අරුණි ශපීරෝ‍ වෙතින්

මොන පුදුමයක් ද .. ප්ලේටෝත් කොමියුනිස්ට්?!!!

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 16, 2012

දේශපාලන දර්ශනය නොදන්නා, පුරාතන ග්‍රීක දර්ශනය නොදන්න අය නොදන්න දෙයක්!!!!

පෙරේදා ඔස්ට්‍රියන් ජාතික Felix Baumgartner අජටාකාශයේ අගිස්සක ඉඳන් පොළවට පැන්න. ලෝකය වටා මිලියන 8 ක ජනතාවක් තම පරිගණක වලින් සජීවී දර්ශන නරඹන්න එකතු වෙලා තිබ්බ. ඒක පුද්ගලික උත්සාහයක්. යම් ආණ්ඩුවක් වියදම් දරා ලෝකයාට පෙන්වන්න ගිය තම රටේ යැයි කියන ආශ්චර්යයක් නෙමෙයි. ඒත් ලෝකයේ බහුතර රටවල බහුතර පුරවැසියන් තවමත් ඉන්නේ ආණ්ඩුව එයාලාගේ කැමැත්ත ඉටු කරාවි යන බලාපොරොත්තුවෙන්. හැමෝටම ආශ්චර්යයක් ගෙනෙනවා කියන මුලාවෙන් ඒකීය පුද්ගල මිනිස් උවමනාවන් මොනවා දැයි සොයන්නට පවා කුතුහලය මිනිසා තුලින් ඉවත් කරන්නට පාලකයා සමත් වී ඇත්තේ කෙසේද?

ලොකුම ආශ්චර්යය (wonder), නැත්නම් ලොකුම පුදුමය (wonder) තමයි එව බලව කියන ධර්මයකුත්, අත්තාහි අත්තනෝ නාථෝ වූ, සියළු දුක් වලට හේතුව අවිද්‍යාව සහ මිථ්‍යා දෘශ්ටිය යැයි කියූ දහමක් අදහන, දුකෙන් ගැලවෙන මාර්ගය නම් සම්මා දිට්ඨි නොහොත් නිවැරදි වැටහීම, සම්මා සංකප්ප නොහොත් නිවැරදී සිතුවිලි, සම්මා වාචා හෙවත් නිවැරදි කතාබහ, සම්මා කම්මන්ත හෙවත් නිවැරදි ක්‍රියාව, සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවිකාව, සම්මා වායාම හෙවත් නිවැරදි උත්සාහය, සම්මා සති හෙවත් නිවැරදි සිහි කල්පනාවෙන්, සම්මා සමාධි හෙවත් නිවැරදි සිත එකඟ කරගැනීම, යනාදියෙන් යැයි ලෝකයේ අනිත් අයට වඩා කළින් කියා දුන් මිනිස් කොට්ඨාශයකට ඒවා නොහැකිවීම. ඒ අය ආණ්ඩුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හදලා එක්කන් යන තෙක් බලා ඉන්නවා ද කොහෙද?!!!

ප්ලේටෝ ග්‍රීක දාර්ශනිකයෙක්. එයා තමයි සොක්‍රටීස් ගෙ අදහස් ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒත් සොක්‍රටීස් හැම සංවාදයක් ම අවසන් කරපු විදියට වැඩි තැනක් නොදී ප්ලේටෝ තම දර්ශනය ලෝකයට ඉදිරිපත් කරන්නෙ. සොක්‍රටීස් විසින් කියූ වැදගත් ම දේ තමයි තමන්ට අනෙකා වෙනුවෙන් සත්‍යය කියා දෙන්නට බැහැ, ඒ ඒ අය තමන් විසින් සත්‍යය සොයාගත යුතුයි කියල.

ඒත් දාර්ශනික රජෙක් ගැන ලියන ප්ලේටෝ එහෙම ඉඩක් දෙනවා ද?

ප්‍රඥාවට ඇල්ම කරන්නෙක් දාර්ශනිකයෙක් යැයි කියලා ප්ලේටෝ එතැනින් නතර වෙන්නෙ නැහැ. අශෝභන කුතුහලය මඟින් දාර්ශනිකයෙකු වෙන්න බැහැ කිව්වම ගොඩක් අය එකඟ වෙන්නෙ අසැබි සඟරා බලන කුතුහලය මතක් වෙලා. ඒත් ප්ලේටෝ කියපු ඔක්කොම දිහා බලන්න ඕනා එයා අශෝභන යැයි ලේබල් ගැහුවේ මොනවාට ද කියලා දැනගන්නට. සෞන්දර්යය නිර්මාණ ප්ලේටෝ හෙළා දක්කා. නාට්‍ය වලට කැමති වූයේ නැහැ. දුෂ්ට චරිත, අපරාධකරුවන්, ස්ත්‍රීන් හා වහලුන් අනුකරණයක් රංගනයේ සිද්ධ වෙන නිසා ඒවා කිරීම යහපත් මිනිස්සුන්ට නුසුදුසු බවයි ඔහු කීවේ.

දුක ප්‍රකාශ කෙරෙන සංගීතය තහනම්.

මාළු බාර්බිකියු කරලා මිසක් කන්න තහනම්. සෝස් වර්ග තහනම්.

ප්‍රඥාවන්ත දාර්ශනික රජු කියන ආහාර අනුභවයේ දී මිනිසා නිරෝගී නිසා වෛද්‍යවරු අනවශ්‍යයයි.

ළාබාල දරුවන් අනතුරුදායක දේවල් දැකිය නොයුතුයි. එක්තරා වයසකට ආවම ඔවුන්ව බිය ගන්වන දෑ පෙන්වලා ඒවායෙන් කම්පනය නොවන අයව තමයි ආරක්ෂකයන් වශයෙන් තෝරා ගැනෙන්නේ.

ආරක්ෂක පංතිය තමයි දාර්ශනික රජවරු. කුඩා ගෙවල් හා චාම් ආහාර ඇති කඳවුරක ජීවත් වෙන ඔවුන්ට පෞද්ගලික දේපල ඇත්තේ “ඒකාන්තයෙන් ම අවශ්‍ය” ප්‍රමාණය පමණි. ස්ත්‍රීන් හා ළමයි ඇතුළු සියල්ල පොදුවේ පරිහරණය කරන දේවල්!!!!

සමතැන තියනවා ගෑණුන්ටයි පිරිමින්ටයි. ඒ වැඩ කරද්දී … නාට්‍ය අකැප වූ එක හේතුවක් ස්ත්‍රීන් අනුකරණය යහපත් මිනිසාට නුසුදුසු තත්වයක් නිසා කිව්වා නේද එයාම!!!!

ජනගහණය සමබරව තියාගන්න උත්සවයක දී ගැහැණු පිරිමි එකතු කරන්නේ සීට්ටු ඇදීමෙන් යැයි ඔවුන්ට කියනවා. ඒත් පාලකයන් විසින් හොඳම පියවරු වේ යැයි තෝරාගන්නා අයට වැඩිම වාසි ලැබෙන විදියට තමයි මේ සීට්ටු හදන්නේ!!!! අම්මලා වයස 20-40 ත් තාත්තලා වයස 25-55 ත් අතර විය යුතුයි. රජයේ කැමැත්ත නොමැතිව සහවාසයෙන් උපදින දරුවන් අවජාතකයන්.

රජයේ තීරණය අනුව ගබ්සාව හා බාල ඝාතනය අනිවාර්යයි. අංග විකල දරුවන් සහ පහත් දෙමව්පියන්ගේ දරුවන් රහසිගත තැනක රඳවා තැබෙයි.

උප්පත්තියේ දී සියළු දරුවන් දෙමව්පියන් ගෙන් වෙන් කර, ඔවුනොවුන් කවුදැයි දැන ගැනීමට ඉඩක් දෙන්නේ නැහැ. අම්මා තාත්තා කවුද කියල දන්නෙ නැති නිසා අම්මගෙ තාත්තාගේ වයසෙ හැමෝටම අම්මා තාත්තා කියන්න ඕනෑ. පියා සහ දියණිය හෝ අම්මා සහ පුතා අතර විවාහ සිද්ධ වීම සුදුසු නැත. සහෝදරයා සහ සහෝදරිය අතර ද විවාහ වැළැක්විය යුතුයි, ඒත් මුළුමනින් ම නොවේ. ඔක්කොම තොරතුරු තියෙන්නෙ ආණ්ඩුව අතේ නිසා කවුද කාත් එක්කදැයි තීරණය ආණ්ඩුවේ!!!

මුසාවාදය ආණ්ඩුවේ විශේෂ බලයක් විය යුතුයි!!!!! ඒක හරියට බෙහෙත් දෙන එක වෛද්‍යවරයාගේ විශේෂ බලය වීම හා සමානයිලු. වැදගත් ම රාජකීය මුසාව තමයි දෙවියන් වහන්සේ තුන් වර්ගයක මිනිසුන් මැව්වා යැයි කීම: ප්‍රශස්තමයා රත්තරන් වලින් ද, හොඳ තැනැත්තා රිදීයෙන් ද, සාමාන්‍ය පොදු ජනතාව පිත්තලෙන් හා යකඩ වලින්. රත්තරනින් හැදු අය රට ආරක්ෂා කරන දාර්ශනික පාලකයන් වෙති. රිදීයෙන් තනන ලද්දන් හේවායන් ය. සෙසු අය අර දෙගොල්ලන්ට ම කන්න බොන්න ජීවත්වෙන්න අවශ්‍ය දේවල් හදන අයයි!!!!!

ක්සෙනෆොන් නැමැත්තා විසින් සටහන් තියන ‘මෙමරබීලියා’ (මතකයන්) යන්නෙහි සොක්‍රටීස් ඥාන විභාග සංවාදයක් සඳහන්. එහි දී සොක්‍රටීස් අහනවා ඔබ සපත්තුවක් අලුත්වැඩියා කරගන්න ඕනෑ වුනාම කා ළඟට ද යන්නේ කියා? සපතේරුවෙක් ළඟට. පුටුවක් හදාගන්න ඕනෑ නම් යන්නේ කා ළඟට ද? වඩුවෙක් ළඟට. එහෙම භාණ්ඩ හා සේවා ලබාගන්න කා ළඟට යන්නේ දැයි සොක්‍රටීස් ඇසිමේ දී ඔහු පෙන්වන්නේ ඥානය කොතරම් විවිධ විෂම වූ ද යන්නයි. එකක් දන්න එක්කෙනා ගෙන් වෙනකක් හදාගන්න යන්නෙ නැහැ. ඔය සංවාදය වෙද්දී එතැන ඉන්නවා එදා පාලනයේ වූ ප්‍රජා පීඩක තිස්දෙනාගෙන් එක් අයෙක් වූ ක්‍රිටීයාස්. ප්‍රශ්න අහාගෙන එන සොක්‍රටීස් අවසානයේ දී අහනවා පුරවැසියන් තමන්ව පාලනය කරන්නට පත් කරගත යුත්තේ කවුද කියලා. ක්‍රිටීයාස්ට සෑහෙන තරහ ගිහින් එයා කියනවා “සොක්‍රටීස් ඔයා දැන් මේ සපතේරුවන්, වඩුවන්, ලෝහකරුවන් කතාවට යොදා ගත්තා හොඳටම ඇති. ඔවුන්ව සංචාරයේ යවපු තරමට දැන් හැමෝගෙම විලුම් හොඳටම ගෙවිලා ඇති,” කියලා.

සොක්‍රටීස් කියන්නේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ගනිද්දී ඒ ගැන දැනුමක් ඇති අයව සොයාගන්න කියලයි. නමුත් සිංහලෙන් තවමත් කතා වෙන්නේ මෙහෙම: “අප අපගේ රට පාලනය කිරීම සදහා තොරා පත්කරගන්නේ ඒ සදහා මෙලොව සිටින සුදුසුම පුද්ගලයාය. තෝරා පත්කරගත් පසු ඔහු අපගේ රට පාලනය සදහා නුසුදුසුම පුද්ගලයා බැව් අපට තේරුම් යයි. අපට හැමදාම සිදුවන්නේ මෙයයි. මෙයට හේතුව………………?

මුලින් ම සපත්තුවක් ගන්න වඩුවෙක් ළඟට යන්න නරකයි. ඊ ළඟට සපත්තුවක් ගත්තට, ඒ සපත්තුව හොඳ නැත්නම් ඒ සපත්තුව දිගට ම දාගෙන ඉන්නවා ද? නැත්නම් වෙන සපත්තුවක් සොයා ගන්නවා ද? මේ ලොව හොඳම සපතේරැවා කවුදැයි අපි දන්නේ නැහැ. මොකද හැමෝටම හොඳ එක සපතේරුවෙක් නැති නිසා. අපි කරන්නෙ අපිට ගන්න පුළුවන් සපත්තු හදන අයගේ නිර්මාණ දිහා බලලා අපි කැමති සපත්තුවක් තෝරා ගන්න එක.

පාලකයෙක් තෝරා ගැනීමේ දී අපි එයා මෙතෙක් කර ඇති නිර්මාණ දිහා බලනවා ද? නැත්නම් දක්ෂ වඩුවෙක් වූ අයෙක් සපත්තුවක් හදන්නත් හැකියාව ඇත්තෙක් යැයි හිතනවා ද?

සපතේරුවාගේ සපත්තු දිහා නොබලා, වඩුවාගේ පුටු දිහා නොබලා ඒ බඩු ගන්නෙ නැති සිංහලයා රටේ පාලනයට තෝරාගන්නේ සැමියා මිය ගිය ගෑණු, පරම්පරාවෙන් ආපු උරුමයක් යැයි සිතා දේශපාලනය කරන පුත්තු, යුද්ධයක් දිනාගත් අසාහය සෙන්පතියෙක්, යල් පැන ගිය දේශපාලන හා ආර්ථික පිළිවෙත් තවමත් හංවඩු ගසන්නන්, යනාදීන් අතරින් අයෙක් ද?

ප්ලේටෝ කීවේ මොනවා ද, සොක්‍රටීස් කීවේ මොනවා ද, කාල් මාක්ස් කිව්වේ මොනවා ද, ෆෙඩ්රික් හයෙක් කීවේ මොනවා ද, නොදන්නා අය අනිත් අයට උපදෙස් දෙමින් ඉන්නා අවිද්‍යාව සහ මිථ්‍යා දෘශ්ටිය පෙරටු කරගත් සමාජයක දැනුමක් ඇතිවෙන්න නම් තමන් විසින් අහන කියවන දේවල් සත්‍යය ද අසත්‍යය දැයි තමන් විසින් සොයා බැලිය යුතුයි.

ඔබේ නායකයා වෙන අයෙක් සොයා දෙන තුරු බලා ඉන්නාට ලැබෙන්නේ අනුන්ගේ කැමැත්තෙන් බිහිවෙන නායකයෙකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ඔක්තෝබර් 16, 2012 at 8:25 පෙ.ව.

    ඇයි දෙයි හාමුදුරුවනේ දැන් නේ තේරුනේ මෙහේ තියෙන්නෙත් ප්ලේටෝ ගේ දර්ශනය කියලා. මේ ලිපිය කියෙව්වම මට හිතුනේ අජටාකාශයේ අග්ගිස්ස කොහොම වෙතත් කොළඹ තියන අර මහා පිට්ටු බම්බුවෙන් පහලට පැරෂු එකක් නැතුවම පැන්නොත් හොඳයි නේද කියලා. (මේ වල් බලු ආශ්චර්ය හැත්තත් ඇදගෙනම)

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 9:10 පෙ.ව.

      විචාරක,

      ඔහෙ විතරක් නෙමෙයි විචාරක, ලෝකෙ හැම පැත්තෙන් ම පුරාතන ග්‍රීසියේ පටන් අද දක්වා ම ප්ලේටෝ ගේ දර්ශනය ක්‍රියාත්මක කරන “දාර්ශනික රජවරු” දකින්න පුළුවන්!!!

      සත්‍යය අවබෝධ කරගත හැකි අය වැඩියෙන් අවශ්‍ය කාලයක්. අනිත් අය කරන දේවල් වලින් අපිට ලැජ්ජ හිතුනට අපි නෙමෙයි ලැජ්ජ වැඩ කරන්නෙ කියලා හැම විටෙක ම මතක් කරගන්න ඕනෑ. දැනුම අනිත් අයට බෙදා දීමෙන්, හිතන මොළය යළි පාවිච්චියට ගන්නා අය වැඩි කරගන්න පුළුවන්.

  2. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 16, 2012 at 3:07 ප.ව.

    obe lipiya ada dawase lankawa thula pawathina deshapalaneth therum kala wagei mata watahune, olugedi wadayan hari kena thora ganna puluwanda ese nathinam deshapalana kriyadamaya wenas kalauthuwenawa chanda krayamaya wenas kaloth udaharanayak lesa, vishayabara amathiwarayatada chandayak vishsha kamituwak magin thora path karaganeema wage janadipathita ona kena nowa anumatha vidwath mandalekin thoraganeemak kaloth hondin wada siduwei kiya hithenawa ese kaloth game chandin parlimenthu enn e nathi wei.

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2012 at 5:30 ප.ව.

      Shanthi,

      ඔන්න පත්තරේ දාලා තියෙනවා හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා කියන කතාවක්. හෙල්පින් හම්බන්තොට නඩුවෙන් එයා මහින්ද රාජපක්ෂ නිර්දෝශී කළේ නැත්නම් අද මහින්දට ජනාධිපති වෙන්න බැරි වෙනවා කියල. (There are many complaints that it was I who was responsible to bring Rajapaksa into power.)

      අග විනිසුරු ගේ කාර්ය භාරය යුක්තිය පසඳලීම. ඒක එයාගෙ රස්සාව. ආණ්ඩුවෙන් පඩියක් ගෙවන්නෙ ඒ රස්සාව කරනවාට. අයෙක් එයාගේ රස්සාව හොඳින් ඉටු කළා කියල වීරයෙක් වෙන්නෙ නැහැ. ලංකාවේ හැදියාව අපි මෙහෙම කළා ඒ නිසා ඔයා දැන් මෙහෙම කළ යුතු යැයි ඉල්ලීම. එවැනි හිස් බලාපොරොත්තු තියාගන්න එක්කෙනා තමයි මෝඩයා.

      දැන් සමහර විට එතැන වෙලා තියෙන්නෙ වෙන දෙයක් වෙන්නැති. යුක්තිය පසඳාලීමේ දී අයුක්තියක් කරලා ද ඒකෙ තමන්ට ලැබිය යුතු යැයි සිතපු දේ ලැබුනෙ නැත් ද දන්නෙ නැහැ!!!!

      ඔන්න ඔය නිසයි මොන නීති ගෙනාවත්, ක්‍රම වෙනස් කරත්, මණ්ඩල පිහිටුවා ගත්තත් ඵලක් නැත්තෙ. තමන් විසින් ඉටු කළ යුතු කොටස කිරීමත් නීත්‍යානුකූලව ජීවත්වීමත් වීර වැඩක් සේ නොදකින දාට, තමන් ගන්න පඩියට කරත යුතු සේවයක් විදියට තම මෙහෙය දකින්න පුළුවන් වෙච්ච දාට, එහෙම අය රටේ වැඩි වෙච්ච දාට රට ඉබේම වෙනස් වෙනවා. අපිට කරන්න පුළුවන් එහෙම මිසක් වෙන කිසිම විදියකින් රටක් හැදෙන්නෙ නැහැ කියලා පෙන්වා දෙන එක විතරයි. තවත් විදියකින් කිව්වොත්, තම ආරක්ෂාව, තම දියුණුව හා තම සතුට රඳන්නේ අනුන්ට දාසකම් කරලා අත පල්ලෙන් දෙන සන්තෝසම් බලාපොරොත්තු නොවී තම යුතුකම් හා වගකීම් මොනවා දැයි වටහා ගෙන ඒවා තම තමන් විසින් ඉටු කරන දවස උදා වූවාම. නොදියුණු රටවල් මේක තාම වටහා ගෙන නැති නිසා තාමත් නොදියුණුයි. තමන් හැදෙන්නෙ නැතිව අනුන් හදන්න යද්දී ගමේ චන්ඩි පාර්ලිමේන්තු එන එක නවත්වන්න බැහැ.

  3. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 17, 2012 at 7:41 පෙ.ව.

    hariyata hari Aruni thanks oya mata e gana keewata , obata subadawasak!

    • arunishapiro said, on ඔක්තෝබර් 17, 2012 at 8:20 පෙ.ව.

      Shanthi,

      සුජාතා ගමගේ කියලා අයෙක් පත්තරේකට පසුගියදා සම්මත කරගත් Local Government Elections Reform Bill වලින් සිදුවෙන අලුත් මැතිවරණ වෙනස ගැන මෙහෙම ලිපියක් ලියලා තියෙනවා දැක්ක.

      ඒ ලිපියේ සඳහන් මේ කාරණා සමඟ මාත් එකඟයි:

      මැතිවරණ ප්‍රචණ්ඩතා සහ බලයට පත්වෙන අය වගකීමෙන් තොර වීම මැතිවරණ පැවැත්වෙන විදිය ගැන වූවක් නෙමෙයි. මේ දේවල් සිද්ධ වෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය තම පුද්ගලික වාසි සඳහා යොදා ගන්නා අය ඉන්න නිසයි. ලාභ සොයන්න හැකියාව ඇත්තේ දේශපාලනයෙන් යැයි හිතන විදිය වෙනස් වෙන්නේ නැත්නම් මොන තරම් නීති සංශෝධනය කළත් ඵලක් නැහැ. ප්‍රචණ්ඩත්වය සහ ඒ ප්‍රචණ්ඩත්වයට හේතු වන ගිජුබව වෙනත් ආකාර වලින් ඇති වීම වළක්වා ගත නොහැකියි. අලුත් පනතෙන් සිද්ධ වූයේ නරක දේශපාලනය නිසා තිබිච්ච හොඳ පනතක් නරක් වීමයි.

      දැන් එයා යෝජනා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. නමුත් යම් සිවිල් සංවිධාන හෝ පක්ෂයක් තුලින් ම එය කරන්න ගිහින් තමයි ලෝකයේ මෙතෙක් රටවල් බොහොමයක් පවතින මුග්ධ දේශපාලන පක්ෂ සතු බලය අවම කරන්න අපොහොසත් වූයේ කියා තමයි මම සිතන්නේ. අපි යම් සංවිධානයකට බැඳිච්ච ගමන් අපේ බලය ඒ සංවිධානයේ වූ ඉලක්ක අතර මැකී යනවා. අපේ සංවිධානයට මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා කියල ඒ සංවිධානය එතකොට හදන්නේ අපේ කැමැත්ත නොතකා එයාලගේ ඉලක්කයට යන්න. මොකද, හැම සංවිධානයක් තුල ම මූලිකව කටයුතු කරන ටික දෙනා තමයි සංවිධානය යන දිශාව තීරණය කරන්නේ. එතකොට වෙන්නෙ අපි මේ සංවිධානයට අකමැති වෙලා අනිත් සංවිධානයට පනින ගෙම්බෝ වීම. මම හිතන්නේ හැකි තරම් චන්ද අයිතියක් ඇති පුද්ගලයා කිසිත් සංවිධානයකට හෝ පක්ෂයට නොබැඳී සිටින අයෙක් වෙද්දී එයාව තමන්ගේ සංවිධානයට ගන්න වෑයමක් සෑම සංවිධානයක් තුලින් ම ඇතිවෙනවා. සාමාජිකයන් නැති සංවිධානයකට කිසිත් කරන්න හැකියාවක් ද නැති නිසා.

      මැතිවරණයක් ළං වෙන තුරු පැත්තකට නොබැඳී ඉන්න අයට, පැත්තකට වැඩ නොකරපු අයට චන්දය දැම්මට පස්සේ කැමති පැත්ත දිනුවත් දේශපාලන වාසි නැහැ!!!! ඒත් පුද්ගලික වාසි සඳහා බලය අල්ලා ගන්නා අයට බනින අපි, පුද්ගලික වාසි තකා මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ යෙදෙන අයට බනින අපි, අපි එහෙම නැහැයි පෙන්වන්නේ වෙන කොහොම ද?!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: