අරුණි ශපීරෝ‍ වෙතින්

පරම මිනිසා පිළිඹිබු කරන මූලප්‍රභවය නොහොත් අයින් රෑන්ඩ් ලියූ The Fountainhead

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 17, 2012

අයින් රෑන්ඩ් ලියූ The Fountainhead පොත ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි. ලෝකය පුරා මිලියන 400 කට වඩා පොත් විකිණිච්ච, 2011 දී ඩොලර් බිලියනයක වත්කමක් උපයන්නට සමත් වූ ජේ. කේ. රෝලින්ස්ගේ හැරී පොටර් පොත ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි.

මේ තවත් ප්‍රසිද්ධ පොත් කිහිපයක් ප්‍රතික්ෂේප වූ වතාවන්: ස්ටීවන් කින්ග් ගේ මුද්‍රණය වූ මුල් ම නවකතාව Carrie 30; Jack Canfeld and Mark Victor Hansen ලියූ Chicken Soup for the Soul 140; Diary of Anne Frank 16; Margaret Mitchell ලියූ Gone with the Wind 38; Jonathan Livingston Seagull, Thor Heyerdahl ලියූ Kon-Tiki 20; Meg Cabot ලියූ The Prncess Diaries 17; Madeleine L’Engle ලියූ A Wrinkle in Time 26; John Grisham ලියූ A Time to Kill 28.

මේ අය කිසිවෙක් දේශපාලනඥයන් පසුපස ගොස් තම නිර්මාණයට තල්ලුවක් ඉල්ලුවේ නැත!!!!

ඔවුන්ගේ නිර්මාණ කුලියට ගෙන තම දේශපාලන අදහස් ප්‍රචලිත කරගන්නට දේශපාලනඥයන් උත්සාහ කළේ ද නැත!!!!

ධනවාදය උතුම් යැයි ද, එයින් ම පමණක් සමාජයේ සියළු වැසියන්ගේ සුභ සිද්ධිය සාධාරණ ලෙසින් ඉටු වෙන්නේ යැයි ඉතා පැහැදිලිව පෙන්වා දුන් අයින් රෑන්ඩ් දේශපාලන ගැතිවාදයෙන් බඩ තඩි කරගන්නා මුදලාලිලාට විරුද්ධව සටන් කළ අයෙක් බව බොහෝ දෙනා නොදකිති. ඇය ලියන The Fountainhead නවකතාව Howard Roark නම් වූ ගොඩනැඟිලි නිර්මාණ ශිල්පියා වටා ගෙතෙන්නකි. ඔහුට ගොඩනැඟිලි ඉදිකිරීම ගැන තමන්ට කියා දෘශ්ටියක් තිබිණ. ධනය ගොඩගහන්නට ගිජු නොවූ ඔහු බඩගින්නේ හා සීතලෙන් වෙව්ලමින් සිටියත් තම නිර්මාණ ශක්තිය මිලට යට කළේ නැත. ඔහුගේ චරිතය සද්ගුණයේ පරම අගය ලෙස පිළිඹිබු කරන්නේ ධනවාදය අගයන අයින් රෑන්ඩ්.

දැන් මෙහෙ පුළුල් තිරයේ දිස්වෙන Atlas Shrugged කතාවේ එන මූලික තේමාව මෙහි හවර්ඩ් රෝක් තුලින් ද දිස්වේ. එනම් වෙන කිසිවකු වෙනුවෙන් නොව තමා ජීවත්වනුයේ තමන් වෙනුවෙන් බවයි. බොහෝ දෙනෙක් එසේ කියූ කල එය තමන් දන්නා ආත්මාර්ථකාමී අදහසින් දකිති. නමුත් ලෝකය දියුණුවට පා තබා ඇත්තේ අනුන්ට උවමනා විදියට ජීවත් වූ අය නිසා නොවේ යන්න පැහැදිලිව දකින්නට හැකි වූ දාට, දේශපාලනඥයන්ට වැඳ වැටී ඔවුන් වෙතින් තම යහපත සැලසෙනවා යැයි සිතන මුලාවෙන් ද ගැලවෙන්නට හැකි වෙයි!!!!!

“තම අනාගතය කුමක් වුවත්, ජීවිතයේ අරුණෝදයේ දී, මිනිසා සොයන්නේ මිනිස් ස්වභාවයේ සහ තම ජීවිතයේ තමනට දියුණු කළ හැකි වූ තම ශක්තියේ උදාර දෘශ්ටියකි.” -අයින් රෑන්ඩ්

බොහෝ දියුණු වෙමින් පවතින රටවල් වල පුද්ගල පරමාර්ථ සාක්ෂාත් කරදිය හැක්කේ රජයට හා දේශපාලනඥයන්ට යැයි හැඟීමක් සමාජයේ බහුතරයට ඇත. බොහෝ දියුණු වූ රටවල් එසේ දියුණු වූයේ තම පරමාර්ථ සාක්ෂාත් කරගැනීම තමන්ට කළ හැකියාවක් යැයි සිතූ අය සිටි නිසායි. එහෙත් සංවර්ධිත ලෝකයේ 1951 දී පමණ යුරෝපීය වැසියන් රජයන්ට හා දේශපාලනඥයන්ට තම දියුණුව සාක්ෂාත් කරන බලය පැවරෑහ. ප්‍රතිඵල වැඩි කාලයක් නොගිහින් දැක ගන්නට ලැබී ඇත. බෙදන තරම අඩු කරන පිළිවෙත් ගෙනාවාට බංකොළොත් බවින් ගැලවිය නොහැක. රජය නොවේ තමන්ටයි තම හැකියාවන් දියුණු කරත හැක්කේ යන විශ්වාසය නැවත ස්ථාපිත කරන සේ මෙතෙක් ගෙන යන මිනිස් උත්සාහය මොට කරන පිළිවෙත් වෙනස් විය යුතුය. බංකොළොත්භාවය කරා යන ආර්ථික අර්බූදයක හිර වී ඉන්නා යුරෝපීය යුනියනය බේරා ගැනීමට නොබෙල් සාම තෑග්ගක් දුන්නාට බැරි ය!!!!!

ලෝකය පුරා දාම අවන්හල් ඇති Colonel Sanders ලා ලොව අඩුයි. ඔහු අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් තම හැකියාව හඹා ගියෙකි. සමාජ සුබ සාධනයෙන් ඔහුට ලැබි $105 ක චෙක්පත රැගෙන ඔහු තම ජීවිතයේ දී තමනට දියුණු කරගත හැකි තම ශක්තියේ උදාර දෘශ්ටිය ගැන යමක් කරන්නට ගත් උත්සාහය අද ලොව පුරා ඇති KFC අවන්හල් ය. ඔහු ඒ වෑයම පටන් ගන්නේ වයස 65 දී!!!!

Walt Disney ලොවට දායාද කළේ ඩිස්නි ලෝකය සහ ඇඳුම් පැළඳ ගත් මීයෙකි!!!! ඔහුට නිර්මාණශීලීත්වයක් නැතැයි කියා ප්‍රවෘත්ති කතුවර තනතුරෙන් පහ කරන ලදි. ඔහුගේ ප්‍රථම animation කොම්පැණිය බංකොළොත් විය. ඩිස්නි ලෝකයට අයෝජනයක් සොයා ගන්නට කළ උත්සාහයන් 302 වතාවක් අසාර්ථක විය.

මයිකල් ජෝර්ඩන්ට ඔහු සිටි හයි ස්කූල් බාස්කට්බෝල් කණ්ඩායමේ සෙල්ලම් කරන්නට ඉඩක් ලැබුනේ නැත. “මගේ වෘත්තියේ දී මට මිස් වුනු ෂොට්ස් නමදාහකට වඩා වැඩියි. පැරදිච්ච තරඟ 300 කට වඩා වැඩියි. 26 සැරයක් මට තමයි ලැබුනේ තරඟය දිනන ෂොට් එක දාන්න, ඊට මා සමත් වූයේ නැහැ. මගේ ජීවිතයේ දී මම නැවත නැවත නැවතත් පැරදුනා. ඒ නිසයි මම ජයගත්තේ.”

දිනන්නේ කුමන වෑයම් වලින් ද පරදින්නේ කුමන වෑයම් වලින් දැයි රජයක් තීරණය නොකරද්දී එය කැපවීමෙන් ජයගන්නා අය බිහිවේ. කැමැත්තෙන් ම ඒ නිර්මාණ මිල දී ගන්නා අය ලොව පුරා සිටින නිසා, මේ කැපවූවන්ගේ වෙහෙසෙන් අනිකුත් අයටත් රස්සාවල් ලැබේ. නමුත් දුෂ්ට මිනිසා පරම මිනිසාව දකින්නේ වාසනාව නිසා ලොව ජයගත්තෙක් හැටියටයි. තම ශක්තිය උරගා බලන කැපවීමක් නැතිව තමන් වාසනාව නැතිව උපන් නිසා රජය විසින් තම උවමනා සාක්ෂාත් කළ යුතු යැයි සිතයි. දේශපාලනඥයන්ට හේත්තු වී ජීවිතය ජයගන්නට කෙටි ක්‍රම සොයයි.

ධනවාදී සමාජයක දේශපාලන ගැතිවාදයකින් නෙමෙයි යමක් සාක්ෂාත් කරගන්නේ. ධනවාදී සමාජයක තම දක්ෂතාවය සහ උත්සාහය තුලින් තමන් කැමැත්තෙන් කරනා නිර්මාණයක් එය මිල දී ගන්නට කැමති අය විසින් කැමැත්තෙන් දෙන මුදලකට විකිණීමක් සිද්ධ වෙන්නේ. ඔව්, තරඟය දැඩියි. ඔව්, පරාජය වෙන අවස්ථාවන් නොමඳයි. එහෙත් ඒ නිසාම තමයි ලෝකේ පුරාම දකින්නට හැකි ජනතාව කැමැත්තෙන් මුදල් දී ගන්නා වැඩි නිර්මාණ ඇමෙරිකාව තුලින් බිහිවෙන්නේ!!!!!!

තමන්ගේ කැපවීමේ තරමට තම දියුණුව සලසා ගැනීමට ඉඩක් ඇති සමාජයක් එහි සියළු වැසියන්ට සම තලයක තරඟ කරන්නට ඉඩ දෙන සමාජයකි. අරයාගෙන් අරගෙන මෙයාට දී සමතලයක් කෘතිම ලෙසින් හදන්නට ගිය හැම අවස්ථාවක දී ම සමාජයක්, රටක් හා යුනියනයක් ද බංකොළොත් භාවයට හා දාස භාවයට වැටුණු බව ඔප්පු කරන්නේ ඉතිහාසයයි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 17, 2012 at 10:47 පෙ.ව.

    ithamath pahadili Aruni. ow anun gen gena nathi ekata dena sampardaya thulin minisun kammaliyan wenawa vitharak nowei hakiyawan diunkaraganneda natha, siyalla rajayen devi kiya balan innawa..Thanks Aruni

  2. තිසර said, on ඔක්තෝබර් 17, 2012 at 11:58 ප.ව.

    බොහෝ දියුණු වෙමින් පවතින රටවල් වල පුද්ගල පරමාර්ථ සාක්ෂාත් කරදිය හැක්කේ රජයට හා දේශපාලනඥයන්ට යැයි හැඟීමක් සමාජයේ බහුතරයට ඇත

    මට මේ කරුණු එක්ක කොහොමත් යම් එකඟතාවයක් තියනවා. මමත් ඔය මගේ සතුට මගේ කැමැත්තෙන් හොයාගෙන ආපු කෙනෙක් නිසා. ධනවාදයේ උපරිම තත්වය තුලදි (ඔබ කියන පරිදි රජයක් කිසිම සමාජ සුබසාධන ක්‍රියාවලියකට මැදිහත් නොවන තත්වයකදි ) සමාජයේ යම් කොටසක් එයි උපරිම ප්‍රයෝජන ලබන අතර, යම් කොටසක් එයින් උපරිම පීඩාවට පත්වීමත් සිදුවන බවයි මගේ අදහස. ලෝකයේ ස්වභාවය සලකලා බැලුවත් ඒක හරි කියලා මට හිතෙන්නේ. සෑම කෙනෙක්ම උපරිම සංතර්පනය වන ක්‍රමයක් පවතින්න විදිහක් නැහැ… ඒක සාමාන්‍ය ස්වභාවධර්මයටත් විරුද්ධයි. බලවතා ඉහලට ඒම කියන ඒක කොයි දේටත් පොදුයි, දුබලයා අනිවාර්යයෙන්ම පීඩිතයෙක් වෙනවා. අරුණි කියන ක්‍රමයෙදි වෙනස් වෙන්නේ බලවත් වෙන්නේ කොහොමද කියන ක්‍රමවේදය විතරයි. ධනයෙන්ද, දේශපාලන බලයෙන්ද, ශ්‍රමයෙන්ද, ජවයෙන්ද, බුද්ධියෙන්ද කියන නිර්ණායකය විතරයි. කොයි නිර්ණායකයෙන් බලවතෙක් උනත් ඊට ගැලපෙන පීඩිත පන්තියක් සාපේක්ශව නිර්මාණය වෙනවා.

    පොදු එකඟතා මත, බලය තීරණය කරන නිර්ණායක තරමක් විකෘති කලාට කමක් නැහැ කියන මතයේ මම ඉන්නවා. බහුතර කැමැත්ත මත අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවා වලට, ආබාධිතයනට, අඩු ආදායම් ලාභීන්ට, පොදුවේ සහන සැලසෙන ක්‍රමවේදයක් තියන එක හොඳයි. කොයි වාදය ගෙනාවත්, එය පැහැදිලිකරගන්න බැරි, ඒ අනුව ජීවිතය හැඩගසා ගන්න බැරි මිනිස්සු අපි අතර ඉන්නවා. ඒ නිසාම ඔවුන් ඒ වාදය තුල අසරණයන් හෝ පීඩිතයන් වීමට ඉඩදීම මිනිස් කමට නිගාවක්. එක් එක් පුද්ගලයා පැමින තම කැමැත්තෙන් ඔවුන්ට සහන සැලසීම කියන්නේ, අනිවාර්ය නොවන පැවතිය හැකි හෝ පැවතිය නොහැකි තත්වයක්. ආදායම් තත්වය අනුව සියලු දෙනාගෙන්ම යම් මුදලක් එකතු කර (income tax), ඒය පොදුවේ පිලිගත් ක්‍රමවේදයන් මගින් අවශ්‍ය තැන් වලට ලැබෙන්න සැලැස්වීම සමාජයක අත්‍යාවශ්‍ය අංගයක්. මම පිලිගන්න සත්‍ය තමයි මේක.

    අන්තිමට නිකන් ෆන් එකට වගේ මෙහෙම කියන්න හිතෙනවා… අර සුබසාධන මුදල තිබ්බේ නැත්නම්, අද KFCත් නැහැනේ… 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 18, 2012 at 7:10 පෙ.ව.

      තිසර,

      ධනවාදී ආර්ථික ක්‍රමයක දී රජයේ කිසිම මැදිහත්වීමකින් සිද්ධ නොවන සුබ සාධනය සමාජයේ තියනවා. එතකොට තමයි තිසරට, මට, අපි වගේ අපේ සතුට අපේ කැමැත්ත අනුව සොයා ගිය අනිත් අයට, උපයා ගත් සොච්චම හරි පොදිය හරි අපි කැමති විදියට බෙදා දෙන්නෙ කියලා අපිට තීරණය කරන්න හැකියාව ලැබෙන්නේ. එදාට අපිට වාද කරන්න පුළුවන් අධ්‍යාපනයට වැය කරන්න සල්ලි නැති ළමයි වෙනුවෙන් තෑගි කරනවා ද, ක්‍රීඩාවට හපන් ළමයි වෙනුවෙන් තෑගි කරනවා ද, … යනාදිය ගැන. තමන් ජීවත්වෙන පළාතේ බෙදනවා ද? නැත්නම් ඈත එපිට රටක නොදන්නා අයට බෙදනවා ද? රෙඩ් ක්‍රොස් වලට ද? මායිම් නැති ඩොක්ටර්ස්ලාට ද? … යනාදී වශයෙන්. අපේ කැමති විවිධ වන නිසාම විවිධ උත්සාහයන් වල නියැළෙන අයට අපේ අතින් උදව් වෙනවා. රජයක් මැදිහත් වෙලා ද බෙදා දෙන්නේ වෙහෙසෙන අයගේ ධනයෙන් කොටසක් උදුරලා. බෙදන අය සෑර්ලා වෙන්නයි. නමුත් උපයා ගන්නා අයට තෑගි කරන්නේ මොන සුබ සාධන උත්සාහයට දැයි තීරණය කරන්න ලැබෙද්දී දූෂණය හා නාස්තිය අවමයි, සමාජයට ලැබෙන යහපත වැඩියි. හොඳ අධ්‍යයනයකින් එය ඔප්පු කරලා තියෙන්නෙ මේ ගැන 2009 ආර්ථික විද්‍යාවට නොබෙල් තෑග්ග දිනපු Elinor Ostrom.

      සමාජයක ඉන්න සියල්ලන්ව ම සන්තර්පණය (satisfy) කරන්න හැකියාවක් නැතිකම තමයි ස්වභාව ධර්මය. ඒත් සියල්ලන්ගේ ම අයිතීන් ආරක්ෂා කරන්නට කැප වූ මනුෂ්‍ය කොට්ඨාශයක් ඉන්නා සමාජයක, ඒක ව්‍යවස්ථාවෙන් සහ අවබෝධයෙන් කරන අය වැඩිවෙද්දී, බලවත් හා දුබල කියා දෙකොටසක් නැහැ, ඔවුන් සියල්ලන්ම මනුෂ්‍යයන් නිසා අයිතීන් උල්ලංඝනය නොවන්නා වූ අය. මොකද ඔවුන්ගේ අයිතීන් අනික් අය රකින්නේ හා පීඩකයෙකුට උල්ලංඝනය කරන්න ඉඩ නොදෙන්නේ අවබෝධයෙන්.

      ධනවාදී ක්‍රමයේ දී අයෙකුට හෝ කට්ටියකට බලවත් වෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. එහි පැහැදිලිව ම කියන්නේ තම කැමැත්ත සොයා යන්නට තම වෙහෙස, කාලය හා මුදල් ආයෝජනයෙන් තමාට අවදානමක් ගත හැකියි යන්න සමාජයේ හැම අයෙකුට ම ලබා දීම. එහෙම යන්න අවස්ථාව හැමෝටම ලැබෙන නිසා අයෙකුට තවකෙකුට වඩා බලවත් වීමට හැකියාවක් නැහැ. කැමැත්තෙන් දුප්පත් බවින් ඉන්නත් අයිතියක් තිබ්බාට ඒ ඔවුන්ට අවස්ථා නොමැති වීම නිසා නෙමෙයි, ඒ නිසා පීඩිත පංතියක් කියා එකක් නැහැ. පාලකයෙක් හෝ පාලක පිරිසක් මැදිහත්වීමේ දී තමයි පාලක අනුග්‍රහයෙන් බලය ලැබෙන චණ්ඩි පිරිසක් ඇතිවෙන්නේ. තමන් උපයන්නේ නැති සම්පත් අනුන් ගෙන් අරගෙන තව අයට බෙදා දෙන මැදිහත්වීමේ යෙදෙන පාලකයාට බලයේ ඉන්නට නම් එසේ බෙදා දෙන දේවල් ලැබෙන බලාපොරොත්තුවෙන් ජීවත්වෙන පීඩිත පංතියක් අවශ්‍යයයි. ඒ නිසාම බෙදා දෙන්නට මැදිහත්වෙන පාලකයන් ඉන්නා සමාජ ක්‍රමයේ දී තමයි පීඩිත පංතියක් කියා කට්ටියක් කාලයෙන් කාලයට ලේබල් ගසා ඔවුන් වෙතින් තමයි පාලන බලයට පත්වෙන්නේ. පීඩිත පංතිය නැතිවුනොත් ඔවුන්ට පාලන බලයක් ද නැහැ!!!!

      //බහුතර කැමැත්ත මත අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවා වලට, ආබාධිතයනට, අඩු ආදායම් ලාභීන්ට, පොදුවේ සහන සැලසෙන ක්‍රමවේදයක් තියන එක හොඳයි. // ඒකට ආණ්ඩුව මැදිහත්වෙන්නේ කුමකට ද? ඕනෑ තරම් සමාජ සුබ සාධන සංවිධාන තියෙන විට? මේක තමයි Elinor Ostrom පෙන්වා දුන්නේ. වඩාත් ඵලදායී ලෙස ඊට සමත් වී තියෙන්නේ ආණ්ඩු වලින් නෙමෙයි රාජ්‍ය නොවන සංවිධාන කියලා.

      අමතක කරන්න එපා, එයා ලබන්නේ එයා වයස 65 වෙනතෙක් රජයට ගෙවූ ආදායම් බදු වලින් සොච්චමක්. සමහර විට ඒ ආදායම් බදු ගෙවන්න නොවුනා නම් ඩොලර් 105 කට වඩා ඉතිරි කරන්නට ඔහුට හැකිවෙන්න ඉඩ තිබුණා. අද මේ විකල්පය තමයි ඇමෙරිකන් තරුණ පිරිස ඉල්ලා සිටින්නේ!!! අනික, රජයේ සුබ සාධන තිබ්බෙ නැත්නම් එයාට එයාගේ පල්ලියෙන්, පංසලෙන්, ඥාතියෙක් හෝ ඔහුගේ වෑයම ගැන විශ්වාසයක් ඇති ආයෝජකයෙක් වෙතින් ඒ මුදල් ලබාගන්න ඔහුට හැකි නොවෙනවා ද? කොමියුනිස්ට් චීනයේ රාජ්‍ය භාණ්ඩාගාරය එක්සත් ජාතීන්ගේ සමුළුවකට යන්න ගුවන් ටිකට් පත් ගන්න පවා මුදල් නැතිව බංකොළොත් වුනාට පස්සේ, චීනයේ සාමාන්‍ය මිනිස්සු රටෙන් පිටවෙලා යන්න අවසර ලැබුවාම, ඔවුන් ගමේ හැමෝගෙම සල්ලි එකතු කරලා එක්කෙනෙක් මුලින් යවලා, ඊට පස්සෙ ගමක් ඉතාලියට යවන්න සමත් වෙන කතාවක් මම මීට කළින් මේ අඩවියේ ලියා තියෙනවා. අපේ ලංකාවෙත් එහෙම සමත් වූ ගම්වැසියන් ගැන මම නම් දන්නවා. එක සූට්කේසයක් හා එක හොඳ කලිසමක් එක්ක රට ගිහින් සූට්කේසයත් ඒ හොඳ කලිසමත් තමන්ගෙ යාළුවට එවා ඔහුවත් ගෙන්වා ගත් දිරිය මිනිස්සු ලංකාවේ රජයෙන් බෙදා දුන්නක් ලැබෙන කම් බලාගෙන සිට දියුණු වූ අය නෙමෙයි. ලංකා ආණ්ඩුවේ අයහපත් ක්‍රමවේද හා නාස්තිය නොමැති වුවා නම් ඔවුන් අද පිටරටවල සාර්ථක මිනිස්සු නෙමෙයි, එයාලා අද සාර්ථක ලංකාවක සාර්ථක මිනිස්සු.

  3. දේශකයා said, on ඔක්තෝබර් 18, 2012 at 6:00 පෙ.ව.

    හරිම වටින තොරතුරු ටිකක්. ස්තූතියි. මට හිතෙන්නේ ඔබ ළග විශ්වයම අතැඹුලක් සේ ගත හැකි බවයි. තරහ නොවන්න සමහර විට කමෙන්කටුවක් නොදැම්මත් ඊයෙන් ලැබෙන නිසා අනිවා කියවමි. ජය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: