අරුණි ශපීරෝ‍ වෙතින්

රණසිංහ ප්‍රේමදාසට කියන්න බැරි වූ කොටස සජිත්ට ලියමි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 15, 2012

මම ලංකාවේ සිටිය දී ඇමෙරිකාවේ සේ වැඩ කරන්නට ගියෙමි. මට තිබි කුසලතාවයන් පෙන් වූ කල මට තැනක් ලැබේ යැයි මම සිතුවෙමි. මා හා එකට තරඟ කළ අනිත් අයට වඩා වැඩි දක්ෂතා පෙන් වූ බැවින් මා ඉල්ලා සිටියේ කාන්තාවක් නිසා පිරිමියාට සේ සම පඩි නොවේ. මට තරම් නොහැකි ගැහැණු සහ පිරිමි දෙගොල්ලන්ටම වඩා වැඩි පඩියකි!!!!

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කළුතර පැවති කලාපීය සම්මේලනයක් සංවිධානය කිරීම වෙනුවෙන් මට සැලකිය යුතු මුදලක් අතට ලැබුණි. අම්මා කිව්වේ රත්තරන් මාලයක් ගන්න කියාය. මම කළේ සඟරාවක් මුද්‍රණයයි.

‘නැණස’ නමින් පළ කරන ලද මගේ සඟරාව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත පිරිනමන්නට අවස්ථාවක් පාදා ගත්තේ අල්ලපු ගෙදර සිටි ඔහුගේ ආරක්ෂක භට කණ්ඩයාමේ හමුදා භටයෙකු මාර්ගයෙනි. එය ඡායාරූප අවස්ථාවක් පමණක් බව දැනගත්තේ එතැන දී ය. උත්සාහය කුමක් දැයි පැහැදිලි කරන්නට මට අවශ්‍ය වූවාට ඊට කාලයක් ලබාදෙන්නට තරම් ඉහළ මට්ටමේ වූ අහවලාගේ අහවලෙක් මම එදා දැන සිටියේ නැත.

එදා ‘නැණස’ හි පළ වූ ලිපි අද මා ලියන සටහන් වල මූලාරම්භයයි. මිනිස් ස්වභාවය කියා දෙන බුදු දහම, මනෝවිද්‍යාව, විචාරයට පෙර හුරුවක් දෙන දර්ශනය, ධනාත්මක චින්තනයට අතකොළුවක් වන නිදහස් වෙළඳපොලේ ධනවාදී ආර්ථිකය ගැන වූ මාතෘකා වලින් එදා එහි පිටු පිරෙව්වෙමි.

මා සඟරාව රැගෙන ලේක්හවුස් පොත්හලේ අලෙවියට දාන්න ගියෙමි. ඊට අනුමැතිය දෙන්නා මුළු කාර්යාලයට ම ඇසෙන සේ, “මෙයා සඟරාවක් ගහලා ඒක මෙහෙ විකුණන්න දාන්න ඇවිත්ලු,” යැයි මහ හඬින් හිනා වූයේ මන්දැයි කියා තවමත් මට සිතාගත නොහැකියි!!!

අනතුරුව වැඩිකල් නොගිහින් මම රටින් පිට වී ගියෙමි!!!!!

ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ විසින් නව බජට් එක ගැන කියන කතාව ම එක්සත් ජාතික පක්ෂයේ උප නායක (?) සජිත් ප්‍රේමදාස විසින් ද කියා ඇති බව පත්තර වලින් දැක්කෙමි.

වාමාංශික පක්ෂය හා දක්ෂිණාංශ පක්ෂය එකම අදහසක් දරන්නේ නම් ‘මුන් ඔක්කොම සමාජවාදීන් වෙලා’ යැයි මා කියන කතාව වැරදි වන්නේ කෙසේද?!!!!!!!!!

බජට් එක දිහා බලා වාමාංශිකයන් කියන්නේ එයින් රටේ පවතින දැඩි ආදායම් විෂමතාවය (inequality) තවත් වැඩිවන බවයි. එයම දකුණේ යැයි කියා ගන්නා සජිත් ද නැවත ප්‍රතිචාරය කරයි. අද ධනපතියන් තවත් ධනවත් වී ඇත. දුප්පතුන් තවත් දුප්පත් වී ඇත. සමාජ සාධාරණත්වය සාක්ෂාත් කරගන්නට මේ ආණ්ඩුවේ බජට් එකෙන් බැරි යැයි කියද්දී එය වෙන බජට් එකකින් පුළුවන් යැයි ගම්‍ය වේ.

ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය අඩු කළ නොහැකිය. ධනවතෙක් වෙන්නට ඕනෑකමක් නැති අයත් සිටිති. උවමනාව ඇති අය අතර ද උත්සාහයක් ඇත්තේ ටික දෙනෙකුට පමණි. කට්ට කා ගමන යද්දී උත්සාහය අත්හැර දමනා අය බොහෝය.

කුසලතා හා දස්කම් ඇති අය ධනවතුන් වන්නට වෑයම් කරනවා නම් ඔවුන් ධනවත් වෙති. වෑයම් නොකරනවා නම් කුසලතා හා දස්කම් ඇති අයත් ඒවා නැති අය සේ දුප්පතුන් වෙති. හැම මිනිසෙක්ට ම කුසලතාවයක්, දස්කමක් හා උවමනාවක් යම් මට්ටමකින් ඇත. ඒවා මොනවා දැයි හා ඒවා දියුණු කරගන්නේ කෙසේදැයි සොයාගන්නට සමත් ඒ පුද්ගලයා පමණි.

ආණ්ඩුවක් කරන ඇඟිලි ගැසීම් අඩු වී යද්දී මිනිස් උත්සාහයට තැන ලැබී භාණ්ඩාගාරයක් පිරෙන්නට පටන් ගනියි. ධනවතුන් වැඩි වේ. එවිට ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය ඉතා වැඩි වේ. ධනවතුන් කළින් සිටි ධනවතුන්ට වඩා ධනවත්ය. එහෙත් දුප්පතුන් කළින් සිටි දුප්පත් මට්ටමේ නොසිට ඔවුන්ගේ ද භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව වැඩි වෙයි.

කිසිදා මේ ධනවත් දුප්පත් පරතරය අඩු කළ නොහැක. හැකියාව ඇත්තේ වඩාත් පිරිසක් වඩාත් දුප්පත් කිරීමට පමණි.

ආණ්ඩුවක් කරන ඇඟිලි ගැසීම් දකින්නට නම් ආණ්ඩුවේ වැය දිහා බැලිය යුතුයි. වැය වැඩියෙන් දකින තරමට ආණ්ඩුවක් ඇඟිලි ගැසීම් වැඩිකර ඇත.

සමාජවාදී ආණ්ඩුවක් වැය පියවා ගන්නට දිනන අය කවුදැයි හා පරදින අය කවුදැයි තීරණය කරමින් නොයෙකුත් ක්ෂේත්‍ර වලට බදු බර පටවයි. බලයේ ඉන්නට සහාය වන අහවලාගේ අහවලාට පසුම්බි පුරවා ගන්නට හැකියාව සපයන රොබින් හුඩ් ආණ්ඩුවට ඒ බලය දෙන්නේ බහුතර ජනතාවයි.

පුරවැසියාගේ වැය වැඩි වෙද්දී, ඉහළ ආදායම් උපයන ශ්‍රමිකයන් සැබැවින් කරන්නේ තවත් පඩි වැඩි කරන්න යැයි ඉල්ලා සිටීමයි.

ඉහළ ආදායම් උපයන අය තමන්ගෙ වේතන 10% කින් වැඩි කරගන්නට සමත් වූවා යැයි සිතමු. රටේ වැය ඉහළ යද්දී අතට ලැබෙන පඩිය අඩුවෙයි. ඒත් දැන් වේතන ඉහළ ගිය නිසා ගෙවන වේතනය වැඩිවෙයි. කවුද මෙහි පාඩුව විඳින්නේ? වේතන ගෙවන්නා. වැය ඉහළ යන වේගයට ඉහළ වේතන ගෙවා ගන්න බැරි නිසා සහනාධාර නොලැබෙන ව්‍යාපාර වසා ඔවුන් වෙළඳපොලෙන් අයින් වෙති. ආණ්ඩුවේ සේවකයන් රට ණය කරමින් තවත් වේතන වැඩි කරන්න යැයි ඉල්ලා සිටින්නේ වැය ඉහළ දාන්නට තමන් බලය දෙන ආණ්ඩුවෙන්මයි.

ආණ්ඩුවේ වැය ඉහළ යද්දී ඉහළ පඩි වලට ඇති තරඟය නිසා ඉහළ පඩි ලබන අයගේ පඩිය තවත් ඉහළ යයි!!!! මෙහෙ නම් ඒ අය ඉහළ කුසලතා හා දස්කම් වලින් වූ අය. ඔහේ නම් ඒ අය අතර වැඩි පිරිස ආණ්ඩුවට හේත්තු වූ අය. යුරෝපයේ නම් යුනියන් සේවකයන්.

මිල්ටන් ෆ්‍රීඩ්මන් කියපු උපමාවක් අනුව මෙහෙම හිතමු. රංගනය, ගායනය හා නර්තනය හැදෑරීම පමණින් ඒ අය පවත්වන සංදර්ශන රසවත් වෙයි ද? නැත්නම් කුසලතාවයෙන් යුතු අයෙක් පවත්වන සංදර්ශනය රසවත් වෙයි ද? සමාජ සාධාරණත්වය ඉටු කරන්න යැයි රංගනයට, ගායනයට හා නර්තනයට නොහැකි අයව ගෙනැල්ලා කලායතන වල ඉහළ පුහුණුවක් ලබා දීලා, ඒ අයගේ රංගන, ගායන හා නර්තන උත්සව පවත්වනවා නම් එවැනි උත්සාහයක් සාර්ථක යැයි කියන්න පුළුවන් ද?

ධනවත් වෙන්නට කට්ට කන්න කැමති ඕනෑම අයෙකුට පහසුවෙන් ධනවත් වෙන්නට හැකි එකම ක්‍රමය වගේ ම, සමාජයේ බහුතරයකගේ ආර්ථික මට්ටම නංවාලන්න නම් කළ යුත්තේ ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු කිරීමයි. සමාජවාදියෙකුට කළ නොහැකි දෙයක් වූ එයයි දක්ෂිණාංශ පක්ෂයක උප නායකයෙක් ඉල්ලා සිටිය යුත්තේ.

මෙය වටහා ගන්නට බැරි නම්, තිස්ස විතාරණ දිනුවත්, සජිත් ප්‍රේමදාස දිනුවත් අද වගේ ම රට බංකොළොත් බවට යන ආඥාදායක පාලකයෙක් ලැබෙයි!!!!!!

Advertisements

37 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on නොවැම්බර් 15, 2012 at 11:30 පෙ.ව.

    එජාපය නම් සෑහෙන ආයතන තොගයක් පෞද්ගලීකරණයට ලක් කලා. මෙයාලත් නොකරනවයි කිව්වට හෙමිහිට ගේම දෙනවා. ඒ වගේම එජාපයෙන් දීපූ ඒවා අරගෙන එයාලගෙ අයට දෙනවා. අරුණි දන්නවද දන්නෙ නෑ. අය වැය පරතරය 6.7% ක්ලු, නමුත් ඒක ඇතුලේ විදුලි බළ මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ පාදුව නෑ. ඒකත් එකතු කලාම 8.5 % ක්. එයාර් ලංකා මිහින් ලංකා පට්ට පාඩුයි. එමිරේට්ස් එකේ තිබුන ඒවා බලෙන් අරන් නානවා.

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 11:33 පෙ.ව.

      maathalan,

      ආයතන පෞද්ගලීකරණය කළාට වැඩක් නැහැ, ආනයන අපනයන සම්බන්ධ සියල්ල තීරණය වෙන්නේ බජට් වලින් වෙද්දී. ඒ වගේම රටේ පරිගණක තාක්ෂණය හා වෙළඳ අංශයට කෙළින් ම විදේශ සමඟ ගණුදෙනු කරන්නට ද බැරි කොට පුද්ගලික ව්‍යාපාර වල පුද්ගලිකත්වයක් කියා දෙයක් තියෙනවා ද? ලංකාවේ පුද්ගලික ව්‍යාපාර හැටියට තියෙන්නෙ සිල්ලර කඩ මුදලාලිලා විතරයි. අනිත් අයට ආණ්ඩුවේ අහවලාගේ අහවලෙක් නැතිව කිසිම දෙයක් කරගන්නට බැහැ.

      • maathalan said, on නොවැම්බර් 15, 2012 at 10:38 ප.ව.

        නමුත් නෝනේ මේ සැරේ බජට් එකෙන් ඔබ ඔය කියන නිදහස හා විශාල මුදලක් ආයෝජනය කරන අයට හා පෞද්ගලික බැංකුවලට ලබා දීලා තියෙනවා. ඒත් කරුමේ කියන්නෙ එහෙම ගේන ඒවත් මෙයාලා නඩත්තු කරන්න යෙදුවොත් නම් අබ සරණයි….

        • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 10:44 ප.ව.

          maathalan,

          වැරැද්ද ඇත්තේ බජට් එකකින් තීරණය කළාම වෙන්නෙ සැලසුම්ගත ආර්ථිකයක්. එවිට වෙළඳපොල කියන්නේ මොනවා ද යන්න දැන ගන්න විදියක් නැහැ. උදාහරණයක් විශාල මුදලක් හෝටල් වලට ආයෝජනය කරන්න කියලා බජට් එකෙන් සහන හා නිදහස දුන්නාට ඒවා පිරෙන්නට මුදල් ගෙවන සංචාරකයන් ඒවි ද කියා කියන්න පුළුවන් වෙළඳපොලට පමණයි, බජට් එක හදන අයට නෙවෙයිනෙ. ඉතින් වෙන්නෙ ඊට පස්සෙ ඒවා පුරවන්න සංචාරකයෝ ගෙන්න කියලා රට රටවල් වල ප්‍රචාරයට තවත් මුදලක් යට කරන එක නෙවෙයි ද? ඒවාට යවන්න ආණ්ඩුවේ පැත්තෙ අයට බදු හා ණය ගෙවන ජනතාවගේ පිහිටෙන් නොමිලේ අවස්ථා ලැබීම නොවේ ද?!!!!!

    • DH Arts said, on නොවැම්බර් 15, 2012 at 1:16 ප.ව.

      sammpurna aththa kathawa,kauru awath meka thamai..

  2. Chanaka Aruna Munasinghe said, on නොවැම්බර් 15, 2012 at 11:37 පෙ.ව.

    ඒ දවස් වල කොණ්ඩෙ දිගාආයිනෙ.

  3. deshakaya said, on නොවැම්බර් 15, 2012 at 11:47 පෙ.ව.

    මම දාපු එක යකා ගිල්ලා. ආය්ත් දානවා.

    සජිත් නෙමෙයි මොකා ආවත් මේක මේ විදියම තමයි කියන්න ගත කරන කාලයත් අපරාදයක්. ෆ්‍රීඩ්මන්ගේ උපහැරනේ නියමෙට ගැලපෙනවා. ඇයි. මුං ගහන බෙරේකුත් නෑ තාලෙකුත් නෑ

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 11:49 පෙ.ව.

      deshakaya,

      මොන යකා ආවත් වැඩක් නෑ ආර්ථිකේ වැඩ කරන එකම ක්‍රමේ දන්නෙ නැත්නම්. අද යුරෝපයේ ගිනි කෙළි ඇත්තේ ධනවාදය නරකයි කියා සමාජවාදී වෙන්න ගිය යුරෝපීයයන් ආර්ථිකය වැඩ කරන හැටි නොදන්නාකම ඉහවහා ගිහින් තියෙන නිසා.

      • deshakaya said, on නොවැම්බර් 15, 2012 at 11:53 පෙ.ව.

        ඔන්න යන්තං අද වැඩි වෙලා ඉන්ට උනේ නෑ. අනුමත කොරනකං. ආර්තිකය වැඩ කරන හැටි කියන්නේ තියෙන විදියද නැත්නං පැවතිය යුතුයි සිතන විදියද?

        • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 12:00 ප.ව.

          deshakaya,

          දාලා වෙනතක නොගිහින් හිටියා දේශකයා එයි කියලා බලාගෙනම!!!!

          ආර්ථිකයක් වැඩ කරන්නෙ එකම එක විදියකට පමණයි. වෙළඳපොල යනු සමාජවාදී හෝ ධනවාදී හෝ මිශ්‍ර ආර්ථික රටාවක් කියන්නක් නොදන්නා වූවක්. එය දන්නේ විකිණෙන දෙය විකුණන්නට හා විකිණෙන්නෙ නැති උත්සාහයන් බංකොළොත් කරන්නට පමණයි. භාණ්ඩ හා සේවා යන දෙකම. වෙළඳපොලේ මුදල් ගෙවා භාණ්ඩ හා සේවා හුවමාරුවේ යෙදෙන අය තමයි තීරණය කරන්නේ මොන භාණ්ඩ හා සේවා ද අගයෙන් යුතු යැයි කියා. කොයි රජයක් රේස් කාර් වලට බදු සහන දුන්නත් වැඩක් නැහැ එය වෙළඳපොල විසින් ප්‍රතික්ෂේප කරනවා නම්. බහුතරයකට ගන්න බැරි රේස් කාර් වෙළඳපොලට එන්නෙ රට්ටු ණය කරලා වුනාම රටක් හැටියට බංකොළොත් කරන්නේ පැත්තක් නොගන්නා වෙළඳපොලයි.

          ලංකාවේ තියෙන වෙළඳපොල සෑහෙන්න ඇඟිලි ගහලා විකෘති කරන ලද්දක්. යුරෝපයේ තියෙන වෙළඳපොලත් ඊට දෙවෙනි නැහැ. ඇමෙරිකාවේ වෙළඳපොලටත් මෑතක සිට වැඩි වැඩියෙන් ඇඟිලි ගැසීම් පටන් ගෙන. ඉතින් ලෝකයේ ම ආර්ථිකය අවපාතයට යනවා.

          • deshakaya said, on නොවැම්බර් 15, 2012 at 12:08 ප.ව.

            ඇත්තටම ලංකාවේ පැත්තෙන් බැලුවොත් මමනං රේසින් කාර් බද්ද අවප්‍රමාන කිරිම ගැන දුක් වෙන්නේ නැහැ. එය සතුටු විය යුතු දෙයකුත් නෙමෙයි. ඒත් එයින් යම් කිසි ආදායමක් රජයට ලැබෙනවා කියන එක අනිවාර්ය දෙයක් වෙනවා. ලංකාවට හමර් වාහන ගේන එකක් නෑ කියලයි කව්රුත් කිව්වේ. ඒත් අර්ජුන එකක් ගෙනාවට පස්සේ තව දෙකක් ආවා. වැඩි කල් යන්න කලින් දැනට මා දන්නා තරමින් හමර් වාහන 5 ක් තියෙනවා.. එය භාවිතා කරන්නාට පාඩුවක් නෙමේනම් රජයට බදු ගෙවිම ආදායමක්. ඔබ තව කාලෙකින් බලන්න මා කියන එක බොරුද කියල රේසින් කාර් අරුමයක් නොවන දෙයක් වෙයි ලංකාවට. හැබැයි මම කැමති නැත්තේ ඒ පිහිටෙන් කුමාරවරු අපේ සල්ලිම කාබාසිනිය කරල ඒව ගෙන්න ගන්න එකට. මට මතකයි ඒ දවස් වල මං ගාව නැණස තිබුනා. ටිකක් උස අකුරු නේද තිබුනේ. අයියෝ මං හිචිචි එකා ඒ කාලේ..

  4. buwa said, on නොවැම්බර් 15, 2012 at 12:20 ප.ව.

    කොණ්ඩෙ ලස්සනයි ඒ කාලේ .

    සජිත් කරන්නේ විකිණෙන දේ විකුණන එක . අක්ක කියන ධනවාදේ ඇමරිකාවෙත් නැති කොට මෙහෙ තියෙයිද , එකම දේ මේ අය වැයට වඩා ලිබරල් අයවැයක් එජාපයට ගෙන්න පුලුවන් ,

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 12:30 ප.ව.

      buwa,

      ස්තූතියි!!!

      සජිත් කරන්නේ විකිණෙනවා යැයි සිතන දේ විකිණීමට යාම මිසක් විකිණෙන දේ කුමක් දැයි සොයා බැලීම නෙමෙයි. මිට් රොම්නිට වූයේ ද එයමයි.

      ඔබාමා යළි ජනාධිපති වූවාට කොංග්‍රසයේ බලය තවමත් බෙදිලා තියෙන්නේ. නියෝජිත නිවස රිපබ්ලිකන් පක්ෂයට හා සෙනෙට් සභාව ඩෙමොක්‍රැටික් පක්ෂයට. ඒ නිසා ඒකාධිපති බලයක් නැහැ රටේ ජනාධිපතිට ගොඩක් දේවල් වෙනස් කරන්නට. අපි අඬන්නේ වේගයෙන් යා හැකි සංවර්ධනය ඉබි ගමනින් යන එකටයි.

      • buwa said, on නොවැම්බර් 15, 2012 at 8:51 ප.ව.

        මිට් රොමේනිට සජිත්ට වඩා රනිල්ගේ මාදිලියේ පුද්ගලයෙක් විදිහටයි මම දකින්නේ , සජිත් දන්නවා ලංකාවේ මිනිස්සුන්ගේ ටේස්ට් එක , මහින්දට විකල්පයක් හොයන අය කොහොමටත් තමන්ට ඡන්දෙ දෙන බව පොර දන්නවා . මිනිහා කරන්නේ මහින්ද ගේ වටේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්න කථා කරන එක . ධනවාදය නිසා උපරිම ප්‍රයෝජන ලැබුවත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ගොඩ දෙනෙක්ට ධනවාදය , විවෘත ආර්ථිකය කියන්නේ ගෝනි බිල්ලෙක් , ලංකාව මැතිනිගේ සමාජවාදෙන් දියුණු රටක් වෙන්න තිබුන එක ජේ.ආර් වීසින් වැලකුවාය කියන මජර මෝඩ මතයේ ඉන්න වුන් අන්තර්ජාලෙත් ඉන්නවා . උන්ට තෙරෙන්නේ නැ විවෘත ආර්ථිකය නොගෙනාවා නම් ඕවා කියවන්න තමන්ට අන්තර්ජාලය කියල දෙයක් දකින්නවත් නොලැබෙන්න තිබුන බව

        • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 9:33 ප.ව.

          buwa,

          බූවා, මහින්දට විකල්පයක් හොයන අයගෙ චන්ද විතරක් දිනලා රටේ නායකයා වෙන්නට බැහැ. මහින්ද දන්න යකා නිසා තියාගන්නෙ ඔබාමා තියාගත්ත වගේමයි. මිට් රොම්නි නොදැක්කේ ද එයයි. එයා ඉල්ලා සිටියේ ඔබාමාට එරෙහි වූ විකල්පයක් හැටියට තමාව පත් කරගන්න යැයි කියා. වමත් දකුණත් එක හා සමාන වෙද්දී, ඔබාමා කළේ තවත් දෙන පොරොන්දු වැඩි කිරීම. එය මහින්දටත්, තිස්ස විතාරණටත් වෙන ඕනෑම අයෙකුටත් කරන්න පුළුවන්.

          බොරු පොරොන්දු වලට බහුතරය රැවටෙනවා නෙමෙයි. පොරොන්දු අතරින් මොනවා සත්‍යය දැයි මොනවා බොරු දැයි තෝරා බේරා ගන්නට බැරි වුනාම වැඩියෙන්ම දේවල් පොරොන්දු වෙන එකාගෙන් අඩුගානේ එකක් දෙකක් වත් ලැබේ යැයි සිතනවා නොදන්නාකම නිසා.

          බූවා කියන //මජර මෝඩ මතයේ ඉන්න වුන්// කවදාවත් කොළ පාටට චන්දෙ දෙන්නෙ නැහැ. ඒ අය ගැන සැලකීම කාලය නාස්තියක්. වාමාංශික පක්ෂ අද තරම් අන්තිමට බැහැලා තියෙන කාලයක් මම ලංකාවේ කිසිම දවසක දැකලා නැහැ!!!! ඉතින් ජනතාවට පැහැදිලි කර දිය යුත්තේ සමාජවාදයේ සහ ධනවාදයේ වෙනසයි.

          ආර්ථිකය වැඩ කරන හැටි සහ එයින් තමන්ට ඵලදායී බව වැඩිවෙන හැටි එක්ක තම දරුවන්ගේ අනාගතය උකස් කරන්න එපා කියන පණිවිඩය බහුතර ජනතාවකට පැහැදිලි කරදෙන්න පුළුවන් වූවක්. ඒකට කවුද කළින් ඉදිරිපත් වෙන්නේ කියන එක මත තමයි ජයගන්නේ කවුදැයි තීරණය වෙන්නෙ. මොකද දැනට කොයි පැත්තක කෙනෙක් වත් මේ කතාවට ලංකාවේ නම් පිවිසිලා නැහැ. මෙහෙ රොන් පෝල් (රිපබ්ලිකන් පක්ෂයෙන්) අනුමත කරපු 11 දෙනාගෙන් 8 දෙනෙක් චන්දය දිනුවා. රොන් පෝල් විසින් මිට් රොම්නිව අනුමත කළේ නැහැ. කට්ටියක් ලිබටේරියන් පක්ෂයට වාර්තාගත චන්ද එකතු කළා. පෝල්ට එරෙහි ව සමාජවාදී වූ රිපබ්ලිකන් පක්ෂයේ අනුමැතිය ලැබුණු අයගෙන් චන්දය දිනූ සංඛ්‍යාව අඩුයි පැරදිච්ච අය වැඩියි.

          පුංචි පහේ රස්සාවක් කරන මිනිසාට වුවත් හිතන්න පුළුවන් මොළයක් තියෙන බව අමතක කරන්න එපා. ඒ වගේම මිනිසා හැම විටෙකම වැඩියෙන් හිතන්නේ රට ගැන නෙමෙයි තමන්ගේ සුබ සාධනය ගැන බවත් අමතක කරන්න එපා. තමන්ටත් රටටත් වැඩදායක වන එකම ක්‍රමය ධනවාදය යැයි පෙන්වා දෙන්නට මුලින් තමන් අවබෝධයක් ලබන්න ඕනෑ ධනවාදය යන්න කුමක් දැයි කියා පැහැදිලි කරන හැටි ගැන.

  5. Chathu Ranga said, on නොවැම්බර් 15, 2012 at 1:19 ප.ව.

    ඔබ හැමදාම නොලැබුන මොකක් හෝ දෙයක් මත බොහෝ වේදනාකාරි විදියට සැරිසරනවා…
    ඔබ හිතන හීනමාන රාජ්‍ය හෝ සමාජවාද ප්‍රජාතන්ත්‍රවාද ධනවාද තියෙන්නෙ පොත්වල විතරයි…පොතින් එලියට බැහැලා බැලුවොත් ඔය බම්බු බහුබූත කොහෙවත් නෑ…
    ඔබ සිතන විදියට ලොකෙ හැම මිනිහාටම එයා දක්ෂ නම් තැනක් ලැබෙනවා…මේක දැකලා මට හුකුස් ගාල හිනාවක් ආවා…

    ඉස්සර ඉංගිරිසි ටිකක් දැනෙගෙන කම්පියුටර දැනගත්තම රස්සා තිබුනා…දැන් එන්න එන්න රස්සාවලට තියෙන සුදුසුකම් ගනනින් වැඩි වෙනවා…ඔබ හැමදාම මේ කසිකබල් සමාජවාදයක් ගැන කියන එක මට නං එපා වෙලා…ඒ වගේම ඔබ ලියන මෙ පල් හෑලි විශිෂ්ටයි කියන්නත් වන්දි භට්ටයො ඉන්නවා…
    මීට හොදයි දීප්ති කුමාර ගුණරත්න ගෙ ටෝකක් අහන එක..

    එදා පේමදාස මහත්තයා කරපු වැඩ අතරෙ ඔබේ පොත හෝ සගරාව දැක්කෙ නැති නිසා අපි එතුමාට බනින්න ඕනිද?

    ලංකාවෙ ඉන්න හැමෝම එක වගේ උන්නදු වුනා කියල ලංකාවෙ රටකට ලෝකෙ ලොකුම පෝසතා වෙන්න බෑ…ජනගහනය සහ රට පිහිටලා තියෙන ඉන්ියන් පසුබිමත් ඒකට බලපානවා…

    අනික ඔබ කියන ගොඩක් පස්න ලංකාවෙ දුප්පත් අපිට නැහැ….අපි කිසිම වෙලාවක ඔබ තරම් අතෘප්තියෙන් දිවි ගෙවන්නෙ නැහැ….එදාවේල කාල ආන්ඩුවට පැනලා ආතල් එකේ ඉන්නවා… කාර් එකක් නෑ කියල ලොකු ගෙයක් නෑ කිල හෝ ලස්සන පවුලක් නෑ කියලා අපි ගොඩ දෙනෙක්ට අවුලක් නෑ..

    අනික ඔය ලංකාවෙ ඉන්න හොර එන් ජී ඕ හිගන්නො පෙන්වන තරම්ම ලංකාව දුප්පපත් ඇත්තෙත් නෑහැ…අපිට නැත්තෙ තෙල් විතරයි…හෙට සම්බාධක දැම්මත් කන්න නැතුව මිනිස්සු මෙහෙ ඉන්න එකක් නෑ… මේක කාන්තාර රටක් නෙමෙයි…

    පිටින් බලලා අපි ඉන්න මුඩුක්කු පැල්පත් දිහා බලලා ඔබලා වැනි අය සිතනවා අනේ අපොයි කියලා…ඒත් ඔබට පිටට පේන ගැටලු අපිට නං නෑ..
    ඔය් කවු

  6. ravi said, on නොවැම්බර් 15, 2012 at 2:58 ප.ව.

    / හැම මිනිසෙක්ට ම කුසලතාවයක්, දස්කමක් හා උවමනාවක් යම් මට්ටමකින් ඇත. ඒවා මොනවා දැයි හා ඒවා දියුණු කරගන්නේ කෙසේදැයි සොයාගන්නට සමත් ඒ පුද්ගලයා පමණි./

    ඕනෑම පුද්ගලයෙකුට තමා සිටිය යුත්තේ කොතැනදයි තීරණය කිරීමේ අනුල්ලංඝනීය අයිතිය ඇත.තමන් උපන් දේශයෙහි ඊට අවස්ථාවක් නොමැත්තේ නම් ඊට ඉඩ ප්‍රස්ථාව ඇති දේශයකට සංක්‍රමණය වී හෝ තම අභිමථාර්තයක් ඉටු කර ගැනීමේ අවස්ථාව සියල්ලන්ටම එක හා සමානව ඇත.ඒ සඳහා අවශ්‍ය වන්නේ නොපසුබට ධෛර්යය සහ කැපවිම පමණකි.

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 7:55 ප.ව.

      ravi,

      ඔබ නිවැරදියි. පොත එන්නත් කළින් අයින් රෑන්ඩ් අදහස් කියනවා වගේ!!!!!

      මේක කළින් රවී දාපු ලින්ක් එකක්, සටහනේ මාතෘකාවට ගැලපෙන නිසා ආයේ අමුණනවා.

  7. dayal bathee said, on නොවැම්බර් 15, 2012 at 3:47 ප.ව.

    අමෙරිකාවෙත් විකිනෙන්නෙ නැති විප්ලවකාරී අදහස් ලංකාවේ විකිනෙයිද?

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_14.html
    බලාපොරොත්තුවන්න

    විමල් හා එස් බී අකැමතිම අංක

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 3:54 ප.ව.

      dayal bathee,

      ඇමෙරිකාවේ අය කැමති නැහැ ධනවාදී යැයි කියාගත් සමාජවාදීන්ට චන්දෙ දෙන්න. විකිණෙන්නෙ නැත්තේ ඒකයි. ලිබටේරියන් පක්ෂයට වාර්තාගත චන්ද දිනාගත හැකිවූයේ රිපබ්ලිකන් පක්ෂය විකිණෙන්නේ නැති දෙයක් අලෙවි කරන්න ගිය නිසයි. එජාපයට සේ ම ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයටත් සමාජවාදීන් ගෙන් වෙනස් වෙලා ධනවාදී වෙන්න ශක්තිය ලැබුණු දාට ඔවුන්ට විකිණෙන දෙයක් ලංකාවේ සමාජයටත් සහ ඇමෙරිකන් සමාජයට දෙන්න හැකියාව ලැබේවි.

  8. dayal bathee said, on නොවැම්බර් 15, 2012 at 4:16 ප.ව.

    අනෙක ඇයි රනිල්ට කියන්නෙ නැත්තෙ?

  9. budditha said, on නොවැම්බර් 15, 2012 at 7:02 ප.ව.

    විදේශයක සිට ලංකාව ගැන විමසිලිමත්වන පුත්ගලයන්ට හැමදාමත් ලංකාවේ දකින්න ලැබුනේ වැරදි අඩුපාඩු විතරයි. එය සත්‍යයක් හැමෝටම සමාන නීතියක් නැති රටක බය ගුල්ලන්සේ ජීවිත්වීමට ලැබීම එක අතකට නරකාදියක ජිවත් වීමක්. ලංකාවේ දේශපාලනය රංග මඩුවක් නම් එහි සිටින නළු නිළියන්ට අවශ්‍ය කෙසේ හෝ මඩුවට පිවිසෙන ආකාරයක් සකසා ගන්න හෝ පිවිසුණු මඩුවෙන් යලි කිසිදා නොබැස සිටීමේ පිලියමක් සොයා ගැනීම පමණයි.

    “හැම මිනිසෙක්ට ම කුසලතාවයක්, දස්කමක් හා උවමනාවක් යම් මට්ටමකින් ඇත. ඒවා මොනවා දැයි හා ඒවා දියුණු කරගන්නේ කෙසේදැයි සොයාගන්නට සමත් ඒ පුද්ගලයා පමණි.”

    කතාව ඇත්ත තමාට දියුණු වෙන්න අවැසි පුත්ගලයා කෙසේ හෝ තම කුසලතා ඔප මට්ටම් කරමින් දියුණු වෙනවා නොවනු මානයි. නමුත් කෙසේ හෝ තමා දියුණු වූවායින් පසුව දක්ෂයාට නියම තැන නොලැබෙන, සාධාරණ නීතියක් නැති, දේශපාලන ඇගිලි ගැසීම් උපරිම වූ රටක ජිවත් වීමට කැමති වේද??
    දැන් අරුණි අක්කා රටින් පිට ජිවත් වෙනවා වගේ මේ රටේ නායකයන් විය යුතු අය ලෝකේ කොහේ හෝ තැනක අප රට ගැන දුක් වෙම්න් ජිවත් වෙනවා.. හැකියාවක් නැති රට ගැන නොසිතන මිනිස්සු හැමදාම මෙහි බලයේ ඉන්නවා!!
    තව අවුරුදු 100ගියත් මෙහි වෙනසක්නම් පෙන්න නැත!!!

    • arunishapiro said, on නොවැම්බර් 15, 2012 at 7:28 ප.ව.

      budditha,

      //විදේශයක සිට ලංකාව ගැන විමසිලිමත්වන පුත්ගලයන්ට හැමදාමත් ලංකාවේ දකින්න ලැබුනේ වැරදි අඩුපාඩු විතරයි.// අනික් අය ගැන කොහෙම දැයි කියන්න දන්නේ නැහැ. ඒත් මම නම් ලංකාවේ හොඳ වැදගත් දේවල් තවමත් තියෙන බව දකිනවා. මිනිස්සු සහ ගැහැණු තවම වැඩියෙන් කැමතියි ගෙදර ඉන්නවාට වඩා රස්සාවකට යන්න. අද සමහර රටවල ඒකට කැමති මිනිස්සු ගැහැණු අඩුවෙලා ගිහින්. ලංකාවේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරගන්නට වෙහෙසන පුංචි පිරිසක් සෑහෙන කට්ටක් කමින් උත්සාහය හැර දා නැහැ. කුසලතා දියුණු කරගන්න සහ අධ්‍යාපනයට වෙහෙසන තරුණ පිරිස බාධක මැද්දේ යන ගමන පැසසුම් ලැබිය යුත්තක්.

      දේශපාලන රංග මඩුවට නම් යා ගන්න හදන අයයි ගිය අයයි ලෝකෙ කොහෙත් budditha කියන විදියට තමයි කටයුතු කරන්නෙ.

      //නමුත් කෙසේ හෝ තමා දියුණු වූවායින් පසුව දක්ෂයාට නියම තැන නොලැබෙන, සාධාරණ නීතියක් නැති, දේශපාලන ඇගිලි ගැසීම් උපරිම වූ රටක ජිවත් වීමට කැමති වේද??// මේකට නැහැ යැයි හැමෝම එකඟ වෙන එහෙත් සිද්ධ වෙන්නේ කොහොම දැයි සහ එයින් ගැලවෙන්නේ කොහොම දැයි පැහැදිලි කරද්දී ඊට විරුද්ධ වෙන කාරණයක්.

      //තව අවුරුදු 100ගියත් මෙහි වෙනසක්නම් පෙන්න නැත!!!// එහෙම වෙන්නේ අපි වෙනස් කළ යුත්ත කුමක් දැයි හඳුනා ගන්නෙ නැති නිසා. හැමදාම හැමෝටම ඕනෑ මේ ආණ්ඩුව වෙනස් කරලා වෙන ආණ්ඩුවක් ගෙනාවම හරියාවි කියල කියන්න. කොයි ආණ්ඩුව ආවත් ආර්ථිකය වැරදි මාර්ගයේ යන ගමන වෙනස් කරන්න ඕනෑ කියල අවබෝධයක් ඇති වෙන්න ඕනෑ පුරවැසියන්ටයි. එය පුරවැසියන්ට අවබෝධ වෙන දිනය රඳන්නේ අපේ කියාදෙන්නට හැකි කැපවීම මතයි. අයෙක් වටහා ගත් සමෘද්ධියට යන මාර්ගය තවකෙකුට කියා දෙන්න ඕනෑ. නැත්නම් තවත් භීෂණ සමයක් ඇවිත් නොසිතූ වෙනසක් නම් ඇතිවේවි.

  10. R.p. Susantha said, on නොවැම්බර් 15, 2012 at 11:22 ප.ව.

    අක්කා සජිත් ගැන නම් මගේ කිසිම මනාපයක් නැහැ. හැබැයි රනිල් ගැන නම් මගේ යම් එකඟතාවයක් තිබෙනවා.

    මෙතැන ඇති ප්‍රශ්නය ඒ කිසිවක් නෙමේ, මේ රටේ ආර්ථිකය නිසි මගට ගැනීම සහ ඒ ආශ්‍රිත උපක්‍රම කියන එකයි. ඒ ගැන මට නම් හිතෙන්නේ, රනිල්ට මෙය කල හැකියි. නමුත් ඔහුගේ පෞර්ෂය මදි ඒ වගේ බැරෑරුම් වැඩකට. ඒත් වෙන බලාපොරොත්තු තබාගත හැඉ අයෙකුත් නැහැ. දෙවන පෙළ දයාසිරිල පිස්සු නැටුවෙ නැත්නම් යමක් කරන්න තිබ්බා.

    කොහොමත් ඔබ කියන ආකාරයේ වෙනසක් නම් මමත් පතනවා. ඒ හැර තව දුරටත් රජයේ රැකියා සහ මහපොළ, ගම් උදාව, සමෘධි වගේ වැඩ සටහන් කී සීයක් ආවත් රට එතැනමයි.

    මට හිතෙනවා මහින්දට තාමත් හොද අවස්ථාවක් තියනවා. රටේ උගතුන් එක් කරලා යමක් කරන්න. උපායශීලී වුවොත් මහාවංශයේ පරිච්ඡේද ගණනක්ම අවංකව ලියවෙයි. නැතිනම් මේ හැමෝම ඉතිහාසයේ කුණු බක්කියට තමයි.

    • arunishapiro said, on නොවැම්බර් 16, 2012 at 6:08 පෙ.ව.

      R.p. Susantha,

      මට නම් මල්ලි ඔහෙ ඉන්න කා ගැනවත් මෙහෙ ඉන්න බහුතරය ගැනවත් ‘මනාපයක්’ හෝ ‘එකඟතාවයක්’ නැහැ. ඒ අය පැත්තකට වෙලා රටේ භාණ්ඩාගාරය හිස් කරන එකෙන් අයින් වුනාම රටේ හැමෝටම යහපතක් උදාවෙනවා කියලයි මම හිතන්නෙ.

      ඔව් පැහැදිලිව ආර්ථිකය නිසි මගට ගැනීම සහ ඒ ආශ්‍රිත උපක්‍රම මොනවා ද යන්න තමයි සටහනේ වැදගත් කොටස. සජිත් සහ තිස්ස විතාරණ යන දෙදෙනා කියා ඇත්තේ සාම්ප්‍රදායික මතය බවයි සටහනෙන් පෙන්වූයේ. ඒක දැන් ගොඩක් ඉස්සර කාලෙක දී නිශ්ප්‍රභා වූවක්. ඒත් ආයෙත් රිංගා ගෙන අපිට හොරෙන්. වැරදි නිවැරදි කරන්න ඕනෑ නිසයි එය පෙන්වා දුන්නේ. නැතිව කාටවත් සපෝට් කරන්න උවමනාවක් තියෙන නිසා නෙමෙයි.

      //අය වැයට තිබුනු ගෞරවය නැති කොලේ, ප්‍රේමදාස මහත්තයාය. එයා කිව්වේ ටැක්සි කාරෙයෙකුට උනත් බජට් එක හදන එක මහ ළොකු දෙයක් නෙමෙයි කියලාය. බලාගෙන ගියාම ඇත්තය.// –මාතලන් මම ඒ සටහනේ දාපු පිළිතුර අනුව මම ප්‍රේමදාස මහත්තයා එක්ක එකඟ වෙනවා!!!!

      මහින්දගේ ආණ්ඩුව කළත්, වෙන ආණ්ඩුවක් කළත්, කරන්න තියෙන දේ නොකර වැඩක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි මගේ මතය. රටේ ඉන්නා උගතුන් කිහිප දෙනෙක් අතර මේ අදහස් තිබුණාට ඒවා සිංහලෙන් කියවන බහුතරයට ගෙන ගියේ නැත්නම් ඔවුන්ට අවබෝධයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවිට ආණ්ඩු මාරු කිරීමෙන් ඵලක් නැහැ. මගේ සතුට තමයි ඉඩ තියෙන හැටියට මේවා සිංහලෙන් ලියලා දාන එක. ආණ්ඩු පෙරළන්න නෙමෙයි. තියෙන ආණ්ඩුවත්, ඊ ළඟට එන ආණ්ඩුවත් හදාගන්න ඕනෑ රටේ ඉන්න මිනිස්සුන්ගේ කැමත්ත අනුව. 100% ක් විශ්වාසයි මේ අදහස් වටහා ගනිද්දී රතු නිල් කොළ කියන පක්ෂ භේදයෙන් අයින් වෙලා රටේ මිනිසාගේ කැමැත්ත වෙන්නේ හිඟන්නෝ වගේ ණය නොවී කුස හා සිත පුරවා ගත හැකි ක්‍රමයට බව. 😀

  11. magenama said, on නොවැම්බර් 15, 2012 at 11:32 ප.ව.

    මේක මෙහෙම කියලා කාට වදීද කාට රිදෙයිද නම් දන්නෙ නෑ,හැබැයි ඌරන්ට මුතු විසි කරලා වැඩක් නැහැ,උන්ට දෙන්න ඕන පොල් කුඩු.(ඉහත ඡායාරූපයට සම්බන්ධ නැත)

  12. gold fish said, on නොවැම්බර් 16, 2012 at 7:37 පෙ.ව.

    රටේ හැටි …!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: