අරුණි ශපීරෝ‍ වෙතින්

වාසි වැඩි කරගන්නට සහ අලාභ අඩු කරගන්නට දැන සිටිය යුත්ත කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 12, 2012

දේපල නම් සංකල්පය වටා ගෙතෙන වාදයන් වලින් ගැල වී ජීවත්වෙන්නට සමත් වූවෙක් ලොව නැත. ඒ වාදයන් දැන සිටියත් නොදැන සිටියත් එයින් තමනට වාසි හා අලාභ සිදුවෙයි. කාසි හා ඉඩම් පමණක් නොව පුද්ගලයා ද දේපලකි. තමන්ට සිද්ධ වන වාසි වැඩි කරගන්නට සහ අලාභ අඩු කරගන්නට මේ දේපල නම් වූ සංකල්පය කුමක් දැයි තමන් දැන සිටිය යුතුයි.

ප්‍රචණ්ඩත්වය, ගිවිසුම, ධනවාදය සහ සමාජවාදය යන සියල්ල දේපල යන සංකල්පයෙන් මෙහෙම විස්තර කළ හැකියි. මෙහි දී ප්‍රචණ්ඩත්වය නම් දේපල වලට එරෙහි ප්‍රචණ්ඩත්වයයි. ගිවිසුම නම් දේපල අයිතිය ඇති අය අතර ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ සබඳතාවයයි. සමාජවාදය නම් දේපල සඳහා පිටස්තර ආයතනයක් ගෙනෙන ප්‍රචණ්ඩත්වයෙන් යුතු ප්‍රතිපත්තියක්. ධනවාදය නම් සමාජයේ පුද්ගලයන් එකිනෙකා අතර එකඟවන දේපල සහ ගිවිසුම පිළිගන්නා වූ පිටස්තර ආයතනයක ප්‍රතිපත්තියක්.

දේපල නම් සංකල්පයක් ඇතිවෙන්නට මුලින් ම යම් භාණ්ඩයක් හිඟ විය යුතුයි. (මෙහෙම කියන්න ඩේවිඩ් හියුම්: A Treatise of Human Nature, 1739) අහසින් කඩා හැලෙන වැස්ස, හිරු රැස්, හුස්ම ගන්න වායුව වගේ හිඟයක් නැති දේවල් අයිති කරගන්න වෑයමක් කාටවත් නැහැනේ. උවමනා කරන දේවල් ලෝකයේ බහුලව තියෙනවා නම් කාටවත් කිසි කෙනෙක් එක්ක ගහමරා ගන්න අවශ්‍ය නැහැ. අපි එළියට බැහැලා මේ මගේ අව්ව, එපා එන්න මගේ හිරු රැස් අල්ලන්න කියලා රණ්ඩු කරගන්න යන්නෙ නැහැ!!!

ඒත් වටපිට බැලුවාම අපිට පෙනෙනවා අපිට උවමනා කරන දේවල් වල සෑහෙන හිඟයක් තියෙන බව. ඒ නිසයි දේපල අයිතිය ගැන කතාබහක් අවශ්‍ය වෙන්නෙ.

අපේ පුද්ගලික වූ සිරුර සහ මනස ද දේපලක්. බාහිර ඇඟිලි ගැසීම් කරන අය එමට. දුර්වල හා පාපී චේතනා ඇති මනසක් වඩන්නාට අවාසි වැඩියි!!!! අදහස් ඉදිරියේ දී මනස නම් වූ දේපල අයිතිකරුවාට, එයා කැමත්තක් කරන්නට, තෝරා ගැනීම් ඉදිරිපත් කරනවා ද? නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් පිටස්තරයන්ගේ තෝරා ගැනීම් බාර ගන්න යැයි කියනවා ද? සුඛ හා දුක වේදනා දැනෙන සිරුර නම් වූ දේපල අයිතිකරුවාට, එයා කැමැත්තක් කරන්නට, තෝරා ගැනීම් ඉදිරිපත් කරනවා ද? නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් පිටස්තරයෙන්ගෝ තෝරා ගැනීම් බාර ගන්න යැයි කියනවා ද?

අපි කුඩා කල සිට දරුවෙක් හැදිය යුත්තේ ඒ දරුවාගේ මනස සහ සිරුර එයාගේ දේපල බවට ඇති ගෞරවයකින්. අපේ සම්ප්‍රදායෙන්, අපේ ඉතිහාසයෙන්, අපේ අත්දැකීම් තුලින්, අපේ දැනුමෙන් යනාදීන් වලින් යහපත් මොනවාදැයි අපි තෝරා බේරා ගෙන ඒවායෙන් එයාට තෝරා ගැනීම් ඉදිරිපත් කිරීමයි අප කළ යුත්තේ. එහෙමයි මිනිස් සත්වයන් පරිනාමයේ දී අදහස් හා කුසලතා වලින් ආපස්සට යන්නෙ නැතිව ඉදිරියට ගියේ. වැඩිහිටියන් ගේ වගකීම තමයි හැකි තරම් දරුවාගේ දේපල වැඩි දියුණු කරගත හැකි තොරතුරු එයා ඉදිරියට ගෙන ඒම. එහි දී තෝරා ගැනීම දරුවාට බාර කරද්දී, මිනිස් ස්වභාවයේ අපූර්වත්වය තමයි තමන්ගේ හා සමාජයේ යහපතට තෝරා ගැනීම් කරන්නට මිනිස් සත්වයා කැමැත්තෙන් ම ඉදිරිපත් වීම.

ඕනෑම පුද්ගලයෙක් උවමනාවකින් යම් ක්‍රියාවක් කරන්නේ ද, ඒ ක්‍රියාවේ දී ඒ පුද්ගලයාගේ ශරීරය පාවිච්චි කරන්නේ කෙසේද යන්නට තෝරාගැනීම් කරන්නට සිද්ධ වෙනවා. යමක් ඒ විදියට කරන්නත් වෙන විදියකට නොකරන්නටත් යන තෝරා ගැනීමේ දී පැහැදිලි වෙන්නේ තමන්ට කරන්නට හැකි සියළු දේ තමන්ට තෝරාගත නොහැකි බවයි. තවත් විදියකින් කිව්වොත් එය මෙහෙම කරන්න තෝරාගත්තු නිසා අරහෙම කරන්න තෝරාගන්න බැහැ. එවිට මිනිසා කරන්නේ යමක් කිරීමෙන් තමන් විසින් අගයන ලාභය (මුදල් අගය නොවේ) වැඩියෙන් පවතින දේ කිරීමටත්, අගය අඩුවෙන් ඇති දේ නොකිරීමටත් තෝරාගැනීමයි. සෑම විටක ම මිනිස් ස්වභාවයේ අපූර්වත්වය තමයි තමන් අගයන ලාභය සොයා යද්දී තම දක්ෂතා ඉස්මතු වීම සහ එයින් ජයග්‍රහණයන් අත් කර ගැනීමට හැකිවීම.

කවුරු නොදැක්කත් තම සිත පිනා යන දැන් සතුට සඳහා, එය තෝරාගත් නිසා දිව්‍ය ලෝකෙ යන්න හැකි යැයි සිතන නිසා, එය අනුන්ට පෙන්වා ලබන සතුටක් නිසා, දැන් මේ දේ කරලා දුක් වින්ඳම අනාගතේ වැඩියෙන් සතුට ලැබෙනවා, යනාදී විවිධ විෂම වූ හේතු රාශියක් තුලින් යමක් තෝරාගන්නටත් තව දෙයක් ප්‍රතික්ෂේප කරන්නටත් මිනිසා යොමු වෙනවා. ඒ කිසිම අවස්ථාවක දී අපි සියයට සියයක සාර්ථක බවකින් කිසිසේත්ම දන්නේ නැහැ අයෙක් යමක් කරන්න තෝරා ගන්නෙත් තවත් දැයක් නොකරන්නට තෝරා නොගන්නෙත් ඇයි කියා.

තමන් යමක් කරන හේතුව අනුව ඒ දේ කරන විදිය තෝරා ගැනීමට ඉඩක් ලැබෙන්නෙ ප්‍රචණ්ඩත්වයක් නැති සමාජයක. එහි දී අයෙක් යමක් කරන හේතුව කුමක් දැයි වෙන කිසිවෙකුට දැන ගන්නට අවශ්‍යතාවයක් නැහැ. හැමෝම සොයා යන්නේ තම තමන්ගේ හේතු වලින් සාක්ෂාත් කරගන්නා තම තමන්ගේ උවමනාවන්. ඔවුන් අතර එකඟතාවයකින් පිවිසෙන ගිවිසුම් මඟින් ඔවුන් ඒවායේ නියැළෙනවා. එහි දී රජය අතරමැදියෙක් නොවේ. රජය පැත්තකට වී මිනිසුන්ට ඔවුනොවුන් කැමති එකඟතාවයන්ට පිවිසෙන ගිවිසුම් ගහන බලය දී තියෙනවා.

මට දුප්පතෙක් විදියට ඉන්න ඕනෑ යැයි තෝරා ගැනීමක් සමාජවාදී රජයක දී තෝරාගන්නට බැහැ. හැමෝම නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී විය යුතුමයි. මොකද හැමෝම කැඳ හැලියට යමක් එකතු කළේ නැත්නම් හැමෝටම බෙදා ගන්න දෙයක් ද නැති නිසා. ඊ ළඟට තමන් කැමති දෙයක් තෝරා ගැනීමට ද ඉඩක් ලැබෙන්නෙ නැත්තෙ දේපල අයිතියට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් ඇති සමාජයක. නිෂ්පාදන ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිද්ධ විය යුතු යැයි තීරණය කරන සමාජවාදී ආණ්ඩුව එහි නිරත වෙන්නේ කවුරුන්දැයි, කෙසේදැයි යන්නත් තීරණය කරනවා. සමාජවාදී රටවල තම කැමැත්ත සොයා යන්නට ඉඩක් නැහැ. ආණ්ඩුවේ පිළිවෙත් අනුගමනය කළ යුතුයි. අසරණයන්ට සහනය දෙන හැටි ආණ්ඩුව තීරණය කරනවා. මේ ප්‍රමාණය ඇතැයි කියා යම් බලය ලත් කොටසක් විසින් කරන නිර්දේශ අනුව ඒ ප්‍රමාණයට සහන බෙදනවා.

දේපල සංකල්පය හඳුනන්නා දේපල වලට ගරු කරද්දී සමාජයෙන් අතුරුදහන් වෙන්නේ අලස කුසීත හා අලුකුත්තේරු හැදියාවන්. අනුන්ගේ දේපල වලට මට අයිතියක් ඇතැයි සිතා රැවටී සිටිනවාට වඩා මගේ දේපල මොනවා ද මා ඒවා මා කැමති පරිදි වැඩි දියුණු කරගන්නේ කෙසේදැයි පුරවැසියන්ට තීරණය කරන්න ප්‍රචණ්ඩත්වයකින් තොරව ඉඩ වැඩියෙන් දුන් හැම අවස්ථාවක දී ම ලෝක ඉතිහාසය පෙන්නුම් කරන්නේ සමාජයේ ආර්ථික හා අධ්‍යාත්මික සශ්‍රීකත්වය වැඩි වූ බවයි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. මිස්ටර් හයිඩ් Mister Hyde said, on ඔක්තෝබර් 12, 2012 at 11:32 පෙ.ව.

    //හැමෝම නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී විය යුතුමයි. මොකද හැමෝම කැඳ හැලියට යමක් එකතු කළේ නැත්නම් හැමෝටම බෙදා ගන්න දෙයක් ද නැති නිසා//

    මට නං මේක ප්‍රායොගිකවම දැන් තේරෙනවා group project එකක් කරන්න ගිහින්. අඩුවෙන් මේකට දායක වෙන අයගේ ඒවත් එක්ක අනිත් අයට කරන්න වෙනවා නැත්නං දෙගොල්ලොන්ටම හම්බ වෙන්නේ අඩු ලකුණු. අලසයා නිකං ඉදගෙන වැඩියෙන් දායක වුන කෙනා ගත්ත ලකුණම ගන්නවා.

    • arunishapiro said, on ඔක්තෝබර් 12, 2012 at 11:37 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      😀 කොහොම ද ගෲප් ප්‍රොජෙක්ට් වලට තමන් කැමති අයව පමණක් එකතු කරගන්න ඉඩ දුන්නොත්? A ගෲප් එක හැමදාම A ගනීවි. ඒත් එහෙම ගෲප් හදන්න ඉඩ දෙන්නෙ නැත්තෙ කවුද?!!!

  2. wicharaka විචාරක said, on ඔක්තෝබර් 13, 2012 at 8:39 පෙ.ව.

    මගේ දේපල වර්ධනය කරගැනීම සඳහා මම කරන රැවටීම් හා ගසාකෑම් වලින් අනික් මිනිහා බේරෙන්නේ කොහොමද?

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 9:46 පෙ.ව.

      විචාරක,

      මේක තමයි වැදගත් ම ප්‍රශ්නය. කෙටි උත්තරය: අනිත් මිනිහා බේරෙන්නේ රැවටීම් කරන්නේ සහ ගසා කන්නේ කවුදැයි කියා තමන් දැනුවත් වීමෙන්.

      😀 දිග උත්තරය:
      නිදහස් වෙළඳපොලක් කියන්නේ නිෂ්පාදන කරන භාණ්ඩයක් හෝ සේවයක් වෙළඳපොලට ඉදිරිපත් කරන්න අවස්ථාවක් හැම කෙනෙකාටම ඇති තැනක්. ලංකාවේ එය එක්තරා දුරටකට තියෙනවා. නමුත් එක්තරා දියුණුවක් ලබද්දී ඊට ඇති ඉඩකඩ ආණ්ඩුවේ මැදිහත්වීම නිසා ඇණ හිටිනවා. යම් ව්‍යාපාරයක් පටන් ගන්නා අයෙකුට තමන් දන්නා කියන අය අතරේ එය විකුණාගන්නට නිදහසක් තියෙනවා. ඒත් තමන්ගේ භාණ්ඩයට හෝ සේවාවට ඉල්ලුමක් වැඩි වෙද්දී, තමන්ගේ ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කරන්නට උත්සාහයක් ගත්තොත් ඒ භාණ්ඩය හෝ සේවාව විකුණන බලය අල්ලා ගෙන ඉන්නා ආණ්ඩුවට හේත්තු වූ අය විසින් කරන පීඩනයෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැහැ. අලුත් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇඟිලි ගැසීම් අඩුයි ඒ ගැන බලය අල්ලා ගෙන ඉන්නා අය ලාභ ඇත්දැයි නොදන්නා නිසා. නමුත් ලාභයක් ඇත්දැයි දැනගත් වහාම ඒවා තමන් යටතට ගන්න ක්‍රමවේද ආණ්ඩුවට හේත්තු වු අය විසින් සොයා ගන්නවා. මාධ්‍ය විසින් ඒවා ගැන කියන්න යන්නේ නැහැ අතුරුදහන් වෙන බිය නිසා!!! දැන් බලාගෙන යද්දී විනිසුරුකරුවන් ද නිහඬ වේවි අඬු බිඳෙයි බිය නිසා!!! ඒත් එහෙම ආණ්ඩුවේ බලයට යටත් කරගන්න නොහැකි වන සේ ව්‍යවස්ථාවෙන් නිදහස් ප්‍රකාශයට අයිතියක් දී ඇති රටක, එය පූජනීය වූවක් සේ සලකන රටක, මාධ්‍යයට ලකුණු වැටෙන්නේ අයෙක් කරන හොරකම් හෙළි කිරීමෙන්. රටවැසියන් ද අගය කරන්නේ එවැනි හෙළිදරව් මිසක් ට්වින්කල් වැඩසටහන් නෙමෙයිනෙ!!! නමුත් ට්වින්කල් වැඩසටහන් බලන අයටත් ඉඩක් දෙන්නම ඕනෑ, මොකද එයත් නිදහස් ප්‍රකාශන අයිතිය නිසා. පිස්සු ඩබල් වෙන වැඩසටහන් අතරින් රැවටීම් හා ගසාකෑම් වලින් මිනිහා බේරෙන්නේ කොහොමදැයි මූලාශ්‍ර සොයා යන්නට, සත්පුරුෂයන් ඇසුරු කරන්නට, සොයා බලා මිසෙක කිසිවක් පිළිනොගන්නට අපි හැම අයෙක් ම අපේ දරුවා හදා ගත්තොත් එවැනි සමාජයක් පහසුවෙන් රවටන්නට කිසිවෙකුට බැහැ.

      රැවටිලි සහ ගසාකෑම් ලොවෙන් තුරන් කරන්නට නොහැකියි. සියයක් මිනිසුන් රවටත හැකි එක මනෝව්‍යාධිකයෙක් ලොව සිටිය දී, බහුතරයක් සත්‍යය දැනගන්නට උවමනාවක් හෝ හුරුවක් නැතිකමෙන් සිටිය දී. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහි වූ නිදහසත්, තාක්ෂණයෙන් බිහි වූ දැනුම බෙදා හැරිය හැකි මහත් ඉඩකඩත් සමඟින් එය කරන්නට කැපවෙන ටික දෙනෙක් නිසා එදා පූජ්‍ය පක්ෂයට, රජවරුන්ට හා රදළයන්ට පමණක් හිමි වූ දැනුම අද ඈත පිටිසර ගමක පරිගණකයකින් අන්තර්ජාලයට එකතුවෙන්න හැකි දරුවෙකුට පවා ගෙනයන්නට සමත් වීම ජයග්‍රහණයක්.

      ආණ්ඩුවකට කිසිදා තම පුරවැසියන්ව රැවටීම් වලින් හා ගසාකෑම් වලින් බේරාගන්නට බැහැ. ආණ්ඩුවක් ද හැදෙන්නේ මිනිසුන් වෙතින් නිසා, අපිම අවසරය දීලා ආණ්ඩුවේ බලතල වැඩිවෙද්දී ආණ්ඩුවේ රැවටිලි හා ගසාකෑම් තමයි වැඩිවෙන්නේ. යම් භාණ්ඩයක් නිදහස් ප්‍රකාශනයට අයිතියක් ඇති සමාජයක නිදහස් වෙළඳපොලට ඉදිරිපත් කරන පිරිස වැඩි වුනාම ඒ ව්‍යාපාරයේ යෙදෙන අය තම ව්‍යාපාරය රැකගන්නට රැවටීම් සහ ගසාකන ව්‍යාපාරිකයා ගැන හෙළි කරනවා. අපි එහිදී ව්‍යාපාරිකයන් ව්‍යාපාරිකයන් අතර ඇති තරඟයටයි උල් පන්දම් දෙන්නේ. එයින් මිල අඩු වී අගයෙන් වැඩි නිර්මල භාණ්ඩයක් පාරිභෝගිකයාට ලැබෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ම නිදහස් ප්‍රකාශයට ඉඩක් නැති සමාජයක රජය අතරමැදියෙක් වු වහාම රජයේ පන්දම්කරුවන්ට මිල තීරණයටත් අගය තීරණයටත් ඉඩක් ලැබෙනවා. ඉතින් මිනිස්සු රවටන්නට හා ගසාකන්නට පහසුයි.

      ආණ්ඩුව තමන් ආරක්ෂා කරන ආයතනයක් යැයි සිතමින් එයට තමන්ව මුලා කරන්නට බලය දී ඇත්තේ රැවටෙන්නට අකමැති හා ගසා කෑමට අකමැති පුද්ගලයන් ම විසින් 😦

  3. Nimal(Desertfrog) said, on ඔක්තෝබර් 14, 2012 at 4:52 පෙ.ව.

    කෝ මේ මාතලන් ගොය්ය…කියෙව්වනං මේං මෙව්ව……

    • arunishapiro said, on ඔක්තෝබර් 14, 2012 at 7:18 පෙ.ව.

      Nimal(Desertfrog),

      පොඩි අවුලක් තියෙනවා නිමල්, මේ වර්ඩ්ප්‍රෙස්/බ්ලොග්ස්පොට් අතර ප්‍රතිචාර දැමීම ටිකක් අවුල්. එය ඉක්මණින් විසඳේවි යැයි හිතනවා. මට මාතලන්ගේ අඩවියේ ප්‍රතිචාර දැමිල්ලත් දුෂ්කරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: