වලින් අනුමැතිය ලැබුනේ. නිව් ඔර්ලියන්ස් සඳහා ලැබිච්ච ආධාර ෆ්ලොරීඩාවට සහ නිව් යෝර්ක් යන දෙකට ම දෙන ලද ආධාර වලට වඩා වැඩියි. 2007 මැයි 24 වැනිදා කොංග්‍රසයේ සෙනෙට් වාර්තා බලන කෙනෙකුට තවත් දෙයක් දැනගන්නට පුළුවන්. එනම් එදා චන්ද ප්‍රකාශ කරන්නට බරක් ඔබාමා ද සිටි බව. ඔහු ඒ 10% ප්‍රාන්තය විසින් දැරිය යුතු නොවේ යන්නට එරෙහිව ප්‍රකාශ කළ 14 දෙනාගෙන් අයෙක් බව!!!!!!!

      ***
      අතේ පැලෙන බොරු කියනා බලයේ සිටිනා ජනාධිපතිවරුන් ගැනම හෙළි කරන්නට ඉඩක් ඇති ඇමෙරිකාවේ ඇති නිදහස් ප්‍රකාශන අයිතිය සදා රැකේවා!!!!

  2. චින්තක ටිකිරිබන්ඩාර said, on ඔක්තෝබර් 9, 2012 at 10:12 පෙ.ව.

    මොනවද මේ ශපීරෝ මහත්මිය කියන්න හදන්නේ.. //ඔබ සිතන්නේ ලෝකය ඔබට උවමනා ආකාරයට පැවතිය යුතුයි කියලද ??බුද්ධිමත් ඔබ එසේ කල්පනාකරනවා නම් තවත් බිලියන හතකට මදක් වැඩි ලෝකයේ මිනිසුන් ද තම තමන්ගේ අන්තර්වර්තී ලෝකය ඉල්ලා සිටීම හා බලාපොරොත්තු වීම වැරදි වෙන්නේ කොහොමද ?

  3. iupasanta said, on ඔක්තෝබර් 9, 2012 at 12:14 ප.ව.

    “මෙල් ගිබ්සන් ෆිල්ම් එකේ හිටපු කළු පොලිස්කාරයා”

    මට මේ මෙල් ගිබ්සන් ෆිල්ම් එක හිතාගන්න බැරුව අයි බලද්දි තමයි පින්තූරෙ දැක්කෙ 😀

    ඔයගෙ ආන්ටි නමට ඌ ඇම් පී උනාට වැඩ ඒ වී පී වගේ!

  4. දූපත් වැසියා said, on ඔක්තෝබර් 9, 2012 at 12:54 ප.ව.

    “එහෙම කියන අයම නේද ඒ කාලේ විද්වතුන්ට විද්‍යාර්ථීන්ට ගැහැව්වා විතරක් නෙමෙයි මැරුවෙත්.”// ඔවැනි තර්ක ප්‍රායෝගික නෑ. ඒ විදියට බැලුවොත් “කරුණා”, එස්.බී, මැඩම්, සෝමවංශ, තියා ඒබ්‍රහම් ලින්කන්වත් තියන්න වෙන්නේ මහාආචාරිය නලින් ද සිල්වා ලග. මිනිස්සුන්ගේ අදහස් උදහස් සිතුවිලි කාලයත් සමග වෙනස් වෙනව. අතීතයේ අරම කළා මෙහෙම කළා යන්නෙන් වර්ථමානය හෝ අනාගතය එලෙසම වේවි යයි සැමවිටම කිව නොහැකියි.

    • arunishapiro said, on ඔක්තෝබර් 9, 2012 at 6:07 ප.ව.

      දූපත් වැසියා,

      ඒබ්‍රහම් ලින්කන් ඒ කාලයේ පැවති සිතුවිලි අනුව නෙමෙයි කටයුතු කළේ. ඔහු අනාගතයට සරිලන්න ප්‍රායෝගිකව යමක් වෙනස් කරලා ප්‍රතිඵල ලබාගත් කෙනෙක්.

      //අතීතයේ අරම කළා මෙහෙම කළා යන්නෙන් වර්ථමානය හෝ අනාගතය එලෙසම වේවි යයි සැමවිටම කිව නොහැකියි.// ඇයි බැරි? අසාර්ථක පිළිවෙත් ඒ විදියටම ආයෙත් ආයෙත් කරන කොට ලැබෙන්නේ ඒ විදියේ ම අසාර්ථක ප්‍රතිඵලම නේ!!!!

      සුද්දො එක්ක එකතු වෙලා බිස්නස් කරපු ඉංග්‍රීසි දන්න සිංහලයන් හා දමිලයන් තම තමන්ගෙ දරුවන් එංගලන්තෙ ඉස්කෝල වලට යවලා උපාධි අරන් ඇවිත් ලංකාවේ ඉහළ තනතුරු දරනවා යැයි කියලා ගෙනාවේ මොන පිළිවෙත් ද? අද පිටරට සුද්දො එක්ක එකතු වෙලා බිස්නස් කරන්නෙයි, එංගලන්තෙ තමන්ගෙ දරුවන්ව ඉස්කෝල වලට යවන්නයි සමත් කවුද?!!!!

      • දූපත් වැසියා said, on ඔක්තෝබර් 10, 2012 at 1:48 ප.ව.

        සැමවිටම කිව නොහැකියි කියල කිවේ (අසාර්ථක පිළිවෙත් නොවේ). උදා:- කරුණා ඉස්සර කොටියෙක් උනා කියල දැන් මිනී මරන්නෑ. ජේ .වී.පී ඉස්සර කල වැඩ දැන් කරන්නේ නෑ.

        සුද්දො එක්ක එකතු වෙලා බිස්නස් කරපු ඉංග්‍රීසි දන්න සිංහලයන් හා දමිලයන් තම තමන්ගෙ දරුවන් එංගලන්තෙ ඉස්කෝල වලට යවලා උපාධි අරන් ඇවිත් ලංකාවේ ඉහළ තනතුරු දරනවා යැයි කියලා ගෙනාවේ මොන පිළිවෙත් ද? අද පිටරට සුද්දො එක්ක එකතු වෙලා බිස්නස් කරන්නෙයි, එංගලන්තෙ තමන්ගෙ දරුවන්ව ඉස්කෝල වලට යවන්නයි සමත් කවුද?//:- අද ලංකාවේ ඉහළ තනතුරු වලට ලංකාවේ ගම් වල උපන්, උගත් පුද්ගලයන් පත්වෙලා තියනව. බිස්නස්/දේශපාලු දරුවනුත් නෑ කියනවා නොවේ. නමුත් දුප්පත් / මැද පන්තියේ දෙමාපියන්ගේ දරුවන්ටත් පැහැදිලි අවස්ථා ලැබී තියනව. උදා:- ජනාධිපති ලේකම්, වී.වී උපකුලපතිතුමන්ලා රටේ ප්‍රසිද්ද දොස්තරලා, දහසකුත් තවත් අය.
        ඉස්සර විදියට තිබ්බ නම් ඔබ කියූ “සුද්දො එක්ක එකතු වෙලා බිස්නස් කරපු ඉංග්‍රීසි දන්න සිංහලයන් හා දමිලයන්ගෙ දරුවෝ විතරයි”. අඩුම ගමේ කොල්ලෙකුට කෙල්ලෙකුට රට ගිහින්, එහේට වෙලා ජොලියේ ඉදගෙන මෙහේ වැරදි කියන්නටවත් වෙන්නේ නෑ නොවැ.

        • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 11:22 ප.ව.

          දූපත් වැසියා,

          ජේවීපී 71 න් පස්සෙ 87 දී නිකම් ද හිටියේ?!!! ඉස්සර වැඩ දැන් කරන්නෙ නැහැ කියන්නෙ තව කොයි කාලයක් වෙනකම් ද?!!! ඔවුන් අරගල කරපු හේතු විසඳිලා ද?!!!

          තුම්පනේ උපන් ටිකිරි බංඩා ඉලංගරත්න ද ක්ලාක් කමෙන් පස්සෙ දේශපාලනයට බැහැලා වැඩ බලන අගමැතිවරයෙක් ද වුනා. ලංකාවේ ඉහළ තනතුරු වල ගම්වල උපන් අය නැහැයි කිව්වෙ නැහැ. දේශපාලනය සහ සමාජ තත්වය නැතිව රටේ පැහැදිලි අවස්ථා ලැබිලා තියෙනවා කියන්නෙ කොයි තරම් කට්ටියකට ද? කොයි විමර්ශනයෙන් ද?

          ඉස්සර තිබ්බ විදියට තියෙන්න ඕනෑ කියලා ද නෙමෙයි කිව්වේ, ඒ විදියේ වැඩි වෙනසක් වෙලා නැහැ කියන එකයි කිව්වෙ. පාලනය වෙන්නෙ පාලකයන්ට ඕනෑ විදියට කියලයි තවම හිතන්නෙ. පාලකයන් පාලනය කරන්න ඕනේ පුරවැසියන්ට ඕනෑ විදියට කියලා දකින්නෙ නැති නිසා.

  5. රාජ් said, on ඔක්තෝබර් 9, 2012 at 10:55 ප.ව.

    හිනාවුනා. 🙂

  6. තිස්ස දොඩන්ගොඩ said, on ඔක්තෝබර් 9, 2012 at 11:40 ප.ව.

    “එහෙම බෙදලා දෙන්න කොහොම ද රජයට සල්ලි ලැබෙන්නෙ?”

    මම දැන් සෑහෙන කලක ඉඳල බොහොම කුඩාවට හිතන්න පටන් අරන් තියෙන්නේ…
    එතනදී ඔබතුමිය ඔය ඇසූ ප්‍රස්නයම මට බොහොම උදව් වුණා…
    මම දැන් මගේ පංගුව ඒ වෙණුවෙන් කරනව..
    ගෙඩි කඩන්න කලින් ගහ රැකබලාගන්න එපායෑ..

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 7:17 පෙ.ව.

      තිස්ස දොඩන්ගොඩ,

      සැබැවින් ම, ගහ රැක බලා ගැනීම තමයි වැදගත්. “පොදු ජනතාව” වෙත සලසන යහපත ගැන සාකච්ඡාවේ දී “පුද්ගලයාව” අමතක කරලා කතා කරන්න බැහැ.

  7. Ra said, on ඔක්තෝබර් 10, 2012 at 12:21 පෙ.ව.

    ඇත්තටම ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ කොහොමද? රජයේ සේවකයන් කම්හල්වල, ගොවිබිම්වල, වෙනත් නිශ්පාදනාගාරවල සේවය කිරීමෙන්, අරාබිකාරයන්ගේ ගෙවල්වල දාසකම් කිරීමෙන් රටට ලබාදෙන ආදායමක් ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 7:21 පෙ.ව.

      Ra,

      ඔව්, එසේ ශ්‍රමයෙන් ආණ්ඩුවට සල්ලි ගෙවන්නට ආයෝජනය කරන තම පුද්ගලික ප්‍රාග් ධනයෙන් ලාභයක් ලැබේද බංකොළොත් වෙලා යැයි ද කියන අවදානම ගන්නෙත් රජය නෙමෙයි, ඒ ඒ මිනිස්සුන්මයි.

      හැමෝටම සාධාරණ විදියට බෙදා දෙන්න කියලා, ඒක කරන බලය ඒක නොදන්න අයට බාර දීලා, අපි ලොකු කැඳහැලියකට සල්ලි දාන ගමන් අහන්නෙ අපේ කොටස ලොකු නැත්තෙ ඇයි කියලයි!!!!!

  8. Gold fish said, on ඔක්තෝබර් 10, 2012 at 4:23 පෙ.ව.

    අනේ මන්දා මට නම් හැසිරීම් රටාව එපා වෙලා තියෙන්නේ ​ලොක්කන්ගෙයි, හිතන්නේ බලන්නෙ නැතුව වැඩ කරන අයගෙයි…

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 7:26 පෙ.ව.

      Gold fish,

      අනුන්ව හදන්න බැරි නිසා අපියි හැදෙන්නෙ ඕනෑ. අපි හොයාගන්න ඕනෑ අපි අකමැති රටාව වෙනස් කරන්න ක්‍රමවේදයක්. ඒක අමාරුයි නම් අපි කැමති රටාවක් තියෙන රටකට යන එක ලේසියි!!!!

      • wicharaka විචාරක said, on ඔක්තෝබර් 10, 2012 at 12:11 ප.ව.

        බෑ බෑ රට දාලා යන්න බෑ. මුන්ව අඹරලා චප්ප කරලා හදන්න පුළුවන්. මුන් රටේ ජනතාවට ගිල්ලවන වස මොනවද කියලා තේරුම කරදිය යුතුයි. දැන් ටික ටික තේරෙනවා. ඒ තේරුම ගැනීමේ ප්‍රමාණය වර්ධනය කළහැකි අර්ථවත් සාමුහික පෙරමුණක් බිහිවනු ඇතැයි යන බලාපොරොත්තුවත් තවම බිදී ගොස් නැහැ. ඉබේ වෙනතුරු නොසිට දිනපතා, සැමවිටම, හැමතැනම, යමක කලයුතුයි. කිරීමට අනෙක් අයව පොලම්බවාගත යුතුයි.

        • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 11:09 ප.ව.

          විචාරක,

          🙂

          තාමත් අනුන්ව හදන්නමයි හිතන්නේ.

          ඉබේ වෙනතුරු නොසිට දිනපතා, සැමවිටම, හැමතැනම කළ යුතු දැය තමන් විසින් කළ යුත්තක් …. අනුන් පොළඹවා ගෙන කරපු සියළු විප්ලව අවසානයේ ඵලදායක වුනේ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: