අරුණි ශපීරෝ‍ වෙතින්

බදු අබියස දී සාධාරණ කොටස නම් කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 13, 2012

මුහුණු පොතේ මගෙ යෙහෙළියක් ඉහත පින්තූරය බෙදා ගනියි.

ආණ්ඩුවකට පරිසර දූෂණයෙන් සහ සැඟවුන ගාස්තු වලින් රට්ටු බේරා ගත හැකි යැයි වැරදි ආකල්පයක් පුරවැසියන් අල්ලා ගෙන සිටිති. ණය ගෙවන්නට බැරි වුනාම ගෙවල් බැංකු සතු කරගැනීම රජයට කියා නවතා ගත හැකි යැයි තවත් මිථ්‍යාවකි. තමනට මිල දී ගන්නට නොහැකි දේවල් වලට අනුන් විසින් ගෙවීම ආණ්ඩුව ලවා කරවා ගත හැකි යැයි ද තවත් මුලාවකි.

එසේම අපිට තනිවම ජීවිතය ගෙන යාම කළ හැකි යැයි කීම ද අනිත් පැත්තේ මුලාවයි. ශ්‍රම විභජනයක් නොමැති ලෝකයක අපිට තනිවම අපේ උවමනා සඳහා නිෂ්පාදනයේ යෙදෙන්නට සිද්ධ වුවහොත් බුරුතු පිටින් මිනිසුන් මිය යන්නට පටන් ගන්නේ වැඩිකල් නොගිහින්. අද දවස ගෙවී යද්දී තමන් පරිහරණය කරන දේවල් දිහා පොඩ්ඩක් බලන්න. අනුන් හදලා දෙන දේවල් තමාට හදා ගන්න සිද්ධ වුනොත්? කොච්චර දේවල් අහිමි වෙලා යනවා ද?

ධනවාදය කුමක් දැයි නිසි ලෙස වටහා නොගත් දක්ෂිණාංශ පිරිසක් තමාගේ ම සම්පත්, කුසලතා මත විශ්වාසය තබාගෙන කටයුතු කිරීම (self-reliance) අතිශයින් පැසසුමට ලක් කරයි. ධනවාදය කුමක් දැයි නිසි ලෙස වටහා නොගත් වාමාංශික පිරිසක් එය කිසිසේත් කළ නොහැකි යැයි සලකයි. ඔවුන් දෙගොල්ලන්ම ධනවාදයේ සත්‍ය ස්වභාවය දකිනා අය නොවෙති.

තමන්ගේ සම්පත් හා කුසලතා මත විශ්වාසය තබාගෙන කටයුතු කිරීම සෑම පුද්ගලයෙක් විසින්ම නිතැතින්ම කරන දෙයකි. එහෙත් තම සම්පත් මොනවා ද, තම කුසලතා මොනවා ද කියා විමසීම අමතක කරයි. ඒවා හුවමාරුවට වඩාත්ම දක්ෂ ලෙසින් සමත් වෙන්නේ රජයක් ද? නැත්නම් තමන් ද? කියා විමසන හුරුවක් නැත.

මිනිසා පරිහරණය කරන භාණ්ඩ හා සේවා වෙනතක නිෂ්පාදනය වී තවෙකක අලෙවිය මෑත කාලීන වෑයමක් නොවේ. මැටි පෝච්චි, පැපිරස්, කඹ, පරිප්පු හා කරවල යනාදීන් වලින් බඩු පුරවා ගත් ගැල් වලින් පුරාණ ඊජිප්ත්තුවේ වෙළඳ මාර්ග බිහි වුයේ ගෝලීය ආර්ථිකයක් කියා නමක් හදන්නට පෙර!!! මිසරයේ පිරමිඩයක් හදන්න වසර 30 ක් පුරා නන් දෙසින් ආ දස දහසක් සේවකයන් වගේ ලෝක ශ්‍රමිකයන් දුර බැහැර රස්සාවල් සොයා ගියේත් අද ඊයේ නොවේ.

තමන් නිෂ්පාදනය කරන දැයෙන් පමණක් ජීවත්වන්නට අකමැති වු මිනිසා නිසා, අනුන්ගේ නිෂ්පාදන වලට තම නිෂ්පාදන හුවමාරු කර තමන්ගේ පරිභෝජනය වඩා සතුටුදායක කරගන්නට උවමනා වූ මිනිසා නිසා, එතෙක් වනාචාරී වූ මිනිසාගේ ආයුෂ වැඩි කරමින්, ජීවිත සරු කරමින්, ලෝකයේ වෙළඳාම විසින් ශිෂ්ඨාචාරයන් ගොඩ නැඟීය. එහෙත් මිනිසා හුරු වී ඇත්තේ අති දක්ෂ රාජ්‍ය නායකයෙක් රටක් හැදුවා යන මිථ්‍යාව අදහන්නට ය.

මිනිසුන් තමන්ගේ සම්පත් හා තමන්ගේ කුසලතාවය මත විශ්වාසය තබාගෙන කටයුතු කළහ. එයින් කියන්නේ තමන් හදන දෙයින් පමණක් යැපී අනුන් හදන දෙයක් ගැනීම ප්‍රතික්ෂේප කරනවා යන්න නොවේ. එසේම එයින් කියන්නේ තම සම්පත් හා තම කුසලතාවය දියුණු කරගැනීමට වඩාත්ම හොඳින් දන්නේ ආණ්ඩුවක් යැයි කියා ද නොවේ.

වාමාංශික අදහස් ඇති අය බදු අබියස දී ධනවත් අයට කියන්නේ “සාධාරණ කොටස” (fair share) ගෙවන්නට කියාය. ඔවුන් ධනවත් වී ඉන්නේ අසාධාරණ ලෙසින් මුදල් ගරන්නට හැකියාවක් තිබූ නිසා යැයි එයින් ගම්‍ය වේ. ඔවුන් රටේ නීති කඩා ඇත්නම් දඬුවම්, වන්දි හා සිරගත කරත හැකියාව ගැන කතාබහක් නැත.

බ්‍රිතාන්‍යයේ ඇති ස්ටාර්බක්ස් කොම්පැණිය තමනට ඇති බදු සහනාධාර වලින් උපරිම ප්‍රයෝජන ගනියි. රටේ නීති නොකඩා උපයන ලාබයෙන් අඩු ව්‍යාපාර බදු ගෙවන්නට එහි දී සමත් වෙයි. එහි දී මිනිසුන් ඉක්මන් වෙන්නේ ස්ටාර්බක්ස් කොම්පැණිය වර්ජනය කරන්නටයි. එහි සදාචාරය ගැන කතාබහටයි. එහෙත් සහනාධාර ගෙනැවිත්, ව්‍යාපාර රෙගුලාසි පනවමින්, වෙළඳාම අවුලක් කරන ලද රජයේ සදාචාරය ගැන කිසිවෙක් කතා නොකරති. ඒ අවුල තුලින් පැන නැඟෙන වාතාවරණයේ දී යම් කොම්පැණියක් අඩු ආදායම් බදු ගෙවන්නට සමත් වීම යනු රජයේ අසාර්ථක ඇඟිලි ගැසීමය. නමුත් මිනිසා තමන් ආරක්ෂා කරන්නට රජයට හැකි යැයි තවමත් සිතා මුලා වී සිටියි. මේ රජයට බැරි නම් පුළුවන් රජයක් පත්කර ගත හැකි යැයි තවමත් සිතයි.

මිනිසුන් අතර කැමැත්තෙන් සිද්ධ වෙන ගණුදෙනු නතර කරද්දී නිෂ්පාදන අඩු සමාජයක් බිහිවෙයි. පාරිභෝගිකයා කැමති සේ ගණුදෙනු කිරීම නතර කරන රාජ්‍ය මැදිහත් වීම් වල දී කඩා වැටෙන්නේ තමන්ගේ ම ආර්ථිකයයි. ඒක නොදැක වෙන රටකින් එන දෙයකට “සාධාරණ කොටස” ගෙවා නැති නිසා යැයි මුලාවෙන් බඩුවක් වර්ජනය කරන්න යැයි ඉල්ලා සිටීම වෙළඳපොල වැඩ කරන හැටි ගැන ඇත්ත ඇති සැටියෙන් නොදැකීමයි.

ස්ටාර්බක්ස් වෙළඳසැල් 790 ක් බ්‍රිතාන්‍යයේ ඇතැයි සඳහන් ය. මගේ යෙහෙළිය ඉල්ලා සිටින්නේ ඒවායේ වැඩ කරන සියළු බ්‍රිතාන්‍යය වැසියන්ගේ රස්සා අහිමියටයි. ඒ රස්සා අහිමි වූ පමණින් බ්‍රිතාන්‍යයේ අනෙක් කෝපි කඩ වලට රස්සා වැඩි වේවි යැයි ඇය සිතන්නීය. ස්ටාර්බක්ස් කොම්පැණිය සේ රජය දුන් බදු හිඩැස් වලින් රිංගන්නට අනෙක් කෝපි කඩ වලට ද හැකි නම් ඔවුන් එසේ නොකරාවි යන මුලාවෙන් ඇය සිටියි.

යමක් කරන පිරිසක් දකින්නට අපිට හැකි වූවාට යමක් නොකරන පිරිස අපිට දකින්නට නොහැකිය!!!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. දේශකයා said, on නොවැම්බර් 13, 2012 at 10:54 ප.ව.

    තනිකර ද්වෙශසහගත ප්‍රකාශයක්. ධනවාදය කියන දේ ඇති විට ඔය විදියට සද්දේ දාල කොහොම හරි එකක් නවත්වන කොට ඒ වගේ තව එකක් ම තමා ඇති වෙන්නේ. පොඩි කෝපි කඩ වලට සැමදා එකම සෙත තමයි. මේකට ඉතිං මාර්කටින්, ප්‍රසිද්ධිය වගේ අප්පේ විස්තර කරන්න ඕන සෑහෙන්න දේවල් තියෙනවා. මුල් බැස ගත් දෙයක් විරුද්ධ වූ පමණින් නතර කල නොහැකියි.

    • arunishapiro said, on නොවැම්බර් 14, 2012 at 6:13 ප.ව.

      දේශකයා,

      ද්වේශ සහගත බව ඇත්තේ මේ අදහස් ඉදිරිපත් කළ අයටයි. මගේ යෙහෙළිය වැනි බහුතරයක් මෙවැනි අදහස් බෙදා හරින්නේ ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නාකම නිසා. අද යුරෝපයේ ස්පාඤ්ඤ, පෘතුගාල ශ්‍රමිකයන් මහා වැඩ වර්ජනයක. ගුවන් ගමන් ඇණි හිටලා. පාසැල් වහලා දාලා. බෙල්ජියම, ග්‍රීසිය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල වැඩ වර්ජන සහ පෙළපාලි යනවා. ආණ්ඩුවේ වැය අඩුකරන හා බදු ඉහළ දාන එකට විරෝධතාවය පාන්න.

      නමුත් ආණ්ඩුවට කරන්න බැරි කරන්න පුළුවන් යැයි විශ්වාසයෙන් බලය පැවරුවේ මේ වර්ජනයේ යෙදෙන අයම නේද කියන එක “European Day of Action and Solidarity” දී කතාබහට ලක්වෙන්නේ නැහැ. තමන් ධනවාදය කියා සමාජවාදයේ නියැළුන බව දකින්න ඇස් ඇරෙනා තෙක් මේ අයට තවත් කාලයක් ගැටළු විසඳාගන්නට බැහැ. ධනවාදයේ තියෙනවා යැයි වරදවා වටහා ගත් ගිජු බව පාලනය කරන්න කියා සමාජවාදී සැලසුම් ගැහැව්වාම අවසානයේ එක්කෝ මුහුණ දෙන්නෙ මේකට. නැත්නම් වෙන්නේ අන්න පූටින් දැන් කළා වගේ ආයෙත් ස්ටාලින්ගේ යුගයේ වැනි රාජද්‍රෝහී නීති ගෙනෙන්නටයි.

      ධනවාදයේ දී මෙවැනි රජයක් ඇඟිලි ගහන සැලසුම් නැහැ. එහිදී ලෝක ප්‍රකට ස්ටාර්බක්ස් වුවත් බ්‍රිතාන්‍යයේ ඇති පොඩි කෝපි කඩ වලට වුවත් ඇත්තේ එකම නීති. මෙම තත්වය ධනවාදී ආර්ථිකයට සමාජවාදී ආණ්ඩු සැලසුම් රිංගා ගත් නිසා වෙච්ච අවුලක්. දිනන්නේ කවුද පැරදෙන්නේ කවුද යන්න ආණ්ඩුව විසින් තීරණය කරන්න ගිය උත්සාහයන් නිසා.

      ස්ටාර්බක්ස් ලෝක ප්‍රකට වෙන්න කළින් එය 1971 දී සියැටල් වල තිබිච්ච එක පුංචි කෝපි කඩයක්. එයට ලෝකයේ තරඟ කරන්නට හැකියාව ලැබුනේ ඔවුන් වැඩි පිරිසකට අනගි කෝපි කෝප්පයක් පිරිනමන්න විදියක් හොයාගත්ත නිසයි. එහෙම උත්සාහයක් කරන ලෝකයේ ඕනෑම තැනක විවෘත කරන කෝපි කඩයකට ධනවාදී ක්‍රමය තුල දී ඉහළට යන්න පුළුවන්. ආණ්ඩු ඇඟිලි ගහන්නෙ නැති විටක දී සුදුස්සා ජයගන්නවා. ජයගන්නට උත්සාහයක් හැමෝටම කරන්න බැරි වෙන්නෙ හැම මිනිසෙක්ම එක හා සමාන කුසලතාවයකින් නැති නිසයි. ආණ්ඩු මොන තරම් නීති ගෙනාවත් එය ස්ථාපිත කළ නොහැකියි. එක හා සමාන වෑයමකින් යමකට කැප වෙන්නේ ද නැහැ. ආණ්ඩු මොන තරම් නීති ගෙනාවත් එය ජනිත කරන්න ද බැහැ. ව්‍යාපාරයන් ද එසේමයි. මිනිස්සු නොයෙකුත් හේතු නිසා කරන උත්සාහයන් අත්හරිනවා වගේ ව්‍යාපාර වලටත් සමහර අභියෝග ජයගන්න උවමනාවක් නැහැ.

  2. magenama said, on නොවැම්බර් 13, 2012 at 11:45 ප.ව.

    ටිකක් විතර සංකීර්ණ කාරණයක්. රජයකට හෝ බදු ප්‍රතිපත්තියකට එරෙහිවන්න කියනවාට වඩා අහක යන ව්‍යාපාරයකට විරුද්ධ වෙන්න කියන එක ඔය වගෙ සමාජවාදී ව්‍යාපාරවලට ලේසියි.ලංකාවෙත් ගන්න අපේ දේ කියලා කියෙව්වට ඇයි ඇත්තටම මිනිස්සු ඒ නිෂ්පාදනම ගන්නෙ,ඇයි ඒ ව්‍යාපාරම (multinationals,transnationals) මෙතරම් සාර්ථක කියලා හොයන්න ගොඩක් උනන්දු වෙන්නෙ නැහැ.ඇත්තටම බදු පැහැරහැරීම සහ බදු කළමනාකරණය කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි.ඔය කියන starbucks(තාරකා ගෝනා?$) සමාගම කරලා තියෙන්නෙ බදු කළමනාකරණයක් නිසා ඒක එයාලගෙ දක්ෂකම කියලා ඉතින් පිළිගන්න වෙනවා.

    • arunishapiro said, on නොවැම්බර් 14, 2012 at 6:35 ප.ව.

      magenama,

      ඔව්, ඔබ හරි. සමාජවාදී ව්‍යාපාර හැම විටම කළේ අහක යන කොණක් අල්ලා ගෙන මිනිසාව ආවේග වලින් රවටා ගැනීම. එවිට සංකීර්ණ කාරණය ගැන කතාබහ පැත්තකට යනවා. මිනිසා තමාට ලැබිච්ච විචාරය පාවිච්චියට ගැනීම නුහුරු වෙනවා.

      ලංකාවේ ක්‍රිකට් මැච් බලද්දී ලෝකයේ බහුජාතික ව්‍යාපාර වල දැන්වීම් දාලා තියෙනවා දැක්කම දුකයි. ඇයි ලංකාවේ හදන දෙයක් ලෝක ප්‍රසිද්ධ බහුජාතික ව්‍යාපාරයක් කරගන්න බැරි? එදා පටන් තේ අලෙවි වෙන්නේ වෙන රටක ව්‍යාපාරයක නාමයෙන්. අද පොල්කිරිත් එහෙමයි. ව්‍යාපාරයක දක්ෂකමට ඉස්මතු වෙන්න ආණ්ඩුවේ සැලසුම් හා ඇඟිලි ගැසීම් නැති වාතාවරණයක් ඇතිවෙන දාට මැක්ඩොනල්ඩ් වෙනුවට ලෝකේ පුරා ‘ලංකා කොත්තු’ කඩ දාමයක් දකින්න හැකි වේවි.

      ඒත් අහවලාගේ අහවලාට කියලා මේ වැඩෙයි අර වැඩෙයි කරන හැදියාව තියෙන තෙක්, එහෙම කළේ නැත්නම් කිසිම දෙයක් කරන්න බැරි නිසා, ව්‍යාපාරයක් කරගෙන යන්නේ කොහොමදැයි කියා ඉගෙන ගන්නේ කොහොම ද?!!!!

  3. Chandi said, on නොවැම්බර් 14, 2012 at 2:07 පෙ.ව.

    Ada sinhalen kotanna baha. Ganna ape de! kiyala la\nkaave snhayaa ekka biyar vikunanava vage . Ha! Ha!

  4. තිසර said, on නොවැම්බර් 14, 2012 at 3:19 පෙ.ව.

    //යමක් කරන පිරිසක් දකින්නට අපිට හැකි වූවාට යමක් නොකරන පිරිස අපිට දකින්නට නොහැකිය//

    “නොපෙනී සිටීමට හොඳම ක්‍රමය කිසිවක් නොකර සිටීමය”… අම්මාගෙන් බැනුම් නොඅසා සිටීමට, ගුටි නොකා සිටීමට, මම අනුගමය කලේ ඔය ක්‍රියාමර්ගය තමයි.

  5. ineshwickramaraja said, on නොවැම්බර් 14, 2012 at 10:18 පෙ.ව.

    ///ඔවුන් ධනවත් වී ඉන්නේ අසාධාරණ ලෙසින් මුදල් ගරන්නට හැකියාවක් තිබූ නිසා යැයි එයින් ගම්‍ය වේ. ඔවුන් රටේ නීති කඩා ඇත්නම් දඬුවම්, වන්දි හා සිරගත කරත හැකියාව ගැන කතාබහක් නැත. ///……..ජිවත්වෙනවට බදු ගහනන්නේ නෑති රටක් තියනවද?මෙහෙනම් ඉපදෙන්නත් කලින් බඩේ ඉන්නකොට ඉදලා(hospital charges with tax)මෑරිලා මිනි පෙට්ටියටත් බදු!!!! උන් කියනවා අපි ගෙවනවා,නෑත්නම් හිරේ දානවා!! 😀

    • arunishapiro said, on නොවැම්බර් 14, 2012 at 6:53 ප.ව.

      ineshwickramaraja,

      අද නම් එහෙම රටක් ලෝකෙ කොහේවත් නැහැ. ඒත් 1913 ට කළින් ඇමෙරිකාවේ ආදායම් බදු තිබිලා නැහැ. ඒ කාලේ ඇමෙරිකාවට මුළු ලෝකය අභිබවා ධනවත් වෙන්නට හැකියාව ලැබුණ. අදත් ලෝකයේ අඩුවෙන් ම බදු ගෙවා ජීවත්වෙන්න පුළුවන් රටක්. අපි වාසය කරන ඩෙලවෙයාර් හි බඩුවක් ගනිද්දී අලෙවි බදු (sales tax) වැට් බදු (VAT) කිසිවක් නැහැ. භාණ්ඩයේ මිල පමණයි ගෙවිය යුත්තේ. අනිත් ප්‍රාන්ත වලින් මෙහෙ ඇවිත් බඩු ගන්නා අය නිසා වෙළඳ සංකීර්ණ මහා ගණනාවක් තියෙනවා. මම කළින් විසූ ටෙනසි ප්‍රාන්තයේ ආදායම් බදු නැහැ. ගෙවන්නේ ෆෙඩරල් ආදායම් බදු පමණයි.

      අද ඔබාමා යුරෝපීය බංකොළොත් සැලසුම් ක්‍රම ඇමෙරිකාවේ ද ස්ථාපනය කරන්නට හදනවා. බුෂ් පුතා මෙහෙ වැඩ කරන ක්‍රමයට ඇඟිලි ගහද්දී ඇති වූ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට තවත් අයහපත් සැලසුම් වලින් හැකි යැයි සිතනවා.

      ආණ්ඩුව රට්ටු ණය නොකර බජට් එක බැලන්ස් කළේ නැත්නම් ඒ කට්ටිය හිරේ යවන්න ඇහැකි දවසක් උදා වුවොත් කොහොම ද?!!!!!!

  6. ravi said, on නොවැම්බර් 15, 2012 at 2:40 ප.ව.

    / ආණ්ඩුව රට්ටු ණය නොකර බජට් එක බැලන්ස් කළේ නැත්නම් ඒ කට්ටිය හිරේ යවන්න ඇහැකි දවසක් උදා වුවොත් කොහොම ද?!!!!!! /

    මටත් හැමදාම තියෙන ප්‍රශ්නයක් ඕක…ආණ්ඩුවක් පත් කරගන්නෙ මොකක් හරි ඉලක්කයක් ඇතුව..උඹල අහවල් දේ කරන්න ඕනෑ කියල දැන් ඔය ආණ්ඩුවෙ කාර්යාල හැමතැනම තියෙන්නෙ මෙහෙවර ප්‍රකාශය කියල…මම මෙහෙම කරමි අරෙහෙම කරමි කියල ….අන්න ඒ වගෙ…මිනිස්සුන්ට නිදහසේ තමන්ට කැමති විදිහට ජීවත් වීමේ අවම ඉඩ ප්‍රස්ථාව සැපයීම ආණ්ඩුවේ වගකීම..ඒක නොකරන කොට ඒ වගකීම පැහැර හරින කොට මොකක්ද එයාලට දෙන දඬුවම?..අනික් හැම වෘත්තීයවේදියෙකුටම තියනව වෘත්තීය වගකීම කියල එකක්..ලෝකෙ කොහෙවත් දේශපාලනඥයන්ට විතරක් නෑ ඒක..හරිම අසාධාරණයි 😦

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 2:48 ප.ව.

      ravi,

      ආණ්ඩු ග්‍රහණයෙන් මිදී සහ තමන් සියල්ල දන්නවා යැයි හිතන ප්‍රධාන මාධ්‍ය ග්‍රහණයෙන් මිදී ජනතාව දැනුවත් කරන්න හැකියාව ලැබෙන කොට, (එය අද සිද්ධ වෙන්න පටන් ගෙන යැයි මම හිතනවා) දේශපාලනඥයන්ට වෘත්තීය වගකීමක් පවරන කාලය වැඩි ඈතක නැහැ. මොකද මෝඩයෝ කිහිප දෙනෙක් හැරෙන්නට අනිත් සියල්ලන්ම අනුන්ගේ නොව තමන්ගෙ සුබ සාධනය ගැන හිතා කටයුතු කරන අයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: