වර්ජීනීයාවේ රොම්නි රැළිය බලා අවුත් අද චන්දය දුන්නේ වෙන කෙනෙකුට
මා අගයන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපේක්ෂකයෙක් මෙවර සිටී. ඔහු ජනාධිපතිවරණය දිනන්නේ නැතිබව කිසිදු සැකයකින් තොරව දනිමි. එහෙත් පැරදෙන අයෙකුට චන්දය දුන්නේ අනාගතේ ජය පිණිසයි. 2008 චන්ද පොලක වැඩට ගිය මා එදාට වඩා ජනතා උනන්දුවක් අද චන්දය දාන්නට ගියවිට දැක්කෙමි.
ඩෙමොක්රැටික් පක්ෂය නම් බදු අය කර භාණ්ඩාගාරය හිස් කරන අයයි. රිපබ්ලිකන් පක්ෂය නම් ණය අරගෙන භාණ්ඩාගාරය හිස් කරන අයයි. බරක් ඔබාමා වනාහී භාණ්ඩාගාරය හිස් කර, ණයත් අරගෙන බදුත් වැඩි කරන අයෙකි. එහෙත් ඔහුට එරෙහිව එදා චන්දය නොදුන්නෙමි. මා එදත් චන්දය දුන්නේ ධනවාදී යැයි කියාගත් එහෙත් එසේ නොවූ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව ලිබටේරියන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාටය. මෙවරත් චන්දය දුන්නේ ධනවාදී කියාගත් එහෙත් ධනවතුන් ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදන මෙහෙයක නිරත වෙන්නට ඉදිරිපත් වී ඉන්නා රිපබ්ලිකන් පක්ෂයට එරෙහිවය.
තෙවැනි පක්ෂ හා ස්වාධීන ජනාධිපති චන්ද අපේක්ෂකයන් ඇමෙරිකන් මැතිවරණ වල සැමදා සිටියහ. ලිබටේරියන් අදහස් මොනවා දැයි දැනගන්නට ලෝකයේ වැඩි උත්සාහයක් නොවූව ද, අද මැතිවරණයේ ප්‍රතිඵල දැකි පසු ලෝකයේ ටික දෙනෙක් හෝ ලිබටේරියන් පක්ෂය පෙනී සිටින්නේ මොන ප්‍රතිපත්ති සඳහා දැයි විමසනු ඇත් ද? මා හඹා යන්නේ ඒ ජයග්‍රහණයයි. ලෝකයේ දුප්පතුන් අවම කරන එකම ක්‍රමය වූ ධනවාදය සදා දිනේවා!!!!!!
ඊයේ වර්ජීනීයාවේ ෆෙයාර්ෆැක්ස් නගරයේ පැවති රැළියේ දී මිට් සහ ඈන් රොම්නි දැකගන්නට හා ඔවුන්ගේ පොරොන්දු අහන්නට මට අවස්ථාවක් ලැබුණි. මගේ හිත වෙනස් කරන්නට සමත් කිසිවක් ඔවුන් කීවේ නැත.
වඩාත්ම සිත ඇදී ගියේ, ශාලාව වෙත යද්දී දැකි, සීතල සිසිරයේ ගහක් යට වාඩි වී කුතුහලය පිරුණු මුහුණකින් කතන්දර පොතක් කියවන මේ පුංචි කොල්ලාටයි.
මා චන්දය දුන් ගැරී ජොන්සන්ට, චන්දය දෙන්න කියන බල්ලාගේ පින්තූරය www.facebook.com/govgaryjohnson වෙතිනි.
අපරාදේ චන්දෙ.. 😀 😀
මම හිතුවා වමේ පක්ෂෙකට දෙයි කියලා.. චේන්ජ් එකකටත් එක්ක..
maathalan,
අපරාදේ නැහැ කිසිම විදියකින් .. අපේ පැත්තෙ අය හදාගන්න නම් වැරදි නොකියා බැහැ. වමේ පක්ෂෙකට ලබන ආත්මෙ වත් චන්දය දෙන්න බෑ .. ලබන ආත්මයක් විශ්වාස කරන්නෙත් නැති නිසා 😀
මමත් හෘදය සාක්ෂියට එකඟව ඡන්දය දීලා තියනවා පරදින බව දැන දැනම.
දැන් බලනකොට ඔබාමා මාමා කරන්නෙත් මහින්ද මාමාව කොපි කරන එකනේ.
විචාරක,
ඔව් විචාරක හෘදය සාක්ෂියට එකඟ නැතිව දෙන චන්දය තමයි අපරාදේ කරන නාස්තිය. දිනන්න බැහැයි කියලා හොඳ අදහස් තියන අයව පැත්තකට දාලා හැමදාම දිනන ඔළුබක්කන්ට චන්දෙ දුන්නම රටක් හැදෙන්නේ කොහොම ද?
රාජ් ගේ නවාතැන ලියන රාජ්ලු ඔබාමා මාමාටයි මහින්ද මාමාටයි දෙන්නටම උපදෙස් දෙන්නෙ 😀
පොඩි එකානම් පොත කියවන්නේ,උන්ගේ සුරංගනා කතාවලට වඩා පොතේ සුරංගනා කතාව මට රසවත් කියල වගේ.ඇමරිකන් ජනතාවගේ බහුතරයගේ මතය “එන්න යකාට වැඩිය ඉන්න යකා” හොදයි කියලද?සැන්ඩි නිසා චංදයට බලපෑමක් නැද්ද?ඩොගියව දැක්කම හිතුවේ සැන්ඩිගෙන් අරුණිලට ලැබුන කෙනෙක් කියල.
Kenji @ Japan,
//ඇමරිකන් ජනතාවගේ බහුතරයගේ මතය “එන්න යකාට වැඩිය ඉන්න යකා” හොදයි කියලද?// ආර්ථිකය වැඩ කරන්නේ කොහොම දැයි නොදන්නා බහුතරයගේ මතය තමයි මැතිවරණයෙන් පෙනුනේ … ඔබාමා වඩා හොඳින් බෙදන්න දන්නවා යැයි සිතීම.
//සැන්ඩි නිසා චංදයට බලපෑමක් නැද්ද?// එහෙම වුනේ නැහැ කියලයි මම හිතන්නෙ.
අපිත් හෘද සාක්ෂිකට අනුව ඡන්දෙට කලින් කතා කරනවා. වැඩ කරනවා. ප්‍රචාරණය කරනවා. වාද කරනවා. මොකද රට හදන්න නියම කට්ටය පත් කර ගන්න එපායැ. ඒත් අනේ අරුණියෝ ඡන්ද පොලට ගියාම අත ගල් වෙලා ඊට කලින් කියපු දේවල් පවා අමතක වෙලා, අනේ අපේ මහින්ද මහත්තයනේ කියල ලෝභ නැතිව බුලත් කොළේටම ගහල.. ආයේ ඇවිල්ල පරණ රස්සාවම කරනවා. දැං කී ගමනක් ඔය කෙංගෙඩිය උනාද මන්ද? දැං බැලුවම මට විතරක් නෙමෙයි නේ. නැත්නං ඕක දිනන්නේ කොහාමද? හෘද සාක්ෂිය ඡන්දයට වැදගත්ද?
දේශකයා,
//මොකද රට හදන්න නියම කට්ටය පත් කර ගන්න එපායැ.// මෙතැන තමයි ලොකුම වැරැද්ද … රටක් හැදෙන්නෙ පත් කරගන්නා අය නිසා යැයි සිතීම.
//ඕක දිනන්නේ කොහාමද? හෘද සාක්ෂිය ඡන්දයට වැදගත්ද?// දිනන්න නම් ආර්ථිකයක් වැඩ කරන හැටි, තමන්ගෙ පසුම්බියට තමන් උපයන මුදල් වැඩියෙන් ලැබෙන හැටි ගැන පුරවැසියා විසින් අවබෝධ කරගත යුතුයි. එය වටහා ගත් දාට හෘද සාක්ෂියට අනුව චන්දය දීම පහසුයි.
මගෙ කලින් කොමෙන්ටුවට දාලා තිබ්බ පිළිතුර එක්ක කිසිසේත්ම එකඟ වෙන්න බැරි උනත් ඉතින් ඒකෙ එල්ලිලා ඉන්න බැරි හින්ද, ඔන්න මම කැමැත්තෙන් ලින්කුව පස්සෙ ගිහින් ජොන්සන් මහත්තයගේ අඩවිය බැලුව… හොඳයි නේන්නම්. ජයග්‍රහණය වෙනුවට, 5% ඉල්ලීම හොඳ අදහසක් කියල මටත් හිතුන. ඇවිදින්න කලින්, දණගාල ඉන්න එපායැ. කංසා නීතිගත කිරීම මගින් මෙක්සිකෝවෙන් එල්ලවෙන ප්රචණ්ඩ ක්‍රියා, නීති විරෝධී සංක්රමන අඩුවී, එසේ කිරීමෙන් කංසා ඒකාධිකාරය බිඳී, විශාල ලෙස නීති කැඩීමට තරම් බලවත් කණ්ඩායම් ඇතිනොවනු ඇතැයි කියන අදහස ක්‍රියාත්මක කරලා බලන්න පුලුවන් අපූරු අදහසක්. අනිත් දේවලුත් එහෙන් මෙහෙන් කියෙව්වා, අරුණි ඉතිං මෙයාට ඡන්දේ දුන්නු එක පුදුමයක් නෙමෙයි… එකවල්ලෙ පොල්. ජොන්සන් මහත්තයා 5% ගනියිද කියලා ඔන්න මාත් බලං ඉන්නවා..
තිසර,
අපි හැමදාම ඉතින් 1% නේ 😀
ගැරී ජොන්සන් මිලියන එකකට ටිකක් වැඩි චන්ද සහ 1% පමණ චන්ද දිනා ගත්තා.
// බරක් ඔබාමා වනාහී භාණ්ඩාගාරය හිස් කර, ණයත් අරගෙන බදුත් වැඩි කරන අයෙකි //
අපේ එක්කෙනාත් මීට දෙවෙනි නෑනෙ…ණය….ණය..ණය…වන්දි ගෙවන්නෙ අපි තමා..
ළිහිණි,
ඔව් ළිහිණි, පොලී ගෙවන්නේ අපි තමා කියන එක රටේ බහුතර පුරවැසියන්ට පහදා දෙන්න හැකි වූ දාට තමයි මේ යන රටාව වෙනස් කරගත හැකි වෙන්නෙ.
මං හිතුවෙ ඡන්දය දෙනඑකක් නෑ කියල. හැබැයි නොදී ඉන්නවට වඩා තමුන් කැමති කෙනෙක්ට(පරදින බව දන්නව උනත්) දෙනඑක නං හොඳයි. හැබෑටම ඇමරිකාවෙ ඡන්දෙ දාන ක්‍රමය මොකද්ද? ලියන්න බැරිද විස්තරයක්.
ඔබාම මං ගැනත් බලාවි කියල හිතනව! 😉
රාජ්,
චන්දය දෙන්න තරම් සුදුසු කෙනෙක් නැත්නම් චන්දය නොදී සිටිය යුතු යැයි කියන අය ඉන්නවා. ඒත් මම හිතන්නෙ තමුන් වඩාත්ම කැමති අයට දිය යුතු යැයි කියලා.
ඇමෙරිකාවේ චන්ද ක්‍රමය සරලයි. ප්‍රාන්ත වල ඉන්න ජනගහණය අනුව චන්ද කොට්ඨාශ වලින් ලැබෙන මුළු එකතුවෙන් වැඩි කොටස ඇත්තා ජනාධිපති වෙන්නේ.
ඔබාමා අනිවාර්යෙන්ම රාජ් මල්ලි ගැන බලනවා ෂුවර්!!! හැබැයි එයාට මෙහෙ අය ගැන බලන්න හැකියාවක් තියේවි දැයි නම් ෂුවර් නැහැ!!!!!
ශ්‍රී ලංකාවෙහි මෙතෙක් පැවති ජනාධිපතිවරණ වලදී මවිසින් ජයග්‍රාහකයා වෙනුවෙන් මාගේ ඡන්දය ප්‍රකාශ කලේ 88 සහ 94 වර්ෂ වලදී පමණකි.මා දයාබර භාර්යා තොමෝ ද මේ පිළිබඳව මට සිනාසෙන්නීය.
” මොකටද ඔය දැන දැනම පරදින මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙ හැබෑටම ? ” ඇය කට කොණකින් සිනාසෙමින් විමසන්නීය.
” ප්‍රතිපත්ති කියල දෙයක් තියනවා හලෝ …. ප්‍රතිපත්ති කියල දෙයක්…..අහලවත් නැද්ද එහෙම එකක් ගැන? ” මම ද පිළිතුරු ලෙස සිනාසෙමින් පවසමි. 🙂 🙂
Ravi,
අහලා හුරු පුරුදු දේට වඩා නැඹුරුව … ඔහොම යමු රවී හිනාවෙලාම හදාගන්න බලමු. 🙂
Why don’t we see anywhere about the other candidates apart from the main two? At least the percentages they got?
Nandasiri Wanninayaka,
රවී ඊ ළඟ සටහනේ දී කියනවා වගේ පැරදෙන අයට චන්දය දීම නාස්තියක් යැයි අපි හිතන හුරුව නිසා, ප්‍රධාන මාධ්‍යයන් ද දිනන්නට හැකියාව ඇති දෙපැත්තක් දිහා විතරයි බලන්නෙ.
බරක් ඔබාමා -චන්ද 59,584,661; 50.3%; දිස්ත්‍රික්ක 303
මිට් රොම්නි- චන්ද 56,959,312; 48.1%; දිස්ත්‍රික්ක 206
ගැරී ජොන්සන්- චන්ද 1,139,562; 1%;
ජිල් ස්ටයින් -චන්ද 396,684
රොසෑන් බා -48,525
රොකී ඇන්ඩර්සන් -34,521
තෝමස් හොෆ්ලින් – 27,841
ටොම් හොෆ්ලින් -27,841
ජෙරි ලිට්සෙල් – 12,895
ජෙෆ් බොස් – 12,895
තව අය ඉන්නවා ගූගල් මැතිවරණ ප්‍රතිඵල මෙතැනින්.