අරුණි ශපීරෝ‍ වෙතින්

නිව් යෝර්ක් නගරයේ අන්ඩර්ග්‍රවුන්ඩ් මහජන පුස්තකාලය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 21, 2012

මේක එසේ මෙසේ පුස්තකාලයක් නෙමෙයි. 2008 දී Ourit Ben-Haim විසින් පටන් ගත්තක්. නිව් යෝර්ක් නගරයේ සබ්වේ නොහොත් උමං දුම්රිය මාර්ග වල ගමන් ගන්නා ජනතාව කියවන පොත් තමයි මේ මහජන පුස්තකාලයේ තියෙන්නේ. ඇයත් නියැළෙන්නේජීවත්වන ඉතිහාසයක් සටහන් තියන ක්‍රමයක.

නිව් යෝර්ක් නගරයේ එක දිනක දී සබ්වේ ගමනේ යෙදෙන සංඛ්‍යාව මිලියන 4.3 කට වඩා වැඩියි.

මහජනතාව ගැවසෙන තැන්වල ඡායාරූප ගැනීම ගැන නීතිමය සීමාවන් තියෙනවා. තමන් වාසය කරන පෙදෙස අනුව මේ නීති වෙනස්. ඒත් සාමාන්‍යයෙන් පවතින නීති මෙහෙමයි. මහපාර, උද්‍යාන, පදිකවේදිකා, වෙළඳ සංකීර්ණ, කැම්පස් ඇතුලත, ෆුට්බෝල් ක්‍රීඩාංගන වැනි මහජන ස්ථානයක දී කැමති දෙයක පින්තූරයක් ගත හැකියි. වෙළඳ සංකීර්ණ බොහොමයක් අද පුද්ගලික ආයතන යටතේ වූවත් එය මහජනයාට විවෘත නිසා මහජන ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

මහජන ස්ථානයක සිට පුද්ගලික ඉඩමක පින්තූරයක් ගන්නත් නීතිමය අවසරය තියෙනවා. එත් දැන්වීම් ගසා ඇත්නම් ඡායාරූප ගන්න එපා කියල එතකොට එය තහනම්.

මහජන ස්ථානවල ගැවසෙන මහජනතාවගේ අවසරය නොලැබ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට නීතිමය අවසරය තියෙනවා. ඒත් ඔවුන් ATM එකකින් සල්ලි ගනිද්දී වගේ පුද්ගලික වැඩක දී ඡායාරූප ගැනීම තහනම්!!! හදිසි අනතුරක්, ගින්නක්, සොරකමක් වෙද්දී, ගුවන් තොටුපලේ දී, පාලම්, පොලිස් නිලධාරීන්ගේ, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ යනාදී පින්තූර ගැනීම තහනම් නැහැ.

ඇමෙරිකාවේ නීතිය අනුව නම් කවුරු හරි නිල ඇඳුමක් ඇඳගෙන ඉන්නා අයෙක් ඇවිත් එපා පින්තූර ගන්න කිව්වම තමන් නීතිය කඩ කර නැත්නම් එය නවත්වන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ම කැමරාව ඉල්ලුවාම දෙන්නත් අවශ්‍ය නැහැ. හැබැයි මේක තැනේ හැටියට නුවණ පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද නඩු ගිහින් තමන් නිර්දෝෂයි කියන්න පුළුවන් වුනාට ගුටි කන්න ඕනෙ නැහැනේ. අද ගොඩක් කැමරාවල පින්තූර ගත්තු ගමන් කෙළින්ම වෙබ් එකේ දාන්න පුළුවන් විජට්ටු තියෙන නිසා පොලීසියෙන් හෝ ආරක්ෂක නිලධාරියෙක් සිවිල් වැසියෙකුට ගැහැව්වොත් මාධ්‍යයකට හොඳ ගාණකට පින්තූරය විකුණගන්න හැකියාව තියෙනවා ඒවාට කැමති අයට.

බ්‍රිට්නි ස්පියර්ස් ජනප්‍රියත්වයෙන් ඉහළ වූ සමයක ඇය ස්ටාර්බක්ස් වල කෝපි කෝප්පයක් බොන පින්තුරයක් ඩොලර් 250 කට පමණත්, බිකිනියක් එහෙම ඇඳන් ඉන්න (බාගෙට ගැලවිලා තියෙන) එකක් ඩොලර් ලක්ෂයකට වගේත් විකුණත හැකියාව තිබුණ. X17 කියන පපරාට්සි ඡායාරූප ආයතනයේ ආදායමෙන් 30% ක් ලැබුනේ බ්‍රිට්නිගේ පින්තූර විකුණලා. 2007 දී ඔවුන් විකුණපු බ්‍රිට්නි ඡායාරූප ඩොලර් මිලියන 2.5 ක් බව කියනවා.

ඒත් ඉහත කියන පුස්තකාලය කරගෙන යන්නා එහෙම ආදායමක් උපයන කෙනෙක් නෙමෙයි. මේ පුස්තකාලයේ සාමාජිකයන් තමයි උමං දුම්රිය වල ගමන් කරන පොත් කියවන අය අතරින් ඉහත වෙබ් අඩවිය කියවන, ඊට සහාය වෙන අය. වෙබ් අඩවිය කරගෙන යන එක්කෙනාට පොත් වල නම් හරි හැටියට දැකගන්න බැරි වෙච්ච අවස්ථාවල දී සාමාජිකයන් ඒ පොත්වල නම් හොයාදෙන්න උදව් වෙනවා.

ආචාර ධාර්මිකව ගත්තම, අයෙක් නියැළෙන පුද්ගලික කර්තව්‍යයක දී (දුම්රියේ යද්දී පොතක් කියැවීම වැනි) ඡායාරූපයක් ගෙන එය ලෝකයටම දකින්න අන්තර්ජාලයේ දැමීම හොඳ ද නරක ද කියන එක ඒ ඒ පුද්ගලයාගේ මතය අනුව වෙනස් වූවක්. ෆුට්බෝල් තරඟයක් බලද්දී ස්ටේඩියම් එකේ ඕනෑ අවස්ථාවක කාගේ හෝ ඡායාරූපයක තමන් ඉන්න බව අමතක කරන්න නරකයි.

අපේ කෝච්චිය ගැන ලියන බ්ලොග් සටහන් හරි අගෙයි. ආයේ දවසක ලංකාවට ආවම දුම්රිය ගමනක් ගිහින් ඒ විස්තර නිසා වැඩි ආශ්වාදයක් ගමනෙන් ලබන්න පුළුවන් බව නිසැකයි.

අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා සටහන් කෝච්චිය ගැනම විතරක් නෙමෙයි වටපිටාව ගැනත් කියන ඒවා.

කාලයක් දුම්රියෙන් කළුතර සිට කොළඹ දවස කන්තෝරුවේ වැඩට ගිය තාත්තා හවසට එද්දී මැදිරියක සිංදු කියන කල්ලියකට සෙට් වෙලා හිටිය. ආනන්දයේ සිට නුගේගොඩට පුංචි කෝච්චියේ එන ගමන් ඉස්සරහා යන යාළුවෝ ගලවලා විසි කරන සපත්තු ඇහිඳින සෙල්ලමක් කරලා ගෙදරට අහුවෙච්ච මල්ලිව එහෙමත් මතක් වුනා ඉහත අඩවි දෙක කියවද්දී.

දුම්රිය වල යද්දී පොත් (ටැබ්ලට් වුනත් කමක් නෑ) කියවන අය ලොව හැමදා සිටීවි යැයි සිතෙනවා!!!!! ඉහත පින්තූරය හෝ පහළ පින්තූරය ක්ලික් කළාම මුහුණු පොතේ ඒ පිටුවෙන් කියවන අයගේ තව පින්තූර බලන්න පුළුවන්.

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on ඔක්තෝබර් 21, 2012 at 8:43 පෙ.ව.

    පොත් කියවන එක ගැන ලියපු ඕනෑම ලිපියක් කියවද්දී මට එක පාරටම මතක් වෙන්නේ ඩුබායි වල පාලමක ගහපු වැකියක්.
    “Readers are plenty thinkers are Rare

    කියවන්නෝ අඩුවේගන යනවා කියලා කියන නිසා අනාගතයේදී අනවසරයෙන් හෝ කියවන කෙනෙක්ගේ පින්තූර ගන්න අයටත් ඒවා හොඳ ගානකට විකුනන්න ලැබේවි.

    අර ලයිබ්‍රරි එකේ අදහස නම් නියම වැඩක් . .

    • arunishapiro said, on ඔක්තෝබර් 21, 2012 at 8:46 පෙ.ව.

      දුකා,

      ඔව් මල්ලි, යන යන තැන පොතක් අරගෙන යන සිරිතක් තියෙන මට ඒක දැක්කම මම පමණක් නෙමෙයි කියන සතුටෙන් හිත පිරිලා ගියා.

      ඩුබායි පාලමේ වැකිය අනගියි. ලංකාවේ පාලම් වලත් එහෙම ගහන්න හැකිනම් තවත් අගෙයි!!!!

  2. Hiranya said, on ඔක්තෝබර් 21, 2012 at 9:02 පෙ.ව.

    පැපරාසින් සැලකෙන්නේ පොදු ස්ථානවල සිට ඡායාරූප ගන්න අය හැටියටමද? ඡායාරූප වලට හසුවන අයගේ පුද්ගලිකත්වයට නැත්නම් පුද්ගල නිදහසට බදා වෙන අවස්ථා තිබෙන නිසා ඔවුන්ට ඒ ගැන යම් නීතිමය පියවරක් ගන්න බැරිද? විශේෂයෙන් පැපරාසි නම් පස්සෙන් පන්නන් ගිහින් නැත්තම් සැඟවිලා ඉඳන් රූපගත කරන අවස්ථා තියනවනේ.

    • arunishapiro said, on ඔක්තෝබර් 21, 2012 at 9:07 පෙ.ව.

      Hiranya,

      ඔව්, ඔවුන් පොදු ස්ථාන වල සිට ගන්නා අය තමයි. පස්සෙන් පන්නා ගිහින් නැත්නම් සැඟවිලා ගන්නා අයත් තමයි. ඔවුන් වත්තට පැනලා වත්තේ ඉන්නා අයගේ පින්තූරයක් හෝ ගේ ඇතුලත පින්තූරයක් ගත්තොත් විතරයි නීතිමය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේ. ඒත් මහපාරේ සිට වත්තේ ඉන්න අයෙක් හෝ ගේ ඇතුලේ පින්තූර ගත්තාට නීතිමය දඬුවම් කරන්න බැහැ. අපි ගේ ඇතුලේ කරන දේවල් අනිත් අයට පාරේ ඉඳන් බලන්න හැකි විදියට කරනවා නම් පින්තූර ගන්නට ඉඩදීලා තියෙන්නේ අපි කියායි නීතියෙන් සැලකෙන්නේ!!!!

  3. budditha said, on ඔක්තෝබර් 21, 2012 at 11:33 පෙ.ව.

    එංගලන්තයේ රාජකීය දුම්රිය සේවයට 1996 සිට පෞත්ගලික අංශය හා එකතුවෙන්න පුළුවන් වුනා. ඒකෙන් ප්‍රයෝජන ගත්ත රිචර්ඩ් බ්‍රන්සන් ජපානය ආදර්ශයට අරගෙන බුලට් ට්‍රේන් ‘Virgin Trains’ නමින් හදුන්වා දුන්නා. මට ඒ කතාව මතක් වුනේ අපේ රටේ දුම්රියක ගමනකදී පොතක් කියවන්න ලේසි නැහැ. වේයන්ගොඩ ඉදලා කොටුවට යන්න පැයක් පමණ ගත වෙනවා මේ වෙලාවේ නිදියනවා ඉදගන්න හම්බුනොත් නිදියනවා ඇරෙන්න අපිට වෙන option එකක් නැහැ. මොකද අපේ දුම්රිය සේවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.
    මගේ කමෙන්ට් එක මෙතන මාතෘකාවට අදාළ නැහැ ඒත් පළමු ලෝකයේ රටවල් ගැන, එම රටවල් වල රජයන් මිනීසුන්ගේ සුභසාදනයට ගෙන ඇති පියවර දකිද්දී මට ඉරිසියයි…
    අනේ අපේ රටේ දුම්රිය පෞත්ගලික අංශයට වුවුර්ත වුනා නම්.. (එය පමණක් සිද්ද වේලා මදි)
    එහෙම වුනානම් අපේ රටෙත් මැදිරිවල කට හඬ නැතිවෙනකම් සින්දු කියන ඒකයි, Card සෙල්ලම් කරන එකයි වෙනුවට උදේ හවස පොත් කියවන මිනිස්සු දකින්න තිබුනා..

  4. Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 21, 2012 at 11:34 පෙ.ව.

    ඇමරිකාවේ ජනාධිපතිවරයා නම් පුරුද්දක් විදියට හැම අවුරුදේම වගේ සමර් එකට තමන් කියවන පොත් සෙට් එක ජනමාධ්‍ය හරහා ජනතාවට ප්‍රසිද්ධ කරනවා. අනේ අපිට එහෙම නැතත් පොත් පත් කියවනවා කියල සැකේට හරි හිතන්න පුළුවන් නායකයෙක් ඇත්නම්…

    • arunishapiro said, on ඔක්තෝබර් 21, 2012 at 11:52 පෙ.ව.

      ඇයි කෙවින් අහලා නැද්ද, එස්. බී. දිසානායක සිරගෙදර සිටිය දී දාර්ශනික රජ කෙනෙක් වෙන හැටි කියෙව්වා කියලා පත්තර වල වැටුණා නේද?!!!!!!

  5. Imalka de silva said, on ඔක්තෝබර් 21, 2012 at 8:15 ප.ව.

    අක්කේ තව ටිකක් ඇමරිකාව ගැන ලියන්න

  6. තිසර said, on ඔක්තෝබර් 22, 2012 at 1:06 පෙ.ව.

    මගෙත් පොත් කියවන වෙලාව කියන්නෙ කෝච්චියේ උදේට හවසට විනාඩි 30 බැගින් ලැබෙන කාලය. උදේට නම් මම බහින්නේ නගරයේ ප්‍රධාන දුම් රිය ස්ථානයෙන් නිසා අමතකවෙලා දිගටම ගිහින් නැහැ, නමුත් ආපසු ගමනෙදි වරක් දෙකක් බහින තැන පහුකරන් ගිහින් තියනවා.

    මේක නම් අමුතු වැඩක්… මේ පින්තූරවල ඉන්න අය කවුරුවත් ඒ අයගේ ඡායාරූප ඉවත් කරන්න කියලා ඉල්ලලා නැද්ද?

    මොනව උනත් පොත්පත් ගැන දැනගන්න එක නම් හොඳයි… ෆොටෝ ගත්තෙ නැතත් මාත් බලනවා අනිත් අය කියවන පොත් මොනවද කියලා… ඊට පස්සෙ මතක තියගෙන ඇවිත් ගූගල් එකේ හොයලා බලලා හොඳ නම් මාත් හොයාගෙන කියවනවා.

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2012 at 7:55 පෙ.ව.

      තිසර,

      මම එහි දමා තිබුණු සියළු ප්‍රතිචාර කියෙව්වෙ නම් නැහැ. ඒත් කියවපු ටිකෙන් දැක්කෙ ‘ඒ ඉන්නෙ මේ මමයි,’ සහ ‘ඔව් ඒ පොත තමයි මම කියෙව්වෙ,’ කියලා දාපු අය සිටි බව. පින්තූර දානවාට වැඩියෙන් කැමැත්තක් තමයි දක්වලා තිබ්බෙ. ඇමෙරිකාව ඵෛතිහාසික සටහන් ගැන ඉතා උනන්දුවක් තියෙන රටක්. කෙටි ඉතිහාසයක් තියෙන නිසා විතරක් ම නෙමෙයි, නිදහස් ප්‍රකාශනයට ඇති අයිතිය ආරක්ෂා කරන නිසා කියලයි මම හිතන්නෙ. ගොඩක් රටවල් තමන්ගෙ ඉතිහාසය හංඟද්දී මෙහෙ අය කිළිටි රෙදි සේරම එළිපිටම හෝදන සිරිතෙන් ඉන්නෙ. ටික කාලයක් නින්ද ගිහින් හිටපු ප්‍රධාන මාධ්‍යය මෙහෙ යළි යාන්තම් අවදිවෙලා නිදිමත ඇස් පොඩිකරනවා මේ දවස්වල.

      ලංකාවේ දිවයින පත්තරේ ද අවදි වෙලා වගෙයි. මේ බලන්න බුලිත ප්‍රදීප් කුමාර ලියූ දිවයින පත්තරයේ කාලෙකට පස්සෙ වැටිච්ච අගය කළ යුතු ලිපියක්: මැරිච්ච රාළහාමි ඇවිල්ලා කොත්තුවක් ඉල්ලුවාලු!

      මම හිතන්නෙ තිසර ලංකාවේ අයට කියවන්න ඇති පොත් තෝරා ගැනීම් මදියි. පොත් මිල අධිකයි. හැමදාම එකම විදියට ලියන එකම කට්ටියකගේ පොත් සෙට් එක ගැනයි අහන්න ලැබෙන්නෙ. පොත් මාෆියාව වෙනස් වෙච්ච දවසක ලංකාවේ අය වෙන කරන්න දෙයක් නැති නිසා ඕපාදූප වලින් කාලය ගෙවනවාට වඩා පොතක් කියවාවි.

  7. Kenji @ Japan said, on ඔක්තෝබර් 22, 2012 at 10:04 පෙ.ව.

    බුෂ් ගෙදර යද්දී ඔබලාට දුන්න US $500 මෙයත් දෙයිද?නැත්නම් නෝනා වයිට් ගෙවත්තේ වවපු එළවලු මල්ලක් දෙයිද?

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2012 at 10:07 පෙ.ව.

      Kenji @ Japan,

      චන්දය දිනන තුරුම්පුව යැයි කටකතාවේ පැතිරෙන්නේ නම් ලිබියාවේ දී තානාපති මැරූ අයව අල්ලා ගත්තා යැයි දැනගන්නට ලැබීම සහ ඉරානයේ අයටොල්ලා සමඟ ප්ලුටෝනියම් වැඩේ නැවතෙන බවට ගිවිසුමකට එළඹුනා යැයි දැනගන්නට ලැබීම යන දෙකෙන් එකක්ලු!!!!!

      අපොයි එළවළු මලු දීලා නම් මෙහෙ චන්දෙ දිනන්න බැරිවේවි. එයාත් හොරෙන් කන මස් කුට්ටි ගැන අහන්න ලැබෙද්දී!!!!

  8. tg said, on ඔක්තෝබර් 23, 2012 at 12:50 පෙ.ව.

    මම ඊයේ කෙනෙක් එක්ක පොත් කියවන එක ගැන කතාවකදී කිව්වේ ඉස්සර අපේ ගැටවර කාලේ පොත් සොයාගන්න තිබුණ අවස්ථා හරි අඩුයි .නමුත් යාලුවොන්ගෙන් හුවමාරු කරගෙන , පුස්තකාල වලින් පොත් කියෙව්වේ උමතුවකින් වගේ .දැන් වෙනකොට පොත් සොයාගන්න තියෙන අවස්ථා වැඩී .පොතක් ගන්න තියෙන හැකියාවත් වැඩී .නමුත් අර කාලේ වගේ පිස්සුවෙන් පොත් කියවීමක් දැන් නෑ

    අර පුස්තකාල අයිඩියා එක නියමයි .ලන්කාවෙත් සැමන් පැක් නොවී දෙයියනේ කියලා පහසුවෙන් වාඩි වෙලා ගාල්ලේ ඉඳන් කොලඹට එන්න කෝච්චි බස් තියේ නම් පොතක් පතක් කියවන් ඊමේල් දෙක තුනක් ලියලා ඔෆිස් එකේ වැඩත් කරන් රස්සාවට එන්න ඇහැකි ජොලියේ . ටිකක් ගාන වැඩි වුනත් හොන්ද සේවයක් නම් මිනිස්සු ඒ වියදම දරාවි .නමුත් ඉතින් කොයි කපේදී මෙහේ ඔහොම වෙනස් කම් පොදු ප්‍රවාහනයට ඒවිද කියන එක තමා ප්‍රස්නේ .වවුනියා යන එක්ස්පෝ ට්‍රේන් එකේ නම් මැදිරියක් හෝ දෙකක් මේ විදියට යන්න අප්ග්‍රේඩ් කරලා තියේ කියලා කිව්වා යාලුවෙක් .

  9. Ravi said, on ඔක්තෝබර් 23, 2012 at 4:13 පෙ.ව.

    මගෙ කාලයක් තිස්සෙ ගෙදර හැමදාම තියනව කාල වේලාවක් නැති නිසා කියවන්ට බැරි වෙච්ච පොත් මහ තොගයක්…ප්‍රදර්ශන, සල්පිල්, පාර අයිනෙ පොත් කඩ වලින් ගත්තුව බහුතරයක්…

    ඔය පොත් තොගෙන් සෑහෙන ප්‍රමාණයක් කියවන්ට මට නොසිතූ වීරූ අවස්ථාවක් ලැබුනෙ පේරාදෙණිය සහ මරදාන / කොටුව අතර අවුරුදු දෙකකට ආසන්න කාලයක් සතියට තුන් දවසක් ගමන් කරන්ට සිද්ධ වුනු නිසා.පැය හතරකට ආසන්න ගමනෙ කොළඹට යනකොටනම් මුලු පැය හතරමත් ආපහු එනකොට පැය තුනක් විතරත් ඉඳගන්ට ලැබුනු නිසා ඒ කාලෙදි සෑහෙන ඇරියස් තිබ්බ පොත් සංඛ්‍යාවක් කියවල ඉවර කලා. 🙂

    දිවයිනේ ලිපිය ගැන ඔබේ මතයට එකඟයි..දිවයිනේ සාමාන්‍යයෙන් පලවෙන එලොවටත් නැති මෙලොවටත් නැති පිස්සු විකාර අතරේ කාලෙකට පස්සෙ ගන්ඩ දෙයක් තියෙන වැදගත් ලිපියක් 🙂

  10. […] පින්තූරයක් මෙතැන පින්තූර අතරේ තියනව. නිව් යෝර්ක් නගරයේ අන්ඩර්ග්‍රවුන්ඩ් ම… කියන්නේ නම් පොත් කියවන අය ඉන්න උමං […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: