අරුණි ශපීරෝ‍ වෙතින්

ආපදා කළමනාකරණ කෙන්ද්‍රය සහ හෙන්රි නම් වූ ජංගම කුස්සිය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 2, 2012

මුලින් ම එකතු වෙලා එකිනෙකාගේ ජීවිත බේරාගත්ත අයගේ ඉවසීම දැන් අඩුවෙලා ගිහින්.

අවුලක් ඇති කරන ‘සිද්ධිය’ ඉදිරියේ සියල්ල හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරගන්නේ කෙසේදැයි පෙන්වන න්‍යාය, හදිසි අවස්ථාවල දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි උපාධි වලටත් හදාරන අය ඉන්නවා.

මෙහෙ පුද්ගලික ව්‍යාපාරයන්හි ඒ වගකීම පැවරෙන කණ්ඩායමක් දකින්නට ලැබීම සාමාන්‍යයක්. ඔවුනට ‘සිද්ධියක’ දී පැවරෙන කාර්ය භාරය කළින් ලැබෙන පුහුණු හා පෙරහුරු අනුව සිද්ධ වෙන්නෙ. සිද්ධියක දී කාගෙන්වත් අහ අහා ඉන්නෙ නැතිව ඔවුන් දන්නවා කළ යුත්ත කුමක් ද කියා. එය කරන්නට බලයත් තියෙනවා. ඔවුන්ගෙ ඵලදායීතාව අඩුවෙන්නෙ ආණ්ඩුවේ නීති එක්ක ගැටෙන්න සිද්ධ වෙද්දී පමණයි.

අපදා කළමනාකරණයේ යෙදෙන රාජ්‍ය අංශයන් වල දී නිතර ම වෙනස් වන රෙගුලාසි නිසාත්, බලය තිබුනට වගකීම පැහැර හැරිය හැකි නිසාත්, ගැටළු අපමණයි. කාර්යමශීලීත්වය අඩුයි.

පුද්ගලික අංශයේ ආපදා කළමනාකරණයේ යෙදෙන අය කෙළින්ම වැඩට බැහැලා තම තමන්ට නියම වෙච්ච කොටස ඉටු කරමින් අවුල ලිහා ගන්නවා. කැමරාවක් ඉස්සරහ කතාවක් පවත්වලා ලකුණු දාගන්න එන අයගෙන් රාජ්‍ය අංශයේ මෙහෙයුම් වලට බාධක වැඩියි.

රජයේ සහ රජයේ නොවන නොයෙකුත් සංවිධාන වලින් වැඩ සටහන් රාශියක් සැන්ඩි චණ්ඩ මාරුතයට ගොදුරු වෙන අය පිණිස පටන් ගත්තෙ සැන්ඩි එනමඟ දැන ගනිද්දී. වෙනදා වගේ ම මේ වතාවෙත් රජයට වඩා කාර්යක්ෂමව සහ අඩු වැයකින් වැඩි පිරිසකට සහන ගෙනෙන්නට රජයේ නොවන සංවිධාන වලට හැකි බව ඔප්පු කරමින් තියෙනවා.

හෙන්රි කියන්නෙ රතු කුරුස සංවිධානයේ ජංගම කුස්සියකට. අඩි 53 ක් ඉඩක ඇතුලට ඇවිදගෙන යන අධිසීතකරණයක් සහ සීතකරණයක්, ගැලුම් 40 ක කේතලයක්, අවන්, ගැලුම් 30 ක් බැගින් උයන්න ඉඩකඩ තියෙන සාස්පාන් තුනක්, කිලෝවට් 50 ක නිහඬ ජෙනරේටරයක් වැනි තවත් ආම්පන්න රාශියකින් නියුතු වූවක්. රතු කුරුස සංවිධානයට තියෙන එක ජංගම කුස්සියකින් ආහාර වේල් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් දිනකට සපයන්න හැකියි. ජංගම කුස්සි 12 ක් දැන් නැගෙනහිර වෙරළබඩ පැත්තෙ නොනැවතී ක්‍රියාත්මක වෙනවා. ආහාර පාන ලබන අය අවතැන් වූවන් පමණක් නෙමෙයි. රතු කුරුස සංවිධානයේ පමණක් ඉන්න 3,300 කට වඩා වැඩි ස්වේච්ඡා සේවයේ යෙදෙන අයටත් කන්න බොන්න සහ ඉන්න පහසුකම් සපයන එක එයාලගේ ‘ඩිසාස්ටර් ඔපරේෂන්ස් සෙන්ටර්’ හි වගකීම.

එවැනි ස්ථානයක කැපී පෙනෙන වැඩ කරන්න කැමති අයට වැජඹෙන්න ඉඩක් නැහැ. තමන්ට පැවරිලා තියෙන කොටස හරියට කළ යුතුයි. ඒක කළා කියල විශේෂ පැසසුම් ලැබෙන්නේ ද නැහැ. හරියාකාරව වැඩ නොකරනවා නම් එයාව පැත්තකට කරලා කරන්න පුළුවන් කෙනෙක් හනිකට ඒ තැනට දාන්නේ ඒ ඒ කොටස භාරව ඉන්නා අයෙක් විසින්. නිහතමානී මිනිස්සු දැකගන්න කදිම තැන් තමා මේ රාජ්‍ය නොවන ඉන්සිඩන්ට් කමාන්ඩ් සෙන්ටර් සහ ඒවායෙන් මෙහෙයුම් සපයන ස්ථාන.

හදිසි ව්‍යසනයක දී සංවිධානයකට දානය කළ යුත්තේ මුදල්. සිද්ධිය අනුව අවශ්‍ය වෙන දේවල් මොනවා දැයි, කොපමණ දැයි හා කොයි තරම් ඉක්මණින් දැයි ඔවුන් ළඟ තොරතුරු ඇති නිසා කළින් ඇස්තමේන්තු කරන්න ඔවුන්ට පහසුයි.

කඩාගෙන බිඳගෙන උදව් කරන්න තැනකට යෑමෙන් වැඩක් නැහැ. තමන් ආරක්ෂිත නම් තමන් ඉන්න පැත්තෙ ඇති සංවිධාන තුලින් උදව් කිරීම වඩා ඵලදායකයි.

සාමාන්‍යයෙන් පවතින ලේ දන්දීමේ කටයුතු ගොඩක් ඇණහිටින නිසා මේ වගේ අවස්ථාවක දී ලේ දන්දීමත් වැදගත්.

මොබයිල් පරිත්‍යාග:
රතු කුරුස සංවිධානයේ අංක 90999 ට REDCROSS කියලා SMS/TEXT පණිවුඩක් යැව්වාම ඩොලර් 10 ක් දානය කරන්න පුළුවන්. කැමති වතාවක් එහෙම යවන්න පුළුවන්. යැව්වා වැඩියි කියලා හිතුනොත් අන්තිම එක නවත්තන්න STOP කියලත් මැසෙජ් එකක් යවන්න පුළුවන්!!!! සිකුරාදා උදේ වෙද්දී ඔවුනට ඩොලර් මිලියන 35 ක ආධාර ලැබිල.

Salvation Army එකට යවන්න නම් STORM කියන පණිවුඩය 80888 යවලා ඩොලර් 10 පරිත්‍යාග කරන්න පුළුවනි.

සුරතල් සත්තු අමතක කරන්නත් නරකයි. HUMANE යන වචනය 80888 යැව්වාම ඩොලර් 10 ක් පරිත්‍යාග කරන්න හැකියි American Humane Association එකට.

World Vision කළින් සූදානම් කරපු ගංවතුර සුද්ද කරන හා තවත් අත්‍යාවශ්‍ය දේ නොමිලේ බෙදනවා. ඩොලර් 10 ක පරිත්‍යාග යැවිය යුත්තේ GIVEUSA පණිවුඩය 777444 අංකයට යවලා.

සෞඛ්‍ය පහසුකම් හා බෙහෙත් සපයන Direct Relief International ආයතනයට ඩොලර් 10 ක් යවන්න පුළුවන් RELIEF යන පණිවුඩය 27722 ට යවලා.

United Methodist Committee on Relief අය සුද්ද කරන වැඩ වලට, ආපසු ගොඩනඟන වැඩ වලට උදව් කරන අය. ඩොලර් 10 ක් යවන්න RESPONSE යන පණිවුඩය 80888 ට යවලා පුළුවන්.

Islamic Relief USA ට එහි වෙබ් අඩවියෙන් මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්. ඔවුන් නිව් ජර්සි ප්‍රාන්තයේ අනිත් සංවිධානයන් හා එක්ව සහාය දෙනවා.

යුදෙව්වන්ගේ ස්වේච්ඡා සේවාවන් සඳහා Jewish Federations of North America වලට RELIEF යන පණිවුඩය 51818 යවලා කරන්න පුළුවන්.

Catholic Charities USA උදව් ලබාගන්නා අයගේ ආගම ගැන නොසලකා උදව් සපයනවා.

නිව් යෝර්ක් බෞද්ධ විහාරය හා නිව් ජර්සි බෞද්ධ විහාරයේ වෙබ් අඩවි වල සැන්ඩි ව්‍යසනයෙන් බැට කාපු හෝ අවතැන් වූවන් සඳහා කරන වැඩ පිළිවෙත් මෙසේ යැයි කියා සඳහනක් නැහැ. වෙබ් අඩවියේ මුදල් පරිත්‍යාග සඳහා විජට්ටුවක් තියෙනවා. ස්ටැටන් අයිලන්ඩ්හි ලංකාවේ උපන් අය බොහොමයක් ජීවත්වෙනවා. ඒ පුංචි ලංකාව තියෙන, සැන්ඩි නිසා සෑහෙන්න කරදර හානි සිද්ධ වූ පැත්තක්. නිව් යෝර්ක් නගරයේ සැන්ඩි නිසා මිය ගියා යැයි සැලකෙන 40 න් 19 ක් වාර්තා වෙන්නෙ ස්ටැටන් අයිලන්ඩ් වලින්.

කළින් සටහන් වල දී මම ලියලා තියෙනවා ඇමෙරිකාවේ නොයෙක් පළාත්වල තියෙන ආහාර බැංකු ගැන. නිව් ජර්සියේ ආහාර බැංකුව වගේ ම නිව් යෝර්ක් නගරයේ ඇති සුප් කුස්සි මෙහෙයවන feeding America සංවිධානයේ ආහාර වේල් සපයන තැන් හොයාගන්නට සෙල් ෆෝන් එක වැඩ කරනවා නම් නොමිලේ ලැබෙන ඇප් වලින් පුළුවන්. අයිෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලින් තමන් ආරක්ෂිතයි කියා සමාජ වෙබ් අඩවි වල දාන්නත් පුළුවන්.

සමාජ සේවාවන්ට කැමති අයට මේ වගේ ව්‍යසනයක දී කාර්යක්ෂම ලෙසින් උදව් වෙන්න හැකියාව ලැබෙන්නේ තමන් කාලයක් තිස්සේ එවැනි සංවිධාන යටතේ උදව් කරන්න පුහුණුවක් ලබා ඇත්නම්. ඒ නිසා ව්‍යසනයක් ආවම දානය කරන්න බඩුයි සල්ලියි උස්සාගෙන හැම අතේ දුවන කෙනෙක් නොවී තමන් තෝරාගත් සංවිධානයන් යටතේ උදව් වෙන්න පුහුණුවක් ලබාගෙන සිටීම වැදගත්. ඉන්සිඩන්ට් කමාන්ඩ් සෙන්ටර් එකක වැඩ කරන්නම ඕනෑ නැහැ.

කැමති අයෙකුට වසර 11 ක් තිස්සේ පාලනයේ ඉන්න නිව් යෝර්ක් නගරාධිපතිගේ සුබ සාධන පදනමටත් සල්ලි දාන්න පුළුවන්!!!! එයා ඇමෙරිකාවේ 10 වැනි ධනවතා. ඩොලර් බිලියන 25 විතර වත්කමක් තියෙන බව ලෝකයම දන්න නිසාත් එය හදිසියේ ම සැලකිය යුතු ලෙසකින් වැඩිවුනොත් ලෝකයටම දැනගන්නට ලැබෙන නිසාත්, තමන්ට හෙල්පින් කරගන්න එකක් නම් නැතිවේවි!!!!

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on නොවැම්බර් 2, 2012 at 8:50 ප.ව.

    ඔබට [සුදු අප්පුහමිටත්] ස්තුතිවන්තවෙනවා කරදර අවස්ථාවේදීත් අපව දැනුවත් කලාට. නොයෙකුත් මධ්‍ය මගින් දැනගත්ත විපතේ තරම.ඔබගේ ලිපිය දුටුවාම ඇත්තටම සතුටුයි විපතකදී පිහිටට ඉන්න සංවිධාන ප්‍රමාණය දුටුවම.ලංකාවටත් ගංවතුර ගලල ලොකු විපතක්.එක්තරා ඇමතිවරයෙක් ගුවන්විදුලිය මගින් නිතරම ප්‍රචාරය කෙරුව “විපතට පත්වෙලා තිබෙන සෑම ප්‍රා.ලේ.කොට්ඨාශයකටම එම ලේකම්ලා ඉල්ලා තිබුන මුදලටත් වැඩියෙන් මුදල් යැව්වා,අපි බලාගෙන ඉන්නවා තව එහෙම මුදල් ඉල්ලා සිටින ලේකම්වරුන්ට තව තවත් මුදල් යවන්න”කියල.එහෙ විපතට පත්වුවන්ටනම් දෙවියන්ගේ පිහිට තමයි.

  2. dayal bathee said, on නොවැම්බර් 2, 2012 at 11:00 ප.ව.

    කාර්‍යක්ශම ආපදා කලමනාකරනයක්.පරිත්‍යාග ශීලීනුත් බොහෝමයි. නිව් යොර්ක් බෞද්ධ විහාරෙනුත් මොකවත් කලානම් හොඳයි නේද?

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:20 පෙ.ව.

      dayal bathee,

      ලංකාවේ අයගේ තියන අඩුපාඩුවක් තමයි කට්ටිය කොන්වෙලා ඉන්න එක. අපේ තනාපති කාර්යාලය ගත්තත් එහෙමයි. ලංකාවේ කඩවල් හා විහාරස්ථාන ගත්තත් එහෙමයි. තමන් වාසය කරන සමාජය අතරට යන්න වැඩි උවමනාවක් නැහැ. ළඟට එන අය එක්ක විතරක් සම්බන්ධකම් පවත්වනවා.

      නිව් යෝර්ක් හා නිව් ජර්සි විහාරයන් වලින් යමක් ඉටුවෙනවා ඇති කියලා හිතනවා. ඒත් පොඩ්ඩක් මාධ්‍ය මඟින් දැනුවත් කළා නම් ඒවාට වැඩියෙන් සහාය ලබාගත හැකියි කියා ඔවුන් සිතන්නේ නැතිවීම කණගාටුවක්.

      මේක කියලා දෙන්න ගොඩක් වතාවක් උත්සාහ කරලා තියෙනවා … වසර 25-30 ක් තිස්සේ … අහන කෙනෙක් තාම හමු වුනේ නැහැ.

  3. wicharaka විචාරක said, on නොවැම්බර් 2, 2012 at 11:19 ප.ව.

    සමාජ සේවය නමින් කැමරාවට විරිත්තන දෙස්පාලුවොත්, රාජ්‍ය නොවන සංවිධාන වලට කෙරෙන කෙනෙහිලිත් ලෝකයේ සෑම රටකම සාමාන්‍යකරණය වෙලා වගේ. හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගන්න අර වගේ ජංගම කුස්සියක් දේශීය වශයෙන් නිපදවාගන්න අපේ දේශපාලුවන්ට මොලේ පෑදුනොත් හොඳා. හැබැයි ඒ වෙනුවට ඔවුන් කරන්නේ ලොකු කොමිස් කුට්ටියක් සමග, අපට ඔරොත්තු නොදෙන, ගෙනියන්න පාරවල් නැති, ඔය ඇමරිකන් කුස්සි ටිකක් මෙහාටත් ගන්න එකයි. නිව්යෝර්ක් නගරාධිපතිගේ ගේ වත්කම් රටම දන්නවා වගේ, මෙහෙ ඉන්න සියලු දේශපාලන නරකාධිපතියන්ගේ වත්කම් රටට හෙළි වුනොත්, එක රැයකින් ලංකාවේ ජනගහනය සෑහෙන්න අඩු වෙනවා පපුව පැලිලා මිය යාමෙන්.

    ඔබෙන් තොරතුරක් බලාගෙන හිටියේ. දැන් සතුටුයි.

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:32 පෙ.ව.

      විචාරක,

      ඔව්, ජංගම කුස්සියක් ලංකාවේ පාරවල් හා ලංකාවේ කෑම උයන්න අවශ්‍ය විදියට රටේ දී ම හදාගන්න පුළුවන්. අඩුම ගානේ මිලිටරියට වත් දෙක තුනක් තිබුනොත් ආපදා අවස්ථාවක දී මුළු රටට ම සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. ඔව් විචාරක කියන විදියට කොමිස් බලාගෙන මෙච්චර ලොකු එකක් ගෙනාවොත් නම් හරවා ගන්න තැනක් නැතිව කොහේ හරි ඒකත් හිරවෙලා තියේවි.

      මෙහෙත් දේශපාලනයට යන අයගේ වත්කම් වැඩිවෙනවා. වැඩිවෙන හැටිත් අපි දකිනවා. ඔවුන් තමන් ගෙනෙන නීති අනුව කළින්ම ආයෝජන කරන අය හා තමන් ගැන පොත් ලියලා (පැරදුනත්) මුදල් හම්බ කරන අය. එක වෙනසක් ඔවුන්ගේ වත්කම් ගැන අපි දැන සිටීම. අනික් වෙනස ඔවුන්ගේ ආයෝජනයෙන් ආපසු රටට ලාබ ලැබීම. ලංකාවේ අයගේ වත්කම් මොනවාදැයි දන්නෙත් නැහැ, ඒවා ආයෝජනය වෙන්නේ ද මෙහේ.

  4. Maathalan said, on නොවැම්බර් 2, 2012 at 11:47 ප.ව.

    ඔය තරම් දේවල් තිබුනත් අර කලින් අර 2011 අයිරින් කරපු විනාසෙන් අසරණ උන අය තවමත් ඉන්න බවයි සමහර වාර්ථාවල තියෙන්නේ. ඒ වගේම මිනිසුන් අසරණ උනාම සහ දුකට පත් උනාම ඔවුනගේ මනුස්සකම් නැතිවන බවත් හොඳට දැකගන්න පුළුවන් උනා බස් වලට නගින්න පොර කන හැටි දැක්කම. (වෙනදට අපු දකින්නේ තමන්ගේ පාඩුවේ නිවිහැනහිල්ලේ කලබලයක් නැතුව අබල දුබල අයට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න මිනිස්සූ) මට හිතුන දෙයක් තමයි. දුප්පත් අසරණ මිනිස්සු සමාජ විරෝධි දේ කිරීමට හා පහත් හැසීරීමට හේතු තියෙනවයි කියන එක. මිනිසාගේ තිරිසන් ගතිය ඉස්මතු වෙන්න ඒවා හේතු වෙනවාද…?

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:46 පෙ.ව.

      Maathalan,

      දුප්පත් නිසාම නෙමෙයි. තමන් කරපු කියපු දෙයක් නිසා නොව බාහිර සිද්ධියක් හෝ වෙන අයෙකු ගෙනා සැලසුමක් නිසා සාමාන්‍යයෙන් මිනිසාට තියෙන දේවල් නැතිවෙද්දී තමයි ඉවසීම නැතිවෙන්නෙ. බහුතර මිනිස්සු කැමතියි තමන්ගේ සුවසෙත තමන් විසින් සලසා ගැනීම. ඒකට ඉඩක් නොලැබෙන අවස්ථා වල දී මිනිසා ඉවසීමෙන් කටයුතු කරන්න හැදියාවකින් නොයුතු වූවෙක්.

      උදාහරණයක් දැන් ඒ පැත්තෙ තියන පෙට්‍රල් හිඟය. නිව් ජර්සි වල තනියම වාහනේට ගෑස් දාන්න අවසර නැහැ. මෙහෙ අනිත් හැම ප්‍රාන්තයකම වගේ අපි තනියම ගෑස් දාගන්නෙ. ඒ පැත්තට යුනියන් නොමැති කොම්පැණි වල තෙල් මිල දී ගන්නෙ නැහැ. හදිසියක් නොමැති විට දී ඒ නීති වලට හිස නැමුවත් සීතලෙන් වෙව්ල වෙව්ලා ඉන්න කොට මෝඩ පාලකයන් නිසා ස්වභාව ධර්මයෙන් මදිවාට මිනිස් මෝඩකම් වලින් ද දුක් විඳින්න වෙනවා කියන එක මිනිසාට අවබෝධ වෙනවා. එතකොට තමයි මිනිස්සු නොමිනිස්සු වෙන්නේ.

      අයින් රෑන්ඩ් සිය ඇට්ලස් හැකිළුණි පොතේ අවසානයේ දී මේ තත්වය මනා ලෙස පැහැදිලි කරලා තියෙනවා. මිනිස්සු දුප්පත් හා අසරණ කරන්නේ එවැනි සැලසුම් ගෙනෙන ලෝකයේ දේශපාලන නායකයන් විසින්. අපි යමින් ඉන්නේ එවැනි තත්වයක් වෙත, ස්වභාව ධර්මයෙන් වන ආපදාවක් මෙම තත්වය ඉස්මතු කර පෙන්වනවා විතරයි.

  5. Shanthi Chandrasekera said, on නොවැම්බර් 3, 2012 at 5:42 පෙ.ව.

    godak loku sathutak danuna oba hondin innawa kiya danaganna labuna ekata ewagema obe rate kriyathmaka wena adara kramayath ow meheth oya vidihamai dukai kiyanna meheth oya kiyana vidihe baudda ewa thiyenawa eth ewawalin karapu podu wadak nam naha mage thorathuru labaganeeme adupaduwada danne naha. . sunami welawe eka thadin danuna. thanks Aruni

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:52 පෙ.ව.

      Shanthi,

      ස්තූතියි Shanthi. ලංකාවේ හැදියාව ඇති අය කලින් සූදානමක් නැහැ. කතාවෙන් කාලය ගෙවනවා. හදිසියක දී කලබල වෙනවා විතරයි. කළින් හා ඒ වේලාවේ දී කළ යුතු වැදගත් කාර්ය භාරයක් අතපසු කරනවා. අපි දියුණු වෙන්න නම් ඒවා හදා ගන්න ඕනෑ.

  6. Yasiru Udana said, on නොවැම්බර් 3, 2012 at 6:11 පෙ.ව.

    නියමයි ශපීරෝ

  7. buwa said, on නොවැම්බර් 3, 2012 at 7:20 පෙ.ව.

    //එය හදිසියේ ම සැලකිය යුතු ලෙසකින් වැඩිවුනොත් ලෝකයටම දැනගන්නට ලැබෙන නිසාත්, තමන්ට හෙල්පින් කරගන්න එකක් නම් නැතිවේවි!!!!//

  8. indika27 said, on නොවැම්බර් 3, 2012 at 8:10 පෙ.ව.

    හෑ කවුරුත් නැද්ද ප්‍රතිචාර දාන්න…නැත්තං ප්‍රතිචාර ඇත්තේම නැද්ද…මං මේක බලනවා ඒත් කියන්න දෙයක් නැති නිසා නිකං ඉන්නවා…

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:56 පෙ.ව.

      indika27,

      සමාවෙන්න, ප්‍රතිචාර ටික අනුමත කරන්න එන්න වේලාවක් ලැබුනෙ කාලයක් ගිහිල්ලා. සමහර විට කියන්න දෙයක් නැහැ, සමහර විට කියන්න දේවල් වැඩි වුනාමත් කියාගන්න බැරිවෙනවානේ.

  9. Ra said, on නොවැම්බර් 3, 2012 at 10:00 පෙ.ව.

    අපි දුප්පත් තමයි. ඒත් මම කැමතියි මේවගේ වෙලාවක ලංකාවත් මොනවා හරි උපකාරයක් කරනවා නම්.

  10. තිසර said, on නොවැම්බර් 4, 2012 at 6:24 පෙ.ව.

    කාර්යක්ෂම ආපදා කලමනාකරණය කියන එක මම කැන්ගරු රටේදිත් දැක්ක දෙයක්. පසුගිය වසරේ පෙබරවාරියේදී ඇති වූ මහා ගං වතුරෙන් පසුව පාරවල්, නිවෙස් පිරිසිඳු කිරීම සඳහා රජයෙන් යෙදූ වැඩපිලිවෙලවල් ඉතා ඉහල මට්ටමක පැවතුනා.

    රජය කාර්යක්ෂම නැහැයි කියන එක හැම වෙලාවෙම නිවැරදියි කියලා මම හිතන්නෙ නෑ… මධ්‍යස්ථානයක් පිහිටුවලා, ඒ සඳහා ඇති ස්වේච්ඡා සංවිධානත් එකතු කරගෙන, ස්වේච්ඡාවෙන් සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුටත් කලයුත්තේ මොනවාද කියා නිතරම උපදෙස් ලබාදෙමින්, ඉතා සුලු කාලයක් ඇතුලත ඒ ප්‍රදේශ යථා තත්වයට පත්කලා.

    ආපදාවක් වෙලාවට තොරතුරු ලබා දීමට, මිනිස්සුන්ගෙන් අධාර සඳහා ඉල්ලීම් කිරීමට, විශේෂ නිවේදන නිකුත් කිරීමට අමතරව ‘එක’ දමා ගැනීමට එක දේශපාලකයන් දකින්නට ලැබෙන්නෙ කලා තුරකින්.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 9:11 පෙ.ව.

      තිසර,

      ඔව් ඉතින් රජයෙන් යොදවන //ඉතා ඉහල මට්ටමේ// වැඩ පිළිවෙල වල් වලට ගෙවන්නෙ කවුද කියලා අමතක වෙද්දී ඒවා පෙනෙන්නේ කාර්යක්ෂම විදියට තමා.

      ඔස්ට්‍රේලියන් $50,000 කට වැඩියෙන් ආදායමක් හොයන හැම කෙනෙකුටම ගෙවන්නට වෙන ගංවතුර අයබද්ද ඔවුන් සියල්ලන්ම කැමැත්තෙන් ගෙවන්නක් ද? (The flood levy is a temporary reconstruction tax that will fund the reconstruction of Queensland, Australia, following the 2010–2011 Queensland floods. The proposal passed Parliament on 22 March 2011. This levy will apply to everyone who has a taxable income of more than $50,000 a year, and will come into effect from 1 July 2011)

      තවත් අනිවාර්ය රක්ෂණයක්? //In return for Senator Nick Xenophon’s support of the Queensland Flood Levy, the Government will modify the Natural Disaster Relief and Recovery Arrangements and force the states to take up disaster insurance.//

      තවත් ආයතනයක් පිහිටුවීමේ වැය දරන්නේ රජය ද? ඔස්ට්‍රේලියාවේ මිනිස්සු ද? //Queensland Reconstruction Authority//

      //ඉතා සුලු කාලයක් ඇතුලත ඒ ප්‍රදේශ යථා තත්වයට පත්කලා.// එහෙම කියන්නේ ඔයා විතරයි තිසර. අනිත් අය නම් ගල් අඟුරු කොම්පැණි වලට බැන බැන හිටියා කියල මතකයි.

      //ආපදාවක් වෙලාවට තොරතුරු ලබා දීමට, මිනිස්සුන්ගෙන් අධාර සඳහා ඉල්ලීම් කිරීමට, විශේෂ නිවේදන නිකුත් කිරීමට අමතරව ‘එක’ දමා ගැනීමට එක දේශපාලකයන් දකින්නට ලැබෙන්නෙ කලා තුරකින්.// ලැයිස්තුවක් ඕනෑ නම් ඒකත් හදන්න පුළුවන්: ජුලියා ගිලාඩ්, ඇනැ බල්යි, බොබ් බ්‍රවුන් ….

  11. inesh said, on නොවැම්බර් 5, 2012 at 4:03 පෙ.ව.

    එතකොට දෑන් ඈමෙරිකාවද ලොකේ හොදම රට?
    😀

    • arunishapiro said, on නොවැම්බර් 5, 2012 at 7:56 පෙ.ව.

      inesh,

      රට උපන් දා සිට ලෝකයේ හොඳම වූයේ ඇමෙරිකාව හැමදාම. තාමත් එහෙමයි. රටට එන බහුතරය තම සතුට සොයා යන එක නවත්තලා අනුන්ගේ සතුට ගැන වෙහෙසෙන්න ගත් දාට මෙහෙත් හොඳම රට වෙන එක නැවතිලා යාවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: