අරුණි ශපීරෝ‍ වෙතින්

ජේම්ස් බොන්ඩ්, සබන්, සුරුට්ටු සහ ඇස් කණ්ණාඩි සමඟ අරුණි007

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 22, 2012

අරැණි007 වූයේ ඇමෙරිකා ඔන් ලයින් වලින් ගත්තු මගේ මුල්ම ඊමේල් ගිනුම. අවුරුදු විස්සකට ඉස්සර සල්ලි දීලානෙ අපි ඊමේල් ගිණුම් ලබාගත්තෙ. මම ඒක වෙනස් කළාම මගේ ලංකාවේ යාළුවෝ ගොඩක් දුක් වුනා!!!!

අද බ්‍රිතාන්‍යයේ තිර දැක්වීම් පටන් ගත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය, Skyfall, ලබන මාසේ ඇමෙරිකන් පුළුල් තිරයට එන්නෙ. චිත්‍රපටියකින් නිෂ්පාදනයක් අලෙවිකරණයට ගත් උත්සාහයේ අතීතයේ මුල් ම චිත්‍රපටි වලින් පටන් ගත්තු එකක්. ඔගස්ටෙ සහ ලුවී යන Lumière සහෝදරයන් දෙදෙනා ලෝකයේ මුල් ම සිනමාකරුවන්. ඡායාරූප ශිල්පියෙක් වූ ඔවුන්ගේ පියා 1892 දී විශ්‍රාම ගියාට පස්සෙ ඔවුන් ප්‍රචලන ඡායාරූප (moving pictures) නිර්මාණය පටන් ගන්නවා. ඔවුන්ගේ සිනෙමාටොග්‍රැෆී පේටන්ට්ගත වෙන්නෙ 1895 පෙබරවාරි 13 වැනිදා. මුල්ම චිත්‍රපටියේ පෙන්වන්නේ ලුමියේර් කම්හලෙන් පිට වී යන ශ්‍රමිකයන්ව!!!! ලීවර් බ්‍රදර්ස් (දැන් යුනිලීවර්) හි ප්‍රචාරණයේ යෙදී අයෙක් ඔවුන් සමඟ වැඩකළා. ඉතින් ලුමියේර් සහෝදරයන්ගෙ මුල් කෙටි චිත්‍රපටි වල ලීවර් නිෂ්පාදනයක් වු සන්ලයිට් සබන් දකින්න ලැබෙනවා.

1932 දී, සුදු බකමුණූ සුරුට්ටු කොම්පැණිය ඩොලර් 250,000 ක් වටිනා දැන්වීම් ගාස්තු ගෙවනවා Scarface (1932) චිත්‍රපටිය සඳහා. ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන පෝල් මුනි චිත්‍රපටිය පුරා උරන්නේ සුදු බකමූණූ සුරුට්ටු.

හැමෝම දැකලා තියෙනවා ET: The Extra-Terrestrial (1982). එලියට් හැංගිලා ඉන්න ET ව එළියට ගෙන්න ගන්න චොකලට් පේලියක් දානවා. ස්පීල්බර්ග්ට ඕනෑ කරලා තිබ්බේ මාර්ස් කොම්පැණියේ M&M දාන්න. ඒත් මාර්ස් කොම්පැණිය බෑ කිව්වා ඒකට සල්ලි දෙන්න. ඊට පස්සෙ හර්ෂි කොම්පැණියෙන් ඇහැව්වම එයාල කිව්ව Reese’s Pieces දෙන්නම් කියල. චිත්‍රපටියේ සාර්ථකත්වය ගැන හැමෝම දන්නවානේ. රටපුරා සිනමාහල් 800 ක විතර එය පෙන්වද්දී මුල් වතාවට රීසස් පීසස් චොකලට් සිනමාහලේ විකුණන රසකැවිලි අතරට එකතු කළා.

1970 ගණන් අග දී 80 ගණන් මුල දී Ray-Ban ඇස් කණ්ණාඩි කොම්පැණිය තමන්ගෙ අලෙවි මට්ටම් ඉහළ දාගන්න බැරිව ලත වෙවී සිටිය කාලයක්. ඒත් Risky Business (1983) චිත්‍රපටියේ ටොම් කෲස් දාගෙන ඉන්න කළු කණ්ණාඩි වලින් ඔවුන්ගේ අලෙවිය සියයට පනහකටත් වඩා වැඩිවුණා. Top Gun (1986) හි වගේම කළු ඇස් කණ්ණාඩි දාගෙන ඉන්න ඉන්දියන් ගුවන් හමුදාවේ පයිලට් ගැන කතාවක් පස්සෙ කාලයක දී බොලිවුඩ් චිත්‍රපටිය Mausam (2011) පවා කොපි කරනවා!!!! ටොප් ගන් වලින් පසුව රේ-බෑන් කණ්ණාඩි තවත් සියයට හතළිහකින් අලෙවිය ඉහළ යනවා. හම් කබා අලෙවිය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගුවන් හමුදාවට සහ නාවුක හමුදාවට බැඳෙන සංඛ්‍යාවත් වැඩිවෙනවා. ටොප් ගන් චිත්‍රපටියෙන් පස්සෙ නාවුක හමුදාවට බඳවාගත්තු සංඛ්‍යාව සියයට පන්සියයකින් ඉහළ ගියා. ඉන්දියාවේ චිත්‍රපටියෙන් පසුව කොහොම වුනා ද දන්නෙ නැහැ.

කළු කණ්ණාඩි අලෙවියට චිත්‍රපටි වලින් සහාය ලබා ගැනීම එතැනින් නැවතුනේ නැහැ. Men in Black II (2002) හි ටොමී ලී ජෝන්ස් සහ විල් ස්මිත් දාගෙන ඉන්නෙත් රේ-බෑන් කළු කණ්ණාඩි. කොම්පැණියේ අලෙවිය තුන් ගුණයකින් ඉහළ යනවා. කොම්පැණිය කියන්නෙ එය හරියට ඩොලර් මිලියන 25 ක විතර දැන්වීම් නොමිලේ ලැබුණා වගේ කියල.

දැන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි වලට එමු. Die Another Day (2002) හි මිනිත්තු 123 ක වෙළඳනාම 23 ක් දැක්වෙනවා. සමහරු ඒක දැකලා ගෙදර ආවේ අපොයි මේක Buy Another Day චිත්‍රපටියක් කියාගෙන!!!!!

සාමාන්‍යය මතයක් තමයි අයෙක් දකින මුල් ම ජේම්ස් බොන්ඩ් තමයි එයා වැඩියෙන් ම කැමති ජේම්ස් බොන්ඩ් කියල. මම නම් වැඩියෙන් ම කැමති ඩැනියෙල් ක්‍රෙග් විසින් කරන ජේම්ස් බොන්ඩ් රඟපෑමට. Casino Royale (2006) හි තිබිච්ච වෙළඳනාම මතක ද? සෝනි වයෝ පරිගණක, එරික්සන් සෙල්ෆෝන්, බ්ලූරේ ප්ලෙයර්ස්, LCD ටෙලිවිෂන් සෙට්, ලුවි විටාන් බෑග්, ඔමෙගා අත් ඔරලෝසුව, Fedex සේවය?!!!! කැසිනෝ රෝයාල් හි දකින හැම වාහනයක් ම, ජැගුවාර්, ලින්කන්, ලෑන්ඩ් රෝවර් … ෆෝර්ඩ් කොම්පැණියේ!!! ඒත් කාට ද ඒවා මතක තියෙන්නෙ අර ඇස්ටින් මාටින් එක ඇරෙන්න!!!!

හැබැයි ඉතින් තමන්ගෙ ම සල්ලි දීලා $120,000 ක ඇස්ටින් මාටින් ගන්න කාට ද පුළුවන්!!!!

අළුත්ම බොන්ඩ් චිත්‍රපටියේ මොන වෙළඳනාම කියැවෙනවා ද යන්න ගැන වෙළඳපොල ආශ්‍රයෙන් සල්ලි හොයන අය විමසුමින් ඉන්නෙ. මහජන කොම්පැණියක අලෙවිය වැඩිවෙද්දි ලාභ උපයන්නෙ ඒ කොම්පැණිය විතරක් නෙමෙයි. ඒ මහජන කොම්පැණියේ කොටස් මිල දී ගන්නට අවදානමක් ගන්නා හැම අයෙකුට ම ලාභ අලාභ ලබන්න පුළුවන්. කාල් මාක්ස් ගේ කාලයේ මෙහෙම ඉඩක් ශ්‍රමය විකුණා ජීවත්වෙන අයට තිබ්බේ නෑ!!!

ඉතින් skyfall හි දකින්න ලැබෙන්නේ මොනවා ද? කොකා කෝලා හදන කෝක් සීරෝ. Facebook!!! බොන්ඩ් වගේ ජීවත්වෙන්න විදේශිකයන්ට එන්න යැයි කියන VisitBritain අඩවිය පෙනෙන්නෙ හැබැයි බ්‍රසීලයේ සාවෝ පාලෝ හා රියෝ ඩ ජැනයිරෝ ඉන්න අයටයි, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ජර්මනියේ බර්ලින්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් ඉන්න අයටයි විතරයිලු!!! බ්‍රිටිශ් ගුවන් සේවය, රැඩිසන් බ්ලූ හෝටල්, සමඟින් සෝනි වයෝ එක්ක Xperia TL සෙල් ෆෝන් ද දකින්න හැකියි. බොන්ඩ් චිත්‍රපටි නොකඩවා බලන්න Sky TV වලින් Sky Movies 007 HD නාලිකාවක් ද තියෙනවා.

ඔමෙගා අත් ඔරලෝසුවයි ඇස්ටන් මාටින් එකයි මෙවරත් අමතක වෙලා නැහැ. ඔමෙගා 007 අත්ඔරලෝසුවක් ඉදිරිපත් කරනවා, හැබැයි අර Q විජට්ටු දාගන්න බැහැ 007 නැති අයට!!!

මේ පාර ජේම්ස් බොන්ඩ් මාටිනි බොන එක නවත්තලා හයිනිකන් බියර් බොනවාලු!!!!

ඊ ළඟට, ලෝකයේ වැඩිම ටිකට් සංඛ්‍යාවක් විකුණාගත හැකි රට අමතක කරලා කොහොම ද? ඒ නිසා චිත්‍රපටියට ෂැන්හයි, බෙයිජින් සහ හොන්ග් කොන්ග් දර්ශන දාලා ලියැවිලා. 2011 දී චීන සිනමාහල් විකුණපු ඩොලර් බිලියන 2.1 ක ටිකට් පත් වලින් 40% කට ටිකක් අඩුවෙන් ගිහින් තියෙන්න හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපටි වෙනුවෙන්. ඉතින් චීන අයට ටිකට් විකුණන්නට එහෙ දර්ශන දාන්නෙ නැතිව කොහොම ද?!!!!

කවුරු මොනවා විකුණගන්න වෙළඳ දැන්වීම් දැම්මත්, මිනිසා යමක් මිල දී ගන්නට පෙළඹෙන්නේ ඇයි? ලෝකයේ තියන සාමාන්‍ය මතයක් තමයි දැන්වීම් නිසා මිනිස්සු බඩු ගන්නවා යැයි සිතීම. අළුත්ම බොන්ඩ් චිත්‍රපටියේ දැක්වෙන Walther PPK එක අරුණි007 ගේ ප්‍රියතම තුවක්කුව වෙන්නේ බොන්ඩ් පොත් නිසා ද? බොන්ඩ් චිත්‍රපටි නිසා ද? චිත්‍රපටියේ දකින වෝල්තර් දැන්වීම් නිසා ද? උත්තර දෙන්න එපා මේවට, buy.ology* ගැන තමයි ඉස්සහරට ලියන්නෙ.

*buy.ology; Truth and Lies About Why We Buy, Martin Lindstrom (2008)

Advertisements

41 Responses

Subscribe to comments with RSS.

  1. ලකී said, on ඔක්තෝබර් 22, 2012 at 10:32 පෙ.ව.

    ලෝකේ කොච්චර බ්‍රෑන්ඩ් තිබුනත් එවියේටර් ශේඩ්ස් දෙකක් රුපියල් 800ට විකුනන්නේ චීනෙයි ලංකාවෙයි තමයි.

  2. රාජ් said, on ඔක්තෝබර් 22, 2012 at 10:38 පෙ.ව.

    දැන්වීම් නිසා යම් තරමක වාසියක් ඇතිවෙනව තමයි. ඒත් මේවගේ උදාහරණයක් හිතමු. ලංකාවෙ අපි සන්ලයිට් ගැන ඕනවටත් වඩා දන්නව. ඒ නිසා නිතර දෙවේලෙ ඕක මතක් කලා කියල ලොකු සෙතක් නෑ මං හිතන්නෙ.
    චිත්‍රපටි නිසා ජනප්‍රිය වෙච්ච දේවල් අතරෙ මගේ මතකය වඩාත්ම තියෙන්නෙ හැරී පොටර් මාලය තුල මුදුව පැලඳීමේ-එල්ලාගැනීමේ විලාසිතාව.

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2012 at 10:41 පෙ.ව.

      රාජ්,

      ලෝකෙ හැමෝම සන්ලයිට් ගැන දන්නවා. දැන් තරඟය දැන්වීම් වැඩි නිසා නිෂ්පාදනය කුමක් දැයි මතකයේ සටහන් වෙන දැන්වීම හදන්නෙ කොහොම ද යන්න.

    • ලකී said, on ඔක්තෝබර් 22, 2012 at 11:22 පෙ.ව.

      ඒක ආවේ ලෝඩ් ඔෆ් ද රින්ග් එකෙන් නේද?

    • මිස්ටර් හයිඩ් said, on ඔක්තෝබර් 22, 2012 at 11:32 පෙ.ව.

      //හැරී පොටර් මාලය තුල මුදුව පැලඳීමේ-එල්ලාගැනීමේ විලාසිතාව// ඒ lord of the rings වල නේද?

      • arunishapiro said, on ඔක්තෝබර් 22, 2012 at 11:58 පෙ.ව.

        ලකී,
        මිස්ටර් හයිඩ්,

        මැජික් මුදු හැරී පොටර් සහ ලෝර්ඩ් ඔෆ් ද රින්ග් (හොබිට්) දෙකේම සඳහන් වෙනවා. ඒත් ඊට කළින් ලොව තිබිච්ච විලාසිතාවක් මේක. නෝර්ස් මිථ්‍යා ප්‍රබන්ධ සහ අයිරිශ් ඉතිහාසයේ මෙන්ම මධ්‍යයතන බ්‍රිතාන්‍යයේ ද පැවති සිරිතක්.

        මැජික් මුදු ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Magic_ring

        මෙහෙ බාර්බි කියන බෝනික්කිය සඳහා ඕනෑ තරම් මුදු එල්ලපු මාල සහ මුදු තැන්පත් වෙච්ච ලොකට් තියෙන මාල (ප්ලාස්ටික්) තිබ්බා.

      • රාජ් said, on ඔක්තෝබර් 23, 2012 at 2:16 පෙ.ව.

        සොරිවේවා!
        ලෝඩ් ඔෆ් ද රින්ග් තමයි. මට ටැපලුනා. 🙂

  3. කෝරලේ මහත්තයා said, on ඔක්තෝබර් 22, 2012 at 11:13 පෙ.ව.

    හ්ම්ම්ම් හොඳ පොස්ටුවක්

  4. මිස්ටර් හයිඩ් said, on ඔක්තෝබර් 22, 2012 at 11:42 පෙ.ව.

    //කෝක් සීරෝ// කිව්වාම මතක් වුනේ කෝක් වල සංයුතිය වෙනස් කරලා වෙළද පොලට දාලා අලවිය වැඩි කරගත්ත සිද්ධියකුත් වුනේ. නැති වුනාමනේ අගේ වැඩි!

  5. Buwa said, on ඔක්තෝබර් 22, 2012 at 11:56 පෙ.ව.

    බොන්ඩ් චිත්‍රපටි එක්තරා කාලයක සිනමාවේ සංදිස්ථානයක් සලකණු කලත් මේ වෙන කොට ඒ තත්වය ටිකක් අඩුවෙලා කියල මට හිතෙනවා . අර ටිකට් විකුණන වැඩේ මරු , දෙවෙනියට විකුණන රට ගාවගෙන MI4 අදාල රටේ වාර්ථාගත ටිකක් විකිණීමක් ලබාගෙන තිබුනා මතකයි .

    අලුත් බොන්ඩ් එකත් එක්ක එන සෝනි ෆෝන් එක නම් සැහෙන්න ප්‍රියමනාපයි

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2012 at 12:05 ප.ව.

      Buwa,

      ඉස්සර නොතිබිච්ච දැවැන්ත වෙළඳපොලවල් දෙකක්, චීනය සහ ඉන්දියාව, දැන් තියෙද්දී “තත්වය” මනින්න අලුත් මිමි ගෙන්න වෙනවා.

      ඔව්, අයිෆෝන් එකට ප්‍රතිවාදියෙක් එන්නම ඕනෑ, සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරන නිසා!!!!!

      • Buwa said, on ඔක්තෝබර් 22, 2012 at 9:05 ප.ව.

        අපි නම් කොහොමටත් අයිෆෝන් එක සතපහකට ගනන් ගන්නේ නෑ , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල කලින් තිබුන පහසුකම් ටිකක දීලා “ඉනෝවේශන්” කිව්වාම පිලිගන්න අය ගැනයි දුක .ඇනඩ්‍රොයිඩ් නැත්නම් වින්ඩෝස් ෆෝන් තමා අයිෆෝන් නම් එපා !

        • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 6:45 පෙ.ව.

          Buwa,

          කැමති කෙනෙකුට කැමති දෙයක් තෝරා ගැනීමේ ඉඩප්‍රස්ථාව ඇති අපේ ගෙදර ඇන්ඩ්‍රොයිඩ් (සැම්සන්ග් ගැලැක්සියක් දුවට) බ්ලැක්බෙරි (සුදු අප්පුහාමිට) සහ අයිෆොන් (මට) තිබ්බා …. අද තියෙන්නෙ අයිෆෝන් තුනක්!!!! මගේ අයිෆෝන් එකෙන් ගත හැකි වැඩ එයාලට බැරි වෙච්ච නිසා තමයි එයාලා දෙන්නත් දැන් අයිෆෝන් පාවිච්චිය පටන් ගෙන තියෙන්නෙ ඔවුන්ගේ කැමැත්තෙන් ම. අනාගතයේ වෙනත් වයර්ලස් ෆෝන් එකකින් මීට වඩා පහසුවෙන් වැඩ කරවා ගත හැකිනම් එය ගැනීමට අපි තුන්දෙනා ම පසුබට වෙන්නෙ නැහැ.

          අපිට මෙහෙ ඇන්ඩ්‍රොයිඩ් වලට නොහැකි සහ අයිෆෝන් වලින් පහසුවෙන් කරත හැකි දේවල් සමහර විට ලංකාව වැනි රටක දී අත්දකින්න ලැබෙන්නෙ නැතිව ඇති. ඉනොවේශන් කිව්වාම ඒවා නිකම් නමට තියෙන විජට්ටු වුනාට ඵලක් නෑනේ බූවා … ඒවායෙන් වැඩක් ගන්න හැකි වෙන්නත් එපායෑ.

          හැමදාම තෝරා ගැනීමක් ලෝකයේ තියෙනවාට කැමති මම බූවාගේ කැමැත්ත ද තෝරාගන්නට ඉඩක් තිබිය යුතුමයි කියා සිතන්නේ!!!

          • Buwa said, on ඔක්තෝබර් 23, 2012 at 8:35 පෙ.ව.

            //අපිට මෙහෙ ඇන්ඩ්‍රොයිඩ් වලට නොහැකි සහ අයිෆෝන් වලින් පහසුවෙන් කරත හැකි දේවල් සමහර විට ලංකාව වැනි රටක දී අත්දකින්න ලැබෙන්නෙ නැතිව ඇති//

            අපෝ නෑ , එහෙම එකක් නෙවෙයි .ඕනිම රටකදි ඇන්ඩොයිඩ් වලින් අයිෆෝන් එකෙන් කරන ඕනි වැඩක් කරගන්න පුලුවන් කියල ඔප්පු කරන්නත් පුලුවන් , අන්ඩ්‍රොයිඩ් වලින් පුලුවන් දේවල් අයිෆෝන් වලින් බෑ කියලත් එහෙමම තමා . ඒ තාක්ෂණික විවාදේ පැත්තකින් තියමු , තෝරාගැනීමේ නිදහස තමයි වඩාත් වැදගත් ,(අන්ඩ්‍රොයිඩ් වීම ඇතුලේම එකම හැඩේ ෆෝන් එකක එකම ඕස් එක දුවන එක වෙනුවට තෝරාගැනීම් සිය ගණ්නක් විවෘතයී ) ලංකාවෙදි අපිට ලැබෙන්නේ බොහොම සීමිත තෝරාගැනීම් කිහිපයක් . ඕනි වර්ගෙක ෆෝන් තිබුනත් හොර පාරෙන් ගෙනාපුව තමයි වැඩිපුර . සැම්සුන්ග් විතරයි අලුත් නිෂ්පාදන නිල වශයෙන් එන්නේ ,මෙච්චර කාලයක් අයිෆෝන් හොර පාරෙන්ම තමා , මේ පාර නම් එටිසලාත් ප්‍රි ඔඩර්ස් ගත්තා මම හිතන්නේ

            • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 8:56 පෙ.ව.

              Buwa,

              තාක්ෂණික විවාදයකට යන්න නම් දැනුමක් මට නැහැ. පාරිභෝගිකයෙක් ලෙසින් අලුත් ෆෝන් එකක් කඩෙන් අරගෙන ඒ වේලාවේ සිට මට අවශ්‍ය දේවල් කිරීමට පාවිච්චි කිරීමේ පහසුව විතරයිනෙ මම දන්නෙ!!!!

              කෙළින් පාරෙන් එන අයිෆෝන් පාවිච්චිය පටන් ගත්තම බලමු පාරිභෝගිකයන් වැඩියෙන් කැමති වෙන්නේ කොයි එකට ද කියලා.

              • Buwa said, on ඔක්තෝබර් 23, 2012 at 9:06 පෙ.ව.

                //අයිෆෝන් පාවිච්චිය පටන් ගත්තම බලමු පාරිභෝගිකයන් වැඩියෙන් කැමති වෙන්නේ කොයි එකට ද කියලා//

                ලංකාව වගේ රටවල අයට නම් කොහොමත් ඇන්ඩ්‍රොයිඩ් තමා , පිට පාරෙන් එන අයිෆෝන් එක මගේ ෆොන් එකේ මිල වගේ තුන් ගුණයක් .! නමුත් සමාන්‍ය පාරිභෝගිකයෙකුට දැනෙන වෙනස වල් තියෙන්නේ දෙකයි(LTE and Processor ) . ලංකාවේ අයිෆෝන් එකේ මිලට හොඳ ලැප්ටොප් එකක් ගන්න පුලුවන් කරදරයකින් තොරව . World Market share එක දිහා බැලුවාමත් ඔය තත්වය පෙන්න තියනවනේ ,

                p.s අලුත් ios මැප් එක බලාගෙන යන්න ගිහින් අතරමං උනේ නැද්ද තාම :p

  6. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 22, 2012 at 2:29 ප.ව.

    Honda lipiyak Thanks Aruni. m,ath e thuwakkuwata asa una

  7. Kenji @ Japan said, on ඔක්තෝබර් 22, 2012 at 9:02 ප.ව.

    ඇයි සිගරට් අමතක උනාද?

  8. Nihal Gurusinghe said, on ඔක්තෝබර් 22, 2012 at 9:57 ප.ව.

    මමත් ජේම්ස් බොන්ඩ් රසිකයෙක්. බොන්ඩ් ෆිල්ම්ස් හැම එකක්ම වගේ මම බලල තියෙනවා. මම වැඩ කරන තැනත් ඉන්නවා අර mrs. moneypenny වගේම එක්කෙනෙක්.

  9. රූ said, on ඔක්තෝබර් 23, 2012 at 12:55 පෙ.ව.

    අලවිකරණයේදි මේ සංකල්ප වලට බරපතල නම් තිබුනත් මේ විදිහට භාණ්ඩ හා සේවා වලට පුද්ගලිකත්වයක් ඇති කරන්න හැදීම තමා අරමුණ…buy.ology ගැන කියවන්නට බලා සිටිමි..

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 6:55 පෙ.ව.

      රූ,

      මේ දිනවල ඇමෙරිකන් ජනාධිපතිවරණය නියුරෝමාකටින් වෙන ආකාරය දකිමින් සිටිමි. රසාස්වාදය ඉහළය. විස්තර කොච්චරක් ලියනවා ද කියන එක සිංහල පාඨකයාගේ බාහිර දැනුම එක්කත් පොඩ්ඩක් ගැටෙනවා. මගේ අඩවියේ විවිධ විෂම ගොඩක් දේවල් ගැන දැන් ලියලා තියෙන නිසා ඒවා කියැවූ අයට මේ කරුණු වටහා ගැනීම පහසු වේවි කියා හිතනවා.

  10. Ravi said, on ඔක්තෝබර් 23, 2012 at 4:24 පෙ.ව.

    ජේම්ස් බොන්ඩ්ට කලින් මම අඳුනාගත්තෙ බොන්ඩ්ගෙ ලාංකීය ප්‍රතිරූපය..ජේමිස් බණ්ඩා 019 … 🙂 🙂

    හැත්තෑව දශකයේ මැද භාගෙ විතර ශත 75 කට පොඩි පිටු තිහක වගෙ බණ්ඩගෙ වීර ක්‍රියා ඇතුලත් පොත් පිංචවල් විකුණන්ට තිබ්බ විශේෂයෙන්ම චිත්‍රපට ශාලාවල….

    අරුණිනම් කියවල නැතුව ඇති….කියවල තිබ්බ නම් අනිවාර්යයෙන් ඔයා ලියනව ඒ ගැන 😀

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 6:57 පෙ.ව.

      Ravi,

      ඒවා කියවලා නෑ නේන්නම්. පිච්චර් පිස්සෙක් වූ මගේ සුනිල් මාමාවත් ඔය පොත් ගැන කිව්වෙ නැහැනේ.

    • wicharaka විචාරක said, on ඔක්තෝබර් 23, 2012 at 8:49 පෙ.ව.

      ඒ පොත් ලිව්වේ ඩීමන් ආනන්ද නමැති කතුවරයා. ඔහු සිනමාහලකට ගිහින් බටහිර චිත්‍රපටියක් බලා ගෙදර පැමිණ රෑ එළිවෙනකොට පොතක් ලියලා ඉවර කරනවලු ඒ චිත්‍රපටියේ කතාව ඇසුරෙන්. අපි පාසල් ගියකාලේ මේ සත 75 පොත් සෑහෙන්න කියෙව්වා. හැබැයි ඩීමන් ආනන්දගේ පොත් පාසලට ගෙන ඒම තහනම්. ‘පුල් ඇඩෑල්ස් ඔන්ලි’ 😀 කෑලි ඒ කියන්නේ ගැහැණියකගේ කකුල පෙනීම, හාදුවක් දීම, වගේ මහා වනචර ඒවා ඒ පොත්වල තියනවනේ. (බලන්න දැන් ළමයි කොච්චර හොඳද කියලා ඒ වගේ ජරාව බලන්නේ නැහැනේ 😀 😀 :D) මම ඒවා කියෙව්වේ 1967 දී විතර. හැබැයි ඒ කාලෙම සත 75 ට ගත්ත ලිහිණි පොත් නමැති ප්‍රකාශන සමාගමේ පොත් වලින් අපි විශාල දැනුමක් ලැබුවා. ඩීමන් ආනන්දගේ පොත් කියවා, බටහිර චිත්‍රපට (‘බයි නයිට්’ වර්ගයේ ඒවාගේ සිට සම්භාව්‍ය තත්වයේ ඒවා දක්වා) බලන්න පුරුදු වුණා.

  11. iupasanta said, on ඔක්තෝබර් 23, 2012 at 4:54 පෙ.ව.

    හැමදාම දකින් ඇස්ටන් මාර්ටින් ට වඩා Tomorrow Never Dies එකේ දාපු Z3 එක World Is Not Enough එකේ දාපු Z8 වැඩ කලා. ඒ වගේම ත්‍රී ඉඩියට්ස් එකේ XC90 එකක් ඇඩ් කරපු එක යම් අවධානමක් අරන් දිනපු ලොකු ජයක් වෙන්නත් පුලුවන්!
    අර රටවල් වල කෑලි පෙන්න ච්ත්‍රපටි හදනව වගේ වැඩ අපේ සමහර නොවිකිනෙන පත්තර කාරයො කලිම්ම කර. කොහෙ හරි තීන ඉස්කෝලෙක පොටො ගහල දාල ළමයින්ට විකුනනව කඩේ වික්කට වඩා පත්තර 🙂

    දැන් අලුත්ම ක්‍රමේ මොබයිල් කනෙක්ෂන් එක ෆ්‍රී දීල පාවිච්චි කරනවට ගාස්තුව විදියට ඇඩ් අස්සවන එකද මන්ද. කොහොම උනත් මේ සේරම ගරිල්ල මාකටින් තමයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 7:02 පෙ.ව.

      iupasanta,

      “වැඩ කළා” කියන්නෙ ෆිල්ම් එකක බැලුවට පස්සෙ ඔයා ගිහින් ඒ වාහනයක් ගත්තා ද? වාහන අලෙවිය වැඩිවුනා ද? නැත්නම් iupasanta ගේ හිතට වාහනය ඇල්ලුවා ද?

      ගරිල්ලා මාකටින්? තුවක්කුවක් අරන් ඇවිත් දැන්වීම් වල යන භාණ්ඩ හා සේවා පාවිච්චි කළේ නැත්නම් මරලා දානවා වගේ වැඩක් ඔහේ වෙනවාද?

  12. දේශකයා said, on ඔක්තෝබර් 23, 2012 at 5:11 පෙ.ව.

    අපි කන්නේ බොන්නේ නැතිව හිතන්නේ ඕවා ගැනනේ. මාර්කටින් ගැනනං මගේ කිසිම දැනුමක් නෑ. ඒ උනාට හොලිවුඩ් වල චිත්තරපටියක් හදන්නට පිටපත කොටන දවසේ ඉදලම ඒකට සැලසුම් කරනවා. ලංකාවේ වුනත් ජනප්‍රිය වෙච්චි බොහෝ දේවල් එවැනි ක්‍රව වලින් ප්‍රචලිත වෙච්චි දේවල්. ජේමිස් බණ්ඩගේ මං දැකපු හොදම ෆිල්ම් එක තමයි අර ඔලිම්පික් වලදී රැජින එක්ක දාපු සෙල්ලම්.

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 7:08 පෙ.ව.

      දේශකයා,

      මාකටින් කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි. ශිෂ්ඨාචාර වීමත් සමඟ කඩමණ්ඩියේ හෝ පොල දිනයේ භාණ්ඩ හා සේවා විකුණාගන්න මිනිසා මාකටින් ක්‍රමවේද වල නියැලුනා. කාලයක් යද්දී ශ්‍රම විභජනය පටන් ගත්තාම ඒක තමන් කරන්නෙ නැතිව වැඩියෙන් ප්‍රතිඵල ගන්න දන්නවා යැයි හිතන කොම්පැණියකට බාර දෙන්න පටන් ගෙන.

      //ජේමිස් බණ්ඩගේ මං දැකපු හොදම ෆිල්ම් එක තමයි අර ඔලිම්පික් වලදී රැජින එක්ක දාපු සෙල්ලම්.// 🙂

  13. සාබිත් said, on ඔක්තෝබර් 23, 2012 at 5:27 පෙ.ව.

    අක්කා විනාඩි 126 කදි වෙලඳ දැනිවීම් 23ක් ගැන කතා කරනවා.. ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ ලංකාවේ මියුසික් වීඩියෝ එකක්. විනාඩි 6ක් ඇතුලේ ඔය වගේ ඩබල් පෙන්නනවා මං හිතන්නේ. චොක්ලට් කනවා,ක්‍රීම් සෝඩා බොනවා, වැස්සෙ තෙමෙනවා,කවුරු හරි රේන්කෝ කුඩයක් ගෙනත් දෙනවා.ඊට පස්සෙ ගෙදර යනවා සමහන් බොනවා.. එතකොටම BF ගෙන් හච් සිම් එකට කෝල් එකක් එනවා.. අම්මෝ වැඩ ගොඩායි!

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 7:12 පෙ.ව.

      සාබීත්,

      මල්ලිගෙ ප්‍රතිචාරය වැදගත්. දැන් ඔය විනාඩි 6 ක් ඇතුලේ පෙන්නපු දේවල් වලින් කොච්චරක් වෙළඳනාම මතකයේ තියෙනවා ද? මම ඒ ගැන ඉස්සරහට ලියනවා.

      පුංචි කාලේ මගෙ දුව දවසක් ඇහැව්වා ඇයි මේ තරම් වාහන දැන්වීම් දාන්නෙ, හැම කෙනෙකුටම වාහනයක් තියෙනවානේ කියල!!!

  14. wicharaka විචාරක said, on ඔක්තෝබර් 23, 2012 at 8:52 පෙ.ව.

    අපි සියලුදෙනාම විකිණිලා/විකිනෙනවා. මට පුදුම ලංකාවේ සිනමාහල් වල චිත්‍රපටි පෙන්වන අතරේ මඳ විරාම කීපයක් නොගන්න එකටයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 9:03 පෙ.ව.

      විචාරක,

      ලංකාවේ තාම පෙන්වන්නේ මැද විවේකයක් දෙන පැය දෙකක් ඉක්මවා යන චිත්‍රපටි නේද? අද අපි පිවිසෙන්නේ අන්තර්ජාලයෙන් සහ වයර්ලස් ෆෝන් එකෙන් ක්ෂණිකව කරන කටයුතු වලට. මම හිතන්නෙ දීර්ඝ කාලයක් අවධානය යොමු කරගෙන සිටීම එන්න එන්නම නොහැකි වී යන ප්‍රවණතාවයක් එයින් ඇති වෙන්න. චිත්‍රපටිය දිග වැඩි වුවොත් වගේ ම විරාම වැඩි වුනොත් මිනිස්සු නැඟිටලා යාවි කියලා හිතෙනවා. මෙහෙ අපි ඕනෑම රූපවාහිනී වැඩසටහනක් සජීවී බැලීම අඩුයි; පටිගත කරලා පැය භාගයකින් විතර බලන්න පටන් ගත්තම දැන්වීම් තුල දී fastforward කරලා වැඩසටහන අවසන් වෙද්දී නරඹා අවසන් කරන්න හුරුවෙලා. පව් ඉතින් දැන්වීම්කරුවන්ට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: