අරුණි ශපීරෝ‍ වෙතින්

මෙසේ වෙනවා යැයි දැන සිටියාට එසේ වූවාම කිසිම සතුටක් නැති දිනක්!!!

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2012

ඉදිරිපත් වූ දෙන්නා ගෙන් කොයි එක්කෙනා ආවත් ඇමෙරිකාව දාස භාවයට ගමන් ගන්නා මඟ වෙනස් නොවන බව දන්නා අය දැන සිටියහ. ඒ මාර්ගයේ වඩා ඉක්මණින් ගමන් කරනු පිණිස ඊයේ ඊට සුදුසු ජනාධිපතිවරයාව බහුතර ජනතාව විසින් තෝරාගෙන ඇත.

ඔවුන් තෝරාගෙන ඇත්තේ රැකියාවක් නොමැති වුනත් පසුම්බියට වැටෙන භාණ්ඩාගාරයේ නොමැති මුදල් ය.

ඔවුන් තෝරාගෙන ඇත්තේ යුනියන් එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටිනවාය යන මිථ්‍යාවය.

ඔවුන් තෝරාගෙන ඇත්තේ ණය වී ගන්නා මහජන මුදල් දෙන පුද්ගලික ව්‍යාපාර වලින් දිනන්නේ කවුදැයි පරදින්නේ කවුදැයි තීරණය රජයට බාර දීමට ය.

ඔවුන් තෝරාගෙන ඇත්තේ පුද්ගල නිදහසට සීමා පනවන විසල් රජයකි.

දාස භාවයට ඉක්මණින් ගෙන යන නායකයකත්වයට 2012 දී බරක් ඔබාමාව නැවත වරක් පත් කරගන්නේ නිදහස් අයිතීන් මොනවා දැයි නොදන්නා පුරවැසියන් විසිනි. නිදහස් අයිතීන් මොනවා දැයි පහදා දීමත් එයම පමණක් දාස බවින් ගැලවෙන්නට හැකි එකම මාර්ගය යැයි ද දන්නා අයට දැන් කරන්නට මහත් කාර්ය භාරයක් පැවරී ඇත.

* අයිතීන් අයිතිවන්නේ ඒකීය පුද්ගලයන්ටය, ඒවා කණ්ඩායම් වලට අයිති නැත. ඒවා ස්වභාවයෙන් ලැබෙන අයිතීන් මිසක් ආණ්ඩුවක් ලබාදෙන අයිතීන් හෝ ආණ්ඩුවකට උදුරා ගත හැකි අයිතීන් නොවේ.

* සියළු සාමකාමී, ස්වේච්ඡාවෙන් කරනා වූ ආර්ථික හා සමාජීය සබඳතා වලට අනුමැතිය ලැබෙන්නේ රජයකින් නොවේ, එය පදනම් වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල නොව සමාජීය හා ආර්ථක රටාව අනුවය.

* ආණ්ඩුවකට පුද්ගලික සම්පත් හා ධනය නැවත බෙදන්නට බලයක් නැත. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද ලබාදෙන්නට ආණ්ඩුවකට බලයක් නැත.

* ඒකීය පුද්ගලයන් තමන් කරන කියන ක්‍රියාවන්හි වගකීම ගන්නා අයයි. ආණ්ඩුවකට අපව අපේ ක්‍රියාවන් වලින් ආරක්ෂා කරන්නට නොහැකි නිසා එය කරන්නට ඉදිරිපත් විය යුතු නොවේ.

* ආණ්ඩුවකට ජනතාවගේ මුදල් ගැන මොනොපොලියක් කියන්නට අයිතියක් නැත. ආණ්ඩුවකට මහේක්ෂ ආර්ථික (macroeconomics) න්‍යායක නාමයෙන් භාණ්ඩාගාරයේ නැති සල්ලි අච්චු ගැසීමට බලයක් නැත.

* තමන්ට සතුරු ප්‍රහාරයක් නොමැති කළ වෙනත් රටක් හා යුද්ධයකට යා යුතු නැත.

* ජූරියට ඇති බලය අහිමි කර විනිසුරුවරුන් වෙතින් තීරණය ගැනෙද්දී නිදහස් අයිතිය අහිමි වෙයි.

* සිය කැමැත්තෙන් නොකරන සියළු සේවයන් අයිතීන් උල්ලංඝනය කරන්නකි. හමුදාවට අනිවාර්ය බඳවා ගැනීම්, අකමැති අයව ඇසුරු කරන්නට යැයි රජය කීම හා බලහත්කාරයෙන් සමාජ සුබ සාධන බෙදා දීම, වහල් බවක් ස්ථාපිත කරයි.

* ජනතාවට නීති රෙගුලාසි පිළිපදින්න යැයි කියන නීතීන් ආණ්ඩුව ද ඒවා පිළිපැදිය යුතුයි. ඒ නිසා ආණ්ඩුවක් විසින් කිසි විටෙක පුද්ගල චර්යාව හැඩගස්වන ක්‍රියා මාර්ග, සමාජයේ සිදුවීම් පාලනය, ආර්ථිකය කළමනාකරණය නොකළ යුතුය. තම වැසියන්ට එසේ කියන්නට බලයක් නැති ආණ්ඩුවකට වෙනත් රටකට ද එසේ මෙසේ කරන්න යැයි කියන්නට බලයක් නැත.

දැන් අපි සියල්ලෝම කෙන්සියානුවෝ යැයි ගැයීම කොයි පැත්ත දිනුවත් නැවතෙන්නේ නැති බව දන්නා අය දැන සිටියහ. ඉතින් දාස භාවයට නොයන්නට නම්, අද මෙවැනි දිනයක් උදාවෙනවා යැයි දැන සිටි අය එය නොදන්නා අයව දැනුවත් කිරීමට ගන්නා තම වෙහෙස තවත් වැඩි කළ යුතුයි.

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on නොවැම්බර් 7, 2012 at 8:44 පෙ.ව.

    බලය මිනිසා කෙතරම් වෙනස් කරනවාද. 2008 කළ කතාවයි, අද කතාවයි දුටුවාද ? මම හිතුවේ ප්‍රේමදාස මහත්තයා වගේ පැයක්ම දෙයි කියලා. නමුත් ඊට අඩු කාළයකින් පච කප්පරක් කෙළලා යන්න ගියා. පොඩි කෙල්ල තමයි පිටිපස්සේ ඉන්න අයට අත වනන්න කියලා කිව්වේ. ඒ වරද වැහෙන්න වගේ අන්තීමට තනියම ඇවිත් ඔවුනට ආචාර කරලා ගියා.

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 8:47 පෙ.ව.

      maathalan,

      තියුණු සටනක අවසානයේ ඔය පුංචි අත්වැරැද්දක එල්ලෙන්න එපා මාතලන්. ධනවතුන්ට හෙනට නෙලන්න බලාගෙන ඉන්න කෙනෙකුට ඕවා මොනවා ද?!!!!

  2. R.p. Susantha said, on නොවැම්බර් 7, 2012 at 8:45 පෙ.ව.

    ලංකාව වගේම ඇමරිකාවත් සහනාධාර කියන උගුලේ වැටිලා බව ඔබ හමු වූ වෙලෙත් මට කියා දුන්නා මතකයි. මටත් ඒකමයි හිතෙන්නේ. මෙහෙම සහනාධාර ක්‍රම වලින් රටවල් පාලනය කරනවා කියන්නේ අනාගතයේදී රට හිඟමනට වැටෙනවා කියන එක. නමුත් ජනතාවට ඕනෙ ඒකමයි. අක්කට මම එවන්නම් හොද පොතක්. අක්ක කියන දේ මේ රටෙත් දැන් ටික ටික සාකච්ඡා වෙනවා.

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 8:49 පෙ.ව.

      R.p. Susantha,

      ප්‍රධාන මාධ්‍යයන් පක්ෂග්‍රාහී වීම නිසා, (මෙහෙ නිදහස් මාධ්‍යයත් පක්ෂග්‍රාහී වෙලානේ) පුරවැසියන්ට කතා කළ යුතු දේවල් කතාබහට ඉඩක් ලැබුනේ මෑතක දී. යා යුතු ගමන දුෂ්කරයි, ඉතා දීර්ඝයි. එහෙත් එහෙම ගමන් හැමදාම ගිය අපිට ඕවා අභියෝග මිසක් පසුබැස්මට හේතු නෙමෙයි.

  3. Nandasiri Wanninayaka said, on නොවැම්බර් 7, 2012 at 9:09 පෙ.ව.

    I thought you were for the other side. I kind of feel that people vote for Obama not mainly because of his policies but his charisma as it happened with Ronald Reagan.

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 9:27 පෙ.ව.

      Nandasiri Wanninayaka,

      මම හැමදාම මගේ පැත්තෙ!!! හැම මිනිසෙක්ම සිටිය යුත්තේ ද තමාගෙ පැත්තෙ!!!!

      පහත විඩියෝව තමන්ගෙ මුල්ම චන්දෙ දාන එක කන්‍යාභාවය නැති කරගන්නේ කොයි එක්කෙනා එක්ක දැයි යන්න හා සමානයි කියන විදියට ඔබාමාට සපෝට් කරන්න හදපු එකක්. රොනල්ඩ් රේගන්ට වඩා බිල් ක්ලින්ටන්ට සමානයි වගේ!!!!

  4. Kenji @ Japan said, on නොවැම්බර් 7, 2012 at 9:37 පෙ.ව.

    ඔබාමා 2017 වසරේදී ඇමරිකන් ජනතාව තබන්නේ තබන්නේ කොතනද?

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 9:40 පෙ.ව.

      Kenji @ Japan,

      වැරදි ප්‍රශ්නයක් ඇහැව්වෙ. ඔබාමා අත නෙමෙයි 2017 දී ඇමෙරිකන් ජනතාව ඉන්නෙ කොතැන දැයි කියන එක තියෙන්නෙ. එය තියන්නේ ඇමෙරිකන් ජනතාව අත. මිලියන 311 කගේ සිතුම් පැතුම් කෙසේ ඉටු කරගන්නට ඔවුන් උත්සාහ කරාවි දැයි දන්නා අයෙක් හෝ කණ්ඩායමක් ලොව නැහැ.

      • Kenji @ Japan said, on නොවැම්බර් 7, 2012 at 11:27 පෙ.ව.

        ඇමරිකන් ජනතාව ඒකද ඔබාමාව නැවත ගෙනාවේ?

        • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 2:00 ප.ව.

          Kenji @ Japan,

          මොන බොරු කිව්වත් මොන වැරදි කළත් වාමාංශිකයන් වමේ අයට වමේ නිසා චන්දෙ නොදී ඉන්නෙ නැහැ. ඒත් ධනවාදී අදහස් ඇති අය තමන්ගෙ අය මුග්ධ ලෙසින් අදහස් ප්‍රකාශ කරද්දී සහ ධනවාදී නොවන ලෙසින් වැඩ කරද්දී චන්දය දෙන්නෙ නැහැ. ඔබාමා නැවත පත්වුනේ ඒ නිසයි.

  5. Buwa said, on නොවැම්බර් 7, 2012 at 10:03 පෙ.ව.

    ඔබාම අන්කල් දිනුවා නේ ! මට නම් රොමේනි ලොක්කා ආර්ථිකය සහ විදේස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දරපු අදහස් ඔබාමට වඩා ඉදිරියෙන් , (මම දේශපාලනේදි කොහොමත් බලන්නේ අවස්ථානුකූලව හොඳම විසඳුම ),නමුත් සමහර සමාජීය අදහස් අතින් ඔබාම ඉදීරියෙන්

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 10:13 පෙ.ව.

      Buwa,

      ඔබාමාට චන්දය දීපු හැමෝමත්, රොම්නිට චන්දය දීපු හැමෝමත්, අනිත් අපේක්ෂකයන්ට චන්දය දුන්නු හැමෝමත් හිතුවේ අවස්ථානුකූලව හොඳම විසඳුම තම තමන් චන්දය දීපු එක්කෙනා කියලා තමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය තමයි එය. මෙහෙ ව්‍යවස්ථාවේ අගය තමයි කොයි එක්කෙනා ආවත් බලය සීමිත වීම. ඉතින් ආර්ථිකයට කොච්චර පාඩු වුනත්, පුරවැසියන්ගේ පොකැට්ටු කොච්චර හිස් වුනත්, විදේශ ප්‍රතිපත්ති කොච්චර අනාගත්තත් කිසිදාක කියුබාවක්, රැසියාවක්, උතුරු කොරියාවක් වෙන්නෙ නැති එක ඇති!!!!

  6. රටේ මහත්තයා said, on නොවැම්බර් 7, 2012 at 11:46 පෙ.ව.

    අපි කැමති වුනත් නැතත් ඇමරිකාව නිදහස කියන සංකල්පය මත පදනම් වූ රාජ්‍යයක්.මෙහිදී වැඩි සමාජ නිදහසක් වෙනුවෙන් පෙනී සිටියේ ඔබාමායි.සම්මලිංගික විවාහ.පුලුල් ගබ්සා අයිතීන් වැනි දේ ප්‍රධානයි.රොම්නි ක්‍රිස්තියානි කන්සවැටිව් අදහස් නියෝජනය කළා.මට තේරෙන්නෙ නැත්තෙ වඩා ඉකමනින් නිදහස නතිකරන නායකයා ඔබාමා කියන එක.මම හිතන්නෙ වඩා වැඩි සමාජ නිදහසක් ලබා දෙන්නෙ ඔබාමා කියල ඇමරිකානුවන් තීරනය කරන්න ඇති.ඇමරිකානු චින්තනයට අනුව ඊනියා දාස භාවය නියෝජනය කරන්නේ පවුල් වටිනාකම් ආදිය ගැන කතා කළ රොම්නියි.

    ඇමරිකානුවා කල්පනා කළා රොම්නි වඩා දැඩි විදේශ ප්‍රතිපත්තියක් ඇනුගමනය කළත් ඔබාමාගේ සමාජ නිදහස වඩා වටින බවයි.රුසියානුවන් කල්පනා කලේ මීට ප්‍රතිවිරුද්ධ පැත්තයි.ඒක නේද ඇත්ත

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 2:12 ප.ව.

      රටේ මහත්තයා,

      වැඩි සමාජ නිදහසක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියපු නිසා නෙමෙයි ඔබාමාට චන්දය ලැබුනේ. ධනවතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදා දෙනවා කියන මුලාවට රැවටිච්ච නිසා. ඔබාමාට චන්දය දුන්නු අය හිතන්නෙ ධනවතාගේ සල්ලි එයා හම්බ කරගත්තෙ වාසනාව, පෙර කරුමය, ලබා උපන් හැටි නිසා කියල. වෙහෙස මහන්සි වෙලා හම්බ කළා යැයි දන්නෙ නැති නිසා ඔබාමා මොන ප්‍රතිපත්ති ගෙනාවත් තමන් වෙහෙසිලා හම්බ කරන ධනය එහෙම බෙදලා දෙන්න ධනවත් අය කැමති වෙන්නෙ නැහැයි කියලත් ඔබාමාට චන්දය දුන්නු අය වටහා ගන්නට ගොඩක් කල් යනවා. එතකොට භාණ්ඩාගාරය හිස්, එයාලා දුප්පත්.

      මෙහෙ බහුතර ධනවත් අය ධනවත් වෙලා තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල දී වගේ දේශපාලනයට මුක්කු ගහපු නිසා නෙමෙයි. තමන් වෙහෙසිලා නිසා. ඒ නිසාම ඔවුන් දන්නවා මේ අවස්ථාවේ දී තම වෙහෙසෙන් රැකගන්නා මුදල් පසුම්බිය ඔබාමාගේ ඇඟිලි වලට හසු නොවෙන්න තියාගන්නේ ද කෙසේද කියා.

      ඊනියා කියන්නෙ එසේත් නොවන මෙසේත් නොවන කියන්නට. දාස භාවයක එහෙම ස්වභාවයක් නැහැ. එක්කො දාසයෙක් නැත්නම් නිවහල් මිනිහෙක්!!!!!

  7. wicharaka විචාරක said, on නොවැම්බර් 7, 2012 at 12:43 ප.ව.

    ඇමරිකානුවෝ ඔබාමාට ඡන්දය දුන්නේ, ප්‍රතිපත්ති දිහා බලලාද, තමන්ගේ පොකට්ටුවට කීයක්‌ හරි වැඩිපුර වැටෙයි කියලා හිතලාද, තමන්ගේ බඩකට පුරාවාගනීම දැනට වඩා පහසුවෙයි කියලා හිතලාද?

    • arunishapiro said, on නොවැම්බර් 7, 2012 at 2:17 ප.ව.

      විචාරක,

      කේන්සියානුවාදය තමයි ගොඩ එන්නට එකම මාර්ගය යැයි විශ්වාස කරන අය ඔබාමාගේ ඒ ප්‍රතිපත්ති අගයනවා. කට්ටියක් තමන්ගෙ පොකැට්ටුවට අනිකාගේ ඩොලරයක් ලබාගන්නට අයිතියක් තියෙනවා යැයි සිතනවා. ආණ්ඩුවේ සහ යුනියන් සාමාජිකයන් තමන්ගේ බඩ කට පුරවා ගැනීම දැනට වඩා පහසුවෙයි යැයි හිතනවා.

      ඒ ඔක්කොම අසාර්ථක ක්‍රම යැයි දකින පිරිස කල්ලියක් හැටියට කටයුතු කරන්නට එකමුතු නැහැ. ඒකම තමයි ඒකීය පුද්ගලයන්ගේ සුවිශේෂීත්වය!!!!

  8. praveena said, on නොවැම්බර් 7, 2012 at 7:50 ප.ව.

    මොනවා උනත් මේ ජන්දයෙන් පෙනී ගියේ ඇමරිකාවේ තාමත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන බව.

    පෙනී ගිය අනික් කරුනු තමා ඇමරිකානුවන්ගේ ලෝකය මුලුමනින්ම ඇමරිකාව බව.

    තමන් ලෝකයේ බලවත්ම ජාතිය බැවින් ඔවුන් තමන්ගේ ජාතිය ගැන ආඩම්බර බව.

    මොන ජාතියක වුවත්, දක්ෂ පුද්ගලයින්හට ඉදිරියට ඒමට ඉඩ ඇති බව.

    බටහිර රටක කලු පුද්ගලයෙකුහට ජනාධිපති විය හැකි එකම රට බව.

    මම නම් ඔබාමාට කැමතී. කාන්තා ජන්ද වැඩියෙන් හම්බ උනේ එයාට නේද? 🙂

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 9:15 පෙ.ව.

      praveena,

      //බටහිර රටක කලු පුද්ගලයෙකුහට ජනාධිපති විය හැකි එකම රට බව.// මේක ඉතින් 2008 දී ඔප්පු කරපු දෙයක්නෙ. ඒත්, වෙන බටහිර රටවල් වලින් දකින්නට ලැබෙයි ද?!!!

      ලෝකයේ බොහෝ රටවල තවමත් කාන්තාවන් තමයි ජනගහණයේ වැඩියෙන් ඉන්නෙ. චීනය හා ඉන්දියාව අනාගතයේ දී එය වෙනස් කරාවි. ඉතින් රටක ජනගහණයේ වැඩියෙන් කාන්තාවන් ඉන්න කොට වැඩියෙන් චන්ද ලැබුනා යැයි කියා එය ලොකු වැදගත්කමක් හැටියට සලකන්නට බැහැ. මොකද රොන් පෝල් චන්දය ඉල්ලුවා නම් රිපබ්ලිකන් පක්ෂයෙන් මගේ චන්දය (මාත් කාන්තාවක්නෙ!!) එයාට අනිවාර්යෙන්ම ලැබෙනවා.

  9. දේශකයා said, on නොවැම්බර් 7, 2012 at 11:21 ප.ව.

    මට නං ඔය මුකුත් වැදගත් නෑ. අර ඔබාමට ලියුං කරදහි ලියල උදව් කරපු රාජ් කොලුවට මොකක් හරි දෙයක් දුන්නොත් ඇති…

  10. රාජ් said, on නොවැම්බර් 8, 2012 at 1:27 පෙ.ව.

    ඇමරිකාව වමට ගමන්කරනව….. හහ් හහ් හා…….. හුරේ…….. 🙂 (මුග්ධ වැඩිද මංද!)

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 9:17 පෙ.ව.

      රාජ්,

      අයියෝ මල්ලි ටිකක් මුග්ධයි නේන්නම්!!!! 1950 ගණන් වල ඉඳන් ඇමෙරිකාව හිමින් හිමින් වමට ගමන් කරලා දැන් වේගෙන් යනවා විතරයි.

  11. Ravi said, on නොවැම්බර් 8, 2012 at 2:34 ප.ව.

    Ekla Cholo Re………

    If they answer not to thy call walk alone,
    If they are afraid and cower mutely facing the wall,
    O thou unlucky one,
    open thy mind and speak out alone.
    If they turn away, and desert you when crossing the wilderness,
    O thou unlucky one,
    trample the thorns under thy tread,
    and along the blood-lined track travel alone.
    If they do not hold up the light when the night is troubled with storm,
    O thou unlucky one,
    with the thunder flame of pain ignite thy own heart
    and let it burn alone.

    / if no one is willing to stand by you walk alone,/

    But My thinking is we should try our hardest to make everyone understand and walk with us all the way to the end 🙂 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: