අරුණි ශපීරෝ‍ වෙතින්

සිහිය නැති මිනිස්සු සිහසුන් වල තියන්නේ කවුද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 15, 2012

සිහිය නැති අනිත් මිනිස්සු ඔක්කොම එකතු වෙලා.

පරමාර්ථ උතුම් වූවාට ඒවා සාක්ෂාත් වන්නේ එකම එක ක්‍රමයකින් බව නොදන්නේ සිහිය පාවිච්චියට නොගන්නා අයයි. ඒක හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය නොකර ගාථා ගිරව් වගේ කට පාඩමින් කීමෙන්, මල් පුජාවෙන්, පොල් ගැසීමෙන් නිවන් දකින්න හදන අයගේ ‘සිහිය’ වගේ!!!!! ආණ්ඩුවේ ඉන්න නායකයන්, විරුද්ධ පැත්තෙ ඉන්න නායකයන් දෙගොල්ලම ජනතාව රවටනවා ද? ජනතාව එයාලව රවටනවා ද?

වැඩි ජනතාව කැමැත්ත දක්වන්නෙ ආගමික බැඳීමක් ඇතිව හෝ නැතිව උතුම් පරමාර්ථ ගිරව් වගේ කියවන අයට. ඒවා මුළු ලෝක ඉතිහාසයේ ම ඉෂ්ට කරන්න බැරි වෙච්ච පොරොන්දු බව ‘සිහිය’ තියෙන අයෙක් ඇහැව්වොත් එයා ජනතාවගේ සෙතට අකමැති අයෙක් කියා හංවඩු ගැහෙනවා. කාටවත් කරන්න බැරිවෙච්ච දෙයක් කරන්නේ කොහොමද කියා පැහැදිලි නොකළාට කිසිම කමක් නැහැ. කිව්වම විතරක් ඇති නිසා තාම එයාලාට ජනතාව රවටන්නට හැකියි. එය විමසීම වැදගත් නැහැයි කියා ජනතාව එයාලාට රැවටෙන්න කැමතියි.

ජනතාව එයාලව රවටන්නෙ කොහොම ද? ‘ශක්තිමත් මිනිසෙක්‘ නැතිව රටක් හැදෙන්නෙ නැහැ යන විශ්වාසයෙන් එවැන්නෙකුට කැමැත්තෙන් ම බලය දෙන නිසා. කොතරම් දරුණු හිට්ලර් කෙනෙකුට වුවත් තමන්ට කැමති ජන කොට්ඨාශයක් නැත්නම් බලයේ ඉන්නට බැහැ. කෲර පාලකයෙක් (tyrant) අද ලෝකයේ ඒකාධිපති පාලනයක් ගෙන යන්නට (despotism) සමත් වෙන්නේ ඒකට නීතිමය හා ආචාර ධාර්මික වූ හිමිකමක් තමනට ඇතැයි සිතමින්. එවැන්නෙක්ට මහා ජනකායකගේ සහායක් අවශ්‍ය නැහැ. තමන්ව විශ්වාස කරන අය අවිශ්වාස කරන අයට වඩා ටිකක් වැඩි නම් ඒ ප්‍රමාණවත්. එයාට තම රටවැසියන්ගේ යහපත සලකන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා හිතන්නෙ තමන් කරන්නේ තමන්ට හිමිකමක් ලැබිච්ච දේවල් කියායි.

‘සිහිය’ නැති නිසා එයාත් දන්නේ නැහැ ලෝක ඉතිහාසය පුරා ම එවැනි අනිකුත් ‘සිහිය’ පැත්තකට දමා පාලනයේ යෙදුණු බහුතරයට වූයේ කුමක් දැයි කියා. ඔවුන් පාලකයන් වූ සමාජයේ බහුතරයට වූයේ කුමක් දැයි කියා. ඔවුන්ගේ පාලන සමයෙන් රටේ ආර්ථිකයට හා අධ්‍යාත්මිකත්වයට සිදු වූ අහිතකර බලපෑම් මොනවා ද කියා. මේක දකින්න ප්‍රජා පීඩකයන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නැති එක හේතුවක් තමයි ඒ ප්‍රතිඵල පැහැදිලිව පෙනෙද්දී ඔවුන් මිය ගිහින්!!!!

පුරාණ ග්‍රීසියෙන් ලැබෙන turannos යන වචනයේ අර්ථය අපක්ෂපාතී වූවක්. ඉන් නරක යන හැඟීමක් අදහස් වුනේ නැහැ. නීතියට පටහැනිව ගොස් බලය අල්ලා ගත් යන අදහස එහි වූයේ. පාරම්පරික උරැමයෙන් පාලන බලය පැවරෙද්දී පිටතින් ආ ආක්‍රමණිකයෙක් නැත්නම් ඇතුලතින් ම ආ අයෙක් පාලනය බලය අල්ලා ගැනීම පමණකින් එයා කෲර වූයේ නැති නිසා. සමහර විට හිටිය එක්කෙනාට වඩා එහෙම ආපු එක්කෙනාට ජනතාව කැමති වුනා. පස්සෙ කාලයක දී තමයි ඒකාධිපති පාලනය යන ඍන අර්ථය මෙයට එකතු වෙන්නෙ. ජර්මන් වචනයක් වූ führer යන්නටත් ඍන අර්ථයක් තිබ්බෙ නැහැ. ඒත් එක පාලකයෙක් නිසා!!! කළින් තිබිච්ච අපක්ෂපාතී වචනයක් තහනම් (verboten) වචනයක් බවට පත්වුනා.

ප්‍රජා පීඩකයන් කිව්වම මතකයට නැඟෙන්නේ හිට්ලර්, කිම්-ඉල් සුන්ග්, සදාම් හුසේන් යන අය. ඒත් පුරාතන ග්‍රිසීයේ හිටපු පයිසිස්ට්‍රැටස් (Peisistratos) 6 වැනි සියවසේ වූ ප්‍රජා පීඩකයෙක්. එයා වඩාත් ම ප්‍රසිද්ධ අද තියෙන ඔලිම්පික් උළෙල හා සමානු වූවකට. එදා ඇතීනියානු සමාජය පුරා විසූ අයට සහභාගී වෙන්නට සර්වඇතීනියානු උත්සවය පිහිට වූයේ එයයි. පයිසිස්ට්‍රැටස් ඇතැන්ස් හි දුප්පත් පංතිය වෙනුවෙන් සෑහෙන දේවල් කරපු ප්‍රජා පීඩකයෙක්. රදළයන්ගේ වරප්‍රසාද අඩු කරලා, රදළයන් සතු ඉඩකඩම් දුප්පතුන්ට බෙදා දීලා, ආගමික හා කලාත්මක වැඩසටහන් වැඩි කළා. වැඩි ජනතාවකගේ ජනප්‍රියත්වය දිනා ගන්නට අසමත් වෙන්නෙ කොහොම ද එහෙම කෙනෙක්?!!!!

උතුම් පරමාර්ථ තිබ්බට, ඒවා සාක්ෂාත් කරගන්න නම් මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය සැලකිල්ලට නොගෙන බැහැ. සිත සියළු ක්‍රියාවන්ට මූලික වෙනවා කිව්වම ඉන් අදහස් වෙන්නේ එක් අයෙකුගේ සිතක් ගැන පමණක් කියන කතාවක් නෙමෙයි. හැම කෙනෙක් කරන හැම වැඩකට ම සිත මූලික වෙනවා. අල්ලපු ගෙදර එක්කෙනා බෝම්බයක් හදන්න සිත මූලික කරගත්තම ඒක වටපිටාවේ ඉන්න සියළු අයට බලපානවා. අසල්වැසියන් කුමන ආකාරයන්ට සිත් මුල් කරගත් අය ද නොදන්නවා නම් ඒ අයගේ අසල්වැසියන් නොවීමට සිත මුල් කරගත යුත්තේ තමන්!!!!!

උතුම් පරමාර්ථ සාක්ෂාත් වෙන්නේ මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය සැලකිල්ලට ගෙන සකස් වෙනවා නම් පමණයි. කළින් සටහනක දී පැහැදිලි කරපු විදියට, හැමෝම තම තම සිත් මූලික කරගන්නේ කුමකට දැයි දැනගත හැකි පුද්ගලයෙක් හෝ පුද්ගල සමූහයක් ලොව නැති නිසා පාලකයාට ඇත්තේ සියල්ලන්ගේ දියුණුව සාක්ෂාත් කරන්නට හැකි එකම එක මාර්ගයක් පමණයි. ඒ ඒ අයට තම තම කැමැත්ත සොයා යන්නට නිදහස් වාතාවරණයක් ලබාදීම. අනෙකෙක් තවකෙකුට පීඩකයෙක් වෙද්දී පමණක් මැදිහත් වීම. නැතිව පීඩකයන් කවුදැයි, පීඩිතයන් කවුදැයි පාලකයා තීරණය කරන අසාර්ථක උත්සාහයක යෙදීම නොවේ.

සිහසුනක තබන්නට හදනා අයගේ සිහිය විකල් වෙලාදැයි හොයන සරල විභාගය මේකයි: එයා ගෙනෙන අදහස්, ඉදිරිපත් කරන ක්‍රමවේදය, හැමෝම පිළිපදිනා වූවක් කරත හැකි එමනිසා ම හැමෝටම යහපතක් ගෙනෙන්නට සමත් වූවක් ද?

1789 සිට 2012 වෙද්දී වසර 223 ක කෙටි ඉතිහාසයේ දී ඇමෙරිකන් සිහසුනේ තිබ්බ සංඛ්‍යාව 44 ක්. පින්තූරයේ ඉන්න ඒබ්‍රහම් ලින්කන් සිහිය තිබිච්ච මිනිසුන් තෝරාගත් සිහිය තිබිච්ච පාලකයෙක්. ව්‍යවස්ථාදායක (වහල් පිළිවෙත් අහෝසිය), උතුරේ හා දකුණේ විසූ සියල්ලන්ගේ ම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය (ගෙටිස්බර්ග් ඇමතුම), සහ යුද්ධයක් අවසන මධ්‍යස්ථ පිළිවෙත් අනුගමනය කරපු, තම පාලන කාලය පුරාම පක්ෂයෙන් හා විරුද්ධ පක්ෂයෙන් දෙපැත්තෙන් ම වැදි අවලාද නිසා ‘ශක්තිමත් මිනිසෙක්’ නොවූ අයෙක්.

2012 දී ඇමෙරිකන් ජනතාව සිහසුනේ තියන්නා තෝරා ගන්නේ සිහියෙන් නොවේ!!!! ඒත් අවම බලයක් හා සීමිත පාලන කාලයක් දෙන ව්‍යවස්ථාවක් නිසා කොයි ප්‍රජා පීඩකයා ආවත් කරත හැකි විනාශය මෙවැනි සම්පත් සතු වෙන කිසිම රටකට වඩා අවමයි. මෙයයි ඇමෙරිකන් සශ්‍රීකත්වයේ රහස. ඇමෙරිකාවේ දියුණුව, වෙන රටවල් සූරා කෑම නිසා වූවා යැයි ලේබල් ගසා රවටන්නේ තම බලය හා තම පාලනය සීමා වෙනවාට බිය අයයි. එහෙම පාලකයන් නැව් පුරවලා, ගුවන් යානා පුරවලා තම රටේ මිනිස්සු මරන නායකයන්ට අවි යවද්දී එහෙම පාලකයන්ට කැමති අනිත් රටවල් නිහඬයි!!!!!

අසීමිත බලය හා දීර්ඝ කාලීන පාලනය ලැබීමෙන් පමණක් රටක් හදන්නට හැකි යැයි (ඉතිහාසය එසේ නොහැකි බව පුන පුනා ඔප්පු කර ඇතත්) එය පිළිනොගන්නා අය අසිහියෙන් යුතු වූ අයයි.

****සිරස්තලය සඳහා විචාරකට ස්තූතියි!!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. මිස්ටර් හයිඩ් Mister Hyde said, on ඔක්තෝබර් 15, 2012 at 12:15 ප.ව.

    මට නං ලංකාවේ වෙන දේවල් වලින් වැඩියෙන්ම බය හිතෙන්නේ සුදු වෑන් සිද්ධි වත් හරියට ප්‍රතිඵලයක් වත් දීගන්න බැරි වෙන එකවත් නෙවෙයි තියන හැම ඡන්දෙකදීම ආණ්ඩුව පිරිසිදු අව්‍යාජ ඡන්ද වලින් දිනන එකයි

    • arunishapiro said, on ඔක්තෝබර් 15, 2012 at 4:21 ප.ව.

      මිස්ටර් හයිඩ්,

      පැරදෙන පැත්තෙ අය ඉස්සර වෙලා ම කියන්නෙ මැතිවරණය පිරිසිදු නැහැයි කියන එක. පැරදෙන පැත්තක් පිළිගන්න අකමැති ම දේ තමයි දිනුම් ලැබූ පැත්තට වඩා අපේ පැත්ත දිනන්න තරම් වෙනසක් අපිත් දැක්කෙ නැහැයි කියන එක.

  2. dayal bathee said, on ඔක්තෝබර් 15, 2012 at 4:02 ප.ව.

    සිහිය ඇති කරන්නට කතා කරන අය වාමංශිකයෝ, ජාතිද්‍රෝහියො, බටහිරයෝ, මෝඩයො, පිස්සො, ත්‍රස්තවාදියො, එන්ජීඕ කාරයො, පත්තර කාරයො,….

    • arunishapiro said, on ඔක්තෝබර් 15, 2012 at 4:26 ප.ව.

      dayal bathee,

      ඒක ඔයාගේ මතය නිසා දයාල් බතී ඔයා සියයට සියයක් හරි!!!!!

      ඒක මගේ මතය නොවන නිසා මාත් සියයට සියයක් හරි!!!!

      කොහොම ද මේ කියවන අනිත් අය අපි දෙන්නා ගෙන් සියයට සියයක් හරි කොයි එක්කෙනා දැයි දැනගන්නේ? මගේ තර්ක සියල්ල සහ ඔයාගේ තර්ක සියල්ල කියවා, මා මෙතෙක් ලියා ඇති සහ දයාල් බතී මෙතෙක් ලියා ඇති සියල්ල කියවා, ඔවුන්ගේ ම වූ සිහියකින්.

      මගේ ලෝකයේ නම් විරුද්ධ මතධාරීන්ට වගේ ම වාමාංශිකයන්ට, ජාතිද්‍රෝහීන්ට, බටහිරයන්ට, නැගෙනහිරයන්ට, මෝඩයන්ට, පිස්සන්ට, එන්ජීඕකාරයන්ට, කැමති දෙයක් කියාගන්නා පත්තරකාරයන්ට, ඉඩක් තියෙනවා. ඒ මගේ පසුම්බියට අත නොදා තමන්ගේ හා ඒවාට කැමති අනිත් අයගේ පසුම්බි වලින් කැමති දෙයක් කරන්නට. මගේ ලෝකයේ ඉඩක් නැත්තෙ ඉතාමත් සුළු කොටසකට: ත්‍රස්තවාදීන්ට හා අපරාධකරුවන් වැනි හිංසකයන්ට.

  3. තිසර said, on ඔක්තෝබර් 15, 2012 at 9:18 ප.ව.

    අපි ජීවත්වන ලෝකය මිනිස්සුන්ට සත්‍ය කියාදීමට මිනිසුන් බිහි නොවූ ලෝකයක් නෙමෙයිනේ. ඔබම වරින් වර උදාහරණ අරන් දැක්වූ පරිදි… සත්‍ය සොයාගිය, සත්‍ය ඉගැන්වූ මිනිසුන් ලෝකයේ ඉන්නවා. එහෙම තිබියදීත් //වැඩි ජනතාව කැමැත්ත දක්වන්නෙ ආගමික බැඳීමක් ඇතිව හෝ නැතිව උතුම් පරමාර්ථ ගිරව් වගේ කියවන අයට// නම්, ජනතාවට ස්වකැමැත්ත සොයා යාමට නිදහස දීමෙන් ලැබෙන යහපත කුමක්ද? අද පවතින තත්වයට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? අද ලොකය පවතින්නේ, මේ අවස්ථාවේ මිනිසුන්ගේ කැමැත්ත අනුව නොවේද?

    ඉතිහාසය පුරාම පෙන්නුම් කරන්නේ සැබෑ සත්‍ය සොයා යන්නේ සහ වටහා ගන්නේ හැමවිට සුළු පිරිසක් බව නොවේද? ලෝකයේ බහුතරය සැබෑ ලෙසම ‘සිහියෙන්’ සත්‍ය සොයා යන්නවුන් පිරිසක් බවට පත් කල හැකි යැයි ඔබ සිතනවාද? එසේ නම්, එය තවත් එක් උතුම් යථාර්ථවාදී නොවන අරමුණක් නොවන බව ඔබ පහදා දෙන්නේ කෙසේද? එසේ නොවන බව ඔබ සිතනවානම්, සුළුතරය අවබෝධ කරගන්නා සත්‍යයක් වෙනුවෙන් බහුතරය පාලනයවන්නා වූ ක්‍රමයක් වෙනස් විය යුත්තේ ඇයි? පාලනය ක්‍රමයක් වෙනස් වන්නේ බහුතර කැමැත්තෙන් නිසා මෙසේ වෙනස් කිරීමට අර සුළුතරය අවබෝධ කරගත් සත්‍ය බහුතරය වෙත අවබෝධ කලයුතු වෙයි. නමුත්, බහුතරය සත්‍ය අවබෝධ කර නොගන්නා පිරිසක්ය යන කලින් සඳහන් උපකල්පනය අනුව, සුලු පිරිස විසින් කරන මේ අවබෝධ කරවීම (හෝ එයට කැමැත්ත ඇති කිරීම ) සැබෑ ලෙස සත්‍ය අවබෝධ කරවීමක් වන්නේ නැහැ නේද? සත්‍යට හෝ අසත්‍යයට ඔවුන් කැමති කරවා ගැනීමට හැකිවී තිබෙන්නේ, ඔවුන් එහි වෙනස නොදන්නා නිසාම නොවේද? ජනතාවෙන් බහුතරයකගේ ‘සිහිය’ පිළිබඳ ඔබ දක්වන මේ ආකල්පයම, ඔවුන්ගේ කැමැත්ත සොයා යාමට නිදහස දිය යුතු යැයි කියන මතයට විරුද්ධ නොවේද?

    අනිත් එක ‘සැබෑ සත්‍ය’ කියා දෙයක් තිබේද? සත්‍ය තනි තනි මිනිසා තම නැණ පමණින් අවබෝධ කරගන්නක් නම්, ‘සැබෑ සත්‍ය’ කියන්නේ කුමක්ද? ඔබ ‘සත්‍යය’ යැයි පිළිගන්නා දේ සහ මම ‘සත්‍යය’ යැයි පිළිගන්නා දේ අතර වෙනස්කමක් ඇත්නම්, වඩා සත්‍ය වන්නේ කාගේ ‘සත්‍යය’ ද?
    යම් කිසි දිනෙක, ඔබ, මම අද සත්‍ය යැයි පිළිගන්නා දෙයක්, වෙනස් වී එය සත්‍ය නොවේ යැ‍යි අපට පිළිගැනීමට සිදුවන අවස්ථාවක් එළඹීමට නොහැකිද?

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 8:38 පෙ.ව.

      තිසර,

      අපි වෙනස් සත්තු වෙනස් කියවන්න.

      වසර මිලියන ගණනක් පුරා වූ මිනිස් මොළයේ පරිනාමය කියවන්න.

      ප්‍රාජක හතරෙන් ගැලවෙන්න බැරි මිනිස්සු කියවන්න.

      පැන්ඩෝරා දුන් වෙරමුන්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුව සටහනේ ප්‍රොමීතියස් චිත්‍රපටිය නිර්මාණයට සහභාගී වූ ඉන්දියන් නම් සංඛ්‍යාව දිහා බලන්න.

      ලෝකයේ මිනිස්සු තමන් ගැනත් ලෝකය ගැනත් සත්‍යය සොයා යන්නට බිහි වූ මොළයකින් පරිනාමය වෙමින් පවතින්නා වු ජීවීන්. එය තම තම නැණ පමණින් ඔවුන් කරගෙන යති. එන්න එන්නම නූතන තාක්ෂණයේ දියුණුවෙන් වඩ වඩා දැනුම එකතු කරගන්නට ලැබෙනා විට ඔවුන් සත්‍යය පහසුවෙන් අවබෝධයට හැකියාව ලබති.

      සත්‍යය නම් සැබෑ වූවකි. වෙනස් වෙන්නේ ඔබ සොයනා සත්‍යය සහ මම සොයනා සත්‍යය යනු විවිධ විෂම වූ විෂයයන් පිළිබඳ සත්‍යයන් වීම පමණයි. වඩා සත්‍යය කාගේ සත්‍යයක් දැයි කියා දෙයක් නැත. සියළු සත්‍යයන් සත්‍යයන්ය!!!!

      //යම් කිසි දිනෙක, ඔබ, මම අද සත්‍ය යැයි පිළිගන්නා දෙයක්, වෙනස් වී එය සත්‍ය නොවේ යැ‍යි අපට පිළිගැනීමට සිදුවන අවස්ථාවක් එළඹීමට නොහැකිද?// නැත, සත්‍යය යැයි වැරදියට අල්ලා ගෙන සිටින්නක් මිස, සත්‍යයක් කාලය අනුව වෙනස් නොවේ.

  4. maathalan said, on ඔක්තෝබර් 15, 2012 at 9:55 ප.ව.

    18 ව්‍යවස්ථාව අත් දෙකම උස්සලා උස්ස්පු අයම අද ඉල්ලගෙන කනවා. අපේ නම් තියෙන්නේ රාජාන්ඩුවක්. කෙනෙක් කියනවා විධයකය අහෝසි කරන්න එන්නලු. මම නම් මීට පස්සේ ඕවට නිකමටවත් යන්නේ නෑ. මොකෝ නැති දෙයක් කොහොමද අහෝසි කරන්නේ. විධායක ජනපති ක්‍රමය අහෝසි වෙලා ගොඩක් කල්. දැන් තියෙන්නේ වැඩ වසම් ක්‍රමයක්. ඒක අරුණි කියපු පයිසිස්ට්‍රැටස් ගේ කාලෙට සමානයි.

  5. deshakaya said, on ඔක්තෝබර් 16, 2012 at 12:15 පෙ.ව.

    මට ඔය ලින්කන් ජනාධිපතිගේ පිළිරුව දැක්කම මතක් වෙන්නෙම Planet of the Apes චිත්‍රප‍ටියමයි. දැනුත් ඒකම උනානේ..

  6. Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 16, 2012 at 1:34 පෙ.ව.

    අරුණි මේක දැක්කද
    ඉකුත් 12 වැනි සිකුරාදා රාත්‍රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්‍රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙ
    Read more: http://www.gossip9.com/2012/10/blog-post_4685.html#ixzz29R7g5m2a

    දැන් ලංකාවේ බොදු බල සේනා සංවිධානය නමින් බෞද්ධ පොලීසියකුත් පිහිටුවා ඇත . මේ අය පුද්ගලික ගෙවල් වලට පැනල අවුරුදු දහඅට පැනපු මිනිස්සු අත්අඩංගුවට අරගෙන දන ගස්සවල වෙන ආගම් වලට යන්නේ නැහැ කියල දිව්රලා පොරොන්දු කර ගන්නවා. උගත් සිහි බුද්ධිමත් ලංකාවේ තරුණ පරපුර ෆේස් බුක් එකේ බ්ලොග් වල මේවාට දුටුගැමුණු රජුගේ ක්‍රියා වන් වීර ක්‍රියා විදියට හුරේ දානව. අරුණි …මෙවන් අසිහියෙන් ඉන්න මිනිසුන් .පිරිසකට සිංහලෙන් ලිවීම ගැන නැවත සලකා බලන්න. වටී. හිඟන්නාගේ තුවාලය ඌට ආභරණයක් වගේ අපේ අයට මෝඩකම ආභරණයකි

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 9:04 පෙ.ව.

      Kevin,

      බුද්ධ ධර්මය ගෙනැවිත් ග්‍රන්ථාරූඪ කරද්දී ඒකට අලුත් කොටසක් එකතු කරනවා. පසුකාලයක දී වුවත් බහුතරයාගේ භාෂාවෙන් එය ලියන්නෙ නැහැ. තමන්ට පමණක් හිමි වූ වස්තුවක් ලෙසින් තියාගෙන තමන් කැමති විදියට පරිවර්තනයන් කියා දෙනවා. 1881 දී වගේ මුළු ලෝකයේ කැමති කෙනෙක්ට එය කියවන්නට ලියැවෙන්නේ සුද්දා අතින් ඉංග්‍රීසියෙන් ලියැවිලා. පරමවිඥානවාදීන් අතින් ලෝකයට වසර දෙදහසක් ගණනක් පැරණි දැනුම යද්දී, ඔවුන්ට ම සහාය දුන් අනගාරික ධර්මපාල පෙරමුණ ගත් දේශප්‍රේමී කණ්ඩායම් ත්‍රිපිටකය සිංහලයාට කියවන්නට බැරි ලෙසින් තවත් තියාගන්නවා. සිංහල භාෂාව ඉස්මතු කරලා ඉංග්‍රීසිත් එපා, සුද්දත් එපා කියලා පන්නලා දාලා තමන් කැමති මඩ ගොහොරුවේ මහා නායකයන් වෙනවා. ඒත් පර සුද්දා තවමත් සමාජයේ හැම තලයක ම ඉන්නා අයට දැනුම බෙදන්න නොයෙක් ක්‍රමවේද ලොවට ගෙනෙනවා. මුලාවෙන් රවටා මේවා බෞද්ධ යැයි කියාගන්නවුන් සිටියත්, බෞද්ධ මොනවා දැයි කතාකරන අයත් අඩුවක් නැහැ. අද ත්‍රිපිටකය කැමති කෙනෙකුට සිංහලෙන් කියවන්න අන්තර්ජාලයට දාන්න උදව් කරන සියළු අය අනුන්ගෙන් කාලා ජීවත්වෙන සඟ පරපුරක් නෙමෙයි!!!!

      පංතිවාදී, ජාතිවාදී, ආගම්වාදී ලේබල් අලවන අයම තමයි තමන්ගෙ එවුන්ම සූරා කෑමේ යෙදෙන්නේ කියා පෙන්වා දීම දැනුම ඇති අයගේ වගකීමක්. ඒකීය මිනිස් උත්සාහයන් අගයන, සෑම අයෙක් ම තම අනගි මොළයෙන් ඵල ප්‍රයෝජන ගත හැකි වූ මිනිසෙක් යැයි බුදුන් වදාළ ධර්මය සිංහල බෞද්ධයන් අතරින් තුරන් වී යන්නට ඉඩක් නොදෙන උත්සාහය අත් නොහැරිය යුතුමයි.

  7. wicharaka විචාරක said, on ඔක්තෝබර් 16, 2012 at 8:32 පෙ.ව.

    අපේ එකාට සිහිය තියනවා. නමුත් සිහිය නෑ වගේ පෙන්නනනවා. වටේට ඉන්න එවුන් එකෙකුටවත් සිහිය නෑ. මමනම් හිතන්නේ තවත් ටිකක් බලය දුන්න ගමන් වටේ ඉන්න එවුන්ගේ සිහිනැතිවීමේ රෝගය මහයාටත් හැදෙනවා. එතකොට හැත්ත බුරුත්තම හැඳිගෑවිලා ගිහින් ඒක මැණික කැටයක් හරි උඩට එයි. අපේ රටේ ඉන්න බත්කන හරකුන්ගේ සිහිය ගන්ඩ ක්‍රමයක් කියන්නකෝ අරුණි.

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 9:13 පෙ.ව.

      විචාරක,

      සත්‍යය සොයා යෑමත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමත් කිසිවිටෙකත් අත්හරින්න එපා. අපිට හැදෙන්න හැකි එකම ක්‍රමය ඒකයි. රටක් හැදෙන එකම ක්‍රමයත් ඒකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: