අරුණි ශපීරෝ‍ වෙතින්

වාහනයක් උස්සා පුද්ගලයෙක් බේරාගත් මහමඟ සිටි මිනිස්සු

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 13, 2012

රථ ගාලකින් එළියට ඇදෙනා වාහනයක් හා ගැටෙන්නට ගිය මෝටර් සයිකලයක් එය මඟහරින්නට දැරූ උත්සාහය අසාර්ථක විය. මෝටර් සයිකලයේ ආ තරුණයා වාහනය යටට විසි වී ගියේය. රථයත් මෝටර් සයිකලයත් ක්ෂණයෙන් ගිනි ගත්හ. ඒ යුටාහ් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ Lund Hall නම් ගොඩනැඟිල්ල අසල දී ය.

අසල වූ කැම්පස් ගොඩනැඟිල්ලේ 9 වැනි තට්ටුවේ දේශන විඩියෝ පටිගත කරන අයෙක් මේ දර්ශනය පටිගත කළේය.

මහමඟ සිටි මිනිස්සු සහ වාහනයේ රියැදුරා ද එකතු වී ගිනි ගන්නා වාහනය උස්සා සිහිසුන් නැතිව එහි යට සිටි වයස 21 ක් වූ බ්‍රැන්ඩන් රයිට් නම් තරුණයාව ඉවතට ඇද දැමූහ. වාහනය පැදවූ අය ස්ථානයෙන් පළා ගියේ නැත. ගිනි නිවන හමුදාවේ අයට හා පොලීසියට කට උත්තර දුන් එයාට එතරම් ආපදාවක් සිදු වී නොතිබිණ.

ගිලන් රථය පැමිණ සිහසුන්* ලැබූ මෝටර් සයිකලයෙන් විසි වුන තරුණයාව ළඟම ඇති රෝහලකට ගෙන යන ලදි. ඉන්පසුව හෙලිකොප්ටරයකින් වැඩි පහසුකම් ඇති රෝහලක් වෙත ගෙන ගියහ. සැත්කම් වලින් පසු හේ ජීවත් වෙන්නට වරම් ලබන්නේ මහමඟ සිටි මිනිස්සු අහක බලාගෙන නොගිය නිසයි.

ඒ 2011 සැප්තැම්බරයේ දී වූ සිද්ධියකි.

*සිහසුන් යන්න සිහිසන් ලැබූ යැයි වෙනස් විය යුතුයි. රසවත් අන්දමකින් වැරැද්ද පෙන්වා දීමට විචාරකයාට ස්තූතියි.

****

පසුගිය දිනයෙක මවක් සහ දරුවන් පස් දෙනෙක් විසූ තෙවැනි මහලේ වූ තට්ටු නිවාසයක් ගිනි ගනිද්දී එළියට පැන්න මවක් කෑ ගැසුවේ තම දරුවන් පස්දෙනා බේරා දෙන ලෙසටයි. මහමඟ සිටි මිනිසුන් දරුවන් පස්දෙනා තට්ටු මහලෙන් පනිද්දී අල්ලා ගත් සැටි ඒ ගොඩනැඟිල්ලේ ආරක්ෂිත කැමරාවට හසු වූ ආකාරයයි පහත දැක්වෙන්නේ.

හදිසියක දී උස් තැනකින් බිමට පනිනවා හැරෙන්නට වෙනත් තෝරාගැනීමක් නැතිවෙද්දී ආපදා අවම කරගන්නට බිමට පනින හැටි ක්‍රමයක් පහත විඩියෝවෙන්. බිමට වැටී රෝල් වී යන මේ ක්‍රමය එක්තරා උසක් පසු වූ කල ඵල රහිතය!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ඔක්තෝබර් 13, 2012 at 11:29 පෙ.ව.

    ඊයේ පෙරේදා කවුද කියලා තිබුනා නේද ඔය පිටරට ඉන්න එවුන් මිනිහෙක් පාරේ මැරුණත් ඇහැක් ඇරලා (එක ඇහැක් වහලාද?) බලන්නේවත් නැහැ කියලා.

    එක ඉස්පිල්ලකින් සිහිසුන් කොල්ලා සිහසුන් මත තියන්න පුළුවන් (ගණන ගතයුතු තරම් වරදක් නොවේ)

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 12:09 ප.ව.

      විචාරක,

      මෙහෙ ඉන්න සේරම පයිරට්ලා කියලා කියනවා තමන් පයිරසි වෙල නියැළෙද්දී … මූලාශ්‍රයක් පෙන්වන්නයි කිව්වම ගේන්නෙ “පයිරට්ස් ඔෆ් ද කැරීබියන්”!!!!

      //එක ඉස්පිල්ලකින් සිහිසුන් කොල්ලා සිහසුන් මත තියන්න පුළුවන්// 😀

  2. emailkavikaari said, on ඔක්තෝබර් 13, 2012 at 11:32 පෙ.ව.

    අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතිකරවන සුලු වීඩියෝවක්

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 12:14 ප.ව.

      emailkavikaari,

      හැමදාම ලොව වැඩියෙන් ඉන්නේ මෙහෙම අය නංගි. තමන්ගෙ යුතුකම් කරලා එදිනෙදා ජීවිතය ගෙවන අය. එක පාහරයෙක් කරන වැඩක් තමයි හැබැයි වැඩියෙන් ලොව පුරා යන්නෙ. අනෙකෙකුට වන අනතුරක් ගැන දැනගත්තම එයින් තමන්ට ගැලවෙන්න හැකියාව ලැබෙන නිසා, අනතුරු ගැන දැනගන්න සහජ උවමනාවක් මිනිසා තුල තියෙනවා. ඒ නිසා නරක දේවල් ලොව වැඩියෙන් වෙනවා යැයි මිනිසා රවටන්නට වඩා පහසුයි.

  3. සෑම් said, on ඔක්තෝබර් 13, 2012 at 11:43 පෙ.ව.

    මට කියන්න තියෙන්නේ එක දෙයයි. ලංකාවේ නම් ලොරි/කන්ටේනර්/වගෙ බර වාහන පදවන උන්ට ආරක්ෂාව ගැන කියල දෙන්නෝනි. අපරදිග රියදුරන්ගේ විනය ලංකාවේ බහුතරයට නැහැ.

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 12:16 ප.ව.

      සෑම්,

      රිවස් කරන්න දන්නෙ නැති අය ඔය බලපත්‍ර නිකුත් කරන කාර්යාල පැත්තෙ නොගිහින් වාහන පදවන්නට අවසර පත් ලබන කොට මොන කතා ද සෑම්?!!!

  4. අටම්පහුර said, on ඔක්තෝබර් 13, 2012 at 3:12 ප.ව.

    //ගිලන් රථය පැමිණ සිහසුන් ලැබූ මෝටර් සයිකලයෙන් විසි වුන තරුණයාව//
    පෙන්නන්ට කියලා හිතාගන එනකොට විචාරක මහත්තයා පෙන්නලා , උත්තරයත් දැක්කා,

    වටිනා ලිපියක්

    අපේ අයට නං හදිස්සියකදි කරන්න ඕන මොකක්ද කියන එක ගැන නං දැනුම බින්දුවයි.

    33000v කරන්ට් එක වැදිලා පස්දෙනෙක් ඉස්පිරිතාලයට අරගන ආවා ctb බස් එකක දාගන , බස් එකට තව පහලවක් විතර නැගලා ආවා එකෙක් හිටියේ නැ අර මිනිස්සුන්ගේ පපුව තෙරපලා කටට හුළං ටිකක් පිඹින්ඩ.

    ටෝලියක් තල්ලු කරන්ඩ රෝහල් සේවකයෙකුත් නැ.

    මම සහ මගේ මිතුරා සහ දොස්තරවරු වන එයාගේ අක්කා සහ මස්සිනා ( ඒ අවස්ථාවේ සේවයේ නොසිටි) එකතුවෙලා

    මිතූරා සහ මම ටෝලි දෙකක් තල්ලු කරමින්

    මස්සිනා එක ටෝලියක නැගලා සහ

    අක්කා ටෝලිය සමග දුහමින්

    හදිස්සි ප්‍රතිකාර ඒකකයට පපුව සම්භාහනය කරමින් දෙදෙනෙක් ගෙන ගියා

    අපි එහෙම කල නිසා එහෙම උනා කියලා මම කියන්නැ ,

    හැබැයි අපි ඉස්සෙල්ලාම ටෝලියට ගත්ත දෙන්නා විතරක් ජීවිතය බේරා ගත්තා කියලා ,ඒ අක්කා මාර්ගයෙන් පසුව දැන ගත්තා.

    මොනවා හරි උනහම බඩු පොට්ටනියක් වාගේ ත්‍රීවිලර් එකට ලෙඩාව පටවාගන තව පස් හය දෙනෙක් අමාරුවෙන් ඒ වාහනයටම රිංගලා ඉස්පිරිතාලේ යන එක නං මට බලාගන ඉන්න හරිම අමාරුයි

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2012 at 3:46 ප.ව.

      අටම්පහුර,

      ඒක නේන්නම් ඉස්පිල්ලකින් පාපිල්ලකින් ලැබෙන්නේ කොයිතරම් රසාස්වාදයක් ද? වැරැද්ද හරි නොගැස්සුවේ තවත් අයට රස විඳින්නට තියන්න ඕනෑ යැයි කියා හිතිච්ච නිසා 😀

      ප්‍රථමාධාර ගැන අවබෝධය තවම අඩුයි කියලා මාත් දන්නවා. සමහර අවස්ථාවල දී අනතුරට ලක් වූවන් නැඟිට්ටවන්න, බඩු පොට්ටනි වගේ දාන්න ගිහින් නැති ආපදාවන් කැඳවන අවස්ථා ද තියෙනවා.

      අටම්පහුරට කවදාවත් ඒ දෙදෙනාගේ ජීවිත ගැලවුනේ ඔයගොල්ලන්ගේ උත්සාහය නිසා පමණින් ද කියා දැනගන්නට නොලැබුණත්, ඔවුන් ජීවත්වීමට වරම් ලබන්න යම් ආකාරයකින් දායක වූවා යන්න ගැන ඇත්තේ හිතේ හැමදා වෙන කිසිවෙකුට අයින් කරත නොහැකි සතුටක්නේ. ජයවේවා වීර මිතුර!

  5. Kenji @ Japan said, on ඔක්තෝබර් 14, 2012 at 12:07 පෙ.ව.

    ලිපිය කියෙව්වහම ඊයේ,පෙරේද දවසක මිගමුව පැත්තේ ටිපර් රථයක හැපුන අම්මා සහ දියණියගෙන් අම්මගේ බෙල්ලෙන් හිස වෙන්වෙලා, දුව බේරිලා දුව අම්මගේ හිස අත් දෙකට අරගෙන උදව් ඉල්ලද්දී වටවෙලා හිටපු කස්ටිය කරලා තියෙන්නේ තමන්ගේ ෆෝන්වලින් වීඩියෝ කරපු එකලු.අපේ ලංකාවේ එහෙමයිලු,වෙන රටවල මෙහෙමයිලු.

    • arunishapiro said, on ඔක්තෝබර් 14, 2012 at 7:16 පෙ.ව.

      Kenji @ Japan,

      ඒත් අටම්පහුර වැනි තමන් වෙතින් කිසිවක් බලාපොරොත්තු නොවෙද්දී අනුන් වෙනුවෙන් වෙහෙසිච්ච වීරයන් ද ලංකාවේ ම ඉන්නා බව අමතක කරන්න එපා.

      සාමාන්‍ය මිනිස් ස්වභාවය උදව් කරන්නට ඉදිරිපත් වීම. ඒත් කරකියා ගන්න නොදන්නා ව්‍යවසනයක් ඉදිරියේ තමයි අනුන් අනුකරණයට යන්නෙ. අද ලංකාවේ බහුතරයා කරකියා ගන්නේ කුමක් දැයි නොදන්නා ව්‍යවසනයන් නිතර දෙවේලේ දකින කාලයක්. රැවටෙන්නේ කාට ද, පිළිගන්නේ කාව ද, අනුකරණය කළ යුත්තේ කාව ද, ප්‍රතික්ෂේප කළ යුත්තේ කාව ද යන සියල්ලම අවුල් වූ යුගයක්. ෆෙඩ්රික් හයෙක් කියන දාස භාවයට යන පාරේ දිගටම යන්න “ශක්තිමත් මිනිසෙකුට” එන්නට නියමෙට වාතාවරණය හදලා තියෙන්නේ.

  6. Pramil said, on ඔක්තෝබර් 15, 2012 at 11:47 ප.ව.

    එස්.බී දිසානායක හොරුත් සමග හෙළුවෙන්

    එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති හෙවත් ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.

    මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි.

    ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි.

    මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.

    කලකට ඉහතදී රාවය පුවත්පත ඇතුළු මාධ්‍ය විසින් කරන ලද විමර්ශනයකදී මහාචාර්ය ඩී එස් රණවක නමින් පෙනී සිටින පුද්ගලයා සහ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පිලිබඳ වැදගත් තොරතුරු හෙළි කළේය.

    නමුත් මේ තොරතුරු නොයෙකුත් ක්‍රම සහ විධි හරහා විශාල වශයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවට යාමට නොදී එහි අධ්‍යක්ෂවරයා විසින් නවතා ගනු ලැබීය. වරින් වර ලංකාවේ බලවත් පුද්ගලයන් මිලට ගන්නා මේ ආයතනයේ අළුත්ම චරිතය උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක බව වාර්තා වේ.

    මාධ්‍යවේදීන් පිරිසක් විසින් කල විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව පුණ්‍යයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද ආයතනයකි. එහි අධ්‍යක්ෂකවරයා වන ඩී එස් රණවක තමන්ට FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි ඇති බවට රටට හෙළි කර තිබුනද මේ උපාධි ඔහු විසින් වංචනිකව තම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය මගින්ම තමන්ටම පිරිනම්මවා ගෙන තිබෙන උපාධි වේ

    එසේම මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය හෝ ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔහු ලබාගෙන නැත. රණවක මහතා කලා විෂය ධාරාවෙන් BA සහ MA උපාධිධාරියෙක් වන අතර වර්ෂ 2002 දී අධ්‍යාපන මනෝ විද්‍යා පිඨයේ සහාය මහාචාර්ය පදවියකට (Associate Professor ) පත්විය.

    සහාය මහාචාර්යවරුන් විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලා කිරිම සඳහාත් තමන්ව හඳුන්වා ගැනීම සඳහා මහාචාර්ය නාමය යොදාගනිමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසිය.

    පිළිගත් විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය උපාධියක්වත් නැති ඩී. එස්. රණවක මහතා විසින් මනෝ උපදේශකයන් පුහුණු කරන අතර මුදල් ගෙවා ඕනෑම අයෙකුට මනෝ විද්‍යාව පිළබඳ MICP සහතික ලබා ගත හැකිය. මේ සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල මෙන්ම පුද්ගලික සායන ආරම්භ කොට මනෝ උපදේශකයන් වශයෙන් සේවය කරති.

    කිසිම දැනුමක් සහ වෘත්තිය පුහුණුවක් නැති මේ පුද්ගලයන් ජනතාවගේ මානසික සෞඛ්‍යය සමග සෙල්ලම් කිරීම බරපතල ගැටලුවක් බව අංගොඩ මානසික රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි.

    මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි.

    ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටියත් මාසිකව විශාල මුදලක් උපයන ආයතනයකි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල ප්‍රධානීන්ට නොමිලේ උපාධි පිරිනමා හෝ මුල්‍යමය තෑගි දී ඔවුන් මගින් ආයතන සේවකයන්ට රාජ්‍ය මුදල් වලින් පුහුණුව ලබා දෙයි. මේ සියලු මුදල් අධ්‍යක්ෂකවරයාගේ සාක්කුවට බැර වන මේ මුදල් සඳහා කිසිම් අදායම් බදු මුදල් නොගෙවයි. මේ ආයතනය ලියාපදිංචි කරන ලද්දේ ද අල්ලස් පිරිනැමීමෙන් බව විමර්ශනදී හෙළිවී තිබුණි.

    තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එහි ලේකම් වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි.

    එසේම යුද හමුදාවේ සොල්දාදුවන්ට පර පීඩක සමලිංගික හිරිහැර කරන බවට චෝදනා ලබා සිටි ජෙනරාල් ටී ටී ආර් සිල්වාටද MICPනමැති බොරු ශාස්ත්‍රපති උපාධිය පිරිනමා ඔහු හරහා හමුදාවේ නිලධාරීන්ට උපදේශන පුහුණුව ආරම්භ කරන ලදී. ජෙනරාල් ටී ටී ආර් සිල්වා යනු අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් අධ්‍යාපනයක් ඇති නිලධාරියෙකි. මොහු වර්තමාන ත්‍රිකුණාමල දිසාපති ලෙස සේවය කරයි.

    ජෙනරාල් TTR ද සිල්වා හමුදාවේ Director Psy Ops සිටියදී හමුදා නිලධාරීන්ට උපදේශනය පුහුණුව ලබා දීමට උපදේශනය සඳහා ව්‍යාජ සුදුසුකම් ඇති D S රණවක නමැති පුද්ගලයා නිර්දේශ කොට යුද හමුදාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම පිළිබඳව පුවත්පත් විසින් හෙළි කරනු ලැබීමෙන් පසුව එවකට යුද හමුදාපති ව සිටි ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් අදාල පුහුණු කිරීම් නවතා දමා පරීක්ෂණයක් පැවැත්වීමට නියම කලද කෙසේ හෝ මෙම පරීක්ෂණය යට ගැසීමට මේ දේපොළ සමත් විය.

    ඩී. එස්. රණවක තමන්ගේ අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති. ඔහුගේ අළුත්ම මිලදී ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක වන අතර එස්. බී ට කවර උපාධියක් දුන්නේද යන්න තවමත් හෙළි වී නැත.

    ඩී එස් රණවකගේ ප්‍රයෝගයන් සහ ඔහුගේ ව්‍යාජ සුදුසුකම් හෙළිවී තිබීම නිසා ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය විසින් පිරිනමන උපාධි සහතික වල කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති බවත් මේ නිසා මුදල් අතින් ගෙවා මෙම වංචනිකයාට අසු නොවන ලෙසටත් ශ්‍රී ලංකා මනෝ විද්‍යා ආයතනයේ (Sri Lanka Psychology Association ) විධායක නිලධාරිනියක් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 8:43 පෙ.ව.

      Pramil,

      තඩි බෝ කරන සමාජවාදී ප්‍රයෝගයන්ට ධනවාදයේ ලේබල් ඇලෙව්ව පළියට ධනවාදී ආර්ථික ක්‍රමයක් හෝ විවෘත ආර්ථිකයක් වෙන්නෙ නැති බවට කදිම උදාහරණයක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: