අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් අයිඩල් හි තිබි වෙළඳනාම සාර්ථකත්වය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 24, 2012

ඇමෙරිකන් රූපවාහිනී ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වැඩසටහන් අතරට එකතු වෙන ‘ඇමෙරිකන් අයිඩල්’ මෙහෙට ගේන්නේ බ්‍රිතාන්‍යයෙන්. ‘පොප් අයිඩල්’ රසිකාවියක් වූ රූපට් මර්ඩොක්ගෙ දුව තමයි මෙහි අවදානම ගන්න කියා පියාට බලකරලා තියෙන්නෙ. බ්‍රිතාන්‍යයේ ‘පොප් අයිඩල්’ හදලා තියෙන්නෙ එය හදපු කෙනා ඔස්ට්‍රේලියාවේ දී ‘පොප්ස්ටාර්ස්’ දැකල. ‘පොප්ස්ටාර්ස්’ මුලින් ම පෙන්වා ඇත්තේ නවසීලන්තයේ.

‘ඇමෙරිකන් අයිඩල්’ සඳහා ඇමරිකාවේ ක්ෂණික සාර්ථකත්වය ලැබෙන්නෙ එය ඇමෙරිකන් සුවිශේෂීත්වය ගැනම වු නිසා වෙන්නැති. රට වටා ගිහින් දක්ෂකම් ඇති නැති අය අතරින් තෝරාගන්නා වූ පිරිසකගෙන්, ඒ අය අතරින් ද විනිශ්චයකරුවන් තෝරන තවත් ටික දෙනෙක් වෙතින්, ඒ අය අතරින් මහජන මනාපයෙන් අවසන් ජයග්‍රාහකයා තීරණය වීම යනු දැඩි තරඟකාරීත්වය තුල අවදානම් ගන්නට ඉදිරිපත් වෙන උත්සාහවන්තයට ජය ලැබෙන ක්‍රමය. මේක 2005 සිට 2011 දක්වා වැඩියෙන් ම නරඹන වැඩසටහන් මාලාවට වෙනවාට අමතරව සීසන් හතක් පුරා නොකැඩී පළමු ස්ථානයේ ඉන්නට සමත්වෙනවා.

පළමු සීසන් එකේ කොකා-කෝලා, ෆෝර්ඩ් මෝටර් කොම්පැණිය සහ සින්ගියුලර් වයර්ලස් (දැන් at&t කොම්පැණියෙ) විසින් ඩොලර් මිලියන 26 බැගින් වැය දැරීමෙන් එහි ප්‍රධාන දැන්වීම්කරුවන් තිදෙනා වෙනවා. ඒ සඳහා මේ අයට ලැබෙනවා වැඩසටහන තුල දී පෙන්වන තත්පර තිහක දැන්වීම් දාන්න ඉඩප්‍රස්ථාව. කෝකා-කෝලා සහ සින්ගියුලර් වයර්ලස්, දැන්වීම් පමණක් නොව තමන්ගේ නිෂ්පාදන වැඩසටහනේ පාවිච්චියට එකතු කරනවා. ෆෝර්ඩ් මෝටර් කොම්පැණිය දැම්මේ දැන්වීම් පමණයි.

විනිශ්චයකරුවන් බොන කොකා-කෝලා කෝප්ප වැඩසටහන පුරාම පේන්න තියෙනවා. තම විනිශ්චය දෙන්න කළින් ඔවුන් පොඩි උගුරක් බොන අවස්ථා ද තියෙනවා. ඇතුලේ හැඩ ගැන්වෙන කාමර වලට කැමරා දුවද්දී එවායේ පෙනෙන පුටු හා දිවාන් ද කෝක් බෝතල් සේ රවුම් හැඩවලින් යුතු වෙනවා. වේදිකාවට ඇතුල් වෙන්නෙත් පිට වී යන්නෙත් කොකා-කෝලා රතු පාටින් ගාපු බිත්ති තියෙන කාමර වලින්. වැඩසටහනේ 60% ක කාලයක් මෙසේ කොකා-කෝලා සඳහන යුතුයි.

වැඩසටහනේ පරමාර්ථය, නන්නාඳුනන දක්ෂතා ඇති අයෙකුව රටේ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා කරවීම. ඉතින් පැත්තකින් ඉඳන් කොකා-කෝලා ඒ සිහිනය සැබෑ කරගන්න උදව් කරන්නෙ මෙහෙම නොකියා කියා: හැමෝගේම ආදරය දිනාගන්න නම් බොන්න කොකා-කෝලා.

සින්ගියුලර් වයර්ලස් හි වෙළඳ සංකේතය වැටෙනවා sms/text පණිවිඩ එවන්න කියලා දාන නොම්මරය අසල. තම කැමැත්ත දක්වන විජට්ටුවක් හැටියටයි එය නරඹන්නාගේ සිතේ සටහන් වෙන්නෙ. ඒ හැරෙන්නට ඩොලර් 2.95 කට කළින් දා රැයේ සංගීතය ring tones විදියටත් විකුණනවා වයර්ලස් කොම්පැණිය හරහා. නරඹන්නාව එයින් වෙළඳනාමය සමඟ තවත් සහභාගී කරගන්නවා.

අනිකුත් වාහන දැන්වීම් අතර තත්පර තිහේ ෆෝර්ඩ් දැන්වීම මහපාරේ වංගු වලින් දිවෙන තවත් වාහන දැන්වීමක් විතරයි. දැන්වීම් වැටෙන විට අවධානය වෙනතක යවන්න පුරුදු වෙලා ඉන්න අයට ෆෝර්ඩ් දැන්වීම් තිබ්බා ද කියලත් මතක නැහැ. කතාවට සම්බන්ධයක් නැති නිෂ්පාදනයක් පෙන්නුවාම එය සාබීත් මල්ලි කියන ලංකාවේ මියුසික් විඩියෝ වගේ වැඩක් නොහොත් තවත් එක දැන්වීමක් පමණයි. නරඹන්නා හුරු වෙලා තියන්නෙ දැන්වීම් බහුල ලෝකයක දැන්වීම් tune out කරන්න මිසක් ඒවාට අවධානයක් දෙන්න නෙමෙයි.

නියුරෝමාකටින් පර්යේෂණය වූයේ මෙහෙම:

‘ඇමෙරිකන් අයිඩල්’ මුළු වැඩසටහන තුල දී දැන්වීම් ප්‍රචාරය වූ සියළු නිෂ්පාදන වෙළඳනාම (product logos) අතරින් විස්සක් ගෙන ඒ එකක් බැගින් එක තත්පරයක් පමණක් දකින විදියට පර්යේෂණයට සහභාගී වූ අයට ඉදිරිපත් කරනවා. මේ විස්සට product placement කරන නොහොත් කලින් කියූ ප්‍රධාන දැන්වීම්කරුවන්ගේ වෙළඳනාම තුන ද අයිතියි.

අනතුරුව පර්යේෂණයට සහභාගී වෙන අයට දැන්වීම් නැති මිනිත්තු විස්සක ‘ඇමෙරිකන් අයිඩල්’ වැඩසටහනක් සහ තවත් දැන්වීම් නැති මිනිත්තු විස්සක වෙනත් රූපවාහිනී වැඩසටහනක් නරඹන්න සලස්වනවා.

මේ දෙක නරඹා අවසානයේ දී ආයෙත් අර මුලින් දැකපු, එක තත්පරයක දී එක වෙළඳ සංකේතයක් දකින්න හැදුව තත්පර විස්සෙ දැන්වීම් එකතුව පිට පිට තුන් වතාවක් නරඹන්නට සලස්වනවා.

අරමුණ: කොයි වෙළඳනාමය ද නරඹන්නාගේ මතකයේ තියෙන්නේ යැයි සොයාගැනීම.

ඇයි ඒ? මතකයේ තියෙන වෙළඳ නාමයක් තමයි අයෙක් මිල දී ගන්නට පෙළඹෙන්නේ.

අධ්‍යයනයෙන් දැනගන්නට ලැබුනේ මුලින් පෙන්වපු තත්පර විස්සෙ දැන්වීම් එකතුව අවසන වෙළඳනාම විස්සම එක හා සමාන වූ මට්ටමකින් ඔවුන්ගේ මතකයේ තිබෙන බව. අර ප්‍රධාන තුන්දෙනා ගැන විශේෂ මතකයක් ඇතිබව පෙනෙන්නට නැහැ. ඒත් පර්යේෂණයේ අවසන අර ප්‍රධාන තුන කොතරම් මතකයේ රැඳුනා ද කියනවා නම් අනිත් ඒවා මතක් කරගන්නට පවා ඔවුනට අපහසු වෙනවා. වැඩසටහන් දෙක නරඹා අවසානයේ දී ඔවුනට කොකා-කෝලා සහ සින්ගියුලර් මතකයේ තියෙද්දී කළින් විස්සෙ තිබිච්ච පෙප්සි සහ වරයිසන් වයර්ලස් යනාදිය අමතක වී යනවා.

ෆෝර්ඩ් මෝටර් කොම්පැණිය වසරක දායකත්වයට මිලියන 26 ක් දාලා අනාගත්තෙ ඒ විදියටලු!!!!!

දැන්වීමක් කියපු ගමන් දැන්වීම් බහුල ලෝකයක ඉන්න මොළය හුරුවෙලා තියෙන්නෙ වෙනතක යන්න. මොකද ඇවිල්ලා තියෙන්නෙ දැන්වීම බලන්න නෙමෙයිනෙ. ඒත් මතකයිනෙ කලින් සටහනේ කියපු ET චිත්‍රපටියෙ එන චොක්ලට් ගැන. එතැන දී චොක්ලට් කතාවේ කොටසක්. ETව එළියට ගන්න එලියට් ගන්නා උත්සාහයේ දී අවධානය යොමුවෙන නිෂ්පාදනයයි චොක්ලට්. කෙළින්ම කතාවට අදාලයි.

තත්පර තිහක දැන්වීම් දමන අතර වැඩිපුර කාලයක් තුල දකින්න ලැබෙන කොකා-කෝලා පාට පසුබිම්, අර කළින් දැක්ක දැන්වීම අමතක කරන්නට මොළයට ඉඩදෙන්නෙ නැහැ. කොකා-කෝලා බොන විනිශ්චයකරුවන් වෙතින් ජයග්‍රහණය සහ සම්බන්ධ වූ හැඟීම අදාල කිරීමක් නිසා මොළය එයත් මතකයේ තියාගන්නවා. ඒ වගේම දැන්වීම් යන වේලාවට බාත්රූම් පැත්තෙ දුවලා එන අයටත්, TiVo කරලා බලන අයටත් product placement අදාල වෙන විදියට දැම්මම ගැලවෙන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.

රූපවාහිනී වැඩසටහනක් තුල, චිත්‍රපටියක් තුල, මියුසික් විඩියෝවක් තුල භාණ්ඩයක් හෝ සේවාවක් පරිහරණය කරනවා දැක්කාට භාණ්ඩය කතන්දරයට අදාල වෙන හැටි, වෙළඳනාමයට අවධානය ඇදෙන හැටි කියාපාන්නේ නැත්නම් වෙළඳනාමය ගැන මතකයක් මොළයේ ඇති වෙන්නේ නැහැ.

දැන්වීම් හැම එකක්ම එක හා සමාන වෙද්දී වෙළඳනාමයකට වාසියක් ලැබෙන්නේ නැහැ. වාහන දැන්වීම් තමයි වැඩියෙන්ම මුදල් නාස්ති කරන්නෙ. හැම වාහන දැන්වීමක්ම රූං රූං ගාලා යන කාර් වලින් පිරිච්ච ඒවා. මොන මෝටර් කොම්පැණිය ද කියා හැමෝටම අමතකයි. ප්‍රසිද්ධ අයෙක් පදවාගෙන යන වාහනයක් තියෙන දැන්වීමක මතකයේ ඉන්නේ ප්‍රසිද්ධ පුද්ගලයාව මිසක් වාහනය කුමක් ද කියා නෙමෙයි.

මම කිසිම දවසක බලපු නැති ‘ඇමරිකන් අයිඩල්’ වැඩසටහන ගැන සියළු තොරතුරු සැකසෙන්නේ buy.ology; Truth and Lies About Why We Buy, Martin Lindstrom (2008) පොතේ විස්තරය සහ අමුණන ලද වෙබ් අඩවි වලින්. මා කොකා-කෝලා රසයට කැමති නැත. වරයිසන් වයර්ලස් මගේ අයිෆෝනයේ සේවාව දෙන්නාය. ජර්මන් කාර් පදවන්නෙමි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on ඔක්තෝබර් 24, 2012 at 9:05 පෙ.ව.

    ඇමරිකන අයිඩල් මගේ ප්‍රියතම වැඩසටහනක්. මෙහේ කාළකන්නි වැඩ සටහන් වගේ නෙමෙයි සංගීත වැඩ සටහන පැයයි. ප්‍රතිඵල වැඩසටහන පැය භාගයයි. මම දන්න විදියට සයමන් කවේල් තමයි ඇමරිකන් අයිඩල් සන්නාහ අයිතිකරු. ඔහු එමගින් ළෝකයේ ධනවත්ම පුද්ගලයෙකු වූ බවත්, නම්බර් වන් ප්ලේ බෝයි කෙනෙකු බවත් විවිධ වැඩසටහන් තුලින් දැක තියෙනවා. නමුත් දැන් ඔහු ඒ වැඩ සටහනේ නෑ. මම කැමති මුකුත්ම නෙමේ ඔහුගේ අවාජ්‍ය විවේචනය. එය සෑහෙන දරුණුයි. සමහර වෙලාවට තරඟ කරුවන් හඬවන්නට පවා.. ඒත් මෙහේ කරන්නේ මෙලෝ දෙයක් බැරි එකත් අප් කරන එක. එතන වෙළඳ ප්‍රචාරණයක් ගියත් දක්ෂයට තැන දෙන බවක් පේනවා. එතුලින් බිහිවූ කෙලි ක්ලාක්සන් හා කෙරී අන්ඩවුඩ් ඒ බව ඔප්පු කරලා තියෙනවා.

    ඒත් මෙහේ වෙන්නේ වෙන එකක්. මෙහේ කලින්ම ස්ටාර් තෝරලා. මිනිස්සුන්ගෙන් හම්බ කරන් කනවා. දක්ෂ එකා කැපිලා යනවා. හැම චැනල් එකේම තත්වේ ඒකයි..

    • arunishapiro said, on ඔක්තෝබර් 24, 2012 at 9:11 පෙ.ව.

      Maathalan,

      නොදියුණු රටවලට ආවේණික දුප්පත් බවට හේතුවන හේතු කිහිපයක් 😀
      විවේචනය පුද්ගලික පහරක් වීම
      විවේචනය කරන්නාට පුද්ගලික ඇජෙන්ඩාවක් තිබීම
      දක්ෂයා කවුදැයි සත්‍යයෙන් ම නොදැකීම
      අනුන්ගෙන් කන්න මිසක් තමන් උපයන්නේ කෙසේදැයි නොදැනීම = පුද්ගලික දේපල අයිතිය vs මහජන දේපල අයිතිය නොදැනීම

      • Buwa said, on ඔක්තෝබර් 24, 2012 at 9:28 පෙ.ව.

        //විවේචනය පුද්ගලික පහරක් වීම
        විවේචනය කරන්නාට පුද්ගලික ඇජෙන්ඩාවක් තිබීම
        දක්ෂයා කවුදැයි සත්‍යයෙන් ම නොදැකීම
        අනුන්ගෙන් කන්න මිසක් තමන් උපයන්නේ කෙසේදැයි නොදැනීම//

        +++++++++++++++++++++

  2. රාජ් said, on ඔක්තෝබර් 25, 2012 at 12:05 පෙ.ව.

    මෙහේ අයිඩල් නිසා හැම අයිඩලයක්ම එපාවෙලා තියෙන්නෙ. ජරාව! 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2012 at 6:51 පෙ.ව.

      රාජ්,

      Quiz Show (1994) චිත්‍රපටිය කියන්නෙ ඵෛතිහාසික සිද්ධියක් වටා ගොඩනැඟිච්ච ප්‍රබන්ධයක්. Twenty-One නමින් 1956 දී තිබිච්ච ටෙලිවිෂන් වැඩසටහනක අධ්‍යක්ෂකවරුන් හා අයිතිකරුවන් වැඩසටහනට ජනප්‍රසාදය දිනාගන්නට ඔවුන් සුදුසු යැයි තීරණය කරන අයට උත්තර සපයන දැනගන්නට ලැබෙනවා. හොර එළිවෙන කොට ෆෙඩරල් ආණ්ඩුවෙන් ගවේෂණයක් ද පැවැත්වෙනවා. ඊට පස්සෙ එවැනි වැඩසටහන් වලට ඇති ප්‍රසාදය බෙහෙවින් අඩුවෙනවා. චිත්‍රපටියේ එක තැනක් සෑහෙන වැදගත්: හොර තරඟකරුවෙක් වූ Herb Stempelගේ බිරින්ඳෑ අවලාද කියනවා එයාගේ මහත්තයාට ඔයා මහජනතාව රැවැට්ටුවා කියා. ඔහු මහජනයා තැකීමක් නැහැයි කියන්න යද්දී, බිරිඳ “මාත් ඒ වැඩසටහන බලපු මහජනයා තමයි,” තමයි කියලා පිටවෙලා යනවා. තරඟයක දී මිනිසා කැමති නීතියට අනුකූලව දිනුම පැරදුම තීරණය වෙනවා දකින්න. එහෙම කරන මුවාවෙන් නීති කඩලා අන් අයෙක් තීරණය කරපු හැම අවස්ථාවකම ජනප්‍රසාදය අහිමි වූ බවයි ඉතිහාසය පෙන්වන්නේ!!!!

  3. රූ said, on ඔක්තෝබර් 25, 2012 at 1:41 පෙ.ව.

    සන්නාමකරණයේ දියුණුව කොතෙක්ද කියනවා නම් වෙළඳ නාම නැතුව අපිට හීනවත් පේනැතුව ඇති..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: