අරුණි ශපීරෝ‍ වෙතින්

එළියේ කාලගුණය භයානකයි, විපක්ෂයේ මුග්ධ බව ද භයානකයි!!!!

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 8, 2012

ඊසාන දිග කුණාටුවක් නිසා ඇද හැලෙනා සීතල වැස්සෙන් සැන්ඩි වලින් බැට කෑ අය තවත් ටිකක් පීඩා විඳිති. ඇමෙරිකාවේ විශාලත්වය නොදන්නා අයට සැන්ඩි කුණාටුවෙන් පීඩා විඳින අය මුළු මහාද්වීප යුරෝපය තරම් ඉඩකඩක පැතිර ඉන්නා අය බව ද වටහා ගැනීම අපහසුය.

රිපබ්ලිකන් පක්ෂය යන මඟ වැරදි බව රොන් පෝල් කියන්නට පටන් ගත්තේ දැන් සෑහෙන කාලයක සිට. එහෙත් රිපබ්ලිකන් පක්ෂය ඔහුට සවන් දුන්නේ නැත. තවත් සමාජවාදී වුවහොත් පාලන බලය අල්ලා ගත හැකි යැයි පමණක් සිතූහ. ඒ නිසා බුෂ් පුතා සිටි සමයේ සමාජවාදී සැලසුම් බොහොමයක් ක්‍රියාත්මක කළහ. රටේ ආර්ථික අවපාතයත් සමඟ රැකියා හිඟයක් පටන් ගැනිණ. ඊ ළඟට ඔවුන් තරඟයට ඉදිරිපත් කළේ තවත් සමාජවාදී අදහස් තිබි ජෝන් මැකේන්ය. ඔහු ඊට වඩා සමාජවාදියෙකු වූ ඔබාමාට පැරදිණ. ජෝන් මැකේන්ටත් වඩා සමාජවාදී වූ එහෙත් ධනවත් බැටළු හමක් පොරවා ගත් මිට් රොම්නිව ඊ ළඟට ඉදිරිපත් කර ඔවුන් නැවතත් පැරදුනහ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නේ පාඩම කුමක් දැයි පිළිගන්නට ඇති අකමැත්ත නිසාය.

උගත යුතු පාඩම කියා දෙන්නට රොන් පෝල් ගත් උත්සාහය රිපබ්ලිකන් පක්ෂය නොදැක්කා සේ සිටියහ. රොන් පෝල් වටා රොක් වූ ජනකාය නොදැක්කා සේ සිටියහ. ඔවුනට රිපබ්ලිකන් පක්ෂ මහා රැළියේ දී ඉඩක් ලබා නොදුන්නහ. ඔවුන් සහාය කරගත්තා නම් ඔබාමා පරදවන්නට හැකියාව තිබූ බව තවමත් නොදකින්නට ඇස් පියාගෙන සිටිති.

වාමාංශිකයන් අගාධයට රටක් ඇදගෙන යද්දී ආර්ථිකය වැඩ කරන හැටි නොදන්නා පිරිසක් ඔවුනට චන්දය දුන් නිසා වරදකරුවන් වන්නේ ඒ නොදන්නා මහා ජනකාය නොවේ. වරදකරුවන් නම් ආර්ථිකය වැඩ කරන හැටි නොදකින්නට ඇස් පියාගෙන ඉන්නා දකුණේ කියාගත් එහෙත් දකුණේ නොවන විපක්ෂයයි.

කැමති නම් යළි කියවන්න:

මව්බිමේ සේවෛරීත්වය රකිමු. කවුද රොන් පෝල්?

උවමනාවන්ට එරෙහි වගකීම

ඔබ රට වෙනුවෙන් ප්‍රතිපත්ති ගෙනෙන දේශපාලනඥයෙක් ද? වෙළඳපොලට භාණ්ඩයක් ඉදිරිපත් කරන නිෂ්පාදකයෙක් ද? හිතේ සතුට පිණිස නොමිලේ බ්ලොග් ලියන අයෙක් ද? මතක තියාගන්න, ලෝකය පුරා කොච්චර දැන්වීම් දැම්මත් වැඩක් නැහැ ඉදිරිපත් කරන ‘දැයේ’ අගයක් නැත්නම්!!!!!

ඉදිරිපත් කරන දැයේ සත්‍යය අගයක් ඇත්නම් දැන්වීම් නැතත් මිනිස්සු වටිනා දැය හොයාගෙනයි එන්නෙ.

😀 මේ අඩවිය වගේ. මේක ලියන්නෙ කෙටි මාර්ග හොයන අයට නෙමෙයි. දුෂ්කර දීර්ඝ ගමනක සාර්ථකත්වය කරා යන්න කැමති අයට!!!!!

හැමෝටම බැහැ සත්‍යයට මුහුණ දෙන්න.

ඔබට පුළුවන් ද?

ලෝක ප්‍රසිද්ධ පහත ලියා ඇති සිංදුව ලියා ඇත්තේ ලොස් ඇන්ජලීස් හි හොලිවුඩ් හා වයින් වීදීයේ දී ය. ඒ 1945 වසරේ ඉතා ග්‍රීස්ම වූ දිනයක. ගීත රචකයන් වෙන්නේ Sammy Cahn සහ Jule Styne දෙදෙනාය. Paul Zollo ලියන Songwriters on Songwriting (1958) පොතේ සඳහන් පරිදි එදා සැමි කාන් මෙසේ කියයි:

“ඇයි අපි මුහුදු වෙරළට ගිහින් ටිකක් සිහිල් සුවයක් ගන්නෙ නැත්තෙ?”

ජූල් ස්ටයින් උත්තර දෙන්නේ:

“ඇයි අපි මෙතන ඉඳගෙන හේමන්තය ගැන සිංදුවක් ලියන්නෙ නැත්තෙ?”

“ඉතින් මම ටයිප් රයිටර් එකට ගිහින් මුල් පද හතර ලිව්වා.” (සැමි කාන්, පිටු 27 සිට)

එය නත්තල් සමයේ දී වැඩියෙන් ඇහෙන සිංදුවක් වූවාට එහි නත්තල ගැන සඳහනක් නැත. එය හිම වැටෙන දිනයක (භයානක සීතල කාලගුණයක් ඇති දවසක) තමන්ගේ ප්‍රියතමයන් සමඟින් ගිනි ගොඩක් අසල (උණුසුම් සුවය දෙන) ඉන්නා බවක් කියන්නකි.

එළියේ කාලගුණය භයානකයි
ඇතුලේ ඇවිළෙන ගින්න ඉතා මනරම්
ඉතින් අපිට යන්න තැනක් නැති නිසා
හිම වැටියන්! හිම වැටියන්! හිම වැටියන්!

Oh the weather outside is frightful
But the fire is so delightful
And since we’ve no place to go
Let it Snow! Let it Snow! Let it Snow!

21 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on නොවැම්බර් 8, 2012 at 10:48 පෙ.ව.

    නංගී , කරදරයක් හෙම නෑ නේද?

  2. Inamaluwe Buddadasa said, on නොවැම්බර් 8, 2012 at 11:34 පෙ.ව.

    50% ඇමරිකන් කාරයොත් සුබ සාධනේට කැමතියි වගේ. ඔහොම ගියොත් නම් චීනේ ටාගට් එකට යනවා ටාගට් ඩේට් එකටත් කලින්. දැන් දැන් ලෝකේ ජනප්‍රිය වෙන්නෙත් ආසියානු ගීත, ආසීයානු චිත්‍රපට, ආසීයානු නිශ්පාදන. අන්තර්ජාලේ ට්‍රිබල් එක්ස් වලත් මාකට් එක ඒසියන්ස්ලට. අපි නම් සෝමාලියාවේ බජට් එක බැලුවා අද. මෙලෝ දෙයක් නෑ.

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 12:42 ප.ව.

      Inamaluwe Buddadasa,

      සුබ සාධනේට වැඩිය කැමතියි අන්තිමේ දී ගෙවන්නෙ තමන් ම බව නොදන්නා නිසා. ඒක පැහැදිලි කරලා දුන්නාම අවබෝධයක් ලබන අය අතර සුබ සාධනේට කැමති වෙන අය අඩුයි, හැමෝම දුප්පත් වෙනවාට කැමත්තෙන් හුරේ දාන ටික දෙනෙක් හැරෙන්නට.

      //දැන් දැන් ලෝකේ ජනප්‍රිය වෙන්නෙත් ආසියානු ගීත, ආසීයානු චිත්‍රපට, ආසීයානු නිශ්පාදන.// මේක නම් නිවැරදි දැයි සැකයි. ආසියාවේ ගොඩක් අය එක්ක චීනයේ ද වැඩියෙන් අහන්නෙ, බලන්නෙ, පාවිච්චි කරන්නෙ හොලිවුඩ් ගීත, චිත්‍රපටි හා නිෂ්පාදන. http://www.bbc.co.uk/news/world-asia-20133287
      සමහර විට වෙනදාට අහන්න ලැබුනාට වඩා වැඩියෙන් දකින්න ලැබෙන්නේ යැයි කිව්වොත් නිවැරදි වේවි.

      සෝමාලියාවේ බජට් එක!!!!!! 😀

  3. maathalan said, on නොවැම්බර් 8, 2012 at 11:46 පෙ.ව.

    අපේ රනිල් මහත්තය නම් අද බජට් එකේ ටී පාටිය වර්ජනය කරලා පොඩි විරෝධතාවක් දක්වලා තියෙනවා. හෙට ඉඳලා එයා ජනතාව සමග පාරට බහිනවා කිව්වනේ. මමත් මේ බලාගෙන ඉන්නේ පාරට බහින්න කුඩේකුත් අරගෙන.

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 12:44 ප.ව.

      maathalan,

      එයයි තිස්සයි හැමදාම පාරට බහින්න ලෑස්තිය. මහජනතාව කැඳවන්නෙ නැතිව ඒ දෙන්නා පාරට බැහැලා යන්නම යන්න ගියොත් නරක ද?!!!! වමත් දකුණත් අතර වෙනසක් නැති කල කුමට පැත්තක් තෝරාගන්න ද?!!!!!

  4. Kenji @ Japan said, on නොවැම්බර් 8, 2012 at 11:57 පෙ.ව.

    රොන් පෝල් වගේ “මැන්ටල්” පොර වල්වලට චන්දය දුන්න කියන්නේ භාහු ,වාසු වගේ අයට කතිරෙ ගැහැව්වා වගේනේ.ඔබ තුමිය “මැන්ටල්” කාරයකුට කතිරෙ ගහපු ඇත්තියකු ගානට අයත් වන්නේ නැහැ නේද????

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 12:47 ප.ව.

      Kenji @ Japan,

      විශ්වයේ කේන්ද්‍රය පෘතුවිය නෙමෙයි කිව්වාම නිකලස් කොපර්නිකස්ටත් ‘මැන්ටල්’ කියපු අය හිටියා.

      බාහුලා වාසුලා එක්ක දක්ෂිණාංශ ධනවාදියෙක් සම කරන්න යන්නෙ නොදන්නාකමට නිසා සමාව දෙන්නම් 😀

  5. Ravi said, on නොවැම්බර් 8, 2012 at 2:57 ප.ව.

    / Oh the weather outside is frightful
    But the fire is so delightful
    And since we’ve no place to go
    Let it Snow! Let it Snow! Let it Snow! /

    ධනිය ගෝපාල වස්තුව මසිතට පැන නැඟුනි එක්වරම.

    පිසු බත් ද බොහෝ කොට ඇත්තේය.
    දොවාගත් කිරි ද බඳුන් පුරා ඇත.
    ගින්න ඇවිලේ ගිනි උඳුන් තුල,
    ගත පුරා උණුසුම දෙමින්,
    මහා මේඝය, මහා මේඝය,
    නුඹ කැමැත්තේ නම් දවස පුරා වසිනු මැන…

    • arunishapiro said, on නොවැම්බර් 8, 2012 at 3:00 ප.ව.

      Ravi,

      අපි දෙන්නා pot luck එකකට ගියොත් එකම කෑම ජාතියක් අරන් යාවි ද?!!!!!!!!!!!

      • ravi said, on නොවැම්බර් 9, 2012 at 12:41 ප.ව.

        Potluck එකකට ආපු හැමෝම එකම කෑම ජාතිය අරං එයිද? 🙂 🙂

        • arunishapiro said, on නොවැම්බර් 9, 2012 at 1:01 ප.ව.

          ravi,

          ලංකාවේ විදියට හිතන්න හුරුවෙච්ච අයට නම් කළින් දන්වා යැව්වෙ නැත්නම් අරන් එන්නෙ මොනවා ද කියලා හැමෝම අරන් එන්නෙ පරිප්පු හොද්ද!!!!

          • ravi said, on නොවැම්බර් 11, 2012 at 6:33 පෙ.ව.

            යකාගෙ Potluck එකක්නෙ අරුණි ඒක 🙂 කලින් දන්වනවද මොනවද ගේන්න ඕන කියල? 🙂

            ” සභාවෙන් අවසරයි , මම දැන් ඉදිරිපත් කරන්නට යන්නේ අද උදේ මවිසින් ලියන ලද හිටිවන කවියක්. ” හෙහ්, හෙහ්, ආන්න ඔය පොට්ලක් කතාව වගේම තව කතාවක් 🙂

            • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 9:43 පෙ.ව.

              ravi,

              මෙහෙ ලංකාවේ අය එකතුවෙන potluck වල දී කළින් දන්වනවා ගේන්න ඕනෑ මොනවා ද කියල. සමහර විට ගේන ජාතිය ලියන්න ලැයිස්තුවක් ද අන්තර්ජාලයේ දාන අය ඉන්නවා. මොකද මුලින් කාලේ, ඒ කියන්නෙ එහෙම කියපු නැති කාලයේ දී හැමෝම ගෙනාවේ පරිප්පු නිසා.

              දැන් පැහැදිලි කරගන්න ඕනෑ great minds think alike යන හැදියාව සහ ‘තමන් වෙනුවෙන් නොව පොදු ජනතාව වෙනුවෙන් සේවය කරන’ හැදියාව අතර වෙනස. දවසේ දාර්ශනික ගැටළුව: දෙකේම දී ලැබෙන්නෙ පරිප්පු ද?!!!!!

  6. තිසර said, on නොවැම්බර් 9, 2012 at 3:48 පෙ.ව.

    ගීතයේ පද Let it Snow! Let it Snow! Let it Snow! වශයෙන් නිවැරදි වෙන්න ඕනේ…. :). no need to publish this.

  7. magenama said, on නොවැම්බර් 9, 2012 at 5:56 පෙ.ව.

    ප්‍රශ්නය මිනිස්සු පිටිපස්සෙ පොකට් එකෙන් පිල්ලි ඇරලා ඉස්සරහා සාක්කුවට දානකොට පස්සේ පොකට් එකෙන් කොච්චර තට්‍ටු වෙනවද කියන එක අමතක කරනවා.තමන්ගෙ කකුල ලඟ ඉන්න නාගයා කොයි වෙලේ හරි තමාව කනව නේද කියන එක අමතක කරලා උඩ බලාගෙන අහසේ හීන දකින්න මිනිස්සු හරීම ආසා…………යිනෙ.ඒ නිසා පේන දේ දිහා ඔහේ බලාගෙන ඉන්න සමහරු හරීම කැමතියි,ඒකෙ ටිකක් ගැඹුරින් හිතනවට වඩා.(www.amithusithuwili.wordpress.com)

  8. Ramaa said, on නොවැම්බර් 10, 2012 at 11:40 පෙ.ව.

    මට තේරුම්ගන්න බැරි අරුනි ඇයි ඔබ සහනාධාර දෙන එක සමාජවාදය කියල දකින්නේ කියන එක..සමාජවාදය කියන්නේ ආදායම් උපදවන මාර්ග රජය සතුව ඒකාධිකාරී ලෙස තියාගන්න එක නේද?
    ලෝකයේ ඔනෑම ධනවත් රටක නැතිබැරි මිනිස්සු ඉන්නවා… ඇමරිකාවෙත් එහෙමයි.. දැන් ඔබාමාකෙයා වගේ පනතකින් දුප්පත් මිනිස්සුන්ට සාපේක්ෂව නොමිලේ සෞක්‍ය ආවරනයක් දුන්නහම ඒක රටේ අනාගතයට කරන හානියක්ද?
    එහෙම සහන දුන්නැතිනම් සමාජයක් පුපුරාහැලෙන්නැද්ද? අතීත වැඩවසම් සමාජවලත් උනේ ඕකම නේද?

    • arunishapiro said, on නොවැම්බර් 10, 2012 at 10:51 ප.ව.

      Ramaa,

      අයෙක් උපයන ඩොලරයකට තවත් අයෙකුට අයිතියක් ඇතැයි කීම සමාජවාදයයි.

      ඔව් ලෝකයේ ඕනෑම ධනවත් රටක නැතිබැරි මිනිස්සු ඉන්නවා. අපිට ඒක ලෝකයෙන් කවදාවත් තුරන් කරන්න බැහැ. අයෙක් කැමති නම් නැති බැරි කමින් ජීවත්වෙන්නට එයාට ඉඩක් දිය යුතුමයි!!!!! ඒත් අයෙක් කැමති නම් තමන් උපයා ගත් ඩොලරය තමන්ගෙ සුබ සිද්ධිය සඳහා පාවිච්චි කරන්නට ඊට ඉඩදිය යුතුයි. එසේම අයෙක් කැමති නම් තමන් උපයන හැම ඩොලරයක්ම දානය කරන්නට ඊටත් ඉඩදිය යුතුයි. ඒවා රජයක් විසින් තීරණය කිරීම සමාජවාදයයි.

      //දැන් ඔබාමාකෙයා වගේ පනතකින් දුප්පත් මිනිස්සුන්ට සාපේක්ෂව නොමිලේ සෞක්‍ය ආවරනයක් දුන්නහම ඒක රටේ අනාගතයට කරන හානියක්ද?// ඔව්, මේක ගැන සෑහෙන්න මේ අඩවියේ ලියා ඇති නිසා ආයෙත් ලියන්නෙ නැහැ.

      නැහැ එහෙම සහන රජයක් විසින් තීරණය කරන්න ඕන නැහැ. ඇති තරම් සහන බෙදා දෙන්නට ඒවා උපයන හා සොයාගන්නා පුද්ගලයන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.

      කියවන්න බැරී බලම්බර්ග්. බිල් ගේට්ස් අප්‍රිකාවේ සුබ සාධන බිලියන ගණනින් බෙදනවාට අපේ කිසිම අකමැත්තක් නැහැ. එයාගෙ සල්ලි එයා කැමති පරිදි බෙදල දෙන්න එයාට අයිතියක් තියන නිසා.

      අතීත වැඩවසම් සමාජ වල දුප්පතුන්ට සහන දුන්නෙ නැති නිසා නෙමෙයි ඒවා පරිහානියට ගියේ. රටේ සම්පත් වල අයිතිය රජුට, ප්‍රභූන්ට හා රජුට පාක්ෂික වූ ආගමික නායකයන්ට තිබි නිසයි. ඔවුන් කැමති පරිදි ඕනෑම නීති රීති ගේන්නට (හරියට කොමියුනිස්ට් පාලකයන්ට පුළුවන් විදියට) හැකියාව තිබීම. රටේ වැඩ කරන ජනතාව බදු බර උසුලා සිටීම නිසා. ඔවුන්ට කිසිදාක ධනවත් වෙන්නට ඉඩ ප්‍රස්ථාවක් ලැබුනේ නැහැ. සමාජවාදයේ දී ද වෙන්නේ එයමයි. එහි දී ආණ්ඩුවේ පාලකයන්ටයි එයාලට හේත්තු වෙන අයටයි ඉහළ සැලකිලි, සාමාන්‍ය මහජනතාවට ‘කුඩම්මාගේ සැලකිලි’.

      ධනවාදය යනු පුද්ගලික අයිතියට ගරු කරන, පාලකයාට පුරවැසියාගේ පුද්ගලික අයිතිය උදුරා ගත නොහැකියාව. එහි දී පමණයි අයෙක් තමන් උපයන දෙයක් තමන් කැමති පරිදි පරිහරණයට ඉඩක් ලබන්නේ. එවැනි ක්‍රමයක දී පමණයි පුද්ගලයෙක් හිඟන්නෙක් වෙලා ඉපදුනත් ධනවතෙක් වන්නට හැකියාව ලබන්නේ. ලෝකේ අනිත් හැම රටකට ම වඩා සමාජවාදී ප්‍රතිපත්ති අඩු නිසයි ඇමෙරිකාවේ දුප්පත් වෙලා ඉපදිලා ඉතා ධනවත් වූ අය ලෝකේ වෙන කිසිම රටකට වඩා මෙහෙ වැඩියෙන් ඉන්නෙ.


Inamaluwe Buddadasa වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න