අරුණි ශපීරෝ‍ වෙතින්

බදු යනු ප්‍රසිද්ධියේ කරන හොරකමයි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 16, 2012

රජයක් පුද්ගලික දේපල වලින් කොටසක් අනිවාර්යෙන් ලබාගත හැකි බදු බලයකට ‘අයිතියක්’ කියයි. එවැනි රජයේ සදාචාරය විස්තර කරන පිරිස කොටස් දෙකකට බෙදෙති.

මිනිස් ස්වභාවය ගැන කියන අය එක් කොටසකි. අනෙක් කොටස නම් සමාජ අනුකලනය (social integration) රජයේ කාර්ය භාරය යැයි කියන අයයි. දෙවැනි කොටස විසින් පුද්ගලික දේපල රජය සතු කරගැනීම එතරම් වරදක් ලෙස දකින්නේ නැත. මන්ද පුද්ගලික දේපල වලට අයිතියක් කියන රජය විසින් කරන්නේ පුද්ගලයා ජීවත්වෙන සමාජයට ඵලදායී මෙහෙයක් යැයි ඒ අයගේ විශ්වාසය නිසයි.

ඒත් ඒකීය පුද්ගලයා යනු උල්ලංඝනය කළ නොහැකි අයිතීන් සතු වූවෙක් යැයි පිළිගන්නා මුල් කොටස මෙය දකින්නේ තමන්ගෙන් උදුරාගත නොහැකි වූ අයිතියකට රජය හිමිකම් කියන ලෙසිනි. ඉතින් අනිවාර්ය කරමින් රජය විසින් ගාස්තු අය කරද්දී සදාචාරාත්මක බවකින් තොරව රජය තමන්ගේ බලය පාවිච්චි කරන බව ඔවුන් දකිති. එහි දී ඔවුන් රජයේ බදු වැය කර සපයනවා යැයි කියන නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍යය, විශ්‍රාම වැටුප් වැනි දේවල් පාවිච්චියෙන් තමන් තොර වෙන්නේ නම්, එවිට බදු අඩුවෙන් ගෙවන්නට අවසර දීම රජයේ සචාදාරත්මක හැදියාව විය යුතු යැයි කියති.

පුද්ගලයෙකුට තම ජීවිතයට නිසැක අයිතියක් ඇත්නම්, එයින් අප නිගමනය කරන්නේ එයාගේ ශ්‍රමයෙන් ලැබෙන ඵලදාව කැමති විදියකට භුක්ති විඳින්නට ද එයාට අයිතියක් ඇති බවයි. එය දේපල අයිතියයි. ජීවිතයට ඇති අයිතියට දේපල අයිතිය ඇතුල් වෙන්නේ නැත්නම් දෙකින් එකක් වත් පරම අයිතීන් නොවේ. තවත් විදියකින් කියන්නේ නම්, එකක් ඇතැයි ද අනෙක නැතැයි ද කියන්නට බැරි ය.

ජීවිතය නම් ස්වභාවිකව දායද වූවකි. ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් විසින් The Law (1850) හි පෙන්වා දෙන පරිදි අපිට ලැබෙන භෞතික වූ සිරුර පමණක් නොව එහි අඩංගු බුද්ධිය සහ සද්ගුණය ද ජීවිතයට අයිති වෙයි. ‘දෙයියෝ දුන්’ නොහොත් ‘ජීවිතය යනු දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්’ මිස ආණ්ඩුව දෙන ලද්දක් නොවන නිසා ඒවා ආණ්ඩුවකට හෝ වෙන යම් පුද්ගලයෙකුට උදුරා ගතහැකි අයිතියක් නැත. පුද්ගලයාගේ පරම අයිතිය යනු වෙන අයෙකුට උදුරා ගැනීමට බලයක් නැති අයිතියකි. බලහත්කාරකමෙන් උදුරා ගන්නට එනවිට ඊට සටන් වැදිය හැකි අයිතියක් පුද්ගලයාට ස්වභාවයෙන් ම ලැබේ.

රජයකට ශ්‍රමිකයා අතින් නිපදවෙන ඵලදාවට කල් ඇතිවම අයිතියක් කියන්නට හැකි නම් ශ්‍රමිකයාට තම ජීවිතයට අයිතියක් ඇතැයි කියත නොහැකිය. එවැනි කල් ඇතිවම අයිතියක් කියත හැකියාව රජයක් ස්ථාපිත කරන්නේ තමන් සියළු අයිතීන්ගේ නියමුවා බව ප්‍රකාශයෙනි. එවිට එය ස්වභාවයෙන් ලැබෙන අයිතියක් නොවන්නේ ය.

රජයට ස්වභාවයෙන් ලැබෙන අයිතියක් නොවන බව තවත් පැහැදිලි වන කාරණයක් නම් මිනිසා බදු ගෙවීමෙන් ගැලවෙන්නට කරනා නොයෙකුත් උපක්‍රම දැක ගන්නට හැකියාවයි. සහජ මිනිස් හැදියාව බදු නොගෙවා සිටීමට උත්සාහයයි!!!!

සමාජ ස්වේච්ඡා සංවිධාන වලට පරිත්‍යාග යවන විදියට හැමෝම කැමැත්තෙන් රජයට බදු මුදල් තැපැල් කර හරින්නේ නැත්තේ ඇයි?!!!!

හොරෙක් ගෙට පැන බඩුවක් හොරාගෙන යද්දී අපි එය සදාචාරත්මක හැදියාවක් ලෙස නොදකිමු. එහෙත් නීතිමය ලෙසකින් සංවිධානය වූ රජයේ පිරිසක් අපේ දේපල බලහත්කාරයෙන් ගනිද්දී එය හොරකමක් නොව සදාචාරාත්මක සිද්ධාන්තයක් යැයි අපි සලකන්නට පටන් ගෙන ඇත. මන්ද එසේ නීතිමය ලෙසින් සංවිධානය වන්නට සාම්ප්‍රදායිකව අපි රජයට අනුමැතිය දී ඇති නිසාය. එහෙත් කාලාන්තරයක් තිස්සේ එසේ සිද්ධ වූ ක්‍රියාවලියක් පමණින්, එය දුරාචාරාත්මක ක්‍රියාවක් යැයි අපි නොසිතුවාට, එය හොරකමකි. ජීවිතයට පරම අයිතියක් ඇති පුද්ගලයාට සිය දේපල වලට ද පරම අයිතියක් ඇත. ඒ නිසා හොරකමක් හොරකමක් ම වන්නේ ය.

ගංඟා තරණය කරද්දී බදු අය කරගත් අය සිටියහ. කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරනවා යැයි වෙළඳ හිමියන් වෙතින් බදු ගත් අය සිටියහ. ඒ බදු අද සියල්ලන් වෙතින්ම ආණ්ඩුවක් විසින් එකතු කර ගනියි. අඩුගානේ එදා බද්ද කෙළින්ම යමක් ලැබීමට දුන්නකි. එනම් ගඟෙන් එතෙර වන්නට හෝ කොල්ලාකරුවන්ගෙන් ආරක්ෂා වන්නට ය. අද බද්ද ගෙව්වාම ලැබෙන වාසිය පැහැදිලි නැත. තම දරුවන් අනාගතයේ ණයකරුවන් වෙති. තමාගේ ධනය කොල්ල කන පාලකයන් තරවෙන බව පෙනෙති. නොමිලේ ලැබෙනවා යැයි කියනා දෑ මිල දී ගන්නට සිද්ධ වෙයි.

ඊ ළඟට, බද්ද එකතු කරන ක්‍රම දිහා බලමු. ඍජු බදු ආදායම් බදු ලෙසින් කෙළින්ම රජයට ගෙවන්නකි. චක්‍ර බදු නම් වෙනත් අය විසින් එකතු කර ආණ්ඩුවට යවන බදු වෙති. එනම් ඔබ මිල දී ගන්නා භාණ්ඩ හා සේවා වලට ඔබ ගෙවන බදු සේ ම ඔබට ඒවා ඉදිරිපත් කරන්නට පෙර නිෂ්පාදකයා විසින් ගෙවන බදු ද චක්‍ර බදු වලට අයිතියි. ආදායම් බදු නම් තමන් විසින් එකතු කරගන්නා ධනයට වැදෙන බද්දයි.

චක්‍ර බදු නම් ජීවත්වෙන නිසා වදින දඩයකි!!!! ඒ ‘දඩය’ නොගෙවා සිටියොත් ඔබට පරිහරණයට හැකි නිෂ්පාදන හා සේවා අඩුවේ. භාණ්ඩය නිෂ්පාදනයට නොව එය මිලට ගන්නට ආණ්ඩුව දෙන අවසරයට ඔබ කොතරම් මිලක් ගෙවනවා දැයි සොයාගත හැකියාව අසීරුය. මන්ද බේකරියක කොස්සකට ගෙවූ බද්ද කොතරම් දැයි සහ ප්‍රවාහනය පිණිස ගත්ත වාහනයේ ඇක්සල් එකට ගාපු ග්‍රීස් වලට ගෙවූ බද්ද කොතරම් දැයි පාන් ගෙඩියේ මිල දිහා බලා කියන්නට අසීරු නිසාය.

ජීවන වියදම ඉහළ යනවා යැයි පාරට බහිනා අය බදු දිහා බලන්නේ නැත. ඔවුන් එය දකින්නේ ධනවතුන්ට පමණක් ගෙවන්නට සිද්ධ වෙන දෙයක් හැටියටය. එහෙත් තමන් ජීවත්වන පමණින් කොතරම් බදු ගෙවනවා දැයි සොයා බලන්නාට, ජීවන වියදම ඉහළ යන්නේ තම වැයෙන් වැඩි කොටසක් වූ බදු නිසා බව පැහැදිලිවම දැකගත හැකිය.

ජීවන වියදම වැඩියෙන්ම බලපාන්නේ දුප්පත් අයටයි. වැඩියෙන්ම චක්‍ර බදු බර ද පැටවෙන්නේ ද ඔවුන් පිට. 6% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු යැයි කිව්වාම දුප්පත් බහුතරය පාන් ගෙඩියේ හැංගී තියෙන බද්ද ගෙවන්නෝය. බහුතර දුප්පතුන් අධ්‍යාපනයෙන් කිසිත් වාසියක් නොලබති. බහුතර මධ්‍යම පංතියේ සහ දුප්පත් ටික දෙනෙකුගේ ඉහළ අධ්‍යාපනය සඳහා බහුතර දුප්පතුන් බදු ගෙවති.

දුප්පත් අය රටේ බහුතරය නිසා වැඩියෙන් ම පාරිභෝගික බදු කොටස ගෙවන්නේ ද ඔවුන්ය. ඔවුන් කිසිදාක වාහනයක් මිල දී නොගත්තාට හැමදාම කන පාන්ගෙඩිය, පොල් ගෙඩිය ජීවිතය පුරාම මිල දී ගන්නා අයගේ බහුතරය වෙති.

ආණ්ඩුවක් බදු නිර්දේශ කරද්දී වැඩියෙන්ම පරිභෝජනය වෙන දේවල් දිහා හොඳට විපරම් කරති. එකතු වෙන බදු ප්‍රමාණය හෝ නිශ්චිතවම එකතු කරගත හැකියාව නොව චක්‍ර බදු වල දී ඉස්මතු වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ අශීලාචාර බවයි. එනම්, උපහටයාට (victim) දකින්නට බැරි ලෙසින් ආණ්ඩුවකට බදු අය කරගත හැකියාවයි.

ආණ්ඩුවක් විසින් අය කරන බදු සද්ගුණයෙන් යුතු වූවක් යැයි කියාපාන්නට තැත් කරන අය, මෙසේ බඩුවල මිලේ බදු හංගන්නේ ඇයි කියා විස්තර නොකරති. එය සම්ප්‍රදායක් ලෙසින් හැමදාම කරන දෙයක් නිසා තව දුරටත් කරගෙන යා යුතු වූවක් ලෙසින් පැහැදිලි නොකළ යුත්තක් සේ සලකති.

(මතු සම්බන්ධයි.)

Advertisements

25 Responses

Subscribe to comments with RSS.

  1. R.p. Susantha said, on නොවැම්බර් 16, 2012 at 10:10 පෙ.ව.

    සහතික ඇත්ත. බදු නිසා ලෝකයේ මොනතරම් ව්‍යාපාරික අවස්ථා නැති වෙලා තියනවද? නැතිවෙමින් තියනවද? කොටින්ම ලංකාවට මම හිතන ගැලපෙනම ක්‍රමය තමයි මේ බ්දු නැති ආර්ථික රටාව. හොංකොං දේශය දේශපාලනිකව මොනතරම් අමාරු අඩියක සිටියත් එහි සමෘධිය රඳා පවතින්නේ මේ නිර්බදු ක්‍රමය නිසා. සිංගප්පූරු වරායවල් ලෝකයේ කාර්‍ය්‍යය බහුලම වරායවල් වුණේ නිර්බදු නිසා. හම්බන්තොටට නැව් ගෙන්න ගන්න නිර්බදු ඇති කළාට වැඩක් නැහැ. එහි උපයෝගීතාවය අඩු නිසා. කොළඹ වරාය වගේ වරායක් නිර්බදු ප්‍රතිපත්තිට ගියා නම් ආසියාවේ හොදම වරායක් වෙන්න තිබ්බා. ජනතාවට දෙන වක්‍ර බදු ගැන නම් කියන්න දෙයක් නැහැ. මංකොල්ලයක්.
    මම කියවපු හොදම ලිපියක් මේ.

    • arunishapiro said, on නොවැම්බර් 16, 2012 at 10:26 පෙ.ව.

      R.p. Susantha,

      “හිමිතැන නොදැන මිනිස් ඝාතනයක් කළ ප්‍රංශ විප්ලවය” සමයේ දී උපන් බැස්ටියාට් දුන් දායදය තමයි ඔය. ඔහු ලියූ ඔය අදහස් වසර 100 කින් පසුව ද සත්‍යයක්. ඔහු ඉදිරිපත් කළ අදත් සත්‍යයක් වන අනිත් වැදගත් අර්ථ ශාස්ත්‍ර සංකල්පය තමයි “කැඩුණු ජනේලය.”

      පුරවැසියන් තම ජීවිත හා දරුවන් රැකගන්නට වෙහෙසෙද්දී ආණ්ඩුව රිංගා ගන්නේ බලය වැඩි කරගනිමින් පුරවැසියාගේ පොකැට්ටුවටයි. වසර සියයක් ගියත් මිනිස් ස්වභාවය වෙනස් නොවන නිසා ආණ්ඩුවක් තමන්ගෙ පොකැට්ටුවට විදින එකෙන් අහක් කර ගැනීමත් පොකැට්ටුව අයිතිකාරයාගේ ම වගකීමක්.

  2. deshakaya said, on නොවැම්බර් 16, 2012 at 12:00 ප.ව.

    මෙහෙමයි. බදු එකතු කිරිම කියන දේ අඩු වැඩි නැතිව ලෝකය පුරාම විවිධ රාජ්‍යයන් පැතිරි තියෙන දෙයක් වගේම ඔබ කියන ආකාරයේ නීතිගත සොරකමක්. ජනතාව ඇත්තටම බදු නැතිව මේ ගමන යන්න කැමති උනත් කාලය හා සමාජ මතවාදයන් හරහා බදු අයකිරිම කියන දෙය ස්තිර දෙයක් ලෙස ස්ථානගත වෙලා තියෙන්නේ. ඔබගේ ඉතිරි කොටසේ බදු අය කර ගැනිමෙන් තොරව පාලනයක් ගෙන යන ආකාරය ගැන තොරතුරු ඇතැයි සිතනවා

    • arunishapiro said, on නොවැම්බර් 16, 2012 at 12:33 ප.ව.

      deshakaya,

      //ඔබගේ ඉතිරි කොටසේ බදු අය කර ගැනිමෙන් තොරව පාලනයක් ගෙන යන ආකාරය ගැන තොරතුරු ඇතැයි සිතනවා// මම හිතුවා ඒක කොහොම ද කරන්නේ යැයි පැහැදිලියි කියලා 😀 නැහැයි වගේ නේද? ලියන්නම් ඒ ගැනත් මේ බදු ගැන ලියා අවසානයේ දී.

  3. wicharaka විචාරක said, on නොවැම්බර් 16, 2012 at 12:14 ප.ව.

    අසනීපව දින දෙකක් තුනක් රෝහලේ ලගින්නට වුනා. දැන්නම් හොඳයි. ඒත් වෙහෙසකාරී ගතියක් දැනෙනවා.

    ප්‍රේමදාස උන්නැහේට පොත පිරිනමපු කෙල්ල ලංකාවේ මහාචාර්ය වරියක් වුනානම් කොච්චර හොඳද කියලා හිතුනා. බදු පොල්ල එන්න එන්නම ලංකාවේ මිනිසුන්ගේ ඔලුවට තඩි බාන වාර ගණන වැඩියි. මගේ ගෙදර දුරකථන බින රු 2900 ක් විතර වෙනවා. එයින් රු 780 ක් බදු. බැස්ටීලයට පහරදුන් ආකාරයට පහරදීමට සංවිධානය වෙන්නේ කවදාදැයි ඇඟිලි ගනිනවා.

    • arunishapiro said, on නොවැම්බර් 16, 2012 at 12:46 ප.ව.

      විචාරක,

      ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබේවා යැයි පතන්නෙමි.

      මහාචාර්යවරියක් වුනා කියල වැඩක් වෙන්නෙ නැහැ. ඇමෙරිකාවේ බහුතරයක් සහ ලංකාවේ සෑම රජයේ විශ්ව විද්‍යාලයක්ම හෙන වාමාංශිකයි!!!! මේ අදහස් කියලා නිදහසේ සල්ලි හම්බ කරන්න ඉඩ ලැබෙන්නෙ පුද්ගලික අංශයේ දී.

      බැස්ටීලයට පහර දීම ගැන සත්‍ය කතාව මෙහෙමයි. ඒ වෙනකොට ලුවී රජ්ජුරුවෝ බැස්ටීලයේ සිටි දේශපාලන සිරකරුවන් බොහොමයක් නිදහස් කරලයි තිබ්බෙ. බැස්ටීලයේ වෙඩි බෙහෙත් ගබඩාවක් තියෙනවා කියල දැනගෙන කැරලිකරුවෝ ඊට ගැහැව්වේ ඒවා අල්ලා ගන්නට. සිරකරුවන් 7 දෙනෙක් ඉඳලා ඒ අයව නිදහස් කෙරුනා!!! බැස්ටීලයට පහර දුන් අය දැක්මක් තිබිච්ච අය නෙමෙයි, අනතුරුව එන භීෂණ සමයක ඔවුන් තමන් කියන හැම දෙයටම විරුද්ධ වන රටේ සෑහෙන ජනතාවක් ගිලටිනයට ගෙනියනවා. එහෙම ඔම්ලට් නොහදා බිත්තර කැඩිච්ච කාලයක් නම් ආයෙත් ඉතිහාසයේ සිද්ධ වෙන්නෙ බොල්ෂෙවික් රුසියාවේ දී. එවැනි මෝඩකම් නැවත කවදාවත් සිදු නොවේවා!

  4. eBuwa said, on නොවැම්බර් 16, 2012 at 3:08 ප.ව.

    හොරෙක් ගෙට පැනලා බඩු හොරකම් කරන එක නවත්තන්න පොලිසියට ගෙවන පඩිය බද්දක් විදියට නොගෙන හොරෙක් ආවම කරන දේ විස්තර කරන්න

    • arunishapiro said, on නොවැම්බර් 16, 2012 at 5:19 ප.ව.

      eBuwa, හොරාට ගෙට එන්න බැරිවෙන්න දොර ජනේල ලොක් කරලා තියන්න 😀

      තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ පොලීසියට නෙමෙයි තමන්ටයි කියන තැනින් පටන් ගන්න ඕනෑ.

      ඊ ළඟට කොච්චර පඩි ගෙව්වත් පොලීසියට හොරකම් සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන් කමක් නැහැ, පොලීසියට හැකියාවක් ඇත්නම් ඒ තියෙන්නෙ හොරෙක් අල්ලා ගන්න විතරයි යන්න සත්‍යයක් යැයි පිළිගන්න ඕනෑ.

      රටේ හොරකම් අඩු වුනාට වැඩක් නැහැ එක හොරකමක් නිසා උපහටයා (victim) වෙන්නේ තමන් නම්.

      එක හොරකමක් හෝ සිදුවීම නැති කරගන්න හැකි වූ රටක් ලෝකයේ නැහැ.

      නමුත් තමන්ගෙ දෙයක් හොරකම් කිරීම තමන්ට වළක්වා ගන්න පුළුවන් තමන්ගේ මොළය පාවිච්චියෙන්.

      ඊ ළඟට,

      සමහර විට දැකලා ඇති ඇමෙරිකාවේ වාහන සොරකම් ගැන හදපු Gone in 60 Seconds චිත්‍රපටි 1974 දී සහ 2000 දී. Steven D. Levitt සහ Stephen J. Dubner යන දෙදෙනා ලියන SuperFreakonomics (2009) මෙහෙම විස්තරයක් අඩංගු වෙනවා externalities යන අර්ථ ශාස්ත්‍ර සංකල්පය විස්තර කරන්න. රටේ වාහන හොරකම් කරලා පිටරට නැව් වලට පටවන හොරකම් රැල්ලක් පටන් ගත්ත කාලයේ බිහිවුනා වෙළඳපොලට වාහනයේ සුක්කානම ලොක් කරන Club කියලා පොල්ලක්. මේක සුක්කානමට දැම්මාම පිටතට පේන විදියට හදපු එකක්. සමහර විට නියොන් රෝස පාටින් පවා අලෙවි කරන ලද්දක්. Club එක සුක්කානමේ දැමීමෙන් හොරාට දෙන පණිවිඩය තමයි අනිත් වාහන වලට වඩා මේක හොරකම් කරන්න අමාරුයි කීම. එහි ගැබ්වුන අනිත් පණිවිඩය තමයි මගේ වාහනේ හොරකම් නොකර මේ විජට්ටුව නැති අල්ලපු වාහනයක් පහසුවෙන් හොරකම් කරන්න පුළුවන් කියන්න.

      තවත් විජට්ටුවක් බිහිවුනා LoJack කියල. ඒක කාඩ් කුට්ටමක තරම විජට්ටුවක් රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් එක්ක තියන. එය වාහනයේ තමන් දන්න තැනක හැංගිලා තියෙන්නක්. මේක වාහනය හොරකම් කරන්න එපා කියල පණිවිඩයක් යවන්නේ නැහැ. ඒත් හොරකම් කරගෙන ගියාම remotely activate කරන්නට. ඉතින් වාහනය හොයාගන්න පුළුවන්. සමහර විට පොලීසියට හොරාව අලල්ලා දෙන්නත් පුළුවන්. මේක දැනගත්තම හොරුත් තමන්ගෙ හොරකම කරන විදිය වෙනස් කළා. ඔවුන් වාහනය හොරකම් කරලා රථගාලක නවත්තලා තියන්න පටන් ගත්තා විජට්ටුවක් තියෙනවා දැයි, තමන්ව හඹා එනවා දැයි හොයාගන්නට. දැන් රථගාලේ දී වාහනයේ හොරාව අල්ලා ගන්නෙ නැතිව වාහන හොරු සියල්ලම අල්ලන හැකියාව ලැබෙන්නෙ හොරාට හොරකම් කරපු වාහනේ යන තැනකට අරන් යන්නට ඉඩ දුන්නාම.

      ප්‍රතිඵලය: LoJack දාපු හැම වාහනයක් තියෙන වාහන සියයට දශම කීයකින් ද වැඩිවෙන්නේ අනුව ඒ නගරයේ වාහන සොරකම් ද 20% කින් අඩුවෙලා ගියා. කොයි වාහනේ ද විජට්ටුව තියෙන්නේ කියා දැනගන්න බැරි නිසා වාහන හොරකම පාඩුදායකයි කියල දැනගත්ත. විජට්ටුව මේ විස්තරය කියන පොතේ විදියට ඒ කාලේ $700 ක් විතර. ඒවා දාලා තිබුනේ ද අලුත් වාහන වලින් 2% ක පමණක යැයි සඳහන් වෙන්නේ. ඒත් මේක නිසා විජට්ටුව දාන්නට මිල දී නොගත් අයට පවා කට්ටියක් එය මිල දී ගැනීමෙන් තමන්ගේ වාහන ද ආරක්ෂා වෙන positive externality තත්වයක් ලැබුණ.

      අද GPS සහිත anti-theft විජට්ටු හැම අලුත් වාහනයකම තියෙනවා. වාහන සොරකම් අඩුවෙලා ගියාට සම්පූර්ණයෙන් නතර වෙලා නැහැ.

      ****
      මොන දේ හොරකම් කරන්න ඔබේ ගෙට පනින්නේ දැයි නොදන්නා නිසා, ඒ දේ හොරකම් කිරීම වළක්වා ගන්නේ කෙසේදැයි ලියන්න බැහැනේ!!!! තමන්ගේ ගෙදර හොරකම් කරගෙන යතැයි සිතන තමන්ට අගනා දේවල් මොනවා දැයි දන්නේ තමන් පමණයි. එය ආරක්ෂා කරගන්නා ආකාරය ද සහතික කරන්නට හැකියාව ඇත්තේ තමන්ගේ මොළයෙන් විමසා බැලීමෙන්.

      • Vijitha Herath said, on නොවැම්බර් 16, 2012 at 11:33 ප.ව.

        අරුණි අක්කේ, ඕක නිකං කබලෙන් ලිපට වැටීමක්නෙ. මොකද ඔය කියන ඒවා අපට කර ගන්න බැහැනෙ. කාගෙන් හරි සල්ලි දීලා ගන්න එපායැ. එකත් එතකොට ‘බද්දක්’ නෙ. (ඒ නමින් හැඳින්නුවෙ නැතුවට!) දැන් අක්කාගෙ තියරිය අපි (ආණ්ඩුවෙ) බදු නැති කිරීම පිණිස (ප්‍රයිවට් සෙක්ටර් එකට) බදු ගෙවිය යුතුයි කියලද?

        • arunishapiro said, on නොවැම්බර් 17, 2012 at 9:23 පෙ.ව.

          Vijitha Herath,

          මල්ලී, අපට කරගන්න බැහැයි කියලා වැඩක් පටන් ගත්තොත් නම් කරගන්න බැහැම තමයි.

          සල්ලි දීලා බඩුවක් ගන්න එක බද්දක් නෙමෙයි. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය ඉබේ කෙරෙන්නේ නැහැ. ඒවාට අමුද්‍රව්‍ය හා ශ්‍රමය සමඟින් දියුණු කරගත් මොළේ ද පාවිච්චියට ගන්න ඕනෑ. ඒ උත්සාහයට යන වැයට ලාබයක් එකතු කරලා තමයි බඩුවක අලෙවි මිල නියම වෙන්නේ. ලාබයක් කියන්නෙ බද්දක් නෙමෙයි. මොකද විකුණන බඩුවකින් ලාබයක් තියාගන්නෙ භාණ්ඩය තවත් හොඳින් නිෂ්පාදනයට හැකි විජට්ටු සඳහා ආයෝජනයට, භාණ්ඩය ගැන ජනතාව දැනුවත් කරන්න දැන්වීම් වලට, කුණාටුවක් ඇවිත් කම්හල මුහුදට ගහගෙන ගියාම යළි හදන්න.

          බද්දක් කියන්නෙ ඒවාට සම්බන්ධ නැති අහක ඉන්නා අයෙක් ගාණක් කඩාගන්න එකයි.

          • සුදත් said, on නොවැම්බර් 18, 2012 at 4:57 පෙ.ව.

            සූරිය ගුණසේකරලාගේ ලංකාව වගේ. ලාබය ව්‍යාපාරයේ දියුණුවට යොදා අයිතිකාරයන් දුක් විඳිනවා, පව්.

          • Vijitha Herath said, on නොවැම්බර් 18, 2012 at 10:18 පෙ.ව.

            ලාබය කියන්නෙත් අපට නම් බද්දක් තමයි. දෙකම යන්නෙ අපේ සාක්කුවෙන්නෙ.

            • arunishapiro said, on නොවැම්බර් 18, 2012 at 11:17 පෙ.ව.

              Vijitha Herath,

              ලාබය යනු බද්දක් යැයි දහ සැරයක් දහ විදියකින් හෝ දහ සැරයක් එකම විදියෙන් හෝ කිව්වාට එය බද්දක් යැයි ඔප්පු කරත හැකි සාධකයක් වෙන්නෙ නැහැ.

              තමන්ගේ උත්සාහයෙන් ලබාගත් ඵලයක් හුවමාරුවට නොදී අනුන් සතු යමකට හිමිකමක් කියන්නෙ හොරෙක්. බඩුවක් ගන්න සාක්කුවෙන් සල්ලි වියදම් කරන්න කැමති නැත්නම් තමන් බඩුව හදාගන්න ඕනෑ. එතකොට හැකිවේවි කොතරම් බඩු ගන්න තමනට හැකියාව ලැබේවි දැයි කියල.

              ලාබය යනු නිෂ්පාදකයා තමන්ව සූරා කෑමෙන් හොයාගන්නක් යැයි මාක්ස්ගේ මුලාවට රැවටිච්ච අය අනුන්ගේ පොකැට්ටුවට රිංගන්න තමන්ට හිමිකමක් ඇති වූවක් යැයි සිතූ අයයි. එහෙම සිතපු බොලේෂෙවික්ලා ඔක්තෝබර් අරලයෙන් පසු ලාබ සොයන එක රට්ටුන්ට තහනම් කළා. භාණ්ඩයක් ලාබයක් නැතිව හදන්න ගිය සෝවියට් රුසියාවේ භාණ්ඩ නැතිව ගියා. මිනිස්සු සාගතෙන් පෙළුනා. මිනිස්සුන්ට පෝලිම් වල ලගින්න වුනා. ඒත් මුලාව පතුරුවා නීති පැනවූ නායකයන් පෝලිම් වල ලැග්ගෙ නැහැ, ඔවුන් සාගතෙන් පෙළුනේ නැහැ.

              සමාජවාදී ප්‍රතිපත්ති වලට මිනිසාගේ එදිනෙදා උවමනාවන් වත් සපුරාලන්නට හැකියාව නැහැයි කියල සිරිමාවෝ ආණ්ඩුව කාලයේ දී අපිත් අත්දැකපු දෙයක්. ඒත් එදත් පාලකයන් නම් සාගතෙන් පෙළුනේ නැහැ, පෝලිම් වල ලැග්ගේ නැහැ.

              අකමැත්තෙන් වුනත් නව ආර්ථික ප්‍රතිපත්තියක් New Economic Policy (NEP) ගෙනෙන්නට බොල්ෂෙවික්ලාට සිද්ධ වූවා. NEPmen යැයි හැඳින්වුනේ තරුණ සෝවියට් ආණ්ඩුව විසින් ම වෙළඳාම හා කුඩා පරිමාණයේ නිෂ්පාදනය සඳහා පුද්ගලික අංශයට ඉඩ දීමයි. මොකද 1920 ගණන් වල දී ලෙනින්ගේ ප්‍රතිපත්ති වලින් සාගතයෙන් පෙළුන මිනිස්සු තමන්ට ලැබිච්ච කුසගිනි නිවාගන්න තරම් වත් ප්‍රමාණවත් නොවූ සලාක බඩු වලට එරෙහිව කැරලි කෝලාහල පටන් ගත් නිසා. ව්ලැඩ්මියර් ලෙනින් නව ආර්ථික ප්‍රතිපත්තිය පිහිටුවා “ධනවත් වෙන්නට” ඉඩක් ලබා දුන්නා පුද්ගලික අංශයට. ඉන්පසු පුද්ගලික අංශයට දැඩි බදු ගැහැව්වා. එතැනින් සිද්ධ වූයේ ආණ්ඩුවේ සමූපාකාර වලින් බඩු ගන්නවා වෙනුවට කළුකඩ මුදලාලිලා වැඩි වීම. කවුද කළුකඩ මුදලාලිලාට වැඩි වෙන්න සහාය වෙන්නෙ? පොදු ජනතාවගේ හිත සුව පිණිස යැයි කියා ආණ්ඩුවේ නීති සම්පාදනය කරන හා නීති රකින්නට පත්වෙලා ඉන්නා අයමයි.

              ජෝසප් ස්ටාලින් ඇවිත් නව ආර්ථික ප්‍රතිපත්තිය අහෝසි කළා. මිලියන 20 ක් ඝාතනය කළ අයෙක් වීරයෙක් හැටියට දකින්නට හැකි අය රුසියාවේත් නැතිවෙද්දී ලංකාවේ නම් තවමත් ඉන්නවා. ලංකාවේ “නිදහස්” යැයි කියාගන්නා අධ්‍යාපනය වෙනුවෙන් අයිතීන් ඉල්ලන්නට පෙනී සිටින Lanka Teacher Services Union (LTSU) හි මහලේකම් ජෝසප් ස්ටාලින්!!!! ලංකාවේ අධ්‍යාපනයට දෙවියන්ගෙ පිහිටම තමා!!!! රුසියන් ලේඛනාගාර වලින් ම සොයා ගන්නට ලැබෙන තොරතුරු අනුව 700,000 ක් සාමාන්‍ය සෝවියට් වැසියන් ශ්‍රමිකයන්, ගම්බද වැසියන්, ගෙවල්වල ඉන්නා කාන්තාවන්, ගුරුවරු, පූජකයන්, සංගීතඥයන්, සොල්දාදුවන්, විශ්‍රාමිකයන්, බැලේ නර්තන දක්වන අය, හිඟන අය හිස් ගසා දැමුවේ ද ස්ටාලින් විසින්. [Hiroaki Kuromiya, The Voices of the Dead: Stalin’s Great Terror in the 1930s. Yale University Press, 24 December 2007. ISBN 0-300-12389-2 p. 4]

              තමන් විසින් ම මරන්න නියම කරන ලද ලැයිස්තුවකට අත්සන් කරද්දී ස්ටාලින් කියනවා “කාටද මේ කමකට නැති මිනිස්සුන්ව මතක තියෙන්නෙ වසර විස්සක් ගියාම?” කියලා. කියවන්න Dmitri Antonovich Volkogonov ලියූ ස්ටාලින්ගේ චරිතපදානය.

              පොදු ජනතාවගේ හිත සුව පිණිස කියා බලතණ්හාධිකව ජවිපෙ දියත් කළ ලංකාවේ භීෂණ සමයේ දී මිය ගියේ පොදු ජනතාවම බව ලෝකය දන්නවා.

              ඒත් ස්ටාලින් වගේ ම අනුන්ගෙන් හිඟන හා අනුන්ගෙන් හොරකම් කරන අය හිතන්නේ අතීතය අමතක අපිට යැයි කියලා.

    • Ra said, on නොවැම්බර් 16, 2012 at 10:34 ප.ව.

      @eBuwa,

      හොරෙක් ගෙට පැනලා බඩු හොරකම් කරන එක නවත්වන්න පොලිසියකින් පුලුවන් ද? හොරකම සිදු උනාට පස්සෙ පොලිසිය ඇවිත් කාවද සැක කියා අසා ඔහුව අල්ලාගෙන ගොස් වරද පිලිගන්නා තුරු පහරදීමට නම් මේ තරම් බදු ගෙවිය යුතුද?

      ඊට වඩා හොරාට ගෙට පනින එක අපහසු කරන ක්‍රම විදිහට මුර බල්ලෙක් හැදීම, නිවස වටා තාප්පයක් ඉදි කිරීම, ඉලෙක්ට්‍රොනික ආරක්ෂක උපකරණ යෙදීම වැනි දෑ සාර්ථකයි.

  5. Ra said, on නොවැම්බර් 16, 2012 at 10:45 ප.ව.

    අරුණි, බදු නැතුව කරන්න අපහසු දේවල් තිබෙනවා නේද? උදා: මහාමාර්ග ඉදිකිරීම, අභ්‍යවකාශ තරණය, ජාතික ආරක්ෂාව…

    • arunishapiro said, on නොවැම්බර් 17, 2012 at 9:02 පෙ.ව.

      Ra,

      බදු වලින් මහජන පහසුකම් සපයනවා කියද්දී, බහුතර මිනිස්සු පුරුද්දට හිතන්නෙ මගේ මුදල් නෙමෙයි ඊට වැය වෙන්නෙ ධනවත් අයගෙ මුදල් කියල. එතනයි මුලාව. අන්තිමේ දී වැඩියෙන් මුදල් නාස්ති වෙන්නෙ හැමෝම මේ මගේ සල්ලි නෙමෙයි වියදම් කරන්නෙ කියලා හිතන නිසා. ඊට පස්සෙ හැමෝම ණය වෙලා දුප්පත් වෙන්නේ තමන් යැයි දකින්නට හැකි වූ දාට මහජන පහසුකම් නොමිලේ දෙන එකට වඩා මුදල් ගෙවා ලබාගන්නට කැමති වෙනවා.

      මේවායෙන් ජාතික ආරක්ෂාව තමයි අපහසු දේ. ඒත් අද ලෝකයේ ම අනිත් රටවල් වලට වඩා වැඩියෙන් බදු මුදල් ජාතික ආරක්ෂාවට යට කරන ඇමෙරිකාවත් පුද්ගලික අංශයට කොන්ත්‍රාත්තු දෙන්නෙ. අද අභ්‍යාවකාශ තරණයත් පුද්ගලික කොම්පැණි වලින් වඩා ලාබයෙන් කරගෙන යන්නට සමත්.

      ඇමෙරිකාවේ මහා මාර්ග හා රේල් පාරවල් බොහොමයක් ඉදිවුනේ පුද්ගලික අංශයෙන්. ඒවා නිසා රටේ සියළු පාරිභෝගිකයන්ගේ බඩු මිල අඩු වුනා. මෙහෙ තවමත් දුර බැහැර පළාත් වල වෙළඳ සංකීර්ණ සහ නිවාස ඉදි කරන විට මහා මාර්ග ඉදි කිරීම පැවරිලා තියෙන්නෙ ඒවා හදන පුද්ගලික කොම්පැණියට වැයෙන් බාගයක් උසුලන විදියට. මෙහෙ ලොකු වෙළඳ කොම්පැණි, වෝල්මාට් වගේ ඒවා ඉදි කරද්දී ඔවුන් සැතපුම් ගණන් මහා මාර්ගය හදලා දෙනවා බඩු ගන්න අයට එන්න පහසු වෙන්න. වෙළෙන්ඳාට බඩු විකුණා ගන්නට ඉඩක් ඇත්නම් බඩු ගන්න එන අයට පාරවල් හදලා දෙන එක නොකර ඉන්නේ නැහැ. පළාතේ ව්‍යාපාර වලින් කෙළින්ම පාරවල් හදන්නට යැයි මුදල් අය කරන්නට පුළුවන්, නොපෙනෙන ගණන් ඉල්ලා තමන්ගේ පොකැට්ටු වලට දා ගන්නට බදු අය කරනවාට වඩා.

      1990 ගණන් වල දී සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් වෙනස් මඟක යන්න පටන් ගත්ත ඉන්දියාව එහි මහා මාර්ග හා රේල් පාරවල් ඉදි කිරීම හා පාලනය පුද්ගලික අංශයට පවරන්න පටන් ගෙන. Gautam Adani ගේ අක්කර 4,500 ක නිසරු පස් ඇති $11,000 කට ගත්තු මඩ ගොහොරුවක් අද Adani Enterprises නමින් ඩොලර් බිලියන 7 ක කොම්පැණියක් thermal plants දෙකක් හා වරායකුත් තියෙන. එයා වයස 31 දී ඉඩම ගත්තෙ. 2010 දී එයා ඉන්දියාවේ ඉහළම ධනවතුන් අතර 7 වැනියා වෙනවා.

      පුද්ගලික වෑයමක අවදානම අරගත්තම ධනවත් වෙන අයෙක් ගැන අනිත් අයට ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඒත් බලන්න ඕනෑ එයා එහෙම අවදානමක් ගත්ත නිසා කී දෙනෙක්ට වෙනත් ආදායම් මාර්ග උපයන්න හැකියාව ලැබුණා ද යන්නයි. ආණ්ඩුවක් වගේ අයවැය හිඟයක් ණය වලින් ගෙවන්න පුද්ගලික ව්‍යාපාරයකට බැහැ. ඒ නිසා පුද්ගලික ව්‍යාපාරයක් සැම විටම පුරවැසියන් ණය කරන්නෙ නැහැ.

  6. Kenji @ Japan said, on නොවැම්බර් 16, 2012 at 11:22 ප.ව.

    දුප්පතුන් එදිනෙදා පරිභෝජනයට ගන්නා දැ වලට බදු නොගසා ,මධ්‍යසාර/දුම්වැටි වලට අධික බදු ගසා,බදු නොගසන දේවලින් වන පාඩුව පියවා ගන්නට බැරිද?මොකද බොන එකා කීය දීල හරි බොනවා,බැරිම කෙනෙක් හිටියොත් එයින් මිදිලා නිරෝගී හරි වෙනවනේ.

    • arunishapiro said, on නොවැම්බර් 17, 2012 at 9:18 පෙ.ව.

      Kenji @ Japan,

      මධ්‍යසාර හා දුම්වැටි හදන ව්‍යාපාර වලට (subsidies) සහනාධාර දෙන බවත් දන්නවා ද?!!!!! ඒවා ඔක්කොම අයින් කරන්න ඕනෑ, බදුත් එපා සහනාධාරත් එපා කිව්වම විතරයි බඩුවේ මිල කොච්චරක් දැයි දැනගන්නට ලැබෙන්නේ. එවිට පමණයි රට්ටු ණය නොකර වෙළෙන්ඳාට භාණ්ඩයක් නිෂ්පාදනය පුළුවන් වෙන්නෙත්. අයෙක් හදන්නේ කුමක් ද මිල දී ගන්නේ කුමක් දැයි තීරණය කරන්නයි, ඒවාට නීති ගෙන්නයි ගිය ගමන් වෙන්නේ වෙළඳපොල විකෘතියට ඇඟිලි ගැසීමක්. ඒවා විකෘති නොකර පාරිභෝගිකයන් තීරණය කරද්දී හැම විටම පාරිභෝගිකයා වඩා නුවණැතියි යන්න පෙන්නුම් කරනවා.

  7. චතුර විජේකෝන් said, on නොවැම්බර් 17, 2012 at 12:31 පෙ.ව.

    ඉතා හොඳ ලිපියක්.. මටත් හිතෙනවා.. අපේ වැඩ අපටම කරගන්න පුළුවන්නම් මොකටද අපි බදු ගෙවන්නේ කියලා.. ඒත් දැන් මේ බදු රටාව සංකීර්ණ වෙලා.. අක්කා කිවුවා වගේ සේවයක් ලබාගන්න ඕන නම්.. ඒකට බද්දක් ගෙවන එක වෙනම දෙයක්.. ඒත් මෙතන තියෙන්නේ.. සේවය ලබන කෙනාත්, නොලබන කෙනාත් බදු ගෙවන එක….

    අනිත් කාරණය අපි බදු ගෙවනවා නම්.. එයට අදාල සේවා නියමිත පරිදි ලබා ගන්නට අපට අයිතියක් තිබුණත්.. අපට එහෙම අයිතියක් ලැබෙන්නෙ නැති එක.. උදාහරණයක් විදිහට.. අවුරුදු පතා රුපියල් 2000 ක් විතර අපි ප්‍රාදේශීය සභාවට ගෙවන වරිපනම් බද්ද.. ඒ වෙනුවෙන් අපට කිසිම සේවයක් ලැබෙන්නේ නෑ නොවැ..

    වක්‍ර බදු වලදී බරපතලම සූරාකෑම සිද්ධවෙන බව ඇත්ත.. හැබැයි.. ඒක සමස්ථ ප්‍රජාවටම බලපාන නිසා පොඩි සාධාරණයකුත් තියෙනවා වගේ පේනවා.. අවුල තියෙන්නේ.. මේ බද්ද.. ඕනවට වඩා වැඩි එකයි..

    හොඳයි අක්කා විසඳුමකුත් දෙන්නකෝ බලන්න.. සමහර විට මහින්ද මාමා ක්‍රියාත්මක කරයි.. එයා හරි හිත හොඳ මනුස්සයා.. හොඳම තාත්තා නොවැ..

    තමන්ගෙ පුතාගේ ආසාවට මුළු රටටම ගෙන්වන රේසිං කාර් වල බදු අඩු කරලා දෙන්න පුළුවන් අහවල් තාත්තටද මං අහන්නෙ..

    • arunishapiro said, on නොවැම්බර් 17, 2012 at 9:29 පෙ.ව.

      චතුර විජේකෝන්,

      //වක්‍ර බදු වලදී බරපතලම සූරාකෑම සිද්ධවෙන බව ඇත්ත.. හැබැයි.. ඒක සමස්ථ ප්‍රජාවටම බලපාන නිසා පොඩි සාධාරණයකුත් තියෙනවා වගේ පේනවා.. // ඒක තමයි ලොකුම මුලාව. අපි හිතන්නෙ අපි අතර වියදම බෙදිලා යනවාය කියලයි. ඒ නිසා සාධාරණයක් තියෙනවා කියල. ඒත් චක්‍ර බදු වලින් වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ දුප්පත් අයටයි, ඔවුන් ඕනෑම රටක බහුතරය නිසා. චක්‍ර බදු වැඩිවීමෙන් දුප්පත් බවින් ගොඩ එන්නට (upward mobility) ඉතා අපහසු කරනවා.

      //සමහර විට මහින්ද මාමා ක්‍රියාත්මක කරයි.. එයා හරි හිත හොඳ මනුස්සයා.. හොඳම තාත්තා නොවැ..// 😀

  8. maathalan said, on නොවැම්බර් 17, 2012 at 1:33 පෙ.ව.

    බදු නැතිව දියුණු උනු රටකට හොඳ උදාහරණය තමයි ඩුබායි. මෙහේ නම් වැඩවසම් යුගයට නේ යන්නේ. තන් බද්දත් ගහයි ළඟදිම.

    • arunishapiro said, on නොවැම්බර් 17, 2012 at 9:32 පෙ.ව.

      maathalan,

      ඇයි ඉතින් ඇමෙරිකාව. 1776 දී පටන් ගත්ත රට 1913 වෙනකම් ආදායම් බදු අය නොකරපු රටක්. වඩාත්ම රට සංවර්ධනය වූයේ ඒ කාලයේ දී. අදත් ලොව ආදායම් සහ චක්‍ර බදු අඩුම රටක්.

  9. magenama said, on නොවැම්බර් 20, 2012 at 12:38 පෙ.ව.

    අක්කේ, (indirect tax කියන එක අපි ලංකාවෙදී කියන්නේ නම් වක්‍ර බදු කියලා) වක්‍ර බදු ආණ්ඩුවක් පණවන්න මූලිකම හේතුව තමයි ඒකෙන් බොහෝ දෙනෙකුට නොදැනීම ඉහල ආදායමක් ගන්න හැකි වීම.අදටත් ලංකාවේ ඉහලම බදු ආදායම් උත්පාදකය වෙන්නෙ VAT.
    හැබැයි අධ්‍යාපනයට 6% වෙන් කිරීම වෙනුවෙන් කවුරු බදු ගෙවනවද කියන එක ලොකු සමාජ සංසිද්ධියක් නොවෙන්නෙ ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නෙ යම් සමාජ ස්ථරයක ඉන්න මිනිස්සුන්ට ඊට ඉහල සමාජ ස්ථරයට විතැන් වෙන්න තියෙන පහසුම හා විශ්වාසවන්තම ක්‍රමය වීම.

    • arunishapiro said, on නොවැම්බර් 20, 2012 at 8:24 පෙ.ව.

      magenama,

      ඔව් රේස් වාහන වලට ඇති බදු සහන ගැන හැමෝම කතාබහ කළාට මේ සැරේ වැඩියෙන්ම වක්‍ර බදුයි ඉහළ ගිහින් තියෙන්නෙ කියලාත් ප්‍රවෘත්තියක් දැක්කා මෙහෙ දාපු එකක්.

      මල්ලි අධ්‍යාපනය ගත්තම ඔයා කියන “යම් සමාජ ස්ථරය” නම් මැද පංතියයි. අධ්‍යාපනයට ඉතාමත් දුප්පත් අයට පිවිසෙන්න ඉඩක් නැහැ. ඒ අයට ඉහලට යන්න පහසුම හා විශ්වාසවන්තම ක්‍රමය වෙලා තියෙන්න විදෙස් රටවල ගෘහ සේවයට හා අනිකුත් ඇඟ වෙහෙසන කම්කරු රැකියාවලට යෑම. ඒ අයගේ බදු මුදල් වලින් තමයි මැද පංතියේ අයට ඉහල පංතියට යන්න පාර හැදෙන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: