අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳ හොරුන් ගෙන් බේරෙන්න යැයි ලෝක හොරු පත් කර ගැනීම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 17, 2012

සිංහලෙන් කියවන්නාගේ සිත්වල පැල පදියම් වී තිබෙන්නේ වෙළෙන්ඳන් හොරකම් කරන්නේය ආණ්ඩුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේය යන දෝෂ සහගත චින්තනයයි. හොරුන් වනාහී හැම ක්ෂේත්‍රයකම ඉන්නා බව හා ඔවුන් සහමුලින් නැති කර දැමිය නොහැකි බව නොදකිති. හොරු අල්ලන්නට යැයි කියා පත්කර ගන්නා ආණ්ඩු සාධාරණයක් කරනවා යැයි කියමින් දුප්පත් ජනතාවගේ පොකැට්ටුවට විදින බව දකින්නේ නැත.

පල් හොරු කන්ද නමින් ලබුගම වතුයායේ ස්ථානයක ආදී මානවයන්ගේ වාසස්ථානයක් තිබුණා යැයි සාක්ෂි සොයාගෙන ඇත. මෙම ස්ථානයට ‘පල් හොරු කන්ද’ නම වැටෙන්නේ අතීතයේ පටන් හොරකම තිබුණ නිසා නොවේ ද?

යටත් විජිත සමයට පෙර රට ඇතුලත තිබූ වෙළඳාම ගැන ලියා ඇත්තේ ඩබ්ලිව්. අයි. සිරිවීර විසිනි. අනෙක් හැම රටකම මෙන් එක පළාතක බඩු රැගෙන වෙනත් පළාත් වල විකුණන්නට ගිය වානිජ්‍යයේ යෙදුන ලාංකිකයන් ගැන එහි සඳහන් වෙයි. ගම්පොළ රජ දරුවන් සමයේ දුප්පතෙකුට වෙළඳාමේ යෙදී ධනවත් වෙන්නට සමාජයේ අවස්ථාව තිබුණා යැයි ජෝති සිටාන නම් වූ අයව ඔහු සඳහන් කරයි.

13 වැනි සියවස තෙක් වූ මහාතිත්ත නමින් ප්‍රධාන වෙළඳ වරායක, මුතු මැණික් කුළුබඩු මෙන් අලි ඇතුන් ඇතුළු අන්තර්ජාතික වෙළඳාම පැවතිණ. එතරම් ඈත අතීතයක පටන් රට රටවල් හා වෙළඳ ගණුදෙනු කරන්නට පුරවැසියා සමත් වූවා නම් අන්තර්ජාල පහසුකම් ඇති අද කුළුබඩු විකුණන්නටැයි කියා ආණ්ඩුවේ දූත පිරිසක් ජනතාවගේ සල්ලි වැය කරමින් පිටරට යන්නේ කුමට ද?!!!

මාක්ස්වාදීන් දකිනා ලෙසින්, පුරාණ ලංකාවේ ගම් ස්වයංපෝෂිත වූ ඒවා, එනම් ගමේ රටේ වැවුන හා හදාගත් දැයින් පමණක් කා බී ජීවත් වූ ජනතාවක් සිටියේ නැතැයි ඵෛතිහාසික තොරතුරු පෙන්වන බව සිරිවීර කියයි.

සාමාන්තපාසාදිකාවේ මස් හා රසකැවිලි විකුණු ජීවක්ඛායිකා-බත්තපාචනාගාර නමින් ආහාර විකුණූ කඩවල් තිබුණ බව ඔහු ලියයි. කුරුණෑගල වෙළඳ වීදි තිබුනේලු. තවලම නමින් වූයේ වෙළඳ බඩු ගැල් පටවා විකුණන්නට ගෙන යාමයි.

වෙළඳාමේ යෙදුන අය පිහිටුවා ගත් ස්වාධීන සංගම් වල බැංකු ක්‍රම පවා පැවතිණ. මුදල් සේ ම වී හා ඇට වර්ග ගබඩා කරන්නටත්, ඒවා ආරක්ෂා කරන්නටත්, ඒවායේ නිවැරදි වාර්තා තබන්නටත්, අනිත් වෙළඳුන් හා එකමුතුව කටයුතු කරන්නටත් ඔවුන් සමත් වූහ.

මිනිසා වානිජ්‍ය මධ්‍යස්ථාන පිහිටුවා ගෙන වෙළඳාමේ යෙදෙමින් ලාබ උපයද්දී පාලකයන් බදු ගැසීමත්, රෙගුලාසි ගෙන ඒමත් සිරිත බව රොනල්ඩ් රේගන් කියන්නට පෙර ලංකාවේ ඉතිහාසය එය පෙන්නුම් කරයි.

පෝය දවසේ විවෘතව තබන කඩයක් මහියංගන ආරාමයේ පහන් පත්තු කරන තෙල් සඳහා ‘පද්ද’ ගෙවිය යුතුය. එය නොකරන්නේ නම් දඩයක් වැදී ඒ දඩ මුදල පහන් තෙල් වෙනුවෙන් යොදයි. පෝය දිනවල කඩ වැසීම සාමාන්‍යයක් වූවත් දඩයක් ගෙවා මෙසේ විවෘතව තබාගත හැකිවිය. විකුණන බඩු වලින් එකතු කරන බද්ද රජුට යැවිණ. එහෙත් වෙළඳපොල පැත්තෙන් වෙනතක යන භාණ්ඩ වලට බදු වැදුනේ නැත.

සම්ප්‍රදායික ‘පෙර සිරිත්’ අනුව වෙළන්ඳන් විසින් රජුට බදු මුදල් යැවීම සේ ම රජුගේ නිලධාරීන් විසින් ද බදු එකතු කරන ලදි. 10 වැනි සියවසේ හෝපිටිගම දී බදු එකතු කරන ලද්දවුන් ‘පඩි ලද් දද නායක’ නමින් ද, නව වැනි සියවසේ මහාතිත්ත හි නිලධාරීන් ‘මහාපුතුලද්දන්’ යැයි නම් ලබා ඇත.

තමන්ගේ නමින් රත්තරන් හා රිදී කාසි නිකුත් කර ඇති ප්‍රථම සිංහල රජතුමා පළමුවැනි විජයබාහු වෙයි. 12 වැනි සියවස දී පළමුවැනි පරක්‍රමබාහු කහවණු මුදල් හැටියට නිකුත් කළේ වෙළඳාමට යැයි පැහැදිලිව චූලවංශය සඳහන් කරන බව සිරිවීර කියයි.

භාණ්ඩ හුවමාරුව මුදල් නැතිව සිද්ධ වෙද්දී පැත්තක සිට කොටසක් ගැනීම දුෂ්කර යැයි රජු දකින්නට ඇත!!!! මුදල් පරිහරණයට මිනිසා පුරුදු වන තෙක් බාගයක් කාසි වලින් හා බාගයක් භාණ්ඩ වලින් බදු අය කරන ලදි.

අත්තිකාරම්, සත්කාර, පඬුරු යනාදී වචන ද වෙළඳ ගණුදෙනු වලට එකතු වෙයි.

හතරවැනි උදය රජු සමයේ බදුලු ශිලා ලිපියක සඳහන් හෝපිටිගම යනු රෙගුලාසි බොහොමයක් තිබි වෙළඳ නගරයකි.

රජවරුන් වෙළඳාමට ඇඟිලි ගහන්නේ බර කිරන තරාදි, විකුණන ප්‍රමාණයන් හා වෙනත් වෙළඳ පිළිවෙත් වලට රෙගුලාසි ගෙන එමිනි. මුතු මැණික් හා අලි ඇතුන් විකිණීම රජුන්ට පමණක් තිබි අයිතියකි. 10 වැනි සියවස වෙද්දී වානිග්‍රාම නම් ස්වාධීන වෙළඳ සංගම් අතර සිද්ධ වූ සියළු ගණුදෙනු රජුගේ අධීක්ෂණය යටතේ සිදු වූ බව බදුලු ටැම් ලිපිය කියයි.

සුමංගල විලාසිනි හි බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවේ “කය වික්කයා” යන්නේ අර්ථය භාණ්ඩයක් මිල දී ගැනීම හා විකිණීම යන ගණුදෙනුවේ දී සිද්ධ වූ වංචනික ක්‍රියාවන් ගැන බව කියන්නේ “පුරාතන ශ්‍රී ලංකාවේ අපරාධ, විනිශ්චය හා දඬුවම්” (2011) පොත ලියන විමලසේන හෑලෝගම විසිනි. කුඩා තරාදි, මහ තරාදි යැයි දෙකක් හදාගෙන තමාට බඩු කිරා ගැනීමේ දී මහ පඩියෙන් ද අනුන්ට දීමේ දී කුඩා පඩියෙන් ද කිරා දෙයි. රත්තරන් ගෑ බඳුනක් සමඟින් ලෝකඩ බඳුන් රැගෙන යන වෙළෙන්ඳා රන් බඳුන පරීක්ෂාවට දී අනිත් බඳුන් තොගය ද සැක නොකරන පාරිභෝගිකයාට විකුණූ විස්තර ඉතිහාසයේ සටහන්ය. තරාදි වල යටින් හිල් හදා තමනට පුරවද්දී එලෙසින් ද අනුන්ට බෙදද්දී ඒවා වසා ද වෙළෙන්ඳා වංචනික කටයුතු කර ඇත.

වෙළඳපොලට බලපෑම් කළ ප්‍රධාන රාජ්‍ය ආයතන ලෙසින් මන්ද්‍රන්ඩින්, විණිග්‍රාම සහ මහග්‍රාම යන මණ්ඩල තුනක් ගැන හෑලෝගම කියයි. නිලධාරීන් විසින් කළ අකටයුතු නවත්වන්නට පැනවූ රෙගුලාසි ගැනත් සෙල් ලිපි වල සඳහන් වෙයි. නිලධාරීන් පිණිස වූ නීති අතරින් කිහිපයක්: තීරණය නොකළ බදු වලට දඬුවම් නොකළ යුතුය, ගමට පැමිණි රාජ්‍ය නිලධාරීන් රා, මස්, කිරි හා තෙල් ආදිය ලබා නොගත යුතුය, බඩු රැගෙන ගමට එන තවලම් ගොනුන් නොගත යුතුය, හොරට විකුණූ බඩු වලට දෙගුණයක් බදු ගැනීම විනා කරදර නොකළ යුතුය!!!! (පිටු 81)

රජයේ මැදිහත් වීම් වලින් සාධාරණත්වයක් සිද්ධ වෙනවා දැයි අද සමාජයේ කටයුතු දිහා අවංකව බලන අයෙකුට ඇත්ත ඇති හැටියෙන් හිතාගත හැකිය. වෙළෙන්ඳා විකුණන භාණ්ඩය හෝ සේවය කෙසේ දැයි කියන්නට මිල දී ගන්නාට හැකියාව ඇත. වැඩිකල් නොගිහින් බාල බඩු හා සේවා සපයන වෙළඳුන්ට වෙළඳපොලේ තැනක් දෙනවා ද නැද්ද තීරණය පාරිභෝගිකයා සතුය.

එහෙත් වෙළඳ ගණුදෙනු අතරමැදට පැන රජයේ රෙගුලාසි සහ බදු නිලධාරීන්ගේ අන්ඩතේට්ටම් වලට ලක්වෙන අය ඒවා මොනවාදැයි නිසැකව දනිති. බාල භාණ්ඩ හා සේවා සපයන වෙළෙන්ඳාට රජයේ නිලධාරීන්ට ‘අත්තිකාරම්’ ‘සත්කාර’ හා ‘පඬුරු’ ගෙවා වෙළඳපොලේ වැජඹෙන්නට හැකි බව දකිති. එහෙත් හේතුව දකින්නට බැරි අය දකින්නේ ඵලය පමණකි. ඒ ආණ්ඩුවට හේත්තු වී බාල භාණ්ඩ හා සේවා සපයා පාරිභෝගිකයා රවටන කපටි වෙළෙන්ඳාය. හේතුව නැති කරගත්තොත්, එනම් ආණ්ඩුවට මැදිහත් වන්නට ඉඩක් නුදුන්නාම, ඵලය නැති කරගත හැකි යැයි, කපටි වෙළෙන්ඳා ගෙදර යවත හැකි යැයි, බුදුන් අදහන බහුතරයක් ඉන්නා රටේ අයට වඩාත්ම පහසුවෙන් වැටහිය යුත්තක් නේද?!!!!!!!

අද පාලකයන්, පාලකයන්ට සහාය වෙන පාර්ලිමේන්තුව, ඒ රෙගුලාසි ක්‍රියාත්මක කරන නිලධාරීන්, ඔවුන් විසින් ම නීතියෙන් අනුමත කරගත්තා වූ රොබින් හුඩ් ක්‍රියා කලාපයෙන් පාරිභෝගිකයා හා වෙළෙන්ඳා අතරමැදට පැන වැඩවසම් යුගයේ මෙන් කොල්ලා කමින් සිටිති. ජනතාව තමන්ට සාධාරණයක් වෙනවා යැයි මුලාවෙන් සතුටින් සිටිති.

වෙළෙන්ඳාගේ හොරකම් කිරීම නවත්වන්නට බලය දී ඇත්තේ අහක ඉඳන් හොරකම් කරන්නට හැකි පිරිසකටය. මගෙන් නෙවෙයි වෙළෙන්ඳන් ගෙන් ඔවුන් හොරකම් කර මට සාධාරණයක් සලසනවා යැයි නොදන්නාකම නිසා අයෙක් සතුටු වෙයි. එහෙත් නොපෙනෙන දේ දකින්නට බැරි නිසා, සිද්ධ වන්නේ එයා මිල දී ගන්නා බඩුවේ අනගිත්වය අඩුවීම හා මිල වැඩි වීමෙන්, එයාගේ ම පොකැට්ටුවෙන් වැඩියෙන් හොරකම් කිරීම බවත් එයා නොදැකීමයි.

මෙය හේතුව හා ඵලය නොදැක ගැලවෙන්නට නොහැකි ‘පෙර සිරිතකි’.

විජයබාහු රජුගේ කාසි පින්තූරය මෙතැනින්. එහි තවත් කාසි පින්තූර හා කාසි ගැන අගනා විස්තර සඳහන්.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. buwa said, on නොවැම්බර් 17, 2012 at 9:08 ප.ව.

    //භාණ්ඩ හුවමාරුව මුදල් නැතිව සිද්ධ වෙද්දී පැත්තක සිට කොටසක් ගැනීම දුෂ්කර යැයි රජු දකින්නට ඇත!!!! මුදල් පරිහරණයට මිනිසා පුරුදු වන තෙක් බාගයක් කාසි වලින් හා බාගයක් භාණ්ඩ වලින් බදු අය කරන ලදි.//

    එහෙම තත්වයක් නම් ඇති වෙන්නේ නැ , රජවරු කියන්නෙත් ජනතාවගෙන් යැපුන ඇයින් තමයි කොහොමත් , තමන්ගේ කොටහ මොනවයින් හරි ගන්න ඒ අය සමත් .

    • arunishapiro said, on නොවැම්බර් 18, 2012 at 8:58 පෙ.ව.

      buwa,

      එහෙම තත්වයක් තමයි අද ලෝකයේ ඇතිවෙලා තියෙන්නේ. වැඩේ අද ඉන්නේ රජවරු නෙමෙයි කියන එක ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ට අමතක වෙලා ගිහින්. පාලකයන් නම් ජනතාවගේ සල්ලි වලින් යැපෙන සේවකයන් මිසෙක රජවරුන් වැනි නායකත්වයක් ගන්නට අනවශ්‍ය වූ පිරිසක් හැටියට දකින තෙක් ඔවුන්ට නියමිත වූ සීමිත කාර්ය භාරය නොකර ඔවුන් රටවල් පරිහානියට ඇදගෙන යන විශාල හානියක් කරන බව දකින්නේ නැහැ.

      රජ කෙනෙක් උප්පත්තියෙන් “තමන්ගෙ කොටහ” ගන්න අවසරයක් ලැබුවා වැඩවසම් යුගයේ. අද තමන්ව පත්වෙලා තියෙන සේවය ඉටු නොකර “තමන්ගෙ කොටහ” විතරක් නෙමෙයි “අනුන්ගේ කොටහ” ත් එයාලගෙ සාක්කුවට දාගන්නට බලය දීලා තියෙන්නේ නොදන්නාකම නිසා පුරවැසියාම විසින්.

  2. රාජ් said, on නොවැම්බර් 17, 2012 at 10:14 ප.ව.

    සිද්ධ වන්නේ එයා මිල දී ගන්නා බඩුවේ අනගිත්වය අඩුවීම හා මිල වැඩි වීමෙන්, එයාගේ ම පොකැට්ටුවෙන් වැඩියෙන් හොරකම් කිරීම බවත් එයා නොදැකීමයි.//
    මේක කවදාවත් අපේ මිනිස්සු තේරුම්ගන්න එකක් නෙවේ.

    පුරාණ ලංකාවේ ගම් වෙනවෙනම ස්වයංපෝෂිත උනායයි කියන්න අමාරුයි. ඒත් සීමිත අවශ්‍යතාවයන් ටිකක් තිබුන සමාජයක් විදියට රට ස්වයංපෝෂිත වෙන්න ඇති‍. වෙළඳාම නං ජාතක කතා කියවුනු කාලෙ තරම්ම පැරණියි නොවැ. බදුත් ඒකාලෙ ඉඳලම තිබුන.

    • arunishapiro said, on නොවැම්බර් 18, 2012 at 9:18 පෙ.ව.

      රාජ්,

      ලෝකේ පැතැලි නැහැයි කියලා අපේ මිනිස්සු තේරුම් ගන්න එකක් නැහැ කියල හිතපු අය හිටියා.

      එන්නත් වලින් බෝවෙන රෝග වැළඳීම හා පැතිරීම වළක්වා ගන්නට හැකිවෙන්නේ නැහැ කියල හිතපු අය හිටියා.

      1977 දී Ken Olsen නැමති Digital Equipment Corporation හි CEO සහ නිර්මාතෘවරයා කිව්වා “කවර පුද්ගලයෙකුට හෝ ගෙදර පරිගණකයක් තියාගන්න කොහෙත්ම උවමනාවක් ඇත්තෙ නැහැ,” කියලා.

      දැන් සමාජවාදීන් උඩ පැනගෙන එන්නේ එක කාලයකට එහෙම කියනවා පස්සෙ කියපු දේවල් එහෙම නැහැයි කියනවා කියාගෙන. සමාජවාදීන් සලකන්නේ මිනිසාගේ හැකියාවන් එක හා සමානයි, ඒ හැකියාවන් දියුණු වුනේ මිනිහා ඉන්න සමාජය තුලින් කියල. ඒ අයට දකින්න බැහැ ලෝකෙ පැතලි නැහැයි කියලා පෙන්වා දුන්නේ ද පැතලි යැයි පිළිගත් සමාජයේ ම සිටිය අයෙකු බව. එන්නත් වලින් බෝවෙන රෝග වළක්වා ගන්නට හැකි යැයි දැක්කේ එසේ නොහැකි යැයි සිතූ සමාජයේ වාසය කළ අයෙක්ම බව. කෙන් ඔල්සන් මෙහෙම කිව්වේ ඇපල් කොම්පැණිය වගේ කොම්පැණි පුද්ගලික පරිගණක වෙළඳපොලට දාන්න හදනා විට බව.

      සත්‍යයක් අපේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැති එකක් නොවේ කියා අසත්‍යයේ ගැලී සිට පරිහානියට යෑම මොළයක් ඇති මනුෂ්‍යයාට ආඩම්බර විය හැකි වූවක් ද?!!!!!!

      ඒ කාලේ දරුවන් පණ පිටින් වැළලුවා කියල තවමත් එහෙම කරනවා ද?!!!!!! නැත්නම් පුද්ගල අයිතිය හා දේපල අයිතිය දැන ගත්තාම වෙනස් විදියකට හැසිරෙනවා ද?!!!!!

  3. R.p. Susantha said, on නොවැම්බර් 18, 2012 at 2:17 පෙ.ව.

    ඔබගේ වටිනා අදහස හොදින් කියෙව්වා. ඔබෙන් යමක් උගත්තා. හොද ලිපියක් අක්කා. ස්තුතියි!!!!

    • arunishapiro said, on නොවැම්බර් 18, 2012 at 9:22 පෙ.ව.

      R.p. Susantha,

      අපි අපේ දරුවන් හදා ගන්නවා සේ ම පාලකයන්වත් හදාගත යුතුයි. අපි ඔවුන්ව පත් කරලා තියෙන්නේ අපිට සේවය කරන්න. එහෙම නම් අපි මහන්සියෙන් හම්බ කරන ඩිංග (මොකද අපි එක් අයෙක් හම්බ කරනවාට වඩා වැඩියෙන් පාලකයන් රට එක්කම උගස් කරලා වියදම් කරනවානේ) උදුරා ගන්නට එපා ලැජ්ජ නැද්දැයි අහන්න අපි එය සිද්ධ වෙන්නේ කෙසේදැයි හා එය නවත්වාගන්නේ කෙසේදැයි (සීමිත කාර්ය භාරයක් කරන්නට පමණක් වගකීමක් ගන්නා පාලකයන් පත්කර ගැනීම) අපි දන්නා කියන හැම දෙනාටත්, අද ඉන්න පාලකයන්ටත් මතුවට පත් කරගන්නා පාලකයන්ටත් කියා දිය යුතුයි.

  4. සුදත් said, on නොවැම්බර් 18, 2012 at 4:52 පෙ.ව.

    //මාක්ස්වාදීන් දකිනා ලෙසින්, පුරාණ ලංකාවේ ගම් ස්වයංපෝෂිත වූ ඒවා, එනම් ගමේ රටේ වැවුන හා හදාගත් දැයින් පමණක් කා බී ජීවත් වූ ජනතාවක් සිටියේ නැතැයි ඵෛතිහාසික තොරතුරු පෙන්වන බව සිරිවීර කියයි.?//

    ලංකාවෙ තිබිල තියෙන්නෙ අතිශය කර්කශ වූත් දුෂ්කර ජීවන රටාවක් සහිත වූත් සමාජයක්. බොහෝ රජවරු උන්ට රිසි සේ කටයුතු කරල තියෙන්නෙ, ජනතාවගේ පීඩාව ගැන තැකීමක් නැතිව. රොබට් නොක්ස්ගේ ලියවිල්ල බලන්න. ඒත ලංකාව සම්බන්ධ පොදු තත්වය නොවුනත් (සාම්පලය නිවැරදිව තෝරාගෙන නැති නිසා) බොහෝ දුරට ඒ ලියා ඇත්තේ මෙහි තිබුනු ඇත්ත තත්වයයි. ඒත් අවශ්‍යතා සීමා වෙනකොට ස්වයංපෝෂිත බව ඇති වෙනවා. මට රාජකාරි බහුල නැතිනම්, කිලෝ මීටර් දෙකතුනකට වඩා ඈතින් මගේ නෑදෑයන් හෝ මිත්‍රයන් නැතිනම් මට වාහනයක් අවශ්‍ය නෑ.

    පුරාණ ලංකාවේ ගම් ස්වයංපෝෂිත වූ ඒවා බව කියන මාක්ස්වාදියා මොකාද? ඒකා සිරිවීරලාගේ ගෙදර ඉන්න මාක්ස්වාදියෙක්ද?

  5. wicharaka විචාරක said, on නොවැම්බර් 18, 2012 at 3:11 ප.ව.

    කොයි එකා පත්කර ගත්තත්, ඌ අපේ ඔලුවට බදු පොල්ලෙන් ගහනවා. ඉතා කපටි සහ අසාධාරණ විදිහට අධික ලාභ ලබන ක්‍රමයක් අපට තියනවානම් එයින් කොටසක් අර බදු පොලුපාරට ඔලුව පැලෙන එක වලක්වන කොට්ටයක් වගේ වෙනවා. හෙවත් ඒ කුට්ටිය ප්දලා බදු යකාගෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් රටක ජනතාව ඔක්කොම කපටි බිස්නස් කාරයෝ වෙන්නේ කොහොමද? හැම මිනිහම මැරීගෙන වැඩ කරන තත්වයට ගත්තොත් නිෂ්පාදනය වැඩිවීමෙන් වටිනාකම් හා ආදායම් ඉහළයාමෙන් සහනයක් ලැබෙයිද?

    • arunishapiro said, on නොවැම්බර් 18, 2012 at 5:20 ප.ව.

      විචාරක,

      //නමුත් රටක ජනතාව ඔක්කොම කපටි බිස්නස් කාරයෝ වෙන්නේ කොහොමද?// ඒකනේ, අනිත් ක්ෂේත්‍ර වල ඉන්න තරම් කපටි බිස්නස් වලත් ඉන්නවා විතරයි.

      //හැම මිනිහම මැරීගෙන වැඩ කරන තත්වයට ගත්තොත් නිෂ්පාදනය වැඩිවීමෙන් වටිනාකම් හා ආදායම් ඉහළයාමෙන් සහනයක් ලැබෙයිද?// නැහැ, හැම මිනිහාම මැරීගෙන වැඩ කරන්නේ නැහැ කිසිම රටක කුමන ආර්ථික රටාවක් තිබුණත්. විවිධ පුද්ගලයන් මැරීගෙන කරන්නේ විවිධ වූ දේවල් සඳහා, සමහරු මැරීගෙන සිංදු තනු හදනවා, සමහරු මැරීගෙන අනුන්ට උගන්වන්නට වෙහෙසෙනවා, සමහරු මැරීගෙන ආදරය කරනවා!!! ඒත්, තමන්ට ලාබ උපයන්නට හැකියාවක් ඇතිවිට ටික දෙනෙක් මැරීගෙන වැඩ කරන නිසා නිෂ්පාදන වැඩිවීමෙන් සියල්ලන්ටම වාසි ලැබෙනවා, හරියට මැරීගෙන සිංදු තනු ලියපු අය නිසා අපට රසවත් ගී අහන්න ලැබෙනවා වගේමයි!!!!

  6. chandima said, on නොවැම්බර් 18, 2012 at 10:20 ප.ව.

    aththatama Aruni oya kiyana dewal 100% sathya ewa.eth mewani adahas lankawa wani ratak thuladi prayogika wena akarayath penwa diya haki nam bohoma wadagath.

    • ineshwickramaraja said, on නොවැම්බර් 19, 2012 at 7:43 පෙ.ව.

      ප්‍රයොගික විය හෑක්කේ තමන් තනිවම අවබෝධ කරගන්න.ක්‍රියාත්මක කරන්න,අනිත් අය හදන්න යන්න එපා එකපාරම,හෑදෙනකම් බලගෙන ඉන්නත් එපා.ඔබෙ ක්‍රියාව සාර්ථක බව දෑක්කහම දෑනුනහම අනිත් අය වෙනස් වෙවි.නිවෑරදි දෙ තුල ජිවත් විමේ සතුට විදින්න.මන් හරිද මන්ද?:D

      • arunishapiro said, on නොවැම්බර් 19, 2012 at 9:06 පෙ.ව.

        ඔව් chandima, ඉහත ineshwickramaraja කියලා තියෙන ටික නිවැරදියි. ඒකට තව ටිකක් එකතු කළොත් යමක් සත්‍යය යැයි අපි දැක්කාම අපි කළ යුත්තේ සත්‍යය මාර්ගය අනුගමනයෙන් අපේ තත්වය මුලින් ම ඉහළ දා ගන්න එක. අපි ධනවත් වෙන්න පසුබට වෙන්න නරකයි, ලැජ්ජා වෙන්න නරකයි. මොකද එය සූරා ගැනීමක් නොව රටට සමාජයට කරන යහපතක්ම නිසා. අපි වඩාත් නිහතමානී විය යුතුයි. මොකද අනිත් අයත් ඒකීය පුද්ගල අයිතීන් ඇති දේපල අයිතිය ඇති මිනිස්සු නිසා ඔවුන් ඒ බව නොදත්තාට හා ඒ ලෙස ක්‍රියා නොකරාට.

        ලෝකය වටකුරුයි යන්න නොපෙනෙන අයට කියා දෙන්න අපි සමත් වුනේ විචාරය (reason) හා බුද්ධිය හා විද්‍යාව මාර්ගයෙන්. ධනවාදය යන්න සූරා කෑමක් නොවේ සූරා කෑම වෙන්නේ දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන සමාජවාදයම බව අපි පෙන්වා දෙන්නත් ඕනෑ (ඒක දකින්න පුළුවන් දෙයක් නොව වටහා ගත යුත්තක් නිසා) විචාරය, බුද්ධිය, අර්ථ ශාස්ත්‍රය මඟින්.

        ජවිපෙ පංති පහක් තියලා සමත් වුනේ නුදුන් දේ නොගනිමි, සිත පෙරටු කර ගනිමි යනාදියෙන් පෝෂිත වූ බෞද්ධ චින්තනයක් ඇති බහුතර ජනතාවකගේ සිත් ද්වේශයෙන් පුරවන්නටයි. අද බුද්ධාගම කියා වපුරන බහුතර මත බෙදුම්වාදී වෙලා. කරුණා මෙත්තා මොනවා දැයි ඔවුන් දන්නවාදැයි සැකයි.

        ඉතින් සෑහෙන වැඩ කොටසක් තියෙනවා චින්තනය යළි බුද්ධිමත් බවට හැඩගස්වන්නට. එහි දී වඩාත්ම මතක තියාගන්න ඕනෑ වැදගත්ම වැදගත් කාරණය තමයි උග්‍ර වාමාංශිකයන්ව හදන්න කාලේ නාස්ති කරන්න එපා යන්න. ඔවුන් එක එක වේශ වලින් රිංගාගෙන කරන්නේ කඩාකප්පල් ක්‍රියාවන් පමණයි.

        තමන් ගැනත් ලෝකය ගැනත් සත්‍යය සොයා යෑම මිනිස් ප්‍රාජකයක්. මිනිස්සු කැමතියි කුමක් දැයි වෙන්නේ දැනගන්නට, සත්තු වගේ දුවන රැලේ දුවන්නෙ විකල්ප නැති වුනාම.

  7. chandima said, on නොවැම්බර් 19, 2012 at 10:26 ප.ව.

    Inesh & Aruni ..
    godak sthuthiy oba dedenatama..
    Arunige lipi kiyawala mamath mage duwath e gana boho dewal katha karanawa.ape rata kawadaka nam akalpamaya wenasak athi kara ganeewida kiya api tharka karanawa.

  8. දේශකයා said, on නොවැම්බර් 19, 2012 at 10:52 ප.ව.

    පෙර සිරිත තමා කරුමෙට හිටල තියෙන්නේ. අර මෙහේ ඉන්න සිරිපාල ඇමතියාත් කියන්නේ බදු නැතිව රටක් ගෙනියන්න බැරිය කියලා… ඔන්න වෙච්ච දේ..

  9. Chandi said, on නොවැම්බර් 20, 2012 at 5:25 පෙ.ව.

    අරුණි , මේ දේ අපේ රටම තෙරුම් ගන්නෙ නැත්තෙ ඇයි? මන්දා. කොතන ගියත් හොරකම. අපිට ඕක කරන්න බැරි නිසාමයි අපිව වැටෙන්නෙ. මේ දේ කරන කෙනා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහලටම යනවා. ඔයාගේ ලිපි බලලා හැදෙන දරුවෝ හැදෙනවා කියල මට හිතෙනවා. දැන් ඉන්න දරුවො හුඟ දෙනෙක් මේ දේ තේරුම් ගෙන ඉන්නෙ. ස්තූතියි ! නංගි වටිනා අදහස් වලට.

    • arunishapiro said, on නොවැම්බර් 20, 2012 at 8:28 පෙ.ව.

      Chandi,

      ඉන්ටනෙට් අවුල් ඉක්මණින් විසඳේවා කියල පතනවා! හොරකම් කරන අයට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට යන්න හැකියාව ලැබෙන්නේ ආණ්ඩුව විසින් පොදු ජනතාවගේ හිතසුව පිණිස හදන සැලසුම් නිසාම යැයි අවබෝධ වෙච්ච දාට තමයි රටක් තේරුම් ගන්නේ වෙළඳාම කරන අයගෙ හොර අඩු කරන්න පුළුවන් කොහොමද කියලා. දැනට කරන්නෙ ආණ්ඩුවට හේත්තු වන තඩියන්ට කැමති විදියට ලේ උරා බොන්න ඉඩ දෙන සැලසුම් හදන එක.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: