අරුණි ශපීරෝ‍ වෙතින්

මෙය හුදු හීනයක් පමණක් නොවෙන්නේ මන්ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 10, 2012

තිසර අහපු ප්‍රශ්නයකට උත්තර දැම්මට පස්සෙ ඒක තව ටිකක් හදලා සටහනක් විදියට දාන එක හොඳයි කියල හිතුන.

ලෝකයේ ධනවාදී අදහස් වලට පුරෝගාමී වූයේ ඇමෙරිකාව. ඒත් ධනවාදයේ සම්භවය ශ්‍රම විභජනයෙන් පටන් ගත් 18 වැනි සියවසේ බ්‍රිතාන්‍යයයි. යුරෝපයට පාත්වෙච්ච මාක්ස්වාදී අදහස් නිසා ඔවුනට වැඩවසම් යුගයේ මතවාදයෙන් ගොඩ එන්න තවමත් නොහැකි වී තිබෙනවා. මාක්ස්වාදයෙන් සෝවියට් රුසියාව බංකොළොත් වුවාට පස්සෙ ධනවාදී ඇමෙරිකන් ආධාරයෙන් තමයි නැඟිටින්නෙ. මාක්ස්වාදයෙන් කොමියුනිස්ට් චීනය බංකොළොත් වූවාට පස්සෙ ධනවාදී ඇමෙරිකන් ආධාරයෙන් තමයි නැඟිටින්නේ. බංකොළොත් යුරෝපය වැඩවසම් චින්තනයෙන් ගොඩ එන තෙක් නැඟිටින එකක් නැහැ.

මාක්ස්වාදයෙන් දායාද වූ විකෘති ආර්ථික විශ්ලේෂණය 1930 ගණන් වල දී ජෝන් මේනාඩ් කේන්ස් නැමැති අර්ථ ශාස්ත්‍රඥයා අතින් විද්‍යාත්මක න්‍යාය වලින් වැහෙන සුදු පිරුවටක් ඔතලා ලෝකයේ බල තණ්හාධික දේශපාලනඥයන්ට අවියක් ලෙසින් පුජා වූවා. මාක්ස් තමන් කළ හානිය නොදැක මිය ගියා සේ ජෝන් මේනාඩ් කේන්ස් ද ඔහු කළ හානිය නොදැක මිය ගියා.

මාක්ස්වාදී අදහස් නිසා නැත්තටම නැති වී නොයා දී සෝවියට් රුසියාව බේරාගත්තේ ලුඩ්විග් වොන් මීසස් නැමැත්තා. කේන්ස් ගේ අදහස් වලින් ඇමෙරිකාව නැත්තටම නැති වී නොයා දී බේරාගත්තේ ෆ්‍රෙඩ්රික් හයෙක් නැමැත්තා.

ඒත් කාල් මාක්ස් ගැන අහලා තියෙන කී දෙනෙක් අද ලෝකයේ ලුඩ්විග් වොන් මීසස් ගැන අහලා තියෙනවා ද?!!!!!!

ජෝන් මේනාඩ් කේන්ස් ගැන නොදත්තත් මයික්‍රෝ සහ මැක්‍රෝ ආර්ථික ක්‍රම 1985 දී කැළණියේ වානිජ පීඨයේ මගේ යෙහෙළියන් කට පාඩම් කළා. (යූඑන්පී මහ ලේකම් තිස්ස අත්තනායකත් ඒවා කට පාඩම් කරපු කෙනෙක්!!) ඒත් එදා කිසිවෙක් ෆ්‍රෙඩ්රික් හයෙක් ගැන කියනවා ඇහුනේ නැහැ. අදත් ලංකාවේ ෆ්‍රෙඩ්රික් හයෙක් ගැන සිංහලෙන් ලියා ඇත්තේ මා දන්නා පමණින් මම විතරයි!!!!

ජෝන් මේනාඩ් කේන්ස් විසින් මාක්ස්වාදී දැක්මට දුන් අත් උදව් බාරගත්තු ධනවාදී යැයි කියාගත් එදා ඇමෙරිකන් ආණ්ඩුව ඒ මතයන් දැඩි දෝෂ සහගත වූ වැරදි දැක්මක් බව මනා ලෙස ඔප්පු කරපු හයෙක් ව සම්පූර්ණයෙන් ම රටේ අධ්‍යාපන පොත පතෙන් බැහැරක තිබ්බ. ගුරුවරු යුනියන් සංගම් වලින් හසුරුවන විට අධ්‍යාපනය හැඩ ගැසෙන්නේ ද යුනියන් සංගම් වලට ඕනෑ විදියටයි.

නමුත් ඇමෙරිකාවේ සුළු පිරිසක් එදා සිට අද දක්වා ‘රැඩිකල් ධනවාදීන්’ ලෙසින් කටයුතු කළා. ඔවුන් තම දරුවන්ට ගෙදර දී උගන්වපු අය!!!! ඒත් ඔවුන් බහුතරය තම අදහස් ක්‍රියාත්මක කළා මිසෙක ඒවා තෝරා බේරා පැහැදිලි කරගෙන අනිත් අයට කියලා දෙන්න උත්සාහයක් ගත්තෙ නැහැ.

හරියට ධනවතෙක් පත්තර, සඟරා, රේඩියෝ වලට තම දැක්ම ගැන අනුන්ට අදහස් කිය කිය ඉන්නවා අහන්න වැඩිය ලැබෙන්නෙ නැතිවා වගේ. අපිට එහෙම අදහස් මෙච්චර කාලයක් තිස්සෙ අහන්න ලැබුනේ කාගෙන් ද? දේශපාලනඥයන් වෙතින්. යුනියන් නායකයන් වෙතින්. කැම්පස් ආචාර්යවරු වෙතින්. නළු නිළියන් වෙතින්!!!!

වසර සියයක් දෙසියයක් පුරා කර පින්නා ගෙන ඇවිත් තියෙන, සල්ලි හම්බ කරලා පෙන්නපු අය කියන දැක්ම නොව අනුන්ගේ සල්ලි වලට තමන්ට අයිතියක් තියෙනවා යැයි කියන අයගේ දැක්ම බිම තියන්න ඉතා අමාරු තවත් කාරණයක් තමයි ජනමාධ්‍ය තුලින් අහන්න ලැබෙන්නේ ද සහනාධාර හොඳ යැයි කියන මතය ම වීම. ඔවුන් විකුණන්නේ ද තමන් දන්න දෙයයි, පාරිභෝගිකයා මිල දී ගන්නේ ද තමන්ට හුරු පුරුදු දෙයයි!!!!!

ඒත් අද විකල්ප මාධ්‍යයන් (මේ බ්ලොග් වැනි) තුලින් අනිත් පැත්ත (ධනවාදී අදහස්) බහුතරයට කියන්නට ඉඩක් ලැබී තියෙනවා.

ධනවාදය සමාජයේ අවධානයටත් පිළිගැනීමටත් ලක්වෙනවා යන්න හීනයක් නොවෙන්නේ මේ නිසයි.

මේ යන විදියෙන් පොකැට්ටුව හිස්වෙන බව දැක්කාම, බහුතරයක් ඒ මන්දැයි වටහා නොගත්තත් ඔවුන් තමන් යන මාර්ගය වෙනස් කරනවා. නමුත් මෙදා පාර වෙන මාර්ගයක යා යුත්තේ ඇයි දැයි කියා දීමට මාර්ගයක් අන්තර්ජාලය නිසා පෑදිලා තියෙනවා.

ජෝන් මේනාඩ් කේන්ස්ගේ ප්‍රතිපත්ති දියත් කරපු ඇමෙරිකාව මීට කළින් මෙහෙම බංකොළොත් පාරේ ගිය අවස්ථා තිබිලා තියෙනවා. ඒත් එදා බහුතරයකට අවබෝධයක් ලබන්න දැනුමක් දෙන්න පහසු ඉඩක් තිබ්බේ නැහැ. අන්තර්ජාලය නිසා අද ඒ සඳහා අලුත් මාර්ග පෑදිලා.

ධනවාදී යැයි කියාගත් එහෙත් එසේ නොවූ රිපබ්ලිකන් පක්ෂය හා ගැටී මිලියන 1.1 ක වාර්තාගත ලිබටේරියන් චන්ද ලබාගත්තේ ප්‍රධාන මාධ්‍යයන් තුලින් ලැබිච්ච සහයෝගයකින් නොවේ. තනිකරම අන්තර්ජාලයේ වූ තොරතුරු ප්‍රචාරණයකින්.

සෝවියට් දේශයට වසර 69 ක් ගියා තම ප්‍රතිපත්ති වලින් වූ පාඩුව අවබෝධයට. ඔබාමා ඇතුළු සෙසු වාමාංශිකයන් හිතන්නේ ධනවතා ධනය ගොඩගැසීමට ගිජු නිසා කොතරම් බදු ඉහළ දැම්මත්, කොතරම් රෙගුලාසි තද කරත්, ඔහු ධනය හම්බ කරන එක නවත්වනුයේ නැතැයි කියා. මෙතැනයි වැරැද්ද.

මම මීට කළින් ස්ටැන්ලි මිල්ග්‍රැම්ගේ සහ පෝල් සැක්ගේ මනෝවිද්‍යා පර්යේෂණ ගැන ලියලා තියෙනවා. සල්ලි ලැබෙන්නෙ අනිකා හා බෙදා ගන්නේ නම් පමණක් යැයි කියද්දී, බෙදා ගන්න සල්ලිය ගොඩක් අඩු වුනාම මට නැත්නම් උඹටත් නොලැබියන් කියන අයයි වැඩියෙන් ලෝකයේ ඉන්නෙ. මිනිසා තමන් උපයා ගන්නා හෝ ලැබෙන දෙයෙන් 20% ක් දානය කරන්න කැමතියි. එතැනින් එහාට යද්දී මිනිසා නොදන්න මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන්න කැමති නැහැ. කියවන්න ultimate game.

වැඩවසම් යුගයේ දුප්පතා අනුන් ධනවත් කරන්න වැඩ කරන්න කැමති වුනේ නැහැ. නූතනයේ ධනවතා සමාජ පරපෝෂිතයන් රකින්නට වෙහෙසනවාට වඩා තමන්ගෙ ධනය අඩුවෙලා යන දිහා බලාගෙන සතුටු වෙන්න තියෙන කැමැත්ත ස්වභාවික මිනිස් ගතියක්.

මේක මුලින් ම පෙන්නලා දුන්නෙ අයින් රූන්ඩ් 1958 දී ලියූ ‘ඇට්ලස් හැකිළුණි’ පොතෙන්. ඒත් ඇය ධනවාදියෙක් නිසා වාමාංශිකයන් සවන් දුන්නේ නැහැ. ඇය දෙවියන් අදහන්නේ නැති අයෙක් නිසා රිපබ්ලිකන් පක්ෂය සවන් දුන්නේ නැහැ. මාක්ස් කවුදැයි අසා තිබුණත් මීසස් කවුදැයි නොදන්නා බහුතර ලෝකයත් ඊට සවන් දුන්නේ නැහැ.

අද ලෝකය පුරා අයින් රෑන්ඩ් පොත කියවන තරුණ පිරිස ලෝකයේ ම මෙතෙක් කාලයක් කාල් මාක්ස්ගේ දාස් කපිතාල් කියවපු අයට වඩා වැඩියි!!!!!

අද ලුඩ්විග් වොන් මීසස් කවුදැයි උසස් පෙළට ඉගෙන නොගත්තාට, බහුතර කැම්පස් වල නිර්දේශිත අර්ථ ශාස්ත්‍ර පොත් වල නැති වුනාට, අන්තර්ජාලයෙන් දැන ගන්නට පුළුවන්.

අද ෆ්‍රෙඩ්රික් හයෙක් ගැන සිංහලෙන් ද ලියලා තියෙනවා!!!

සමාජවාදය නිසා නැවතත් ලෝකය බංකොළොත් වෙද්දී අවබෝධයෙන් තොරව නොව ධනවාදය කුමක් දැයි සොයාගෙන ඊට කැමති වෙන්නට සමාජය දැනුවත් කරන්න පිරිසකට අද ඉඩක් අන්තර්ජාලයෙන් ලැබී තියෙනවා.

ඒකයි, මිට් රොම්නි වගේ ධනවාදී බැටළු හමක් පොරවා ගත් සමාජවාදියෙක් පරාජය වූයේ!!!!

ඒකයි මේක හුදු හීනයක් පමණක් නොවෙන්නේ.

ලොවේ කිසිම මනුෂ්‍යයෙකුට බඩගින්නේ ඉන්නට සිද්ධ නොවන යුගයක් උදාකර ගන්නට හැකි එකම ක්‍රමය ධනවාදයයි!!!!!!

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on නොවැම්බර් 10, 2012 at 11:23 පෙ.ව.

    ඇත්තටම මේ දේවල් අපට සරළව ලබා දෙන එකට ස්තූතියි කියනවා ඇර වෙන මොනවා කියන්නද…? පින් දුන්නට වැඩක් නෑනේ.. ඊළඟ ආත්මෙට ගෙනියනවා කියලයි… මේ අදහස්වලට නම් 100% එකඟයි.

  2. wasantha said, on නොවැම්බර් 10, 2012 at 12:50 ප.ව.

    මේක නම් ආතල් විස්තරයක්.මේක කියෙව්වම මට හිතෙන්නෙ අපි ජීවත් වෙන්නෙ අර සසප සහෝදරවරු කියන ගෝලීය සමාජවාදී රාජ්‍යයේද කියල.බලද්දි ලෝකෙ ඉන්න හැමෝම සමාජවාදි නෙව.ඔබාමත් වාමාංශිකයි.රොමෙනිත් සමාජවාදියෙක්.මෙච්චර කල් අමෙරිකාව කරල තියෙන්නෙ සමාජවාදී අදහස් මත.පිස්සු එකයි.යුරොපයත් සමාජවාදීලු.තැචර් ගේ බ්‍රිතාන්‍යය.ඒකත් සමාජවාදීයි.මෙහෙ කට්ට කාගෙන වමේ සංවිධාන හදාගෙන අපි මහන්සි උනේ මොන එකකටද?ලෝක සමාජවාදය උදා වෙලා තිබිල තියෙන්නෙ අපි දන්නෙමනැතිව.

    අරුණි ශපිරෝ –

    1.1973 න් පස්සේ කේන්ස් පැත්තකට විසි වී ගිය බව දන්නේ නැත
    2.1980 දශකයෙන් පසු උදා වූයේ මූල්‍යවාදයේ නව ලිබරල්වාදයේ සහ ෆ්‍රීඩ්මාන්ලාගේ යුගය බව දන්නේ නැත
    3.තැචර්වාදය හා රේගන්වාදය හරහා කේන්සියානු ආකෘතිය ආපස්සට හැරවූ අන්දම දන්නේ නැත.
    4.කේන්ස් සමාජවාදියෙක් නොව ධනවාදයට සුබසාධනවාදී ආවරණයක් සැපැයූ අයෙක් පමණක් බව දන්නේ නැත.කේන්ස්ට සමාජවාදියෙක් කියල කිව්වේ රජය ආර්ථිකයට ආවම බදු නිසා තරමක් අපහසුතාවට පත්වෙච්චි සුපිරි ධනපතියො සෙට් එක.නැතිව කේන්ස්ගෙ ඇති කෙහෙල්මල් සමාජවාදයක් නැහැ.නිෂ්පාදන සම්පත් වල පුද්ගලික අයිතිය ‍ඩොමිනන්ට් සමාජ වලටයි ධනවාදී කියන්නෙ.ඒව පොදු අයිතිය යටතේ තියෙනව නම් සමාජවාදීයි.ඕකයි ඔය සම්බන්ධ සරලම නිර්වචනය.අරුණි ශපිරෝ අඩුම තරමින් මේ සරල දෙයවත් දන්නේ නැත.

    ධනවාදයේ ආර්ථික අර්බුදය නිසා දියුණු ධනපති රටවල ධනපති පංතිය දක්ෂිනාංශිකයෝ වියරු වැටී සිටිති.ලිබටේරියන්වාදය තේ පාටි සංවිධානය යනාදී ලෙස එලි බැස තිබෙන්නේ ඒ වියරුවේ ප්‍රකාශනයන්.මුන් හිතන්නේ මුන්ට කෙලවී තිබෙන්නේ රජය අවම මට්ටමින් හරි ආර්ථිකයට මැදිහත් වුන නිසා කියල.අරුණි ශපිරෝ මේ නියෝජනය කරන්නේ ධනවාදයේ අති දක්ෂිණාංශික වර්ශන් එකකි.මේක කියවන මැට්ටො භාගෙට භාගයක් මේක දන්නෙ නැහැ.ඒ හින්ද නියමයි අරුණි අක්කේ ඔහෙට වහිනවද සැන්ඩි කොහොමද වගේ බබා ප්‍රශ්න අහමින් අරුණි එක්ක හුරතල් වෙන එකයි ඒ අය කරන්නෙ.

    //ලොවේ කිසිම මනුෂ්‍යයෙකුට බඩගින්නේ ඉන්නට සිද්ධ නොවන යුගයක් උදාකර ගන්නට හැකි එකම ක්‍රමය ධනවාදයයි!!!!!!//

    දැනට ශතවර්ශ ගානක් තිස්සේ ලෝකයේ ‍ඩොමිනන්ට් නිෂ්පාදන ක්‍රමවේදය බවට පත්වෙලා තියෙන්නෙ ධනවාදයයි.ඔය මල්ලේ ඔබල බලන්න දෙයක් නැහැ.සේරම ලිහල දාල තියෙන්නෙ.සූරාකෑම යුද්ධ පරිසර අර්බුද විනාශය හැර බඩගින්න නම් මේ ශතවර්ෂ ගණනාවටම නැති උනේ නැහැ.ඒ සේරම අසාර්ථක උනාට පස්සෙ “අනේ පිරිසිදු ධනවාදයක් නෙමෙයි තිබුණෙ රජය යම් ප්‍රමාණයකින් හරි ඇගිලි ගහනව නම් ඒක ධනවාදය නෙමෙයි” වගේ ක්ෂමා භජනය කොරල වැඩක් නැහැ.රජය මුකුත්ම ඇගිලි ගහන්නෙ නැති ධනවාදී සමාජ 18 වන සියවසේ යුරෝපයේ එහෙම තිබුණ.ඒ කාලෙ බඩගින්න නැති වුනාද කියල හොයල බලන්න.අනේ අපොයි අරුණි.අපි දැනන් හිටියෙ වාමාංශික අන්තවාදියොන්ව විතරයි.බලන් ගියාම ධනවාදී අන්තවාදීන් ඊට වඩා ආතල් නෙව!!!

    • arunishapiro said, on නොවැම්බර් 10, 2012 at 10:34 ප.ව.

      wasantha,

      මේවා කියවලා ආතල් ගන්න පුළුවන් නම් කොච්චර හොඳද?!!! අර්ථ ශාස්ත්‍රය නීරස නොවෙන විදියට ලියන්න තව උත්සාහ කරන්නම්!!!!

      සසප සහෝදරවරු ඉපදෙන්නට තියා එයාලගේ අම්මලා තාත්තලාට ඔවුන් හදන අදහස් පහළ වෙන්නටත් ඉස්සර ඈත අතීතයක ගෝලීය වෙළඳපොලක් මෙලොව තිබ්බෙ. හැබැයි තැචර්ගේ බ්‍රිතාන්‍ය නම් සමාජවාදී වූයේ නැහැ.

      //මෙහෙ කට්ට කාගෙන වමේ සංවිධාන හදාගෙන අපි මහන්සි උනේ මොන එකකටද?// මේකට කාලේ නාස්ති කළේ මොකද කියලා තමයි මාත් අහන්න කැමති.

      //ලෝක සමාජවාදය උදා වෙලා තිබිල තියෙන්නෙ අපි දන්නෙම නැතිව.// ඒකනේ, පොඩ්ඩක් ලෝකෙ වෙන රටවල් වල වෙන්නෙ මොනවා ද කියල බැලුවොත් තමන් ඒකටත් පරක්කුයි කියලා පෙනේවි. 😀

      මාක්ස් මැරිලා ගියාට පස්සෙත්, ඔහුගේ මතවාදය අසත්‍යය යැයි ඔප්පු කරපු අය හිටියත් 2012 දීත් මාක්ස්ගේ පින්තූර එල්ලා ගෙන ඉන්නා, කට්ට කාගෙන වමේ සංවිධාන හදපු අය කොහෙද දකින්නෙ තාම ඒ යල්පැනපු මතවාදය අල්ලාගෙන ඉන්නෙ තමන් ම කියලා. ඒ වගේම තමයි කේන්සියානුවාදයත්. තැචර් නම් අහුවුනේ නැහැ. ඒත් රේගන් නම් අහුවුනා. ඇමෙරිකාවට යකඩ කාන්තාවක් බලයේ ඉන්දැද්දී සම්පූර්ණ බලය ලැබෙන ආණ්ඩුවක් තිබ්බා නම් එහෙම වෙන්නෙ නැහැ. ඒත් මෙහෙ බලය බෙදිලා යන නිසා රේගන්ට ධවල මන්දිරය ලැබුනාට, සෙනෙට් සභාවේ 75% ක් ලැබුනාට, නියෝජිත සභාවේ බලය 0 ක් තිබ්බෙ.

      ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයට නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ ඇති ආසන සමඟ තමයි කොතරම් දේශපාලන බලයක් තියෙනවා ද කියා මනින්නට හැකි. නීති පාස් කරගන්නට හැකි. ඉතින් මෙහි තියන සටහන දිහා බලන්න ඇමෙරිකන් ඉතිහාසයේ නියෝජිත සභාව සහ සෙනෙට් සභාවේ බලය සතු වූයේ කෙන්සියානුවාදීන් අත නොවේ ද කියා.

      රජයක් පනවන සුබසාධනවාදී ආවරණයක් කියන්නේ සමාජවාදයයි. ඉතින් ඒක නොදන්නා අයට කේන්ස් සමාජවාදියෙක් කියල කොහොමින් වත් අවබෝධ වෙන්නේ නැහැ.

      //ධනවාදයේ ආර්ථික අර්බුදය නිසා දියුණු ධනපති රටවල ධනපති පංතිය දක්ෂිනාංශිකයෝ වියරු වැටී සිටිති.// සමාජවාදයේ බංකොළොත්බව වසා ගැනීමට සමාජවාදියෝ තවමත් ධනවාදයේ වැරදි කියමින් සතුටු වෙති.

      ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී
      2 වන කොටස
      තෙවන කොටස

      ධනවාදීන්ගේ ආතල් දන්නෙ ධනවාදීන් විතරයි. එන්න එකතුවෙන්න මාර ආතල් ගන්න පුළුවන්!!!!

  3. dayal bathee said, on නොවැම්බර් 10, 2012 at 8:55 ප.ව.

    සත්‍ය තොරතුරු, ආර්තික න්‍යා‍යයන් මත පදනම් වූ අරුනිගේ තර්ක බිඳීමට නොහැකි මා සූත්‍රයක් නිපදවා ගත්තෙමි. (හැබයි මං ලේසියෙන් අරින්නෙ නෑ මේ ඔබගේ බොහෝම ලස්සන ධනවාදෙයි, අගේ ඇති නිදහස් වෙළඳාමයි. අපි නොදන්න අමෙරිකාවෙ නිදහස් වෙලඳාම. ජීවත් වෙලා හිටියොත් ඔබ කිවූ නම කියන්න අමාරු ආර්තික ඔස්තාද් ලාගේ පොත් සියල්ලම කියවමි. හැබයි ඊට පස්සෙ කියන්න එපා දැන් ඒ කාලෙ ගියා ඒ න්‍යායන් වලංගු නෑ. සමාජවාදෙ තමයි දැන් ධනවාදෙ කියන්නෙ කියල. )

    සූත්‍ර නිර්මාණය පිලිවෙලින්…

    මං ඉස්සෙල්ල මූඩ් එක හදනව

    1. පෙනේද පාන් භාගයක් කාල භාගයක් විසිකරනව,

    පිලිගත හැකි ගාණක් මිම්මක්

    2. ඔය පාන් භාග භාග එකතුකරල එන සල්ලි දුප්පත් රටකට යැව්ව නම් කොචචර සේවයක්ද?

    වෛරයක් ඇතිකරනව

    3. එහේ සුර සැප විඳිනව. සුද්දෙක්ලු බැඳල ඉන්නෙ,

    න්‍යාය

    4. ඔය නාස්තිකාර ඇමරිකන්කාරයන්ගෙ න්‍යා‍යන්‍ අපිට ගැලපෙන්නේ නෑ.

    • arunishapiro said, on නොවැම්බර් 10, 2012 at 11:01 ප.ව.

      dayal bathee,

      මම වසර 2600 කට කළින් කියා දුන් බුද්ධාගම පිළිපදිනවා කිව්වම දයාල් බතී කැමති නැහැ ඒක බුද්ධාගම යැයි කියනවාට.

      සමාජවාදීන් විසින් ආර්ථිකය බිඳ වැටුනේ ධනවාදයේ අසාර්ථක බව කියා බොරු කියද්දී ඒ බොරු යැයි ලුඩ්විග් වොන් මීසස් ඔප්පු කර පෙන්වූයේ 1932 දී.

      ඉතින් මම නෙමෙයි “ඒ කාලේ න්‍යයන්” වලංගු නැහැයි කියන්නෙ. ඔබ.

      මම නෙමෙයි කියන්නෙ සමාජවාදේ තමයි දැන් ධනවාදේ කියල. එදත් සමාජවාදය සමාජවාදයයි. අදත් සමාජවාදය සමාජවාදයයි.

      මම පාන් කාල විසිකරනවා ද නැත්නම් පාන් භාග එකතු කරල එන සල්ලි දුප්පත් රටකට යවනවා ද කියන එක මගේ වැඩක්. අනුන්ගේ අයිතීන් ගැන උපදෙස් දෙන්නමයි සමාජවාදියාගේ හැදියාව. කවුරු කාවද බැඳල ඉන්නෙ කියන එකෙන් හරි, කවුරු කොච්චර සුර සැප විඳිනවා කියලා හරි වෛරයක් ඇතිවෙනවා නම් ඒක මම අදහන බුද්ධාගමට නම් සම්පූර්ණයෙන් ම පටහැනියි. මම නම් හැමදාම කාට හරි තමන් කැමති කෙනෙක් බැඳලා ඉන්න ලැබුණමත්, අනුන් සුර සැප විඳිනවා දැක්කමත් සතුටින් උද්දාම වෙන කෙනෙක්.

      //ඔය නාස්තිකාර ඇමරිකන්කාරයන්ගෙ න්‍යා‍යන්‍ අපිට ගැලපෙන්නේ නෑ.// ඔව් දයාල් බතී ඒක නම් හොඳට දන්නවා, ඒ නිසානේ “ඇමෙරිකාවටත් වඩා ධනවත් මිනිස්සු බහුතරයක් ඉන්න රටක” බජට් එකෙන් රේස් කාර් ගෙන්වන්න ලංකාවේ “ධනවතුන්ට” බදු සහන දෙන්නේ!!!!!!! 😀

  4. Rohan Samarajiva said, on නොවැම්බර් 11, 2012 at 4:06 පෙ.ව.

    හයෙක් ගැන සිංහලෙන් ලියැවුණු පොතක් ගැන විචාරයක් මෙන්න: http://managementinsinhala.wordpress.com/2012/10/22/%E0%B6%85%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%99%E0%B6%B1-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80/

    ඔබ ලිපිනය එවුවොත් පිටපතක් තැපෑලෙන් එවන්නම්. ඔබගේ විචාරයක් අගය කරමි.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 9:29 පෙ.ව.

      Rohan Samarajiva,

      ස්තූතියි. ඔබේ පොත ගැන අහන්නට ලැබුනාම මා දැමූ සටහනක් මෙන්න: “අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද

      කියවා නැති හෙයින් එහි හයෙක් ගැන සඳහන් වූවා දැයි දැන සිටියේ නැහැ.

      මගේ ලිපිනය එවා ඇත්තෙමි. එහෙත් Kapruka වැනි අන්තර්ජාල අඩවියකින් පිටරටට ගෙන්වා ගත හැකි සේ ඉදිරිපත් කරන්නේ නම් පොත තෑග්ගක් වශයෙන් ලැබීමට වඩා මිල දී ගැනීමට කැමැත්තෙමි.

      විචාරයක් ලිවීම සතුටින් බාරගන්නම්.

  5. ravi said, on නොවැම්බර් 11, 2012 at 6:38 පෙ.ව.

    / මේක මුලින් ම පෙන්නලා දුන්නෙ අයින් රූන්ඩ් 1958 දී ලියූ ‘ඇට්ලස් හැකිළුණි’ පොතෙන්. /

    මේක හරියන්නෙ නෑ අප්පා……..අයින් රෑන්ඩ් අම්මණ්ඩි ආස්සරේ කොරන්ටම වෙනව…නැතුව හරි යන පාටක් නෑ වගේ 🙂 🙂

    / ලොවේ කිසිම මනුෂ්‍යයෙකුට බඩගින්නේ ඉන්නට සිද්ධ නොවන යුගයක් උදාකර ගන්නට හැකි එකම ක්‍රමය ධනවාදයයි!!!!!! /

    සමාජවාදය, කම්කරු රාජ්‍යය, නිර්ධන පංති විප්ලවය වගෙ න්‍යායන් ශුද්ධ වු ත්‍රිත්වය ලෙස ඇදහූ යුගයක හැදී වැඩුනෙකු හැටියට ඔබගේ කරුණු පැහැදිලි කිරීම් මෙතෙක් මා නොදුටු මාවතක් පහනක් දල්වා පෙන්වා දීමක් සේ සළකමි.ඒ වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය අරුණි 🙂 🙂

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 9:52 පෙ.ව.

      ravi,

      දැන් මට ඉහත පොත තෑගි කරන්න කෙනෙක් ඉදිරිපත් වෙච්ච නිසා, මහවෙදනා මල්ලිත් පොතක් එවනවා කිව්වා, ඉතින් ravi ට මම අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ තෑගි කරන්නම්. ලිපිනය එවන්න.

      • Ravi said, on නොවැම්බර් 11, 2012 at 1:54 ප.ව.

        බොහොමත්ම ස්තූතියි අරුණි. මම ඇට්ලස් හැකිළුණි කියවන්ට කැමත්තෙන් හිටියෙ ඔබ ඒ ගැන ලියූ සටහන් කියවූ මුල් දිනේ සිට 🙂 🙂

        අයෙමත් ස්තූතියි. ලිපිනය මම එව්වා ඔන්න.

  6. Kenji @ Japan said, on නොවැම්බර් 11, 2012 at 8:49 පෙ.ව.

    අරුණි ලියන ලිපිවල අන්තර්ගත වෙලා තියෙන්නේ ඇය උගත් දේ [උසස් ලෙසටම]සහ අත්දැකීම් වලින් ලබාගත් දේ බවයි මගේ හැගීම.ඇයගේ ජිවන රටාව නොව අපට/ලෝකයේ දෙපයින් [දෙපත් නයින් නොව]නැගී සිටින්න උත්සහ දරන කස්ටියට දෙන පණිවිඩයයි වටින්නේ.මම නම් ගෙදරට ගෙන එනදේ ගේන්නේ ප්‍රමාණයට.පාන් වගේ වගේ දෙයක් නම් ඉතිරි උනොත් අවන් එකට දාල කරකරලා තියෙනවා,කට්ලට්,රෝල්ස් හදද්දී තවරන්න ගන්න.මට ඕන නම් පාන් කුඩු පැකට් එකක් කඩෙන් ගේන්න බැරුව නෙමේ,මගේ දුවටයි,පුතාටයි අරපිරිමැස්ම කළමනාකරණය පෙන්වන්ට උවමනා නිසයි.මට අවශ්‍ය ඒ දෙදෙනා උගත් [ලෝකයට පණිවිඩයක් දියහැකි]ධනවතුන් කරලීමටයි.අර්ථවත් ලිපිවලින් අපව දැනුවත් කිරීම ගැන අරුණි සහෝදරියට මගේ ප්‍රණාමය!!!!!!!!

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 10:12 පෙ.ව.

      Kenji @ Japan,

      //පාන් ගෙඩියක් ගන්නට හිමිදිරි උදෑසන නැඟිට පෝලිම් වලට එකතු වූ ජනතාවක් සිටි සිරිමාවෝගේ ලංකාවෙන් ආ මම අද වැඩියෙන් කෑවොත් තරබාරු වෙන නිසා පාන්ගෙඩියේ ඉතිරිය විසි කරන සමාජයක සිටිමි.//

      //අපට තවත් කාලයක් යනතුරු බාගයක් කා පාන්ගෙඩියේ ඉතිරිය කුණු බක්කියට විසිකළ හැකිය!!!!//

      හරියට කියෙව්වොත් අවබෝධ වේවි මම ලියලා තියෙන්නෙ එහෙම කරන සමාජයක සිටියාට, එහෙම කරන්න පුළුවන් වුනාට මම එහෙම කරනවා කියලා නෙමෙයි බව 😀

      ඇමෙරිකන් සමාජවාදී පාලකයන් ඇඟිලි ගහන එක වැඩිවෙලා වැඩිවෙලා … ලංකාවේ සමාජවාදීන් නොදන්නා තරමට වැඩිවෙලා … මෙහෙ නිව් යෝර්ක් නගරයේ බ්ලූම්බර්ග් නැමති ධනවත් නගරාධිපතිවරයා හිඟන්නන්ට ආහාර දානය කරන්නට තහනමක් ද ගෙනාවා මෙහෙම. නිව් යෝර්ක් නගරයේ ඇති යුදෙව් පංසල් වල දී ඔවුන් කන බේගල් වලින් ඉතිරි වෙන බේගල්, කාලාන්තරයක් තිස්සේ කන්නට කැමති වූ අවට රැකවරණ ස්ථාන වල ඉන්නා හිඟන අයට, යුදෙව්වෙක් කැමැත්තෙන් බෙදා දුන් උත්සාහයක් නගරාධිපති විසින් නීතියක් ගෙනැවිත් නතර කරනවා. නීතිය මේකයි, ලේබල් ගසා නැති ආහාර තෑගි කරද්දී ඒවායේ ලුණු, මේද හා fiber ප්‍රමාණයන් ගණනය කරන්නට නොහැකි නිසා දුප්පතුන්ට ආහාර තෑගි කිරීමෙන් දුප්පතුන් අනුභව කරන ලුණු, මේද හා fiber ප්‍රමාණයන් වැඩිවේවි යැයි බයට. ඔන්න ධනවාදයෙන් යැපෙන දුප්පත් හිඟන්නාගේ යහපතට ගෙනෙන සමාජවාදී නීති!!! අන්තිමේ දී රජය මැදිහත් වෙලා අයෙක් කැමති දෙයක් හිඟා කන්නට ද නිදහසක් නැති වී යනවා. අයෙක්ට තමන් කැමති දෙයක් දානය කරන්නට ද නිදහස නැති වී යනවා.

      සමාජවාදීන්ට කොහෙද ඔච්චර සමාජවාදී වෙන්න වෙන කිසිම රටක ඉඩ ප්‍රස්ථාවක්, මෙහෙම ධනවත් සමාජයක හැරෙන්නට.

      • Kevin Perera (@PereraKevin) said, on නොවැම්බර් 11, 2012 at 10:59 පෙ.ව.

        සමාජවාදය උදා වෙලා තිබුන රටවල්
        සෝවියට් දේශය
        කිව්බාව
        මහජන චීනය
        උතුරු කොරියාව
        මේවායේ දුප්පත් කම සම්පුර්ණයෙන්ම නැතිවිය ඉන්පසු ඉතිරිවුණ පාන් ධනවාදය නිසා දුප්පත් වූ අසාර්ථක වූ රටවල් වලට නොමිලේ යවන ලදී. අරුනිලා අදටත් පාන් කන්නේ ඒ නිසා යන සරල දෙයවත් අරුණි දන්නේ නැත. ඇත්තටම ඔහෙට පිස්සුද අරුණි ?

      • Kenji @ Japan said, on නොවැම්බර් 11, 2012 at 12:11 ප.ව.

        ඔබ වගේම පෝලිම්වල ඉදල ගෙනාපු ගුල්ලෝ හිටපු පාන් කාපු කෙනෙක් මමත්.මම කැමති වෙයිද මම කාපු “ගුල්ලෝ පාන්”මගේ දරුවන්ට කවන්න?මම අද මගේ දරුවන්ට හොදම දේ දෙන්නේ ධනවාදයට පින් සිද්ද වෙන්න.හෙට අනිද්දා ලංකාවේ ඉන්න මගේ ලගම දෙතුන් දෙනකුට රේසින් කාර් අරන් දෙන්න ඉන්නේ ධනවාදයට පින්සිදුවන්න!!!!!

  7. deshakaya said, on නොවැම්බර් 12, 2012 at 11:47 පෙ.ව.

    මාතලන්ගේ අදහසට මාත් එකගයි. නමුත් ධනවාදය බඩගින්න නවත්වයි කියල හිතුවට ලෝකයේ බල තුලනය තියා ගන්න උදව් වෙනවද?

    • arunishapiro said, on නොවැම්බර් 13, 2012 at 7:33 ප.ව.

      deshakaya,

      බල තුලනය කරන්නට නම් බලය ඇති සහ බලය නැති යන කොටස් දෙකක් ඉන්නවා යන්න ගම්‍ය වේ. කවුද මේ කොටස් දෙක?

      ලෝකයේ හෝ රටක බල තුලනයක් තිබ්බේ ඉතිහාසයේ කුමන කාලයේ ද?

      ලෝකයේ හෝ රටක බල තුලනය කරන්න ඕන ඇයි?

      ලෝකයේ හෝ රටක බල තුලනය කරන්නෙ කොහොම ද?

      • දේශකයා said, on නොවැම්බර් 13, 2012 at 11:07 ප.ව.

        ඔබ හිතන්නෙපා බල තුලනය කියන දෙයින් සම්පුර්ණයෙන් අදහස් වන්නේ යුදමය බලතුලනයක් කියලා. එයට සමාජිය, ආර්ථිකමය, සංස්කෘතිමය හා වෙනත් දේවල්ද ඇතුලත් වෙන්න ඕන. හුදකලා ජාතියක් වෙච්චි අපිට ඕක අරුම පුදුම දෙයක් උනාට, එක් එක් රටවල් බල තුලනය සදහා විශේෂයෙන් ඇමරිකාව, රුසියාව, චීනය, දැං කොරියාව ආදි රටවල් අති විශාල කැපවීමකින් කටයුතු කරනවා. යුදමය පැත්ත බැලුවත් එහෙමයි. එය රටකට පමණක් නොවේ පුද්ගලයන් දෙදෙකෙත් අතර පවා තිබෙන සදාකාලික අරගලයක්. සම හෝ ඉහල මට්ටමක ස්ථානගත වීම තමා මෙහි එකම අභිප්‍රාය. ඒ අනුව ඔබ අහන කොටස් දෙක මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනද?

        ඔබ අදහස් කරන යුදමය බල තුලනයක් ඔබ කියන ආකාරයෙන් තිබුනා රුසියානු සමුහණ්ඩුව තියෙන කොට. එවිට ඇමරිකාව හා රුසියාව එකිනෙකා කෙරෙහි සතුරු පිළීවෙත්, ඔත්තු සේවා ක්‍රියාත්මක කළද එකිනෙකාගේ ශක්තිය නිසි මට්මටමින් මැන ගැනීමට නොහැකි වීම මතම සීතල බල තුලනයක් තිබුනා. මොකද එකිනෙකා ඔවුනොවුන් කෙරෙහි සැක සහිත බියක් තිබුනා. ආර්ථික තුලනයක් ලෝතය තුල තිබුනා.. හැබැයි. .අළුතින් චීනය වගේ ඉන්දියාව වගේ රටවල් එම තුලනය අභියෝගයට ලක්ක කිරීම නිසා. ඒක නැහැයි කියන්න පුළුවන්ද, ඇමරිකාවේ ආදිපත්‍යය බිදවැටිම පිළිබදව මෙම ආර්ථීක තුලනය ට වූ බලපෑම අති විශාලයි.

        බල තුලනයක් බලයෙන් කල යුතු නෑ. එය අනිවාර්යයෙන් හැම මොහොතකම කුමන හෝ ආකාරයෙන් සිදු වෙනවා. නමුත් ධනවාදය ලෝකයේ එකම ආර්ථික ක්‍රමය වුනොත් ඒක එහෙම වෙන්නේ නැති බව ඇමරිකානු ක්‍රමය තුලින්ම දැකබලා ගත හැකියි.

        ඔබට මේ සදහා ඉහත ඡේදයේ ඇති මුල් වචන හය ප්‍රමාණවත්.

        • arunishapiro said, on නොවැම්බර් 14, 2012 at 6:28 ප.ව.

          දේශකයා,

          නැහැ මම ඇහැව්වෙ යුදමය බල තුලනයක් ගැන නොවේ. සමාජයේ ආර්ථික බල තුලනය ගැනයි. ධනවාදය තමයි පැහැදිලිවම සමාජයක, රටක, ලෝකයේ සත්‍යය බල තුලනයට උදව් වෙන්නෙ. බල තුලනයක් බලයෙන් කළ යුතු නැහැ යැයි ඔබ කියන්න ධනවාදයට අනුවයි නිවැරදි වෙන්නේ.

          ඒත් වැරැද්ද අද ඇමෙරිකාවේ තියෙන්නේ ධනවාදී ක්‍රමයක් යැයි වරදවා වටහා ගැනීම. එහෙම එකක් තිබුණා රට ඉපදුන කාලයේ. ඊට පස්සෙ ක්‍රමයෙන් වැඩි වුනේ ආණ්ඩුවේ සැලසුම් තුලින් බල තුලනය කරන්න හැකියාව ඇතැයි යන මුලාව වර්ධනය වීමයි. ඒකට වෙන රටවල් වේගයෙන් යද්දී ඇමෙරිකාව සෙමෙන් ගමන් කළා. ඔබාමා ඇමෙරිකාව රටේ කිසිදාක නොතිබූ තරම් මට්ටමකින් රාජ්‍ය සැලසුම් වැඩි කරලා තියෙන්නේ. ඒත් යුරෝපය හා සෙසු ලෝකය දිහා බලද්දී තාම ඇමෙරිකාවේ රාජ්‍ය ඇඟිලි ගැසීම් අඩුයි. ඒ නිසාමයි මෙහෙ තවමත් දුප්පතෙකු විදියට ඉපදිලා ලෝක ධනවතෙක් වෙන්න පුළුවන්. ඒත් වසර විස්සකට ඉහත දී වඩා අද දුෂ්කරයි.

          රාජ්‍ය ඇඟිලි ගැසීම් අවම කරගන්නා රටක් ලෝකයේ ඉතා සීඝ්‍ර සංවර්ධනයක් ලබනවා. හොඳ උදාහරණයක් තමයි එස්ටෝනියාව. හිටපු සෝවියට් යුනියන් යටත්විජිත රට වලින් එස්ටෝනියාව තමයි ඉහළම GDP උපයන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: