අරුණි ශපීරෝ‍ වෙතින්

අරුම පුදුම රටේ පනමට පොල් හැටේ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 11, 2012

පුදුම දේවල් ගැන කියන්න ඉස්සර කාලේ යොදපු ප්‍රස්ථාව පිරැලක් තමා ඒ. සත හයකට පොල් හැටක් ගන්න එදා ලංකාවේත් බැරි නිසා වෙන්නැති එහෙම කියන්න ඇත්තෙ. අද මෙහෙ කඩේ පොල් ගෙඩිය ඩොලර් 2.69 යි. පොල් ගෙඩියක පමණ හීනියට ගාපු පොල් අධිසීතකරණයේ ඇති පැකට් එක සත 99 යි.

එළකිරි පාවිච්චිය නිසා අසාත්මිකතා ඇති අයට සහ සත්ව නිෂ්පාදන පරිහරණය වැළකීම ප්‍රිය කරන වැනි වෙනත් හේතු නිසාත් විකල්ප කිරි හොයන අයට අද “බොන්න පොල්කිරි” වෙළඳපොලට ඇවිත්. දැන් ගොඩ කාලයක් තිස්සෙ සෝයා කිරි විකිණීම පටන් ගෙන තිබුණ. තිත්ත රහක් දිවේ ඉතිරිවෙනවා සෝයා කිරි බීලා ඉවර වුනාම. ආමන්ඩ් (almond) කියන ඇට වර්ගයේ කිරිත් වසර දෙක තුනක කාලයක දී සිට බහුලව විකිණෙන්නට ගත්ත. කජු රස වගේ කිරි රහක් එයින් ලැබෙන්නෙ.

මේ පොල්කිරි තේ කෝපි වලට දාලා බොන්නත් පුළුවන් කියල වෙළඳ දැන්වීමක් ඇහුණම මාත් ගියා ඒ රහ මගේ දිවට කොහොම දැනේවි ද කියලා හොයල බලන්න. අලුතින් හඳුන්වා දෙන විකල්ප භාණ්ඩයක් නිසා මිල ඇබිත්තක් අඩු කරලා ටික දවසකට පාරිභෝගිකයන්ට රස බලන්න. මේ මම නිතර යන කඩේ එය අලෙවියට තිබූ හැටි. සීනි ඇතුව, වැනිලා රසයෙන් හා සීනි නැතිව යන තුන් වර්ගයෙන් ඉදිරිපත් කරලා තිබ්බෙ. මම තෝරාගත්තේ සීනි එකතු නොකරපු පොල්කිරි. ගැලුම් බාගයක් (ලීටර් 1.89) ඩොලර් 3.50 කට ගත්ත. (ඩෙලවෙයාර් වල අලෙවි බදු නැහැ.) ගැලුම් බාගයක සාමාන්‍යයෙන් පොල් ගෙඩි කීයක විතර මිටිකිරි තියෙනවා දැයි හිත හිතා ගෙදර ආවා!!!!

මුලින් ම රස බලද්දී පොල් ගෙඩියක් ගාලා මිරිකලා ගත්තු හැටියෙම බිව්වොත් දැනෙන පොල් සහ මේද රසය දැනෙන්නේ නැහැ. නැහැයට දැනෙන්නේ ද පොල් මිටිකිරි සුවඳක් නෙමෙයි. සාමාන්‍ය කිරි සුවඳක්. (මගේ නැහැය දැන් ටිකක් නාකියි!!!) ඒත් මගේ කෝපි කෝප්පයට නම් පොල්කිරි රස හරියන්නෙ නැහැ. එළකිරි රහට දිව පුරුදු වෙලා තියන හැටි ද කොහෙද. ප්ලේන් ටී හැමදාම කැමති මම තේ කෝප්පයට පොල්කිරි දාලා බැලුවේ නැහැ.

ලංකාවේ විදියට පරිප්පු හොද්දක් හැදුවා. ඒක නම් රසට ආවා. ඊ ළඟට අර්තාපල් අල හොද්දක් හැදුවා. ඒකත් රසට ආවා. නිකම් බොන එක කෙසේ වෙතත් උයන්න ගන්න නම් සෑහෙන්න හොඳයි.

ලංකාවත් සම්බන්ධයි මේ නිෂ්පාදනයට. මෙදා බජට් එකෙන් පොල් අබලි වලට බදු සහන ලැබෙනවා කියල දැක්කම නම් දුක හිතුණ. නිෂ්පාදනයක් සහනාධාර නැතිව ගොඩ දාගන්නට බැරි නම් කවදාවත් ඒ ක්ෂේත්‍රය වෙළඳපොලේ තරඟයෙන් ජයගන්නේ නැහැ.

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. dishan83 said, on නොවැම්බර් 11, 2012 at 11:29 පෙ.ව.

    අරුනි අක්කා මෙ ලන්කාවෙ පොල් වලින් හදපු නිශ්පදනයක් ද මම තවම නම් ලOකවෙ නම් දැක්කෙ නැ අපරදෙ අරුනි අක්ක කමති නැති ඒකෙ අයෙ සල්ලි ගන්නත් පුලුවන් නෙ. පොල් කිරි තේ ඉදිරියෙදි ලන්කාවෙ අපිටත් බොන්න වෙයිද
    දැන් පිටි පැකැට්ටුවත් සිග්‍රයෙන් ඉහල යනවා.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 1:32 ප.ව.

      dishan83,

      සමහර ලංකාවේ හදන නිෂ්පාදන ලංකාවේ දී මිල දී ගන්න බැහැනේ, Victoria’s Secret ලේබල් ගැහැණු යට ඇඳුම් වගේ එව්වා අලෙවිය ලංකාවෙන් පිට. මේකත් ඒ වගේ මෙහෙට ක්‍රීම් විදියට එවලා මෙහෙ දී කිරි ඇසුරුම් වලට දාලා මෙහෙ විකුණන එකක් වෙන්නැතියි කියල මම හිතන්නෙ. ඉතින් මම ගත්තු එකේ තියෙන්නෙ තායිලන්තයේ පොල් කිරි ද, ලංකාවේ ද නැත්නම් පිලිපීනයේ පොල් කිරි ද කියලා නම් හොයාගන්න ක්‍රමයක් නැහැ මල්ලි.

      කිරි හැටියට බිව්වෙ නැතත් කෑම හදන්න පුළුවන් නිසා දිගට ම සීතකරණයේ තියාගන්නා දෙයක් වේවි.

      එළකිරි පිටි ගණන් ඉහළ ගියාම පොල් කිරි බොන්න වෙන්නෙ කැමැත්තෙන් ද? අකමැත්තෙන් ද? වෙන විකල්පයක් නැති නිසා වෙයි ද?

  2. R.p. Susantha said, on නොවැම්බර් 11, 2012 at 11:58 පෙ.ව.

    සමස්ථ ලිපියේම තිබෙන වටිනාම කොටස හැටියට මට දැනෙන්නේ මේ කොටසයි.

    “ලංකාවත් සම්බන්ධයි මේ නිෂ්පාදනයට. මෙදා බජට් එකෙන් පොල් අබලි වලට බදු සහන ලැබෙනවා කියල දැක්කම නම් දුක හිතුණ. නිෂ්පාදනයක් සහනාධාර නැතිව ගොඩ දාගන්නට බැරි නම් කවදාවත් ඒ ක්ෂේත්‍රය වෙළඳපොලේ තරඟයෙන් ජයගන්නේ නැහැ.”

    ඇයි අපිට බැරි??

    අක්කාගේ අවසාන වාක්‍ය හිතේ තබාගෙන වැඩ කලොත් නම් බැරි නැහැ.

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 2:01 ප.ව.

      R.p. Susantha,

      ඇමෙරිකාවේ දී රජයක් ඇඟිලි ගහන්නේ මෙහෙමයි. ව්‍යාපාරයකින් හොඳට ලාබ සොයන කොට රජය කරන්නෙ ඊට පනවන බදු වැඩි කිරීම. ඒක ඒත් ලාබදායක ලෙසින් කරගෙන යන වෑයම තියෙනවා නම් රජය කරන්නෙ රෙගුලාසි වැඩි කිරීම. ඒක කරගෙන යන්න බැරි විදියට එවිට නැවතෙද්දී රජය කරන්නෙ එයට සහනාධාර දීම. එහෙම කිව්වෙ ධනවාදී ආර්ථික ක්‍රමයට සමාජවාදී රජය ඇඟිලි ගහන හැටි විස්තර කරපු රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා.

      හැබැයි ලංකාවේ වැඩ පටන් ගන්නෙ අනික් පැත්තෙන්, රජය කියනවා මේ ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි කියලා. ඉතින් සහනාධාර දීලා යම් ක්ෂේත්‍රයක් ඉදිරියට ගන්නවා. එය ලාබදායක වෙන්නෙ සහනාධාර ලැබෙද්දී නිසා එය ලාබ ලබන්නෙ සහනාධාර ලැබෙන කාලය තුල පමණයි. ඊට පස්සෙ ආණ්ඩුව තමන්ගෙ බංකොළොත් වැඩ පිළිවෙල වසා ගන්න දැන් අපි අර ක්ෂේත්‍රය දියුණු කරනවා ඒ නිසා මේකට නෙමෙයි ඒකට සහනාධාර දෙනවා කියනවා. සහනාධාර ලැබෙන නිසා ව්‍යාපාර පටන් ගෙන ලාබ සොයා පසුම්බි තර කරගන්නා අය කාලයෙන් කාලයට සහනාධාර ලැබෙන ඒ ඒ ක්ෂේත්‍රයට පනින නිසා කිසිම ක්ෂේත්‍රයක් ශතක ගණනාවක් තිස්සේ දියුණු වෙන්නෙ නැහැ. ඉතින් මූලධනය එකතුවක්, කුසලතා වර්ධනයක් හා වෙළඳපොල නමක් හදාගන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ යම්කිසි ක්ෂේත්‍රයක් වැඩි දියුණු කරන්නට හෝ එහි නියැළෙන ශ්‍රමිකයන්ගේ පඩි වැඩි කරන්නට.

      රජයේ ඇඟිලි ගැසීම නිසා සියල්ලන්ම හැමදාම සෙසු ලෝකයට වඩා දුප්පත් බවින් ඉන්නෙ. එහෙත් එය අවබෝධ වෙන තෙක් මල්ලි සහනාධාර එපා කිව්වට ඔයා එක්ක තරඟ කරන අනික් ව්‍යාපාරිකයා එහෙම එපා කියන්නෙ නැහැනේ. ඒ වගේම රටේ පුරවැසියන් ද හිතන්නේ ආණ්ඩුව අත දීලා මිසක් යම් ක්ෂේත්‍රයක් සංවර්ධනයට බැහැයි කියල. ඒ නිසා අපි රටේ පුරවැසියන්ටත් අවබෝධය ලබා දෙන්න ඕනෑ ආණ්ඩුවක් නෙමෙයි යම් ක්ෂේත්‍රයක් සංවර්ධනය කරන්නේ කියලා.

      ඒකයි මම හැමදාම කියන්නෙ රටේ පාලකයන්ව කොට්ට මාරු කරනවා විදියට මාරු කරලා වැඩක් නැහැයි කියල.

      ආර්ථිකය වැඩ කරන හැටි ව්‍යාපාරිකයන්, ශ්‍රමිකයන් සහ රටේ පාරිභෝජිකයන් වටහා ගන්නා දවසට එය සාර්ථකව කෙරෙන එකම ක්‍රමය ඉටු කරන පාලකයන් විතරයි ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරී පත්වෙන්නේ.

      ව්‍යාපාරිකයන්ට, ශ්‍රමිකයන්ට හා පාරිභෝජිකයන්ට වෙන විකල්පයක් නැති වෙනවා වෙනුවට එවිට පාලකයන්ටයි වෙන විකල්පයක් නැති වෙන්නේ!!!!!

  3. Kenji @ Japan said, on නොවැම්බර් 11, 2012 at 8:19 ප.ව.

    ලංකාවේ ජනතාවටනම් “එලොව පොල් පෙනිලා”තියෙන්නේ.2007දී විතර ලංකාවේ මහා පරිමාණයෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන [ඩේසිකේටඩ්,පොල්තෙල්] කරපු අය ඒවා නවත්වල.ඒ අය වියට්නාමයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ ඇගලුම් නිෂ්පාදන කටයුතු කිරීමට සැලසුම් කරගෙන තිබුන.දැන් මියන්මාරයට යනවා ව්‍යාපාර කරන්න.එහෙ සති 3න් අවසර ලැබෙනවලු ව්‍යාපාර පටන්ගන්න.ලංකාවේ ව්‍යාපාර පටන්ගන්න අතයට ගනුදෙනු උනාම මුදල් ඉතිරි වෙන්නේ නැහැනේ ව්‍යාපාර කරන්න.ඇමරිකාවට ගෙඩි පොල් එන්නෙ බ්‍රසිලයෙන්ද ?

    • arunishapiro said, on නොවැම්බර් 11, 2012 at 8:58 ප.ව.

      Kenji @ Japan,

      දීර්ඝ කාලීන ආයෝජන වෙන්න ඕනෑ ව්‍යාපාරයක් ලාබ ලබන්න සහ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩිවෙන්න. ඒත් ආණ්ඩුවක් මාරු වුනාම, රටේ නිලධාරීන් මාරු වුනාම, ඉහළ තැන්වල ඉන්න යාළුවෝ මාරු වුනාම කරගන්න බැරිවෙන එක වැඩිවෙන වාතාවරණයක දී ව්‍යාපාරයකට දීර්ඝ කාලීන ආයෝජන යොදවන්නේ නැහැ කිසිම කෙනෙක්. ඉතින් කාලෙට පටන් ගන්න ඒවා තව කාලෙකට වැහිලා යනවා.

      ඇමෙරිකාව ලෝකේ ඕනෑ තැනකින් පොල් ගෙන්වනවා. හොඳම පොල් අඩුම මිලට සපයන්නේ කවුද එයාගෙන් තමයි ගන්නෙ. අපේ කඩේ තායිලන්තයෙන් ගෙනාපු කුරුම්බා ගෙඩි තියනවා බොන්න පුළුවන් විදියට බාගයක් සුද්ද කරලාත්.

  4. Ra said, on නොවැම්බර් 11, 2012 at 9:43 ප.ව.

    2011 අයවැයෙන් දුප්පත් පවුල් වලට පොල් පැලයක් දෙන්න තීරණය කර තිබුනා. ඔය අරුණි දකින්නේ ඒකෙ ප්‍රතිඵල 🙂

  5. දේශකයා said, on නොවැම්බර් 12, 2012 at 1:27 පෙ.ව.

    වෙද මහත්තයගෙන් ඇහුවොත් කියාවි පොල් වල තියෙන කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩුයි කියලා. ඉතිං ඇමරිකාව වගේ රටක මේදය අඩු දේවල් තමා මාර්කට් කරන්න ඕන. මගෙත් මිත්තරියක් ඉන්නවා හවායි වල. හැමදාම ලෙඩ. පරිප්පු උනත් ලංකාවේ පොල් වලින් හැදුවම හෙන රහයි නේ?? පොඩිඩක් හිනාවෙන්ටකෝ හැම වෙලේම දෙසාබාන්ට ලෑස්ති වෙන්නේ නැතිව. හික්..

    • arunishapiro said, on නොවැම්බර් 12, 2012 at 8:05 පෙ.ව.

      දේශකයා,

      මේ බොන පොල්කිරි වල තියෙන මේදය වැඩියි මේද රහිත එළකිරි වලට වඩා. ඒ වගේ ම පොල්කිරි වල ප්‍රෝටීන් නැහැ.

      ඇමෙරිකාවේ විතරක් නෙමෙයි ඇයි ලංකාවේ අයව දැකලා නැද්ද ළඟක දී? මම නම් දැක්කා පෙබරවාරියේ මාර්තුවේ, වැඩි වෙනසක් නැහැ කියලයි මට නම් හිතුනේ!!!!

      //පොඩිඩක් හිනාවෙන්ටකෝ හැම වෙලේම දෙසාබාන්ට ලෑස්ති වෙන්නේ නැතිව// රටේ බඩු හිඟවෙන කොට හා මිල ඉහළ යද්දී රජය මොකක් හරි රෙගුලාසියක් දාලා කියලා දකින්න පුළුවන් වීම, රැකියා හිඟ වෙන කොට එක්කො අවම පඩි වැඩි කරලා නැත්නම් ව්‍යාපාරිකයන්ගෙ ආදායම් බදු ඉහළ දාලා යැයි දකින්න පුළුවන් වීම අසතුටින් ජීවිතය ගෙවනවා නොවේ. යථාර්ථය දැකීමයි.

      රටක ජනතාවක් බඩු ගණන් ඉහළ යනවා, රස්සාවල් නැහැ කියමින්, එහෙත් සතුටින් සම්ප්‍රලාප දොඩවමින් ඉන්නා විට හේතුව කුමක් ද එයින් සිදුවන ප්‍රතිඵලය කුමක් දැයි කියා දීම පටන් නොගත්තොත් හිනාවෙන කාලය ඉතා කෙටි වේවි. බොහෝ රටවල එහෙම හිනා වෙවී සිටි කාලය කෙටි වූයේ කෙසේදැයි ඒ රටේ මිනිසුන් දැන සිටියේ නැහැ, හදිසියේ ම හිනාව නතර වෙලා සාගත වලින් මිය ගියා මිසෙක.

  6. අමා said, on නොවැම්බර් 12, 2012 at 4:52 පෙ.ව.

    ලංකාවේ අය කවදාවත් දිගු කාලීනව නොහිතන නිසාද ගොඩ යාමක් නැත්තේ? නිතරම කවුරු හරි ඇවිත් තමන්ගේ වැඩේ කරලා දෙනකම් බලන් ඉන්ට තමා ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ කියල මට හිතෙනවා.
    අපි හැමදාම එහෙම හිටි ජාතියක්ද? නැතිනම් එහෙම උනේ ඇයි?

    • arunishapiro said, on නොවැම්බර් 12, 2012 at 8:17 පෙ.ව.

      අමා,

      දීර්ඝ කාලීනව හිතන්න නම් පුද්ගලික දේපල අයිතියට ඉඩක් ලැබෙන්න ඕනෑ. ලංකා ඉතිහාසයේ පුද්ගලික දේපල අයිතියට ගරු කිරීම කුමක් දැයි තවමත් බහුතරය නොදන්නා දෙයක්. ඉඩම් ජනසතු කරන්න, ව්‍යාපාර ජනසතු කරන්න ඉඩ තියෙන පරිසරයක දී දේපලක් වැඩි දියුණු කර ගැනීමට පසුබටයි. ඒ වගේ ම තමන්ගෙ දේපලක් දියුණු කරගන්න නම් අනුන්ගේ පිහිට පතන්න සිද්ධ වීම ද දියුණුව අඩාල කරන්නක්. ලංකාවේ වැඩක් කරගන්න නම් එක්කෝ අහවලාගේ අහවලා අඳුනන්න ඕනෑ, නැත්නම් කී දෙනෙක් ගාවට ගිහින් වැඳලා, යාප්පු වෙලා නැත්නම් බැණ වැදිලා මිසක් පුළුවන් ද?

      ලංකාව වැඩවසම් යුගයෙන් යටත්විජිත යුගයට ගිහින් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසියාට සමාජවාදී රජයක් පිහිටුවා ගෙන ඉන්නා නිසා ‘පුද්ගල අයිතිය’ කුමක් දැයි කිසිදාක ඉගෙන ගෙන නැහැ. ඉතින් සමාජවාදී රජයක් තුලින් ධනවාදී ආර්ථික ක්‍රමයක නියැළෙන අසාර්ථක උත්සාහයක දැන් සෑහෙන කාලයක් පැටලී ඉන්නවා.

  7. අමා said, on නොවැම්බර් 12, 2012 at 5:00 පෙ.ව.

    මෙහෙ කෑම උයන්ට අපි ගන්නේ ටින් කරපු පොල් කිරි. 250 ml ටින් 1 ක මිල සත 88 විතර මතක හැටියට…මැගී පිටි කල පොල් කිරි වලට වඩා ඒ ටින් වල රහ හොඳයි. මිටි කිරි වලට වඩා තරමක උකු ගතියක් තියෙන නිසා වතුර එකතු කරලා තමා උයන්නේ…
    අක්ක කීව වාගේ බොන්ට පුළුවන් පොල් කිරි නම් තාම දැක්කේ නැහැ! මාකට් ගිහාම බලන්ට ඕනා…

  8. maathalan said, on නොවැම්බර් 12, 2012 at 6:47 පෙ.ව.

    හප්පේ…. පොලිකිරි බොන්න… විනාසයි… ආසාවර පොල්කිරි එක්ක පිට්ටුවක් කෑවත් මම මුලු දවසෙම ගෙදර එලියට යන්න විදියක් නෑ.. වෙන එළියක් යනවා.. මේවා බිව්වොත් නියමෙටම තියෙයි….

  9. ravi said, on නොවැම්බර් 12, 2012 at 8:31 පෙ.ව.

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු…අනේ බොලල්ලා, අපේ කාලෙ නං පොල් කිරි අල්ලල පෙව්වෙ ඔය කෙල්ලො කොල්ලොංගෙ පයිරු පාසානං දහ විහිලි වෙලා ගෙහුං හිට එව්ව ඉවසගන්ට බැරුව එවුං පොලිඩෝල්, ගැමොක්සෝං වගෙ කුරුමි නාසක එක හුස්මට ගසල ඇරියම…හෙහ්, හෙහ්,

    ඒත් මේ වැඩෙං එක වාසියකුත් තියෙනව මෙව්ව උදේ හවස බීල පුරුදු උනාම බය නැතුව වල් නාසක කුරුමි නාසක එක හුස්මට බොන්ට ඇහැකි. ඒත් එහෙම බලනකොට ඔව්ව ඔබින්නෙ ඇමරිකාවට නෙවෙයි සිරි ලංකාවට…

    ඒත් අරුණි නෝනෙ මයෙ මතකෙ හැටියට වහ බීපු එවුන්ට පොල්කිරි පෙව්වෙ වමනෙට එන්ට…එතකොට දැං ඔය පැකැට් කරපු පොල් කිරි බිව්වම වමනෙට එන්නෙ නැත්ද හැබෑටම? 🙂

    • arunishapiro said, on නොවැම්බර් 12, 2012 at 8:43 පෙ.ව.

      ravi,

      මම නම් වීදුරුවක් ම බිව්වා, මාතලන්ට වෙන දේ හෝ වමනෙ හැදෙන එකක් හෝ නම් වුනේ නැහැ.

      මම ඉන්නෙ විකල්ප බොහොමයක් තියන අරුම පුදුම රටකනෙ ravi. කැමති පරිදි පොල්කිරි ද, එළකිරි ද, සෝයා කිරි ද, නැත්නම් ආමන්ඩ් කිරි ද කියලා තමාට තෝරාගන්නට පුළුවනි.

      සහල් කිරි ද තියෙනවා. මම බීලා නම් නැහැ.

      Rice Drink

  10. dayal bathee said, on නොවැම්බර් 12, 2012 at 7:35 ප.ව.

    රෝදෙ කැරකෙන්නෙම ආසියාව පැත්තට.
    දැන් පොල් ගස් කපන්නෙ නැතිව පුලුවන් තරම් පොල් වවන්න පටන් ගන්න ඕනෙ.
    එලෝ පොල් පේනව කියන්නෙ මේකටද?

    මට අමරදේව කොත්තුවක් දෙන්න

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    • arunishapiro said, on නොවැම්බර් 13, 2012 at 7:37 ප.ව.

      dayal bathee,

      ලෝකේ KFC, මැක්ඩොලන්ඩ්, ස්ටාර්බක්ස් … නිෂ්පාදන කීයක් විකිණෙනවා ද පොල්කිරි පැකැට්ටුවක් විකිණෙන හැම මොහොතකට ම?

      ඇයි හැම තිස්සෙම එක නිෂ්පාදනයක් දිනන නිසා තවෙකක් පරදිනවා යැයි හිතන හුරුව?

      ලෝකේ සල්ලි තියෙන්නෙ යම් නිශ්චිත ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා පාරිභෝගිකයාට ගත හැකියාව ඇත්තේ ද නිශ්චිත ප්‍රමාණයක් නෙමෙයි. ලෝකයේ ඇති නිෂ්පාදන වැඩිවෙන කොට අදට වඩා වැඩියෙන් භාණ්ඩ මිල දී ගත හැකියාව ද වැඩිවෙන හැටි ගැන ගැන විස්තර කරලා ඉදිරියේ දී සටහනක් ලියන්නම්. දැනට කල්පනා කරන්න දයාල් බතීට වසර 20 කට පෙර ගන්න නොලැබිච්ච භාණ්ඩ හා සේවා කොච්චරක් ගන්න දැන් හැකියාව ලැබී ඇත්දැයි කියලා.

  11. RanDil said, on නොවැම්බර් 12, 2012 at 11:51 ප.ව.

    නිෂ්පාදනයක් සහනාධාර නැතිව ගොඩ දාගන්නට බැරි නම් කවදාවත් ඒ ක්ෂේත්‍රය වෙළඳපොලේ තරඟයෙන් ජයගන්නේ නැහැ

    වැඩේ කියන්නේ ඔය කථාවේ අනිත් පැත්තනේ මෙහේ අය දරන්නේ. පොහොර සහනාධාර මතක් වුනා මට.

    • arunishapiro said, on නොවැම්බර් 13, 2012 at 7:40 ප.ව.

      RanDil,

      ඔව් නංගි වසර 50 ක් තිස්සේ දෙන පොහොර සහනාධාර නම් හොඳම හොඳ උදාහරණයක් තමයි. රටේ මිනිස්සු දන්නේ නැහැ එයින් කොතරම් අලාබ ලබන්නේ ද කියලා සහ ඒ අලාබ වල වැය දරා ගන්නේ ද තමන් යැයි කියලා.

  12. Ramaa said, on නොවැම්බර් 13, 2012 at 8:47 පෙ.ව.

    . //නිෂ්පාදනයක් සහනාධාර නැතිව ගොඩ දාගන්නට බැරි නම් කවදාවත් ඒ ක්ෂේත්‍රය වෙළඳපොලේ තරඟයෙන් ජයගන්නේ නැහැ.//

    සහනාධාර කියන්නේ සධාකාලික දේවල් නෙවේ අරුනි.. ඒවා ඒ ව්‍යාපාරය අල්ලල යානකම්, (industry එකේ foothold එකක් තියාගන්නකම් )විදිහට දෙන දේවල්. දැන් ඔයා ඔය කාගහන විදිහට සහනාධාර නොදුන්නොත් ව්‍යාපරයට පය ගහල නැගිටින්න බැරි වෙනව.. තරගය එන්නේ business එකක් තරමක් හෝ establish වුනාට පස්සේ… මතකතියාගන්න ජපානයේ ලෝක යුද්දෙන් පස්සෙ බිහිවුන Honda, Yamaha වගේ බ්‍රෑන්ඩ් වලටත් මුල්කාරයේ සහනාධාර ලැබුනා. ඉන්දියාවෙ software industry එකට කොතරම් සහනාධාර ලැබෙනවද?
    ඔයාගෙ තියරියෙ Flaws correct කලොත් හොදයි…

    • arunishapiro said, on නොවැම්බර් 13, 2012 at 7:49 ප.ව.

      Ramaa,

      වසර 50 ක් පුරා දෙන පොහොර සහනාධාර ගැන රන්දිල් නංගි මතක් කරලා තියෙන්නෙ. කොයි කාලේ වෙයි ද ව්‍යාපාරය අල්ලලා යන්න?!!!!!

      සහනාධාර නිසා රටක් හා රටේ ජනතාවක් ණය කරනවා මිසක් ව්‍යාපාරයක් ලාබ උපයන්න සමත් වෙන්නේ නැහැ. පුද්ගලික ව්‍යාපාර ගොඩදාන්න නිතර අත දෙන ජපානයේ දැන් සෑහෙන කාලයක සිට තිබුන එකතැන පල්වෙන ආර්ථිකයක් අද තවත් ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න ලෑස්තියි. බජට් එකෙන් 40% ක් පියවන්න ණයක් අරගෙන ෆිස්කල් අගාධයට නොවැටෙන්නයි ඔවුන් තාමත් ලැහැස්තිය. හරියට බූරැවා කාඩ් සෙල්ලම් කරන මිනිසා පැරදුන සල්ලි දිනන ක්‍රමය තවත් බූරුවා ගහන එකමයි කියල හිතනවා වගේ!!!!

      සහනාධාර වලින් ව්‍යාපාර වලට හානි වී ආර්ථිකය කඩා වැටෙනවා යන්න මගේ තියරියක් නෙමෙයි. නොබෙල් තෑගි දිනපු අර්ථ ශාස්ත්‍රඥයන් පැහැදිලි කරලා ඔප්පු කරලා පෙන්වපු න්‍යායන්. වැඩි විස්තර තව ලියන්නම්.

  13. Chandi said, on නොවැම්බර් 14, 2012 at 2:18 පෙ.ව.

    මැලේසියාවෙ තියෙන පොල් කිටි පැකට් පැනිරසයි. ඔහෙත් ඒ වගේ ද? කොහොම උනත් ලංකාවෙ විදිහට කෑමක් හදා ගන්නට ඔහොම එකක් වත් තියෙන එක කොච්චර දෙයක් ද? අපි අප්‍රිකාවෙදි ඉව්වෙ එළකිරි දමලා හරි තක්කාලි ඉස්මෙන් හරි නෙ.

    • arunishapiro said, on නොවැම්බර් 14, 2012 at 6:45 ප.ව.

      Chandi,

      මම සීනි නැති පැකට් එක රහ බැලුවේ චාන්දි අක්කා. ඒත් සීනි ඇති සහ වැනිලා රසයෙන් යුතු වූව අනිවාර්යෙන්ම පැනි රහ ඇති. ඔව් මේක ලංකාවේ, තායි, මැලේසියන් කෑම හදන්න තමා වැඩිය හොඳ.

  14. පාර දිගේ said, on නොවැම්බර් 20, 2012 at 7:27 පෙ.ව.

    ORGANIC pol?
    Ever see none organic pol? Another marketing strategy.

    • arunishapiro said, on නොවැම්බර් 20, 2012 at 8:34 පෙ.ව.

      පාර දිගේ,

      මෙහෙ organic කියලා නිකම් ලේබල් ගහන්න බැහැ. ආහාරය පිණිස යමක් වවද්දී හෝ සත්වයෙක් ඇති කරද්දී කරන පිළිවෙත් අනුව තමයි එය තීරණය වෙන්නෙ. පිටරටින් ගෙන්වන කැලෑවල හැදිච්ච අඹගෙඩිත් එතකොට organic තමයි, ඒවා වැඩි මිලට විකුණන්නත් පුළුවන් මෝඩයන්ට. මෝඩකමට බෙහෙත් නැහැනෙ. ආණ්ඩුව විසින් තමන් ගන්නා දේවල් පිළිබඳ නිසි පරීක්ෂාවෙන් සිටිනවාය තමන් ආරක්ෂා කරනවාය යැයි හිතන මෝඩයන් තමයි organic ලේබල් වලට රැවටෙන්නේ!!!! ඒක වෙළෙන්ඳාගේ marketing strategy කරලා තියෙන්නේ මිනිස්සුන්ට කන්න බොන්න හොඳ දේවල් මොනවා දැයි ආණ්ඩුව දන්නවා යැයි බොරු දෙසා බාන මිෂෙල් ඔබාමා සහ මයිකල් බ්ලූම්බර්ග් වැනි සමාජවාදීන්ම තමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: