අරුණි ශපීරෝ‍ වෙතින්

අනුන්ගේ බඩු තමන්ගේ වෙළඳනාමයෙන් විකිණීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2012

මේක පටන් ගැනෙන්නෙ දැනට අවුරුදු විස්සකට විතර පෙර සිට. මෙහෙ තියන ෆුඩ්සිටි වගේ දාමකඩ වෙළඳනාමයෙන් ඇති බඩු එක්ක තමන්ගෙ කඩේ නම ගහලා තියෙන බඩුව සසඳා බලන්න කියලා අභියෝග කරන පින්තූර හැම තැනම එල්ලනවා. වෙළඳනාමයට වඩා කඩේ නම තියෙන බඩුවේ මිල අඩුයි. අරන් ගිහින් කාලා බීලා බැලුවොත් ඒ රහම තමයි. ඉතින් පාරිභෝගිකයා කැමැත්තෙන්ම කඩේ නම තියෙන බඩුව ගන්න හුරුවෙනවා.

අඩු මිලට ගන්නා භාණ්ඩය රහෙන් ගුණෙන් වෙනසක් නැත්නම් වෙළඳනාමය ඇති කොම්පැණියේ බඩුවට ඇයි මොකට ද වැඩියෙන් සල්ලි දෙන්නෙ?

කැෂියර්ට සල්ලි දෙන ගමන් මම ඇහැව්වා: “කොහෙද ඔයාලගේ කිරිපට්ටි තියෙන්නෙ?”

“කිරිපට්ටි?”

“ඔව්, මම කැමති Mayfield කිරි රහට. මම ඒ ගොවිපොලට ගිහින් තියෙනවා. කිරි අයිස්ක්‍රීම් හදන හැටි දැකලා තියෙනවා. ඔයාල විකුණන කිරි එන්නෙ කොහෙන් ද?”

ගෑණු ළමයා ඇස් පුංචි කරන් මා දිහා බලාගෙන සිටිය. කවුරුත් ඒ ගැන කිසිවක් කියනවා ඇහිලා නැහැ. අන්තිමේ දී ඔළුව වනලා කිව්වේ දන්නෙ නැහැයි කියල.

දාමකඩ බඩු ගන්නෙ තොග වශයෙන්. භාණ්ඩ නිෂ්පාදනයේ පමණක් යෙදෙන ගොවිපලකට හෝ කම්හලකට බඩු විකුණන්න කඩයක් නැහැ. ඉතින් මුලින් ගොවිපලෙන් බඩු ගෙන විකුණන දාමකඩය දැන් ගොවිපොලට බලපෑම් කරනවා මෙච්චර කොටසක අපේ දාමකඩේ නාමයෙන් ගහලා දෙන්න කියල. ඉතින් එහෙම දෙන්න බැහැයි කියන අයට වඩා එහෙම විකුණන්න කැමති වෙන අය ඉන්න නිසා අනුන්ගේ බඩුවක් තමන්ගෙ වෙළඳනාමයෙන් විකුණන්න අවස්ථාවක් දාමකඩය ලබාගන්නවා.

මුලින් සසඳා බලද්දී පාරිභෝගිකයාගේ මතකයේ සටහන් වෙන්නෙ බඩු දෙක අතර වැඩි වෙනසක් තිබ්බෙ නැතිබව. වැඩි වෙනසක් තියෙන්නෙ කොහොමද එකම ගොවිපලෙන් බඩු අරගෙන තියෙන්නෙ. ඒ වුනාට පාරිභෝගිකයා වැඩියෙන් දාමකඩේ විකිණෙන අඩු මිල බඩුවට නැඹුරුවෙද්දී ඊට පස්සෙ ගොවිපොල වෙනස් කරන්නට දාමකඩයට හැකියි.

වෙළඳනාමයක වගකීම නිෂ්පාදකයාට. දාමකඩයක වෙළඳනාමයේ වගකීම දාමකඩයට. නමුත් වෙනස මේකයි. භාණ්ඩය නිෂ්පාදනය කරන්නාගේ වෙළඳනාමය කුමක් දැයි සොයාගන්නට පාරිභෝගිකයාට ඉතා පහසුවෙන් පුළුවන්. ඒත් දාමකඩය තමන්ගෙ වෙළඳනාමය ගහන්නේ කොයි නිෂ්පාදකයාගේ භාණ්ඩයට දැයි සොයාගැනීම නොහැකියි.

වෙන කඩයක ඩොලර් පහකට ගන්න පුළුවන් කපු කමිසයක් ඩොලර් පනහකට විකුණන කඩයක් සාර්ථක වෙන්නේ ඇයි? වෙළඳනාමය නිසා තමයි. අනුන්ගේ නම් තමන්ගෙ ඇඳුම් වල පෙන්න ඇඳගෙන යනවා නම් සල්ලි ගෙවන්න ඕනෑ කියලා හිතන කොටසට මම අයිති. මගේ ඇඳුම්වල වෙළඳනාමයන්ට නොමිලේ දැන්වීම් දෙන්න මම කැමති නැහැ!!! ඒත් වෙළඳනාමයෙන් තමන්ට ලකුණු වැටෙනවා කියල හිතන අය වැඩියෙන් ජීවත්වෙන පරිසරයක ඒක පිළිගන්නා අය අධික මිලක් දීලා වෙළඳනාමයට දැන්වීම් ලබාදෙනවා.

පාරිභෝගිකයා භාණ්ඩයක් මිල දී ගන්නා තීරණයට බලපාන්නේ මිල පමණක් නොවේ. නිදහස් වෙළඳපොලක දී තෝරාගැනීම් බහුලයි. එක ගොවිපොලක් අනගි කිරි නිෂ්පාදනයට සමත්. මිල ඉහළයි. තවත් ගොවිපොලක් පරිසරය ආරක්ෂාවට වඩා වැදගත්කමක් දීලා කිරි නිෂ්පාදනයට සමත්. මිල තවත් ඉහළයි. තවත් ගොවිපොලක් තම සේවකයන්ට වැඩි පඩි, සහන දීලා කිරි නිෂ්පාදනයට සමත්. කිරි මිල තවත් ඉහළයි!!!! ඒ ඒ පාරිභෝගිකයා ද තමන් අගයන අදහස් අනුව ඒ ඒ කිරි ගොවිපලේ නිෂ්පාදනය මිල දී ගන්නට තීරණය කරන්නෙ. පැටගෝනියා ඇඳුම් නිපදවන කපු ස්වභාවික වගාවෙන් යැයි සහතික කරන්නක්. පැටගෝනියා කමිසයක් ඩොලර් පනකහට විකුණද්දී ගන්නා පරිසර හිතවේදී ජනකායක් ඉන්නවා. ඉතින් ඔවුනට වෙළඳපොලේ කොටසකට හිමිකම් කියන්න අවස්ථාවක් ලැබෙනවා.

මගේ ලංකාවෙන් ආපු යෙහෙළියක් මෙහෙ සෑහෙන්න දකින්න ලැබෙන ලංකාවේ නිමි ඇඳුම් ගන්න අකමැතියි. ඒවා හදන අයට නියමිත සහන ලැබෙන්නේ නැහැයි කියලා එයා කියන්නෙ. මගේ මතය වෙනස්. මම කැමතිම ලංකාවේ නිමි ඇඳුම් ගන්න. එහි දී ලංකාවේ අයට රැකියා ලැබේවි, පඩි ඉහළ යාවී, අදට වඩා හෙට තත්වය දියුණු වේවි කියලයි මම හිතන්නෙ. ලංකාවට ආවම ඇමෙරිකාවට බඩු එවන කම්හල් යාළුවෝ නොමිලේ ඇඳුම් දෙන්න හැදුවාම මම එපා කිව්වම එයාලට වැටහෙනවා අඩුයි ඇයි ඒ කියල. ඒත් අර මෙහෙදී ගන්න අකමැති එක්කෙනා එහෙ ගියාම යාළුවන් ඔවුන්ගේ සේවකයන්ට හොඳට සලකනවා කියලා ඒ අයගෙන් නොමිලේ ලැබෙන ඒවා පොදි අරගෙන එන්නේ!!!!!

පාරිභෝගිකයා යම් භාණ්ඩයක් ගන්නට පෙළඹෙන්නේ ඇයි කියා දැනගන්න දරන හැම උත්සාහයක දී ම අපිට දැනගන්නට ලැබෙන්නේ නිශ්චිතව මෙයැයි කියා දක්වන්නට බැරි බවයි. සාර්ථක වෙළඳපොලක් යනු නිදහස් වෙළඳපොලක් යැයි කියන්නෙ ඒ නිසයි. හැම පාරිභෝගිකයෙක්ටම තමන් වැදගත් යැයි තීරණය කරන හේතුව අනුව මිල දී ගන්නට නිපැදෙන භාණ්ඩයක් තියෙන්නෙ හැම නිෂ්පාදකයෙකුටම තමන් වැදගත් යැයි හිතෙන විදියට භාණ්ඩයක් වෙළඳපොලට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා නම් පමණයි. හැමෝම මේ විදියට මේ බඩු හදන්න ඕනෑ යැයි අයෙක් හෝ පිරිසක් තීරණය කරද්දී වෙළඳපොල හැකිළෙන්නෙ ඒ විදියට නිෂ්පාදනයෙන් නිෂ්පාදකයාගේ හිතේ සතුටක් හෝ පසුම්බියට ලාබයක් ඇති කරන්නේ නැති නිසා. මිනිසා තෝරාගැනීම් නැතිව හිස් අතින් ගෙදර යද්දී විකිණෙන්නෙ අත්‍යාවශ්‍ය බඩු ටිකක් විතරයි. විවිධ නිෂ්පාදන ගෙනෙන නිෂ්පාදකයන් බිහි වී වැඩියෙන් තෝරාගැනීම් බිහිවෙද්දී තියෙන බඩු දිහා බලලා කිසිවකට කැමැත්තක් නැතිව ගෙදර යන අයට වඩා බඩුවක් මිල දී ගෙන ගෙදර යන අය වැඩිවෙනවා. ඒ ඒ අය තමන් නියැළෙන වෙළඳපොල කොටසෙන් ලාබ සොයන්නට ද සමත්.

දාමකඩයක නාමයෙන් බඩු ගැනීම මම නැවැත්වුයේ කිරිපට්ටිය කොහේදැයි හොයගන්න බැරිවෙච්ච දවසේ සිට!!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. dayal bathee said, on ඔක්තෝබර් 25, 2012 at 9:11 පෙ.ව.

    දාම කඩ කිව්වෙ?

  2. රාජ් said, on ඔක්තෝබර් 25, 2012 at 9:32 පෙ.ව.

    බොහොම රසවත් ලිපියක්.
    $-මෙහේ විකුණන කිරිපිටි වර්ගත් ඔය ගණයේම තමයි. එක්කෝ ඕස්ට්‍රේලියාවෙන් නැත්තං නවසිලන්තයෙන් ගෙන්වල නම ගහල විකුණනව.
    $-“සල්ලි දීල වෙළඳ නාමය ඇ‍ඟේ ගහගෙන යනව” කියන්නෙ ඒ නාමයේ(වෙලෙන්දගේ) සාර්ථකත්වය නේද?
    $-නොමිලෙ ලැබුනම ගන්න, සල්ලිවලට නොගන්න යාළුවන්ගෙ ප්‍රතිපත්තිය නං නියමයි 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2012 at 10:18 පෙ.ව.

      රාජ්,

      $ පාවිච්චිය නියමයි. මාත් කොපි කරනවා හොඳේ!!!!

      //$-”සල්ලි දීල වෙළඳ නාමය ඇ‍ඟේ ගහගෙන යනව” කියන්නෙ ඒ නාමයේ(වෙලෙන්දගේ) සාර්ථකත්වය නේද?// කැපිටල් වලින් “ඔව්”!!!! ඒවා සූරාකන ආයතන යැයි කියා බනින අයම තමයි ඒවා වැඩියෙන් ඇඳගෙන යන්නෙ.

  3. Hiranya said, on ඔක්තෝබර් 25, 2012 at 9:58 පෙ.ව.

    එතකොට ඔයවගේ අවස්ථාවක ඉන්න නිෂ්පාදක ගොවිපලකට මොනවද කරන්න පුළුවන්? දාමකඩයට නිෂ්පාදන ලබා නොදී තමන් ම එයට වෙළඳ නාමයක් සාදා ගැනීමද? වෙළඳපොළ එය බාරගනීවිද?

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2012 at 10:31 පෙ.ව.

      Hiranya,

      සමහර ගොවිපොලවල් ගොවිපොල අසල පැත්තකින් තමන්ගේ ම කුඩා අලෙවි හලක් යළි අරින්නට පටන් ගෙන.

      ගොවිපොලෙන් මේසයට (Farm to table) කියන අලුත් හැදියාවට ද අද පාරිභෝගිකයා පුරුදු වෙනවා. ගොවිපොලෙන් මේසයට කියන අවන්හල් පළාතේ නැවුම් ආහාර විකුණන තැන් කියා ප්‍රසිද්ධියක් ලබනවා. ඒවා සීතකරණ වල දමා තබන ලද ආහාර විකුණන වෙළඳසැල් වලින් නොව කෙළින්ම ගොවියාගෙන් ආහාර මිල දී ගන්නවා යැයි කියන නිසයි. සමහර අවන්හල් වල ගොවිපලේ නම, වැඩ කරන සේවකයන් හා කිරිපට්ටි හෝ පාත්තිවල ඡායාරූප දකින්න හැකියි. ගොවියා හා පාරිභෝගිකයා අතර එසේ සමීපත්වයක් අවන්හල විසින් ගොඩනැඟීමෙන් අවන්හලට එන පාරිභෝගිකයන් අනිත් නොදන්න තැන් වලින් ගන්නා කෑම උයන තැන් වලට වඩා මේ තැන්වලින් කන්නට කැමති වෙනවා.

      සමහරු අන්තර්ජාලයෙන් බඩු විකුණනවා. මෙහෙ Fedex වගේ රෑට දැම්මාම හෙට උදේ දහයට බඩු බෙදන සේවා තියෙන නිසා මේ පැත්තෙ අල්ලන කකුළුවෝ එහෙම ගෙන්වන තැන් රට පුරා තියෙනවා.

      නිෂ්පාදනය අනගි යැයි නිෂ්පාදකයා සිතනවා නම්, දාමකඩය ඉල්ලුවාට වෙළඳනාමය නැතිව දීම ප්‍රතික්ෂේප කරන්නම ඕනෑ. එහෙම ඉල්ලන්නෙ නැති තැන් වෙළඳපොලේ තියෙනවා. ඒ තැන් මොනවා ද යන්න තමන්ගේ පාරිභෝගිකයාව දැනුවත් කරන දැන්වීම් වලට වැඩියෙන් වැයක් දැරීම දීර්ඝ කාලීනව වඩා වාසියි.

  4. wicharaka විචාරක said, on ඔක්තෝබර් 25, 2012 at 11:44 පෙ.ව.

    මමනම් අර ඩොලර් පහේ කමිසය හොයාගන්නවා ටිකක් මහන්සි වෙලා. ඒ වගේම මම කවදාවත් ඇඳුමක් අඳින්නේ නැහැ පිටතට පෙනෙන වෙළඳ නාම සහිත. සමහර අය එහෙම ඇඳගෙන යන්නේ එයාලට ඒ සමාගමෙන් කීයක්‌ හරි ගෙවන නිසාදැයි අහන්න හිතෙනවා. තවත් සමහරු ඉන්නවා. නොදැනුවත්කම නිසා, මෝඩකම, විචාර බුද්ධියක් නැතිකම පෙනෙන, වැකි සහිත ටී ෂර්ට් අඳින.

  5. Gayani Wedage said, on ඔක්තෝබර් 25, 2012 at 1:22 ප.ව.

    අත්දැකිමක් ගන්න පුළුවන් ලිපියක්.
    http://manasindiviyata.blogspot.com/

  6. Nihal Gurusinghe said, on ඔක්තෝබර් 25, 2012 at 11:50 ප.ව.

    මං හිතන්නෙ ඔය කාන්තා පක්ෂය තමා බ්‍රෑන්ඩ් හොය හොයා යන්නෙ.
    ඔය වික්ටෝරියා සීක්‍රට් වගෙ ඒව. එළියට පේනව නම් ඒත් කමක් නෑ.

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2012 at 7:44 පෙ.ව.

      Nihal,

      එතකොට Calvin Klein, Polo Ralph Lauren, Hugo Boss, Diesel ලේබල් යටතේ විකිණෙන්නේ කාන්තාවන් තම පිරිමින්ට තෑගි දෙන්න ගන්න නිසා පමණක් ද? ලේබල් බලලා කමිස සහ සපත්තු ගන්න ලංකාවේ තවමත් ඉන්න සහ රටෙන් පිට ගිහින් ඉන්න ලාංකික පිරිමි අයව මම නම් ඕනෑතරම් දන්නවා. එයින් සමහරු හෙන සමාජවාදීන්!!!! කෙටියෙන් කිව්වොත්, ලේබල් එක අනුව අඳින්න කැමැත්ත ඇත්තේ ගෑණුන්ට විතරක් නෙමෙයි, ධනවාදීන්ට විතරක් ද නෙමෙයි, ධනවත් රටවල අයට විතරක් ද නෙමෙයි.

  7. henryblogwalker the Dude said, on ඔක්තෝබර් 26, 2012 at 7:33 පෙ.ව.

    ඔහොම සංකල්පයක්ද දන්නෙ නෑ සතොසෙ තියෙන්නෙ. මොකද මම දැකලා තියෙනවා ‘සතොස’ නම ගහපු තුණපහ කුඩු වල ඉඳන් විවිධ දේවල්. හැබැයි අර අතරමැදියො නැති, ‘මාකට් එකෙන් කඩේට’ සංකල්පය නම් මරු. නමුත් අරුණි දන්නවද නුවරඑලියෙ ගොවිපලවල් ලඟ පාර අයිනෙ තියෙන එළවලු කඩ වලින් නම් අපිව ගසා කනවා. ගමේ පොළේ ඊට ලාබයි.:)

    • arunishapiro said, on ඔක්තෝබර් 26, 2012 at 7:59 පෙ.ව.

      henryblogwalker the Dude,

      සතොස කියන්නෙ සමාජවාදී ක්‍රමය. එහි දී බ්‍රෑන්ඩ් ලේබල් නැහැ ආණ්ඩුවේ ලේබල් එක විතරයිනෙ. අතරමැදියා ආණඩුව වුනාම පාරිභෝගිකයාට තෝරා ගැනීම් නැතිව ගිහින් සම්පූර්ණ බලය ඇති සම්පූර්ණ දුෂිතයෙක් තමයි වෙන්නෙ.

      බහුතර විශ්වාසය නුවරඑළියේ ගොවිපල අසල පාර අයිනේ කඩේ බඩු නැවුම් බවින් වැඩියි කියල. තොග වශයෙන් අඩු මිලට බඩු මාකට්වලට විකුණද්දී සිල්ලර මිල ඉහළ යැවීම අඩුවෙන් බඩු ටිකක් ඉහළ මිලකට විකුණා වැඩි ලාබයක් සොයන සිරිත. මෙහෙත් එහෙමයි, ගොවිපොල අසල තියෙන කඩෙන් එක තක්කාලියක් ගනිද්දී තක්කාලි තුන හතරක් ගන්න පුළුවන් කඩදාමයක කඩයකින්. ඒත් දවස් ගාණක් සීතකරණ වල හෝ ලෑලි වල තැම්බෙන තක්කාලියට වඩා එදා කැඩුණු තක්කාලිය කොතරම් නැවුම් ද? අපි වැඩියෙන් සල්ලි ගෙවන්නේ ඒ නැවුම් බවට.

      මිනිසා යමක් මිල දී ගන්නේ බඩුවක මිල අඩු නිසාම නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: