අරුණි ශපීරෝ‍ වෙතින්

සෑම සභ්‍ය මිනිසෙක් ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙකි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2012

20 වැනි සියවසේ නිදහස (liberty) නොහොත් තම ක්‍රියාවන් ගැන තමන්ට පාලනයක් තිබිය යුතුයි කියන්නට වැඩියෙන් ම සටන් වැදුනෙක් තමයි හෙන්රි ලුවිස් මෙන්කන් (Henry Louis Mencken/ H. L. Mencken) නැමැත්තා. “සෑම සභ්‍ය මිනිසෙක් ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙකි,” (“Every decent man is ashamed of the government he lives under,”) යන්න ඔහුගේ කියමනක්.

ලෝකයේ සුප්‍රසිද්ධ ආර්ථික සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ හි පසුගිය කලාප දෙකේ මුල් පිටු තමයි ඉහත පින්තූරය. අඟහරුවාදා ඇමෙරිකාව වසර හතරකට ජනාධිපතිවරයෙක් තෝරාගන්නවා. ඒකට දැන් මාස ගාණක් තිස්සේ නටපු සන්නිය ලෝකයම දන්නවානේ. මේ සතියෙ චීනයේ කොමියුනිස්ට් පක්ෂ පොලිටිබියුරෝව වැසුණු දොරවල් ඇතුලේ දී තමන්ගෙ රටේ බිලියනයකට අධික සංඛ්‍යාව වෙනුවෙන් දශකයක පාලනයට නායකයෙක් තෝරා ගන්නවා. ඉහත ආර්ථික සඟරාව ෆෙඩ්රික් හයෙක් ඔප්පු කරපු සියල්ල අමතක කරමින් මේනාඩ් කේන්ස් හා අත්වැල් බැඳ ගනිමින් විමසන්නේ කවුද රටේ නූල් සූත්තර වැඩියෙන් දන්න නායකයා කියලයි.

පහුගිය සතියේ සඳුදා රෑ සැන්ඩි චණ්ඩ මාරුතය විසින් නිව්යෝර්ක් නගරයේ යුදහමුදා 69 වැනි පාබල රෙජිමේන්තුවේ අවි ගබඩාවට බලය අහිමි කළා. උදව්වට ආවේ ගෑණු යට ඇඳුම් හදන Victoria’s Secret කොම්පැණිය. ඔවුන් නිව් යෝර්ක් නගරයේ උත්සවයකට සූදානම් වෙමින් සිටියේ. ඔවුන් සතු වූ කිලොවොට් පන්සියයක ජෙනරේටර් අටක් ඔවුන් දෙන්නෙ යුදහමුදාවට විදුලි බලය සපයන්නට. ඒ විතරක් නෙමෙයි, ගෑණු යට ඇඳුම් හදන කොම්පැණියේ අය ආණ්ඩුවෙන් පත් කරපු FEMA ආයතනයටත් වඩා, නැෂනල් ගාර්ඩ්ලාටත් වඩා FEMA වෙතින් ලැබිච්ච ආහාර බෙදා දීමට පහසුකම් සපයන්නට සමත් වෙනවා.

නිදහස් වෙළඳපොලට ක්‍රියා කරන්නට ඉඩක් ලැබෙනවා නම් මේ විපතට පත් වූවන් ඉන්නා දුකෙන් ඔවුන් ඉතා ඉක්මණින් ගලවා ගන්නට පුළුවන්. නිදහස් වෙළඳපොලට ඉඩක් දුන්නම ධනවතුන්ටයි වැඩි වාසි වෙන්නෙ කියලා හිතන අය සත්‍ය ලෝකය දකින්නෙ නැති අය. සිරිමාවෝගේ ලංකාවේ ජීවත් වූ මම ධනවතුන් පෝලිම් වල ඉන්නවා හෝ බතල කනවා හෝ භුමිතෙල් ගඳ ගහන ඇඳුම් අඳිනවා දැක්කෙ නැහැ.

අද නිව් යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්ත වල සැන්ඩි නිසා ඇති වූ ප්‍රැටල් හිඟයේ දී ධනවතුන් පෝලිම් වල ලගින්නේ ද නැහැ. බඩු සලාක ක්‍රමයට බෙදන විට තැරැව්කාරයෝ වැඩිවෙනවා. පෝලිමේ පැය තුන හතරක් ඉඳලා ප්‍රැටල් අරගෙන 200% ක ලාබයක් තියාගෙන පාරේ අනිත් පැත්තක විකුණන අය බිහිවෙන්නේ සලාක ක්‍රමයට ගියාම. මිල 200% කින් වැඩිවුනාට ගන්න හැකියාව තියෙන්නෙ ධනවතුන්ට මිසක් වෙන කාටද?!!!

ආපදාවට ලක්වෙලා ඉන්න පැති වලට කැමති ගණනකට පැට්‍රල් හෝ වෙනත් ඕනෑම බඩුවක් හා සේවාවක් ගෙනැත් විකුණන්නට ඕනෑම කොම්පැණියකට ඉඩක් දුන්න නම්, එහි දී ඇතිවෙන වෙළඳපොල තරඟයෙන් ලැබෙන බඩු හා සේවාවන් වැඩිවෙලා, ඒ සියල්ලේ ම මිල අඩුවෙන බව පාලනයේ යෙදෙන සියල්ලන්ම දන්නෙ නැති විදියට ඉන්නෙ. එහෙම ඉඩක් දුන්නොත් පාලකයන් සතු පාලන බලයක් නැතිවෙනවානේ.

එතකොට පාලනයට සුදුසු “කොයි එක්කෙනා ද?” කියලා අහන්න උවමනාවක් නැහැ.

එතකොට “චීනය වෙනස් කළ යුතුම වූ මිනිසා,” කියන්න අවශ්‍ය නැහැ.

නායකත්වයට සුදුසු වූ පුද්ගලයෙක් නෙමෙයි රටක් දියුණු කරන්නේ. නායකයන් පැත්තකට වෙලා අවදානමක් ගෙන තම මුදලක් ආයෝජනය කරලා එයින් ලාබයක් හොයන්න ඉදිරිපත් වෙන මිනිස්සු තමයි රටක් දියුණු කරන්නේ. රට පාලනයේ ඉන්නා අය වැඩියෙන් කරන්නේ පුද්ගලික උත්සාහයන් පහසුවෙන් කරගෙන යන්න බැරි තරමට, පනින්න නොහැකි තරම් උසට, තව වැටවල් බඳින එකයි. ධනවතා ටිකක් දුප්පත් වෙද්දී, බහුතර දුප්පත් අය වැඩියෙන් දුප්පත් වෙද්දී, මේ මගේ නූල් සූත්තර වලින් පුළුවන් එක තැන පල්වෙන ආර්ථිකය නඟාලන්න කියා කටමැත දොඩවනවා.

ඒකයි සියළු සභ්‍ය මිනිසෙක්ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙක් වෙන්නේ.

අඟහරුවාදා චන්දයෙන් පසු කොයි එක්කෙනා ඇමරිකන් ජනාධිපතිවරයා වුවත් එයා රට හදන්න පුළුවන් නායකයෙක් වෙන්නෙ නැහැ. මොකද රටක් හදන්න නායකයෙකුට බැරි නිසා. චීනයටත් ඒ කලදසාවම තමයි.

රටක් හදන්නෙ නායකයෙක් විසින් නෙමෙයි, ලාබ හොයන්න ඉදිරිපත් වෙන මිනිස්සු නිසා යැයි අවබෝධයෙන් ඔවුන්ට ඉඩක් ලබා දිය යුතු යැයි කියා බහුතර සමාජය විසින් හිතන විදිය වෙනස් වෙන තෙක්, ආර්ථිකයක් වර්ධනය වෙන්නෙ නැහැ. පාලකයන් විසින් වෙහෙසන අය උපයන සල්ලි බෙදා දෙන විදි ගැනයි තවත් කාලයක් තිස්සේ කතාබහ වෙන්නෙ.

ඉතින්, ඕනෑම ආණ්ඩුවකට වඩාත් ම අවදානමක් ගෙනෙන පුද්ගලයා කවුද? එයා තමයි තමන් වෙනුවෙන් තමන්ට හිතන්න පුළුවන් මිනිසා. අනිවාර්යෙන්ම, එයා එළඹෙන නිගමනය තමයි තමන් ජීවත්වෙන්නෙ අවංක නැති, ඔල්මාදයකින් ඉන්න සහ නොඉවසිය හැකි ආණ්ඩුවක් යටතේ බව.

“The most dangerous man, to any government, is the man who is able to think things out for himself… Almost inevitably, he comes to the conclusion that the government he lives under is dishonest, insane and intolerable.”

ඔබ සභ්‍ය පුද්ගලයෙක් ද?!!!!!!!

ඔබ ආණ්ඩුවකට වඩාත්ම අවදානමක් ගෙනෙන පුද්ගලයෙක් ද?!!!!!

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on නොවැම්බර් 4, 2012 at 12:08 ප.ව.

    සිතන්නට යමක ඉතිරි කර ඇති මේ ලිපියට බොහොම ස්තුතියි. සිතන්නට පෙළඹෙන මිනිසුන් ගණන වැඩි කරගැනීම තමයි අපි කලයුත්තේ.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 12:18 ප.ව.

      විචාරක,

      හිතන්නට තොරතුරු සපයන්න ඕනෑ … යන්න මාර්ගයක් පෙන්වන්න ඕනෑ … නැතිව හිතපන් මිනිහෝ කිව්වට වැඩක් නෑ එතකොට හිතන්නෙ හැමදාම හිතන විදියටනේ.

  2. Maathalan said, on නොවැම්බර් 4, 2012 at 12:15 ප.ව.

    “යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 12:25 ප.ව.

      Maathalan,

      අද අවස්ථාවාදී හා කපටි අය දේශපාලනඥයන් වුනාට වාසනාවකට ඡන්දදායකයන් තවම මෝඩ වෙලා නැහැ කියලයි මම නම් හිතන්නෙ. බලන්න හැම ප්‍රජාතන්ත්‍රවාදී රටක ම වාගේ චන්දයක් දිනන්නේ යාන්තමින් ඇඟ බේරාගෙන මිසක් බහුතර මනාපයකින් නොවේ. ප්‍රධාන මාධ්‍යයන්ට තිබි බලය අහිමි වී ගිහින් දැන් ඡන්දදායකයන්ට දැනුවත් වෙන්න ආරම්භයක් ලැබුණා විතරයි. මගේ ජීවිත කාලයේ දී සිද්ධ වෙන එකක් නම් නැහැ. ඒත් අවසානයේ දී තම පැවැත්ම දියුණු කරගන්නට නම් නැතිවම බැරි එකම ක්‍රමය කුමක්දැයි ඡන්දදායකයා අවබෝධ කරගන්නා කාලය මිනිස් ඉතිහාසයේ වැඩි ඈතක නැහැ.

      • Maathalan said, on නොවැම්බර් 4, 2012 at 12:30 ප.ව.

        මම නම් හිතන්නේ නෑ නෝනේ එහෙම දෙයක් මේ ළෝකේ නම් උදාවෙයි කියලා. බුද්ධාගමේ නම් තියෙනව දිවිය ළෝකයක් ගැන. ඒක මම දැක්කා මොන්ටිකාලෝවලදි (මගේ ස්වාමියාට පින් සිඳු වෙන්න.) නමුත් දවස් 4-5 කින් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න බැරිඋනා. ඇත්තටම ඒ ක්‍රමේ මොකක්ද…? නරකද ලීවොත් ඒ ගැන.

        • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 12:34 ප.ව.

          Maathalan,

          ධනවාදී ක්‍රමය නොහොත් අවදානමක් ගෙන තම මුදලක් ආයෝජනය කරලා එයින් ලාබයක් හොයන්න ඉදිරිපත් වෙන මිනිසාට එයට ඉඩක් දීමට පටන් ගැනීම. හැමදාම ලියන්නෙ ඒ ගැනනේ …. ඔහොම යනකොට යනකොට කවදා හරි ක්ලික් වේවි මේ කියන්නේ මොකක් ද කියලා!!!!

          • Maathalan said, on නොවැම්බර් 4, 2012 at 12:43 ප.ව.

            ඒත් ඉතින් එහෙම තැනක් තියෙන්නේ එහේ විතරමයි නේද…? ඒකත් රජ පාළනයක්, රාජ්‍යයක්. මේ යන ක්‍රමේට මෙහෙත් එහෙම වෙන්න බැරි නෑ වැඩි කල් නොගිහින්…. 😀 😀

            • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 12:53 ප.ව.

              Maathalan,

              මොන්ටෙකාලෝ වුනොත් නරක් වේවි ලංකාවට!!!! 😀

              Total area: 1.98 km2. Though official economic statistics are not published, year 2011 estimates place the national product at $6.888 billion and the world’s highest per capita income is $186,175. The unemployment rate is 0%, as of 2011. –wikipedia

  3. දූපත් වැසියා said, on නොවැම්බර් 4, 2012 at 3:43 ප.ව.

    සිරිමාවෝගේ ලංකාවේ ජීවත් වූ මම ධනවතුන් පෝලිම් වල ඉන්නවා හෝ බතල කනවා හෝ භුමිතෙල් ගඳ ගහන ඇඳුම් අඳිනවා දැක්කෙ නැහැ.//:- එහෙම නූනාට පාරම්පරික ධනවතුන්ගේ දේපළ ඉඩකඩම් සහ ආදායම් රජයට අයිති උනා. භාණ්ඩාගාරය ශක්තිමත් උනා.

    මෙහේ ධනවතු නූනත් බඩු ඉහල ගියාට අරගන්නව. 1996 දී 3.50 පාන් දැන් 60.00යි.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2012 at 9:18 ප.ව.

      දූපත් වැසියා,

      පාරම්පරික ධනවතුන්ගේ ඉඩම් රාජසන්තක වුනාට පස්සෙ මොකද වුනේ කියලා දන්නවා ද? ධනවතුන්ගෙන් උදුරා ගත්තු ඒවයේ වගා කරලා, ඒවයේ කර්මාන්ත හදලා ධනවත් වෙච්ච අද ලංකාවේ ඉන්න අය කී දෙනෙක් දන්නවා ද?

      රටක භාණ්ඩාගාරයක් ශක්තිමත් වෙන්නෙ ධනවතුන්ගේ මුදල් සහ සම්පත් රාජසන්තක කරලා නෙමෙයි. ධනවතුන්ට තම ධනය අවදානමක් ගෙන ආයෝජනය කරන්න ඉඩක් දුන්නම.

      සිරිමාවෝ කාලේ ආර්ථිකය කඩා වැටෙද්දී භාණ්ඩාගාරය පිරෙව්වෙ විදේශ ආධාර වලින්. සමාජවාදීන් එක්ක එකතු වෙලා ඔවුන් ගෙන් ණය ගන්න ගමන් ධනවාදීන්ව ද මෝඩයන්ට අන්දවා ගෙන!!! චීනය, කැනඩාව, ඩෙන්මාර්ක්, හංගේරියාව, ඔස්ට්‍රේලියාව එක්ක ලෝක බැංකුව ද ලංකාවට ණය ආධාර සැපයුවා. ලංකාවට වැඩියෙන් ම විදේශ ණය දුන්නෙ ඇමෙරිකාව. ඩඩ්ලි සේනානායකටත් වඩා විදේශ ආධාර ලබාගන්නෙ සිරිමාවෝගේ ආණ්ඩුව. ආපහු ගෙවන්න වෙන්නෙ නැති විදේශ ආධාර ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවට වඩා තුන් ගුණයක් සිරිමාවෝ ලබාගන්නවා. 1970 සිට 1975 දක්වා ලංකාවේ රුපියල 40% කින් අගය අඩුවෙනවා. 1977 වෙනකොට බඩු ගන්න හැකියාව 50% කින් අඩුවෙනවා. 1970 සිට 1977 කාලය තුල දී මහජන ණය 200% කින් වැඩිවෙනවා …

      හිඟන්නෝ වෙලා ඉන්න හැමදාම කැමති ද? ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්නෙ නැති නිසා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නත් බැහැනේ. ඒ කාලේ ඔහෙ හිටපු අපි මැරිලා ගියාම ඕවා කියවන්න වෙන්නෙ සුද්දො ලියපු පොත් වලින් තමයි. කියවන්න John Richardson ලියූ Paradise Poisoned, Learning about Conflict, Terrorism and Development from Sri Lanka’s Civil Wars (2005) පිටු 323, 324 එයා තමයි කියලා තියෙන්නෙ “When it comes to the future, there are three kinds of people: those who let it happen, those who make it happen, and those who wonder what happened.”

  4. buwa said, on නොවැම්බර් 4, 2012 at 9:06 ප.ව.

    ලංකාවේ රාජ පාලනයක් ඇතිවෙනවා ශුවර් හැබැයි ඉතුරු ටික නැතුව

  5. දේශකයා said, on නොවැම්බර් 5, 2012 at 3:19 පෙ.ව.

    මොකා ආවත් ඇමරිකාව වෙනස් කරන්න බෑ බෑ බෑ…

    • arunishapiro said, on නොවැම්බර් 5, 2012 at 7:53 පෙ.ව.

      දේශකයා,

      ඇමෙරිකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ලේසියෙන් බැහැ. ඒක තමයි රටයි ජනතාවයි මෙතෙක් රැකිලා තියෙන්නෙ. එය වෙනස් කළ යුතු ද නැහැ.

      ඒත් ව්‍යවස්ථාව වෙනස් නොකර රට සෑහෙන්න ණය කරවන්න පුළුවන්. ඒක තමයි බුෂ් සිට ඔබාමා දක්වා සෑහෙන්න වෙලා තියෙන්නේ. එයයි වෙනස් කළ හැකි වෙනස් කරගත යුත්ත.

      • buwa said, on නොවැම්බර් 5, 2012 at 11:46 පෙ.ව.

        //එයයි වෙනස් කළ හැකි වෙනස් කරගත යුත්ත//

        මේ වැඩේට රොම්නිට , ඔබාමාට වඩා හැකියාවක් තියෙයි කියලයි මට හිතෙන්නේ , බලමුකො ඇමරිකානුවො කොහොමද හිතන්නේ කියල

  6. Ravi said, on නොවැම්බර් 5, 2012 at 7:53 පෙ.ව.

    දැන් අරුණි මෙහෙම තර්කයක් ගේන්නත් පුලුවන් නේද?

    මම ආණ්ඩුව පිළිබඳ ලැජ්ජාවෙන් පසුවන්නෙමි. එහෙයින් මම සභ්‍ය මිනිසෙක් වෙමි. 🙂

    මගේ අදහස නම් මේකයි…. ” සෑම ස්වාධීනව සිතිය හැකි මිනිසෙක්ම තම ආණ්ඩුව පිළිබඳ ව අප්‍රසාදයකින් සිටින්නෙකි. ”

    ආණ්ඩුව මම පත් කරගත්තු එකක් නොවෙන නිසා ඒ ගැන මට ලැජ්ජාවක් නෑ. ඒත් මට ඇත්තටම ලැජ්ජයි අපේ මිනිස්සු ගැන..

    • arunishapiro said, on නොවැම්බර් 5, 2012 at 7:58 පෙ.ව.

      Ravi,

      //ආණ්ඩුව මම පත් කරගත්තු එකක් නොවෙන නිසා ඒ ගැන මට ලැජ්ජාවක් නෑ. ඒත් මට ඇත්තටම ලැජ්ජයි අපේ මිනිස්සු ගැන..// අපේ පුරවැසිකම තියන රටේ ආණ්ඩුව ‘මම’ පත් කරගත්තු එකක් නොවෙයි කියා ගැලවෙන්න බැහැ රවී. ජෝන් රිචඩ්සන් කියන විදියට “When it comes to the future, there are three kinds of people: those who let it happen, those who make it happen, and those who wonder what happened.”

  7. දුකා said, on නොවැම්බර් 5, 2012 at 8:22 පෙ.ව.

    අක්කේ මේක කියෙව්වාම මට හිතුනේ වෙනමම දෙයක් . .

    හැම දේකම හතර පැත්තම බලලා වැඩි දෙනෙක්ට හොඳක් වෙන දේ මෙන්න මේකයි කියලා පෙන්නලා දෙන අක්කා වගේ උන්දැලා එකෙක් දෙන්නෙක් අපේ ජානාධිපතිගේ ආර්ථික උපදේශක විදිහට උන්න නම් අපේ රට මේ තරම ලොකු නය උගුල් වල වැටෙන්නේ නැතුව ඉන්න තිබ්බා . ..

  8. Chandi said, on නොවැම්බර් 5, 2012 at 8:47 පෙ.ව.

    අපේ රටේ තත්වෙ දැන් ඇමෙරිකාවටත් පොදු වගේ, කවුරුත් කල මෝඩ කම් ගැන පසු තැවෙනවා වගේ. වෙනස් වෙන්න කාලය ඇවිත්!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: