අරුණි ශපීරෝ‍ වෙතින්

උපදින්නට පෙර පෙකනිවැල කපන්නට බැරිලු

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 19, 2012

මෙය ලංකාවේ ප්‍රස්තාව පිරැළුකි. යමක ප්‍රතිඵල දකින්නට නම් ක්‍රියාවක් නිම කළ යුතුයි.

නිම කළ ක්‍රියාවක ප්‍රතිඵල දැකීමෙන් පසු එහි ගුණ අගුණ ගැන තීරණයක් ගන්නා මිනිසුන් තමයි ලොව බහුතරයක් ඉන්නේ. හැමවිටම මිනිස් සත්වයා තෝරාගන්නේ තම දැනුම අනුව තමන්ට යහපතක් වෙනවා යැයි තීරණය කරන දැයයි. සමහර රටවල බහුතරය නම් කියන්නේ හැමෝටම යහපත් වෙන දැය තෝරාගන්නවා කියන බොරුවයි, එහෙත් කරන්නේ සත්‍ය මිනිස් ගතියයි!!!!

කොතරම් පක්ෂපාතී වුවත් තම පැත්තේ ක්‍රියාවන් වලින් අයහපත් ප්‍රතිඵල ලැබෙද්දී කෙමෙන් කෙමෙන් පැත්තෙන් ඈත්වීම මිනිස් ස්වභාවයකි. එයින් කියැවෙන්නේ තවත් පැත්තකට හේත්තු වෙන බවක් නොවේ. ප්‍රතිඵල ලැබෙන පැත්තක් නැති කළ මිනිසා අයිනක් අල්ලා ගනියි. තීරණයක් ගැනීමෙන් ඵලක් නැති නිසා තීරණයක් නොගෙන සිටියි. එවිට සමාජයේ බහුතර ක්‍රියාවන් සිද්ධ වෙන්නේ පැත්තක් අල්ලාගෙන ඒ පැත්තේ ආශීර්වාදයෙන් තම මල්ල පුරවා ගන්නා අය අතින්.

බහුතර ක්‍රියාවන් කරත් ඔවුන් සුලුතරයකි. ඔවුන් උපදින්නට පෙර ඔවුන්ගේ පෙකනිවැල කපන්නට බැරි ය. තවත් විදියකින් කියන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් නිමවන්නට පෙර එහි ගුණ අගුණ ගැන තීරණයක් ගන්නට මිනිසාට නොහැකියි. ඔවුන් කියනා සම්පත් නොලැබෙන විට, ඔවුන් කියනා ආශ්චර්යය දකින්නට නොහැකි විට, ඔවුන්ගේ බෙහෙත් වලින් සියළු රෝග දුරු නොවෙද්දී මිනිස් ගතිය නම් ප්‍රතිඵල නැති ක්‍රියාවේ යෙදෙන උත්සාහයේ තවත් නියැළී නොසිටීමයි. ක්‍රියාව ඉටු වූවාට පසු ප්‍රතිඵල රහිත බව දැක පෙකනිවැල කපා අයින් වීම මිනිස් ගතියයි.

බූවාගේ සිතුවිලි ! වල “අයියෝ ෆොන්සේකා” තත්වය ඇත්තේ ලංකාවේ දේශපාලනයේ පමණක් නොවේ. ලංකාවේ සියළු ක්ෂේත්‍රයන්හි මේ ස්වභාවය දකින්නට හැකියි. බලයේ පවතින ආණ්ඩුවට හේත්තු නොවුනහොත් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකි යැයි සිතන ලාංකික හුරුව හිතන්නට හැකි මොළය පාවිච්චියට නොගන්නා සත්‍යයක් සේ අල්ලා ගත්තකි. ඉතින් අසාර්ථක ලෙසින් නැවත නැවතත් උත්සාහයේ යෙදෙන්නේ තම ජීවිතය සාර්ථක කරන්නට නඟින්න ඉනිමඟක් හදන්න හැකි යැයි කියන ආණ්ඩුවක් පත්කරගන්නා මුලාවට. අර කළින් කියූ බහුතර ක්‍රියාවන් කරන සුලුතරයගේ සාර්ථකත්වය රඳන්නේ එන එන ආණ්ඩුවට හේත්තු වෙමින් පමණින් බව දකිනා මිනිසා මෝඩයෙක් නොවේ. එහෙත් විකල්පය නොදකින්නෙකි!!!!!!

ලංකාවේ, යුරෝපයේ සහ ලෝකයේ අද බලයේ ඉන්නා දේශපාලන නායකයන්ගේ උත්සාහය තවමත් රටේ සෑම සියළු වැසියාගේ ම ජීවිතය සාර්ථක කරගන්නට නඟින්න හැකි ඉනිමං හැදීමට තමන් දන්නවා යැයි මුලාව පැතිරීමයි!!!! එවිට පුරවැසියාව සිය මොළයෙන් සිය ඉනිමඟ සාදා ගැනීමෙන් අහක් කර, කවුරු හෝ ඉනිමඟක් හදා දෙන තුරු බලා සිටින රූකඩයෙක් කරගත හැකියි.

මිනිසුන්ට තමන් විසින් යමක් නිරාකරණයට තම මනස මෙහෙයවන්නට හැකිබව අවබෝධයට ඉඩක් නොලැබෙන්නේ තොරතුරු සොයා ගැනීමට නොදත් නිසයි. එක පැත්තකින් යුනියන් සාමාජික ගුරුවර පරම්පරාවක් තමන් උගත් දෑ ගිරව් සේ කියමින් වෙනස් විදියකට හිතන්නට ඉඩක් නොදෙති. තවත් පැත්තකින් ජනමාධ්‍ය විසින් වපුරවන්නේ හැමදාම ගහන බයිලා පමණි. අදහස් ප්‍රකාශයට තහනම් වැටෙනා විට ජනමාධ්‍යයෙන් ද ඇහෙන්නට ලැබෙන්නේ එකම ප්‍රවෘත්තිය බලයේ ඉන්නා අයගේ උවමනාව අනුව හැම නාලිකාවෙන් ම ප්‍රචාරය වෙන අන්දමයි. අන්වර්ථ නාම වලින් බ්ලොග්කරුවන් අතින් ලියැවෙන ටික කියවන්නේ සමාජයේ සොච්චමකි. මිනීමරා හෝ ආණ්ඩුවේ සහායෙන් නිදහස් වී ඉන්නට හැකි යැයි කටකතා පතුරවා යෑම බහුතර ජනතාවක් නිහඬ කරන්නට ප්‍රමාණවත්!!!!

ඒවා එසේ සිද්ධ වෙද්දී, ඒ සමාජය පරිහානියට යයි. සම්පත් දියුණු කරන බහුතර මිනිස් උත්සාහයන් සිද්ධ වෙන්නේ නැත. පැත්තට හේත්තු වූ සුලුතරය හැමෝටම යහපතක් කරන නාමයෙන්, වේගයෙන් අඩු වී යන සම්පත් වලින් තමන්ගේ මල්ල පුරවා ගන්නට පොරකති. මන්ද පරපෝෂිතයන් වූ ඔවුන් දන්නේ තියෙන සම්පත් සූරාකන්නට පමණි. ක්‍රියාවන් ඵල රහිත යැයි දැක පෙකනිවැල කපා දමා වික්ෂිප්තව අයින් ගසා ඉන්නා බහුතරයට කුල්මත් වෙන්නට, උද්යෝග්‍යයක් ඇති කරගන්නට, නිකම් බලාගෙන නොසිට තමන් වෙහෙසක් ගන්නට, ලොව පැරණිතම දර්ශනය, ධර්මය, මාර්ගය කියා දෙන්නට කෙනෙක් ඉදිරියට එන්නේ සාර්ථකත්වය ඇත්තේ එකම එක ඒ මාර්ගය පමණක් බව එයාට ද අවබෝධ වෙන දා ට ය.

අද ඇමෙරිකාවේ සුලුතරයට අනගි ව්‍යස්ථාවක බල මහිමයෙන් එයාව අතුරැදහන් කළ නොහැකියි. එය නොහැකි නිසා ඔවුන් එවැන්නෙක් ඉන්නවා යැයි නොදැක්කා සේ අහක බලා ගෙන සිටිති!!!!! නමුත් 2012 ඇමෙරිකන් ජනාධිපතිවරණය තීරණය කරන්නේ මේ පුද්ගලයාය.

ලංකාවේ මෙවැන්නෙක් බිහිවන්නේ කවදා ද?!!!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on ඔක්තෝබර් 19, 2012 at 11:46 පෙ.ව.

    ලංකාවේත් මෙවැනි ක්‍රමයක් 77 දක්වාම ගුණාත්මක බවින් අඩු වැඩී වීම් යටතේ පවා තිබුනා.. නමුත් 77 දී එය අහෝසි වනවා.. දැන්නම් තියෙන්නේ රාජාන්ඩුවක්.. ඉතින් පෙර රජ සමය වගේ කට ඇරගෙන බලාන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නෑ.. වැඩවසම් ක්‍රමයට විකල්පයකුත් එකෙක් ගාවවත් නෑ..

    වාසනා දිනේකී ….. මේක පාමූ තුටින්…

    • arunishapiro said, on ඔක්තෝබර් 19, 2012 at 12:28 ප.ව.

      Maathalan,

      මොන ක්‍රමය ගැන ද මාතලන් කියන්නේ?

      රාජාණ්ඩු වලින් පස්සෙ නිදහස ලැබූවා යැයි කියන ඩඩ්ලි සේනානායකගේ හාල් මිල දෙගුණයකින් ඉහළ යවපු ආණ්ඩුව පෙරලා දාන්න සමසමාජ පක්ෂයකට හැකිවීම ද?

      සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පෙරට ගේනවා කියා බලය අල්ලාගෙන රටක ජනතාවක් අදටත් හණමිටි අදහස් කරපින්නා ගත් ලිං මැඬියන් කරන්නට බණ්ඩාරනායකට හැකිවීම ද?

      මිනිහා මැරිච්ච නිසා චන්දෙ ලැබී අගමැති වෙලා අපි නොබැඳි ජාතීන් කියා ගනිමින් චීනයට හා සෝවියට් යුනියන් පක්ෂපාතී වූ සිරිමා ආණ්ඩුවේ හත් අවුරුදු සාපය ද?

      මේ 77 න් පස්සෙ:

      නිදහස් වෙළඳපොලක් ගෙනෙනවා කියා ව්‍යවස්ථාව වෙනස් කරපු ජේ. ආර්. ආණ්ඩුවට හේත්තු වූ බඩතඩි මුදලාලිලාට අන්තර්ජාතික ව්‍යාපාර නාමයෙන් වෙළඳපොල කොටසක් අල්ලා ගැනීමට ලැබීම ද?

      අර මුල් බණ්ඩාරනායකගේ වැඩ පිළිවෙත් වෙනස් කරන්නට අකමැති නිසා වසර තිහක් දුවන යුද්ධයක සටන් වදින නාමයෙන් දේශපාලනයේ යෙදුනු අය බෝම්බ වලට හසුවීම ද?

      ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ගේ මුදල් හුවමාරුවට එරෙහිව ගෙනා බැංකු පිළිවෙත් වලට ලෝක ආණ්ඩු කැමති කරවා ගන්නට සමත් වීමෙන් යුද්ධයක් අවසන් කරන්නට පහසුවෙන් හැකිවීම නිසා අනෙක් සියළු තීරණ ගතහැකි බලය ද තමන්ට දැන් ලැබිය යුතු යැයි කීම ද?

      ඉනිමං හදන්න ගියේ නැති ආණ්ඩුවක් ලංකාවේ කිසිදාක තිබ්බා ද මාතලන්?!!!!!!

      • Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 19, 2012 at 12:58 ප.ව.

        යුද්ධය අවසන් කිරීම පිළිබඳව මා දරන්නේ වෙනත් මතයක් //ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ගේ මුදල් හුවමාරුවට එරෙහිව ගෙනා බැංකු පිළිවෙත්// වලට වඩා මං හිතන්නේ ලෝක දේශපාලන ආර්ථික බල තුලනය තුල චීනය ට හිමිවූ නව ස්ථානය අපේ යුද්ධයේ තීරණාත්මක සාධකය වුනා. ඇත්තටම මේ යුද්ධය දිනුවේ පුචි රටේ මහින්ද ,සරත් ෆොන්සේකා , ගෝඨාභය වගේ දුටුගැමුණු, රාවණා ලේ තියන වීර චරිත නිසා කියල හිතුවම අපිට පොඩි kick එකක් එනවා තමයි ඒත් මං හිතන්නේ චිනේ පිටිපස්සෙන් හිටපු නිසා ජේ ආර් ගහද්දි රජීව් උඩින් ඇවිත් පරිප්පු දැම්ම වගේ වැඩ කරන්න කට්ටිය පස්ස ගැහුවා.

        • arunishapiro said, on ඔක්තෝබර් 19, 2012 at 1:07 ප.ව.

          Kevin,

          සල්ලි නැතිව යුද්ධයක් දිනන්න බැහැ වගේ ම සල්ලි නැතිව ත්‍රස්තවාදයක් හෝ පුංචි වර්ජනයක් වුවත් දිනන්නත් බැහැ. ඇමෙරිකාව සහ කැනඩාව වෙතින් මාසකයට ඩොලර් මිලියන තුනක් විතර ඔවුන්ගේ ම අයට කරන බලහත්කාරකම් වලින් එකතු කරන්නට ඊලාම් අයට හැකි වූ වාර්තාවක් මට මතකයි. දැන් ඇමෙරිකන් හිර ගෙදරක ඉන්න රාජ් රාජරත්නම් ද ඒ මුදල් ආයෝජන කරන්නට සමත් වීමෙන් ඉහළට නැග්ග අයෙක් කියායි මා අසා ඇත්තේ.

          ඔව්, චීනය පසුපසින් සිටියාය කියන එකත් සාධකයක්. ඉන්දියාව සමාජවාදයෙන් අයින් වී ධනවාදී පිළිවෙත් වැඩියෙන් ක්‍රියාත්මක කරන මඟක යන්නට පටන් ගැනීමත් ඒ වගේ ම තවත් සාධකයක්. ධනවාදය යාන්තමෙන් හෝ ක්‍රියාත්මක වෙද්දී මිනිසා තමන් විසින් තම යහපත උදාකරගන්න යද්දී අනුන්ගේ වැඩ සටහන් වලින් තම යහපත සලසාගන්න කැපවීම අඩුයිනේ.

        • wicharaka විචාරක said, on ඔක්තෝබර් 19, 2012 at 1:17 ප.ව.

          කෙවින්, යුද්ධය දිනීම පසුපස තව කතා ගොඩක් තියනවා. මම ලංකාවේ ජීවත් නොවුනා නම් ඒ සියල්ල කියනවා. චීනය අපිට බදඩු දුන්නා තමයි. නමුත් ගුවන් හමුදාවට බදඩු දෙන්න පුළුවන් බටහිර රටවලට සහ යුක්රේනයට පමණයි. ඒවා ලැබීම එල්.ටී.ටී.ඊ. විසින් බ්ලොක් කරලා තිබුනම, පාකිස්තානය, ඉරානය, චෙකොස්ලෝවෙකියාව උදව්‍ කළා. යුද්ධය දිනන්න්න බැහැ කියන මානසිකත්වයේ සිටි හැමදෙනාවම හැම දෙනාම කියන්නේ මහා ඉහල සිට පහලට. බය නැතිකරලා යුද්ධය දිනන්න පුළුවන් කියන මානසිකත්වය ඇති කලෙත් එය ප්‍රායෝගිකව කර පෙන්නුවෙත් ජෙනරල් ෆොන්සේකායි. එකෙකුටවත් බෑ ඒ මිනිහගෙන් ඒ නම්බුව උදුරගන්ඩ. එතනින් එහා ටික කියන්න බැරි මාව අතුරුදන් වෙන්ඩ ඉඩ තියන නිසා.

          • arunishapiro said, on ඔක්තෝබර් 19, 2012 at 1:23 ප.ව.

            විචාරක,

            ඔව් විචාරක ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් දිනන මානසිකත්වයක් ඇති වූයේ නැත්නම් කොච්චර සල්ලි, යුද අවි හා වෙනත් ජාත්‍යන්තර මතවාද කොහෙන් ලැබුණත් වැඩක් නැහැ තමයි. ඊට ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කළේ සරත් ෆොන්සේකා යන්න ගැන වාදයක් නැහැ.

            ආර්ථික යුද්ධය ජයගත හැක්කේ ද එසේම පමණයි. එනම් ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් පටන් ගත යුතුයි. දක්ෂයෝ උපදින්නේ නැති බව අවබෝධයක් ඇති කර ගැනීම. දක්ෂයන් වෙන්නේ තම මහන්සියෙන් හා තම උත්සාහයෙන් යැයි අවබෝධයෙන් එසේ දක්ෂයන් වෙන්නට ඉඩක් ආර්ථිකයෙන් ලබා දීමෙන්. රජයක් විසින් දක්ෂයන් කවුදැයි අදක්ෂයන් කවුදැයි තීරණය කරන්නට නොයෑම.

            • Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 19, 2012 at 2:15 ප.ව.

              ඔවු විචාරක හා අරුණි සමග එකඟ වෙමි. මා චීන සාධකයට සියල්ල ඌනනය කලේ නැත. අරුණිගේ ග්‍රවුන්ඩ් ලෙවල් විචාරක කියන අවි සැපයීම හා ජෙනරාල් දීපු මොරාල් එක ඇත්ත ඒවා නැතුව බැහැ හැබැයි ඔයි මොනවා තිබුනත් කොච්චර දිනන්න පුළුවන් උනත් මිලිබෑන්ඩ් කාරයයි ක්ලින්ටන් නෝනයි ප්‍රන්ශේ එකයි ඉන්දියාවයි එකතු වෙලා මගදී යුද්දේ නවත්තල දානව චීනේ කලාපීය බලවතෙක් වෙලා නොහිටියානම්. සිළු සාධක බලපෑවා අවසන් ප්‍රතිපලයට. ඇත්ත.

              • Buwa said, on ඔක්තෝබර් 19, 2012 at 11:16 ප.ව.

                කෙවින් – මම නම් දකින විදිහට චීනයේ සහයට වඩා කිහිප ගුණයක වාසියක් ඉන්දියාවේ නිහඬ ප්‍රතිපත්තියෙන් යුද්ධයට තිබුනා , ඉන්දියාව චීනයට සැහෙන පිටුපසින් හිටියත් කලාපය තුල ඉන්දියාවේ දේශපාලනික ක්‍රියාදාමයකට ඉහලින් අත පොවන්න තරම් හය්යක් චීනයට නෑ , තිබුනත් එහෙම කරන්නෙත් නෑ , එදා සොවියට් කඳවුරේ රජිව් ඇමරිකන් හිතවාදී ජේ.ආර් ට පාට් දාන එක වලක්වන්න කෙනෙක් ඉදිරිපත් නොවුනා නම් , ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය පෙනි පෙනී ඉන්න නූතන ඉන්දියාවට උඩින් ලංකාවට හොට දාන්න කෙනෙක් එන්නේ නෑ , රුසියාවට ඇමරිකාවට වගේම චීනයටත් අපිත් එක්ක තියන සබඳතාවට වඩා ඉන්දියාව එක්ක තියන සබඳතා බොහොම වැදගත් , මේ තත්වය හොඳින්ම පැහැදීයි 2009 සහ පසුගිය මානව හිමිකම් සැසි වලදි සිදු වෙච්ච කාරණා බැලුවාම !

                • arunishapiro said, on ඔක්තෝබර් 20, 2012 at 7:23 පෙ.ව.

                  Buwa,

                  යුද්ධයේ නිමාවට පැහැදිලිව හේතු වූ එක සාධකයක් දක්වන්නට ගිහින් මා කළ අවුලක තරම!!!!

                  යුද්ධය ඇතිවෙන්නටත්, දිගින් දිගට ඇදී යන්නටත් ලංකාවේ නායකයන් කරපු අවුල් තරම් ලොකු නැහැනේ ඒත්!!!!

                  රටෙන් පිට වී ගිය දමිළ ඩයස්පෝරාව කළ ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයත්, ඒ නිසා යුරෝපීය රටවල අය ඒක සිංහල පීඩකයන් හා දමිල පීඩිතයන් අතර මානුෂීය හිමිකම් පිළිබඳ යුද්ධයක් ලෙසින් දැකීමත් අපි අමතක කරන්න නරකයි. ත්‍රස්තවාදය එහි දී නිදහස දිනාගන්න වෑයමක් හැටියට විකුණුවේ. දැන් යුද්ධය අවසන් වුවත්, යුද්ධයට හේතු සහ මේ දමිළ ඩයස්පෝරාවේ ප්‍රොපගැන්ඩා ව්‍යාපාර අවසන් නැහැ.

                  දකුණේ රැකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුවේ රස්සා දීලා පෝෂණය කළේ නැත්නම් වගේ විප්ලව මැඬලුවාට හේතු විසඳා නැති තත්වයක් තවමත් පවත්වාගෙන යෑමයි වෙන්නේ. දකුණේ ආයෙත් 71 ක් හෝ 87-89 කාලයක් ඇතිවෙන්න පුළුවන්. උතුරේ ආයෙත් ත්‍රස්තවාදයක් ඇතිවෙන්නත් පුළුවන්. පැලැස්තර අලවන ලංකාව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති නිසාම.

                  මෙන්න උදාහරණයක්: තැපැල් දෙපාර්තමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි. එකම දේ තැපැල් කන්තෝරුව මේ දවස්වල උල්ලංඝනය කරන්නෙ ව්‍යවස්ථාව විතරක් නෙමෙයි, මම යවපු පාර්සල් ද බෙදා නැහැ!!!!

                  ඉතින් කොයි බලවත් රටක් එක්ක යාළු වුනත් අන්තිමේ දී ලංකාවේ ගැටළු නිරාකරණයට විසඳුම් අතේ තියාගෙන, අන්තවාදීන්ට ආයෙත් නැඟිටින්නට පසුබිම් වැඩියෙන් හැදෙන්නට ඉඩ දෙන නායකයන් ඉන්ඳැද්දී ඉතිහාසය නැවත ප්‍රතිචාරයයි වෙන්නෙ.

      • Maathalan said, on ඔක්තෝබර් 19, 2012 at 10:22 ප.ව.

        මම සඳහන් කලේ කාලය ගැන නෝනේ.. වැඩිම උනොත් අවුරුදු 5 යි එකම එක සැරයක් අවුරුදු 7යි. ඒත් දැන්..

        කාළය මැව් වෙනසක අරුමේ..

  2. රටේ මහත්තයා said, on ඔක්තෝබර් 19, 2012 at 7:38 ප.ව.

    යුද්ධය ජය ගැනීමට චීන සාධකය.පාකිස්ථාන් සාධකය.මහින්ද රාජපක්ෂ.ගෝටාභය රාජපක්ෂ ,සරත් ෆොන්සේකා වැනි අය ට අමතරව ඇමරිකානු සාධකයත් බල පෑවා.එල්ටීටී ඊ පරාජය ඇමරිකාවත් අවශ්‍ය වුනා.මත ගැටුම ඇති වුනේ නායකයන් මැරීම සම්බන්ධවයි.ඇමරිකාවට එල් ටී ටී ය පරාජය කරන්න අවශ්‍ය වුනත් සමූලඝාතනය කරන්න අවශ්‍ය වුනේ නෑ.

  3. Buwa said, on ඔක්තෝබර් 19, 2012 at 11:19 ප.ව.

    // මිනීමරා හෝ ආණ්ඩුවේ සහායෙන් නිදහස් වී ඉන්නට හැකි යැයි කටකතා පතුරවා යෑම බහුතර ජනතාවක් නිහඬ කරන්නට ප්‍රමාණවත්!!!!//

    කටකතාවක් නෙවෙයි සත්‍ය මීට බොහොම ආසන්නයි !

  4. දේශකයා said, on ඔක්තෝබර් 20, 2012 at 4:27 පෙ.ව.

    මටනං ඔය ගැන ව්ස්තර දෙන්නට නොහැක. රාජ්‍ය රහස් නේ අප්පා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: