අරුණි ශපීරෝ‍ වෙතින්

නියුරෝමාකටින් වල දී හඳුනාගත් මොළයට දිව්ව පණිවුඩය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 23, 2012

දුම්බොන ඇබ්බැහියෙන් යුතු වූ අය තිස්දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් මොළය ස්කෑන් කරන පර්යේෂණයක් මුලින් ම පැවැත්වෙන්නේ ලන්ඩන් හි Centre for NeuroImaging Sciences (CNS) හි 2004 දී ය. ඉන්පසුව 2006 දක්වා ඇමෙරිකාවේ, එංගලන්තයේ, ජර්මනියේ, ජපානයේ සහ චීනයේ ද දුම්බොන අය 2,081 දෙනෙකුගේ සහභාගීත්වය මේ අධ්‍යයනයට යොදා ගැනුණි.

2004 දී ඩොලර් මිලියන හතරක අගයකින් වූ ක්‍රියාකරන මොළයක තතු දැනගත හැකි fMRI මැෂිමක් ආධාරයෙන් පර්යේෂණය කරන ලදි. මොළයේ මිලීමීටරයක තරම් කුඩා කොටසක පවා සිද්ධ වෙන ක්‍රියාවලිය දැනගත හැකි, ඒ ඒ මොළයේ කොටස් වලින් කුමක් වෙන්නේ දැයි දැනුම සීඝ්‍රයෙන් ඉහළ යන යුගයක අද අපි ජීවත්වෙන්නේ. අවධාරණයෙන් කිව යුත්තක් තමයි තවමත් දන්න හරියට වඩා නොදන්න හරිය වැඩියි. ඒත් වෙනදාට වඩා අද දන්නා හරිය වැඩියි. ඒ වගේ ම නොදන්නා හරිය සහ සොයාගත යුතු කොටස් මොනවා ද යන්න ගැනත් අද දැනුමක් වැඩියෙන් තියෙනවා!!!!!

පර්යේෂණයේ අරමුණ වූයේ සොඛ්‍යය වෘත්තීන්හි යෙදි අයත්, සිගරට් කොම්පැණි වල අයත්, දුම් බොන හා දුම් නොබොන සියල්ලන්ටත් පැහැදිලි කරගත නොහැකිව සිටි දැයක් නිරාකරණයයි. එනම් කාලයක් තිස්සේ අහිතකර බව ගැන කොතරම් කියා දුන්නත්, සිගරට් පැකට් වල නොයෙකුත් ආකාර වලින් අවදානම් ගැන ලියා තිබුණත්, කාලයක් තිස්සේ සිට සිගරට් දැන්වීම් ලොව පුරා තහනම් වූවත්, සමහර රටවල සිත කළඹන පින්තූර පෙට්ටියේ ම දක්වා තිබුණත්, දුම්බොන අය තවමත් දුම්බොන්නේ මන්දැයි සොයන්නටය.

දැනට ලොව දුම්බොන අය බිලියන 1.22 ක සංඛ්‍යාවක් සිටිති. එයින් බිලියනයක් ඉන්නේ නොදියුණු හා දියුණු වෙමින් පවතින රටවල ය.

ඉහත පර්යේෂණය සිද්ධ වෙන්නේ මොළය ස්කෑන් කරන විජට්ටු තොප්පියක් දමාගෙන, (පිහිනුම් කැප් එකක් වගේ) පැයක කාලයක් ඉක්මවා, වෙනත් නොයෙකුත් පින්තුර රාශියක් අතර සිගරට් බොන, සිගරට් අවදානම් කියන, බිය උපදවන සිගරට් පෙට්ටි ඇති පින්තූර දකින්නට සැලැස්වීමෙනි. යම් පින්තූරයක් දැක්කාම දුම්බොන්නට ආශාවක් ඇතිවෙන්නේ නම් ඔබන්නට බොත්තමක් ඔවුන් අතට ලැබේ. එහෙත් අයෙක් බොත්තම ඔබන්නේ නැතිව සිටියාට මොළය විසින් කැමැත්ත ප්‍රකාශ කිරීම ඔළුවේ පැළැඳ ගෙන සිටින විජට්ටු තොප්පියෙන් සඟවන්නට නොහැකියි. සිගරට් බොන අයගේ මොළයේ nucleus accumbens නම් කොටස “ඇබ්බැහියකට ලක් වූ” කොටස ලෙස හැඳින්වේ. යම් ඇබ්බැහියකට රුචිය පහළ වෙද්දී ස්කෑන් එකෙන් ඒ කොටසේ ඇති විශේෂ නියුරෝන පත්තු වෙනවා දැකිය හැකිය.

පර්යේෂණයෙන් පසුව දැනගන්නට ලැබුණු වැදගත් කාරණය නම් සිගරට් අවදානම් ගැන ඉතා බියකුරු පින්තූරයක් දකිනා විට ද ඇබ්බැහි වූ අයගේ මොළයේ නියුරෝන බලපෑමක් කළේ සිගරට් එකක් දල්වා ගන්නට කියාය!!!!

Nicotiana tabacum කියන්නෙ උතුරු හා දකුණු ඇමෙරිකාවේ සම්භවය ලත් පැළෑටියක්. අද ඔස්ට්‍රේලියාවට, දකුණු හා බටහිර අප්‍රිකාවට සහ දකුණු පැසිෆික් රටවලට ද ගෙන යන ලද Solanaceae පවුලේ පැළෑටියක්. අර්තාපල් ද මේ විෂ සහිත පැළෑටි පවුලේ වූවක්.

ඇමෙරිකා මහාද්වීපයේ දුම්කොළ පැළ වැවෙන්නට පටන් ගත්තා යැයි සැලකෙන්නේ ක්‍රි. පූ. 6000 හි දී සිට. ස්වදේශීය ගෝත්‍රික ජනතාව ක්‍රි. පූ. 1 වැනි සියවසේ සිට දුම්කොළ භාවිතයෙන් යුතුයි. දඩයමේ ගිහින් ඇවිත් සාම පයිප්ප බීලා තුටු වෙනවා වගේ ම, කකුල් ඇම්මැට්ටි වූනාම දුම්කොළ රත්කරලා පත්තු බඳිනවා. හමේ රෝග වලට, කෘමීන් කෑවාම, හම කැපුනම දුම්කොළ දානවා. මුහුණේ neuralgia කියන තත්වය මඟහරවා ගන්නට දුම්කොළ යුෂ වත්කරනවා. අර්ශස්වලට තෙත දුම්කොළ තියලා සහනයක් ලබනවා. ඔහොම කරගෙන ජීවත්වෙද්දී ඉතාලියෙන් ගොඩ වදින ක්‍රිස්ටෝපර් කොලම්බස්ට 1492 දී ගෝත්‍රික නායකයෙකු වෙතින් දුම්කොළ තෑග්ගක් ලැබෙනවා. ලෝකෙ පුරා දුම්කොළ යන්න පටන් ගන්නෙ එතැනින් පස්සෙ. යුරෝපය පුරාත් දුම්කොළ වගාව පටන් ගැනෙනවා. කොච්චර ඒ පැළෑටියේ ලෙඩ සුවකරන අගය ගැන විශ්වාසයක් ඇති වුනා ද කිව්වොත් 1571 දී ස්පාඤ්ඤ වෛද්‍යවරයෙක් වූ Nicolas Monardes දුම්කොළ වලින් ලෙඩ 36 ක් සුව කරන්න පුළුවන් යැයි පොතක් ලිව්වා!!!! (එයා ග්‍රීක හා අරාබි බෙහෙත් ගැනත් හදාරපු අයෙක්. රෝස හා දෙහි (පැඟිරි) පැළෑටි වල අගයන් ද ගැන ලියූ අයෙක්.)

1588 දි තෝමස් හැරියෙට් කියන වර්ජීනියාවේ වැසියෙක් දුම්කොළ පානය ප්‍රචලිත කරපු අයෙක්. ඒ කාලේ දුම් නැහැයෙන් ඇදීමයි ජනප්‍රිය වෙලා තිබ්බෙ. මිනිහා මැරෙන්නෙ නැහැයේ පිළිකාවකින්.

1600 ගණන් වෙනකොට කොතරම් ජනප්‍රිය වෙනවා ද කියතොත් මුදල් වෙනුවට දුම්කොළ භාවිතා වෙනවා. රත්තරන් හා වටිනාකමක්!!

1610 වෙද්දී සර් ෆ්‍රැන්සිස් බේකන් දුම්බීම නතර කරන්න ගන්නා උත්සාහයේ දී ඇබ්බැහිය ගැන හඳුනාගන්නවා. 1632 දී මේෆ්ලවර් නම් නෞකාව ප්ලිමත් රොක් යන මැසචූසෙට්ස් ප්‍රාන්තයට එද්දී මහජන ස්ථාන වල දුම්බීම තහනම්!!!! හැබැයි ඒ සෞඛ්‍යයට අහිතකර යැයි ගැන දැනුමට වඩා ඇබ්බැහිය ගැන වූ ආචාර ධාර්මික පදනමකින් වූවක්.

1760 දී Pierre Lorillard නම් වූවා නිව් යෝර්ක් නගරයේ ඇමෙරිකාවේ පැරණිතම දුම්කොළ කොම්පැණිය ආරම්භ කරනවා.

(දුම්කොළ ඉතිහාසය ගැන වැඩි විස්තර හොයන අයට මේ ඉංග්‍රීසි අඩවිය උපකාරී වේවි.)

ලංකාවත් ළඟක දී සිට සිගරට් පැකට් වල බිය උපදවන රූප දාන්න පටන් ගත්ත දුම්බීම අඩු කරන්න. එහි ප්‍රතිඵලය ලැබෙන්නේ කිසිදා සිගරට් ඇබ්බැහියක් නැති අයටයි. ඇබ්බැහි වූවන්ට ඒ දැක්කමත් මොළය ඉල්ලා සිටින්නේ සිගරට් එකක් දල්වා ගන්නට කියා.

චීනයේ ආර්ථික දියුණුවත් සමඟ සිගරට් භාවිතය ද ඉහළ ගිහින්. බිලියනයකට අධික ජනගහණයක් තියෙන චීනයේ දුම්පානය ඇමෙරිකාව, රුසියාව, ජපානය හා ඉන්දුනීසියාව යන සියළු රටවල දුම්පානය කරන අය ඉක්මවා යනවා. පිරිමි වෛද්‍යවරුන් අතර 60% ක් දුම්පානයෙන් යුතුයි. චීනය සිගරට් ට්‍රිලියන 1.8 ක් වසරක දී විකුණනවා.

සිගරට් දැන්වීම් ලොව පුරා තහනම් වූවාට, අඩු වයසේ අයට විකිණීම තහනම් වූවාට, මහජන ස්ථාන වල දුම්බීම තහනම් වුවාට, ඊට ඇබ්බැහි වූ අයෙකුට ඒ ගැන කියන ඕනෑම දෙයකින් (මේ සටහනෙන් පවා) දුම්බොන්නට කියා මොළය ඉල්ලන්නේ නම් මොන පියවර ගත යුතුද යන්නයි අද අභියෝගය.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ඔක්තෝබර් 23, 2012 at 9:29 පෙ.ව.

    දුම්පානයට ඇබ්බැහි වන්නේ මොකද කියල මට නං තවම හිතාගන්න බෑ. කාලයක් දුම් බිව් කෙනෙක් විදියට, වැඩ කරන දවස්වල නිශ්චිත කාල ප්‍රාන්තර අතරෙදි දුම්වැටිය ඕනවුනා. නමුත් ඒ දවස්වලම ගෙදර ඉන්න වෙලාවේදී ඒ අවශ්‍යතාවය දැනුනෙ නෑ.

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 9:41 පෙ.ව.

      රාජ්,

      ඇබ්බැහිය පුද්ගලයාට විශේෂිත වූවයි. පාලනය කරගැනීම තමන් ළඟ යම් තරමකටත් බාහිර කරුණු මත වැඩි ප්‍රමාණයකටත් සාධක වෙන්නක්. ඒ නිසා හිත හයිය කරගනින් කිව්වට ඵලක් නැහැ. සෑහෙන කාලයක හුරුවක් අවශ්‍යයයි. සමහරු මේ නරක වැඩේ අත්හරින්න සමත් වුනාම තවත් සිරුරට අහිතකර වුවකට ඇබ්බැහි වෙන හැකියාවකින් ද යුතුයි. මිනිසා කියන්නෙ හැමදාම එල්ල වන අභියෝගයන් ජයගන්නට සිද්ධ වෙන සතෙක්!!!

  2. Kenji @ Japan said, on ඔක්තෝබර් 23, 2012 at 9:36 පෙ.ව.

    පිදෙල් කස්ත්‍රෝ උරණ/උරපු හවානා සුරුට්ටුව ගැන යම්කිසි විශේෂ දෙයක් තියෙනවද?

  3. මිස්ටර් හයිඩ් said, on ඔක්තෝබර් 23, 2012 at 10:00 පෙ.ව.

    අහිතකර තත්වය දැන දැනම සිගරට් දල්වන්නේ ඇයි දැයි සාකච්ඡා කරන BBC podcast එකක් සති ගාණකට කලින් ඇහුවා. එකේදී හොංකොං විශ්ව විද්‍යාල සිසුවෙක් කියන විදිහට චීනයේ ව්‍යාපාරික හමුවකදි අනිවාර්යෙන්ම සිගරට් දැල්වීමක් සිදු වෙනවලු.

    downloads.bbc.co.uk/podcasts/worldservice/whyfactor/whyfactor_20121005-1850a.mp3

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 10:06 පෙ.ව.

      මිස්ටර් හයිඩ්,

      සමාජය තුලින් එන පීඩනයෙන් ගැලවෙන්න ලේසි නැහැ. ජපානයේ හැම තැනම වෙන්ඩින් මැෂින් තියෙනවා දැක්කා සල්ලි දාලා සිගරට් පැකට් ගන්න.

      සබැඳියට ස්තූතියි.

  4. budditha said, on ඔක්තෝබර් 23, 2012 at 11:19 පෙ.ව.

    දුම් බීමට වගේම දුම් බිම නතර කිරීමටත් විශාල ඉතිහාසයක් තියෙන බව පේනවා. මද්‍යසාර ඇතුලත් දර්ශනයක් රුපවාහිනියේ යද්දී “මෙය මද්‍යසාර ප්‍රවර්දනය සඳහා එම ආයතන විසින් මුදල් ගෙවා පළ කරන ලදී” කියන වාක්‍ය පළ කිරීමෙන් ඇතිවෙන ප්‍රයෝජනයක් නැහැ නේද..

  5. wicharaka විචාරක said, on ඔක්තෝබර් 23, 2012 at 11:24 පෙ.ව.

    1977 සිට 1994 දක්වා මම අධික ලෙස දුම්පානය කළා. 1994 දී දිනකට සිගරට් 42 ක් බිව්වා. එක දවසක් හිටපු ගමන් හිතුනා නවත්තනවා කියලා. නැවැත්තුවා. අනික් වැඩේ මාසෙකට සැරයක් විතර තමයි මඳ වශයෙන් කරන්නේ. ඒකත් නවත්තන්න ඕනේ.

  6. Maathalan said, on ඔක්තෝබර් 23, 2012 at 12:28 ප.ව.

    ඕක එක එක අය එක එක දේට පුරුදු කරගෙන තියෙනවා.. මම නම් මුලින් බිව්වේ පොරක් වෙන්න.. කාලයක් බිව්වා ප්‍රශ්ණ ආවාම… කාළයක් නැවත්තුවා.. ආයෙත් පානය කලා.. දැනුත් නවත්තලාම නෑ.. තැනේ හැටියට බොනවා.. ඒත් කවදාවත් ගෙදරවත්, වැඩිහිටියන් හා ගුරුවරුන් ඉදිරියේනම් බොන්නේම නෑ.. සමහර වෙලාවට හිතට සහනය ගේනවා..

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2012 at 12:55 ප.ව.

      Maathalan,

      //මම නම් මුලින් බිව්වේ පොරක් වෙන්න// -සමාජයේ උවමනාව නිසා කරන!!!!
      //ඒත් කවදාවත් ගෙදරවත්, වැඩිහිටියන් හා ගුරුවරුන් ඉදිරියේනම් බොන්නේම නෑ.// -සමාජයේ උවමනාව නිසාම නොකරන!!!!
      ඒ නිසා වෙන්නැති,
      //සමහර වෙලාවට හිතට සහනය//!!!!

  7. LALITA RANAWANA said, on ඔක්තෝබර් 23, 2012 at 11:31 ප.ව.

    MAMA DUM BIWWE EKAI.IHALATA ADDA DUM SAMAGA KASSAK AAWA..AYE KAWADAWATH BIWWE NA

  8. තිසර said, on ඔක්තෝබර් 23, 2012 at 11:42 ප.ව.

    පොඩි කාලේ කොලයක් රෝල් කරල කොණක් පත්තු කරලා අනිත් කොණින් උරලා මොලේ දැවිල්ල හදාගත්ත ඇරෙන්න මම නම් සිගරට් බීලම නැහැ. මත්පැන් භාවිතයට මගෙ එතරම් විරුද්ධත්වයක් නැතත්, දුම්බීමට නම් මම ගොඩක් විරුද්ධයි, මත්පැන් බීම කියන ක්‍රියාව ගත්තහම එකෙන් හානිය බොන කෙනාට විතරයි (බිව්වට පස්සේ ඇතිවෙන්න පුළුවන් හානිදායක ක්‍රියාවන් ඉතින් සාපේක්ෂයිනේ), නමුත් සිගරට් එකක් බීම යන ක්‍රියාවෙදිම ඒකෙන් නොබොන අයටත් හානියක් වෙනවා. මගේ විරෝධය ඇතිවෙලා තියෙන්නේ, දුම් නොබොන කෙනෙක් හැටියට, වෙන කෙනෙක් ඒක කරනකොට මම ඒකෙන් අපහසුවට පත්වෙන නිසා කියලා මම හිතන්නේ.

    සිගරට් වලට නැති උනාට වෙන වෙන දේවල් වලට නම් ඇබ්බැහිවෙලා තියනවා, බ්ලොග් වලට වගේ… ගොඩක් බ්ලොග් වල තියන දැනුම, විනෝදය, රසාස්වාදයට ඇබ්බැහිවෙනවා කියන එකත් ලොකු ප්‍රශනයක් වෙන්න පුලුවන්. ලෝකයේ අපි නොදන්න දේ බොහොමයි කියලා දැනෙනකොට, ඒ දැනුම හඹායන්න ආසාවක් ඇතිවෙනකොට, එහෙම දැනුම හඹායනකොට, පොත් පත් තුල, කොම්පියුටර් තුල අපි ගතකරන කාලය වැඩිවෙනකොට විවාහක, දරුවෝ ඉන්න කෙනෙක්ගෙ ගෙදරක ඇතිවන තත්වය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. විද්‍යාඥයන් තමන්ගේ ක්ෂේත්‍රයට අදාල දැනුම සොයා යාම ගැන නෙමෙයි මම කියන්නේ… විවිධ ක්ෂේත්‍ර වල විවිධ දැනුම සොයා යාමට ඇතිවෙන ආශාව. ඒක මිනිසෙක්ව ඉක්මනින් වෙහෙසට පත්කරන, එතරම් ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා හිතෙනවා… අනික අරුණි කියලා තියනවා වගේ මෙහෙම දැනුම ලැබෙනකොට, නොදන්නා දේ පිළිබඳව වැටහීමක් ඇතිවෙනවා, සමහරවිට මේ වැටහීම ටිකක් දරාගන්න අපහසු දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක පීඩනයක් වෙන්න පුලුවන්. ඉතින් ඕවා ගැන නොහිතා නවකතාවක් කියවගෙන ඉන්න එක තමයි මම මේ දවස් වල කරන්න හදන්නේ… තාම පටන් ගත්තා විතරක් නිසා බ්ලොග් ඇබ්බැහිය අත අරින්න ටිකක් කල් යයි… අත් ඇරීම සාධාරණීකරණය කරන්නත් මොනව හරි දැනන් ඉන්න එපැයි.

  9. arunishapiro said, on පෙබරවාරි 20, 2015 at 6:23 ප.ව.

    Reblogged this on අරුණි ශපීරෝ‍ වෙතින් and commented:

    යල්පැන ගිය කතිකාවක් නැවත කරලියට පැමිණ ඇති නිසා මෙය ද නැවත ගෙන එන්නට සිත්විය.

  10. mppgunasinghe said, on පෙබරවාරි 21, 2015 at 3:18 පෙ.ව.

    බොහොම වටිනා ලිපියක්යි පවසන්නෙ සිංහලෙන් කියවන්න අලුත් විස්තර රාශායක් ලැබෙන නිසයි. මාත් මගේ සගයින් සිව් දෙනෙක් ද සමග (වසර 35 කට පමණ පෙර ) දුම්බීම නවත්තමු යැයි යෝජනා කරගත්තා. මේ යෝජනාව ක්‍රියාකිරීමේ දී හාස්‍ය ජනක ප්‍රතිඵල ඇතිවුනා. දුම්බීම වෙනුවට ආදේශකයක් ගතහැකියයි පැවසූ මා ඉන් පසුව බුලත් කෑමේ පුරුද්දට ඇබ්බැහිවුනා. ඒක තවම නවතා ගන්නට බැරිවුනා.තවත් කෙනෙක් මගේ යෝජනාව අනුව යමින් ආදේශක ලෙස බුලත් කෑම යොදාගන්න ගිහින් දුම්බීම සමග බුලත් කෑමේ පුරුද්දටත් ඇබ්බැහි වුනා. තවත් කෙනෙක් සෙසු තිදෙනාට හොරෙන් සිගරට් උරන්ට වුනා. එක්කෙනක් පමණක් කිසිම ආදේශකයක් යොදා නොගෙන දුම්බීම නවතා ගත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: