අරුණි ශපීරෝ‍ වෙතින්

දන්නෙ නැත්නම් ගිහින් අහන්න අම්මා ගෙන්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 11, 2012

වෛද්‍යවරයෙක් තුල ලෙඩ රෝග සුව කරන දැනුමක් ඇත. නමුත් නාරිවේද විශේෂඥයා වෙතට හෘදයාබාධයකින් පෙළෙනා රෝගීයා ගෙන නොයමු. පාලම් ඉංජිනේරුවා වෙතට තිරිඟු කරල් ගෙන ගොස් තෙල් හදන්නේ කෙසේදැයි අසන්නේ නැත, එය අහන්නේ රසායන ඉංජිනේරුවා ගෙන් නැත්නම් ඇල්කෙමියාගෙන්!!! පුටුවක් හදන හැටි වඩුවා ගෙන් ද, බීජ රෝපණය කර කන්නට සහල් ලැබෙන්නේ කෙසේදැයි ගොවියාගෙන් ද අසමු.

සමාජයේ අනේක පුද්ගලයන් ඒ ඒ අයට උවමනා කරන කටයුතු සඳහා විශේෂ දැනුම ඇති අය සොයා ගොස් දැනුම ලබති. එසේම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුමක් ද ඇත. තම ජීවිතය සතුටින් පවත්වා ගෙන යෑමට වැඩියෙන් ම දැනුම එකතු කරගත හැකියාව ඇත්තේ තමාට පමණි. අන්‍යයන් වෙතින් විශේෂ දැනුම ලබාගත හැකි වුවත්, ඒවායෙන් තමන්ගේ සුවිශේෂී වූ එනම් වෙන කිසිවෙකු හා සමාන නොවන ජීවිතයේ යහපත පිණිස යොදවන්නේ කෙසේදැයි දන්නේ තමන් පමණි. එය වෙන කිසිවෙකුට කියා දිය නොහැක. වෙන කිසිවෙකු තවකෙකුගේ ජීවිතයේ සුවිශේෂීත්වය නොදනී.

ඉතින්, විශේෂ දැනුම සහ ජීවිතයට අවශ්‍ය සාමාන්‍ය දැනුම යන දෙකම දැනුම නම් සංකල්පයට අයිතියි.

යම් ක්ෂේත්‍රයක වඩාත්ම දැනුමක් ඇති තැනැත්තා වුවත් ලෝකයේ පවතින දැනුමෙන් සියයෙන් එකක් පමණක් වත් දන්නවා යැයි අපි පිළිගන්නේ නැහැ. රසායන විද්‍යාවට 2012 නොබෙල් තෑග්ග දිනූ Robert J. Leflowitz සම්පූර්ණ රසායන විද්‍යාවෙන් සියයෙන් එකක් දැන සිටිය යුතු යැයි කිසිවෙක් ඉල්ලන්නේ නැහැ. එසේම එවැන්නෙක් අප ජීවත්වන සමාජයේ ඇති සාමාන්‍ය දැනුමෙන් සියයෙන් එකක් දන්නවා යැයි ද අපි පිළිගන්නේ නැහැ. බහුශ්‍රැතියෙක් (polymath) අනිත් අයට වඩා ගොඩක් විෂයයන් ගැන ගොඩක් කාරණා දැන සිටියාට, ලෝකයේ ඇති දැනුමෙන් එවැන්නා තුල සමහර අයට වඩා වැඩියෙන් දැනුම තිබ්බාට, යම් සමාජයකට වඩා දැනුමක් තියෙනවා යැයි කියන්නට බැහැ.

සමාජයක කොටසක් ගත්තම ඒ අය තුල පැතිර ඇති දැනුම විවිධයි, මහා විශාලයි. ලංකාවේ බීරළු හා තැටින් ගොතන්න දැනුමක් ලැබූ මට ටෙනසි ප්‍රාන්තයේ එය විනෝදාංශයක් ලෙසින් කරන කට්ටියක ගෙන් සල්ලි අය කරලා ලංකාවේ රටාවන් කියා දෙන්න අවස්ථාවක් ලැබුණා. ඔවුන් ළඟ තිබි මෙහෙ හදපු තැටින් කටු සහ බීරළු කොට්ට දැක්කම මම මවිත වුනා. නූල් වලින් මවන ලංකාවේ රටාවන් දැක්කම ඔවුන් මවිත වුනා. ටෙනසි ප්‍රාන්තයේ, නොක්ස්විල් නගරයේ එදා වාසය කළ සියල්ලන් සතු දැනුම ගැන සියයෙන් එකක් වත් දැනුමක් ඇතැයි මම හෝ ඔවුන් සිතුවා නම් අපි දෙගොල්ලම වැරදියි. එක් අයෙකුට තමන් ජීවත්වෙන සමාජයේ පැතිර ඇති දැනුම කොතරම් දැයි දැනගැනීමට හැකියාවක් නැහැ.

ඉහළ අධ්‍යාපනයක් ලැබූ නිසා, අනිත් අයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබූ නිසා, දැනුම හඹා යන නිසා, සමාජයේ සෙසු අයට වඩා වැඩියෙන් තමන් දන්නවා යැයි සිතීම තමයි දැනුම කුමක් දැයි නිසි අවබෝධයක් නැතිකම. තමන්ට තමන් ඉන්නා සමාජයේ ප්‍රතිශීර්ෂව (per capita) ඇති දැනුමට වඩා වැඩියෙන් දැනුමක් ඇතැයි සමහරු හිතනවා. දැනුම එකතු කරන්නට වෑයමක් දැරුවාම තමයි නොදන්න තරම කොච්චරක් දැයි පෙනෙන්නේ. සොක්‍රටීස් එහෙම පෙන්නුවාම තරුණ පිරිමි අඬලා තියෙනවා. ඒ නිසා අන්තිමේ දී සොක්‍රටීස්ටයි වහ කන්න වුනේ!!!!

මහා ජනකායක් තුල විසිරිලා ගිහින් තියෙන එදිනෙදා ජීවිතය පවත්වා ගන්නට ඔවුන් තුල වූ දැනුම, යම් යම් දෑ සඳහා ඔවුන් තුල පවතිනා වූ විශේෂඥ දැනුම නිසා තමයි ඉහළ තනතුරක ඉන්න කෙනෙක්ට හැමෝටම හරියන්න සැලසුම් ගෙනෙන්නට බැරි. තමන් ඉන්න සමාජයේ සියයෙන් එකක් වත් දැනුමක් අයෙකුට ලබාගන්න ලෝක ස්වභාවය හා මිනිස් ස්වභාවය අනුව බැරි නම්, හැමෝටම හරියන සැලසුම් ගහන්නට කවුද සමතා?

වාමාංශික එනම් අනුන් ගෙන් අරන් තව අයට බෙදා දෙන්නට තමන් දන්නවා යැයි සිතූ අය පාලනය කරපු රටවල් ආර්ථිකයෙන් කඩා වැටුනේ මේ සරල සත්‍යය නිසයි. පාලකයෙක් විසින් හෝ යම් පාලක කොටසක් විසින් බාධා වැටකඩොළු දමා නැති, ස්වභාවයෙන් ම ජෛවයෙන් පිරි සමාජයක ඇති උවමනාවන් සහ කැමැත්ත මොනවාට ද, එය පිරිමසන්නේ කෙසේ දැයි, කියන්නට ජගතෙක් නැත යන්න කිහිප වතාවක් ඉතිහාසය විසින් ඔප්පු කරන ලද සරල සත්‍යයක්. උවමනාවන් හා කැමැත්ත මොනවාට විය යුතුද හා ඒවා පිරිමැසීම කෙසේ විය යුතු ද යන්න අයෙක් හෝ කොටසක් විසින් තීරණය කරපු ඵෛතිහාසික සෑම උත්සාහයක් ම පරිහානියට පත් වූ ආර්ථිකයෙන් අවසන් වූයේ. උවමනාවන් හා කැමැත්ත මොනවාට ද හා ඒවා පිරිමැසීම කෙසේ ද යන්න වැඩියෙන් තීරණය කරන්න හැකියාව වැඩියෙන් සමාජයේ සාමාජිකයන්ට ලැබි සෑම ඵෛතිහාසික උත්සාහයක දී ම ආර්ථිකය ඉහළට නැඟී ගිහින් ඒ ජන කොට්ඨාශය හැම අතින් ම සරු වූවා.

මේ සත්‍යය මුලින් ම පෙන්වා දුන්නේ Wealth of Nations ලියූ ඇඩම් ස්මිත්. ඒත් කාල් මාක්ස් ලියූ දේවල් නොකියවා කාල් මාක්ස් මෙහෙම කිව්වා අරහෙම කිව්වා යැයි තව කෙනෙකුගේ මතියක් ගිරව් වගේ කියන අය, කාල් මාක්ස්ට විරුද්ධ පැත්තෙත් ඉන්නවා. ඇඩම් ස්මිත් ලියපු Wealth of Nations තමන් විසින් කියවා ඇති අය ලොව ඉන්නේ අල්පයක්. මා ළඟ තියෙන ඒ පොත පිටු 1200 කට වඩා වැඩි වූවක්. දිග වාක්‍යයක් කියවන්න අකමැති, දිග බ්ලොග් සටහනක් කියවන්න අකමැති අය ඒවා කියවන්නෙ නැහැ. එයාලා කරන්නෙ තමන් කැමති කෙනෙක් ඒක කියවලා ලියපු කියපු දෙයක් උපුටන එකයි. ඉතින් තමන් කියවා යමක් වටහා ගන්න හුරුවක් නැති නිසා අර අනික් අය කියන මතිය තමයි පිළිගන්න හිත හැදිලා තියෙන්නේ. අපිට ලෝකේ සේරම දේවල් කියවන්න වේලාවක් නැති බවත් ඇත්ත. ඒත් අපි අයෙක් කියූවක් පිළිගන්න කළින් එයා මෙයා කියපු අනිත් දේවල් කොතරම් සත්‍යය දැයි කියා හෝ සොයා බැලිය යුතුයි.

මිනිසාගේ කෙටි ඉතිහාසයේ සාමාන්‍ය රටවැසියන් විසින් එදා පූජකයන්ට, රජවරුන්ට හා රදළයන්ට පමණක් තිබූ අයිතියක්, එනම් දැනුම එකතු කරගන්නට අයිතියක්, දිනාගත්තට එයින් ඵලක් අරගෙන තියෙනවා ද?

සත්‍ය බලය නම් තම උවමනාව හා තම කැමැත්ත තීරණය කරන්නට තමන්ට ඇති බලයයි. සත්‍ය බලය එය නිසා එය පාලකයන්ට දෙන්නා තම බලය කැමැත්තෙන් ම වෙන කෙනෙකුට පිරිනමන්නෙකි.

***උඩ පින්තූරේ ඇඳුම හෝදන හැටි කියන ටැග් එකේ තියෙන්නෙ “ගිහින් දෙන්න අම්මාට ඇය දන්නවා කරන විදිය” කියල. ඒ දැනුමට ඒ ශ්‍රමයට මිලක් දාන්න පුළුවන් කියලා හිතන්නේ ධනයට ගරහන ඒත් ධනය බදාගන්නේ නැතිව කිසිවක් ගැන කතා කරන්න බැරි වාමාංශිකයන් විතරයි!!!!

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ඔක්තෝබර් 11, 2012 at 11:49 පෙ.ව.

    තාමත් තරහෙන් වගේ ඉන්නේ… බී කූල් නෝනේ….

    • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 11:59 පෙ.ව.

      maathalan,

      ගුරුවරයෙක් තමන් උගන්වන පංතියක දරුවෙක් නොදන්නකම නිසා ප්‍රශ්නයක් ඇහුවම, නැත්නම් වැරදියට අල්ලා ගෙන ඉන්න දෙයක් කිව්වම, එය එහෙම නෙමෙයි මෙහෙමයි කියා කොහොමින් හරි එයාට වැටහෙන විදියට කියා දෙන්න උත්සාහයක් ගැනීම නෙවෙයි ද කළ යුත්තේ? ඇයි එය තරහෙන් ඉන්නවා වගේ දකින්නේ?

      • Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 13, 2012 at 8:58 ප.ව.

        විශ්වවිද්‍යාල ගුරාල ගේ දැනුම ගැන නිර්මාල් රංජිත් දේවසිරි 1999 ලියපු ලිපියක් නලින් ද සිල්වා ඔහුටම විරුද්ධව යොදාගන්නවා 2012 දී. 1999 දී කොන්දොස්තර හා දොස්තර අතර වෙනසක් නැතැයි තාර්කිකව ඔප්පු කරපු නිර්මාල් 2012 දී එයාල සුවිශේෂී පිරිසක් කියල කියනවා. වමාගේ 1999 ලිපිය මෙතන http://centrelk.blogspot.co.uk/2012/10/blog-post_12.html

        • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 9:47 ප.ව.

          Kevin,

          ලංකාවේ පැරණි කියමනක් තියෙනවා නේද හැංගි හැංගි වෙස්මූණු බැන්දත් නටන්න වෙන්නෙ එළියේ කියලා!!!!

          සමාජයේ බොහෝ දෙනෙක් අනිත් අයට කියන්නේ, උගන්වන්නේ සහ තමන් කරන්නේ පරස්පර වූ දේවල්. පුංචි කාලේ ළමයි වැඩිහිටියන් එහෙම කරනවා දැකලා පුදුම වෙනවා. ඒත් එයාලත් වැඩිහිටියෝ වෙද්දී ඒකම කරන්න පෙළඹෙනවා කිසිවෙක් කියා දුන්නෙ නැත්නම් කරන දේ කියන්න, කියන දේ කරන්න කියලා. සාමාන්‍ය මිනිස්සු එහෙම අනුන්ට එකක් කියලා තමන් වෙනකක් කිරීම නිසා අනිත් අය වැඩිය රැවටෙන්නේ නැහැ. ඒත් පොදු ජනතාවගේ සුව සෙත සලසන්න ක්‍රමවේදයන් ගේන්න දන්නවා යැයි කියන විද්වතුන් වටා රොක්වෙද්දී, ඔවුන් කියන, ඔවුන් කරන, ඔවුන් උගන්වන දේවල් වලට ඔවුන්ව වගකිව යුත්තෝ කරවන්න පොදු ජනතාව වන අපි තමයි බලකරන්න ඕනෑ. මොකද මේ විද්වතුන් යැයි කියාගත්තවුන් තමයි වඩාත්ම පුදුම මිනිස් සත්තු. Intellectual යන්න විද්වතා කියල මම කියන්නෙ විද්වත් හැමෝම බුද්ධිමත් නොවන බව පෙන්වන්නටමයි. බුද්ධිමත් නොවන විද්වත් අදහස් නිසා කොතරම් අහිංසක මිනිස් ජීවිත විනාශයට පත් වුවා ද? විද්වත් අදහස් කියපු සාත්‍රේ ගැනයි සාංදෘශ්ටිකවාදය (existentialism) ගැන තමයි මගේ ප්‍රථම දර්ශන උපාධියේ නිබන්ධනය … කොහෙන් හරි ඉඩක් හොයා ගන්න ඕනා ජෝන් පෝල් කියපු දේවල්, උගන්වපු දේවල් සහ කරපු දේවල් ගැන ලියන්න. කියුබාවට යන ඔහු චේ හමුවෙලා කතාබස් කරනවා. චේ මිය ගියාම චේ තරම් සම්පූර්ණ මිනිසෙක් අපේ යුගයේ නැතැයි කියනවා. කියුබාවේ විප්ලවයෙන් පසු විප්ලවයට එරෙහි වූවන් හා දේශපාලන සිරකරුවන් යැයි හංවඩු ගැසූවන් සිය ගණනක් මරා දැමූ චේ ට දාලා තිබිච්ච නමක් තමයි butcher of La Cabaña නොහොත් “ලා කබානා හි ඝාතකයා”!!! අද විද්වතුන්ට වඩා වෙනසක් නැහැ, තර්කය පාවිච්චි කරන්නේ තමන්ගෙ ඕනෑකම පිරිමසා ගන්න පමණයි 😀

          අන්න සාබීත් දාලා තිබ්බා පෝස්ට් එකක් මිස්ටර් ප්‍රසිඩන්ට්ගේ පරණ විඩියෝවකුත් එක්ක. මම කමෙන්ට් එකක් දාන්න කිහිප වතාවක් උත්සාහ කරත් මේ බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් අප්සෙට් හින්දා ඉඩක් ලැබුනෙ නැහැ. මට ඕනෑ වුනේ වැරැද්ද ඇත්තෙ සමහර විට ලංකාවේ අය මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා නොකියන නිසා වෙන්නැති කියන්න. ලංකාවේ කියන්නෙ අතිගරු ජනාධිපති උතුමාණෙනි කියලනේ!!!!

  2. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 11, 2012 at 1:24 ප.ව.

    oba hari Aruni Thanks

  3. Alchemiya said, on ඔක්තෝබර් 11, 2012 at 3:42 ප.ව.

    ඕක තමයි අපි හතේ පන්තියෙ සමාජ අධ්‍යයනයෙ ඉගන ගන්න ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගුණ්‍යය කියලා කියන්නෙ. යමෙක් කිසියම් දේකට දක්‍ෂයි, හැකියාවක් තියෙනවා.. අපි ඒ නිසා ඒ පුද්ගලයාට ඒ දේ කරන්න ඉඩ දෙනවා. නමුත් ඒ පුද්ගලයා වෙනත් දෙයක් නොදැන ඉන්න පුළුවනි. ඒ නිසා ඒ පුද්ගලයාට බැරි දේ කරගන්න එයා අනෙකාට එය දෙනවා.
    උදාහරණයක් විදියට එක්තරා ආයතනයක සබන් හදන කර්මාන්තශාලාවෙ ඔය වගේ දෙයක් වුනා ලු… ඒ එකම පිරිසක් අමුද්‍රව්‍ය කවලම් කරන්නත් තවත් පිරිසක් සබන් පැක් කරන්නත් පුරුදු පුහුණු වෙලා තිබුණලු. (විශේෂ ප්‍රාගුණ්‍යය).. නමුත් සමහර දවස් වල එක කොටසක කිහිප දෙනෙකු වැඩට නොපැමිණියාම කාර්යක්‍ෂමතාවය අඩු වන බව පෙණුනලු…
    මේ නිසා සියළුම දෙනා සියළුම දේට දක්‍ෂ වන විදියට මාරු කරවමින් වැඩ කෙරෙවුවා ලු.. කිහිප දෙනෙක් අඩු වුනොත් වැඩිපුර ඉන්න අයගෙන් ඒ අඩුව පිරිමහ ගැනීම නිසා කාර්යක්‍ෂම තාවය අඩු වුනේ නැතිලු…
    ඒ වගේ සමාජයත් හැදිලා තියෙන්නෙ විවිධ බුද්ධි මට්ටම් වල උදවිය ගෙන් (බහු බුද්ධි න්‍යාය කියන්නෙ ඒකට) මේ කිසි කෙනෙක් නැතිව තනිවම අපට ජීවත් වෙන්න බැහැ..
    ඒක නිසා තමයි මම හැම මිනිහම ආශ්‍රය කරන්නෙ… කසළ ශෝධකයගෙ ඉඳලා කොම්පැනි අයිතිකාරයා දක්වා සියළුම දෙනාගෙන් අපට කිසියම්ම දෙයක් ඉගෙන ගන්න පුළුවනි.

    • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 8:47 ප.ව.

      Alchemiya,

      ඔව් ඇල්කෙමියා මල්ලි, කාර්මීකරණයේ දී ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගුණ්‍යය විශාල වශයෙන් මිනිස්සු භාවිතයට ගත් නිසා තමයි ඒ කාලයේ ආර්ථික දියුණුවක් වේගයෙන් සිද්ධ වූයේ.

      උත්සාහය විය යුත්තේ සබන් හදන්නා හැමදාම අමුද්‍රව්‍ය කලවම් කරන්නෙක් වෙන්නේ කැමැත්තෙන් ද නැද්ද යන්න විභාගයට ගැනීම. අපි හිතන්නෙ ඒ මිනිසා එහි නියැළෙන්නේ එය ඔහුගේ හැකියාව නිසා පමණින් ද? එය ඔහුගේ කැමැත්ත නිසා පමණින් ද? පාලන ක්‍රමය විසින් ඔහුට ඒ රැකියාව තිරණය කළ නිසා ද? යමෙක් කැමති රැකියාවක එයා කැමති තාක් කල් නියැළීමට නිදහසත්, එය වෙනස් කර වෙන හැකියාවකට පුහුණු වීමට උවමනා අවස්ථාවක ඊට ඉඩක් තිබීමත්, රැකියාව කුසලතාවය හා වෙළඳපොල අනුව වෙනස් කරන තීරණය මිනිසා සතු වූවාමත් යන අවස්ථා සියල්ල තියෙන්නෙ ධනවාදී නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයක පමණයි. සැලසුම් සහගත සමාජවාදී ක්‍රමයක එවැනි සංකීර්ණ සැලසුම් සියල්ල හදන්න දන්නා සමතෙක් නැති නිසා, ගෙනෙන හැම ප්‍රතිසංස්කරණයක් නිසාම ඇති වෙන්නේ අවුලක්.

      සැබැවින්ම, දැනුමක් එකතු කරගන්නා අරමුණින් ජීවත් වෙන අයෙකුට සෑම මිනිසෙකු වෙතින් ම ඉගෙන ගන්න දෙයක් සොයා ගන්න පුළුවනි. 

  4. තිසර said, on ඔක්තෝබර් 11, 2012 at 8:13 ප.ව.

    තමාගේ කැමැත්තෙන් සත්‍ය සොයායාමේදී රටක (තනි තනි පුද්ගලයා නොවේ) පාලන ක්‍රමවේදය කුමක් විය යුතුද? පාලනය සහ සත්‍ය සොයායාම අතර සම්බන්ධයක් තිබේද? මැතිවරණ, පාර්ලිමේන්තුක්‍රමය, බදු එකතු කිරීම, බහුතර ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරු, ජනතා නියෝජිතයෝ, මේ දේවල් එහි ඇතුලත්ද?

    උදාහරණයක් වශයෙන්, දැන් ඇමෙරිකාවේ පවතින්නේ අයිඩියල් ම පාලනයද? නැතිනම් එය වෙනස්විය යුතුද?

    තමන්ගේ කැමැත්තෙන් සත්‍ය සොයා යාම කියන ‘මතිය’ ට මම එකඟ අතර, කැමැත්ත සහ සත්‍ය කියන දේවල් ගැන ඔබගේ අදහස් සමග පැහැදිලි එකඟතාවයක් නැත. පැහැදිලි කරගැනීමටයි අහන්නේ.

    //ඒ දැනුමට ඒ ශ්‍රමයට මිලක් දාන්න පුළුවන් කියලා හිතන්නේ….. //
    අවසානයේ කියලා තියන දෙය නම් ඉතාම පැටලිලි සහගතය. ඇ‍යි එයට මිලක් දාන්න බැරිද? ඒසේ දැනුමට, ශ්‍රමයට මිලක් නියම කරන්න බැරිනම් කුමන හෝ ආර්ථිකයක් ක්‍රියාකරන්නේ කොහොමද? මෙය ඔබ දරන තමන්ගේ කාලය, මුදල්, ශ්‍රමය වැයකොට සත්‍ය සොයායාමේ සංකල්පයට පටහැනි ප්‍රකාශයක් නොවේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 9:12 ප.ව.

      තිසර,

      තමාගේ කැමැත්තෙන් සත්‍යය සොයා යනවා ද, එහෙම ගමනක් යන්නෙ නැද්ද කියන එකත් ඒ ඒ මිනිසාගේ උවමනාව අනුව සිද්ධ වෙන්නක්. අපිට එය කිසිවෙකු ලවා කරවත නොහැකියි. කුමන හෝ අයෙක් තම හැකියාවන් දියුණු කරගන්න, වනගත වෙලා භාවනා කරන්න හෝ මහත් මුදල් සම්භාරයක් එකතු කරන්න යනාදී විවිධ උවමනාවන් සඳහා තම මුදල්, තම වෙහෙස හා තම කාලය වැය කරන්න ඉඩක් ලැබෙන එකම ආණ්ඩු ක්‍රමය ලිබටේරියන්වාදයෙන්. එහි පරමාර්ථය නිදහසේ කටයුතු කරන්නට මිනිසාට ඉඩ දීම. ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න නිදහස, ඕනෑම ආගමක් අදහන්න නිදහස. එහෙම ඉඩක් සපයද්දී අයෙක් තව අයෙකුගේ ජීවිතයට හා දේපල වලට හානියක් කරනවා නම් (හොරකම්, මිනීමැරම්, පරිසරය විනාශය) එතැන දී පමණක් රජයේ මැදිහත්වීම. ආණ්ඩුවේ කාර්යය පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පමණයි. ඔව්, මැතිවරණ, පාර්ලිමේන්තුවක්, අවම බදු, බහුතර චන්දයෙන් පත් කරගන්නා ජනාධිපතිවරු, ජනතා නියෝජිතයෝ, යනාදිය ඇතුලත්. ඒත් ආණ්ඩුව විසින් දියත් කරන මහජන සුබ සාධන සැලසුම් නැහැ. ආර්ථික මෙහෙයුම් නැහැ. ආණ්ඩුවට ඇත්තේ පිටරටකින් එන හතුරු ආක්‍රමණයකින් රට ආරක්ෂා කිරීම සහ පුද්ගලයන් එකිනෙකා අනෙකාගේ අයිතීන් උල්ලංඝනය නොකර ඉන්නට නීති සම්පාදනය පමණයි. ඒ නිසා අවම බලයක් හා වැයට අවම මුදලක්. “ආණ්ඩුවට සල්ලි හා බලය දීම හරියට ගැටවර කොල්ලන්ට විස්කි හා වාහන වල යතුරු දීම වැනියි,” -P. J. O’Rourke

      නැහැ අද ඇමෙරිකාවේ පවතින්නේ අයිඩියල් පාලනයක් නොවේ. ලිබටේරියන්වාදී පාලනයට සුදුසු අයිඩියල් ව්‍යවස්ථාවක් තිබුනාට 1930 ගණන් වල සිට කෙමෙන් කෙමෙන් ආණ්ඩුවේ බලය පුරවැසියාගේ ජීවිත වලට ඇඟිලි ගහන ලෙසින් වැඩිවෙලා, පුද්ගලයාගේ පසුම්බියට අත දාන ලෙසින් වැඩිවෙලා. එහෙත් ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා තවමත් අඩුවෙන් ම අවම බලයක් සහ ජනතාවගෙන් එකතු කරගත හැකි බදු මුදල් ප්‍රමාණය අවම ප්‍රමාණයකින් ඇත්තේ ඇමෙරිකාවේ.

      මිලක් දාන්න බැරි බාහිර පුද්ගලයෙකුට. දැනුම පිණිස මිලක් නියම කරනවා ද නැද්ද යන්නත්, ඒ මිල කුමක් විය යුතුද යන්නත් තීරණය කළ යුත්තේ ඒ දැනුම ලබාගන්නා සහ ඒ දැනුම විකුණන අයට. නැත්නම් ඒ දැනුම කැමැත්තෙන් දෙන හා ඒ දැනුම කැමැත්තෙන් බාරගන්නා අය. ශ්‍රමයත් එහෙමයි. ශ්‍රමය මිල දී ගන්නා සහ ශ්‍රමය සපයන දෙදෙනා එය තීරණය කරන්නේ. නැත්නම් ශ්‍රමය කැමැත්තෙන් නොමිලේ සපයන්නා සහ නොමිලේ දෙන ශ්‍රමයක් කැමැත්තෙන් බාර ගන්නා අය.

      ඉහත සියල්ලට ඉඩක් ලැබෙන්නෙ නිදහස් වෙළඳපොලක් ධනවාදී ආර්ථික ක්‍රමයක් පවතිනවා නම් පමණයි. ධනවාදී ආර්ථික ක්‍රමය තමයි අයෙක් හැකියාවන් දියුණු කරනවා ද, වනගත වෙලා භාවනා කරනවා ද, නැත්නම් තව මුදල් හම්බකරනවා ද යන්නට එහි නියැළෙන පුද්ගලයාට තීරණය කරන්නට ඉඩක් දෙන එකම ක්‍රමය.

  5. deshakaya said, on ඔක්තෝබර් 12, 2012 at 12:32 පෙ.ව.

    ඔබ කිව් කාරණය මා සැමවිටම අදහන දෙයක්. මේ‍ ලෝකේ දෙයක් නොදන්න මිනිහෙක් විදියටයි මා, මා ගැනම හිතන්නේ. අපි දන්නවා කියන දෙයක උනත් අපි නොදන්නා පැත්ත අති විශාලයි. යම් දෙයකට බැහැල කරල බලන්න ඕන ඇත්තටම දන්නේ මොනවද කියලා. සමාජයේ ඕනම මිනිහෙක්ගෙන් ජීවි අජීවි සෑම දෙයකින්ම අපට දැනුම ලබාගන්න පුළුවන්. ඔබ කියන දේ අහල මට මතක් වුනේ මැක්සිම් ගොර්කි කියපු දෙයකි. “මිත්‍රවරුනි, මේ ලෝකේ ඉන්න හැම මිනිහම එක වගේ උනානං කොහේද සුන්දරත්වයක් තියෙන්නේ” (මට මතක හැටියට ඕක තිබුනේ මම හුගාක් ඉස්සර කියවපු ආරියරවංශ රණවීර මහතා පරිවර්තනය කරපු කොන්ස්තන්තීන් පවුස්තව්ස්කිගේ “රන්රෝස” පොතෙන්)

    • arunishapiro said, on ඔක්තෝබර් 12, 2012 at 9:15 පෙ.ව.

      deshakaya,

      ඔව්, සෝවියට් ක්‍රමයේ හිටපු මැක්සිම් ගෝර්කි සිය නිර්මාණ වලින් උත්සාහ ගෙන ඇත්තේ личность ‘lichnost’ නොහොත් inherent worth and potential of the human person නැත්නම් මිනිස් සත්වයාගේ නෛසර්ගික අගය හා දියුණු කළ හැකි ශක්තිය ගැන ලියන්නට. සෝවියට් ක්‍රමය ඇතුලෙන් ම ඒ අදහස් ඉදිරියට දාන්න ඔහු උත්සාහ ගැනීම කොතරම් විස්මිත ද?!!!

  6. තිසර said, on ඔක්තෝබර් 12, 2012 at 2:40 පෙ.ව.

    හරි, දැන් පැහැදිලියි…. මෙතෙක් කල් ඔබ කියපුවා මට තේරුනා නම් දැන් ලංකාව වගේ රටක් සම්බන්ධයෙන් කල හැක්කේ, මිනිස්සුන්ට මෙහෙම මාර්ගයක් තියනවා කියලා පෙන්වාදීම පමණයි නේද? ඒ මාර්ගයේ ගිහින් ඒක දිනාගන්නවද කියන එක ඊට පස්සේ ඔවුන්ට අයිති වැඩක්නෙ. මම කියන්න හදන්නේ, මේක අරගල, විප්ලව, කුමන්ත්‍රණ වලින් කරන්න බැරි දෙයක් නේද කියන එකයි. එහෙම නැත්නම් වෙන මාර්ගයක් තියනවද?

    ධනවාදී ලෝකයේ දියුණු රටක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව ගැන ඔබ හිතන්නේ මොනවාද? ඕස්ට්‍රේලියාව කියන්නේ අදායම් බදු ඉතාම ඉහල සහ, සුබසාධනය වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන රටක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 12, 2012 at 9:26 පෙ.ව.

      තිසර,

      දැන් විතරක් නෙමෙයි අතීතයේ ද අනාගතයේ ද මිනිස් සත්වයා වෙනුවෙන් කළ හැකි වූ එකම සාර්ථක මාර්ගය නම් මෙහෙම මාර්ගයක් තියෙනවා කියා පෙන්වා දීම පමණයි. එය ඔවුන්ගේ අවබෝධයෙන් තොරව බලහත්කාරයෙන් ස්ථාපිතය ක්‍රියාත්මක කරන්නට ගියොත් එයින් කිසිම ඵලක් ලැබෙන්නේ නැහැ.

      ඉතිහාසය පෙන්වන්නේ, සමාජයේ බහුතරය තම උන්නතියට කැමති අය බවයි. අතරින් පතර හැම සියයකට ම වාගේ මනෝව්‍යාධිකයෙක් හිටියාට. ඉතින් ඒ නිසා මාර්ගය ගැන අවබෝධයක් ඇති කරන්නට හැකි වූ හැම අවස්ථාවක දී ම, මිනිස් සත්වයා කැමැත්තෙන් ම තෝරා ගත්තේ ඒ මාර්ගයේ යන්නටයි. මේක අරගල, විප්ලව, කුමන්ත්‍රණ වලින් කරන්නට බැහැ. මිනිස් සත්වයන් සියල්ලන්ට වූ මනස වැඩ කරන්නේ විවිධ විෂම වූ ආකාර වලින් වූවාට හැදී ඇත්තේ එකම ස්වභාවයකින් (අර මනෝව්‍යාධිකයන් හැර). ඒ නිසා වෙන මාර්ගයක් නැහැ.

      මම හිතන්නේ (ඔස්ට්‍රේලියාව ගැන දැනුම ඉතාමත් අඩුයි) කම්මැලියන් බහුල රටක්!!!! තම ස්වභාවික සම්පත් වැඩි දියුණු කරනවා වෙනුවට ඒවා විකුණා එයින් ජීවත්වෙන රටක්. හැමදාම සංක්‍රමණික ශ්‍රමය මත තම දියුණුව රඳවන්න හදන රටක්. එන සංක්‍රමණිකයන් ද අනුන්ගේ කැඳ හැලියෙන් තමන්ට වැඩියෙන් බෙදා ගන්න උත්සාහ කරන රටක්. කෙටියෙන් කිව්වොත් සතුට සොයා යන ගමනට සංවර්ධිත ලෝකයේ යම් දුරක් යන්නට හැකි එතැනින් එහාට යන්නට ඉඩක් නැති රටක්. ඒක මගේ මතය!!!!

  7. Nimal(Desertfrog) said, on ඔක්තෝබර් 14, 2012 at 4:50 පෙ.ව.

    කෝ මේ මාතලන් ගොයිය…එන්න කියාපිය මෙහෙට…

    • arunishapiro said, on ඔක්තෝබර් 14, 2012 at 7:18 පෙ.ව.

      Nimal(Desertfrog),

      පොඩි අවුලක් තියෙනවා නිමල්, මේ වර්ඩ්ප්‍රෙස්/බ්ලොග්ස්පොට් අතර ප්‍රතිචාර දැමීම ටිකක් අවුල්. එය ඉක්මණින් විසඳේවි යැයි හිතනවා. මට මාතලන්ගේ අඩවියේ ප්‍රතිචාර දැමිල්ලත් දුෂ්කරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: